අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(8) 3. යොධාජීව වර්‍ගය (අනාගතභය වර්‍ගය)

8. දුතිය අනාගත භය සූත්‍රය

’’මහණෙනි, මේ මතු පැමිණෙන්නාවූ භය පසක් දක්නාවූ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමයැ.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මෙසේ සළකයි. ’මම වනාහි දැන් තරුණවූයේ, යෞවනවූයේ, බාලවූයේ, කළු හිසකෙස් ඇත්තේ, සොඳුරුවූ, යෞවනවූ, පළමු වයසින් යුක්තවූයේ වෙමි. යම් කලක මේ ශරීරය ජරාව ස්පර්‍ශ කෙරේද, එබඳු කාලයක් වේ. ජීර්‍ණවු, ජරාවෙන් මඩනා ලද්දහු විසින් වනාහි බුදුවරයන්ගේ අනුශාසනාව මෙනෙහි කරන්ට පහසු නොවේ. වනයෙහි ඉතා දුරවූ වන සෙනසුන් සේවනය කරන්ට පහසු නොවෙත්. ඒ ඉෂ්ට නොවූ, නොකැමැතිවූ, අමනාපවූ ධර්‍මය තෙම ඉදිරියෙහි මට පැමිණේ.

’’එබැවින් මම පළමුකොටම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගණිමි.

’’යම් ධර්‍මයකින් යුක්තවූ මම ජරාවට ගියේද, පහසු පරිදි වාසය කරන්නෙම්දැයි, මහණෙනි, මේ පළමුවන

’’අනාගත භය දක්නාවූ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරන්ට සුදුසුමය.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම මෙසේ සළකයි. මම වනාහි දැන් ස්වල්පවූ ආබාධ ඇත්තේ, ස්වල්පවූ රෝග ඇත්තේ, ඉතා සිහිල් නොවූ, ඉතා උණුසුම් නොවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍යය කිරීමට සුදුසුවූ, සමවූ පැසවීම් ඇති ග්‍රහණියෙන් යුක්තවූයේ වෙමි. යම් කලෙක මේ ශරීරය ව්‍යාද්‍ධිය ස්පර්‍ශ කෙරේද, එබඳු කාලයක් වේ.

