අඞ්ගුත්තරනිකායො
එකාදසක නිපාතය
2. අනුස්සති වර්‍ගය
7. ගොපාලකඞ්ග සූත්‍රය
’’මහණෙනි, කරුණු එකොළොසකින් යුක්තවූ ගොපළු තෙම ගව සමුහයා පරිහරණය කරන්ට, සමෘද්‍ධ කරන්ට සුදුසු නොවේ. කවර එකොළොසකින්ද යත්?
’’මහණෙනි, මේ ලොකයෙහි ගොපළු තෙම රූපය දන්නේ නොවේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මැසි බිජුවට නොවළකන්නේද, වණය වසා බඳින්නේ නොවේද, දුම් කරන්නේ නොවේද, තොටුපල නොදනීද, පැන් බිවහු නොදනීද, යායුතු මග නොදනීද, ගොදුරු තැන් දැනීමෙහි දක්‍ෂ නොවේද? ඉතිරි නොකොට කිරි දොවන්නේත් වේද, යම් ඒ ගව පිතෘවූ, ගව පරිනායක වූ, වෘෂභයෝ වෙද්ද, ඔවුන් වැඩියක් පිදීමෙන් පුදන්නේ නොවේද, මහණෙනි, මේ කරුණු එකොළොසින් යුක්තවූ ගොපළු තෙම ගවයා පරිහරණය කරන්ට, සමෘද්‍ධ කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, මෙපරිද්දෙන්ම එකොළොස් කරුණකින් යුක්තවූ භික්‍ෂුතෙම මේ ශාසනයෙහි වෘද්‍ධියට, වැඩීමට, මහත්බවට, පැමිණෙන්ට සුදුසු නොවේ. කවර එකොළොසකින්ද යත්?
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම රූපය දන්නේ නොවේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මැසි බිජුවට වළකන්නේ නොවේද, වණය වසා බඳින්නේ නොවේද, දුම් කරන්නේ නොවේද, තොටුපල නොදනීද, පානය කළාහු නොදනීද, ගමන් කළ යුතු මග නොදනීද, ගොචර ස්ථානයෙහි දක්‍ෂ නොවේද, ශෙෂ රහිතව දොවින්නේත් වේද, රාත්‍රඥවූ, පැවිදිවී බොහෝ කල් ගියාවූ සඞ්ඝ පීතෘවූ, සඞ්ඝ පරිනායක යම් මේ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඔවුන් වැඩියක් පූජායෙන් පුදන්නේ නොවේද?
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම රූප දන්නේ නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය, සතර මහ භූතයෝද, සතර මහ භූතයන්ගෙන් හටගත් රූපයද වේ යයි තත්වූ පරිද්දෙන් දැන නොගනියි. මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම රූප දන්නේ නොවෙයි. මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම අඥානතෙම කර්‍මය ලක්‍ෂණකොට ඇත්තේය. පණ්ඩිත තෙම කර්‍මය ලක්‍ෂණකොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දැන නොගනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේ.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම මැසි බිජුවට හෙවත් ඉහඳ තිබිම වළකන්නේ නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම උපන්නාවූ කාම විතර්‍කය ඉවසාද, හැර නොදමාද, දුරු නොකෙරේද, විනාශ නොකෙරේද. නැවත අභාවයට නොපමුණුවාද, උපන්නාවූ ව්‍යාපාද විතර්‍කය, උපන්නාවූ විහිංසා විතර්‍කය, උපනුපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන් ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, නැවත අභාවයට නොපමුනුවාද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ඉහඳ තිබීම වළකන්නේ නොවෙයි.
