අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
6. අව්‍යාකත වර්‍ගය
8. පවලායන සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර නම් පර්‍වතය අසල මිගදාය නම්වූ භෙස කලාවනයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටියේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටිනු දැක බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිග හරින්නේ යම් සේද, දිග හරින ලද අතක් හකුළුවන්නේ යම් සේද, එපරිද්දෙන්ම භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයෙහි මිගදාය නම්වූ භෙස කලාවනයෙහි අන්තර්ධානවූයේ, මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි ආයුෂ්මත්වූ මොග්ගල්ලාන ස්ථවිරයන් ඉදිරියෙහි පහළවිය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ සිට වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.
’’මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද? මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද?’’ - ’’ස්වාමීනි, එසේය.’’
’’එසේ නම් මොග්ගල්ලානය, යම් සංඥාවක් ඇතිව වාසය කරන්නාවු ඔබ මැලි ගතියට බැස ගන්නෙහිද, ඒ සංඥාව මෙනෙහි නොකරව. ඒ සංඥාව බහුල වශයෙන් මෙනෙහි නොකරව. යම් සේ මෙසේ වාසය කරණ ඔබට මැලි ගතිය පහවන්නේය යන කරුණු පවතී. මෙසේ වාසය කරණ ඔබට ඉදින් ඒ මැලි ගතිය පහනොවන්නේ නම්, එබැවින් අසන ලද ධර්‍මයක් සිතින් නැවත කල්පනා කරව. නැවත සිහි කරව. සිතින් නැවත විමසව. සිත මෙහෙයවා බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
’’මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, මොග්ගල්ලානය, එබැවින් ඔබ දෙකන් සිදුරු යා කරන්නෙහිය. අතින් ශරීරය පිරිමදින්නෙහිය. (2) යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
’’මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ අස්නෙන් නැගිට ඇස් තෙමා දිශාවන් බලව. නැකැත් තරු හා තරු රූප බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
’’මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ ආලෝක සංඥාව සිහි කරව. දහවලය යන සංඥාව සිතින් ගනුව. ’දවාල යම් සේද, රාත්‍රියත් එසේය. රාත්‍රිය යම් සේද, දවාලත් එසේය’ යි මෙසේ විවෘතවූ වට නොකළ සිතින් ප්‍රභා සහිත සිත වඩව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
’’මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේ නම්, එතැන් පටන් ඔබ ඉදිරිය, පසුව යන හැඟීම ඇත්තේ, අභ්‍යන්තර ගත ඉන්‍ද්‍රියයන්ගෙන් විවේකවූ සිතින් ඒ සක්මනට බසුව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
’’මෙසේ වාසය කරණ ඔබට ඒ නිදි මැලි ගතිය ඉදින් දුරු නොවේද, ඉක්බිති මොග්ගල්ලානය, ඔබ පයින් පය එකට තබා සීහ සෙය්‍යාව කරව. සිහි ඇත්තේ, මනා දැනීම් ඇත්තේ, උත්‍ථාන (නැගිටීමේ) සංඥාව මෙනෙහි කොට මොග්ගල්ලානය, පිබිදියාවූ ඔබ නිද්‍රා සුඛය, ස්පර්‍ශ සුඛය, මැලි බවෙහි සුඛය යන මෙහි නොයෙදුණේ වාසය කරන්නෙමියි වහාම නැගිටිය යුතුය.
’’මෙසේ වනාහි ඔබ හික්මිය යුතුය. එහෙයින් මොග්ගල්ලානය, මෙහිලා බලවත් ගිජුකම දැඩිකොට ගෙන කුලයන් වෙත නොඑළඹෙන්නෙමියි මෙසේ හික්මිය යුතුය. මොග්ගල්ලානය, ඔබ මෙසේද හික්මිය යුතුයි. මොග්ගල්ලානය, ඉදින් මහණතෙම බලවත් ගිජුකම දැඩිකොට ගෙන කුලයන් වෙත පැමිණේද, මොග්ගල්ලානය, කුලයන්හි කළයුතු වැඩ ඇත. යම් හෙයකින් මිනිස්සු පැමිණියාවූ භික්‍ෂුව සිහි නොකෙරෙති. එකල්හි භික්‍ෂුවට, ’දැන් මා කෙරෙහි මේ මිනිස්සු වෙනස්වූවා සේය. දැන් මේ මිනිස්සු මා කෙරෙහි කලකිරුණාහු වැනිය’ යි මෙබඳු සිතක් වෙයි. මෙසේ ඒ භික්‍ෂුවට අලාභයෙන් මකු බවද, මකු ගතිය ඇත්තහුට උද්‍ධච්චය (සිතේ නොන්සුන්කම) ද උද්‍ධච්චවූවහුට අසංවරයද, අසංවරවූවහුට සමාධියෙන් සිත දුරබවද වේ.
’’මොග්ගල්ලානය, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුය. ’කලහයට හේතුවන කථාව නොකරන්නෙමි’ යි කියායි. මොග්ගල්ලානය, ඔබ මෙසේද හික්මිය යුතුය. මොග්ගල්ලානය, කලහයට හේතුවූ කථාව ඇති කල්හි බහුලව කථා කිරීම බලාපොරොත්තු විය යුතුය. බහුල කථාව ඇති කල්හි නොසන්සුන් කමද, නොසන්සුන්කම ඇත්තහුට අසංවරයද, අසංවරය ඇත්තහුට, සමාධියෙන් සිත දුරු වීමද වේ.
’’මොග්ගල්ලානය, මම සියල්ලන් සමගම එක්වීම හොඳයයි නොකියමි. මොග්ගල්ලානය, මම සියල්ලන් සමගම එක්වීම නරකයයිද නොකියමි. මොග්ගල්ලානය, මම ගිහියන් හා පැවිද්දන් සමග එක්වීම වර්‍ණනා නොකරමි. යම් ඒ ස්වල්පවු ශබ්දයන් ඇති, ස්වල්පවූ ඝොෂාවන් ඇති, මිනිසුන්ගේ ශබ්ද නැති, මිනිසුන්ගේ රහස් බවට සුදුසු, විවේක වාසයට සුදුසු, යම් ඒ සේනාසනයෝ වෙද්ද, ඒ සේනාසනයන් සමග එක්වුම වර්‍ණනා කරමි.
’’මෙසේ වදාළ කල්හි ආයුෂමත් මහා මොග්ගල්ලායන තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. ’’ස්වාමීනි, කොපමණකින් භික්‍ෂුතෙම කොටින් (අතිශයින්) නිවුනේ වෙයිද, කාමාදී බැමිවලින් අතිශයින් නිදහස ලැබූයේ වෙයිද, අතිශයින් බ්‍රහ්මවාරීවූයේ වෙයිද, දෙවි මිනිසුන්ට උතුම් වුයේ වෙයිද,
’’මොග්ගල්ලානය, මේ ශාසනයෙහි භික්‍ෂුවට සියලු ධර්‍මයෝ අභිනිවෙසයට (-ඇලීමට) නුසුදුසුයයි ශ්‍රුතයක් (-අසනලද්දක්) වෙයි. මොග්ගල්ලානය, මෙහි භික්‍ෂුවට සියලු ධර්‍මයෝ අභිනිවෙසයට නුසුදුසුය කියා මේ ශ්‍රුතයක් වෙයිද, හෙතෙම සියලු ධර්‍මයන් දැන ගනියි. සියලු ධර්‍මයන් දැනගෙන සියලු ධර්‍මයන් පිරිසිඳ දනියි. සියලු ධර්‍මයන් පිරිසිඳ දැන, සැපවු හෝ දුක්වූ හෝ, සැප දුක් දෙකින් තොරවූ හෝ, යම් කිසි වේදනාවක් විඳියි. හෙතෙම ඒ වේදනාවන්හි අනිත්‍යය දකිමින් වාසය කරයි. නොඇලීම් වශයෙන් බලමින් වාසය කරයි. නිරෝධය (වේදනා සිත් නැති කිරීම) අනුව බලමින් වාසය කරයි. දුරු කිරීම අනුව බලමින් වාසය කරයි.
’’එසේ අනිත්‍යය, විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය අනුව බලමින් වසන්නේ මේ ලෝකයෙහි කිසිවක් (දැඩිව අල්ලා ගැනීම් වශයෙන්) නොගනියි. එසේ නොගන්නේ ත්‍රස්ත නොවෙයි. ත්‍රස්ත නොවන්නේ තමා තුළම පිරිනිවේ.
’’ඉපදීම අවසන්ය. බඹසර වැස නිමවන ලදී. සිවු මගින් කටයුතු දේ කරණ ලදි. මේ ආත්ම භාවයෙන් පසු අනිකක් නැතැයි දැන ගනියි. මොග්ගල්ලානය, මෙපමණකින් භික්‍ෂුව කොටින් තෘෂ්ණාව රැස් කිරීමෙන් මිදුනේ වෙයි. අතිශයින් තැන්පත්වූයේ, කාමාදී බැඳුම්වලින් නිදහස ලැබූයේ, අතිශයින් බ්‍රහ්මචාරී වුයේ, අතිශයින් (සිවු මගින් කටයුතු දේ) අවසන් වුයේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.’’