අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

2. මහාවර්‍ගය

1. වේරඤ්ජ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජා නුවර, නලේරු නම් යක්‍ෂයා විසින් අධිගෘහිතවූ කොසඹ රුක් මුල වැඩ වාසය කරණ සේක.

’’එකල්හි වනාහි වේරඤ්ජ නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව අවසන්කොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ වේරඤ්ජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

භවත් ගෞතමයාණනි, ශ්‍රමණ භවත් ගෞතමයෝ වයසින් ජීර්‍ණවූ, වෘද්‍ධවූ, මහලුවූ, දීර්‍ඝ කාලයක් ගතකළාවූ, වයසට පැමිණියාවූ බමුණන්ට නොවඳින්නේයයිද, (දුටු කළ) අසුනෙන් නොනැගිටින්නේයයිද, අසුනක හිඳින සේ ආරාධනා නොකරන්නේයයිද, යන මේ පුවත මා විසින් අසන ලදී. භවත් ගෞතමයාණනි, ඒ මේ පුවත එසේමය. ශ්‍රමණ භවත් ගෞතමයෝ වයසින් ජීර්‍ණවූ, වෘද්‍ධවූ, මහලුවූ, දීර්‍ඝ කාලයක් ගතකළාවූ, වයසට පැමිණියාවූ බමුණන්ට නොවඳින්නේයයිද, (දුටු කළ) අසුනෙන් නොනැගිටින්නේයයිද, අසුනක හිඳින සේ ආරාධනා නොකරන්නේයයිද, ඒ මේ පුවත හොබනේමය.

’’බ්‍රාහ්මණය, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ලෝකයෙහි යම් කිසිවෙකුට මම වඳින්නෙමි, දැක හුනස්නෙන් නැගී සිටින්නෙමි, අසුනක හිඳින සේ ආරාධනා කරන්නෙමි, යන මේ කරුණ මම නොදක්නෙමි.

’’බ්‍රාහ්මණය, යමෙකුට වනාහි තථාගත තෙම වඳින්නේ හෝ වේද, දැක හුනස්නෙන් නැගී සිටින්නේ හෝ වේද, අසුනක හිඳිනා සේ ආරාධනා කරන්නේ හෝ වේද, ඔහුගේ හිස් මුදුන හෝ පැලෙන්නේය.

’’භවත් ගෞතම තෙම, අරස රූපියෙකි. (සමගි රසයෙන් තොරවූවෙකි.)

’’බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ යම් කිසිවෙක් ශ්‍රමණ භවත් ගෞතමයා අරසරූපයයි මට කින්නේ නම් එයට හේතු ඇත්තේමය. ’’බ්‍රාහ්මණය, යම් ඒ රූප රසය, ශබ්ද රසය, ගන්‍ධ රසය, රස රසය, ස්පර්‍ශ රසය යන (රසයෝ වෙත් නම්) තථාගතයන්ගේ ඒ රසයෝ ප්‍රහීන වූවාහු වෙත්. ආර්‍ය්‍යමාර්‍ග ශස්ත්‍රයෙන් මූලෝච්ඡින්න වූවාහු වෙත්. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්.

’’බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අරස රූපයයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.’’

’’භවත් ගෞතම තෙම නිබ්භොගියෙක් (සමගි පරිභෝජනයෙන් තොරවූවෙකි) බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, ’’නිබ්භොගියෙකැයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, යම් ඒ රූප (පරිභොගය, ශබ්ද පරිභොගය, ගන්‍ධ පරිභොගය, රස පරිභොගය, ස්පර්‍ශ පරිභොගය, යන ( පරිභොගයෝ වෙත් නම්,) තථාගතයන්ගේ ඒ පරිභොගයෝ ප්‍රහීන වූවාහු වෙත්. ආර්‍ය්‍යමාර්‍ග ශස්ත්‍රයෙන් මූලෝච්ඡින්න වූවාහු වෙත්. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, නිබ්භෝගියෙකැයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.’’

’’භවත් ගෞතම තෙම අකිරිය වාදියෙකි.’’ බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අකිරිය වාදියායයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය.

’’බ්‍රාහ්මණය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද නොකටයුතුයයි කියමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්‍මයන් නොකටයුතුයයි කියමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අකිරිය වාදියෙක්යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.’’

