දීඝ නිකාය

මහා වර්ගය

17. මහා සුදස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී (මාගේ ඇසීම මෙසේය) එක්කලක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම්වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි සල්ගස් දෙකක් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය.

එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ විසම නුවරක්වූ ශාඛානගරයක්වූ මේ කුසිනාරා නුවරෙහි පිරිනිවන් නොපානසේක්වා. ස්වාමීන් වහන්ස, මෙයින් අන්‍යවූ මහ නුවරවල් ඇත්තාහ. එනම් චම්පා නුවරය, රජගහනුවරය, සැවැත් නුවරය, කොසඹෑ නුවරය, බරණැස් නුවරය, යන මොහුය. මෙයින් එක් නුවරකදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන සේක්වා. එහි බොහෝවූ ක්ෂත්‍රිය මහාසාර කුලයෝද, බ්‍රාහ්මණ මහාසාර කුලයෝද, ගෘහපති මහාසාර කුලයෝද ඇත්තාහ. ඔව්හු තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා පැහැදුනෝ වෙත්, ඔව්හු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහුයයි” දැන්නුවේය.

කුසාවතීරාජධානී

“ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව. ආනන්දය, පෙර එක් කාලයක අභිෂෙක ලැබුවාවූ, ක්ෂත්‍රිය වංශයෙහි උපන්නාවූ සාගරය කෙළවර කොට ඇති සතර මහාද්වීපයට නායකවූ, (ආවුද නොගෙන) සතුරන් ජයගත්තාවූ ජනපදයන්හි ස්ථිරබවට පැමිණියාවූ, මහාසුදර්ශන නම් රජෙක් විය. ආනන්දය, ඒ මහාසුදර්ශන රජුට මේ කුසිනාරා නුවර කුසාවතී නමින් රාජධානිය වී. ආනන්දය, ඒ කුසාවතී නම් නගරය වනාහි නැගෙනහිරින්ද, බටහිරින්ද දිගින් දොළොස් යොදුන් විය. උතුරු දිගින්ද දකුණු දිගින්ද පළලින් සත් යොදුන් විය. ආනන්දය, කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සියල්ලෙන් සම්පූර්ණ විය. බොහෝ ජනයා ඇත්තී විය. මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීය. කෑම් බීම් ආදියෙන්ද ඉතා සුලභ විය. ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධද සම්පූර්ණද බොහෝ ජනයන් ඇත්තීද, යක්ෂයන්ගෙන් ගැවසී ගත්තීද, ආනන්දය, එමෙන්ම කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය සම්පූර්ණද විය. බොහෝ ජනයා ඇත්තීය, මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීය. කෑම් බීම් ආදියෙන්ද සුලභ විය. ආනන්දය, කුසාවතී රාජධානිය රෑ දාවල් දෙක්හිම දස ආකාර ශබ්දයෙන්ද, ඝොෂා සහිත විය ඒ කවරේදයත්? ඇතුන්ගේ කුඤ්ච නාදයෙන්ද, අසුන්ගේ හෙසාරවයෙන්ද, රථ ශබ්දයෙන්ද බෙර ශබ්දයෙන්ද මුතිංග (නම් බෙර) ශබ්දයෙන්ද, වීණා ශබ්දයෙන්ද, ගීතශබ්දයෙන්ද, සම්ම (ගී) ශබ්දයෙන්ද, තාල (කයිතාලම්, ශබ්දයෙන්ද, ‘කන්න, බොන්න’ යන මේ දස වැනි වූ ශබ්දයෙන්ද (යන මෙයිනි)

“ආනන්දය, කුසාවතී රාජධානිය ප්‍රාකාර සතකින් වටවූවාය. එනම් එකක්රත්‍රනින්ද, එකක් රිදියෙන්ද, එකක් වෛඪුර්‍ය්‍ය මැණික්වලින්ද, එකක් පළිඟු මැණික් වලින්ද එකක් රතු මැණික්වලින්ද, එකක් මසාර ගල්ලයෙන්ද එකක් සියලුම රත්නයන්ගෙන්ද කරවනලදී.

“ආනන්දය, කුසාවතී රාජධානියෙහි සතර වර්ගයක දොරටු වූවාහුය, එනම් එකක් රනින්විය, එකක් වෛරෝඩි මැණිකෙන් විය, එකක් පළිඟු මැණිකෙන් විය. එක් එක් දොරටුවක එසිකාස්ථම්භ (අගුළු කණු) සත බැගින් හිඳුවන ලද්දාහුය. මිනිසුන් තුන් හතරදෙනෙකුගේ උස පමණ හිඳුවන ලද්දාහ. උසින් මිනිසුන් දසදෙනෙකුගේ උස පමණ විය. එක් කණුවක් රත්‍රනින් විය, එකක් රිදියෙන් විය. එකක් වෛරෝඩි මැණිකෙන් විය. එකක් පළිඟු මැණිකෙන් විය එකක් රතු මැණිකෙන් විය. එකක් මැසිරි ගලින් විය. එකක් සියලු රත්නයන්ගෙන් විය.

“ආනන්දය, කුසාවතී නම් රාජධානිය තල්ගස් පේලි සතරකින් වට වූයේය එක් තල්ගස් පෙළක් රත්‍රනින් විය. එක් තල්ගස් පෙළක් රිදියෙන් විය. එක් තල්ගස් පෙළක් වෛරෝඩි මැණිකෙන් විය. එක් තල්ගස් පෙළක් පලිඟු මැණිකෙන් විය. එක් තල්ගස් පෙළක් රතු මැණික්වලින් විය. එක් තල්ගස් පෙළක් මැසිරි ගල්වලින් විය. එක් තල් ගස් පෙළක් සියලු රත්නයන්ගෙන් විය. රත්‍රනින් කළ තල් ගසේ කඳ රත්‍රන් විය. කොළ හා ගෙඩි රිදියෙන් විය රිදියෙන් කළ තල් ගසේ කඳ රිදියෙන් විය. කොළ හා ගෙඩි රත්‍රනින් විය. වෛරෝඩියෙන් කළ තල් ගසේ කඳ වෛරෝඩියෙන් විය කොළ හා ගෙඩි පළිඟු මාණික්‍යමය විය. පළිඟු මැණිකෙන් කළ තල් ගසෙහි කඳ පළිඟු වලින් විය. කොළ හා ගෙඩි වෛරෝඩි මැණිකෙන් විය. රතු මැණිකෙන් කළ තල් ගසෙහි කඳ රතු මැණික්වලින් විය. කොළ හා ගෙඩි මැසිරි ගලින් විය මරකත මැණික්වලින් කළ තල් ගසෙහි කඳ මරකත මැණිකෙන්ම විය. කොළ හා ගෙඩි රතු මැණිකෙන් විය. සියලු රත්නයන්ගෙන් කළ තල් ගසෙහි කඳ සියලු රත්නයන්ගෙන්ම විය. කොළ හා ගෙඩි සියලු රත්නයන්ගෙන් විය.

“ආනන්දය, ඒ තල්ගස් පේළි සුලඟින් සෙලවෙන විට මිහිරිවූද, සිත් අලවන්නාවූද, ප්‍රිති කරන්නාවූද, ප්‍රීතියෙන් මත් කරන්නාවූද, ශබ්ද ඇති වූයේය. ආනන්දය, විශෙෂයෙන් හික්මුණාවූ වාදනයෙහි දක්ෂයෙකු විසින් වාදනය කරන ලද්දාවූ පංචාංගික තූර්‍ය්‍යයාගේ මිහිරිවූද. සිත් අලවන්නාවූද, ප්‍රීති කරන්නාවූද, විශෙෂයෙන් සිත පින වන්නාවූද ශබ්දය ඇතිවේද, ආනන්දය එපරිද්දෙන් සුලඟින් සෙලවෙන ඒ තල් ගස් පන්තිවලින් මිහිරිවූද, සිත් අලවන්නාවූද. ප්‍රීති කරන්නාවූද, ප්‍රීතියෙන් මත්කරන්නාවූද ශබ්ද ඇතිවූහ. ආනන්දය, ඒ කාලයෙහි කුසාවතී රාජධානියෙහි ස්ත්‍රී ධූර්තාදීහුද සුරාපානයෙහි ළොල්වූ පිපාසා ඇති සුරාසොඬුන් ආදීහුද වාසය කළහ. ඔව්හු සුළඟට සෙලවෙන ඒ තල්ගස් පන්තිවලින් එන ශබ්දයේ තාලයට අනුව නටමින් සතුටුවන්නාහ.

චක්කරතනං

“ආනන්දය, මහාසුදර්ශන රජ රත්න හතකින්ද සෘද්ධි සතරකින්ද සමන්විත වූයේය. කවර රත්න හතක්දයත්? ආනන්දය ඒ පුණුපෝය දිනයෙහි ඉස්නානය කොට අටසිල් සමාදන්ව උඩුමහල් තලයට පැමිණ සිටි සුදර්ශන මහරජුට දැති දහසකින් යුක්තවූ නිම් වලලු සහිතවූ නැබ මඩුලු (බොස් ගෙඩිය) සහිතවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ දිව්‍ය චක්‍ර රත්නය පහළ වූයේය. ඒ දැක මහා සුදර්ශන රජුට මෙවැනි අදහසක් ඇති විය. ‘මා විසින් මෙබන්දක් අසා තිබේ. පසළොස්වක් පෝය දිනයෙහි ස්නානය කොට අටසිල් සමාදන්ව (ප්‍රාසාදයෙහි) උඩුමහල් තලයට පැමිණියාවූ ක්ෂත්‍රිය වංශයෙහිවූ, මුදුනෙහි අභිෂේක ලැබුවාවූ යම් රජෙකුට දහසක් අර (ගරාදි) සහිතවූ, නිම් වලලු (වක් අතු) සහිතවූ, නැබ මඩුලු සහිතවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ දිව්‍යමයවූ චක්‍ර රත්නයක් පහළවේද ඔහු සක්විති රජ වේයයි’ කියායි. මම සක්විති රජ වෙම්දෝයි යනුවෙනි.

