අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. ධම්මික වර්‍ගය

12. ජාති භූමිය ධම්මික සූත්‍රය

’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ධම්මික ස්ථවිර තෙමේ ආවාස සතක් ඇති මුළු ජාති භූමියෙහිම ආවාස භාරව සිටී.

’’එකල්හි වනාහි ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්‍ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්‍ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි.

’’ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ’අපි වනාහි භික්‍ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්‍ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්‍ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?’

’’ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ’මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්‍ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්‍ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ.’’

ඉක්බිති ජාත භූමියෙහිවූ උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් ධම්මිකට, ’’ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මේ ආවාසයෙන් බැහැර යේවා. ඔබගේ මෙහි විසීමෙන් පලක් නැතැ’’ යි කීවාහුය.

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙමේ ඒ ආවාසයෙන් අනික් ආවාසයකට ගියේය. එහිද ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්‍ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්‍ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ’අපි වනාහි භික්‍ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්‍ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්‍ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?’ ’’ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ’මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්‍ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්‍ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ.’’ ඉක්බිති ජාත භූමියෙහිවූ උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් ධම්මිකට, ’’ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මේ ආවාසයෙන් බැහැර යේවා. ඔබගේ මෙහි විසීමෙන් පලක් නැතැ’’ යි කීවාහුය.

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙමේ ඒ ආවාසයෙන්ද අනික් ආවාසයකට ගියේය. එහිද ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්‍ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්‍ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ’අපි වනාහි භික්‍ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්‍ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්‍ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?’ ’’ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ’මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්‍ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්‍ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ.’’ ඉක්බිති ජාත භූමියෙහිවූ උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් ධම්මිකට, ’’ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මේ ආවාසයෙන් බැහැර යේවා. ඔබගේ මෙහි විසීමෙන් පලක් නැතැ’’ යි කීවාහුය. ජාති භූමියෙහි ආවාස සතින්ම නෙරපන්නෙම් නම් යෙහෙකැයි සිතූහ.

ඉක්බිති ආයුෂ්මත් ධම්මිකට, ’ජාති භූමියෙහිවූ උපාසකයන් විසින් ජාති භූමියෙහිවූ සම්පූර්‍ණ ආවාස සතින්ම මා නෙරපනු ලැබීමි. දැන් කොහි යන්නෙම්දැ’ යි මේ සිත විය.

ඉක්බිති ආයුෂ්මත් ධම්මික, ’මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි යන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූයේය. ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙමේ පාත්‍ර සිව්රු ගෙන, රජගහනුවර යම් තැනෙක්හිද, එහි ගියේය. ක්‍රම ක්‍රම යෙන් රජගහනුවර ගිජුකුළු පව්ව යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ධම්මිකට භාග්‍යවතුන් වහන්සේ ’ධම්මිකය, දැන් කොහි සිට එන්නෙහිදැ’ යි ඇසූසේක. ’ස්වාමීනි, මම ජාති භූමික උපාසකවරුන් විසින් සියලුම ආවාස සතින්ම බැහැර කරණ ලද්දේ වෙයි’ ’ධාර්මිකය, කම් නැත. යම්බඳුවූ ඔබ, ඒ ඒ තැනින් බැහැර කරත් නම් මින් තොපට කවර ප්‍රයෝජනයක්ද, ඒ ඒ තැනින් බැහැරකළ ඔබ මා සමීපයටම ආවෙහිය.

’’ධම්මිකය, පෙර වූ දෙයක් කියමි. මුහුදු යන වෙළෙන්දෝ පරතෙර දක්නා පක්‍ෂියෙකු රැගෙන නැවෙන් මුහුදට වදිත්. පරතෙර නොදක්නා බැවින් ඔවුහු පරතෙර දක්නා පක්‍ෂියා මුදවා හරිත්.හෙතෙම යන්නේම පෙරදිගට යයි. බටහිර දිගට යයි. උතුරු දිගට යයි. දකුණු දිගට යයි. උඩට යයි. අනුදිගට යයි. ඉදින් හෙතෙම හාත්පස පරතෙර දකීද, එසේ ගියේම විය. හෙතෙම ඉදින් හාත්පස පරතෙර නොදකීද, ඒ නැවටම ආපසු එයි.

