අංගුත්තර නිකාය

එක නිපාතය

7. මහා වර්ගය

70. විසාඛුපොසථ සූත්‍රය

“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මිගාර මාතාවූ විශාඛා උපාසිකා තොමෝ එදවස් පොහෝ දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාය පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නීය.

“එක් පසෙක හුන් මිගාර මාතා විශාඛා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ “විශාඛාවෙනි, මේ දවල් කාලයෙහි කොහි සිට එන්නෙහි දැයි?” වදාළේය.

“ස්වාමීනි, මම අද පෙහෙවස් සමාදන්ව වෙසෙමියි” කීය.

“විශාඛාවෙනි, මේ උපොසථතුනක් වෙත්. කවර තුනක්ද ගොපාලක උපොසථය නිගණ්ඨ උපොසථය අරිය උපොසථය යන මේ තුනය.

‘විශාඛාවෙනි, කෙසේ නම් ගොපාලක උපොසථ ශීලය වන්නේද? විශාඛාවෙනි, යම්සේ ගොපලු තෙම සවස් කාලයෙහි ගවයන් ස්වාමියන්ට බාර දී මෙසේ සිතන්නෙහිද? කෙසේද? ‘අද ගවයෝ අසවල් අසවල් තන්හි හැසුරුණාහ. අසවල් අසවල් තන්හි පැන් පූහ. හෙට ගවයෝ අසවල් අසවල් තන්හි හැසිරෙන්නාහ. අසවල් අසවල් තන්හි පැන් බොන්නාහ’ කියායි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම මේ ලොකයෙහි පෙහෙවස් සමාදන්වූ ඇතැමෙක් මෙසේ සිතයි. කෙසේද ‘අද මම මේ මේ කෑ යුතු දෙය කෑවෙමි. මේ මේ පානය කළ යුතු දේ පානය කෙළෙමි. මම හෙට මේ මේ කෑ යුතු දේ කන්නෙමි. මේ මේ පානය කළ යුතු දේ බොන්නෙමි’ කියායි. හෙතෙම ඒ ලොභයෙන් අභිධ්‍යා සහගත සිතින් දවස ඉක්මවයි. විශාඛාවෙනි මෙසේ ගොපාලක උපෝසථය වේ.

“විශාඛාවෙනි, මෙසේ වසන ලද ගොපාලක උපොසථය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහානිසංස ඇත්තේ නොවෙයි. මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. මහත්වූ පැතිරීම් ඇත්තේ නොවෙයි.

“විශාඛාවෙනි, කෙසේ නම් නිගණ්ඨ උපොසථය වේද, විශාඛාවෙනි, නිගණ්ඨ නම්වූ ශ්‍රමණ වර්ගයක් ඇත. ඔව්හු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත් කෙසේද? ‘පින්වත, මෙහි එව පූර්ව දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්වයෝ වෙත් නම් ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. පශ්චිම දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්වයෝ වෙත් නම් ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. උතුරු දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්වයෝ වෙත් නම් ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. දකුණු දිශාවෙහි යොදුන් සියයකින් එපිට යම් සත්වයෝ වෙත් නම් ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව’ කියායි. මෙසේ සමහර සතුන් කෙරෙහි කරුණාව පිණිස අනුකම්පාව පිණිස සමාදන් කරවත්. සමහර සත්වයන් කෙරෙහි අකරුණාව පිණිස අනනුකම්පාව පිණිස සමාදන් කරවත්. ඔවුහු පොහෝ දිනයෙහි ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. කෙසේද? ‘පින්වත් පුරුෂය, මෙහි එව සියලු වස්ත්‍ර බහා තබා මම කිසි තැනක කිසිවෙකුට පළිබොධ නොවෙමි. මට කිසි තැනෙක්හි කිසියම් දෙයෙක්හි පළිබොධක් නැතැයි’ කියව. (එහෙත්) ඔහුගේ මවුපියෝ මේ අපගේ පුත්‍රයා යයි දනිත්. ඔහුද මේ මගේ මවුපියෝ යයි දනිත්. ඔහුගේ අඹු දරුවෝද මේ අපගේ පොෂ්‍ය කරන්නා යයි දනිත්. ඔහුද මේ මගේ අඹු දරුවෝ යයි දනිත්. ඔහුගේ දැසි දස් කම්කරුවෝද මේ අපගේ ස්වාමියායයි දනිත්. ඔහුද මේ මගේ දැසි දස් කම්කරුවෝයයි දනිත්. මෙසේ යම් කලෙක සත්‍යයෙහි සමාදන් කරවීය යුත්තාහුද එකල බොරුවෙහි සමාදන් කරවත්. මේ ඔහුගේ මුසාවාදයයි කියමි. හෙතෙම ඒ රාත්‍රිය ගෙවීමෙන් පසු නුදුන්නාවූම ඇඳ පුටු කැඳ බත් ආදි පරිභොග කරයි. මේ ඔහුගේ අදින්නාදානය (සොරකම) යයි කියත්. විශාඛාවෙනි නිගණ්ඨ උපොසථය වෙයි.

