අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
2. මහාවර්‍ගය
2. සීහසේනාපති සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්.
’’එසමයෙහි වනාහි නිඝණ්ඨ ශ්‍රාවකවූ සීහ සේනාධිපතියා ඒ පිරිසෙහි හුන්නේ වෙයි. එකල්හි සීහ සේනාධිපතියාට මෙබඳු සිතක් ඇතිවූයේය. ’නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්‍ධ වන සේක. ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්.
’’මම ඒ භාග්‍යවත්වූ අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ’’යි
’’ඉක්බිති සීහ සේනාධිපතියා නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, නිගන්ඨනාත පුත්‍රයාට මෙසේ සැළ කෙළේය.
’’ස්වාමීන් වහන්ස, මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දැකීම සඳහා පැමිණෙන්නට කැමැත්තෙමි’’ යි.
’’සීහය කිමෙක්ද? ඔබ ක්‍රියාවාදී වූයේ අක්‍රියවාදීවූ ශ්‍රමණ භවත් ගෞතමයා දැකීම පිණිස එළඹෙන්නේද, සීහය, ශ්‍රමණ භවත් ගෞතමයා අක්‍රිය වාදියෙකි. අක්‍රිය පිණිස දහම් දෙසයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි.’’
’’එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සීහ සේනාධිපතියාගේ ගමනෙහි කටයුතු සම්පාදනය සන්සිඳුනේය. දෙවනුවද, ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්. දෙවනුවද සීහ සේනාධිපතියාට මේ සිත වූයේය. ’නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්‍ධ වන සේක. ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්.
’’මම ඒ භාග්‍යවත්වූ අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ’’යි
’’ඉක්බිති සීහ සේනාධිපතියා නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, නිගන්ඨනාත පුත්‍රයාට මෙසේ සැළ කෙළේය.
’’ස්වාමීන් වහන්ස, මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දැකීම සඳහා පැමිණෙන්නට කැමැත්තෙමි’’ යි.
’’සීහය කිමෙක්ද? ඔබ ක්‍රියාවාදී වූයේ අක්‍රියවාදීවූ ශ්‍රමණ භවත් ගෞතමයා දැකීම පිණිස එළඹෙන්නේද, සීහය, ශ්‍රමණ භවත් ගෞතමයා අක්‍රිය වාදියෙකි. අක්‍රිය පිණිස දහම් දෙසයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි.’’
’’දෙවනුවද, භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සීහ සේනාධිපතියාගේ ගමනෙහි කටයුතු සම්පාදනය සන්සිඳුනේය. වැළකුනේය. තුන්වෙනුවද, ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්. තුන්වෙනුවද, සීහ සේනාධිපතියාට මේ සිත ඇතිවූයේය.
’නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්‍ධ වන සේක. ප්‍රසිද්‍ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්. ඒ නිසාමය. මම ඒ භාග්‍යවත්වූ, අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැකිම පිණිස එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙක. (නිඝණ්ඨයින්ගෙන්) විචාළා හෝ නොවිචාළා හෝ නිඝණ්ඨයෝ මට කුමක් කෙරෙත්ද? මම ඒ නිඝණ්ඨයින්ගෙන් නොවිචාරාම ඒ භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැකිම පිණිස පැමිණෙත්නම් නම් ඉතා යෙහෙකැයි.
’’ඉක්බිති සීහ සේනාධිපතියා මධ්‍යාහ්ණ කාලය ඉක්මවූ පමණින් පන්සියයක් පමණ රථ සේනාව සමග භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස විශාලාමහනුවරට පිටත්වූයේය. රථයෙන් යා යුතු භූමි ප්‍රදේශය යම්තාක්ද, ඒ තාක් රථයෙන් ගොස්, රථයෙන් බැස පයින්ම ආරාමයට ඇතුල්වූයේය. ඉක්බිති සීහ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ සීහ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.