’’ධම්මිකය, එසේම යම්බඳුවූ තෝ ඒ ඒ තැනින් බැහැර කෙරෙත්ද, ඒ ඒ තැනින් බැහැර කරණ ලද ඒ නුඹ මා සමීපයටම එන්නෙහිය. ධම්මිකය, පෙර සිදුවූවක් කියමි. කුරු රජහට සුප්‍රතිෂ්ඨ නම් අතු පසක් ඇති, සිහිල් සෙවන ඇති, යහපත්වූ නුග ගසක් විය. ධම්මිකය, සුප්‍රතිෂ්ඨ නම් නුගයට දොළොස් යොදුනක් වැසුනේ වේ. යොදුන් පසක් මුල්වලට හා අරටුවලට යටවිය. ධම්මිකය, සුප්‍රතිෂ්ඨ නම් නුග ගසට පිලවුන් නැති මී වදයක් යම් සේද, එපමණ මහත්, ලාස් ප්‍රමාණ ගෙඩි වූහ. ධම්මිකය, සුප්‍රතිෂ්ඨ නම් නුග රුකේ එක් කඳක් අන්තඃපුරය සහ රජු පරිභෝග කරයි. එක් කඳක් භට සේනාව පරිභෝග කරයි. එක් කඳක් නියම් ගම් දනවු වැස්සෝ පරිභෝග කරයි. එක් කඳක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පරිභෝග කරත්. එක් කඳක් මෘග පක්‍ෂීහු පරිභෝග කරත්. ධම්මික සුප්‍රතිෂ්ඨ නම් නුග රුකේ ගෙඩි කිසිවෙක් නොරකියි. ඔවුනොවුන්ගේ ගෙඩි නොපෙළත්.

’’ධම්මිකය, එක්තරා පුරුෂයෙක් සුප්‍රතිෂ්ඨ නුගරුකේ ඵල ඇතිතාක් අනුභවකොට අතු කඩා ගියේය. ධම්මිකය, ඉක්බිති සුප්‍රතිෂ්ඨ නම් නුගරුකෙහි අධිගෘහිත දේවතාවාට ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයි. ඒකාන්තයෙන් පුදුමයි. යම් පව්කාර මනුෂ්‍යතෙම සුප්‍රතිෂ්ඨ නම් නුග ගසේ යම්තාක් ගෙඩි කා අතු කඩා යයි. සුප්‍රතිෂ්ඨ නුගරුක මත්තෙහි ගෙඩි නොඋපදවන්නේ නම් යෙහෙකැයි මෙසේ සිතුයේය. ’ධම්මිකය, සුප්‍රතිෂ්ඨ නුගගස මත්තෙහි ගෙඩි නුදුන්නේය.’ ධම්මිකය, ඉක්බිති කුරු රජ ශක්‍ර දේවේන්‍ද්‍රයා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, සක් දෙව් රජහට, ’නිදුකානෙනි. දැන් දන්නෙහිද? සුප්‍රතිෂ්ඨ නුග ගස ගෙඩි හටනොගනීය’ යි කීයේය.

’’ධම්මිකය, ඉක්බිති සක් දෙව් රජ තෙම යම්සේ වහා වැහි වලාවක් ඇවිත් සුප්‍රතිෂ්ඨ නුග ගස හෙළුවේද, මුලින් උදුරා දැම්මේද, එබඳු ඉර්ධියක් පෑවේය.

’’ධම්මිකය, ඉක්බිති සුප්‍රතිෂ්ඨ නම් නුග ගසෙහි අධිගෘහිත දේවතාවා දුක්වූයේ, නොසතුටු සිත් ඇතිවූයේ, කඳුළු පිරුණු ඇස් ඇත්තේ. අඬමින් එකත්පසෙක සිටියේය. ධම්මිකය, ඉක්බිති සක් දෙව් රජ තෙම සුප්‍රතිෂ්ඨ නම් නුග ගසෙහි අධිගෘහිත දේවතාවා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, සුප්‍රතිෂ්ඨ නුග ගසෙහි අධිගෘහිත දේවතාවාට, ’දේවතාව, නුඹ දුක්ව. නොසතුටුව. කඳුළු පිරුණු ඇසින් යුක්තව, අඬමින් එක් පැත්තකට වී සිටින්නෙහිදැ’ යි ඇසීය. ’නිදුකානෙනි, එසේමය. මහත් වැහි වලාවක් ඇවිත් විමන හෙලූයේය. මුලින් උදුරා දැම්මේය’ යි කීයේය.

’දේවතාව, කිමෙක්ද, වෘක්‍ෂයන්ගේ ස්වභාවයෙහි සිටියාවූ (ගස) මහත් වැහි වලාවක් විත් විමන හෙළුවාහුද, මුලින් උදුරා දැම්මේදැ’ යි ඇසීය. ’නිදුකානන් වහන්ස, කෙසේ වෘක්‍ෂය වෘක්‍ෂ ධර්‍මයෙහි පිහිටියේ වේදැ’ යි ඇසීය. ’දේවතාවෙනි, මේ ලෝකයෙහි ගසක මුල්, මුලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. පොත්ත, පොතුවලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. කොළ, කොළවලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. මල්, මල්වලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. ගෙඩි, ගෙඩිවලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. ඒ කරණකොටගෙන දේවතාවා විසින් නොසතුටු බවක්වත්, නොඉවසීමක්වත් නොකට යුතුය. දේවතාවෙනි, මෙසේ වනාහි වෘක්‍ෂය, වාක්‍ෂ ධර්‍මයෙහි පිහිටියේ වේය’ යි කීයේය.

’මා විසින් වාක්‍ෂ ධර්‍මයෙහි නොපිහිටි (වෘක්‍ෂය) මහත් වැහි වලාවක් පැමිණ විමන හෙළුයේ, මුල් උදුරණ ලද්දක් කෙළෙමි’ යි කීයේය. ’දේවතාව, ඉදින් ඉදින් තොප වෘක්‍ෂ ධර්‍මයෙහි පිහිටන්නේ නම් තොපගේ විමන වන්නේය පෙර වූ සේ වේ.’

’’ධම්මිකය, ඉක්බිති සක්දෙව් රජ තෙම යම් සේ මහත් වැහි වලාවක් විත් සුප්‍රතිෂ්ඨ නම් නුග ගස එසවූයේද, එවැනි ඎද්‍ධියක් පෑවේය. පොත්ත සහිත, මුල් සහිත වූවාහුය. ධම්මිකය, එසේම ශ්‍රමණ භූමියෙහි සිටි නුඹව ජාතිභූමකවූ උපාසකයෝ සියළු ජාතිභූමියෙහිවූ ආවාස සතින්ම නුඹ බැහැර කළාහුද,’’

’’ස්වාමීනි, කෙසේ නම් ශ්‍රමණතෙම ශ්‍රමණ ධර්මයෙහි සිටියේ වේද, ධම්මිකය, මේ ශාසනයෙහි ශ්‍රමණතෙම ආක්‍රොශ කරන්නාට, ආපසු ආක්‍රෝශ නොකෙරේද, වෛර කරන්නාට, නැවත වෛර නොකෙරේද, කෝලාහල කරන්නාට කරන්නාට, නැවත කෝලාහල නොකෙරේද, ධම්මිකය, මෙසේ වනාහි ශ්‍රමණතෙම, ශ්‍රමණ ධර්‍මයෙහි පිහිටියේ වේ. ස්වාමීනි, ශ්‍රමණ ධර්‍මයෙහි නොපිහිටි මාව ජාති භූමියෙහිවූ උපාසකයෝ ජාති භූමියෙහි වූ ආවාස සතින් නෙරපූයේය’’ යි කීයේය.

’’ධම්මිකය, පෙර වූ දෙයක් කියමි. පව් සෝදන තොටුපොලක. කාම සම්පත් අනුභව නොකරණ. සුනෙත්‍ර නම් ශාස්තෘ කෙනෙක් විය. ධම්මිකය, සුනෙත්‍ර ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. සුනෙත්‍ර ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ සුනෙත්‍ර ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය. යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ සුනෙත්‍ර ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ගලෝකයෙහි ඉපදුනාහුය.

’’ධම්මිකය, පෙර ’මුගපක්ඛ’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, මුගපක්ඛ ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. මුගපක්ඛ ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ මුගපක්ඛ ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.

යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ මුගපක්ඛ ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ගලෝකයෙහි ඉපදුනාහුය.

’’ධම්මිකය, පෙර ’අරණෙමි’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, අරණෙමි ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. අරණෙමි ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ අරණෙමි ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.

යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ අරණෙමි ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ගලෝකයෙහි ඉපදුනාහුය.

’’ධම්මිකය, පෙර ’කුද්දාලක’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, කුද්දාලක ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. කුද්දාලක ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ කුද්දාලක ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.

යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ කුද්දාලක ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ගලෝකයෙහි ඉපදුනාහුය.

’’ධම්මිකය, පෙර ’හත්‍ථිපාල’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, හත්‍ථිපාල ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. හත්‍ථිපාල ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ හත්‍ථිපාල ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.

යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ හත්‍ථිපාල ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ගලෝකයෙහි ඉපදුනාහුය.

’’ධම්මිකය, පෙර ’ජොතිපාල’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, ජොතිපාල ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. ජොතිපාල ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ ජොතිපාල ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.

යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්‍ම දේශනා කරණ ජොතිපාල ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ගලෝකයෙහි ඉපදුනාහුය.

’’ධම්මිකය, ඒ කුමකැයි හඟින්නේද, යමෙක් පවු සෝදන තොටුපලවල් සමාන, කාමයන්හි පහවූ ආශා ඇති, නොයෙක් සිය ගණන් පිරිවර ශ්‍රාවක පිරිස ඇති මේ ශාස්තෘවරයන් සයදෙනාට දූෂ්‍යවූ සිත් ඇතිව ආක්‍රොශ කරන්නේද, පරිභව කරන්නේද, හෙතෙම බොහෝ අකුසල් රැස්කරන්නේද, ’’ස්වාමීනි, එසේය.’’

’’ධම්මිකය, යමෙක් පවු සෝදන තොටුපලවල් සමාන, කාමයන්හි පහවූ ආශා ඇති, නොයෙක් සිය ගණන් පිරිවර ශ්‍රාවක පිරිස ඇති මේ ශාස්තෘවරයන් සයදෙනාට දූෂ්‍යවූ සිත් ඇතිව ආක්‍රොශ කරන්නේද, පරිභව කරන්නේද, හෙතෙම බොහෝ අකුසල් රැස්කරන්නේද, රැස්කරන්නේය. ඊට හේතු කවරේද? ධම්මිකය, මම සබ්‍රම්සරුන් කෙරෙහි මෙන් මේ ශාසනයෙන් පිට මෙබඳු ඉවසීමක් නොකියමි. ධම්මිකය, තොප විසින් සමාන බ්‍රහ්මචරියාව රකින්නන් අතරෙහි සිත් දූෂ්‍ය කර නොගන්නෙමුයි හික්මිය යුතුයි. ධම්මික, තොප විසින් මෙසේ හික්මිය යුතුය.

(1) ’’සුනෙත්‍ර නම් ශාස්තෘද, මුගපක්ඛ නම් ශාස්තෘද, බ්‍රාහ්මණ වංශ ඇති අරනෙමි නම් ශාස්තෘද, යමෙක් කුද්දාල පණ්ඩිතවූයේද, ඒ ශාස්තෘද, මානවකවූ හස්තිපාල නම් ශාස්තෘද, රේණු ආදී සත් රජුන්ට පුරෝහිතවූ මහා ගොවින්‍දයයි කියන ලද යමෙක් වූයේද, ඒ ජෝතිපාල නම් නම් ශාස්තෘද, යන මහ පිරිවර ඇති මේ ශාස්තෘ සදෙන අතීත කාලයෙහි හිංසා නොකටයුතු වූහ.

(2) ’’ක්‍රොධයයි කියනලද, දුගඳින් තොරවූ කරුණ ධ්‍යානයෙහි සිටියාවූ, කාම සංයෝජනයන් ඉක්මෙව්වාවූ ඒ ශාස්තෘවරයෝ කාම රාගය දුරුකොට බ්‍රහ්මලෝකයට ගියාහුය.

(3) ’’ඒ ශාස්තෘවරයන්ගේ නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. ක්‍රොධයයි කියන ලද දුගඳින් තොරවු, කරුණ ධ්‍යානයෙහි පිහිටියාවූ, කාම සංයෝජනයන් ඉක්මෙව්වාවූ ඒ ශ්‍රාවකයෝද කාම රාගය දුරුකොට බ්‍රහ්ම ලෝකයට ගියාහුය.

(4) ’’බාහිරවූ, පහකරණලද රාගය ඇති එකඟ සිත් ඇති මේ ඎෂීන්ට යම් මිනිසෙක් කෝපවූ සිතින් පරිභව කෙරේද, ඒ තැනැත්තෝ බොහෝ අකුශල් රැස් කෙරේ.

(5) ’’සර්‍වඥ ශ්‍රාවකවූ, සෝවාන්වූ, යම් එක් භික්‍ෂුවකට යම් මනුෂ්‍යයෙක් තෙම කෝපවූ සිතින් පරිභව කෙරේද, මේ මනුෂ්‍ය තෙම ඊට වඩා අතිශයින් අකුසල් රැස් කෙරේ. යහපත් ස්වභාව ඇති දෙසැට දෘෂ්ටි නැතිකරගැනීමටද නොලැබෙන්නේය.

(6) ’’යමෙකුගේ ශ්‍රද්‍ධාවද, ස්මෘත්තියද, වීර්‍ය්‍යයද, සංසිඳීමද, ප්‍රඥාවද යන පඤ්චෙන්‍ද්‍රියයෝ මෘදුවෙත්ද, කාමයන්හි අවීතරාගය ඇත්තේද, මේ පුද්ගල තෙමේ ආර්‍ය්‍ය සංඝයා පිළිබඳව සත්වන පුද්ගල වේ. එබඳු භික්‍ෂුවකට කෝපව පීඩා කෙරේද, ඒ පුද්ගල තෙම පළමුව තමන්ට පීඩාකොට පසුව අන්‍යයන්ට පීඩා කෙරෙයි.

(7) ’’යමෙක් ආත්මය රකීද, ඔහුගේ පිටත දේ ආරක්‍ෂා වේ. එහෙයින් නුවණැත්තේ සෑම කල්හි ගුණ නැසීමෙන් නොනැසුනේ ආත්මය රකින්නේය.’’

ධම්මිකවග්ගො

ප්‍රථම පණ්ණාසකය නිමි.