අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
1. පඨම පණ්ණාසකය
2. නාථ වර්ගය
7. පඨම නාථකරණ ධම්ම සූත්‍රය
’’මහණෙනි, පිහිට ඇතිව වසව්. පිහිට නැතිව නොවසව්. මහණෙනි, අනාථයා දුකසේ වාසය කරයි. මහණෙනි, පිහිට ඇති කරණ ධර්ම දහයකි.
’’කවර දහයක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නේ, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, මහණෙනි, මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නේ, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, මේ ධර්මයද පිහිට ඇතිකරන්නේය.
’’මහණෙනි, නැවතද, මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලදද්, මේ ධර්මයද පිහිට ඇතිකරන්නේය.
’’මහණෙනි, නැවතද මහණතෙම සීලාදී ගුණවත් මිත්‍රයන් ඇත්තේ වේ. යහපත් සහායයන් ඇත්තේ වේ. යහපතට නැමෙන්නේ වේ. මහණෙනි, මහණතෙම යම් හෙයකින් කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ වේද, යහපත් සහායයන් ඇත්තේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරයි.
’’මහණෙනි, නැවතද මහණතෙම කීකරුවේද, සුවචබව ඇතිකරණ ධර්මයන්ගෙන් යුක්තවූයේ වේ. අවවාද ඉවසා පිළිගන්නේ වේද, මහණෙනි, යම්හෙයකින් මහණතෙම සුවචවේද, සුවචබව ඇතිකරණ ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, ඉවසන්නේ වේද, අනුශාසනා දකුණින් ගන්නේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නේයි.
’’මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ අසා කළයුතු උස් පහත් වැඩ වෙත්ද, එහි දක්ෂ වේද, අලස නුවූයේ වේද, එහි යාමෙහි විමසීමෙන් යුක්තවූයේ වේ. කරන්ට සමර්ත්ථ වේ. විධානයට සුදුසු වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ අසා කළයුතු උස් පහත් වැඩ වෙත්ද, එහි දක්ෂ වේද, අලස නුවූයේ වේද, එහි යාමෙහි විමසීමෙන් යුක්තවූයේ වේ. කරන්ට සමර්ත්ථ වේ. විධානයට සුදුසු වේ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේයි.
’’මහණෙනි, නැවතද මහණතෙම ධර්මයට ප්‍රිය කරන්නේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්මයෙහි හා ඛන්දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේ වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම ධර්මයට ප්‍රිය කරන්නේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්මයෙහි හා ඛන්දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේ වේ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේය.
’’මහණෙනි, නැවතද මහණතෙම අකුශල ධර්මයන් ප්රහාණය පිණිස, කුශල ධර්මයන් වැඩීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන වැඩ ඇත්තේ, වාසය කරයි. මහණෙනි, යම් හෙයකින් මහණතෙම අකුශල ධර්මයන් ප්රහාණය පිණිස, කුශල ධර්මයන් වැඩීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන වැඩ ඇත්තේ, වාසය කරයිද, මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.
’’මහණෙනි, නැවත මහණතෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නේ මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.
’’මහණෙනි, නැවත මහණතෙම ශ්‍රෙෂ්ඨවූ සිහියේ නිපුනභාවයෙන් සිහි ඇත්තේ වේද, කළ බොහෝ කල් ඇත්තාවූ, කියා බොහෝ කල් ඇත්තාවූ දෙය සිහි කරන්නේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.
’’මහණෙනි, නැවතද මහණතෙම මනාකොට දුක් ක්ෂයවීමට යන, කලකිරීමට යන, පහළවීමට හා අස්තයට යන, ආර්‍ය්‍යවූ නුවණින් යුක්වූයේ වේ. යම් හෙයකින් මහණතෙම මනාකොට දුක් ක්ෂයවීමට යන, කලකිරීමට යන, පහළවීමට හා අස්තයට යන, ආර්‍ය්‍යවූ නුවණින් යුක්වූයේ වේද, මේ ධර්මයද පිහිට ඇතිකරණ ධර්මයකි.’’