අංගුත්තර නිකාය
එක නිපාතය
7. මහා වර්ගය
67. තිකථාවත්ථු සූත්‍රය
“මහණෙනි කථාවට වස්තු වන කරුණු මොහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද? මහණෙනි අතීතයෙහි මෙසේ වීයයි අතීත කාලය පිළිබඳවද කථා කරන්නේය. අනාගත කාලයෙහි මෙසේ වන්නේයයි අනාගත කාලය පිළිබඳවද කථා කරන්නේය. මේ වර්තමාන කාලය මෙසේ වේයයි වර්තමාන කාලය අරබයාද කථා කරන්නේය.
“මහණෙනි, එක්ව කථා කරන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද ඉදින් කථා නොකළ යුත්තෙක් දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි ඉදින් යම් පුද්ගලයෙක් ප්‍රශ්න අසන ලද්දේ ඒකාන්තයෙන් නිශ්චය කොට විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් නිශ්චය කොට නොවිසඳයිද, බෙදා කොටස් කර විසඳිය යුතු ප්‍රශ්නය බෙදා කොටස් කර නොවිසඳයිද, කුමක් හෙයින් අසන්නෙහිදැයි හෙතුව පිළිවිස විසඳිය යුතු ප්‍රශ්නය හෙතුව පිළිවිස නොවිසඳයිද, නොවිසඳා තැබිය යුතු ප්‍රශ්න නොවිසඳා නොතබයිද, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා වෙයි.
“මහණෙනි, ඉදින් යම් පුදගලයෙක් තෙමේ ප්‍රශ්න අසන ලද්දේ ඒකාන්තයෙන් විනිශ්චය කොට විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විනිශ්චය කොට විසඳයිද බෙදා කොටස් කර විසඳිය යුතු ප්‍රශ්නය බෙදා කොටස් කර විසඳයිද, හෙතුව පිළිවිස විසඳිය යුතු ප්‍රශ්නය හෙතුව පිළිවිස විසඳයිද, නොවිසඳා තැබිය යුතු ප්‍රශ්නය නොවිසඳා තබයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළ යුතු පුද්ගලයා වෙයි.
“මහණෙනි, කථාවට එක්වන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද ඉදින් කථා නොකළ යුත්තෙක් දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ කාරණ අකාරණයන්හි නොපිහිටයිද කල්පනා කරන ලද්දෙහි නොපිහිටයිද, අනික් වාදයෙක්හි නොපිහිටයිද, ප්‍රතිපත්තියෙහි නොපිහිටයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මේ පුද්ගල තෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නමි. මහණෙනි, ඉදින් වනාහි මේ පුද්ගල තෙමේ කාරණ අකාරණයන්හි පිහිටයිද, කල්පනා කරන ලද්දෙහි පිහිටයිද, අන්‍ය වාදයෙහි පිහිටයිද ප්‍රතිපත්තියෙහි පිහිටයිද, මහණෙනි මෙසේ ඇති කල්හි මේ පුද්ගල තෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි.
“මහණෙනි, කථාවට එක්වන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද අනික් කථාවකින් අනික් කථාවක් වසයිද, වෙන අතකට කථාව යොමු කරයිද, කොපය දොසය නොසතුට පහළ කරයිද, මහණෙනි මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා වෙයි.
“මහණෙනි, මේ පුද්ගල තෙමේ ඉදින් ප්‍රශ්න අසන ලද්දේ අනික් කථාවකින් අනික් කථාවක් නොවසයිද, කථාව අන් අතකට යොමු නොකරයිද කොපය දොසයද නොසතුටද පහළ නොකරයිද මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළයුතු පුද්ගලයා නම් වෙයි.
“මහණෙනි, කථාවෙහි යෙදෙන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි, පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ සූත්‍ර ගෙන හැර දක්ව දක්වා යටපත් කරයිද. කරුණු ගෙන හැර දක්වා මඩීද, මහසිනා පහළ කෙරේද, සුලු වැරදීමක් දැක එය අල්වා ගනීද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නම් වෙයි.
“මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ සූත්‍ර ගෙනහැර දක්වමින් යටපත් නොකරයිද, කරුණු ගෙනහැර දක්වා නොමඩීද, මහසිනහ පහළ නොකරයිද සුලු වරදක් දැක අල්ලා නොගනියිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නම් වෙයි.