’’ස්වාමීන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි. කියා මා විසින් අසන ලදි. ස්වාමීන් වහන්ස, යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි,’ යන්න කියත් නම් කිමෙක්ද ස්වාමීන් වහන්ස, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දේශනාවක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරන්නාහුද? (දේශනාකළ) ධර්‍මයට අනුකූලවූ ධර්‍මයක් ප්‍රකාශ කරන්නාහුද? ධර්‍මය අනුව වාදයට බැස ගැනීමක් නොවන්නේද, ගර්හා කටයුතු තැනකට නොපැමිණේද? ස්වාමීන් වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට බොරු චෝදනා නොකරණු කැමැත්තෝ වෙමු.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කිරිය වාදියෙක්ය. ක්‍රියා පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම උච්ඡේද වාදියෙක්ය. උච්ඡේදය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම ජේගුච්ඡිකයෙකි. (පිළිකුල් කරන්නෙකි.) පිළිකුල් කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම වේනයිකයෙකි. (හික්මිය යුත්තෙකි.) හික්මීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්‍මයෙන් ශ්‍රාවකයින් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම තපස්සිකයෙක්ය. තපස්බව පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම අපගර්භයෙක්ය. අපගර්භභාවය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම අස්සාසකයෙක්ය. අස්වැසීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
’’සීහය, යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කිරීමට ඇති හේතු කවරේද? සීහය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද නොකළ යුතුයයි කියමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ, අකුශල ධර්‍මයන් නොකළ යුතුයයි මම කියමි. සීහය, යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’,
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කිරිය වාදියෙක්ය. ක්‍රියා පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට ඇති හේතු කවරේද? සීහය, මම වනාහි කාය සුචරිතයද, වචී සුචරිතයද, මනො සුචරිතයද කට යුතුයයි කියමි. අනෙක ප්‍රකාරවූ, කුශල ධර්‍මයන් කළ යුතුයයි කියමි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කිරිය වාදියෙක්ය. ක්‍රියා පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’,
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම උච්ඡේද වාදියෙක්ය. උච්ඡේදය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි රාගයද, ද්වේෂයද, මෝහයද සහමුලින් සිඳිය යුතුයයි කියමි. අනේක ප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්‍මයන් සහමුලින් සිඳිය යුතුයයි කියමි.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම ජේගුච්ඡිකයෙකි. (පිළිකුල් කරන්නෙකි.) පිළිකුල් කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද පිළිකුල් කරමි. අනේක ප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්මයන්ට පැමිණීම පිළිකුල් කරමි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම ජේගුච්ඡිකයෙකි. (පිළිකුල් කරන්නෙකි.) පිළිකුල් කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම වේනයිකයෙකි. (හික්මිය යුත්තෙකි.) හික්මීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්‍මයෙන් ශ්‍රාවකයින් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි රාගයද, ද්වේෂයද, මෝහයද විනය (හික්මීම) පිණිස ධර්මය දේශනා කරමි. අනේක ප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්‍මයන් විනය (දුරුකිරීම) පිණිස ධර්මය දේශනා කරමි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම වේනයිකයෙකි. (හික්මිය යුත්තෙකි.) හික්මීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්‍මයෙන් ශ්‍රාවකයින් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම තපස්සිකයෙක්ය. තපස්බව පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි පවිටුවූ අකුශල ධර්මයන් තැවිය යුතුයයි කියමි. කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද තැවිය යුතුයයි කියමි. සීහය, යමෙකුගේ වනාහි තැවිය යුතුවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීන වූවාහු වෙත්ද, මුල් සිඳිනා ලද්දාහු වෙත්ද, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්ද, නැවත නූපදනා බවට පමුණුවන ලද්දාහු වෙත්ද, මම ඔහු තපස්සියෙක්යයි කියමි. සීහය, තථාගතයන් වහන්සේ වනාහි තැවිය යුතුවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීන වූවාහු වෙත්. මුල් සිඳිනා ලද්දාහු වෙත්. කරටිය සිඳිනා ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. නැවත නූපදනා බවට පමුණුවන ලද්දාහු වෙත්. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම තපස්සිකයෙක්ය. තපස්බව පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම අපගර්භයෙක්ය. අපගර්භභාවය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතුව කවරේද? සීහය, යමෙකුගේ වනාහි නැවත (උත්පත්ති වශයෙන්) මවු ගැබක සයනය කිරීම නැවත භවයක ඉපදීම ප්‍රහීන වූයේ වේද, මුල් සිඳිනා ලද්දේ වේද, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වේද, අභාවප්‍රාප්ත කරණ ලද්දේ වේද, නැවත නූපදනා බවට පමුණුවන ලද්දේ වේද, මම ඔහුට නැවත නුපදින්නෙක්යයි කියමි. සීහය, තථාගතයන් වහන්සේ වනාහි නැවත මවු ගැබක සයනය කිරීම, නැවත භවයක ඉපදීම ප්‍රහීන වූයේ වෙයි. මුල් සිඳිනා ලද්දේ වෙයි. කරටිය සිඳිනා ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයි. අභාවප්‍රාප්ත කරණ ලද්දේ වෙයි. නැවත නූපදනා බවට පමුණුවන ලද්දේ වෙයි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම අපගර්භයෙක්ය. අපගර්භභාවය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
’’සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම අස්සාසකයෙක්ය. අස්වැසීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි සතර මාර්‍ග ඵල සංඛ්‍යාතවූ උතුම්වූ අස්වැසීමෙන් සනසමින් සැනසීම පිණිස ධර්මය දේශනා කරමි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවමි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ’ශ්‍රමණ භවත් ගෞතමතෙම අස්සාසකයෙක්ය. අස්වැසීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
’’මෙසේ දේශනා කළ කල්හි සීහ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීන් වහන්ස, ඉතා යෙහෙකි. ( මෙහි අඞ්ගුත්තර නිකායේ 7 මහා වර්‍ගයෙහි 12 සූත්‍රයේ 27 ඡේදයේ අග කොටස යෙදිය යුතුයි. )
’’සීහය, පරීක්‍ෂාකර (බලා) එසේ කරව. පරීක්‍ෂාකර (එසේ) කිරීම තොප වැනි ප්‍රසිද්‍ධ මනුෂ්‍යයන්ට යහපති.’’
’’ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ’සීහය, පරීක්‍ෂාකර (බලා) එසේ කරව. පරීක්‍ෂාකර (එසේ) කිරීම තොප වැනි ප්‍රසිද්‍ධ මනුෂ්‍යයන්ට යහපති.’ කියා යම් වචනයක් වදාරණ ලදද, එයිනුදු මම භාග්‍යවතුන් වහන්සේට ඉතාමත්ම පැහැදුණෙමි. ඉතාමත්ම සතුටු වූයෙමි.
’’ස්වාමීන් වහන්ස, අන්‍ය තීර්ත්‍ථකයෝ සීහ සේනාධිපතියා අපගේ ශ්‍රාවක භාවයට පැමිණියේයයි මා (වැනි) ශ්‍රාවකයෙක් ලැබී සියලුම විසාලාමහනුවර ප්‍රකටව පරිහරණය කරත්. (හැසිරෙත්) එසේ ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ ’සීහය, පරීක්‍ෂාකර (බලා) එසේ කරව. පරීක්‍ෂාකාරීවීම තොප වැනි ප්‍රසිද්‍ධ මනුෂ්‍යයන්ට යහපති.’ කියා මෙසේ වදාළ සේක.
’’ස්වාමීන් වහන්ස, ඒ මම දෙවැනිවත් භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. ධර්මයද ( සරණ යමි.) සංඝයාද (සරණ යමි.) භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගියාවූ උපාසකයෙකු ලෙස දරණ සේක්වා.
’’සීහය, බොහෝ කාලයක් මුළුල්ලෙහි තොපගේ කුලය (ගෙදර) නිගණ්ඨයින්ට සාදා තිබූ පැන් ශාලාවක් (පින් පැන් තාලියක්) බඳුවිය. ඒ නිසා (නිවසට) පැමිණියාවූ ඔවුන්ටද පිණ්ඩපාතය දියයුතුයයි සිතන්නෙහිය.
’’ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ’’සීහය, බොහෝ කාලයක් මුළුල්ලෙහි තොපගේ කුලය (ගෙදර) නිගණ්ඨයින්ට සාදා තිබූ පැන් ශාලාවක් (පින් පැන් තාලියක්) බඳුවිය. ඒ නිසා (නිවසට) පැමිණියාවූ ඔවුන්ටද පිණ්ඩපාතය දියයුතුය’’ යි යම් වචනයක් වදාරණ ලදද, එයිනුදු මම භාග්‍යවතුන් වහන්සේට ඉතාමත්ම පැහැදුණෙමි. ඉතාමත්ම සතුටුවුයෙමි.
