අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)

5. බ්‍රාහ්මණ සච්ච සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි ප්‍රසිද්‍ධ බොහෝ පරිබ්‍රාජකයෝ සප්පිනික ගඟ අද්දර පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරත්. එනම් අන්නභාර, වරධර, සකුළුදායී, පරිබ්‍රාජිකාවන්ද අනිකුත් ප්‍රසිද්ධ පරිබ්‍රාජිකාවන්ය.

’’එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ඵල සමවතින් නැගිටි සේක් සප්පීනියා තීරයෙහි පරාබ්‍රාජකාරාමය යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. එකල්හි වනාහි රැස්වූ වැඩහුන් ඒ පරිබ්‍රාජකයෝ අතර, ’මේත් බ්‍රාහ්මණ සත්‍යය, මේත් බ්‍රාහ්මණ සත්‍යයයි , මේ අතුරු කතාවක් පහළවිය.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පරිබ්‍රාජකයෝ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ පණවන ලද අස්නෙහි වැඩ සිටි සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ ඒ පරිබ්‍රාජකයන්ට, ’පරිබ්‍රාජකවරුනි, දැන් කවර කථාවකින් සිටියාහුද? තොපගේ කවර කථාවක් අඩාලවිනිදැ?’ යි කී සේක.

’’භවත් ගෞතමයන් වහන්ස, මෙහි වැඩහුන් රැස්වූ අප අතරේ, ’මෙසේද බ්‍රාහ්මණ සත්‍යය, මෙසේද බ්‍රාහ්මණ සත්‍යයි’ මේ අතුරු කතාව පහළවූයේය’’ යි කීවාහුය.

’’පරිබ්‍රාජකාවරුනි, මේ බ්‍රහ්මණ සත්‍ය සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥාානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශකරණ ලද්දාහ. කවර සතරක්ද යත්.

’’පරිබ්‍රාජකවරුනි, මේ ලෝකයෙහි බමුණු තෙමේ සියළු ප්‍රාණීහු නොවඳයයි කීහ.

’’මෙසේ කියන බ්‍රාහ්මණ තෙම සත්‍යයක් කීහ. බොරුවක් නොකීහ. හෙතෙම ඒ කරුණින් ශ්‍රමණයෙක් නොවේයයි හඟියි. ශ්‍රේෂ්ට වෙමියි නොහඟියි. සමාන වෙමියි නොහඟියි. හීන වෙමියි නොහඟියි.

’’එතකුදු වුවත් යමක් එහි සත්‍යයද, එය විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රාණීන්ගේම දයාව අනුකම්පාව පිණිස පිළිපන්නේ වේ.

’’පරිබ්‍රාජක වරුනි, නැවතද බමුණු තෙම සියලු කාමයෝ අනිත්‍යය, දුක්ය, වෙනස්වන ස්වභාව ඇත්තේයයි කීහ. මෙසේ කියන බ්‍රාහ්මණ තෙම සත්‍යයක් කීහ. බොරුවක් නොකීහ. හෙතෙම ඒ කරුණින් ශ්‍රමණයෙක් නොවේයයි හඟියි. ශ්‍රේෂ්ට වෙමියි නොහඟියි. සමාන වෙමියි නොහඟියි. හීන වෙමියි නොහඟියි. ’’යමක් එහි සත්‍යයද, එය විශිෂ්ට ඥානයෙන් දැන කාමයන්ගේම නිර්‍වෙදය, නොඇලීම පිණිස, නිරුද්‍ධය පිණිස, පිළිපන්නේ වේ.

’’පරිබ්‍රාජකවරුනි, නැවත අනිකක් කියමි. බ්‍රාහ්මණ තෙමේ සියලු භවයෝ අනිත්‍යය, දුක්ය, පෙරලෙන ස්වභාව ඇත්තේයයි මෙසේ කියන බ්‍රාහ්මණ තෙම සත්‍යයක් කීහ. බොරුවක් නොකීහ. හෙතෙම ඒ කරුණින් ශ්‍රමණයෙක් නොවේයයි හඟියි. ශ්‍රේෂ්ට වෙමියි නොහඟියි. සමාන වෙමියි නොහඟියි. හීන වෙමියි නොහඟියි. යමක් එහි සත්‍යයද, එය විශිෂ්ට ඥානයෙන් දැන භවයන්ගේම නිර්‍වෙදනිය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධය පිණිස, පිළිපන්නේ වේ.

’’පරිබ්‍රාජකවරුනි, නැවතද අනිකක් කියමි. මම කිසි තැනෙක්හි නැත. කිසිවෙකුගේයයි කැඳවියයුතු කොටද නැත. අනුන්ගේ ආත්මය කොහිත් නැත. කිසි තැනෙක්හි නැතැයි මෙසේ කියන බ්‍රාහ්මණ තෙම සත්‍යයක් කීහ. බොරුවක් නොකීහ. හෙතෙම ඒ කරුණින් ශ්‍රමණයෙක් නොවේයයි හඟියි. ශ්‍රේෂ්ට වෙමියි නොහඟියි. සමාන වෙමියි නොහඟියි. හීන වෙමියි නොහඟියි. යමක් එහි සත්‍යද, එය විශිෂ්ට ඥානයෙන් දැන පලිබෝධ රහිත ප්‍රතිපදාවකට පිළිපන්නේ වේ. පරිබ්‍රාජකවරුනි. මේ බ්‍රාහ්මණ සත්‍ය සතර මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන දේශනා කරණ ලද්දාහ.’’