“ආනන්දය, ඉක්බිති මහා සුදර්ශන රජ උන් ආසනයෙන් නැඟිට සලුවක් එකාංශකොට පොරවා වම් අතින් රන් කෙන්ඩිය ගෙන ‘පින්වත් චක්‍රරත්නය, (මාගේ අණසක) පවත්වාවා! පින්වත් චක්‍රරත්නය, (සතර මහත් දිවයින) ජය ගෙනදේවායි’ කියමින් දකුණු අතින් පැන් ඉස්සේය. ආනන්දය, එවිට ඒ චක්‍රරත්නය මහා සුදර්ශනරජ, සහ සිවුරඟ සෙනඟ කැටුවම පෙරදිගට ගමන්ගති. ආනන්දය යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටියේද එහි සුදර්ශන රජ සිවුරඟ සෙනග සමග වාසයට පැමිණියේය.

“ආනන්දය, නැගෙනහිර දිසාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් වූවාහුද ඔවුහු මහා සුදර්ශන රජු වෙතට පැමිණ මෙසේ දැන්වූහ ‘මහ රජ්ජුරුවන් වහන්ස, එනු මැනව, මහරජ්ජුරුවන් වහන්ස ඔබගේ ගමන ඉතා යහපත් වේමය. මහරජ්ජුරුවන් වහන්ස, (මේ මහා ද්වීපය) ඔබ සන්තකය මහරජ්ජුරුවන් වහන්ස, අපට අනුශාසනා කළ මැනව’යි යනුවෙනි මහා සුදර්ශන රජ (ඔවුන්ට) මෙසේ අනුශාසනා කළහ ‘සතුන් නොමැරිය යුතුය. නොදුන් දෙය සොර සිතින් නොගත යුතුය. (සොරකම් නොකළ යුතුය) කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය. බොරු නොකිය යුතුය. සුරාපානය නොකළ යුතුය. (තොප) අනුභව කළ අයබදුම අනුභව කරව්යයි’ (ඒ ඒ රජවරුන්ටම ඒ ඒ රටවල් පාවා දෙයි) ආනන්දය නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් ඇද්ද ඔවුහු මහා සුදර්ශන රජුට අනුව පැවැත්තාහුය (යටත්වූහ.)

“ආනන්දය, ඉක්බිති ඒ චක්‍රරත්නය පෙරදිග සමුද්‍රයට බැසගෙන එයින් නැගී මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනග කැටුවම දකුණු දිශාවට (අහසින්) ගමන් ගත්තේය. ආනන්දය, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටියේද එහි සුදර්ශන රජ සිවුරඟ සෙනග සමග වාසයට පැමිණියේය. ආනන්දය, දකුණු දිශාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් වෙද්ද ඔවුහු මහා සුදර්ශන රජු වෙතට පැමිණ මෙසේ දැන්වූහ. ‘මහ රජ්ජුරුවන් වහන්ස, එනුමැනව. මහ රජ්ජුරුවන් වහන්ස, ඔබගේ ගමන ඉතා යහපත්ය. මහ රජ්ජුරුවන් වහන්ස, මේ මහා ද්වීපය ඔබ සන්තකය. මහ රජ්ජුරුවන් වහන්ස, අපට අනුශාසනා කළ මැනවයි” යනුවෙනි. මහා සුදර්ශන රජ (ඔවුන්ට) මෙසේ අනුශාසනා කළහ. ‘සතුන් නොමැරිය යුතුය, සොරකම් නොකළ යුතුය, කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය. බොරු නොකිය යුතුය. සුරාපානය නොකළ යුතුය. (තොප) අනුභව කළ අයබදුම අනුභව කරව්’යි (ඒ ඒ රටවල් ඒ ඒ රජවරුන්ට) පාවා දෙයි. ආනන්දය, දකුණු දිශාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් වෙද්ද ඔවුහු මහා සුදර්ශන රජුට අනුව පැවැත්තාහුය. (යටත්වූහ.) ආනන්දය, ඉක්බිති ඒ චක්‍ර රත්නය දකුණු මුහුදට බැසගෙන එයින් නැගී බස්නාහිර දිශාවට ගමන් ගත්තේය. බටහිර මුහුදට බැස ගෙන මහා සුදර්ශන රජු හා සිවුරඟ සෙනඟ කැටුවම එයින් නැගී උතුරු දිශාවට ගමන් ගත්තේය. ආනන්දය, යම් පෙදෙසක චක්‍ර රත්නය පිහිටියේද සුදර්ශන රජ සිවුරඟ සෙනඟ සමග එහි වාසයට පැමිණියේය. ආනන්දය, උතුරුදිග යම් විරුද්ධ රජ කෙනෙක් වූවාහුද ඔවුහු මහා සුදර්ශන රජු වෙතට පැමිණ මෙසේ කීහ.

‘මහරජාණනි, මෙහි වඩිනු මැනව මහරජාණනි, ඔබගේ ගමන ඉතා යහපති. මහ රජාණෙනි, අපට අනුශාසනා කළ මැනව’ යනුයි. මහා සුදර්ශන රජ මෙසේ කීය. ‘සතුන් නොමැරිය යුතුය, සොරකම් නොකළ යුතුය, කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය, බොරු නොකිය යුතුය, සුරාපානය නොකළ යුතුය. (තොපි) තම තමන්ගේ රජ සැපය සුවසේ විඳිව් කියායි. ආනන්දය, උතුරුදිග යම් විරුද්ධ රජ කෙනෙක් වූවාහුද ඔවුහු මහා සුදර්ශන රජහට යටත් වූහ.

“ආනන්දය, ඉක්බිති ඒ චක්‍රරත්නය මුහුද කෙළවර කොට ඇති මුළු පොළොව ජයගෙන කුසාවතී රාජධානියට ආපසු ඇවිත් මහා සුදර්ශන රජුගේ ඇතුළු නුවර වාසල් දොර නඩු ශාලාව ඉදිරියෙහි, මහා සුදර්ශන රජුගේ ඇතුළු නුවර අන්තඃ පුරය) වැඩියක් හොබවමින් රථ අලවංගුවේ ඇතුළත් කරන ලද්දක් මෙන් සිටියේය. ආනන්දය, මහා සුදර්ශන රජහට මෙබඳු (ආනුභාව ඇති) චක්‍රරත්නය පහළ වූයේය.

හත්ථිරතනං

“ආනන්දය, නැවතද සර්වාංගයම සුදුවූ ස්ථාන හතකින් පොළොව ස්පර්ශ කරන්නාවූ, ඍද්ධි ඇත්තාවූ අහසින් යන්නාවූ, උපොසථ නම් හස්තිරාජ රත්නයක් පහළවූයේය. ඒ දැක මහා සුදර්ශන රජුගේ සිත පැහැදුනේය. “පින්වත්නි ඒකාන්තයෙන් හස්ති යානය ඉදින් නික්මීමට පැමිණේ නම් ඉතා යහපතැයි’ කියායි. ආනන්දය, එවිට ඒ හස්තිරත්නය ඉතා නොබෝ කලක් යහපත්ව දමනය කරන ලද උතුම් අජානීය හස්තිරාජයෙක් යම්සේද එමෙන්ම දමනයට පැමිණ ඉතා හොඳින් හික්මුනේය

“ආනන්දය, පෙරවූ දෙයක් කියමි. ඒ මහා සුදර්ශන රජ හස්ති රත්නය විමසන්නේ උදේ කාලයෙහි හස්ති යානාවට නැගී මුහුද කෙළවරකොට ඇති මුළු පොළොවම අනුශාසනා කොට කුසාවතී රාජධානියට ආපසු ඇවිත් උදේ ආහාරය නිම වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජහට මෙබඳු හස්ති රත්නයක් පහළ වූයේය.

අස්සරතනං

“නැවතද ආනන්දය මහාසුදර්ශන රජහට, මුළු ශරීරය සුදුවූ කාක ශිර්ෂවූ (කවුඩෙකුගේ හිසට සමාන හිසක් ඇති) දකුණට කැරකුන කෙස කලාපයක් ඇති. ඍද්ධිමත්වූ අහසින් යන්නාවූ වලාහක අශ්වරාජවූ අශ්වරත්නයක් පහළවූයේය. ඒ දැක මහා සුදර්ශන රජුගේ සිත පැහැදුනේය ‘පින්වත්නි, ඒකාන්තයෙන් ඉදින් අශ්ව යානාව දමනය වූයේ නම් ඉතා යහපතැයි’ සිතුවේය. ඉක්බිති බොහෝ කලක් යහපත්ව දමනය කරන ලද්දාවූ උතුම් ආජානිය සෛන්ධවයෙක් (අශ්වයෙක්) යම්සේද එමෙන්ම ඒ අශ්ව රත්නය හොඳින් හික්මුණේය. ආනන්දය පෙරවූ දෙයක් කියමි මහා සුදර්ශන රජ ඒ අශ්ව රත්නය විමසනුයේ උදය කාලයෙහි අසුපිටට නැගී සමුද්‍රය කෙළවර කොට ඇති මුළු පොළොවෙහි ඇවිද කුසාවතී රාජධානියට ආපසු ඇවිත් පෙරවරු ආහාරය නිම වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජහට මෙබඳු අශ්වරත්නයක් පහළවූයේය.

මණිරතනං

“තවද අනිකක් නම්, ආනන්දය, ඒ මහා සුදර්ශන රජහට මාණික්‍ය රත්නයක් පහළ වූයේය. ඒ මිණිරුවන වෛඪූර්‍ය්‍ය මැණිකක්වීය, ඉතා සුන්දරවූයේය. ජාතිසම්පන්න වූයේය, අටැස් වූයේය, මනා කොට ඔප කරන ලද්දේය, නිර්මල වූයේය. විශෙෂයෙන් ප්‍රසන්න වූයේය. සියලු ආකාරයෙන් සම්පූර්ණ වූයේය. ආනන්දය, ඒ මාණික්‍ය රත්නයේ ආලොකය හාත්පසින් යොදුනක් තැන පැතිර සිටියේය. ආනන්දය, පෙරවූ දෙයක් නම් මහාසුදර්ශන රජ ඒ මිණිරුවන විමසනුයේ සිව්රඟ සේනාව සරසා ඒ මාණික්‍යරත්නය කොඩියෙහි අගට නංවා ඇස් අඳුරු කරන තද කළුවර රාත්‍රියෙහි (නුවර) සැරිසරයි. ආනන්දය, ඒ කුසාවතී නගරය අවට ගම් වාසීහු ඒ මාණික්‍යයේ ආලෝකයෙන් දවාලයයි සිතා කර්මාන්ත ආරම්භ කළහ. ආනන්දය, මහා සුදර්ශන රජහට මෙබඳු මාණික්‍ය රත්නයක් පහළ වූයේය.

