අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. ධම්මික වර්‍ගය

10. ඛත්තියාධිප්පාය සූත්‍රය

’’ඉක්බිති ජානුස්සෝනී බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය.

’’භවත් ගෞතමයන් වහන්ස, රාජවංශිකයෝ කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?

’’බ්‍රාහ්මණය, රාජවංශිකයෝ භොගයන් බලාපොරොත්තු ඇත්තෝය. නුවණ විචාරන්නෝය. බලය අධිෂ්ඨානකොට ඇත්තෝය. පොළොවට ආලය ඇත්තෝය. සම්පත් කෙළවරකොට ඇත්තෝය.’’

’’භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?

’’බ්‍රාහ්මණය, බමුණෝ භොගය බලාපොරොත්තු ඇත්තෝය. නුවණ විචාරන්නෝය. මන්ත්‍ර අධිෂ්ඨානකොට ඇත්තෝය. යාගයෙහි ආලය ඇත්තෝය. බ්‍රහ්මලෝකය කෙළවරකොට ඇත්තෝය.’’

’’භවත් ගෞතමයන් වහන්ස, ගෘහපතීහු කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?

’’බ්‍රාහ්මණය, ගෘහපතීහු භොගය බලාපොරොත්තු ඇත්තෝය. යාගය විචාරන්නෝය. ශිල්පය අධිෂ්ඨානකොට ඇත්තෝය. කර්මාන්තයෙහි ඇලුනෝය. නිමවූ කර්මාන්තය අවසන්කොට ඇත්තෝද වෙති.’’

’’භවත් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීතොම කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?

’’බ්‍රාහ්මණය, ස්ත්‍රිය පුරුෂයන් බලාපොරොත්තු ඇත්තීය. අලංකාරය විචාරන්නීය. පුත්‍රයින් අධිෂ්ඨානකොට ඇත්තෝය. ස්වාමියා ආලයකොට ඇත්තීය. සම්පත් කෙළවරකොට ඇත්තීය.’’

’’භවත් ගෞතමයන් වහන්ස, සොරු කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?

’’බ්‍රාහ්මණය, සොරු වනාහි ගැණීම බලාපොරොත්තු වන්නෝය. පැහැරගැන්ම විචාරන්නෝය. කෛරාටික කම අධිෂ්ඨානකොට ඇත්තෝය. අන්‍ධකාරයට ආලය ඇත්තෝය. නොදැක්ම (අසුනොවීම) කෙළවරකොට ඇත්තෝය.’’

’’භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණයෝ කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?

’’බ්‍රාහ්මණය, ශ්‍රමණයෝ වනාහි ඉවසීම හා කීකරුකම බලාපොරොත්තු ඇත්තෝය. නුවණ විචාරන්නෝය. ශීලය අධිෂ්ඨානකොට ඇත්තෝය. කිසිවක ඇලීම නැත්තෝය.. නිර්‍වාණය කෙළවරකොට ඇත්තෝය.’’

’’ භවත් ගෞතමයන් වහන්ස, පුදුමයකි. භවත් ගෞතමයන් වහන්ස, පෙර නොවූ දෙයකි. ක්‍ෂත්‍රියයන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. බ්‍රාහ්මණයන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. ගෘහපතියන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. ස්ත්‍රියගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. සොරුන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. ශ්‍රමණයන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. බලාපොරොත්තුද, විචාරයන්ද, අධිෂ්ඨානයන්ද, ආලයන්ද, අවසානයන්ද භවත් ගෞතමයන් වහන්සේ දනිති.

’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’