අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

1. ආනිසංස වර්‍ගය

2. චෙතනාකරණීය සූත්‍රය

’’මහණෙනි, සීලයෙන් යුත් සිල්වතාට, ’පසුතැවිලි නොවීම මට උපදීවා’ යි සිතෙහි නොකට යුතුය. මහණෙනි, යම් හෙයකින් සීලයෙන් යුත් සිල්වතාට, පසුතැවිලි නොවීම උපදීද. මෙය ස්වභාවයකි. මහණෙනි, පසුතැවිලි නොවූවහුට, ’මට ප්‍රමෝදය උපදීවා’ යි සිත්හි නොකට යුතුය. පසුතැවිලි නොවන්නාහට යම් ප්‍රමෝදයක් උපදීද, මෙය ස්වභාව ධර්‍මයකි. මහණෙනි, ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට, ’ප්‍රීතිය මට උපදීවා’ යි සිත්හි නොකට යුතුය. මහණෙනි, ප්‍රමෝද වූවහුට ප්‍රීතිය ඉපදීම ස්වභාවයකි. මහණෙනි, ප්‍රීතියෙන් යුත් සිත ඇත්තාහට, ’මාගේ ශරීරය සංසිඳේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තාගේ ශරීරය සංසිඳේද, මෙය ස්වභාවයකි. මහණෙනි, සන්සුන් සිත් ඇත්තාහට, ’සැපක් විඳිමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සන්සුන් කය ඇත්තේ යම් සැපයක් විඳීද, මෙය ස්වභාවයකි. මහණෙනි, සැප ඇත්තාහට, ’මාගේ සිත එකඟවේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සැප ඇත්තාගේ සිත එකඟ වේද, මෙය ස්වභාවයකි.

’’මහණෙනි, එකඟවූ සිත් ඇත්තාහට, ’තත්වූ පරිද්දෙන් දනිමි, දකිමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, එකඟවූයේ යමක් තත්වූ පරිද්දෙන් දනීද, දකීද, මෙය ස්වභාවයකි. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නාහට, දක්නාහට. ’බලවත් විදර්‍ශනාවට පැමිණෙන්නෙමි, මාර්‍ගයට පැමිණෙන්නෙමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, තරුණ විදර්‍ශනා වෙන් දන්නාහට, දක්නාහට, බලවත් විදර්‍ශනාවට පැමිණේද, මාර්‍ගයට පැමිණේද යන මෙය ස්වභාවයකි. මහණෙනි, බලවත් විදර්‍ශනාවට පැමිණියහුට, මාර්‍ගයට පැමිණියහුට, ’අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය ප්‍රත්‍යක්‍ෂ කරමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, බලවත් විදර්‍ශනාවට පැමිණියේ, මාර්‍ගයට පැමිණියේ, අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය ප්‍රත්‍යක්‍ෂ කරයි යන යමක් ඇද්ද, මෙය ධර්‍මතාවයකි.

’’මහණෙනි, මෙසේ වනාහි බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ සඳහාය. අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය අනුසස්කොට ඇත්තාහ. තරුණ විදර්‍ශනාව, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය පිණිස වේ. බලවත් චිදර්‍ශනාව හා මාර්‍ගය අනුසස්කොට ඇත්තේ වේ. සිත එකඟ කිරිම තරුණ විදර්‍ශනාව පිණිස වේ. තරුණ විදර්‍ශනාව අනුසස්කොට ඇත්තේ වේ. සැපය සමාධිය පිණිසය, සමාධිය අනුසස්කොට ඇත්තේය. සංසිඳීම සැපය පිණිසය. සැපය අනුසස්කොට ඇත්තේය. ප්‍රීතිය සන්සිඳීම පිණිසය, සන්සිඳීම අනුසස්කොට ඇත්තේය. ප්‍රමෝදය ප්‍රීතිය පිණිස වේ, ප්‍රීතිය අනුසස්කොට ඇත්තේ වේ. නොපසුතැවිල්ල ප්‍රමෝදය පිණිස වේ. ප්‍රමෝදය අනුසස්කොට ඇත්තේ වේ. නිරවද්‍ය ශීලයෝ නොපසුතැවිල්ල ප්‍රයෝජනකොට ඇත්තාහ, නොපසුතැවිල්ල අනුසස්කොට ඇත්තාහ. මහණෙනි, මෙසේ වනාහි මෙතෙර වැනි ත්‍රෛභූමික වෘත්තයෙන් පරතෙරට යාමට ධර්‍මයෝම ධර්‍මයෙහිම පවතිත්, ධර්‍මයෝම ධර්මයන් පුරවත්.’’