’’භවත් ගෞතම තෙම උච්ඡෙද වාදියෙකි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, උච්ඡේද වාදියෙක්යයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, රාගයද, ද්වේෂයද, මෝහයද සම්පූර්‍ණයෙන් සිඳ දැමිය යුතුයයි කියමි. අනේකප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්‍මයන් සම්පූර්‍ණයෙන් සිඳ දැමිය යුතුයයි කියමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, උච්ඡෙද වාදියෙක් යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.’’

’’භවත් ගෞතම තෙම පිළිකුල් කරන්නෙකි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, පිළිකුල් කරන්නෙකැයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද පිළිකුල් කරමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්මයන්ට පැමිණීම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, පිළිකුල් කරන්නේයයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.’’

’’භවත් ගෞතම තෙම වේනයිකයෙකි. (හික්මවිය යුත්තෙකි.) බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, වේනයිකයෙක්යයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, මම වනාහි, රාගයද, ද්වේෂයද, මෝහයද විනාශය පිණිස, සන්සිඳවීම පිණිස දහම් දෙසමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්මයන් විනාශය පිණිස, දුරු කිරීම පිණිස දයම් දෙසමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, වේනයිකයෙක්යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.’’

’’භවත් ගෞතම තෙම තපස්සියෙකි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, තපස්සියෙකැයි මට කියන්නේනම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, මම වනාහි, කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද යන පවිටුවූ අකුශල ධර්මයන් තැවිය යුතුයයි, විනාශ කළ යුතුයයි කියමි. බ්‍රාහ්මණය, යමෙකුගේ වනාහි තැවිය යුතු, විනාශ කළ යුතු, පවිටුවූ අකුශල ධර්මයෝ ප්‍රහීන වූවාහු වෙත්ද, මූලොච්ඡින්න කරණ ලද්දාහු වෙත්ද, කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්ද, නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්ද, මම ඔහු තපස්සියෙක්යයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ වනාහි තැවිය යුතුවූ, විනාශ කළ යුතුවූ, පවිටුවූ අකුශල ධර්මයෝ ප්‍රහීණ වූවාහු වෙත්. මූලොච්ඡින්න කරණ ලද්දාහු වෙත්. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. පසුව හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, තපස්සියෙක්යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.’’

’’භවත් ගෞතම තෙම අපගර්භයෙකි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අපගර්භයෙක්යයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, යමෙකුගේ වනාහි මතු ආත්මයෙහි මවු කුස පිළිසිඳ ගැනීමේ ශක්තියද, නැවත නැවත භවයන්හි ඉපදීමේ ශක්තියද, ප්‍රහීණ වූයේ වේද, මූලොච්ඡින්න වූයේ වේද, කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දේ වේද, අභාවප්‍රාප්ත කරණ ලද්දේ වේද, නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දේ වේද, මම ඔහු අපගර්භයෙක් යයි කියමි.

’’බ්‍රාහ්මණය, තථාගතයන්ගේ වනාහි මතු ආත්ම භාවයෙහි මව් කුස පිළිසිඳ ගැනීමේ ශක්තියද, නැවත, නැවත භවයන්හි ඉපදීමේ ශක්තියද, ප්‍රහීණ වූයේ වෙයි. මූලොච්ඡින්න වූයේ වෙයි. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයි. අභාවප්‍රාප්ත කරණ ලද්දේ වෙයි. නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දේ වෙයි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අපගර්භයෙකැයි මට කියයුතු වන්නේ නම් මේ හේතුවෙනි. යුෂමතා යමක් සඳහා කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.’’

’’බ්‍රාහ්මණය, යම් සේ වනාහි කිකිළියකගේ බිත්තර අටක් හෝ, දහයක් හෝ, දොළසක් හෝ වෙත්ද, ඒ බිත්තර ඒ කිකිලිය විසින් මනාකොට රකින ලද්දාහු වෙත්ද, එයින් යම්කිසි කුකුළු පැටියෙක් (තමාගේ) පාදයෙහි නියපොතුවලින් හෝ, හොටෙන් හෝ, බිත්තර කටුව පලා සැපසේ පළමුකොට පිටතට නික්මුණේ වේද, කිමෙක්ද? ඔහුට වැඩි මහල්ලාය කිය යුතුද? බාලයාය කිය යුතුද?’’ - ’’භවත් ගෞතමයාණනි, ඔහුට වැඩි මහල්ලාය කිය යුතුය. හෙතෙම වනාහි ඔවුන්ගේ වැඩි මහල්ලා වෙයි.’’

