අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
1. මෙත්තා වර්‍ගය
10. කාරණ්ඩවනිධමන සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර, ගර්‍ගරා නම් පොකුණු තෙර වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භික්‍ෂූහු, භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්. ඒ භික්‍ෂුව, භික්‍ෂූන් විසින් චෝදනා කරණු ලබන්නේ, වෙන වෙන කරුණු වලින් වරද වසා කථා කරත්. බාහිර කථා ගෙන හැර දක්වත්. කෝපයද, ද්වේෂයද, විරුද්‍ධ කරුණුද පහළ කරත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’මහණෙනි, ඒ පුද්ගලයා පහ කරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහකරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහ කළ යුතුය. කිමෙක්ද? තොප විසින් අන්‍යවූ (බුද්‍ධ පුත්‍ර නුවූ) පුද්ගලයෙකු වෙහෙස කරණු ලබන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්‍ෂූන්ගේ (ඉරියව් වැනි) වෙයි. යම් තාක් අන්‍ය භික්‍ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක්) ඔහු භික්‍ෂුවක් මෙන් පෙණීසිටියි.
’’යම් දිනක පටන් භික්‍ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, (එකල්හි) ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ’මේ පුද්ගලයා භික්‍ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්‍රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්‍ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.
’’මහණෙනි, යම්සේ වනාහි සමෘද්‍ධවූ යව කෙතෙක් හි (හටගත්) යව බොල් කරන්නාවූ, කුණු කරන්නාවූ, යවදූෂී නම් රෝගය උපන්නේ නමුදු, (ඒ රෝගයට භාජනවූ) යව පැළයේ මුලද, නාලය හෙවත් කඳද, පත්‍රයද, (ඒ යව පැලය) පූදින තුරු අන්‍යවූ යහපත් යව පැල මෙන් දෘෂ්‍යමාන වන්නාහුද, ඒ යව පැලය පීදුනු තැන් පටන් එය යව බොල් කරන්නාවූ, යව කුණු කරන්නාවූ, යව දූෂී රෝගයට භාජනවූවකැයි දැන ගනිත්. ඒ (ගැන) එසේ දැන එය සහමුලින් උගුල්ලා යව කෙතින් පිටත දමත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් යව දුෂ්‍ය නොවේවා කියායි.
’’මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්‍ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්‍ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්‍ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්‍ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ’මේ පුද්ගලයා භික්‍ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්‍රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්‍ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.
’’මහණෙනි, යම් සේ වනාහි මහත්වූ ධාන්‍ය රාශියක් පොළන කල්හි (හුලං ගස්වන කල්හි) එහි යම් කිසි දැඩිවූ, සාරවත්වූ (ධාන්‍යයෝ වෙත් නම්) ඒ ධාන්‍යයෝ එක් පසෙක රැස් වෙත්. යම් කිසි දුර්‍වලවූ, බොල්වූ (ධාන්‍යයෝ වෙත් නම්) ඒ ධාන්‍යයන් සුළඟින් එක් පසෙක විසුරුවත්. ධාන්‍ය හිමියෝ මුස්න (ඉදල) ගෙන ඒ බොල් වඩා ඈතට හැමද, (අතුගා) දමත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් ධාන්‍ය (ඒ බොල්වලින්) දූෂ්‍ය නොවේවා කියායි.
’’මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්‍ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්‍ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්‍ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්‍ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ’මේ පුද්ගලයා භික්‍ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්‍රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්‍ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.
’’මහණෙනි, යම් සේ වනාහි දිය පීල්ලක් උවමනා කරන්නාවූ පුරුෂයෙක් තෙම, තියුණු කෙටේරියක් (පොරොවක්) ගෙන වනයට ප්‍රවිෂ්ට වන්නේ නම් හෙතෙම ඒ ඒ වෘක්‍ෂයට පොරෝවලින් තට්ටු කරයි. එහි ඒ පොරෝවලින් තට්ටු කරණ ලද යම් (කිසි) වෘක්‍ෂයෝ දැඩිද, සාරවත්ද, (අරටු සහිතද) ඒ වෘක්‍ෂයෝ කර්‍කශ (දැඩි) නාදය පිට කරත්. යම්කිසි වෘක්‍ෂයෝ ඇතුළත කුණුවූවාහුද, ඕජාව වැගිරෙන්නාහුද, දිරුම් සහිත වූවාහුද, ඒ වෘක්‍ෂයෝ පොරෝවලින් තට්ටු කරණලද්දාහු දෙදරුම් නාදය පිට නොකරත්. (ඔහු) ඒ දෙදරුම් නාදය පිටකළ වෘක්‍ෂය මුලින් සිඳියි. (කපයි.) මුල සිඳ, අග සිඳියි. අග සිඳ, ඇතුලත යහපත්ව ශුද්‍ධ කොට දිය පීල්ලට යොදයි.
’’මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්‍ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්‍ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්‍ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්‍ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ’මේ පුද්ගලයා භික්‍ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්‍රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්‍ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.
’’සමග විසීමෙන් (මොහු) පවිටු අදහස් ඇත්තේයයිද, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේයයිද, ගුණමකුයයිද, අවවාදයට නොනැමෙනසුලුයයිද, යුග ග්‍රාහ ලක්‍ෂණවූ එකට එක කරන්නෙක්යයිද, ඊර්‍ෂ්‍යයා කරන්නෙක්යයිද, මසුරෙක්යයිද, හොරෙක්යයිද, දැනගනිව්.
’’මහජනයා මධ්‍යයෙහි සාන්ත වචන පවසමින් ශ්‍රමණයෙක් මෙන් කථා කරයි. රහසිගතව පාප කර්‍ම කරයි. ලාමකවූ දෘෂ්ටි ඇත්තේ වෙයි. (ශික්‍ෂාරක්‍ෂණය පිළිබඳව) ආදර රහිත වෙයි. (ආකුල වචන සහිතව) වෙවුලමින් බොරු පවසයි.
’’මෙබඳුවූ පුද්ගලයා තත්ත්‍වාකාරයෙන් දැන සියලු සිල්වත් භික්‍ෂූහු සමගිව ඔහු (ගැන) කලකිරෙව්. ඒ ශ්‍රමණ කසලයා පහකරවු. ඒ ශ්‍රමණ කුණ දුරු කරව්. අශ්‍රමණවූ, ශ්‍රමණ මානීවු බොල් මහණුන් පාකර හරිවු. පවිටුවූ ආචාර ගෝචරයෙන් යුක්තවූ, ලාමක අදහස් ඇත්තාවූ (භික්‍ෂූන්) පහකොට ශුද්‍ධ වූවාහු ශුද්‍ධවූ භික්‍ෂූන් සමග සමගි සම්පන්නව වාසය කරවු. ඉක්බිති සමගිවූ, ප්‍රඥාවන්තවූ (තෙපි) දුක් කෙළවර කරවු.’’
මෙත්තා වර්‍ගය නිමි.