’’ස්වාමීන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ මටම දන් දිය යුතුය. අන්‍යයන්ට දන් නොදිය යුතුය. මගේම ශ්‍රාවකයින්ට දන් දිය යුතුය. අන්‍යයන්ගේ ශ්‍රාවකයින්ට දන් නොදිය යුතුය. මට දුන් දානයම මහත් ඵල වන්නේය. අන්‍යයන්ට දුන් දානය මහත්ඵල නොවන්නේය. මගේ ශ්‍රාවකයින්ට දුන් දානයම මහත් ඵල වන්නේය. අන්‍යයන්ගේ ශ්‍රාවකයින්ට දුන් දානය මහත්ඵල නොවන්නේය’ යි යන මේ වදාළේයයි මා විසින් අසන ලදි. එසේද වුවත්, භාග්‍යවතුන් වහන්සේ මා නිඝන්ඨයින්ට දන් දීමෙහිද සමාදන් කරවයි. (යොදවයි.) ස්වාමීන් වහන්ස, එසේද වුවත් අපි මේ කරුණෙහි කාලය දැන ගන්නෙමු. ස්වාමීන් වහන්ස, ඒ මම තුන් වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. ධර්මයද ( සරණ යමි.) සංඝයාද (සරණ යමි.) භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගියාවූ උපාසකයෙකු ලෙස දරණ සේක්වා.’’
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සීහ සේනාධිපතියාට අනුපූර්‍ව කථාව (පිළිවෙළ කථාව) දේශනා කළ සේක. කෙසේද? දානමය පුණ්‍ය ක්‍රියාව පිළිබඳ කථාවද, සීලමය පුණ්‍ය ක්‍රියාව පිළිබඳ කථාවද, ස්වර්‍ග සම්පත්තිය පිළිබඳ කථාවද, කාමයන්ගේ ආදීනවය ලාමක බව සහ කෙලෙස් සහිත බවද, ගිහිගෙන් නික්ම පැවිදිවිම හා නිවන් ලැබීමෙහි ආනිශංසද වදාළ සේක. (එසේ දේශනා කරණ අතර) යම් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ සීහ සේනාධිපතියාගේ නීරෝගීවූ සිත ඇති බවද, මෘදුවු සිත ඇති බවද, නීවරණයන්ගෙන් පහවූ සිත ඇති බවද, ඔද වැඩියාවූ සිත ඇති බවද, ප්‍රසන්නවූ සිත ඇති බවද දැනගත් සේක්ද, එකල්හි බුදුවරයන්ගේ සාමුක්කංසික ධර්ම දේශනා නම්වූ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන (චතුරාර්‍ය්‍ය සත්‍යය) යම් දේශනාවක් වීනම් ඒ දේශනාව වදාළ සේක.
යම් සේ වනාහි පහව ගියාවූ කිලුටු ඇති ශුද්‍ධවූ වස්ත්‍රයක් මනාකොට රජනය (වර්‍ණකිරීම) පිළිගන්නේද, එපරිද්දෙන්ම වනාහි සීහ සේනාධිපතියාට ඒ ආසනයෙහිදීම, උපදින ස්වභාවය ඇත්තාවූ යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ලම නැතිවන, විනාශවන ස්වභාවය යයි, කෙලෙස් රජසින් තොරවූ, නිර්මලවූ, ධර්ම චක්‍ෂුස (ධර්ම ඥානය) පහළ වූයේය.
ඉක්බිති ඒ දක්නා ලද නිර්වාණ ධර්මය ඇත්තාවූ, අවබෝධ කරණ ලද නිර්වාණ ධර්මය ඇත්තාවූ, බැස ගන්නා ලද නිර්වාණ ධර්මය ඇත්තාවූ, තරණය කරණ ලද කථං කථ සංඛ්‍යාත (බුද්‍ධාදී අට තැන්හි) සැකය ඇත්තාවූ, (විචිකිච්ඡාව පහව ගියාවූ), විශාරද භාවයට පැමිණියාවූ, බුදු සසුනෙහි (නිවන් අවබෝධය සඳහා) බාහිර ප්‍රත්‍යය නොසෙවිය යුතුවූ සීහ සේනාධිපතියා, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.
’’ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග හෙට දින මාගේ භික්‍ෂා දානය ඉවසන සේක්වා.’’ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් (ඒ ආරාධනාව) ඉවසූ සේක. ඉක්බිති සීහ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගත් බව දැන, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ, ප්‍රදක්‍ෂිණා කොට ගියේය.
’’ඉක්බිති සීහ සේනාධිපතියා එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය.