ඉත්ථිරතනං

“නැවතද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ස්ත්‍රීරත්නයක් පහළ වූයේය. ඕතොමෝ මනා රූඇත්තීය, දැකුම් කටයුත්තීය. උතුම්වූ වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත වූවාය. ඉතා උස්ද නොවීය, ඉතා මිටිද නොවීය, ඉතා කෙට්ටුද නොවීය, ඉතා මහත්ද නොවීය, ඉතාකළුද නොවීය, ඉතාසුදුද නොවීය, මිනිස් වර්ණය ඉක්මුනාවූ දිව්‍ය වර්ණයට නොපැමිණියාවූ (දෙවඟනක් සමාන) ස්ත්‍රියක් වූවාය. ආනන්දය, ඒ ස්ත්‍රී රත්නයාගේ මෙබඳුවූ ශරීරස්පර්ශයක්වේ. ඉඹුල්පුළුන්වල හෝ කපු පුළුන්වල යම්බඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක් ඇත්තීය, ආනන්දය, ශීත කාලයේ ඒ ස්ත්‍රී රත්නයගේ ශරීරය උණුසුම් වෙයි. උණුසුම් කාලයේදී සිත වෙයි. ආනන්දය, ඒ ස්ත්‍රී රත්නයගේ ශරීරයෙන් සඳුන් සුවඳ විහිදෙයි, කටින් මහනෙල් මල්සුවඳ විහිදෙයි. ආනන්දය, ඒ ස්ත්‍රි රත්නය වනාහි මහා සුදර්ශනරජුට පළමුකොටම නැගිටින්නියක් වූවාය. පසුව සැතපෙන්නිය. දාසියක් මෙන් හැසිරෙන්නීය. ප්‍රිය මනාපව හැසිරෙන්නීය. ප්‍රිය වචන කියන්නීය ආනන්දය, ඒ ස්ත්‍රී රත්නය වනාහි මහා සුදර්ශන රජු ඉක්මවා සිතින්වත් නොහැසිරෙන්නීය. ශරීරයෙන් කියනුම කවරේද? ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳුවූ ස්ත්‍රි රත්නයක් පහළවූයේය.

ගහපතිරතනං

“නැවතද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළවිය. යමකින් අයිතිකාරයන් ඇතිවූද, නැතිවූද නිධාන දකීද එබඳු දිවැසකි. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවේය. දෙවයන් වහන්ස, උත්සාහ නොකළ මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි” ධනයෙන් පැවරීය. ආනන්දය පෙරවූවක් කියමි. මහා සුදර්ශන රජ ඒ ගෘහපති රත්නය විමසනු පිණිස නැවකට නැගී ගංගානම් ගඟ මැද දිය පාරට පැමිණ ගෘහපති රත්නයට මෙසේ කීය ‘ගෘහපතිය, මට රත්රනින් ප්‍රයෝජන ඇත්තේය’ යනුයි ‘මහ රජාණෙනි, එහෙනම් නැව එක් ගොඩකට (තෙරකට) පමුණුවනු මැනවැයි’ කීය. ‘ගෘහපතිය, මට මෙහිදීම රන් රුවනින් ප්‍රයෝජන ඇත්තේය’යි කීය.

“ආනන්දය, එවිට ඒ ගෘහපතිරත්නය දෝතින් දියදෙබෑ කොට රන්රුවනින් පිරි ඇති නිධිකුම්භයක් (නිධාන කළයක්) ඔසවා මහා සුදර්ශන රජුට මෙසේ කීය. ‘මහ රජාණෙනි, මෙපමණකින් ප්‍රමාණද, මහ රජාණෙනි, මෙපමණකින් (කටයුතු) කරන ලද්දේද, මහරජාණෙනි, මෙපමණකින් (ඔබවහන්සේ) පුදන ලද්දේදැයි’ ඇසීය. මහාසුදර්ශන රජ තෙමේ ගෘහපතිය, මෙපමණකින් ප්‍රමාණය, ගෘහපතිය, මෙපමණකින් (කටයුතු) කරන ලද්දේය. ගෘහපතිය, මෙපමණකින් පුදන ලද්දේයයි’ කීය ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු ගෘහපති රත්නයක් පහළ වූයේය.

පරිණායකරතනං

නැවතද අනිකක් නම් ආනන්දය, මහා සුදර්ශන රජුට පරිනායක රත්නයක් පහළ වූයේය. ඔහු පණ්ඩිත වූයේය. කීමෙහි බිණීමෙහි දක්ෂ වූයේය. ඤාණවන්තවූයේය. මහා සුදර්ශන රජු වෙතට පැමිණ විය යුත්තන් පැමිණවීමටද, නොපැමිණවිය යුත්තන් නොපැණවීමටද සමර්ථ වූයේය. ඔහු මහා සුදර්ශන රජු වෙත පැමිණ, ‘දේවයන් වහන්ස, ඔබ වහන්සේ වෙහෙස නොවනු මැනව. මම අනුශාසනා කරන්නෙමි’ කීය. ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු පරිනායක රත්නයක් පහළවූයේය. ආනන්දය, මහා සුදර්ශන රජු මේ සත් ආකාර රත්නයෙන් යුක්ත වූයේය.

චතුඉද්ධිසමන්නාගතො

“ආනන්දය, නැවතද අනිකක් නම්, මහා සුදර්ශන රජ සතර ඍද්ධියකින් යුක්ත වූයේය, කවර නම් සතර ඍද්ධියකින්ද යත්? ආනන්දය, මේ මනුෂ්‍ය ආත්ම භාවයෙහි මහා සුදර්ශන රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා අතිශයින් මනාවූ රූප සොභා ඇති දැකීමට ප්‍රියවූ සතුට ගෙනදෙන්නාවූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්තවිය. ආනන්දය, මහා සුදර්ශන රජ මේ පළමුවැනි ඍද්ධියෙන් යුක්ත විය.

“ආනන්දය, නැවතද අනිකක්නම්, මහා සුදර්ශන රජු සෙසු මනුෂ්‍යයන්ට වඩා බොහෝ කල් ජීවත්වන්නෙක් විය. දීර්ඝායු ඇත්තෙක් විය. ආනන්දය, මහා සුදර්ශන රජු මේ දෙවැනි ඍද්ධියෙන් යුක්ත විය.

“නැවතද අනිකක් නම් ආනන්දය, මහා සුදර්ශන රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් වීය. රොග අඩු කෙනෙක් විය. ඉතා මඳද නොවූ වැඩිද නොවූ, සමව ආහාර දිරවන ගින්නෙන් යුක්තවිය. ආනන්දය, මහාසුදර්ශන රජ මේ තුන්වැනි ඍද්ධියෙන් යුක්ත විය.

“තවත් කරුණක් නම් ආනන්දය, මහා සුදර්ශන රජු බ්‍රාහ්මණ ගෘහපතීන්ට ප්‍රියවූයේද, මනාප වූයේද, ආනන්දය, යම්සේ පුත්‍රයන්ට පියා ප්‍රියවේද, මනාප වේද එමෙන්ම ආනන්දය, මහාසුදර්ශනරජු බ්‍රාහ්මණ ගෘහපතීන්ට ප්‍රිය වූයේද, මනාපද වූයේද, ආනන්දය, මහා සුදර්ශන රජුටද බ්‍රාහ්මණ ගෘහපතීහු ප්‍රිය වූවාහුය. මනාප වූවාහුය. ආනන්දය, යම්සේ පියාට පුත්‍රයෝ වෙද්ද, මනාප වෙද්ද එමෙන් ආනන්දය, මහාසුදර්ශන රජුට බ්‍රාහ්මණ ගෘහපතීහු ප්‍රිය වූවාහුය, මනාප වූවාහුය. ආනන්දය, පෙර මෙවැනි දෙයක් විය. මහාසුදර්ශන රජ සිව්රඟ සෙනග සමග උයනට ගියේය. ආනන්දය, එවිට බ්‍රාහ්මණ ගෘහපතීහු මහාසුදර්ශන රජු ළඟට පැමිණ මෙසේ කීවාහුය.’ දේවයන් වහන්ස, ඔබ වහන්සේ යම් පරිද්දකින් ඉතා බොහෝ වේලාවක් දක්නෙමුද, එසේ ඉක්මන් නොවී වැඩිය මැනවැයි’ කීහ. ආනන්දය, මහාසුදර්ශන රජුද රියැදුරාට කථා කළේය. ‘එම්බා රියැදුර, ඉක්මන් නොව හෙමින් රථය ගමන් කරව. මම යම් ලෙසකින් බ්‍රාහ්මණ ගෘහපතීන් බොහෝ වේලාවක් දක්නෙම්ද එසේ පදවයි’ කීය. ආනන්දය, සුදර්ශන මහරජු මේ සතර වැනිවූ ඍද්ධියෙන් යුක්ත වූයේය. ආනන්දය මහා සුදර්ශන රජ මේ සතර වැදෑරුම් ඍද්ධියෙන් යුක්ත විය.

ධම්මපාසාදපොක්ඛරණී

“ආනන්දය, ඉක්බිති ඒ මහාසුදර්ශන රජුට මෙවැනි අදහසක් ඇතිවිය. ‘මම මේ තල්ගස් පේළි මැද දුනු සියයකින් දුනු සියයකින් අතර පොකුණු සාදවන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ කියාය.

“ආනන්දය මහාසුදර්ශන රජු ඒ තල්ගස් පේළි මැද දුනු සියයකින් දුනු සියයකින් අතර පොකුණු සෑදෙව්වේය. ආනන්දය, ඒ පොකුණු ජාති හතරකින් යුත් ගඩොල්වලින් සාදවන ලද්දාහුය. එක් ගඩොලක් රනින්ද, එක් ගඩොලක් රිදියෙන්ද එක් ගඩොලක් වෛරෝඩියෙන්ද, එක් ගඩොලක් පලිඟුමිණියෙන්ද නිම විය. ආනන්දය, ඒ පොකුණුවල ජාති හතකින් යුත් පඩි පේළි සතර සතර විය. එක් පඩි පෙළක් රනින්ද, එකක් රිදියෙන්ද, එකක් වෙරළු මිණෙන්ද, එකක් පළිඟු මිණෙන්ද නිමවිය. රත්‍රන් පඩිපෙලෙහි රනින් කණුවූහ. රිදී පඩි හා පඩිහිස වීය. රිදි පඩිපෙළෙහි රිදී කණු වූහ. රත්‍රන් පඩී හා පඩිහිස වූයේය. වෛරෝඩි පඩිපෙළෙහි වෛරෝඩි කණුවූහ. පලිඟුමිණි පඩි හා පඩිහිස වූයේය. පළිඟු මිණි පඩි පෙළෙහි පළිඟුමිණි කණුවූහ. වෛරෝඩි පඩි හා පඩිහිස වූයේය. ආනන්දය, ඒ පොකුණු වේදිකා දෙකකින් වටවූවාහුය. එක් වේදිකාවක් රත්රනින් විය. එකක් රිදීවිය. රත්රන් වේදිකාවෙහි රත්රන් පඩිවූහ. රිදී පඩිහිස වූයේය. රිදී වේදිකාවෙහි රිදී කණු විය. රත්රන් පඩි හා පඩිහිස වූයේය.

“ආනන්දය, ඉක්බිති ඒ මහා සුදර්ශන රජුට මෙබඳු අදහසක් ඇති විය. ‘මම මේ පොකුණුවල හැම ඍතුවටම පිපෙන හැමදෙනාටම පෙනෙන සේ මෙබඳුවූ මල් සිටවූයෙම් නම් ඉතා යෙහෙකැ’යී කියායි. (එනම්) නිල් මහනෙල්ය. පියුම්ය, කුමුදුය, හෙල පියුම්ය යන මේවාය.

“ආනන්දය, මහා සුදර්ශන රජ ඒ පොකුණුවල හැම ඍතුවටම පිපෙන හැමදෙනාටම පෙනෙනසේ මෙබඳුවූ මල් සිටුවූයේය. නිල්මානෙල්ය, පියුම්ය, කුමුදුය, හෙල පියුම්ය යන මේවාය. ආනන්දය, ඉක්බිති මහා සුදර්ශන රජුට මෙබඳු අදහසක් විය. ‘මම මේ පොකුණු අද්දර පැමිණි පැමිණි ජනයන් නාවන්න, වූ නහාපක (නාවන) පුරුෂයන් තබන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි කියායි. ආනන්දය, ඒ මහා සුදර්ශන රජ පොකුණු අද්දර පැමිණි පැමිණි ජනයන් නාවන්නාවූ නහාපක (නාවන) පුරුෂයන් තැබ්බවූයේය. තවද ආනන්දය, ඒ මහා සුදර්ශන රජුට මෙබඳු අදහසක් ඇතිවිය. ‘මම ආහාර කැමති අයට ආහාරද, බොන දේ කැමති අයට බොන දේද, ඇඳුම් කැමති අයට ඇඳුම්ද, යානා කැමති අයට යානාද, සයන කැමති අයට සයනාසනද, ස්ත්‍රීන් කැමති අයට ස්ත්‍රීන්ද, අමුරන් කැමති අයට අමුරන්ද, රත්රන් කැමති අයට රත්රන්ද, යන මෙබඳු දානයක් මේ පොකුණු අද්දර තැබ්බවූයෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ආනන්දය, මහා සුදර්ශන රජ ඒ පොකුණු ඉවුරු වල ආහාර කැමැත්තන්ට ආහාරද, පාන වර්ග කැමැත්තන්ට පාන වර්ගද, යානා කැමැත්තන්ට යානාද, සයන කැමැත්තන්ට සයනද, ස්ත්‍රීන් කැමැත්තන්ට ස්ත්‍රීන්ද, අමුරන් කැමැත්තන්ට අමුරන්ද, රත්රන් කැමැත්තන්ට රත්රන්ද තැබ්බවූයේය.

“ආනන්දය, ඉන්පසු බ්‍රාහ්මණ ගෘහපතියෝ බොහෝ වස්තුව ගෙණ මහාසුදර්ශන රජු ලඟට පැමිණ මෙසේ කීහ.

‘දෙවයන් වහන්ස, බොහෝ වූ මේ වස්තුව දෙවයන් වහන්සේ උදෙසාම ගෙණඑන ලද්දේය. එය දේවයන්වහන්සේ පිළිගන්නා සේක්වා’ යි කීහ. ‘පින්වත්නි, වුවමනා නැත. මාගේ ධාර්මික අයවලින් රැස්කරනලද මේ බොහෝවූ වස්තුවද ඇත. එයද තොපට වේවා. මෙයින්ද බොහෝ වූ වස්තුව ගෙණයව්යයි’ කීය. රජු විසින් ප්‍රතික්ෂෙප කරනලද බැවින් ඒ මිනිස්සු එක පැත්තක සිට මෙසේ සිතූහ. ‘යම්බඳුවූ අපි මේ වස්තුව නැවතත් අපේ ගෙවලට ගෙන යන්නාහු නම් එය අපට සුදුසු නොවන්නේය. මහා සුදර්ශන රජුට ගෙයක් සාදමු නම් යෙහෙකැ’ යි කියායි. ඔවුහු මහාසුදර්ශන රජු ලඟට පැමිණ ‘දේවයන් වහන්ස, අපි ඔබවහන්සේට ගෙයක් කරම්හ’යි කීහ. ආනන්දය, මහාසුදර්ශන රජ ඒ කාරණය නිශ්ශබ්ද වීමෙන් ඉවසුවේය.

“තවද, ආනන්දය, සක්දෙවිඳු මහා සුදර්ශන රජුගේ සිතිවිල්ල තමාගේ සිතින් දැන විශ්වකර්ම දිව්‍යපුත්‍රයාට කථා කළේය. ‘මෙහි එව, තොපි මහා සුදර්ශන රජුට විසීමට “ධම්ම” නම් ප්‍රාශාදයක් මවව”යි කීය ආනන්දය, ඒ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ‘ස්වාමීනි, ඒ මැනවැ”යි සක් දෙවිඳුට උත්තරදී යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවනලද අතක් දිගහරින්නේ හෝ දිගහරිනලද අතක් හකුළුවන්නේ හෝ යම්සේද එමෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙන් අතුරුදන්ව මහාසුදර්ශන රජුගේ ඉදිරියෙහි පහළවූයේය. ආනන්දය, ඉක්බිති විස්කම් දෙව්පුතු මහා සුදර්ශන රජුට මෙසේ කීවේය.

‘දේවයන් වහන්ස, ඔබ වහන්සේට ‘ධර්ම’ නම් ප්‍රාසාදයක් (ගෙයක්) කරවන්නෙමි’යි කීය. ආනන්දය, මහා සුදර්ශන රජ නිශ්ශබ්දවීමෙන් ඉවසුයේය. ආනන්දය, විශ්වකර්ම දිව්‍යපුත්‍ර තෙමේ “ධර්ම” නම්වූ ප්‍රාසාදයක් මැවූයේය.

“ආනන්දය, ඒ “ධර්ම” නම්වූ ප්‍රාසාදය නැගෙනහිර සිට බස්නාහිරට දිගින් යොදුනක් විය. උතුරේ සිට දකුණට පළලින් යොදුන් බාගයක් වූයේය. ආනන්දය, ධර්මප්‍රාසාදයේ භූමිය උසින් මිනිසුන් තුන් දෙනෙකුගේ උස පමණ වූයේය. සතර වර්ගයක ගලින් කරන ලද්දේය. එක් වර්ගයක් රත්රන්ද, එක් වර්ගයක් රිදීද, එක්වර්ගයක් වෛරෝඩිද, එක්වර්ගයක් පළිඟු මැණික්ද විය. ආනන්දය, ධර්මප්‍රාසාදයේ හතර වර්ගයක කුළුණු අසූහාරදහසක් විය. එක් කුළුණක් රනින්ද, එකක්රිදීයෙන්ද, එකක් වෙරළු මිණියෙන්ද, එකක් පළිඟු මිණියෙන්ද විය. ආනන්දය, ධර්මප්‍රාසාදයෙහි සතර වර්ගයක තහඩු අතුරන ලද්දේය. එක් තහඩුවක් රනින්ද, එකක් රිදියෙන්ද, එකක් වෙරළුමිණියෙන්ද, එකක් පළිඟුමිණෙන්ද විය. ආනන්දය, ධර්මප්‍රාසාදයේ සතර වර්ගයක සොපාණ (තරප්පු) විසිහතරක් විය. එකක් රනින්ද, එකක් රිදියෙන්ද, එකක් වෛරෝඩියෙන්ද, එකක් පළිඟුමිණියෙන්ද විය. රත්රන් තරප්පුවේ රත්රන් කණු වූහ. රිදී පඩි හා හිස විය. රිදී තරප්පුවෙහි රිදී කණු වූහ. රත්රන් පඩි හා හිස වීය. වෛරෝඩි තරප්පුවෙහි වෛරෝඩි කණු වූහ. පළිඟුමිණි පඩි හා හිස වීය පළිඟුමිණි තරප්පුවෙහි පළිඟුමිණි කණු වූහ. වෛරෝඩි පඩි හා හිස වීය ආනන්දය, ධර්මප්‍රාසාදයෙහි සතර වර්ගයක අසූහාරදහසක් කුළු ගෙවල් වූහ. එක් කුළු ගෙයක් රනින්ද, එකක් රිදියෙන්ද, එකක් වෛරෝඩි මැණිකෙන්ද, එකක් පළිඟු මැණිකෙන්ද විය. රත්රන් කුළුගෙයි රිදියෙන් කළ ආසනයක් (පර්යංකයක්) පණවන ලද්දේ වීය. රිදී කුළුගෙයි රත්රනින් කළ ආසනයක් පණවන ලද්දේ වීය. වෛරෝඩි කුළුගෙයි දලින් කළ ආසනයක් පණවන ලද්දේ විය. පළිඟුමිණි කුළුගෙයි මෑසිරිගලින් කළ ආසනයක් පණවනලද්දේ විය. රත්රන් කුළුගෙයි දොරටුව ළඟ රිදියෙන් කළ තල් ගසක් පිහිටියේ වීය. එහි කඳ රිදියෙන් කළේ වීය. රනින් කළ කොළ හා ගෙඩි වූහ. රිදී කුළුගෙයි දොරටුව ළඟ රනින් කළ තල්ගසක් පිහිටියේ විය. එහි කඳ රත්රන් වීය රිදියෙන් කළ කොළ හා ගෙඩි වූහ. වෛරෝඩි මැණික් කුළුගෙයි දොරටුව ළඟ පළිඟු මිණියෙන්කළ තල්ගසක් වීය. එහි කඳ පළිඟුවෙන් හා කොළ හා ගෙඩි වෛරෝඩි මැණිකෙන් වූහ. පළිඟුමිණි කුළුගෙයි දොරටුව ළඟ වෛරෝඩියෙන් කළ තල්ගසක් විය. එහි කඳ වෛරෝඩි මැණිකෙන් විය කොළ හා ගෙඩි පළිඟුවෙන් වූහ.

