අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(8) 3. යොධාජීව වර්‍ගය (අනාගතභය වර්‍ගය)

7. පඨම අනාගත භය සූත්‍රය

’’මහණෙනි, මේ මතු පැමිණෙන්නාවූ භය පසක් දක්නාවූ වනයෙහි වාසය කරණ භික්‍ෂුව විසින්

’’නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමැයි.

’’කවර පසක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි වනයෙහි වසන්නාවූ භික්‍ෂු තෙම මෙසේ සළකයි. ’මම වනාහි මෙකල්හි හුදකලාවම වනයෙහි වාසය කරමි. හුදකලාවම වනයෙහි වසන්නාවු මා සර්‍පයෙක් හෝ දෂ්ට කරන්නේ නම්, ගෝනුස්සෙක් හෝ මා දෂ්ට කරන්නේ නම්, සතපදියෙක් හෝ මා දෂ්ට කරන්නේ නම්, ඒ හේතුවෙන් මාගේ කාලක්‍රියාව වන්නේ නම්, හෙතෙම මට අන්තරායක් වන්නේය. එබැවින් මම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යය පටන් ගනිමි.’

’’මහණෙනි, මේ පළමුවන මතු පැමිණෙන්නාවූ භය දක්නාවූ වනයෙහි වාසය කරණ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමැයි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. වනයෙහි වසන්නාවූ භික්‍ෂු තෙම මෙසේ සළකයි. ’මම වනාහි දැන් තනිව වනයෙහි වාසය කරමි. තනිවම වනයෙහි වාසය කරන්නාවූ මම වනාහි පැකිල හෝ වැටෙන්නෙම් නම්, මා විසින් අනුභව කරණ ලද ආහාරය හෝ විරුද්‍ධ වන්නේ නම්, පිත හෝ කිපෙන්නේ නම්, මාගේ සෙම හෝ කිපෙන්නේ නම්, මාගේ ශස්ත්‍රක වාත හෝ කිපෙන්නාහු නම්, ඒ හේතුවෙන් හෝ කාලක්‍රියාව වන්නේ නම්, හෙතෙම මට අන්තරායෙන් වන්නේය. එබැවින් මම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, වීර්‍ය්‍යය හෝ පටන්ගනියි. මහණෙනි, මේ දෙවන පැමිණෙන්නාවූ භය දක්නාවූ වනයෙහි වසන භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමැයි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. වනයෙහි වාසය කරණ භික්‍ෂු තෙම මෙසේ සලකයි. ’මම වනාහි දැන් හුදකලාව වනයෙහි වසමි. හුදකලාව වනයෙහි වසන්නාවූ මම වනාහි සිංහයෙකු සමග හෝ, ව්‍යාඝ්‍රයෙකු සමග හෝ, දිවියෙකු සමග හෝ, වළහෙකු සමග හෝ, කළු හිස් වළහෙකු සමග හෝ, වල් මෘගයන් සමග හෝ එක්වන්නෙම් නම්, ඔවුහු මා ජීවිතයෙන් තොර කරන්නාහු නම්, ඒ හේතුවෙන් මාගේ කාලක්‍රියාව වන්නේ නම්, හෙතෙම මට අන්තරායන් වන්නේය. එබැවින් මම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස. ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගනිමි. මහණෙනි, මේ තුන්වන පැමිණෙන්නාවූ භය දක්නාවූ වනයෙහි වසන භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමැයි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. වනයෙහි වසන භික්‍ෂු තෙම මෙසේ සලකයි. ’’මම වනාහි දැන් හුදකලාව වනයෙහි වසමි. හුදකලාව වනයෙහි වසන්නාවූ මම වනාහි කරණ ලද සොරකම් ඇත්තාවූ හෝ නොකරණ ලද සොරකම් ඇත්තාවූ හෝ මිනිසුන් සමග එක්වන්නෙම් නම්, ඔවුහු මා ජීවිතයෙන් තොර කරන්නාහු නම්, ඒ හේතුවෙන් මාගේ කාලක්‍රියාව වන්නේ නම්, හෙතෙම මට අන්තරායෙක් වන්නේය. එබැවින් මම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගනිමි. මහණෙනි, මේ සතරවන අනාගත භය දක්කාවූ වනවාසී භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමැයි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. වනවාසී භික්‍ෂු තෙම මෙසේ සළකයි. මම වනාහි දැන් හුදකලාව වනයෙහි වසමි. වනයෙහි වනාහි චණ්ඩවූ අමනුෂ්‍යයෝ ඇත්තාහ. ඔවුහු මා ජීවිතයෙන් තොර කරන්නාහු නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ නම්, හෙතෙම මට අන්තරායෙක් වන්නේය. එබැවින් මම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගනිමි. මහණෙනි, මේ පස්වන අනාගත භය දක්කාවූ වනවාසී භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමැයි.

’’මහණෙනි, මේ මතු පැමිණෙන්නාවූ භය පසක් දක්නාවූ වනයෙහි වාසය කරණ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමැයි.