අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

7. මහා වර්‍ගය

2. සත්තසුරියුග්ගමන සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි,’’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි,’’ යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

(1) ’’මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. (2) මහණෙනි, මේරු පර්‍වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.

’’මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. (කෙබඳුද?) බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්‍ෂාව නොවසියි. මහණෙනි, වර්‍ෂාව නොවස්නා කල්හි යම් ඒ ඇට වර්‍ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.

’’මහණෙනි, කවර කලෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, දෙවෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යම් ඒ කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සිඳෙත්. වියලී යත්. නොවෙත්. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.

’’මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, තුන්වෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යම්කිසි ඒ මහා ගංගා වෙද්ද, ඒ කවරහුද, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී (යන මේ ගංගාවෝ) වියලී යත්. සිඳෙත්. නොවෙත්. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.

’’මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍ය්‍යයාගේ පහළ වීමෙන් යම් තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නම්, යම් මහ විල් වෙද්ද, එනම්, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්‍ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සිඳෙත්. නොවෙත්. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.

’’මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, පස්වෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයෙහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයෙහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයෙහි ජලය පහළට බසිත්. සත්තලක් හෝ මහා සමුද්‍රයෙහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයෙහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයෙහි සප්ත පුරුෂ ප්‍රමාණ ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්‍ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යම් සේ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොකුරයන්හි ජලය සිටියේ වේද, මහනෙනි, පස්වෙනි සූර්‍ය්‍යාගේ පහළවීමෙන් ඇඟිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයෙහි ජලය නොවෙයි. එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.

’’යම් ඒ දීර්‍ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍ය්‍යයා පහළවේද, මහණෙනි, එබඳු කාලයක් වේමය. මහණෙනි, සවෙනි සූර්‍ය්‍යාගේ පහළවීමෙන් මේ මහා පෘථුවියද, මේරු පර්‍වත රාජයාද දුම් නගත්. විශෙෂයෙන් දුම් නගත්. මනාකොට දුම් නගත්. මහණෙනි, යම් සේ කුඹල්කරුවාගේ (වලං ඇසුරූ පෝරණුව) මැටි ආලේප කළේ, පළමු පළමුව දුම් කවාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍ය්‍යාගේ පහළවීමෙන් මේ මහා පෘථිවියද, මේරු පර්‍වත රාජයාද දුම් නගත්. විශෙෂයෙන් දුම් නගත්. මහණෙනි, එමෙන්ම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.

’’මහණෙනි, කිසියම් දීර්‍ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍ය්‍යයා පහළවේද, මහණෙනි, එබඳු දීර්‍ඝ කාලයක් වේමය. සත්වෙනි සූර්‍ය්‍යයා පහළවීමෙන් මේ මහා පෘථිවියද, මේරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මේ මහා පෘථුවියේද, මේරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මේරු පර්වතයේද, මේ මහා පෘථුවියේද, දනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කඳින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුළු බිඳීි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුළු බිඳී විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුළු බිඳී විනාශ වෙත්. දනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මේරු පර්වතයෙහිද, මේ මහා පෘථිවියෙහිද අළු නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අළු නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මේ මහා පෘථිවියේද, මේරු පර්වතයේද, අළු නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, මෙසේම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. මහණෙනි, මේ මහා පෘථිවියද, මේරු පර්වතයද, ගින්නෙන් ඩැහැ නොගන්නේයයි, විනාශ නොවන්නේයයි දැක්කවුන් හැර කවරෙක් සිතාද, කවරෙක් අදහාද.

’’මහණෙනි, පෙර වනාහි කාමයන්හි දුරු කළ ආශා ඇති තීර්ත්‍ථක නායකවූ සුනෙත්‍ර නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර නම් ශාස්තෘවරයාට වනාහි නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘවරයා බඹලොව ගමන පිණිස සිය ශ්‍රාවකයන්ට ධර්‍මය දේශනා කරයි. මහණෙනි, බඹලොව ගමන පිණිස ධර්‍මය දේශනා කරන්නාවූ සුනෙත්‍ර ශාස්තෘවරයාගේ සියළු ශාසනය (ඔවුහු) සර්‍වප්‍රකාරයෙන් දත්හ. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වු බඹලොව උපන්හ.

’’යම් කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් ශාසනය නොදත්තෝද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු ඇතැම් කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන් සමග උපන්හ. ඇතැම් කෙනෙක් නිර්‍මානරතී දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් තුසිත දෙවියන් සමග උපන්හ. ඇතැම්හු යාම දෙවියන් සමග උපන්හ. ඇතැම් කෙනෙක් තව්තිසා දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන් සමග උපන්හ. ඇතැම්හු ක්‍ෂත්‍රිය මහාසාර කුලයන් හා එක්ව උපන්හ. තවත් අයෙක් බ්‍රාහ්මණ මහාසාර කුලයන් හා එක්ව උපන්හ. ඇතැම් කෙනෙක් ගෘහපති මහාසාර කුලයන් හා එක්ව උපන්හ.

’’මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘවරයාට මේ අදහස විය. ’ශ්‍රාවකයන් හා පරලොව සම සම ගතීහු වන්නාහුද, මෙය වනාහි නුසුදුසුය. ඒ මම මත්තෙහි මෛත්‍රිය වඩන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවේය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මේ ලෝකයට නැවත නොආයේය. මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, සතිස් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.

’’නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනනසුළු ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූරවූ, විරවූ, අන්‍ය සේනා පරදවන මනා අඟ පසඟ ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවරකොට ඇති මේ පෘථිවිය, දඬුවමින් තොරව, ආයුධ ආදියෙන් (කරණ යුදවලින්) තොරව, ධර්‍මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනෙත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්කවූයේ, චිරස්ථායිවුයේ, නොමිදුනේ විය. (එහෙත්) ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව (වැළැපීම්), දුඃඛ, දොමනස්ස, උපායාස (-සිත් තැවුල්) දුක්වලින් නොමිදුනේ, දුකින් යුක්තවූයේයයි කියමි.

’’මහණෙනි, එයට හේතු කවරේද? සතර ධර්‍මයන්ගේ අවබෝධ නොකිරීමෙනි, ප්‍රතිවේධ නොකිරීමෙනි. කවර සතර ධර්මයන්ගේද යත්? ආර්‍ය්‍ය ශීලය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, ආර්‍ය්‍ය සමාධිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, ආර්‍ය්‍ය ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, ආර්‍ය්‍ය විමුක්තිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්ද යනුයි.

’’මහණෙනි, යුෂ්මතුන් විසින් ආර්‍ය්‍ය ශීලය අවබෝධ කරණ ලදී, ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍ය සමාධිය අවබෝධ කරණ ලදී, ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍ය ප්‍රඥාව අවබෝධ කරණ ලදී, ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍යවූ විමුක්තිය අවබෝධ කරණ ලදී, ප්‍රතිවේධ කරණ ලදී. භව තෘෂ්ණාව උපුටා දමන ලදී. භවයෙන් භවයට ගෙන යන තෘෂ්ණාව ක්‍ෂය විය. දැන් නැවත ඉපදීමක් නැත.’’ භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. දේශනාකොට සුගතවූ ශාස්තෲන් වහන්සේ ඉන්පසු මෙය දේශනා කළ සේක

(1) ’’ශීලයද, සමාධියද, ප්‍රඥාවද, ලෝකෝත්තර මිදිමයයි කියන ලද අර්හත් ඵලයද යන මේ ධර්මයෝ යශස් ඇත්තාවූ ගෞතමයන් විසින් අවබෝධ කරණ ලද්දාහුය.

(2) ’’මෙසේ බුද්‍ධ තෙම විශිෂ්ට ඥානයෙන් මනාකොට දැන භික්‍ෂූන්ට ධර්‍මය දේශනා කළ සේක. සසර දුක් කෙළවර කළාවූ, පසැස් ඇත්තාවූ ශාස්තෘ තෙම ක්ලේශ පරිනිර්වාණයෙන් නිවුන සේක.’’