“ආනන්දය, ඉක්බිති මහා සුදර්ශන රජුට මෙබඳු අදහසක් ඇතිවිය ‘මම යම් තැනක දවාල ගතකරමින් හිඳිමිද ඒ ‘මහාවියූහ’ නම් කුළුගෙයි දොරටුව කෙලින් සම්පූර්ණ රනින්කළ ‘තල් වනයක් කරවන්නෙම්නම් ඉතා යෙහෙකැයි’ කියායි. ආනන්දය, මහා සුදර්ශන රජ යම් තැනෙක්හි දවල් කාලය ගතකරමින් හිදීද, ඒ “මහාවියූහ” නම් කුළුගෙයි දොරටුවෙහි සියල්ල රනින් කළ තල් වනයක් කරවූයේය.

“ආනන්දය, ඒ ධර්මප්‍රාසාදය වේදිකා දෙකනින් වට විය. එක් වේදිකාවක් රත්රන්ද එකක් රිදීද විය. රනින් කළ වේදිකාවෙහි රත්රන් කණු වූහ. රිදියෙන් කළ පඩි හා හිස විය. රිදියෙන් කළ වේදිකාවෙහි රිදියෙන් කළ කුළුණු වූහ. රනින් කළ පඩි හා හිස විය.

“ආනන්දය, ධර්මප්‍රාසාදය කිකිණි දැල් දෙකකින් වට කරණ ලද්දේය. රනින් කළ එක දැලක්ද, රිදියෙන් කළ එක් දැලක්ද, විය. රනින් කළ දැලෙහි රිදියෙන් කළ කිකිණි වූහ. රිදියෙන් කළ දැලෙහි රනින් කළ කිකිණි වූහ. සුළඟින් සෙලවෙන විට මනරම්වූද, සිත් අලවන්නාවූද, ප්‍රීති කරන්නාවූද, සිත සතුටු කරන්නාවූද නාදයක් වූයේය. ආනන්දය, යම්සේ විශෙෂයෙන් හික්මුනාවූ බෙර ආදිය වාදනයෙහි (ගැසීමෙහි) දක්ෂවූ වාද්‍යකාරයෙකු විසින් වාදනය කරන ලද්දාවූ පංචාංගික තූර්‍ය්‍යනාදයාගේ මනරම්වූද, සිත් අලවන්නාවූද, සිත වඩාත් සතුටු කරන්නාවූද නාදයක්වේද, එමෙන්ම ආනන්දය, සුළඟින් සෙලවෙන ඒ කිකිණි දැල්වලින් මනරම්වූද, සිත් අලවන්නාවූද, ප්‍රීති කරන්නාවූද, සිත වඩාත් සතුටු කරන්නාවූද නාදයක් වූයේය. ඒ කාලයෙහි කුසාවතී රාජධානියෙහි ස්ත්‍රී ධූර්තාදීහුද සුරා පිපාසයෙන් යුත් සුරා පිපාසයෙන් යුත් සුරා සොඬහුද වාසය කරති. ඔවුහු වාතයෙන් සෙලවෙන්නාවූ ඒ කිකිණි දැල්වල නාදයෙන් තාලයට අනුව නටත්.

“ආනන්දය, වැඩ අවසන් කළ ධර්මප්‍රාසාදය නොබැලිය හැකිය. ඇස් අඳුරුවන්නේය. ආනන්දය, වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් කාලයෙහි වළාකුල් නැති අහසෙහි පැනනැංගාවූ සූර්‍ය්‍යයා යම්සේ නොබැලිය හැක්කේද, ඇස් අඳුරුවන්නේද, එමෙන්ම ආනන්දය, ඒ ධර්ම ප්‍රාසාදය බැලිය නොහැක්කේය. ඇස් අඳුරුවන්නේ වීය

“ආනන්දය, ඉන්පසු මහා සුදර්ශන රජුට මෙවැනි අදහසක් විය. ‘මම ධර්මප්‍රාසාදය ඉදිරියෙහි ‘ධර්මා’ නම් පොකුණක් කරවන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ කියායි. ආනන්දය මහා සුදර්ශන රජ ධර්මප්‍රාසාදය ඉදිරියෙහි ‘ධර්මා’ නම් පොකුණක් කරවීය.

“ආනන්දය, ‘ධර්ම’ නම් පොකුණ නැගෙනහිර සිට බස්නාහිරට දිගින් යොදුනක් වූයේය. උතුරේ සිට දකුණට පළලින් යොදුන් බාගයක් වූයේය ආනන්දය, ‘ධර්මා’ පොකුණ සතර වර්ගයක ගඩොලින් නිම කරන ලද්දේවිය. එක් ගඩොලක් රනින් විය. එකක් රිදියෙන්ද, එකක් වෛඩූර්‍ය්‍යයෙන්ද, එකක් පළිඟුයෙන්ද විය. ආනන්දය, ‘ධර්මා’ පොකුණෙහි වර්ග හතරකින් පඩි පේළි විසි හතරක් විය. එක් පඩි පෙළක් රනින්ද එකක් රිදියෙන්ද, එකක් වෛරෝඩියෙන්ද, එකක් එකක් පළිඟුයෙන්ද විය. රනින් කළ පඩි පෙළෙහි රනින් කළ කණු වූහ. රිදියෙන් කළ පඩි හා හිස විය. රිදියෙන් කළ පඩි පෙළෙහි රිදියෙන් කළ කණු වූහ රනින් කළ පඩි හා හිස විය. වෛරෝඩි මැණිකෙන් කළ පඩිපෙළෙහි වෛරෝඩි මැණිකෙන් කළ කණු වූහ. පළිඟුවෙන් කළ පඩි හා හිස විය. පළිඟුයෙන් කළ පඩිපෙළෙහි පළිඟු කණු වූහ. වෛරෝඩියෙන් කළ පඩි හා හිස වීය ආනන්දය, ‘ධර්මා’ නම් පොකුණ වේදිකා දෙකකින් වට විය. එක් වේදිකාවක් රනින් විය අනික රිදියෙන් විය රනින් කළ වේදිකාවෙයි රනින් කළ කුළුණු වූහ. රිදියෙන් කළ පඩි හා හිස විය. රිදියෙන් කළ වේදිකාවෙහි රිදියෙන් කළ කුළුණු වූහ. රනින් කළ පඩි හා හිස වීය.

“ආනන්දය, ‘ධර්මා’ නම් පොකුණ තල්ගස් පේළි සතකින් වට කරන ලද්දේ විය. රනින් කළ එක් තල් ගස් පෙළක්ද දිරියෙන් කළ එකක්ද, වෛරෝඩියෙන් කළ එකක්ද පළිඟුයෙන් කළ එකක්ද, රතු මැණිකෙන් කළ එකක්ද, මැසිරි ගලින් කළ එකක්ද, සියලු රත්නයන්ගෙන් කළ එකක්ද වූහ. රනින් කළ තල්ගසෙහි පළිඟුවෙන් කළ කඳක් විය. රිදියෙන් කළ කොළ හා ගෙඩි වූහ රිදියෙන් කළ තල් ගසෙහි රිදී කඳක් විය. රනින් කළ කොළ හා ගෙඩි වූහ. වෛරෝඩිමැණිකෙන් කළ තල් ගසෙහි වෛරෝඩියෙන් කළ කඳක් විය. පළිඟුවෙන් කළ කොළ හා ගෙඩි වූහ. පළිඟුයෙන් කළ තල් ගසෙහි පළිඟුවෙන් කළ කඳක් විය. රතු මැණිකෙන් කළ කොළ හා ගෙඩි වූහ. සියලු රත්නයෙන් කළ තල්ගසෙහි සියලු රත්නයෙන් කළ කඳක් විය සියලු රත්නයෙන් කළ කොළ හා ගෙඩි වූහ. ආනන්දය, සුලඟින් සෙලවෙන ඒ තල් ගස් පෙළින් එන ශබ්දය සිත් අලවන්නේද, මන වඩන්නේද, සතුටින් මත් කරන්නේද වෙයි ආනන්දය, යම්සේ විශෙෂයෙන් හික්මුනාවූ බෙර ආදිය වැයීමෙහි (ගැසීමෙහි) දක්ෂවූ වාදකයෙකු විසින් වයන ලද්දාවූ පංචාංගික තූර්‍ය්‍යනාදයෙහි මනරම්වූද, සිත් අලවන්නාවූද, සතුටින් මත් කරන්නාවූද, නාදයක් වේද, එමෙන්ම ආනන්දය, සුලඟින් සෙලවෙන තල්ගස් පෙළින් එන නාදය මනරම්ද විය, සිත් අලවන්නේද විය, මන වඩන්නේද විය, සිත ප්‍රීතියෙන් මත්කරන්නේද විය. ආනන්දය, ඒ කාලයෙහි කුසාවතී රාජධානියෙහි ස්ත්‍රී ධූර්තාදිහුද පිපාසයෙන් යුක්තවූ සුරා සොඬහුද වාසය කරති. ඔවුහු, සුළඟින් සෙලවෙන ඒ තල් ගස් පෙළින් එන නාදයේ තාලයට අනුව නටන්නාහ.

