අඞ්ගුත්තරනිකායො

එකාදසක නිපාතය

1. නිස්සය වර්‍ගය

2. චෙතනාකරණීය සුත්‍රය

’’මහණෙනි, සීලයෙන් යුක්තවූ සිල්වත්හුගේ, ’මට නොවිපිළිසරවීම උපදීවා’ යි සිතීමෙන් කටයුතු නොවේ. මහණෙනි, සීල සම්පන්නවූ සිල්වත්හට නොවිපිළිසරවීම උපදී යන යමක් වේද, මෝතොමෝ ධර්‍ම ස්වභාවය වේ. මහණෙනි, නොවිපිළිසර ඇත්තාහට, ’මට සතුට උපදීවා’ යි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, විපිළිසර නැත්තාහට සතුට උපදී යන යමක් ඇද්ද, මෝ තොමෝ ධර්‍ම ස්වභාවයයි. මහණෙනි, සතුට ඇත්තාහට, ’මට ප්‍රීතිය උපදීවා’ යි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, සතුට ඇත්තාහට ප්‍රීතිය උපදී යන යමක් වේද, මෝ තොමෝ ධර්‍මතායි. මහණෙනි, ප්‍රීති සිත් ඇත්තාහට, ’මාගේ කය සැහැල්ලුවේවා’ යි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලුවෙයි යන යමක් ඇද්ද, මෝ තොමෝ ධර්‍මතායි. මහණෙනි, සැහැල්ලුවූ කය ඇත්තහුගේ සැපය විඳිමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, සැහැල්ලු කය ඇත්තේ සැපය විඳීය යන යමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, සැප ඇත්තහුගේ, ’මගේ සිත එකඟවේවා’යි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, සැප ඇත්තහුගේ සිත එකඟවේ යන යමක් වේද, මෝතොමෝ ධර්මතායි. මහණෙනි, එකඟවූ සිත් ඇත්තහුගේ තත්වූ පරිද්දෙන් දනිමි, දකිමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, එකඟවූ සිත් ඇත්තේ තත්වූ පරිද්දෙන් දනී, දකී යන නමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නහුගේ, දක්නහුගේ කලකිරෙමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නේ, දක්නේ කලකිරේය යන නමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, කලකිරුණහුගේ නො ඇලෙමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, කලකිරුනේ නො ඇලෙයි, යන යමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, නො ඇලුනහුගේ විමුක්ති ඥාන දර්‍ශනය ප්‍රත්‍යක්‍ෂ කරමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, නො ඇලුනේ විමුක්ති ඥාන දර්‍ශනය ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි යන යමක් වේද, මෝ තොමෝ ධර්මතායි.

’’මහණෙනි, මෙසේ වනාහි විරාගය තෙම විමුක්ති ඥාන දර්‍ශනය ප්‍රයෝජනකොට ඇත්තේය. විමුක්ති ඥාන දර්‍ශනය අනුසස්කොට ඇත්තේය. නිබ්බිදාතොමෝ විරාගය ප්‍රයෝජනකොට ඇත්තීය. විරාගය අනුසස්කොට ඇත්තීය. යථාභූත ඥාන දර්‍ශනය නිබ්බිදාව ප්‍රයෝජනකොට ඇත්තේය. නිබ්බිදාව අනුසස්කොට ඇත්තේය. සමාධිතෙම යථාභූත ඥාන දර්‍ශනය ප්‍රයෝජනකොට ඇත්තේය. යථාභූත ඥාන දර්‍ශනය අනුසස්කොට ඇත්තේය. සැපය, සමාධිය ප්‍රයෝජනකොට ඇත්තේය. සමාධිය අනුසස්කොට ඇත්තේය. සන්සිඳුම සැපය ප්‍රයෝජනකොට ඇත්තීය. සැපය අනුසස්කොට ඇත්තීය. ප්‍රීතිය, සන්සිඳුම ප්‍රයෝජනකොට ඇත්තීය. සන්සිඳුම අනුසස්කොට ඇත්තීය. ප්‍රමොද්‍යය ප්‍රීතිය ප්‍රයෝජනකොට ඇත්තේය. ප්‍රීතිය අනුසස්කොට ඇත්තේය. නොවිපිළිසරවීම ප්‍රමොද්‍යය ප්‍රයෝජනකොට ඇත්තේය. ප්‍රමොද්‍යය අනුසස්කොට ඇත්තේය. නිරවද්‍යවූ සීලයෝ නොවිපිළිසරවීම ප්‍රයෝජනකොට ඇත්තාහුය. නොවිපිළිසරවීම අනුසස්කොට ඇත්තාහුය. මහණෙනි, මෙසේ වනාහි මෙතෙරින් එතෙර යාම පිණිස හෙවත් සසරින් නිවණට පැමිණීම පිණිස ධර්මයෝද ධර්මයෙහි පවතිත්. ධර්මයෝද ධර්මයන් සම්පූර්‍ණ කෙරෙත්ය’’ යි වදාළ සේක.