විශාඛාවෙනි, “මෙසේ වසනලද නිගණ්ඨ උපොසථය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහත් ආනිසංස ඇත්තේ නොවෙයි මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. පැතුරුණු විපාක ඇත්තේ නොවෙයි.

“විශාඛාවෙනි, කෙසේ අරිය උපොසථය වේද? විශාඛාවෙනි, කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුව සිත කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයිද?

“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය අනුත්තර පුරිසදම්ම සාරථීය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද, තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලෙශයෝ වෙත්ද ඒ ක්ලෙශයෝ පහ වෙත්.

“විශාඛාවෙනි, කිළුටුවූ හිස උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි කිලුටුවූ හිස උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වේද? නෙල්ලි කල්කය නිසාත් මැටි නිසාත් ජලය නිසාත් ඊට සුදුසුවූ පුරුෂයාගේ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ හිස උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.

(මෙහි මේ සූත්‍රයේ 8 ඡෙදය යෙදිය යුතුයි.)

“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බ්‍රහ්ම උපොසථය වන්නේ වෙයි. තථාගතයන් නමැති බ්‍රහ්මයා හා සමඟ වසන්නේ වෙයි. තථාගතයන් නමැති බ්‍රහ්මයා අරබයා සිත පහදවයි. ප්‍රීතිය උපදවයි. ඔහුගේ සිතේ යම් ක්ලෙශයෝ වෙත් නම් ඒ ක්ලෙශයෝ පහ වෙත්.

“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?

“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් විසින් ධර්මය මනාව දෙශනා කරන ලදී. සන්දිට්ඨිකය අකාලිකය, එහිපස්සිකය, ඔපනයිකය නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුතුයයි ධර්මය සිහි කරයිද, ධර්මය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලෙශයෝ වෙත් නම් ඒ ක්ලෙශයෝ පහවෙත්.

“විශාඛාවෙනි, කිලිටුවූ ශරීරය උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි’ විශාඛාවෙනි, කිලුටුවූ ශරීරය කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේද? කුරුවින්දක ගල් සුණු වලින් සාදන ලද ඇඟ උලන ගල නිසාත් ඇඟ ගාන සුණු නිසාත් ජලය නිසාත් ඊට සුදුසුවූ පුරුෂයාගේ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ කය උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?

(මේ ඡෙදය මේ සූත්‍රයේ 13 ඡෙදය මෙනි.)

“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ධර්ම උපොසථයෙහි වසයි. ධර්මය හා සමඟ වාසය කරයි. ධර්මය අරබයා ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලෙශයෝ වෙත් නම් ඒ ක්ලෙශයෝ පහවෙත්. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.

“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කෙසේ නම් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වේද?

“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝතෙම උජුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම ඤායපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සාමීචිපටිපන්නය. යම් ඒ පුරිස යුග සතරක්ද පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක්ද ඇත්තාහුද භාග්‍යවත්හුගේ ඒ ශ්‍රාවක සංඝ තෙම ආහුණෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලි කරණීය වෙයි. ලොකයාගේ අනුත්තර පුන්‍යක්ෂෙත්‍රය වේයයි, සංඝයා සිහි කරයිද සංඝයා සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලෙශයෝ වෙත් නම් ඒ ක්ලෙශයෝ පහ වෙත්.