’’හටගත් රෝග ඇත්තාවූ, හටගත් ව්‍යාධි ඇත්තාවූ, ව්‍යාධියෙන් මඩනා ලද්දහු විසින් බුදුවරයින්ගේ අනුශාසනාව මෙනෙහි කරන්ට පහසු නොවේ. වනයෙහි වනගතවූ, ඉතා දුර, වන සෙනසුන් සේවනය කරන්ට නොහැකිවෙත්. ඉදිරියෙහි මට ඉෂ්ට නොවූ, නොකැමැතිවූ, අමනාපවූ මේ ධර්‍මය තෙම පැමිණෙයි. එබැවින් මම පළමුකොටම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගණිමි. යම් ධර්‍මයකින් යුක්තවූ මම හටගත් ව්‍යාධි ඇත්තේද, පහසු පරිදි වාසය කරන්නෙම්දැයි. මහණෙනි, මේ දෙවෙනි අනාගත භය දක්නාවූ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරන්ට සුදුසුමය.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම මෙසේ සලකයි. දැන් වනාහි සුලභ භික්‍ෂා ඇත්තේය. මනා ශෂ්‍ය ඇත්තේ සුලභවූ ආහාර ඇත්තේය. සිඟා ලද දෙයින් යැපෙන්ට පහසුය. යම් කලෙක දුර්භික්‍ෂවූ, භික්‍ෂාව අයහපත්වූ ශෂ්‍යය දුර්ලභවූ ආහාරය වේද, සිඟා ලද දෙයින් යැපෙන්ට නොහැකි වේද, එබඳු කාලයෙක් වේ. දුර්භික්‍ෂ කාලයෙහි වනාහි මනුෂ්‍යයෝ යම් තැනෙක්හි සුභික්‍ෂද, එතැන්හි ගමන් කෙරෙත්. එහි එකතුව වාසය කිරීම වේ. ගැවසීගත් වාසය වේ. එකතුව වාසය කිරීම ඇත්තාවූ, ගැවසීගත් වාසය කිරීම ඇතිකල්හි වනාහි බුදුවරුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්ට පහසු නොවේ. වනයෙහි වානප්‍රස්ක නම් ඉතා දුර වන සෙනසුන් සේවනය කරන්ට නොහැකිවෙත්. ඉදිරියෙහි මට අනිෂ්ටවූ, කැමති නොවන්නාවු, අමනාපවූ, ඒ ධර්‍මය තෙම පැමිණේ. එබැවින් මම පළමුකොටම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගණිමි. යම් ධර්‍මයකින් යුක්තවූ මම දුර්භික්‍ෂ කාලයෙහිද පහසුවෙන් වාසය කරන්නෙම්දැයි. මහණෙනි, මේ තුන්වන අනාගත භය දක්නාවූ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරන්ට සුදුසුමය.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම මෙසේ සලකයි. දැන් වනාහි මිනිස්සු සමගි වූවාහු, සතුටු වන්නාහු, විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් එක්වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලන්නාහු, වාසය කරත්. යම් කලක අටවිංතාප නම් භයක් වේද, රථවලට නැංගාවූ දනව් වැස්සෝ ඔබ මොබ යෙද්ද, එබඳු සමයක් වේ. භයක් ඇති කල්හි වනාහි මිනිස්සු යම් තැනෙක නිර්භයද, එතැනට පැමිණෙත්. එහි සමූහයා එක්ව වාසය කිරීම වේ. ගැවසීගත් වාසය වේ. සමූහයා එක්ව වාසය කිරීම ඇති කල්හි, ගැවසීගත් වාසය කිරීම ඇතිකල්හි වනාහි බුදුවරුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්ට පහසු නොවේ. වනයෙහි වානප්‍රස්ත නම් දුරවූ වන සෙනසුන් සේවනය කරන්ට නොහැකි වෙත්. ඉදිරියෙහි මට අනිෂ්ටවූ, නොකැමැතිවු, අමනාපවූ, ඒ ධර්‍මය තෙම පැමිණේ. එබැවින් මම පළමුකොටම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගණිමි. යම් ධර්‍මයකින් යුක්තවූ මම භය පැමිණි කල්හිද, පහසුවෙන් වාසය කරන්නෙම්දැයි. මහණෙනි, මේ සතරවන අනාගත භය දක්නාවූ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරන්ට සුදුසුමය.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම මෙසේ සලකයි. මෙකල්හි සංඝ තෙම සමගිවූයේ, සතුටුවනු ලබන්නේ, විවාද නොකරනු ලබන්නේ, එක්ව උදෙසීම් ඇත්තේ, පහසු පරිදි වාසය කරයි. යම් කලෙක සංඝයා බිඳේද, එබඳු කාලයක් වේ. සංඝයා බිඳුනු කල්හි වනාහි බුදුවරයින්ගේ අනුශාසනාව මෙනෙහි කරන්ට පහසු නොවේ. වනයෙහි වානප්‍රස්ත නම් දුරවූ සෙනසුන් සේවනය කරන්ට පහසු නොවෙත්. ඉදිරියෙහි මට අනිෂ්ටවූ, නොකැමැතිවූ, අමනාපවූ, ඒ ධර්‍මය තෙම පැමිණේ. එබැවින් මම පළමුකොටම නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගණිමි. යම් ධර්‍මයකින් යුක්තවූ මම සංඝයා භේදවූ කල්හි, පහසු පරිදි වාසය කරන්නෙම්දැයි. මහණෙනි, මේ පස්වෙනි අනාගත භය දක්නාවූ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරන්ට සුදුසුමය.

’’මහණෙනි, මේ මතු පැමිණෙන්නාවූ භය පසක් දක්නාවූ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමයැ.