අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
6. මහා වර්‍ගය
4. ආසවප්පහාණ සූත්‍රය
’’මහණෙනි, ධර්ම සයෙකින් යුත් භික්‍ෂුව දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
’’කවර සයකින්ද?
’’මහණෙනි, මෙහි භික්‍ෂුවගේ යම් පවක් (ඉඳුරන්) හික්මීමෙන් ගෙවියයුතු වේද, ඒ පව් (ඉඳුරන්) හික්මවීමෙන් ගෙවේ. යම් පවක් ඇසුරු කිරීමෙන් ගෙවියයුතු ද, ඒ පව් ඇසුරු කිරීමෙන් ගෙවේ. යම් පවක් ඉවසීමෙන් ගෙවියයුතු ද, ඒ පව් ඉවසීමෙන් ගෙවේ. යම් පවක් දුරුකිරීමෙන් ගෙවියයුතුද, ඒ පව් දුරුකිරීමෙන් ගෙවේ. යම් පවක් යටපත් කිරීමෙන් ගෙවියයුතුද, ඒ පව් යටපත් කිරීමෙන් ගෙවේ. යම් පවක් සිත (භාවනා) වැඩීමෙන් ගෙවියයුතුද, ඒ පව් සිත වැඩීමෙන් ගෙවේ.
’’මහණෙනි, යමක් (ඉඳුරන්) හික්මවීමෙන් ගෙවේද, (ඉඳුරන්) හික්මවීමෙන් ගෙවියයුතු ඒ පව් කවරේද? මහණෙනි, මෙහි යම් භික්‍ෂුවක් නුවණින් සලකමින් ඇසෙයි. හික්මීමෙන් හික්මුණේ වසයි. මහණෙනි, ඇස නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, ඇස හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.
’’නුවණින් සලකමින් කන හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, කන නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, කන හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.
’’නුවණින් සලකමින් නහයෙහි හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, නහය නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, නහය හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.
’’නුවණින් සලකමින් දිවෙහි හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, දිව නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, දිව හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.
’’නුවණින් සලකමින් කයෙහි හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, කය නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, කය හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.
’’නුවණින් සලකමින් සිත හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, සිත නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, සිත හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.
’’මහණෙනි, යම් නොහික්මවීමකින් අසංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති යම් පවක් උපදීද, හික්මවීමෙන් වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් (ආශ්‍රව) නොවේ.
’’මහණෙනි, යමක් ආශ්‍රයෙන් ගෙවේද, ආශ්‍රයයෙන් ගෙවියයුතු ඒ පව් කවරේද?
’’මහණෙනි, මෙහි (සස්නෙහි) යම් භික්‍ෂුවක් යම්තාක් ශීත නැසීමට, උෂ්ණය නැසීමට, ඇටමැසි, මදුරු, සුඵං, අවු, විසකුරු සතුන් යන මොවුන් ස්පර්‍ශ නොවිමට යම්තාක් ලජ්ජා ස්ථාන වැසීමට නුවණින් සලකා සිවුර ඇසුරු කරයිද, ක්‍රීඩාවට නොව, මදයට නොව, සැරසුමට නොව, බැබලීමට නොව, යම්තාක් මේ කය සිටීමට, යැමීමට, පීඩා නැවැත්වීමට, බඹසර පැවැත්වීමෙහි උපකාරයට, ’මෙසේ පරණ වේදනාව නසමි. අපුත් වේදනාවද නොඋපදවන්නෙමි. මගේ ජීවිත යාත්‍රාවද වන්නේය. නිවැරදි බවද, පහසු විහරණයද වන්නේය’ යි නුවණින් සලකා ලත් අහර ඇසුරු කෙරේද, (මෙහි 3)සස’ යෙදිය යුතුයි.)
’’යම්තාක් කාලයේ හිරිහැර නැසීමට, විවේකයෙහි ඇලීමට, නුවණින් සලකා සෙනසුන ඇසුරු කෙරේද, යම්තාක් උපන් හිංසා උපදවන වේදනාවන් නැසීමට, කරුණාසහගත භාවයවූ නිවණ පිණිස නුවණින් සලකා ගිලන්පස, බෙහෙත් පිරිකර ඇසුරු කෙරේද,
’’මහණෙනි, යමක් වනාහි ඇසුරු නොකිරීමෙන් විනාශයෙන් කරණ දැවිලි වන්නේද, මෙසේ ඇසුරු කරන්නාවූ ඔහුට ඒ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.
’’මහණෙනි, ඇසුරුකිරීමෙන් යම් පවක් ගෙවේද, ඒ ඇසුරු කිරීමෙන් ගෙවියයුතු පව් මොහුයයි කියනු ලැබේ.
’’මහණෙනි, යමක් ඉවසීමෙන් ගෙවේද, ඉවසීමෙන් ගෙවියයුතු ඒ පව් කවරේද?