“විශාඛාවෙනි, යම්සේ අපිරිසිදුවූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේද, විශාඛාවෙනි, කෙසේ කිලිටුවූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේද, උනුසුම නිසාද, අලු කාරම් නිසාද, ගොම නිසාද, ජලය නිසාද, පුරුෂයාගේ ඊට සුදුසු වෑයම් නිසාද විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටුවූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේ.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 18 ඡෙදය මෙනි.)

“විශාඛාවෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සංඝ උපොසථයෙහි වාසය කරයි. සංඝයා හා සමඟ වාසය කරයි. සංඝයා අරබයා ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලෙශයෝ වෙත් නම්, ඒ ක්ලෙශයෝ පහවෙත්. විශාඛාවෙනි, මෙසේ කිලුටුසිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.

“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වෙයිද?

“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම කඩ නොවූ සිදුරු නොවූ කබර නොවූ කැලැල් නොවූ තෘෂ්ණාවට යටත් නොවූ නුවණැතියන් විසින් ප්‍රශංසා කරන ලද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අල්වා නොගන්නා ලද සමාධිය පිණිස පවත්නා තමාගේ ශීලය සිහි කරයිද, සීලය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලෙශයෝ වෙත් නම් ඒ ක්ලෙශයෝ පහවෙත්.

“විශාඛාවෙනි, කිලුටුවූ කැඩපත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ කැඩපත උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වෙයිද? තෙල් නිසාත් අලු නිසාත් බුරුසුව නිසාත් පුරුෂයාගේ ඊට සුදුසුවූ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ කැඩපත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, මෙසේ කිලිටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදුවීම වේ.

“විශාඛාවෙනි, කෙසේ නම් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?

“(මේ ඡෙදය මේ සූත්‍රයේ 23 ඡෙදය මෙනි.)

“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම සීල උපොසථයෙහි වසන්නේය. සීලය හා සමඟ වාසය කරයි. ඔහුගේ සීලය අරබයා සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලෙශයෝ වෙත් නම් ඒ ක්ලෙශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.

“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?

“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම චාතුර්මහාරාජික දෙවියෝ ඇත්තාහ. තව්තිසා දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුසිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. එයින් මත්තෙහි බ්‍රහ්ම කායික දෙවියෝ ඇත්තාහ. යම්බඳුවූ ශ්‍රද්ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද මාහටද එබඳුවූ ශ්‍රාද්ධාවක් ඇත. යම් බඳුවූ සීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද එබඳුවූ සීලයක් මටද ඇත. යම්බඳුවූ ශ්‍රැතයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද මට ද එබඳුවූ ශ්‍රැතයක් ඇත. යම්බඳුවූ ත්‍යාගයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ත්‍යාගයක් ඇත. යම් බඳුවූ ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද මටද එබඳුවූ ප්‍රඥාවක් ඇත. තමාගේද ඒ දෙවියන්ගේද ශ්‍රද්ධාවද ශීලයද ශ්‍රැතයද ත්‍යාගයද ප්‍රඥාවද සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලෙශයෝ වෙත් නම් ඒ ක්ලෙශයෝ පහ වෙත්.

“විශාඛාවෙනි කිලුටුවූ කාසියක් උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ කාසියක් කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු වන්නේද? විශාඛාවෙනි, කොව නිසාත් ලුණු නිසාත් ගෙරුක චූර්ණය නිසාත් පිඹින නලය හා අඬුව නිසාත් ඊට සුදුසුවූ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලුටු සිත උපක්‍රමයෙන් පිරිසිදුවීම වෙයි. විශාඛාවෙනි එපරිද්දෙන්ම කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදුවීම වෙයි.

“විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වේද?

“(මේ ඡෙදය මේ සූත්‍රයේ 28 ඡෙදය මෙනි.)

“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෙවතා උපොසථයෙහි වසායයිද දෙවියන් සමඟ වාසය කෙරේයයිද, කියනු ලැබේ. ඔහුගේ සිත දෙවියන් අරබයා පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලෙශයෝ වෙත් නම්, ඒ ක්ලෙශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.

“විශාඛාවෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සිතයි. කෙසේද? රහත්හු දිවි ඇතිතාක් ප්‍රාණඝාතය දුරු කොට ප්‍රාණඝාතයෙන් වෙන්ව බහා තබනලද දඬු ඇතිව බහා තැබූ ආයුධ ඇතිව ලජ්ජා ඇතිව දයාවෙන් යුක්තව සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව, වාසය කරත්. ‘මම ද මේ රාත්‍රියද මේ දවාලද ප්‍රාණඝාතය දුරුකොට ප්‍රාණ ඝාතයෙන් වැළකී බහා තැබූ දඬු ඇතිව බහා තැබූ ආයුධ ඇතිව ලජ්ජා ඇතිව දයා ඇතිව සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරමි. මම මේ අංගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපොසථයද වසන ලද්දේ වෙයි.

“රහත්හු දිවි ඇතිතාක් නුදුන් දෙය ගැනීම දුරු කොට නුදුන් දෙය ගැනීමෙන් වෙන්ව දුන් දෙයක්ම ගනිමින් දුන් දෙයක්ම කැමති වෙමින් සොර නොවූ පිරිසිදුවූ ආත්ම භාවයෙන් වාසය කරයිද ‘මමද මේ රාත්‍රියත් මේ දවාලත් නුදුන් දෙය ගැනීම දුරුකොට නුදුන් දෙය ගැනීමෙන් වෙන්ව දුන් දෙයම ගනිමින් දුන් දෙයම කැමති වෙමින් සොර නොවූ පිරිසිදුවූ ආත්ම භාවයෙන් වාසය කරමි. මම මේ අංගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපොසථය වසන ලද්දේද වන්නේය.

“රහත්හු දිවි ඇතිතාක් අබ්‍රහ්මචර්‍ය්‍යාව දුරුකොට බ්‍රහ්මචාරීව අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් ඈත්ව මෛථුන සංඛ්‍යාත ග්‍රාම ධර්මයෙන් වෙන්ව වාසය කරත්. ‘මමද මේ රාත්‍රියත් මේ දවාලත් අබ්‍රහ්මචර්‍ය්‍යාව පහකොට බ්‍රහ්මචාරීව, අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් දුරුව මෛථුන සංඛ්‍යාත ග්‍රාම ධර්මයෙන් වෙන්ව වාසය කරමි. මම මේ අංගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. මෙසේ කරන්නාවූ මා විසින් උපොසථය වසන ලද්දේද වන්නේය.

“රහත්හු දිව ඇතිතාක් මුසාවාදය හැර මුසාවාදයෙන් වැළක සත්‍යය කියමින් සත්‍යයෙන් සත්‍යය ගළපමින් ස්ථිර වචන කියමින් ඇදහිය හැකි වචන කියමින් ලොකයා වංචා නොකරත්ද, ‘මමද අද මේ රාත්‍රියද මේ දවාලද බොරුව අත්හැර බොරුවෙන් වැලැක්කේ ඇත්ත කියමින් ඇත්තෙන් ඇත්ත ගලපමින් ස්ථිර වචන කියමින් ඇදහිය හැකි වචන කියමින් ලොකයා වංචා නොකරමි. ‘මම මේ අංගයෙන්ද රහතුන් අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපොසථයද වසන ලද්දේ වෙයි.

“රහත්හු දිවිඇතිතාක් මදයට හා ප්‍රමාදයට හෙතුවූ රහමෙර පීම හැර මදටය හා ප්‍රමාදයට හෙතුවූ රහමෙර පීමෙන් වැලැක්කාහුය. ‘මමද අද මේ රාත්‍රියද මේ දවාලද මදයට හා ප්‍රමාදයට හෙතුවූ රහමෙර පීමෙන් වෙන්වෙමි. මම මේ අංගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපොසථයද වසන ලද්දේ වෙයි.

“රහත්හු දිවිඇතිතාක් එකවේලේ වළඳන බත් ඇත්තාහ. රාත්‍රි අනුභවයෙන් වැළැක්කාහ. නොකල් බොජුනෙන් වැලැක්කාහ. ‘මමද අද මේ දවාලද මේ රාත්‍රියද එක බතක් ඇත්තෙම් රාත්‍රි භොජනයෙන් වැලකී නොකල්හි බොජුනෙන් වැලකීමි. ‘මම මේ අංගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපොසථයද වසන ලද්දේ වෙයි.

