අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
3. ගෘහපති වර්‍ගය
10. අනුරුද්‍ධ සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු ජනපදයෙහි වූ, සුංසුමාරගිර, භෙසකලාවන මෘගදායෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ චෙතිය රට ප්‍රාචීන වංශදායෙහි වැඩ වාසය කරණ සේක.
’’එකල්හි රහසිගතව, විවේකීව වාසය කරන්නාවූ, ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි මෙබඳුවූ මහා පුරුෂ විතර්‍කයක් උපන්නේය.
’’මේ ධර්‍මය, අල්පෙච්ඡයාටය. මේ ධර්මය, මහා තෘෂ්ණා ඇත්තාහට නොවේ. මේ ධර්මය, ලද දෙයින් සතුටු වන්නාටය. මේ ධර්මය, ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. මේ ධර්මය, ප්‍රකර්‍ෂ විවේක ඇත්තාහටය. මේ ධර්මය, පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේ. මේ ධර්මය, පටන්ගන්නා ලද කායික, චෛතසික වීර්‍ය්‍යය ඇත්තාහටය, මේ ධර්මය, කුසීතයාහට නොවේ. මේ ධර්මය, සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තාහටය, මේ ධර්මය, සිහි මුළාවූවහුට නොවේ. මේ ධර්මය, එකඟවු සිත් ඇත්තාහටය, මේ ධර්මය, එකඟනුවූ සිත් ඇත්තාහට නොවේ. මේ ධර්මය, ප්‍රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.’’ යනුයි.
’’එකල්හි භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේගේ සිතින් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේගේ සිත (හටගත්) විතර්‍කය පිරිසිඳ දැන, යම් සේ වනාහි බලවත් පුරුෂයෙක් තෙම, හකුළුවන ලද අතක් දිගුකරන්නේ යම් වේගයකින්ද, දිගුකරණ ලද අතක් හකුළුවන්නේ යම් වේගයකින්ද, එපමණ වේගයෙන් භගු ජනපදයෙහි, සුංසුමාරගිර, භෙසකලාවන මෘගදායෙහි අතුරුදන්වූ සේක්, චෙතිය රට ප්‍රාචීන වංශදායෙහි ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ ඉදිරියෙහි පහළවූ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පණවනලද අසුනෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්සේක. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’යහපති, යහපති, අනුරුද්‍ධය, ඔබ මහා පුරුෂ විතර්‍ක සහිත කල්පනා කිරීම යහපත්මය. ’’මේ ධර්‍මය, අල්පෙච්ඡයාටය. මේ ධර්මය, මහා තෘෂ්ණා ඇත්තාහට නොවේ. මේ ධර්මය, ලද දෙයින් සතුටු වන්නාටය. මේ ධර්මය, ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. මේ ධර්මය, ප්‍රකර්‍ෂ විවේක ඇත්තාහටය. මේ ධර්මය, පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේ. මේ ධර්මය, පටන්ගන්නා ලද කායික, චෛතසික වීර්‍ය්‍යය ඇත්තාහටය, මේ ධර්මය, කුසීතයාහට නොවේ. මේ ධර්මය, සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තාහටය, මේ ධර්මය, සිහි මුළාවූවහුට නොවේ. මේ ධර්මය, එකඟවු සිත් ඇත්තාහටය, මේ ධර්මය, එකඟනුවූ සිත් ඇත්තාහට නොවේ. මේ ධර්මය, ප්‍රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.’’ යනුයි. එසේවීනම් අනුරුද්‍ධය, ඔබ මේ ධර්මය තෘෂ්ණා, මාන, දෘෂ්ටි නම් වූ, ප්‍රමාදයන්ගෙන් තොරවු හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය, මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේයයි, මේ අටවැනිවූ මහා පුරුෂ විතර්‍කයද කල්පනා කරව.
’’අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්‍ධය, ඔබ එතැන්පටන් වස්තුකාම, ක්ලේශකාමයන්ගෙන් වෙන්ව, ව්‍යාපාදාදී අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, ප්‍රීතිය හා සැපය ඇත්තාවූ, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙහිය. අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්‍ධය, ඔබ එතැන්පටන් විතර්‍ක විචාරයන් සන්සිඳවීමෙන්, සිතෙහි පැහැදිම ඇත්තාවූ, චිත්තයාගේ එකඟතාවයයි කියනලද, විතර්‍ක විචාරයන්ගෙන් තොරවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇත්තාවු, දෙවැනි ධ්‍යානයට පැමිණ යම්තාක් වාසය කරන්නෙහිය. අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්‍ධය, ඔබ එතැන්පටන් ප්‍රීතියෙහිද නොඇලී, උපෙක්‍ෂා සහගතව වාසය කරන්නෙහි, ස්මෘතිමත්වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේම, සැපයද කයින් විඳින්නෙහි, ආර්‍ය්‍යයන් වහන්සේලා යම් ධ්‍යානයකට සමවැදුනෙකු සඳහා උපෙක්‍ෂා සහගතවූ, ස්මෘතිමත්වු සැප විහරණයෙන් යුක්තවූවෙකැයි ප්‍රකාශ කරන්නාහුද, ඒ තෘතිය ධ්‍යානයට පැමිණ යම්තාක් වාසය කරන්නෙහිය. අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්‍ධය, ඔබ එතැන්පටන් සැප සිතිවිලිද දුරු කිරීමෙන්, දුක් සිතිවිලිද දුරු කිරීමෙන්, පෙර මෙන් සොම්නස්, දොම්නස් දුරුකිරීමෙන්, දුක් සිතිවිලි නැත්තාවු, සැප සිතිවිලි නැත්තාවු, මැදහත්වූ, සිහියෙන් පිරිසිදුවු, සිවුවැනි ධ්‍යානයට පැමිණ යම්තාක් වාසය කරන්නෙහිය. අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්‍ධය, ඔබ එතැන්පටන් පිරිසිදු සිත් ඇත්තාවූ, මෙලොවම සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද, කැමැතිසේ ලෙහෙසෙියෙන් සුවසේ ලැබුවෙක් වෙහිද,
’’අනුරුද්‍ධය, ඔබට එතැන් පටන් යම් සේ වනාහි ගෘහපතියෙකුට හෝ, ගෘහපති පුත්‍රයෙකුට හෝ, නානාප්‍රකාර වර්‍ණවලින් රඳනා ලද වස්ත්‍රයන්ගෙන් පුරවන ලද වස්ත්‍ර කරඬුවක් වන්නේද, එපරිද්දෙන්ම වනාහි යථාලාභ සන්තෝෂයෙන් වාසය කරන්නාවූ ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණා, දෘෂ්ටි ආදියෙන් නොතැවීම පිණිස, සැප විහරණය පිණිස, නිර්වාණ ධර්මයට බැස ගැනීම පිණිස, සිවුරු අතුරෙන් පංසුකූල චීවරය (සුදුසුයයි) හැඟෙන්නෙහිය.
’’අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, පිරිසිදු සිත් ඇත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද කැමතිසේ ලෙහෙසියෙන් සුවසේ ලැබුවෙහිද, අනුරුද්‍ධය, එතැන් පටන් ඔබට යම්සේ වනාහි ගෘහපති යෙකුට හෝ, ගෘහපති පුත්‍රයෙකුට හෝ, නොයෙක් සූප ඇත්තාවු, නොයෙක් ව්‍යඤ්ජන ඇත්තාවු, කළු සහල් ඉවත්කොට (පිසිනලද) ඇල් බතක් වේද, එපරිද්දෙන්ම වනාහි යථාලාභ පිණ්ඩපාත භෝජනයෙන් සතුටුවන්නාවු ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් නොතැවීම පිණිස, සැප විහරණය පිණිස, නිර්වාණ ධර්මයට බැස ගැනීම පිණිස, ගෙපිළිවෙලින් ලබන ලද පිණ්ඩපාත භෝජනය (සුදුසුයයි) හැඟෙන්නෙහිය.