‘ආනන්දය, “ධර්මප්‍රාසාදය” ද, ‘ධර්මා’ නම් පොකුණද කර අවසානවූ කල්හි මහා සුදර්ශන රජ ඒ කාලයෙහි යම් කෙනෙක් ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහුද බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මත වූවාහුද ඒ සියල්ලන් කැමති කැමති සියලු දෙයින් සතුටු කොට (සන්තර්පණ්‍ය කොට) ධර්මප්‍රාසාදයට නැංගේය.

මෙතෙකින් පළමුවෙනි බණවර නිමියේය.

ඣානසම්පත්ති

“ආනන්දය, ඊට පසුව මහාසුදර්ශන රජහට මෙබඳු අදහසක් ඇති විය. ‘එනම් යම් හෙයකින් මම දැන් මහත් ඍද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වෙම්ද, මාගේ මේ සම්පත්තිය කිනම් කුසල කර්මයක්හුගේ ඵලයක්ද, කවර කර්මයක්හුගේ විපාකයෙක්ද?’ කියායි. ඉක්බිති මහාසුදර්ශන රජහට මෙබඳු අදහසක් ඇතිවිය, ‘මාගේ මේ සම්පත්තිය ත්‍රිවිධ කුසලකර්මයාගේ ඵලය වෙයි. ත්‍රිවිධ කර්මයන්ගේ විපාකය වෙයි. යම් හෙයකින් මම මේ ආත්මයෙහි මෙබඳුවූ මහත් ඍද්ධි ඇත්තෙම්ද මෙබඳුවූ මහත් ආනුභාව ඇත්තෙම්ද යනුයි ඒ කවරේද යත්, දානයේද, උපොසථ සීලයේද, කය හා වචනය සංවර කිරීමේද, යන ත්‍රිවිධ කුසල කර්මයේ ඵල විපාකය යනුයි.’

තවද ආනන්දය, ඒ මහාසුදර්ශන රජතෙම ‘මහා ව්‍යුහ’ නම් කූටාගාරය යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, ‘මහාව්‍යුහ’ නම් කූටාගාරයෙහි දොරටුව ළඟ සිට ප්‍රීති වාක්‍යයක් කීයේය. ‘කාම සිතිවිලි සිටුව, ක්‍රොධ සිතිවිලි සිටුව, හිංසා සිතිවිලි සිටුව, කාම සිතිවිලි මෙපමණකින් සිටීවා, ක්‍රොධ සිතිවිලි මෙපමණකින් සිටීවා, හිංසා සිතිවිලි මෙපමණකින් සිටීවා’ කියායි.

“තවද ආනන්දය, මහාසුදර්ශන රජ තෙමේ ‘මහා ව්‍යුහ’ නම් කූටාගාරයෙහි රනින් කළ පර්යංකයෙහි (ආසනයෙහි) හුන්නේ කාම තෘෂ්ණාවෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක (සිත අරමුණක නංවන චෛතසිකය) සහිතවූ, විචාර (අරමුණු පිරිමැදිම) සහිතවූ විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානය උපදවා විසුයේය. විතර්ක, විචාර යන දෙදෙනාගේ නැතිවීම හේතුකොටගෙන තමන්ගේ සිත් තුළ පැහැදීම ඇති කරන්නාවූ සිතේ එකඟ බව ඇති විතර්ක විචාර රහිතවූ සමාධියෙන් උපන්නාවූ ප්‍රීතිය හා සැප ඇති දෙවැනි ධ්‍යානය උපදවා වාසය කෙළේය. ප්‍රීතිය දුරුකිරීම හේතුකොටගෙනද උපෙක්ෂා සහගතව සිහියෙන් යුත්තවූයේ සම්‍යක් ප්‍රඥාවෙන් කයින් සැපය විඳින්නේද උපෙක්ෂාවෙන් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ, සැපවිහරණ ඇත්තේයයි, යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, එබඳුවූ තුන්වෙනි ධ්‍යානය උපදවා විසුයේය. සැප දුරු කිරීමෙන්ද දුක් දුරුකිරීමෙන්ද පළමුකොටම දුක් වේදනා සැප වේදනා දුරලීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂාවෙන් යුත් සිහිය හා පිරිසිදු භාවය ඇති සතරවෙනි ධ්‍යානය උපදවා විසුයේය.

“නැවතද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම මහා වියූහ කූටාගාරයෙන් නික්ම රත්රන් කූටාගාරයට ඇතුල්ව රිදී ආසනයෙහි හුන්නේ මෛත්‍රී සහගත සිතින් එක් දිශාභාගයක් පතුරුවා විසුයේය. එසේම දෙවැනි දිශාභාගයද, එසේම තුන්වැනි දිශාභාගයද, එසේම හතරවැනි දිශාභාගයද මේ ආකාරයෙන් උඩ, යට, හරහ සෑම තන්හි සියලුම ප්‍රාණීන් සහිතවූ සියලුම ලෝකය විශාලවූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැති හිංසා රහිතවූ මෛත්‍රී සිතින් පතුරුවා විසුයේය. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින් උපෙක්ෂා සහගත සිතින් එක් දිශාභාගයක් පතුරුවා විසුයේය. එසේම දෙවැනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, එසේම උඩද, යටද, හරහද යන සෑම තන්හි සියලු සත්වයින් සහිතවූ සියලු ලෝකය, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැති හිංසා රහිතවූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා විසුයේය.

චතුරාසීති නගරසහස්සාදි

“ආනන්දය, මහා සුදර්ශන රජහට කුසාවතී රාජධානිය ප්‍රධාන කොට ඇති සුවාසූ දහසක් නගරයෝ වූවාහුය. ධර්මප්‍රාසාදය ප්‍රමුඛ කොට ඇති සුවාසූ දහසක් ප්‍රාසාද වූවාහුය. මහාවියූහ කූටාගාරය ප්‍රධාන කොට ඇති සුවාසූ දහසක් කූටාගාර වූවාහුය. රනින් කළාවූද රිදියෙන් කළාවූද ඇත්දළින් කළාවූද දැවයෙන් කළාවූද එක් පිට ලොම් ඇති එලු ලොමින් කළ ඇතිරියෙන් යුක්තවූද, දෙපිට ලොම් ඇති එලු ලොමින් කළ ඇතිරියෙන් යුක්තවූද, රන් වැඩ දැමූ දික් දහවලු ඇති ඇතිරියෙන් යුක්තවූද, කෙසෙල්මුව (මුවන් වර්ගයක්) සමින් කළ ඇතිරිලිවලින්යුක්තවූද, මත්තෙහි බඳනාලද රන්වියන් සහිතවූද ඉස්දොර සහ පාමුල රතුකොට්ට සහිතවූ සුවාසූදහසක් පර්යංකවූවාහුය. රත්රන් ආභරණයෙන්සරසන ලද්දාවූ රන් කොඩි සහිතවූ රන් දැලින් වසන ලද්දාවූ උපොසථ ඇත්රාජයා ප්‍රධානකොට සුවාසූදහසක් ඇත්රජහු වූවාහුය. රත්රන් ආභරණයෙන් සරසන ලද රන් කොඩි සහිතවූ රන් දැලින් වසන ලද්දාවූ වලාහක අශ්ව රාජයා ප්‍රධාන සුවාසූ දහසක් අශ්වයෝ වූවාහුය. සිංහ සමින් වට කරණ ලද්දාවූ ව්‍යාඝ්‍ර සමින් වටකරන ලද්දාවූද දිවි සමින් වටකරන ලද්දාවූද, රත් කම්බලයෙන් වටකරන ලද්දාවූද රත්රනින් අලංකාරවූද රන්ධජ නංවන ලද්දාවූද රන් දැලින් වසන ලද්දාවූද වෛජයන්ත රථය ප්‍රධාන කොට සුවාසූ දහසක් රථ වූවාහුය. මාණික්‍ය රත්නය ප්‍රධාන කොට ඇති සුවාසූ දහසක් මාණික්‍ය රත්න වූවාහුය. සුභද්‍රා දෙවි ප්‍රධානකොට ඇති සුවාසූ දහසක් ස්ත්‍රීහු වූවාහුය. ගෘහපති රත්නය ප්‍රධානකොට ඇති සුවාසූ දහසක් ගෘහපතීහු වූවාහුය. පරිනායක රත්නය ප්‍රධානවූ, අනුව හැසිරෙන්නාවූ සුවාසූ දහසක් ක්ෂත්‍රිය රජහු වූවාහුය. එල්ලාහැලෙන බුරුළු ඇති රන් සැට්ටයෙන් සැරසූ සුවාසූ දහසක් කිරිදෙන්නු වූවාහුය. සියුම්වූ කොමු පිළිද සියුම්වූ කපු පිළිද සියුම්වූ කොසෙය්‍ය වස්ත්‍රද සියුම්වූ කම්බල වස්ත්‍රද යන මෙයින් සම්පූර්ණවූ කෝටි අසූසාරදහසක් වස්ත්‍ර වූවාහුය. උදය සවස ආහාරය පිණිස එළවන බත් තලි අසූ සාර දහසක් වූවාහුය.

“ආනන්දය, ඒ කාලයේදී මහාසුදර්ශන රජහට සුවාසූ දහසක් නාගරාජයෝ උදය සවස උපස්ථානයට එන්නාහ. ආනන්දය, ඉක්බිතිව මහා සුදර්ශන රජහට මේ අදහස ඇති විය. ‘මේ අසූහාරදහසක් නාගරාජයෝ උදය සවස මට උපස්ථානයට එන්නාහ. යම්හෙයකින්, දෙසාළිස්දහසක් දෙසාළිස් දහසක් නාගයෝ අවුරුදු සියයකට අවුරුදු සියයකට එක වරක් මට උපස්ථානයට එන්නාහු නම් ඉතා යෙහෙකැයි’ කියායි. ඊටපසුව ආනන්දය, මහා සුදර්ශන රජතෙම පරිනායක රත්නයට ආමන්ත්‍රණය කොට ‘මිත්‍රවූ පරිනායක රත්නය, මට මේ සුවාසූදහසක් නාගයෝ උදය සවස උපස්ථානය පිණිස එන්නාහ. එසේහෙයින් මිත්‍රවූ පරිනායක රත්නය, සියක් අවුරුදු සියක් අවුරුදු ඇවෑමෙන් වෙන් වෙන්ව දෙසාලිස් දහසක් දෙසාලිස් දහසක් නාගයෝ උපස්ථානයට එත්වායි’කීය. ආනන්දය, පරිනායක රත්නය ‘එසේය දේවයන් වහන්සැයි’ මහාසුදර්ශන රජහට පිළිතුරු දුන්නේය. ආනන්දය, ඊටපසුව මහාසුදර්ශන රජුට එයින් මෑතභාගයෙහි සියක් අවුරුද්දක් ඇවෑමෙන් වරක් දෙසාළිස් දහසක් දෙසාළිස් දහසක් නාගයෝ උපස්ථානයට ආවාහුය.

