අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
1. පඨම පණ්ණාසකය
3. මහා වර්‍ගය
7. මහා පඤ්හ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝ භික්‍ෂූහු පූර්‍වාහ්න වේලාවෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු රැගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියාහුය. ඉක්බිති ඒ භික්‍ෂූන්ට ’තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි යන්නෙමු නම් යෙහෙකැ’ යි සිතූහ.
ඉක්බිති ඒ භික්‍ෂූහු අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි වැඩියාහුය. වැඩ ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටුවී, සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූන්ට අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, ’’ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙම ශ්‍රාවකයන්ට, ’මහණෙනි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ බණ කියාදැ’’ යි ඇසුවාහුය.
’’ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට, ’ඇවැත්නි, තොප මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ ධර්ම දේශනා කරමු.’’
’’ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපේ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාවගේ හෝ අනුශාසනාවෙන් අනුශාසනයේ හෝ විශෙෂය කුමක්ද, අදහස කුමක්ද, වෙන් කිරීම කුමක්දැ’’ යි ඇසූහ.
ඉක්බිති ඒ භික්‍ෂූහු අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ වචනයට සතුටු නොවූවාහුය. අක්‍රොශ නොකළාහුය. සතුටු නොවී, අක්‍රොශ නොකොට අස්නෙන් නැගිට, ’භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ වචනයාගේ අර්ත්‍ථය දැනගන්නෙමු’ යි ගියාහුය. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැක්කේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, අපි මේ උදය වරුවෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනි, ඒ අපට ’තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි යන්නෙමු නම් යෙහෙකැ’ යි අදහසක් විය. ස්වාමීනි, ඉක්බිති අපි අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණියමු. පැමිණ, ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවීමු. සතුටුවියයුතු, සිහි කටයුතු, කථාව කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. ස්වාමීනි, එකත්පසෙක හුන් කල්හි අපට අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, ’’ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙම ශ්‍රාවකයන්ට, ’මහණෙනි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ බණ කියාදැ’’ යි ඇසුවාහුය. ’’ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට, ’ඇවැත්නි, තොප මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ ධර්ම දේශනා කරමු.’’ ’’ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපේ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාවගේ හෝ අනුශාසනාවෙන් අනුශාසනයේ හෝ විශෙෂය කුමක්ද, අදහස කුමක්ද, වෙන් කිරීම කුමක්දැ’’ යි ඇසූහ.
’’ස්වාමීනි, ඉක්බිති අපි ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ වචනයට සතුටු නොවූම්හ. අක්‍රොශ නොකළම්හ. සතුටු නොවී, අක්‍රොශ නොකොට අස්නෙන් නැගිට, ’භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ වචනයාගේ අර්ත්‍ථය දැනගන්නෙමු’ යි ගියාහුය.
’’මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කිය යුතුයි. ’ඇවැත්නි, එක් ප්‍රශ්නයෙකි. එක් කියා දීමකි. එක් විස්තරයකි. ප්‍රශ්න දෙකකි. කියාදීම් දෙකකි. විස්තර දෙකකි. ප්‍රශ්න තුනෙකි. කියාදීම් තුනෙකි. විස්තර තුනෙකි. ප්‍රශ්න සතරකි. කියාදීම් සතරකි. විස්තර සතරකි. ප්‍රශ්න පසකි. කියාදීම් පසකි. විස්තර පසකි. ප්‍රශ්න සයකි. කියාදීම් සයකි. විස්තර සයකි. ප්‍රශ්න සතකි. කියාදීම් සතකි. විස්තර සතකි. ප්‍රශ්න අටෙකි. කියාදීම් අටෙකි. විස්තර අටෙකි. ප්‍රශ්න නවයෙකි. කියාදීම් නවයෙකි. විස්තර නවයෙකි. ප්‍රශ්න දසයකි. කියාදීම් දසයකි. විස්තර දසයකියි’ මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ සම්පාදනය කොට කියන්ට නොහැකි වන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? මහණෙනි, එය නොවැටහීමයි.
’’මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, සත්ත්‍වයන් අතරෙහි දෙවියන් සහිත ලෝකයෙහි යමෙක් මේ ප්‍රශ්න ප්‍රකාශ කිරීමෙන් සිත සතුටු කරන්නේද, තථාගතයන් හෝ, තථාගත ශ්‍රාවකයන් හෝ, මෙයින් අසා හෝ හැර ඔහු මම නොදකිමි. එක ප්‍රශ්නයෙකි, කියාදීම් එකකි, විස්තර එකකැයි මෙසේ වනාහි මෙය කියන ලද්දේද, එය කුමක් සඳහා කියන ලද්දේද?
’’මහණෙනි, එක ධර්‍මයෙක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර එක් ධර්‍මයෙක්හිද? සියලු සත්ත්‍වයෝ ආහාරය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ එක ධර්‍මයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. එක් ප්‍රශ්නයෙකි, එක් කියාදීමකි, එක් විස්තර කිරීමකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, ධර්‍ම දෙකක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම දෙකක්හිද? සියලු සත්ත්‍වයෝ නාමයද, රූපයද නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම දෙකෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, විස්තර කිරීම් දෙකකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, ධර්‍ම තුනක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම තුනක්හිද? සියලු සත්ත්‍වයෝ වේදනා තුන නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම තුනෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න තුනෙකි, කියාදීම් තුනෙකි, විස්තර කිරීම් තුනෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, ධර්‍ම හතරක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හතරක්හිද? සියලු සත්ත්‍වයෝ ආහාර සතර නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම හතරෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතරකි, කියාදීම් හතරකි, විස්තර කිරීම් හතරකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, ධර්‍ම පහක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම පහක්හිද? සියලු සත්ත්‍වයෝ උපාදාන ස්ඛන්‍ධ පස නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම පසෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පසෙකි, කියාදීම් පසෙකි, විස්තර කිරීම් පසෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, ධර්‍ම හයෙක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හයෙක්හිද? සියලු සත්ත්‍වයෝ ඇතුලත ඇති ආයතන සය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම සයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සයෙකි, කියාදීම් සයෙකි, විස්තර කිරීම් සයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී. 15 ’’මහණෙනි, ධර්‍ම හතක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හතක්හිද? සියලු සත්ත්‍වයෝ විඤ්ඤාණ සත නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම හතෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, ධර්‍ම අටක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම අටක්හිද? සියලු සත්ත්‍වයෝ ලෝක ධර්‍ම අට නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම අටෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, ධර්‍ම නවයක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම නවයෙක්හිද? සියලු සත්ත්‍වයෝ සත්ත්‍වයන් වසන තැන් නවය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම නවයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයෙකි, කියාදීම් නවයෙකි, විස්තර කිරීම් නවයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, ධර්‍ම දහයක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම දහයෙක්හිද? සියලු සත්ත්‍වයෝ දශ අකුශල ධර්මයන් නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම දහයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයෙකි, කියාදීම් දහයෙකි, විස්තර කිරීම් දහයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී. ’’