“රහත්හු දිවි ඇතිතාක් නැටීම, නැටවීම, ගී කීම, කියවීම, බෙර ආදිය ගැසීම, ගැස්සවීම, නැටුම් වැයුම් ආදී විහිළු දැකීම, මල් සුවඳද විලවුන් පාවිච්චිය සැරසීම අලංකාර කරගැනීම යන මෙයින් වෙන්වූවාහුද ‘මමද අද මේ රාත්‍රියද දවාලද නැටීම නැටවීම ගී කීම කියවීම බෙර ආදිය ගැසීම ගැස්සවීම නැටුම් වැයුම් ආදී විහිළු දැකීම මුල් සුවඳ විලවුන් පාවිච්චිය සැරසීම අලංකාර කරගැනීම යන මෙයින් වෙන් වෙමි. මම මේ අංගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපොසථයද වසන ලද්දේ වෙයි.

“රහත්හු දිවි ඇතිතාක් උස් ආසන මහා ආසන හැර උස් ආසන මහා ආසනයෙන් වෙන්වූවාහු මිටි රියන් පමණ ඇඳෙහි හෝ තණ ඇතිරියෙහි හෝ මිටි අස්නෙක හොවිත්. ‘මමද අද මේ රාත්‍රියද දවාලද උස් ආසන මහා ආසන හැර මිටි රියනක් පමණ ඇඳෙහි හෝ තණ ඇතිරියක හෝ හොවීමි. මම මේ අංගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපොසථයද වසන ලද්දේ වෙයි.’

“විශාඛාවෙනි, මෙසේ විසූ ආර්‍ය්‍ය උපොසථය මහත්ඵල වේ. මහත් ආනිසංස වේ. මහත් බැබලීම් ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය. කොපමණ මහත් ඵල මහත් ආනිසංස, මහත් බැබලීම් මහත් පැතිරීම් ඇත්තේද.

විශාඛාවෙනි, යම්සේ බොහෝ සත්රුවන් ඇති මේ සොළොස් ජනපදයන් ඇති දඹදිව එෛශ්චර්‍ය්‍යයෙන් අධිපතිවූ චක්‍රවර්ති රජ වන්නේද, ඒ සොළොස් ජනපදය කවරේද? අඟු, මගධ, කාශි, කොශල, වජ්ජි, මල්ල, චෙතිය, වංග, කුරු, පඤ්චාල මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බොජ යන මෙයයි. මේ සක්විතිරාජ්‍යය අංග අටකින් යුක්ත උපොසථයාගේ දහසයට බෙදූ කොටසක් පමණවත් නොවන්නේය. ඊට හෙතු කවරේද? විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල චක්‍රවර්ති රාජ්‍යය ස්වල්ප දෙයකි.

“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ පනසක් වේද මෙය චාතුර්මහාරාජික දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් චාතුර්මහාරාජික වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.

“විශාඛාවෙනි, මේ ලොකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් උපෝසථය වැස ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදින්නේය. යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජ කම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.

“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ සියයක් වේද, මෙය තව්තිසා වැසි දෙවියන්ට (43 වෙනි ඡෙදයේ “එක්” යන පදයේ සිට “දිව්‍ය වර්ෂ” යන පදය දක්වා යොදාගත යුතුයි.) දහසක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.

(44 වෙනි ඡෙදය යොදාගත යුතුයි. ‘චාතුර්මහාරාජික’ වෙනුවට ‘තව්තිසා’ යොදන්න.)

“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ දෙසියයක් වේද මෙය යාම දෙව්ලෝ වැසි දෙවියනට (43 වෙනි ඡෙදයේ “එක්” යන පදයේ සිට “දිව්‍ය වර්ෂ” යන පදය දක්වා යොදාගත යුතුයි.) දෙදාහක් යාම දෙව්ලොව වැසි දෙවියන්ගේ ආයුප්‍රමාණයයි.