සුභද්දාදෙවිඋපසඞ්කමනං

“ඊටපසුව ආනන්දය, සුභද්‍රාදේවියට බොහෝ වර්ෂයන්ගේද බොහෝ දහස් වර්ෂයන්ගේද ඇවෑමෙන් මෙසේ සිතිවිල්ලක් ඇතිවිය. ‘මා විසින් මහා සුදර්ශන රජ දැක බොහෝ කාලයක් ගතවිය. එහෙයින් මම මහාසුදර්ශන රජ්ජුරුවන් දක්නා පිණිස යන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි. එවිට, ආනන්දය, සුභද්‍රා දේවිය අන්තඃපුර ස්ත්‍රීන්ට ආමන්ත්‍රණයකර ‘තොපි මෙහෙ එව්, ස්නානය කරව්, රන්වන් වස්ත්‍ර අඳිව්. අපගේ මහා සුදර්ශන රජතෙම බොහෝ කලකින් නොදක්නා ලද්දේය. මහා සුදර්ශන රජ්ජුරුවන් දක්නා පිණිස යන්නෙමුයයි’ කීවාය. ආනන්දය, එසේය ආර්‍ය්‍යාවෙනි, කියා ඒ ස්ත්‍රීහු සුභද්‍රා දේවියට පිළිතුරුදී ස්නානය කොට රන්වන්වූ වස්ත්‍ර ඇඳගෙන සුභද්‍රා දේවී වෙත ගියහ. එවිට ආනන්දය, සුභද්‍රා දේවී තොමෝ පරිනායක රත්නයට ආමන්ත්‍රණය කළාය. ‘යහලු පරිනායක රත්නය, සිව්රඟ සෙනග පිළියෙල කරව. අපගේ මහාසුදර්ශන රජ දැක බොහෝ කල් ගතවිය. මහා සුදර්ශන රජුන් දක්නා පිණිස යම්හයි’ කීවාය. ‘එසේය, දේවීනි’ කියා ‘ආනන්දය, පරිනායක රත්නය සුභද්‍රා දේවියට පිළිතුරුදී සිව්රඟ සෙනග පිළියෙල කරවා සුභද්‍රා දේවියට කල් දැන්නුවේය. ‘දේවීන්වහන්ස, සිව්රඟ සෙනග පිළියෙල කරන ලද්දේය. දැන් ඊට කල් දැනගනු මැනවයි’ දැන්වීය.

“එකල්හි, ආනන්දය, සුභද්‍රා දේවිය සිව්රඟ සෙනගද අන්තඃපුර ස්ත්‍රීන්ද සමග ධර්මප්‍රසාදය යම් තැනකද එතැනට එළඹියේය. එළඹ, ධර්මප්‍රාසාදයට නැඟී මහාවියූහ කූටාගාරය යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, මහාවියූහ කූටාගාරයාගේ දොරබාව අල්වාගෙන සිටියාය. ඉක්බිති, ආනන්දය, මහා සුදර්ශන රජතෙම ශබ්දය ඇසී කිමෙක්ද? මේ මහත් සේනාවක්හුගේ ශබ්දයෙක් මෙනැයි සිතා මහාවියූහ කූටාගාරයෙන් නික්මුනේ, දොරබාව අල්වාගෙන සිටි සුභද්‍රා දේවිය දුටුවේය. දැක, සුභද්‍රා දේවියට මෙසේ කීයේය. ‘එම්බා දේවිය, මෙතැන්හිම සිටුව, කූටාගාරයට ඇතුල් නොවෙවයි’ කීයේය.

ඉක්බිති මහා සුදර්ශන රජතෙම එක්තරා පුරුෂයෙකුට කථා කෙළේය. “පින්වත් පුරුෂය, තෝ මෙහි එව, මහාවියූහ කූටාගාරයෙන් රත්රන් පර්යංකයක් නිකුත් කොට සියල්ලම රත්රනින් නිමියාවූ තල් වනයෙහි පනවවයි’ කීයේය. ආනන්දය, “එසේය, දේවයන් වහන්සැ’යි කියා ඒ පුරුෂතෙම මහා සුදර්ශන රජහට උත්තරදී මහාවියූහ කූටාගාරයෙන් රත්රන් ආසනයක් නිකුත්කොට සියල්ල රත්රනින් නිමියාවූ තල් වනයෙහි පැනවූයේය. ආනන්දය, ඊටපසුව මහාසුදර්ශන රජතෙම පාදයක් උඩ පාදය තබා සිහි නුවණින් යුක්තව දකුණැලයෙන් සිංහසෙය්‍යාව (සිංහයෙක් මෙන් හාන්සිවීම) කෙළේය.

“ආනන්දය, අනතුරුව සුභද්‍රාදේවියට මෙබඳුවූ අදහසක් ඇතිවිය. ‘මහා සුදර්ශන රජහුගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසිදුය. විශෙෂයෙන් බබලන්නේය. මහා සුදර්ශන රජතෙම කාලක්‍රියා නොකෙරේවායී’ සිතා මහා සුදර්ශන රජහට මෙසේ කීවාය. ‘දේවයන් වහන්ස, නුඹවහන්සේගේ කුසාවතී රාජධානිය ප්‍රධාන කොට ඇති මේ සුවාසූ දහසක් නගරයෝ වෙත්. දේවයන්වහන්ස, මෙහි ආසාව උපදවනු මැනව. ජීවිතයෙහි බලාපොරොත්තුව ඇතිකරනු මැනව. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ ධර්මප්‍රාසාදය ප්‍රධානකොට ඇති මේ සුවාසූ දහසක් ප්‍රාසාදයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව උපදවනු මැනව. ජීවිතයෙහි කැමැත්ත ඇතිකරනු මැනව, දේවයන් වහන්ස, නුඹවහන්සේගේ මහාවියූහ කූටාගාරය ප්‍රධාන කොට ඇති මේ සුවාසූ දහසක් කූටාගාරයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව උපදවනු මැනව, ජීවිතයෙහි කැමැත්ත ඇති කරනු මැනව.

“දේවයන් වහන්ස, නුඹවහන්සේගේ රත්රනින් කළාවූද රිදියෙන් කළාවූද ඇත් දළින් කළාවූද දැවහරයෙන් කළාවූද එලුලොම්වලින් කළ ඇතිරියෙන් යුක්තවූද ඝන මල් ඇතිරියෙන් යුක්තවූද රන් වැඩ දැමූ ඇතිරියෙන් යුක්තවූද කෙසෙල් මුව (මුවන්වර්ගයක්) සමින්කළ ඇතිරියෙන් යුක්තවූද මතුයෙහි බඳනාලද රන්වියන් සහිතවූද ඉස්දොර හා පාමුල තබනලද රතු කොට්ට සහිතවූද සුවාසූදහසක් පර්යංක වෙති. දේවයන් වහන්ස, මෙහි ආසාව උපදවනු මැනවි. ජීවිතයෙහි කැමැත්ත ඇතිකරනු මැනවි. රත්රන් ආභරණයෙන් සරසනලද කොඩි එල්වනලද රන් දැලින් වසනලද උපොසථ ඇත් රාජයා ප්‍රධානකොට ඇති සුවාසූ දහසක් ඇත්තු ඇත්තාහ. දේවයන් වහන්ස, මෙහි ආසාව උපදවනු මැනවි. ජීවිතයෙහි කැමැත්ත උපදවනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ රනින් සරසන ලද රන් කොඩි එල්වනලද රන් දැලින් වසනලද වළාහක අශ්ව රාජයා ප්‍රධානකොට ඇති මේ අසූහාර දාහක් අශ්වයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව උපදවනු මැනව. ජීවිතයෙහි කැමැත්ත ඇති කරනු මැනව. දේවයන් වහන්ස, නුඹවහන්සේට සිංහ සමින් වටකරන ලද්දාවූද, ව්‍යාඝ්‍ර සමින් වටකරන ලද්දාවූද දිවි සමින් වටකරන ලද්දාවූද රත් කම්බලයෙන් වටකරන ලද්දාවූද රත්රන් අලංකාර ඇත්තාවූද රත්රන් ධජ ඇත්තාවූද රුවන් දැලෙන් වසන ලද්දාවූද වෛජයන්ත රථය ප්‍රධානකොට ඇති අසූහාර දහසක් රථ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව උපදවනු මැනව. ජීවිතයෙහි බලාපොරොත්තුව ඇතිකරනු මැනවි. දේවයන්වහන්ස, නුඹවහන්සේගේ මාණික්‍ය රත්නය ප්‍රධාන කොට ඇති අසූහාරදාහක් මාණික්‍යයෝ වෙත්. මෙහි ආසාව උපදවනු මැනවි. ජීවිතයෙහි බලාරොත්තුව ඇති කරනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ ස්ත්‍රී රත්නය ප්‍රධානකොට ඇති අසූහාර දාහක් ස්ත්‍රීහු වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව උපදවනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තු ඇතිකරගනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ ගෘහපති රත්නය ප්‍රධාන කොට ඇති මේ අසූහාර දහසක් ගෘහපතීහු වෙත්. මෙහි ආසාව උපදවනු මැනවි ජීවිතයෙහි බලාපොරොත්තු ඇතිකරනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ පරිනායක රත්නය ප්‍රධාන කොට ඇති අනුව යන්නාවූ අසූහාර දහසක් ක්ෂත්‍රියයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආශාව උපදවනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව ඇතිකරගනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ එල්ලෙන කිරිබුරුළු ඇත්තාවූ රත්රන් ආභරණයන් දරණ මේ අසූහාර දහසක් කිරිදෙන්නු වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව උපදවනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තු වෙනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ සියුම්වූ කොමු පිළිද, සියුම්වූ කපු පිළිද, සියුම්වූ කොසෙය්‍ය වස්ත්‍රද, සියුම්වූ කම්බල වස්ත්‍රද යන මෙයින් යුක්තවූ වස්ත්‍ර කෝටි අසූහාරදහසක් වෙත්. දේවයන්වහන්ස, මෙහි ආසාව උපදවනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තු ඇතිකරගනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ උදය සවස අනුභවය පිණිස එළවන ලද මේ අසූහාර දහසක් බත් තලි වෙත්. දේවයන් වහන්ස, මෙහි ආශාව උපදවනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තු ඇති කරනු මැනවැයි’ කීවාය.