’’බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම වනාහි අවිද්‍යා නමැති බිත්තර කොපුවෙන් වැළඳ ගත්තාවූ (වටකොට ගත්තාවූ) සත්ත්‍වයන් අතුරෙන් මම අවිද්‍යා නමැති බීජ කෝෂය පලා, ලෝකයෙහි අසහාය (එකම) පුද්ගලයෙක් වූයේ, අනුත්තරවූ සම්‍යක් සම්බෝධිය මනාකොට අවබෝධ කෙළෙමි. බ්‍රාහ්මණය, මම වනාහි ලෝකයාගේ වැඩිමහල්ලා වෙමි. ශ්‍රෙෂ්ඨයා වෙමි.

’’බ්‍රාහ්මණය, මා විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේය. නුමුළාවූ සිහිය එළඹ සිටියේ වෙයි. කාය දරථයෙන් තොරවූ සැහැල්ලු කය ඇත්තේ වෙමි. සිත එකඟවූයේ සමාධියට පැමිණියේ වෙමි.

’’බ්‍රාහ්මණය, ඒ මම වනාහි කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇත්තාවූ, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරමි. විතර්‍ක විචාරයන් සන්සිඳවා, සිතේ පැහැදීම් ඇතිවූයේ, විතර්‍ක විචාරයන්ගෙන් තොරවූ, චිත්තයාගේ එකඟ භාවයයි කියන ලද, සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් යුක්තවූ, දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරමි.

’’(වීතීය ධ්‍යානයෙහි ඇත්තාවූ) ප්‍රීතියෙහිද නොඇලී, උපෙක්‍ෂා සහගතව (දුක් සැප දෙකෙහි මධ්‍යස්ථව) වාසය කරයි. සිහි ඇතිව, යහපත් ප්‍රඥාවෙන් යුක්තව, සැපයද කයින් විඳිමි. ආර්‍ය්‍ය පුද්ගලයෝ ස්මෘතියෙන් හා සැප විහරණයෙන් යුක්තවූ, යම් කිසි ධ්‍යානයක් ගැන කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි.

’’සැප දුක් දෙක පිළිබඳ අදහස දුරුකොට පෙර මෙන් සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන් ලැබිය යුතුවූ දුක් සැප දෙකින් තොර උපෙක්‍ෂා සහගත සිහියෙන් පිරිසිදුවූ සිවු වැනි ධ්‍යනයට (සම වැද) පැමිණ වාසයකරමි.

’’ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් සුද්‍ධවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, උපක්ලේශ ධර්මයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි (විදර්‍ශනාවට) යොග්‍යවූ කල්හි, ස්ථිරවූ කල්හි, නොසෙල්වී සිටිනා බවට පැමිණි කල්හි, පූර්‍වෙනිවාස ස්මෘති ඥානය (පෙර විසූ ආත්ම ගැන දැන ගැනීම) පිණිස ඒ සිත යොමු කෙළෙමි.

’’ඒ මම අනේක ප්‍රකාරවූ පෙර විසූ ආත්ම සිහි කරමි. ඒ කෙසේද? (උපන්නාවූ) එක ජාතියක්ද, ජාති දෙකක්ද,

(1 අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ 1 බ්‍රාහ්මණ වර්‍ගයේ 8 සූත්‍රයේ 4, 5, 6, ඡේද මෙහි යෙදිය යුතුයි.)

’’බ්‍රාහ්මණය, ඒ රාත්‍රියෙහි ප්‍රථම යාමයෙන් මට මේ ප්‍රථම විද්‍යාව ලැබුණේය. (මම එයට පැමිණියෙමි.) මෝහය පහව ගියේය. විද්‍යාව උපන්නේය. අන්‍ධකාරය පහව ගියේය. ආලෝකය උපන්නේය. යම් සේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙකුට (ක්‍රියා කරන්නෙකුට අවබෝධ වන්නේද, එසේ අවබෝධ කෙළෙමි.)

’’බ්‍රාහ්මණය, කුකුළු පැටියා බීජ කෝෂය පලා නික්මුණාක් මෙන් මේ මාගේ පළමුවන නික්මීමයි. (අවබෝධයයි.) ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් සුද්‍ධවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, උපක්ලේශ ධර්මයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි (විදර්‍ශනාවට) යොග්‍යවූ කල්හි, ස්ථිරවූ කල්හි, නොසෙල්වී සිටිනා බවට පැමිණි කල්හි, පූර්‍වෙනිවාස ස්මෘති ඥානය (පෙර විසූ ආත්ම ගැන දැන ගැනීම) පිණිස ඒ සිත යොමු කෙළෙමි.

(අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ 1 බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ, 8 ඡේදයේ, ’’හෙතෙම’’ වෙනුවට ’’මම’’ යයි වෙනස්කර යොදාගත යුතුයි.)

’’බ්‍රාහ්මණය, ඒ රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි මට මේ දෙවෙනි විද්‍යාව ලැබුනේය. (එයට පැමිණියෙමි.) මෝහය පහව ගියේය. විද්‍යාව උපන්නේය. අන්‍ධකාරය පහව ගියේය. ආලෝකය උපන්නේය. යම් සේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙකුට (අවබෝධ වන්නේද එසේ අවබෝධ කෙළෙමි.)

’’බ්‍රාහ්මණය, කුකුළු පැටියා බීජ කෝෂය පලා නික්මුණාක් මෙන් මේ මාගේ දෙවැනි නික්මීමයි. (අවබෝධයයි.) ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් සුද්‍ධවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, උපක්ලේශ ධර්මයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි (විදර්‍ශනාවට) යොග්‍යවූ කල්හි, ස්ථිරවූ කල්හි, නොසෙල්වී සිටිනා බවට පැමිණි කල්හි, (කාමාදී) ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස ඒ සිත යොමු කෙළෙමි. (යෙදවූයෙමි.)

’’ඒ මම (මේ ලෝකය) දුක යයි තත්ත්‍වාකාරයෙන් (ඇති සැටියටම) යහපත්ව අවබෝධ කෙළෙමි. මේ (තෘෂ්ණාව) දුක් ඉපදීමේ හේතුවයයි තත්ත්‍වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ දුක් නැතිකිරීමෙන් (ලබන) නිර්‍වාණයයි තත්ත්‍වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයයි තත්ත්‍වාකාරයෙන් අවබෝධ කෙළෙමි.

’’මේ ආශ්‍රවයෝයි තත්ත්‍වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ ආශ්‍රවයන් ඉපදීමට හේතුවවූ තෘෂ්ණාව යයි තත්ත්‍වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ ආශ්‍රවයන්ගේ නිරුද්‍ධවීමෙන් ලබන නිර්‍වාණයයයි තත්ත්‍වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ ආශ්‍රවයන් නිරුද්‍ධ කිරීමේ මාර්‍ගයයයි තත්ත්‍වාකාරයෙන් අවබෝධ කෙළෙමි.

’’එසේ දැන ගත්තාවූ, එසේ දැක්කාවූ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙනුදු මිදුනේය. භවාශ්‍රවයන්ගෙනුදු මිදුනේය. දෘෂටි ආශ්‍රවයන්ගෙනුදු මිදුනේය. අවිජ්ජාශ්‍රවයන්ගෙනුදු මිදුනේය. මිදුනු කල්හි මිදුනේයයි දැන ගතිමි.

’’නැවත ඉපදීමේ ශක්තිය ක්‍ෂය වූයේය. (අවසාන වූයේය.) ශාසන බ්‍රහ්මචරියාවෙහි වැස නිම කෙළෙමි. (නිර්‍වාණය විමුක්තිය පිණිස) කළයුතු දේ කොට නිම කෙළෙමි. මේ ආත්මයෙන් කළයුතුවූ අනිකක් නැතැයි සම්පූර්‍ණයෙන් දැන ගතිමි.

බ්‍රාහ්මණය, ඒ රාත්‍රියෙහි අවසාන යාමයෙහි මට මේ තුන්වැනි විද්‍යාව ලැබුණේය. (එයට පැමිණියෙමි.) මෝහය පහව ගියේය. විද්‍යාව උපන්නේය. අන්‍ධකාරය පහව ගියේය. ආලෝකය උපන්නේය. යම් සේ වනාහි අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙකුට (අවබෝධ වන්නේද, එසේ අවබෝධ කෙළෙමි.)

’’බ්‍රාහ්මණය, කුකුළු පැටියා බීජ කෝෂය පලා නික්මුණාක් මෙන් මේ මාගේ තුන් වැනි නික්මීමයි. (අවබෝධයයි.) ’’මෙසේ වදාළ කල්හි වේරඤ්ජා බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. ’’පින්වත් ගෞතමයන් වහන්ස, (ඔබ වහන්සේ) වැඩිමල්ලාය. පින්වත් ගෞතමයාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයායි. (අංඟුත්තර නිකායේ 7 මහා වර්‍ගයෙහි 13 සූත්‍රයේ 27 ඡේදයේ අන්තිම කොටස යෙදිය යුතුයි. 328 පිට.)