(44 වෙනි ඡෙදය යොදාගත යුතුයි. ‘චාතුර්මහාරාජික’ වෙනුවට ‘යාම’ යොදන්න.)

“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ සාරසියයක් වේද, මෙය තුසිත දෙව්ලොව වැසි දෙවියනට (43 වෙනි ඡෙදයේ “එක්” යන පදයේ සිට “දිව්‍යවර්ෂ” යන පදය දක්වා යොදාගත යුතුයි) හාරදාහක් තුසිත දෙව්ලොව වැසි දෙවියන්ගේ ආයුප්‍රමාණයයි

(44 වෙනි ඡෙදය යොදාගත යුතුයි. ‘චාතුර්මහාරාජික’ වෙනුවට ‘තුසිත’ යොදන්න.)

“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ අටසියයක් වේද මෙය නිර්මාණරතී දෙවියන්ට (43 වෙනි ඡෙදයේ “එක්” යන පදයේ සිට “දිව්‍ය වර්ෂ” යන පදය දක්වා යොදාගත යුතුයි.) අටදාහක් නිර්මාණරතී දෙවියන්ගේ ආයුප්‍රමාණයයි.

(44 වෙනි ඡෙදය යොදාගත යුතුයි. ‘චාතුර්මහාරාජික’ වෙනුවට ‘නිර්මාණරති’ යොදන්න.)

විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ දහසයසීයක් වේද, මෙය පරනිර්මිත වසවර්තී දෙව්ලොව වැසි දෙවියන්ට (43 ඡෙදයේ “එක්” යන පදයේ සිට “දිව්‍යවර්ෂ” යන පදය දක්වා යොදාගත යුතුයි.) දහසයදාහක් පරනිර්මිත වසවර්ති දෙව්ලොව දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.

(44 වෙනි ඡෙදය යොදාගත යුතුයි. ‘චාතුර්මහාරාජික’ වෙනුවට ‘පරනිර්මිත වසවර්ති’ යොදන්න.)

(1) “සතුන් නොමැරීම, අන්සතු වස්තුව නොගැනීම, බොරු නොකීම, මත්පැන් නොබීම කරන්නෙකු විය යුතුයි. මෛථුන සංඛ්‍යාත ශ්‍රෙෂ්ඨ නොවන හැසිරීමෙන් වැලකීම, රෑ කෑම සංඛ්‍යාත නොකල්හි කෑම නොකළ යුතුයි

(2) මල්මාලා දැරීම, සුවඳ පාවිච්චිය නොකළ යුතුයි. මිටිරියන් ඇඳෙහි හෝ බිම තණ ඇතිරියෙහි හෝ සයනය කළයුතුයි. මේ අංග අටකින්යුත් උපොසථයයි දුක් කෙළවර කළ බුදුන් විසින් වදාරණලදී.

(3) “යහපත් දැකුම් ඇති අඳුරු දුරු කරණ චන්ද්‍රයාද සූර්‍ය්‍යයාද යන දෙදෙන බැබලෙමින් හැසිරෙත්ද, අහසෙහි සැරිසරණ ඒ දෙදෙන දිශා බබුළුවමින් අහසෙහි හැසිරෙත්ද.

(4) “මේ අතර මුතුද මැණික්ද යහපත්වූ වෛධූර්‍ය්‍ය මැණික්ද අං හැඩය ඇති සිංඟී නම් රුවන්ද නොහොත් පර්වතවල ඇතිවන රුවන්ද යන යම් ධනයක් ඇත්ද යම් රුවනක් රුවන්ම වේද කුහුඹු විසින් මෑත් කරණ ලද්දේද.

(5) “ඒ මුතු මැණික් අංග අටකින් යුත් උපොසථයාගේ දහසයෙන් කොටසක්වත් නොඅඟනේය. චන්ද්‍ර රශ්මියට සෙසු තාරකා මෙනි. එසේ හෙයින් සීලයෙන් යුත් ස්ත්‍රි පුරුෂයන්

(6) “අංග අටෙන් යුත් උපොසථ වැස සැප විපාක ඇති පින්කොට කිසිකෙනෙකුගෙන් නින්දා නොලබා දිව්‍ය ලොකයට පැමිණෙත්.”

(දෙවෙනි මහාවර්ගය නිමි)