අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. උපාසක වර්‍ගය

2. වුපසන්තපඤ්චභය සූත්‍රය

ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි අනේපිඬු ගෘහපතියාට, භාග්‍යවතුන් වහන්සේ, ’’ගෘහපතිය, යම් තැනක සිට ආර්‍ය්‍ය ශ්‍රාවකයාට භය වෛර පස සන්සිඳුනාහු වෙත්ද, සොතාපත්ති අඞ්ග සතරින් යුක්තවූයේ වේද, ආර්‍ය්‍ය ධර්‍මය ප්‍රඥාවෙන් මනාව දක්නා ලද්දේ වේද, අවබෝධ කරණ ලද්දේ වේද, ක්‍ෂය කළ නිරය ඇත්තේ වෙමි. ක්‍ෂය කළ තිරිසන් අපාය ඇත්තේ වෙමි. ප්‍රේත ලෝකය ක්‍ෂය කෙළේ වෙමි. ක්‍ෂය කළ අපාය සංඛ්‍යාත දුගතියෙහි වැටීම් ඇත්තේ වෙමි. වහා වැටෙන ස්වභාව නැති අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, සුගති නියතවූ, රහත්බව පරම පිහිට කොට ඇති, සෝවාන් වූවෙක් වීමියි, මතු ඵලයන් බලාපොරොත්තුවෙමින් තෙමේම තමා ගැන ප්‍රකාශ කරන්නේය. කවර පඤ්ච වෛරයක්, බියක්, සන්සිඳුනාහු වෙත්ද?

’’ගෘහපතිය, සතුන් මරන්නා සතුන් මැරීමේ හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. සතුන් මැරීමෙන් වෙන්වූවහුට මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. සතුන් මැරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ බිය, වෛර සන්සිඳුනේ වේ.

’’ගෘහපතිය, නුදුන් දේ ගන්නේ වේද, නුදුන් දේ ගත් හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. නුදුන් දේ ගැන්මෙන් වෙන්වූවහුට මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. නුදුන් දේ ගැන්මෙන් වෙන්වූවහුට බිය, වෛරය සන්සිඳුනේ වේ.

’’ගෘහපතිය, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරීම හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවහුට මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ බිය, වෛර සන්සිඳුනේ වේ.

’’ගෘහපතිය, බොරු කියන්නේ වේද, බොරු කීමේ හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. බොරුකීමෙන් වෙන්වූවහුට මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. බොරුකීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ බිය, වෛර සන්සිඳුනේ වේ.

’’ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර බොන්නේ වේද, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පීමේ හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර බීමෙන් වෙන්වූයේ මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර බීමෙන් වැළැක්කාහට මෙසේ ඒ භය, වෛර පස සන්සිඳුනාහු වෙත්.

’’කවර සෝවාන් අඞ්ග සතරකින් යුක්තවූයේ වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි මහණතෙම ඒ භාග්‍යවතුක් වහන්සේ මේ කාරණයෙනුදු අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යා පසළොස් චරණයෙන් යුක්තය, සුගතය, තුන් ලෝ දත් සේක, තමාහට වැඩිහිටියෙක් නැත, දමනය නොකොට හැකි පුද්ගලයන් හික්මවන සේක, දෙවි මිනිසුන්ට අනුශාසනා කරණ සේක. චතුරාර්‍ය්‍ය සත්‍යය දත් සේක. භාග්‍ය ඇති සේකැයි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට දේශනා කරණ ලදී. තමා විසින්ම දැක්ක යුතුයි. කල් නොයවා දෙන විපාක ඇත්තේය. ඇවිත් මේ බලව යන විධියට සුදුසුය. පැමිණීමට සුදුසුය. නුවණැත්තවුන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුයයි ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්තවේද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම මනාව පිළිපන්නේය. ඎජු මධ්‍යම ප්‍රතිපත්තියෙන් යුක්තය. නිවන් පතා පිළිපන්නේය. නිවණට අනුකූලවූ පිළිවෙතට පිළිපන්නේය. යම් මේ සතර පුරිස් යුගලයක් ඇද්ද, මේ අෂ්ට පුරුෂ පුද්ගල කෙනෙක් ඇද්ද, බුදුන්ගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ, දුරිනුදු ගෙනෙන ප්‍රත්‍යයට සුදුසුය. පඬුරු පිළිගන්ට සුදුසුය. පරලොව අදහා දෙන දන් පිළිගන්ට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ උතුම් පින් හටගන්නා කෙතයයි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වේද,

’’නොකඩවූ, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලිටි නොවූ, නිදහස් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද, තෘෂ්ණාමානදෘෂ්ඨි වශයෙන් ස්පර්‍ශ නොවූ, සිත එකඟ කිරීමට පවතින, ආර්‍ය්‍යයන් විසින් උතුම්යයි සලකන ලද, ශීලයෙන් යුක්ත වූයේ වේද, යන මේ සෝවාන් අඞ්ග සතරින් යුක්තවූයේ වේ.