’එම්බා පුරුෂය, තෙපි යව. පවත්ත මාංශය දැන ගනුව. (ආපණ ශාලාවෙහි වෙළඳාමට තිබෙන මාංශය ගෙනෙව.) ඉක්බිති සීහ සේනාධිපතියා ඒ රැය ඉක්ම ගිය කල්හි සිය නිවෙසෙහි ප්‍රණීතවූ ඛාද්‍ය, භොද්‍ය සම්පාදනය කොට භාග්‍යවතුන් වහන්සේ (වෙත පැමිණ) ’ස්වාමීන් වහන්ස, භික්‍ෂා දානය සම්පාදනය කොට නිමවූවෙමි. (වැඩමවීමට) කාලයයි.’ කාලය දැන්වූයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරව, පාත්‍ර සිවුරු රැගෙන, සීහ සේනාධිපතියාගේ නිවස යම් තැනකද, එතැන්හි පැමිණි සේක. පැමිණ, භික්‍ෂු සංඝයා සමග පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.
එසමයෙහි වනාහි බොහෝ නිඝණ්ඨයෝ විශාලාමහනුවර වීදියක් වීදියක් පාසා, හන්‍දියක් හන්‍දියක් පාසා, ’අද සීහ සේනාධිපතියා විසින් ගෝන, මි, ඌරු ආදීවු මහත් සතුන් රාශියක් මරා ශ්‍රමණ භවත් ගෞතමයාට බතක් සම්පාදනය කරණ ලදී. ශ්‍රමණ භවත් ගෞතමයා දැන දැන ඒ තමා උදෙසා කරණ ලද, තමා නිසා කරණ ලද, මාංශය අනුභව කරයි,’’ කියා හිස අත් බැඳගෙන කෑ ගසත්.
එකල්හි එක්තරා පුරුෂයෙක් සීහ සේනාධිපතියා යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ’’ස්වාමින් වහන්ස, කරුණක් දන්නවාද? අද සීහ සේනාධිපතියා විසින් ගෝන, මි, ඌරු ආදීවු මහත් සතුන් රාශියක් මරා ශ්‍රමණ භවත් ගෞතමයාට බතක් සම්පාදනය කරණ ලදී. ශ්‍රමණ භවත් ගෞතමයා දැන දැන ඒ තමා උදෙසා කරණ ලද, තමා නිසා කරණ ලද, මාංශය අනුභව කරයි,’’ කියා අර බොහෝ නිඝණ්ඨයෝ විශාලාමහනුවර වීදියක් පාසා, හන්‍දියක් පාසා හිස අත් බැඳගෙන කෑ ගසත්ය’ යි සීහ සේනාධිපතියාගේ කණ සමීපයෙහි (සිට) සැළ කෙළේය.
’’ආර්‍ය්‍යයෙනි, කමක් නැත. ඒ ආයුෂ්මතුන් බොහෝ කලක් මුළුල්ලෙහිම බුදුන්ගේ අගුණ කීමට කැමැත්තෝය. ධර්‍මයේ අගුණ කීමට කැමැත්තෝය. සඞ්ඝයාගේ අගුණ කීමට කැමැත්තෝය. ඒ භාග්‍යවතුන් වහන්සේට අසත්‍යවූ, හිස්වූ, බොරුවූ, සිදු නොවූ (දේ ගැන) බොරු චෝදනා කරන්නාවූ ඒ ආයුෂ්මත්හු ඒ (අකුශලය) නොදිරවත් (නොගෙවත්). අපි ජීවිතය නිසාවත් දැන දැන සතෙකුගේ ප්‍රණය තොර නොකරන්නෙමු.’’
ඉක්බිති සීහ සේනාධිපතියා බුදුන් ප්‍රමුඛවූ භික්‍ෂු සංඝයා ප්‍රණීතවූ ඛාද්‍ය භොද්‍යයෙන් සියතින් සන්තර්‍පණය කෙළේය. (පෙරැත්ත කොට වැළඳවූයේය.) ඉක්බිති සීහ සේනාධිපතියා, භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් හස්තය ඉවතට ගත් කල්හි එකත්පසෙක්හි හුන්නේය. එකත්පසෙක හුන්නාවූ සීහ සේනාධිපතියාට භාග්‍යවතුන් වහන්සේ ධර්‍ම කථාවෙන් (කරුණු) දක්වා, සමාදන් කරවා, උද්‍යෝගී කරවා, ප්‍රසන්න කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.’’