’’ මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම වණය පිළිසන් කරන්නේ නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපය දැක නිමිති වශයෙන් ගන්නේ වේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ වේද, යම් හෙයකින් මේ චක්‍ෂුරින්ද්‍රියයෙහි සංවර නැතුව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නස්ය, යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වහණය වන්නාහුද, එය සංවර කිරීම පිණිස නොපිළිපදීද, චක්‍ෂුරින්‍ද්‍රිය නොරකීද, චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට නොපැමිණේද, කණින් ශබ්ද අසා, නාසයෙන් සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්‍ශකළ යුත්තේ, ස්පර්‍ශකොට සිතින් ධර්මය දැන, නිමිති වශයෙන් ගන්නේ වේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ වේද, යම් හේතුවකින් මේ මනෙන්‍ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නසය, යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වහණය වන්නාහුද, එය සංවර කිරීම පිණිස නොපිළිපදීද, මනෙන්ද්‍රියය නොරකීද, මනෙන්ද්‍රියයෙහි සංවරයට නොපැමිණෙයිද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතමෙ වණය පිළියම් කරන්නේ නොවෙයි. මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම දුම කරන්නේ නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම අසන ලද පරිදි, පිරවහන ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්නේ නොවේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම දුම කරන්නේ නොවෙයි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම තොටුපල නොදනීද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යම් ඒ භික්‍ෂූහු බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු, පැමිණියාවූ ශාසන ධර්මය ඇත්තාහු, ධර්මය දරන්නාහු, විනය දරන්නාහු, මාතෘකා දරන්නාහු වෙද්ද, ඔවුන් වෙත කලින් කල පැමිණ, ’’ස්වාමිනි, මෙය කෙසේද, මොහුගේ අත්‍ර්‍ථය කවරේදැ’’යි නොවිචාරාද, ප්‍රශ්න නොකෙරේද, ඔහුට ඒ ආයුෂ්මත්හු අප්‍රකටවූ ධර්මයද ප්‍රකට නොකෙරෙත්. ගැඹුරුවූ ධර්මයද ප්‍රකාශ නොකෙරෙත්. අනෙක ප්‍රකාරවූද, සැක කටයුතු ධර්මයන්හි සැකය දුරු නොකෙරෙත්. මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම තොටුපල නොදනියි.
’’මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම පානය කළහු නොදනීද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය දේශනා කරණු ලබන කල්හි, අත්‍ර්‍ථය පිළිබඳ සතුට නොලබාද, ධර්මය පිළිබඳ සතුට නොලබාද, ධර්මයෙන් යුක්තවූ ප්‍රමුදිත භාවය නොලබාද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම පානය කරණ ලද්දහු නොදනියි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම ගමන් මාර්‍ගය නොදනීද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය තත්වූ පරිද්දෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ගමන් මාර්‍ගය නොදන්නේ වේ.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම ගෝචර ස්ථානයන්හි දක්‍ෂවූයේ නොවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතර සතිපට්ඨානයන් තත්වූ පරිද්දෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ගෝචර ස්ථානයන්හි දක්‍ෂවූයේ නොවෙයි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම ඉතිරි නොකොට දොවින්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ශ්‍රද්‍ධාව ඇති ගෘහපතීහු චීවරය, පිණ්ඩපාතය, සයනාශනය, ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් පිරිකරය යන මෙයින් ලඟට එළවා පවරද්ද, එහි භික්‍ෂුතෙම පිළිගැනීමට පමණ නොදනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ඉතිරි නොකොට දොවින්නේ වේ.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම චිර කල් දන්නාවූ, පැවිදිවූ බොහෝ කල් ඇති, සඞ්ඝ පීතෘවූ, සඞ්ඝ පරිනායකවූ, යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඔවුන් වැඩියක් පිදීමෙන් පුදන්නේ නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම චිරරාත්‍රඥවූ, චිරප්‍රව්‍රජිතවූ, සංඝපිතෘවූ, සඞ්ඝ පරිනායකවූ, යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඔවුන් කෙරෙහි ප්‍රකාශයෙහිද, රහසිගතවද, මෛත්‍රී කාය කර්‍මය නොපිහිටුවාද, මෛත්‍රී වාක් කර්‍මය නොපිහිටුවාද, මෛත්‍රී මනො කර්‍මය එළිපිටද, රහසද නොපිහිටුවාද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම චිරරාත්‍රඥවූ, චිරප්‍රව්‍රජිතවූ, සංඝපිතෘවූ, සඞ්ඝ පරිනායකවූ, යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඔවුන් වැඩි තරම් පූජාවෙන් පුදන්නේ නොවේද, මහණෙනි, මේ ධර්‍ම එකොළොසින් යුක්තවූ භික්‍ෂුතෙම වනාහි මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුස්සෙක් වේ.
