අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. ධම්මික වර්‍ගය

9. අස්සුත සවන සූත්‍රය

’’ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ.

’’ඇවැත් ශාරීපුත්‍රයිනි, කොපමණකිත් භික්‍ෂුව නොඇසුවාවූ ධර්‍මය අසාද. ඇසුවාවූද ධර්‍මය අමතක වීමට නොයේද, ඔහුගේ යම් ධර්‍මයෝ පෙර සිතින් ස්පර්‍ශ කරණ ලද්දේ එයද රැස්කරත්ද නොදන්නා ලද්දද දනිත්ද?’’ යනුයි. ආයුෂ්මත්වූ ආනන්‍ද ස්ථවිර තෙම බහුශ්‍රුතවූයේ, ආයුෂ්මත්වූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේටම එය වැටහේවා.’’

’’එහෙයින් ආයුෂ්මත්වූ ශාරීපුත්‍රයෙනි, මනාකොට අසනු මැනවි. ප්‍රකාශ කරන්නෙමි.’’ - ’’එසේය ඇවැත්නි’’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුව සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්‍මය, වෙදල්ලය, යන ධර්‍මයන් ප්‍රගුණ කරයිද, ඇසුවාවූ, දැරුවාවූ ධර්‍මයන් අනුන්ට විස්තර වශයෙන් කියවාද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයෝ ශබ්ද නගා කියවයිද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයෝ සිතින් කල්පනා කරයිද, විචාරයිද, ඒ අනුව සිත යොදවාද, යම් ආවාසයක බොහෝ දේ දන්නා පැමිණි ධර්‍මය ඇත්තාවූ, ධර්‍මධරවූ, විනයධරවූ, ප්‍රාතිමෝක්‍ෂයන් දන්නාවූ, ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්ද. ඒ ආවාසයෙහි වස් එළඹේද, උන්වහන්සේලා වෙත කලින් කල අවුත්, ’ස්වාමීනි, මෙය කෙසේද, මෙහි අර්ත්‍ථය කෙසේදැ’ යි විචාරද්ද, ප්‍රශ්න කෙරෙත්ද, ඒ ආයුෂ්මත්වරු ධර්‍මයාගේ නොදන්නා තැන් කියා දෙත්. ගැඹුරු තැන් ලිහිල්කර දෙත්. නොයෙක් සැක ඇති ධර්‍ම පදයන්හි සැක නැතිකර දෙත්. ශාරීපුත්‍රය, මෙතෙකින් වනාහි භික්‍ෂුව නොඇසූ ධර්‍මය අසයි. ඇසුවාවූ ධර්‍මය අමතක නොකර ගනියි. ඔහුගේ යම් ධර්‍මයෝ පෙර සිතින් ස්පර්‍ශ කරණ ලද්දේ, එයද රැස්කරත්. නොදන්නා ලද්ද දැනගනියි.’’

’’ආනන්‍දයෙනි, පුදුමයකි. ආනන්‍දයෙනි, පෙර නොවූ දෙයකි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් යහපත් ප්‍රකාශයක් කරණ ලදී. අපි මේ ධර්‍ම සයින් යුක්තවූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සිහිපත්කර ගනිමු. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්‍මය, වෙදල්ලය, යන ධර්‍මයන් ප්‍රගුණ කරයිද, ඇසුවාවූ, දැරුවාවූ ධර්‍මයන් අනුන්ට විස්තර වශයෙන් කියවාද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයෝ ශබ්ද නගා කියවයිද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයෝ සිතින් කල්පනා කරයිද, විචාරයිද, ඒ අනුව සිත යොදවාද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම යම් ආවාසයක බහුශ්‍රුතවූ, ධර්‍මයට පැමිණියාවූ, ධර්මධරවූ, විනයධරවූ, ප්‍රාතිමොක්‍ෂයන් දරන්නාවූ, ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්ද. ඒ ආවාසයෙහි වස් වෙසෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම කලින් කල උන්වහන්සේලා වෙත ගොස්, ’ස්වාමීනි, මෙය කෙසේද? මෙහි අර්ත්‍ථය කෙසේදැයි?’ විචාරයි. ප්‍රශ්න කරයි. ආයුෂ්මත්වූ ආනන්‍ද ස්ථවිරයන්ට උන්වහන්සේලා විස්තර නොවූ දෙය විස්තර කරත්. ගැඹුරු දෙය ලිහිල් කොට දෙත්. නොයෙක් සැක කටයුතු ධර්‍මයන්හි සැක නැති කොට දෙත්.’’