“මහණෙනි, කථාවෙහි යෙදෙන්නවුන් විසින් ඉදින් හෙතු සම්පත් ඇත්තෙක්ද ඉදින් හෙතු සම්පත් නැත්තෙක් දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, කන් යොමු නොකරන්නා හෙතු සම්පත් නැති පුද්ගලයා නම් වෙයි. කන් යොමු කරන්නා හෙතු සම්පත් ඇති පුද්ගලයා නම් වෙයි. ඒ හෙතු සම්පත් ඇති පුද්ගල තෙමේ එක් ධර්මයක් (මාර්ග සත්‍ය) අවබොධ කරයි. එක් ධර්මයක් (දුක්ඛ සත්‍ය) පිරිසිඳ දැනගනියි. එක් ධර්මයක් (සමුදය සත්‍ය) පහ කරයි. එක් ධර්මයක් (අර්හත් ඵලය හෝ නිර්වාණය) ප්‍රත්‍යක්ෂ කරයි එක් ධර්මයක් අවබොධ කරන්නාවූ එක් ධර්මයක් පිරිසඳ දැන ගන්නාවූ එක් ධර්මයක් පහකරන්නාවූ එක් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරන්නාවූ හෙතෙමේ අර්හත් ඵල විමුක්තිය ස්පර්ශ කරයි. මහණෙනි උපාදානයන් කෙරෙන් චිත්තයාගේ යම් ඒ මිදීමක් වෙයිද කථාව ඒ අර්ථය පිණිස වන්නීය. මන්ත්‍රණය ඒ අර්ථය පිණිස වන්නේය. හෙතු සම්පත්තිය ඒ අර්ථය පිණිස වන්නීය. කන් යොමු කිරීම ඒ අර්ථය පිණිස වන්නේය.”
(1) “කොපයෙන් විරුද්ධවූ බැස ගත්තාවූ මානයෙන් ඔසවන ලද්දාවූ ඔවුනොවුන්ගේ සිදුරු සොයන්නාවූ යම් කෙනෙක් අනුන්ගේ ගුණ මකා අනාර්‍ය්‍ය කථා කරද්ද.
(2) “ඔවුනොවුන්ගේ නපුරු වචනයටද වැරදීමෙන් කියවුණ වචනයටද ප්‍රමාද දෝෂයටද පරාජයටද සතුටු වෙත්. ආර්‍ය්‍යතෙම ඒ කථාව නොකියන්නේය.
(3) “ඉදින් පණ්ඩිත තෙම සුදුසු කාලය දැන කථා කරනු කැමති වන්නේද ධර්මයෙන් හා අර්ථයෙන් යුක්තවූ ආර්‍ය්‍යයන්ගේ යම් චරිත කථාවක් වන්නීද.
(4) “කොපයෙන් විරුද්ධ නොවූ මානයෙන් නොඔසවන ලද්දාවූ යුගග්‍රහ වශයෙන් නොගන්නාවූ සාහසික නොවූ පණ්ඩිත තෙම නොවිසිර ගිය සිතින් ඒ කථාව කියන්නේය.
(5) “ඊෂ්‍ය_ා නොකරන්නාවූ හෙතෙම මනාව දැන කියයි. යහපත් වචනය අනුමෝදන් වන්නේය. අයහපත් වචනයෙහි නොගැලෙන්නේය.
(6) “එකට එක කිරීමට නුපුරුදු වන්නේය. පැකුලුණු වචනය වරද කොට නොගන්නේය. කාරණය යටපත් නොකරන්නේය, මර්දනය නොකරන්නේය. සැබෑ බොරු දෙකින් යුක්තවූ වචනය නොකියන්නේය.
(7) “සත්පුරුෂයන්ගේ කථාව එකාන්තයෙන් දැන ගැනීම පිණිසද පැහැදීම පිණිසද වෙයි. මෙසේ ආර්‍ය්‍යයෝ කථා කෙරෙත්. මෙය ආර්‍ය්‍යයන්ගේ කථාවයි. ප්‍රභූ තෙම මෙය දැන මානයෙන් උඩඟු නොවී කථා කරන්නේය.