’’මහණෙනි, කරුණු එකොළොසකින් යුක්තවූ ගොපළු තෙම ගව සමුහයා පරිහරණය කරන්ට, සමෘද්‍ධ කරන්ට සුදුස්සෙක් වේ. කවරනම් එකොළොසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ගොපළු තෙම රූප දන්නේ වේද, ලකුණු දැනීමෙහි දක්‍ෂයෙක් වේද, මැසි බිජුවට වළකන්නේ වේද, වණය පිළිසන් කරන්නේ වේද, දුම කරන්නේ වේද, තොටුපල දනීද, පානය කළහු දනීද, ගමන් මාර්‍ගය දනීද, ගොදුරු තන්හි දක්‍ෂයෙක් වේද? ඉතිරි කිරීම් සහිතව දොවින්නේ වේද, ගව පිතෘවූ, ගව පරිනායක වූ, යම් මේ වෘෂභයෝ වෙද්ද, ඔවුන් වැඩිතරම් පිදීමෙන් පුදන්නේ වේද, මහණෙනි, මේ කරුණු එකොළොසින් යුක්තවූ ගොපළු තෙම වනාහි ගව සමූහයා පරිහරණය කරන්ට, සමෘද්‍ධ කරන්ට සමත්‍ර්‍ථයෙක් වේද,
’’මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම එකොළොසකින් යුක්තවූ භික්‍ෂුතෙම මේ ශාසනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට, පැමිණෙන්ට සමත්‍ර්‍ථයෙක් වේ. කවර එකොළොසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම රූප දන්නේ වේද, ලකුණු දැනීමෙහි දක්‍ෂයෙක් වේද, මැසි බිජුවට වළක්වන්නේද, වණය පිළිසන්කරන්නේ වේද, දුම් කරන්නේ වේද, තොටුපොල දනීද, පානය කළහු දනීද, ගමන් මග දනීද, ගොදුරු තැන් දැනීමෙහි දක්‍ෂයෙක් වේද, ඉතිරි සහිතව දොවින්නේත් වේද, චිරකල් දන්නාවූ, පැවිදිවූ බොහෝ කල් ඇති සඞ්ඝ පීතෘවූ, සඞ්ඝ පරිනායකවූ, යම් මේ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඔවුන් වැඩි තරම් පිදීමෙන් පුදන්නේ වේද?
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම රූප දන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය, සතර මහ භූතයෝය, සතර මහ භූතයන්ගෙන් හටගත් රූපයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම රූප දන්නේ වේ.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම ලකුණු දැනීමෙහි දක්‍ෂයෙක් වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම බාලතෙම කර්‍මය ලක්‍ෂණකොට ඇත්තේය. පණ්ඩිත තෙම කර්‍මය ලක්‍ෂණකොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ලකුණු දැනීමෙහි දක්‍ෂයෙක් වේ.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම මැසි බිජුවට වළකන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම උපන්නාවූ කාම විතර්‍කය නොඉවසාද, හැර දමාද, කෙළවර කෙරේද, දුරු කෙරේද, නැවත අභාවයට පමුණුවාද, උපන්නාවූ ව්‍යාපාද විතර්‍කය, උපන්නාවූ විහිංසා විතර්‍කය, නොඉවසාද, හැර දමාද, කෙළවර කෙරේද, දුරු කෙරේද, නැවත අභාවයට පමුණුවාද, ’’උපනුපන් ලාමකවූ අකුශල ධර්මයන් නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, අවසාන කෙරේද, නැවත අභාවයට පමුණුවාද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම මැසි බිජුවට වළක්වන්නේ වෙයි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම වණය වසන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපය දැක නිමිති වශයෙන් ගන්නේ නොවේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවේද? යම් හේතුවකින් මේ චක්‍ෂුරින්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නසය, යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වැහෙන්නාහුද, එය වැළැක්ම පිණිස පිළිපදීද? චක්‍ෂුරින්‍ද්‍රිය රකීද, චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණේද, කණින් ශබ්ද අසා, නාසයෙන් සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්‍ශකළ යුත්තේ, ස්පර්‍ශකොට සිතින් ධර්මය දැන, නිමිති වශයෙන් ගන්නේ නොවේද, කුඩා ලකුණු වශයෙන් නොගන්නේද, යම් හේතුවකින් මේ මනෙන්‍ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නසය, යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වැහෙන්නාහුද, එය වැළැක්ම පිණිස පිළිපදියිද, මනෙන්ද්‍රියය රකීද, මනෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතමෙ වණය වසන්නේ වේ.