’’අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, පිරිසිදු සිත් ඇත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද කැමතිසේ ලෙහෙසියෙන් සුවසේ ලැබුවෙහිද, අනුරුද්‍ධය, එතැන් පටන් ඔබට යම් සේ වනාහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ඇතුළත පිටත සුධාලේප කරණ ලද්දාවූ, වාතාවරණ ඇත්තාවූ, යහපත් දොර අගුළු ඇත්තාවූ, යොදන ලද වා කවුළු (ජනෙල්) ඇත්තාවූ කුළු ගෙයක් වේද, එපරිද්දෙන්ම වනාහි යථාලාභ සේනාසන පරිභෝගයෙන් සතුටුවන්නාවූ ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් නොතැවීම පිණිස, සැප විහරණය පිණිස, නිර්වාණ ධර්මයට බැස ගැනීම පිණිස, රුක්මුල සෙනසුන (සුදුසුයයි) හැඟෙන්නෙහිය.
’’අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, පිරිසිදු සිත් ඇත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද කැමතිසේ ලෙහෙසියෙන් සුවසේ ලැබුවෙහිද, අනුරුද්‍ධය, එතැන් පටන් ඔබට යම් සේ වනාහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ සතරඟුලකින් වඩා දික්වූ, කළු ලොමින් කරණ ලද ඇතිරිලි අතුරණ ලද හෝ, සුදු එළු ලොමින් කරණ ලද ඇතිරිලි අතුරණ ලද හෝ, ඝන පුෂ්පයන් දක්වා සුදු එළු ලොමින් කරණ ලද ඇතිරිලි අතුරණ ලද හෝ, කෙසෙල්මුව සමින් කරණ ලද උතුම් පසතුරුණු අතුරණ ලද හෝ, මතුයෙහි බඳින ලද රතු වියනින් යුක්තවූ, හිස පය දෙපසෙහි තබන ලද රතු කොට්ට ඇත්තාවූ, ආසනයක් වේද, එපරිද්දෙන්ම වනාහි යථාලාභ සයනාසන පරිභෝගයෙන් සතුටු වන්නාවූ ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් නොතැවීම පිණිස, සැප විහරණය පිණිස, නිර්වාණ ධර්මයට බැස ගැනීම පිණිස, තණ ඇතිරිය (සුදුසුයයි) හැඟෙන්නෙහිය.
’’අනුරුද්‍ධය, ඔබ යම් දිනක පටන් අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, පිරිසිදු සිත් ඇත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද කැමතිසේ ලෙහෙසියෙන් සුවසේ ලැබුවෙහිද, අනුරුද්‍ධය, එතැන් පටන් ඔබට යම් සේ වනාහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ නොයෙක් බෙහෙත් වන්නාහුද, ඒ කවර බෙහෙත්ද යත්? ගිතෙල්ය, වෙඬරුය, තලතෙල්ය, මීපැණිය, පැණිය යන මොහුයි. එපරිද්දෙන්ම වනාහි යථාලාභ ගිලන්පස පරිභොගයෙන් සතුටුවන්නාවූ ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණාදෘෂ්ටි ආදියෙන් නොතැවිම පිණිස, සැප විහරණය පිණිස, නිර්වාණ ධර්මයට බැස ගැනීම පිණිස, ගොමුත්‍රයෙහි පරිභාවිත අරළු බෙහෙත සුදුසුයයි හැඟෙන්නෙහිය.
’’අනුරුද්‍ධය, එසේවීනම් ඔබ, ලබන වස් විසීමද මේ චේතිය රට ප්‍රාචීන වංශදායෙහිම වසන්නෙහිය.’’ - ’’එසේය ස්වාමීනි,’’ යි ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්ාස්ට මේ අවවාදයෙන් අවවාද කොට යම් සේ වනාහි බලවත් පුරුෂයෙක් තෙම, හකුළුවන ලද අතක් දිගුකරන්නේ යම් වේගයකින්ද, දිගුකරණ ලද අතක් හකුළුවන්නේ යම් වේගයකින්ද, එපරිද්දෙන්ම චෙතිය රට ප්‍රාචීන වංශදායෙහි අතුරුදන්වූ සේක, භගුරට සුංසුමාරගිර භෙසකලාවන මෘගදායෙහි පහළවූ සේක. එහි පණවන ලද අසුනෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් සේක (එහි) වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
’’ මහණෙනි, තොපට අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් දේශනා කරන්නෙමි. එය ශ්‍රවණය කරවු. මනාකොට මෙනෙහි කරවු. (සිත්හි ධාරණය කරවු.) දේශනා කරන්නෙමි.’’ ’’එසේය, ස්වාමීනි,’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍ර ධර්මය වදාළ සේක.
’’මහණෙනි, අෂ්ට මහා පුරුෂ විතර්‍කයෝ කවරහුද? මහණෙනි, එකල්හි රහසිගතව, විවේකීව වාසය කරන්නාවූ, ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි මෙබඳුවූ මහා පුරුෂ විතර්‍කයක් උපන්නේය. මහණෙනි, මේ ධර්‍මය තෘෂ්ණාමාන දෘෂ්ටි නම්වු ප්‍රමාදයන්ගෙන් තොරවූ හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය. මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේ යනුයි. මහණෙනි, මේ ධර්මය අල්පෙච්ඡයාහටය, මේ ධර්මය මහිච්ඡයාහට නොවේ යයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද?
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (තමා) අල්පෙච්ඡයෙක් වූයේම, ’මා අල්පෙච්ඡයෙක්ය’ යි දැනගන්නාහූ නම් නොකැමැතිවේ. ලද දෙයින් සතුටුවන සුලුවූයේම, ’මා ලද දෙයින් සතුටු වන්නෙකැ’ යි දැනගන්නාහු නම් නොකැමැති වේ. ලද දෙයින් ස.තුටුවන සුලු වූයේම, ’මා ප්‍රකර්‍ශ විවේකයෙන් යුක්තවූවෙකැ’ යි දැනගන්නාහු නම් නොකැමැති වේ. පටන් ගන්නා ලද කායික චෛතසික වීර්‍ය්‍යය ඇත්තේම, ’මා පටන් ගන්නා ලද කායික චෛතසික වීර්‍ය්‍යය ඇත්තෙකැ’ යි දැන ගන්නාහු නම් නොකැමැති වේ. සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තේම, ’මා සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තෙකැ’ යි දැන ගන්නාහු නම් නොකැමැති වේ. එකඟවූ සිත් ඇත්තේම, ’මා එකඟවූ සිත් ඇත්තෙකැ’ යි දැන ගන්නාහු නම් නොකැමැති වේ. ප්‍රඥාවන්ත වූයේම ’මා ප්‍රඥාවන්තයෙකැ’ යි දැන ගන්නාහු නම් නොකැමැති වේ. තෘෂ්ණා මාන දෘෂ්ටි නම්වූ ප්‍රමාදයෙන් තොරව නිර්‍වාණයෙහි ඇලුනේම, ’මා තෘෂ්ණා මාන දෘෂ්ටි නම්වූ ප්‍රමාදයෙන් තොරව නිර්‍වාණයෙහි ඇලුනෙක්ය’ යි දැනගන්නාහු නම් නොකැමැති වේ. මහණෙනි, මේ ධර්මය අල්පෙච්ඡයාහටය, මේ ධර්මය මහිච්ඡයාහට නොවේ යයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. යම් ඒ ධර්‍මයක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.