’’මහණෙනි, මෙහි භික්‍ෂුවක් ඉවසන්නේ වේද, සීතය, උෂ්ණය, සා ගින්න, පිපාසය, ඇටමැසි, මදුරු, සුලං, අවු, විසකුරු සතුන්, යන මොවුන්ගේ ස්පර්‍ශයද, දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, නොමිහිරිවූ, මනාප නොවූ, පණ පැහැරගන්නාවූ, වේදනාවන් ඉවසන්නේ වේද, මහණෙනි, නො ඉවසන ඔහුට විනාශයෙන් කරණ දැවීම් ඇති, යම් පවක් උපදින්නේ නම්, මෙසේ ඉවසන්නාවූ ඔහුට විනාශයෙන් කරණ දැවිලි ඇති, ඒ පව් නොඋපදී. මහණෙනි, යමක් ඉවසීමෙන් ගෙවේද, මේ පව් ඉවසීමෙන් ගෙවිය යුත්තෝය’ යි කියනු ලැබෙත්.
’’මහණෙනි, යමක් වනාහි දුරුකිරීමෙන් ගෙවේද, දුරුකිරීමෙන් ගෙවියයුතු පව් කවරේද?
’’මහණෙනි, මෙහි භික්‍ෂුවක් නුවණින් සලකා චණ්ඩවූ ඇතකු දුරු කෙරේද, අසකු, ගොනකු, බල්ලකු, සර්පයකු දුරු කෙරේද, කණුවක්, කටු අත්තක්, දිය වළක්, බෑවුමක්, කුණු ගොඩක්, කුණු වළක්, යම්බඳුවූ පාප මිත්‍රයන් ඇසුරු කරන්නකු, දන්නාවූ සමාන බඹසර ඇති භික්‍ෂුතෙම ලාමක කරුණු කෙරෙහි හෙළා දකිද. හෙතෙම එම නොසෙවිය යුත්ත, එම නොතැන, එම ළාමක මිතුරන්ද නුවණින් සළකා දුරු කෙරේද, මහණෙනි, යමක් දුරු නොකරන්නාවූ ඔහුට විනාශයෙන් කරණ දැවීම් ඇති පව් උපදින්නේ නම් මෙසේ දුරු කරන්නාවූ ඔහුට මේ පව් නො උපදී.
’’මහණෙනි, යමක් වනාහි යටපත් කිරීමෙන් ගෙවේද, යටපත් කිරීමෙන් ගෙවියයුතු පව් කවරේද?
’’මහණෙනි, මෙහි යම් භික්‍ෂුවක් නුවණින් සළකා උපන් කාම සිතුවිලි යටපත් කෙරේද, හැරලයිද, දුරු කෙරේද, නසයිද, නොපැවැත්මට පමුණුවාද,
’’නුවණින් සලකා උපන් කෝප සිතුවිලි යටපත් කෙරේද, හැරලයිද, දුරු කෙරේද, නසයිද, නොපැවැත්මට පමුණුවාද,
’’නුවණින් සලකා උපන් හිංසා සිතුවිලි යටපත් කෙරේද, හැරලයිද, දුරු කෙරේද, නසයිද, නොපැවැත්මට පමුණුවාද,
’’නුවණින් සලකා උපන් පව්වූ ලාමක ගති සිතුවිලි යටපත් කෙරේද, හැරලයිද, දුරු කෙරේද, නසයිද, නොපැවැත්මට පමුණුවාද,
’’මහණෙනි, යමක් යටපත් නොකරන්නාවූ ඔහුට විනාශයෙන් කරණ දැවිලි ඇති යම් පවක් උපදින්නේ නම්, මෙසේ යටපත් කරන්නාවූ ඔහුට විනාශයෙන් වන දැවිලි ඇති මේ පව් නොවේ.
’’මහණෙනි, යමක් යටපත් කිරීමෙන් ගෙවේද, මේ පව් යටපත් කිරීමෙන් ගෙවිය යුත්තේයයි කියනු ලැබෙත්.
’’මහණෙනි, යමක් සිත වැඩීමෙන් ගෙවේද, සිත වැඩීමෙන් ගෙවියයුතු පව් කවරේද?
’’මහණෙනි, මෙහි භික්‍ෂුව නුවණින් සලකා විවේකය ඇසුරුකළ, නොඇල්ම ඇසුරුකළ, සිත නොපැවැත්ම ඇසුරුකළ, දුරුකිරීම වැඩෙන සිහිය නම් බෝධි අංගය වඩාද, නුවණින් සලකා ධර්මය විමසීමේ බෝධි අංගය, වීර්ය නම් බෝධි අංගය, ප්‍රීතිය නම් බෝධි අංගය, සන්සිඳීම නම් බෝධි අංගය, සිත එකඟය නම් බෝධි අංගය, මැදහත්කම නම් බෝධි අංගය, යන මේ විවේකය ඇසුරුකළ, නොඇල්ම ඇසුරුකළ, සිත නොපැවැත්ම (නිරෝධය) ඇසුරුකළ, (චිත්ත-සංඥා) දුරුකිරීම වැඩෙන බෝධි අංග වඩාද, මහණෙනි, යමක් නොවඩන්නාවූ ඔහුට විනාශයෙන් කරණ දැවිලි ඇති පව් උපදින්නේ නම්, මෙසේ වඩන ඔහුට විනාශ යෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ. මහණෙනි, යමක් සිත වැඩීමෙන් ගෙවේද, මොහු සිත වැඩීමෙන් ගෙවියයුතු පව්යයි කියනු ලැබේ.
’’මහණෙනි, ධර්ම සයෙකින් යුත් භික්‍ෂුව දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.