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම දුම කරන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම අසන ලද පරිදි, පිරවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම දුම කරන්නේ වෙයි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම තොටුපල දනීද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම දැනගත් ආගම ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් මේ බහුශ්‍රුත භික්‍ෂූහු වෙද්ද, කලින් කල ඔවුන් වෙත පැමිණ, ’’ස්වාමිනි, මෙය කෙසේද, මොහුගේ අත්‍ර්‍ථය කවරේ දැ’’යි විචාරාද, ප්‍රශ්න කෙරේද, ඕහට ඒ ආයුෂ්මත්හු විවෘත නොවූම අත්‍ර්‍ථය විවෘත කෙරෙත්. ප්‍රකට නොවූද කාරණය ප්‍රකට කෙරෙත්. නොයෙක් ආකාරවූද, සැක කටයුතුවූ, ධර්මයන්හි සැකය දුරු කෙරෙත්. මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම තොටුපල දකියි.
’’මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම පානය කළහු දනීද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම තථාගතයන් වහන්සේ විසින් වදාළාවූ ධර්ම විනය දේශනා කරණු ලබන කල්හි, අත්‍ර්‍ථය පිළිබඳ සතුට ලබාද, ධර්මය පිළිබඳ සතුට ලබාද, ධර්මයෙන් යුක්තවූ ප්‍රමුදිත භාවය ලබාද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම පානය කළහු දනියි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම යායුතු මග දනීද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම යායුතු මග දනියි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම ගෝචර ස්ථානයන්හි දක්‍ෂවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතර සතිපට්ඨානයන් තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ගෝචර ස්ථානයන්හි දක්‍ෂවූයේ වෙයි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම ඉතිරි කිර්ම ඇතිව දොවින්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ශ්‍රද්‍ධාවන්ත ගෘහපතීහු චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන මෙයින් ලඟට එළවා පවරත්ද, එහි භික්‍ෂුතෙම පිළිගැනීමට පමණ දනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ඉතිරි සහිතව දොවින්නේ වෙයි.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම චිර රාත්‍රඥවූ, පැවිදිවූ බොහෝ කල් ඇති, සඞ්ඝ පීතෘවූ, සඞ්ඝ පරිනායකවූ, යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඒ භික්‍ෂූන් අධිකවූ පූජාවෙන් පුදන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම චිර කල් දන්නාවූ, පැවිදිවූ බොහෝ කල් ඇති, සංඝපිතෘවූ, සඞ්ඝ පරිනායකවූ, යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඔවුන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්‍මය ඉදිරියෙහිද, නැති තැනද යොදවාද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම චිර කල් දන්නාවූ, පැවිදිවූ බොහෝ කල් ඇති, සංඝපිතෘවූ, සඞ්ඝ පරිනායකවූ, යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වේ.
’’මහණෙනි, මේ කරුණු එකොළොසින් යුක්තවූ භික්‍ෂුතෙමේ වනාහි මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට සුදුසු වේ’’ යයි වදාළ සේක.