’’මහණෙනි, මේ ධර්මය ලද දෙයින් සතුටුවන්නා හටය. මේ ධර්මය ලද දෙයින් සතුටු නොවන්නාට නොවේයයි, මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් සඳහා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිවුපසයෙන් යථා ලාභ, යථා බල, යථා සාරුප්‍ය වශයෙන් සතුටු වෙයි. මහණෙනි, මේ ධර්මය ලද දෙයින් සතුටුවන්නා හටය. මේ ධර්මය ලද දෙයින් සතුටු නොවන්නාට නොවේයයි, යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.
’’මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ශ විවේකයෙන් යුක්තවූවහුටය. මේ ධර්මය පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් සඳහා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි ප්‍රකර්‍ශ විවේකයෙන් යුක්තව වාසය කරන්නාවූ භික්‍ෂුව වෙත භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා, රාජ, රාජ මහාමාත්‍ය, තීර්ත්‍ථක, තීර්ත්‍ථක ශ්‍රාවකයෝ එළඹෙන්නාහු වෙත්. එහි වාසය කරන්නාවූ භික්‍ෂුතෙම විවේකතයට නැමුණාවූ, විවේකයට යොමුවූ, විවේකයට නැඹුරුවූ, කෙලෙසුන් කෙරෙන් දුරුවූ, නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනාවූ සිතින් ඒකාන්තයෙන් (ඒ පිරිස) පිටවී යාමට යෝග්‍යවූ කථාවක්ම කරන්නේ වේ. මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ශ විවේකයෙන් යුක්තවූවහුටය. මේ ධර්මය පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේයයි යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.
’’මහණෙනි, මේ ධර්මය පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තාහටය. මේ ධර්මය කුසීතයාහට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උත්සාහවත්වූයේ, දෘඪ පරාක්‍රම ඇත්තේ, නොපසුබස්නා වීර්‍ය්‍යය ඇත්තේ, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ, වාසය කරයි. මහණෙනි, මේ ධර්මය පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තාහටය. මේ ධර්මය කුසීතයාහට නොවේයයි යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.
’’මහණෙනි, මේ ධර්මය එළඹ සිටි සිහි ඇත්තාහටය. මේ ධර්මය සිහි මුළාවූවහුට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශ්‍රෙෂ්ඨවූ සිහි නුවණින් යුක්තවූයේ, පුරාණ කාලයේ කරණ ලද්දාවූද, කියන ලද්දාවුද. දෙය සිහිකරන්නේ, අනුස්මරණය කරන්නේ, එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ ධර්මය එළඹ සිටි සිහි ඇත්තාහටය. මේ ධර්මය සිහි මුළාවූවහුට නොවේයයි යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.
’’මහණෙනි, මේ ධර්මය එකඟවූ සිත් ඇත්තාහටය. වික්‍ෂිප්ත සිත් ඇත්තාහට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදි. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වස්තු කාම, ක්ලේශ කාමයන්ගෙන් තොරවූයේම, ව්‍යාපාදාදී අකුශල ධර්මයන්ගෙන් තොරවූයේම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇත්තාවූ, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරමි. විතර්‍ක විචාරයන් සන්සිඳවා, සිතේ පැහැදීම් ඇතිවූයේ, විතර්‍ක විචාරයන්ගෙන් තොරවූ, චිත්තයාගේ එකඟ භාවයයි කියන ලද, සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් යුක්තවූ, දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරමි. (වීතීය ධ්‍යානයෙහි ඇත්තාවූ) ප්‍රීතියෙහිද නොඇලී, උපෙක්‍ෂා සහගතව (දුක් සැප දෙකෙහි මධ්‍යස්ථව) වාසය කරයි. සිහි ඇතිව, යහපත් ප්‍රඥාවෙන් යුක්තව, සැපයද කයින් විඳිමි. ආර්‍ය්‍ය පුද්ගලයෝ ස්මෘතියෙන් හා සැප විහරණයෙන් යුක්තවූ, යම් කිසි ධ්‍යානයක් ගැන කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි. සැප දුක් දෙක පිළිබඳ අදහස දුරුකොට පෙර මෙන් සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන් ලැබිය යුතුවූ දුක් සැප දෙකින් තොර උපෙක්‍ෂා සහගත සිහියෙන් පිරිසිදුවූ සිවු වැනි ධ්‍යනයට පැමිණ වාසයකරමි. මහණෙනි, මේ ධර්මය එකඟවූ සිත් ඇත්තාහටය. වික්‍ෂිප්ත සිත් ඇත්තාහට නොවේයයි යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.