’’ඔහුට කවර ආර්‍ය්‍ය මාර්‍ග ප්‍රඥාවෙන් දක්නා ලද්දේ වේද, අවබෝධවන ලද්දේ වේද, ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මොහුගේ ඉපදීමෙන් මෙය වේ. මෙය නැති කල්හි මෙය නොවේය. මොහුගේ නිරුද්‍ධවීමෙන් මෙය නිරුද්‍ධ වේ. යම් මේ අවිද්‍යාවගේ ප්‍රත්‍යයෙන් සංස්කාර කෙනෙක් වෙත්ද, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයක් වේද, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම රූපයක් උපදී. නාම රූප පහළවීමෙන් ආයතන සය වෙත්. ආයතන සය ප්‍රත්‍යයවීමෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශය ප්‍රත්‍යයවීමෙන් වේදනා පහළවේ. වේදනා පහළවීමෙන් තෘෂ්ණාව පහළවේ. තෘෂ්ණාව ප්‍රත්‍යයවීමෙන් දැඩිසේ ගැනීම වේ. දැඩිසේ ගැනීමෙන් භවය වේ. භවය ප්‍රත්‍යයවීමෙන් උත්පත්තිය වේ. උත්පත්තිය ප්‍රත්‍යවීමෙන් ජරාව, මරණය, ශොකය, වැලපීම, කායික දුක, දොම්නස, බලවත් සිත් තැවුල, පහළවෙත්ද, මෙසේ මේ සියලු දුක් ගොඩ පහළවීම වේ.

’’අවිද්‍යාවගේම ශෙෂ නොකොට නිරුද්‍ධ කිරීමෙන් සංස්කාරයන්ගේ නිරුද්‍ධිය වේ. සංස්කාරයන්ගේ නිරුද්‍ධියෙන් විඤ්ඤාණයාගේ නිරුද්‍ධිය වේ. විඤ්ඤාණයාගේ නිරුද්‍ධවීමෙන් නාම රූපයන්ගේ නිරුද්‍ධිය (නැතිවීම) වේ. නාම රූපයන්ගේ නිරුද්‍ධියෙන් ආයතන සය නිරුද්ධවේ. ආයතන සය නිරුද්ධවීමෙන් ස්පර්‍ශය නිරුද්ධවේ. ස්පර්‍ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වේ. වේදනාව නිරුද්ධවීමෙන් තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දැඩිසේ ගැන්ම නිරුද්ධ වේ. දැඩිසේ ගැන්ම නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධවීමෙන් උත්පත්තිය නිරුද්ධවේ. උත්පත්තිය නිරුද්ධවීමෙන් ජරා, මරණ, ශොක, වැළපීම, කායික දුක, දොම්නස, බලවත් සිත් තැවුල, නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නිරුද්ධ වේ. ඔහු මේ ආර්‍ය්‍ය මාර්‍ග ප්‍රඥාව නුවණින් දැක්කේ වෙයි. මනාකොට අවබෝධ කරණ ලද්දේ වෙයි. මෙසේ සියලු දුක් ගොඩ නිරුද්‍ධවූයේ වේ.

’’ගෘහපතිය, යම් තැනෙත සිටි ආර්‍ය්‍ය ශ්‍රාවකයාට මේ පඤ්චභය වෛර පස සන්සිඳුනාහු වෙත්ද, මේ සෝවාන්හුගේ අඞ්ග සතරින් යුක්තවූයේ වේද, මොහු විසින් ආර්‍ය්‍ය සත්‍යය ප්‍රඥාවෙන් දක්නා ලද්දේ වේද, ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, හෙතෙම ක්‍ෂය කළ නිරය ඇත්තේ වෙමි, ක්‍ෂය කළ තිරිසන් අපාය ඇත්තේ වෙමි, ක්‍ෂය කළ ප්‍රේත ලෝකය ඇත්තේ වෙමි, ක්‍ෂය කළ වහා වැටෙන දුගති හා අපාය ඇත්තේ වෙමි, අපායෙහි නොවැටෙන, සුගති නියතවූ, අර්හත්වය කරා නැමුණු සෝවාන් පුද්ගලයෙක් වීමියි, තෙමේම තමා ගැන ප්‍රකාශ කරන්නේය.’’