අංගුත්තර නිකාය
එක නිපාතය
4. දේවදූත වර්ගය
39. සුඛුමාල සූත්‍රය
“මහණෙනි, මම සිව්මැලි වෙමි. අතිශයින් සිව්මැලි වෙමි. මහණෙනි, මට වනාහි ඒ මාගේ පියාගේ නිවේසනයෙහි පොකුණු කරවන ලද්දාහු වෙත්. මගේ ප්‍රයෝජනය පිණිසම එක පොකුණෙක්හි නිලුපුල් පිපෙයි. එක් පොකුණෙක්හි හෙල පියුම් පිපෙයි. එක් පොකුණෙක්හි රත් පියුම් පිපෙයි. මහණෙනි, මම කසීරට නූපන්නාවූ සඳුනක් නොම දරමි. මහණෙනි, මේ මගේ හිස්වෙලුම කසී සලුවක් වෙයි. සැට්ටය කසී සලුවක් වෙයි. අඳනය කසී සලුවක් වෙයි. උතුරුසළුව කසී සලුවක් වෙයි. මහණෙනි, රෑ දාවල් දෙක්හිම මට ශීතලයක් හෝ උෂ්ණයක් හෝ රජස් හෝ තෘණ හෝ පිණි හෝ ස්පර්ශ නොකෙරේවායි ස්වෙත ඡත්‍රයක් දරනු ලබයි. මහණෙනි, ඒ මට ප්‍රාසාද තුනක් වූහ. එක් ප්‍රාසාදයක් ශීත ඍතුවට සුදුසු වෙයි. එක් ප්‍රාසාදයක් ග්‍රීෂ්ම ඍතුවට වෙයි. එක් ප්‍රාසාදයක් වර්ෂා ඍතුවට සුදුසු වෙයි. මහණෙනි, ඒ මම වනාහි වර්ෂා ඍතුවට සුදුසු ප්‍රාසාදයෙහි වැසි සාර මසෙහි පුරුෂයන් රහිතවූ තූර්‍ය්‍යයන් ගෙන් විනොදය ලබමින් ප්‍රාසාදයෙන් පහළට නොබසිමි. මහණෙනි, සෙස්සන්ගේ ගෘහයන්හි දැසි කම්කරු පුරුෂයන්ට ඇඹුල් හොදි සමග නිවුඩු සාලේ බත් යම්සේ දෙනු ලැබේද, මහණෙනි, එසේ මාගේ පියාගේ ගෘහයෙහි දැසි කම්කරු පුරුෂයන්ට මස් ව්‍යංජන සහිත ඇල් සාලේ බත් දෙනු ලැබේ. මහණෙනි, මෙවැනි සමෘද්ධියකින්ද මෙවැනි සිව්මැලි බවකින්ද යුත් මට මෙසේ අදහස් විය.
“ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි තමා ජරාව ස්වභාවකොට ඇත්තේම ජරාව නොඉක්මවූයේම ජරාවට ගිය අනිකෙකු දැක තමා ඉක්මවා හැකිලෙයි. අප්‍රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමි. ජරාව නොනික්මවූයේ වෙමි. ජරාව ස්වභාව කොට ඇත්තාවූ ජරාව නොනික්මවූ මම ජරාවට ගියාවූ අනිකෙකු දැක තමා ප්‍රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම්, අප්‍රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම් එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් තරුණ මදයක් වූයේද එය නැතිවිය.
(2 ඡෙදයේ ‘ජරාව ස්වභාවකොට ඇත්තේ’ යන්නට ‘ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේ’ කියාද, ‘තරුණ මදය’ යන්නට ‘නිරොග මදය’ කියාද යොදා තුන්වෙනි ඡෙදය සකස් කරගත යුතුයි)
(2 ඡෙදයේ ‘ජරාව ස්වභාවකොට ඇත්තේ’ යන්නට ‘මරණය ස්වභාවකොට ඇත්තේ’ කියාද, ‘තරුණ මදය’ යන්නට ‘ජීවිත මදයත් වේද’ යන්න යොදා 4 ඡෙදය සකස් කරගත යුතුයි.
යොබ්බන මද සූත්‍රය
“මහණෙනි, මේ මදයෝ (උතුම් බැව්) තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, තරුණ මදය, නිරොග මදය, බොහෝකල් ජීවත්වීම් මදය යන තුන්දෙනයි. මහණෙනි, තරුණ මදයෙන් මත්වූ නූගත් පෘථග්ජනයා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් දුසිරිත හැසිර වචනයෙන් දුසිරිත හැසිර සිතින් දුසිරිත හැසිර ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපනැති නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී.
“මහණෙනි, නිරොග මදයෙන් යුත්වූ බොහෝකල් ජීවත්වීම් නැමැති මදයෙන් මත්වූ නූගත් පෘථග්ජන තෙම කයින් වචනින් මනසින් දුසිරිත්හි හැසිරෙයි. කයින් වචනින් මනසින් දුසිරිත්හි හැසිර ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපනැති නපුරු ගති ඇති නපුරුව වැටෙන නරකයෙහි උපදී. මහණෙනි, තරුණ මදයෙන් මත්වූ මහණතෙම සිල් ප්‍රතික්ෂෙපකොට ගිහි බවට පෙරලෙයි. මහණෙනි, නිරොග මදයෙන් මත්වූ මහණතෙම සිල් ප්‍රතික්ෂෙපකොට ගිහි බවට පෙරලෙයි. බොහෝකල් ජීවත්වන මදයෙන් යුක්තවූ මහණ තෙම සිල් ප්‍රතික්ෂෙපකොට ගිහි බවට පෙරලේයයි වදාළසේක.
(1) “ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාවූද ජරාව ස්වභාව කොට ඇත්තාවූද, මරණය ස්වභාවකොට ඇත්තාවූ පෘථග්ජනයෝ තුමූ ඒ ස්වභාවධර්මයෝ ඒවූ පරිද්දෙන් ඇත්තාවූ පෘථග්ජනයෝ අන්‍යයන් පිළිකුල් කරත්.
(2) “ඉදින් මම ඒ ස්වභාව ඇත්තාවූ සත්වයන් කෙරෙහි පිළිකුල් කරන්නෙම් නම් එබඳු ස්වභාව ඇත්තාවූ මට එය සුදුසු නොවන්නේමය.
(3) (4) “ඒ මම එසේ වාසය කරන්නෙම් උපධි රහිත නිර්වාණ ධර්මය අවබොධ කොට නිරොගි භාවයෙහිද, යෞවන භාවයෙහිද, ජීවිතයෙහිද යම් මදයෝ වෙත්ද, ඒ සියලු මදයන් නෛෂ්ක්‍රම්‍යයයි කියන ලද නිර්වාණයෙහි ක්ෂෙමභාවය දැක අභිභවනය කෙළෙමි. නිර්වාණය දක්නාවූ ඒ මට උත්සාහය වූයේය.
(5) මම දැන් කාමයන් සේවනය කිරීමට සුදුසු නොවෙමි. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍ය පිහිටකොට ඇත්තේ ප්‍රවෘජ්ජාව හා සර්වඥතාඥානය උදෙසා නොපසුබස්නා වීර්‍ය්‍ය ඇත්තෙක් වන්නෙමි.”