’’මහණෙනි, මේ ධර්මය ප්‍රඥාවන්තයාහටය. මේ ධර්මය අඥානයාට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදි. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම උදය ව්‍යය පිළිබඳව සිත් යොමු කරවන්නාවූ ප්‍රඥාවෙන් යුක්තවූයේ, ආර්‍ය්‍යවූ, නිර්‍වෙධිකවූ (නොසැළෙන) ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දුක් කෙළවර කිරීම සඳහා සිත් යොමු කරවන්නාවු ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවන්ත වෙයි. මහණෙනි, මේ ධර්මය ප්‍රඥාවන්තයාහටය. මේ ධර්මය අඥානයාට නොවේයයි මෙසේ යම් ඒ ප්‍රකාශයක් කරණ ලදද, ඒ ප්‍රකාශය මේ හේතුවෙන් ප්‍රකාශ කරණ ලදී.
’’මහණෙනි, මේ ධර්මය තෘෂ්ණා මාන දෘෂ්ටි නම්වූ ප්‍රමාදයෙන් තොරවූ හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය. මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදි. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහුගේ සිත ප්‍රමාදය නිරුද්‍ධ කිරීමෙහි අරමුණු කිරීම් වශයෙන්
(ඉදිරියට) පනී. පහදී. යහපත්ව පිහිටයි. විශෙෂයෙන් මුක්ත වෙයි. මහණෙනි, මේ ධර්මය තෘෂ්ණා මාන දෘෂ්ටි නම්වූ ප්‍රමාදයෙන් තොරවූ හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය. මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේයයි මෙසේ යම් ඒ ප්‍රකාශයක් කරණ ලදද, ඒ ප්‍රකාශය මේ හේතුවෙන් ප්‍රකාශ කරණ ලදී.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ ලබන වස් විසීමද ඒ චෙතියරට ප්‍රාචීන වංශදායෙහිම විසූ සේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ තනිව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යම් අර්‍ථයක් පිණිස ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ අනුත්තර ධර්‍මය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන, ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු ආත්ම භාවයක් නැතැයි දැන ගත්තේය. අනුරුද්ධ තෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් පුද්ගලයෙක් විය.’’
ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ වනාහි එක්තරා රහතන් වහන්සේ නමක් වූ සේක. ඉක්බිති රහත් බවට පැමිණි ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ ඒ වේලාවෙහි මේ ගාථාවන් ප්‍රකාශ කෙලේය.
’’ලොකයෙහි නිරුත්තරවූ ශාස්තෘන් වහන්සේ මාගේ සම්‍යක් කල්පනාව දැන, ඎද්‍ධියෙන්, මනොමයවූ ශරීරයෙන් (මා වෙත) එළඹි සේක. මාගේ සම්‍යක් කල්පනා යම් සේ වූයේද, එයටත් වඩා (උන්වහන්සේ) දේශනා කළ සේක. නිෂ්ප්‍රපඤ්ච සංඛ්‍යාතවූ නිර්වාණයෙහි ඇලුනාවූ බුදුරජාණන් වහන්සේ, නිෂ්ප්‍රපඤ්චය දේශනා කළ සේක. මම උන්වහන්සේගේ ධර්මය දැන ශාසනයෙහි සිත් ඇලවූයේ වාසය කෙළෙමි. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුරජාණන් වහන්සේ ගේ අනුශාසනාව කෙළෙමි.’’
තුන්වැනි ගහපති වර්‍ගය නිමි.