“ආනන්දය, මෙසේ කීකල මහා සුදර්ශන රජ තෙම සුභද්‍රා දේවියට මේ කාරණය කීයේය. ‘දේවියනි, තී බොහෝ කලක් මට යහපත්වූ කැමති වන්නාවූ ප්‍රියවූ මන වඩන්නාවූ වචන වලින් කථා කෙළෙහිය. එසේ නමුත් දැන් මට මේ අන්තිම කාලයෙහි අනිෂ්ටවූ අකැමැතිවූ අප්‍රියවූ අමනාපවූ වචන වලින් කථා කෙරෙහිය. ‘දේවයන් වහන්ස. දැන් නුඹවහන්සේට කෙසේ කථා කරම්දැයි’ ඇසුවාය. ‘දේවියනි, මෙසේ මට කථා කරව. දේවයන් වහන්ස, ප්‍රියවූ මනවඩන්නාවූ සියල්ලෙන්ම වෙන්වීම ස්වභාවකොට ඇත්තේය. තොරවන බව ස්වභාවකොට ඇත්තේය. අන්‍ය තත්වයට පැමිණීම ස්වභාවකොට ඇත්තේය. දේවයන්වහන්ස, නුඹවහන්සේ ආසාවක් නැතුව කාලක්‍රියා කරනු මැනවි. ආසාවක් ඇත්තහුගේ කාලක්‍රියාව දුක් වන්නීය. ආසා ඇත්තහුගේ කාලක්‍රියාව නින්දා කටයුතුමය. සස දේවයන් වහන්ස, නුඹවහන්සේගේ කුසාවතී රාජධානිය ප්‍රධාන කොට ඇති මේ අසූහාර දහසක් නගරයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව අත්හරිනු මැනව. ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හරිනු මැනව. දේවයන් වහන්ස නුඹවහන්සේගේ මහාවියූහ කූටාගාරය ප්‍රධානකොට ඇති අසූහාර දහසක් කූටාගාරයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව අත්හරිනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව අත් හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ රත්රන් වූද, රිදීවූද, දන්තමයවූද, සාරමයවූද, එක් පිට හා දෙපිට ලොම් ඇති එලුලොමින් කළ ඇතිරියෙන් යුක්තවූද, කෙසෙල් මුව සමින් කළ ඇතිරියෙන් යුක්තවූද, මත්තෙහි බඳනාලද රන් වියන් සහිතවූද ඉස්දොර හා පාමුල තබනලද රතුකොට්ට සහිතවූද, අසූහාරදහසක් ආසන වෙත්. දේවයන් වහන්සේ මේවා පිළිබඳව ආසා නොකළ මැනව. ජීවිතයෙහි බලාපොරොත්තුව අත්හරිනු මැනව. දේවයන් වහන්ස, රත්රන් ආභරණ ඇති රත්රන් ධජ ඇති රත්රන් දැලින් වසනලද උපොසථ ඇත්රජ ප්‍රධානකොටඇති මේ අසූහාරදාහක් ඇත්තු වෙත්. මෙහි ආසාව නොකල මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට රත්රන් අලංකාර ඇති රත්රන් ධජ ඇති රන්දැලින් වසනලද වළාහක අශ්ව රාජයා ප්‍රධාන කොට ඇති මේ අසූහාරදාහක් අශ්වයෝ වෙති. මෙහි ආසාවද ජීවිතයෙහි බලාපොරොත්තුවද අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට සිංහ සමින් වසන ලද්දාවූද, ව්‍යාඝ්‍ර සමින් වසන ලද්දාවූද, දිවිසමින් වසන ලද්දාවූද රත් කම්බිලි වස්ත්‍රයෙන් වසන ලද්දාවූද, රත්රන් අලංකාර ඇත්තාවූ, රත්රන් ධජ ඇත්තාවූද, රන් දැලින් වසන ලද්දාවූ වෛජයන්ත රථය ප්‍රධාන කොට ඇති මේ අසූහාරදාහක් රථයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හරිනු මැනවි. ජීවිතය පිළිබඳ කැමැත්ත අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට මේ මාණික්‍ය රත්නය ප්‍රධානකොට ඇති අසූහාරදාහක් මාණික්‍යයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව දුරුලනු මැනවි. ජීවිතයෙහි බලාපොරාත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට සුභද්‍රා දේවිය ප්‍රධාන කොට අසූහාර දාහක් ස්ත්‍රීහු වෙත්. මෙහි ආසාව දුරලනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව අත්හරිනු මැනව. දේවයන් වහන්ස, නුඹ වහන්සේට ගෘහපති රත්නය ප්‍රධාන කොට ඇති මේ අසූහාර දහසක් ගෘහපතීහු වෙත්. දේවයන් වහන්ස මෙහි ආසාව අත්හරිනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව දුරලනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට අනුව යන්නාවූ පරිනායක රත්නය ප්‍රධානකොට ඇති මේ අසූහාරදාහක් ක්ෂත්‍රියයෝ වෙති. දේවයන් වහන්ස, මෙහි ආසාව දුරලනු මැනවි. ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට දුහුලින් අතුරනලද රනින් කළ සැට්ට පොරවන ලද මේ අසූහාර දහසක් කිරි දෙන්නු වෙති. මෙහි ආසාව අත්හරිනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට සියුම් කොමු පිළිද, කපු පිළිද, කොසෙය්‍ය වස්ත්‍රද යන මේ වස්ත්‍ර කෝටි අසූහාර දහසක් වෙත්. දේවයන් වහන්ස, මේ පිළිබඳව ආසාව දුරුකරනු මැනවි. ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව දුරුකරනු මැනවි. දේවයන් වහන්ස, නුඹ වහන්සේට උදය සවස ආහාර පිණිස මේ අසූහාර දහසක් බත් තලි වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව දුරුකරණු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව දුරුකරණු මැනවැයි’ කියායි.

“ආනන්දය, (රජු) මෙසේ කී කල්හි සුභද්‍රාදේවී හැඬුවාය, ඇසින් කඳුලු හෙලුවාය. ඊටපසුව ආනන්දය, සුභද්‍රා දේවී තොමෝ කඳුලු පිසදමා, මහා සුදර්ශන රජහට මෙසේ කීවාය. ‘දේවයන් වහන්ස, ප්‍රියවූ මනාපවූ සියල්ලන්ගේ නානා භාවය වන්නේය. වෙන් වන්නාවූ ස්වභාවය ඇත්තේය. අන්‍ය ගතියකට යන ස්වභාව ඇත්තේය. දේවයන් වහන්ස, නුඹවහන්සේ ආසාවක් නැතුවම කාලක්‍රියා කළ මැනව. ආසාව ඇත්තහුගේ කාලක්‍රියාව දුක්වන්නේය. නින්දා වන්නේය. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ කුසාවතී රාජධානිය ප්‍රධාන කොට මේ සුවාසූ දහසක් නගර වෙත්ද, දේවයන් වහන්ස, මෙහි ආසාව දුරුකරනු මැනව. ජීවිතයෙහි බලාපොරොත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට ධර්මප්‍රාසාදය ප්‍රධාන කොට ඇති අසූහාර දහසක් ප්‍රාසාදයෝ වෙත්. දේවයන්වහන්ස, මෙහි ආසාව දුරලනු මැනවි. ජීවිතය පිළිබඳව බලාපොරොත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට මහාවියූහ කූටාගාරය ප්‍රධාන කොට ඇති මේ අසූහාර දහසක් කූටාගාර වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව දුරලනු මැනවි. ජීවිතය ගැන බලාපොරොත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹ වහන්සේට රත්රන්වූද, රිදීවූද, ඇත් දළමයවූද, සාරමයවූද, එලුලොම් අතුරණ ලද්දාවූද සුදු එලුලොම් අතුරණ ලද්දාවූද, කෙසෙල් මුව සමින් කළ ඇතිරියෙන් යුක්තවූද, මත්තෙහි බඳනලද රන්වියන් සහිතවූද අසූහාර දහසක් ආසන වෙත්. දේවයන්වහන්ස, මෙහි ආසාව දුරලනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව දුරලනු මැනවි දේවයන් වහන්ස, රත්රන් ආභරණ ඇති රත්රන් ධජ ඇත්තාවූ රත්රන් දැලෙන් වසනලද උපොසථ ඇත්රාජයා ප්‍රධානකොට ඇති මේ අසූහාර දහසක් ඇත්තු වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව අත්හරිනු මැනව. ජීවිතය ගැන බලාපොරොත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට රත්රන් ආභරණ ඇති රන් දැලින් වසනලද රත්රන් ධජ ඇති වළාහක අශ්ව රාජයා ප්‍රධානකොට ඇති මේ අසූහාර දහසක් අශ්වයෝ වෙත්. දේවයන් වහන්ස, මේ පිළිබඳව ආසාව දුරුකරනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට සිංහසමින් වසනලද්දාවූද ව්‍යාඝ්‍රසමින් වසන ලද්දාවූද, දිවිසමින් වසනලද්දාවූද රත් කම්බල වස්ත්‍රයෙන් වසනලද්දාවූද. රත්රන් අලංකාර ඇත්තාවූ රත්රන් ධජ ඇත්තාවූ රන් දැලින් වසන ලද්දාවූ වෛජයන්ත රථය ප්‍රධානකොට ඇති මේ අසූහාර දහසක් රථයෝ වෙත්. දේවයන් වහන්ස, නුඹවහන්සේ මෙහි ආසාව නැතිකරනු මැනවි. ජීවිතයෙහි ආසාව දුරලනු මැනවි. දේවයන්වහන්ස, නුඹවහන්සේට මාණික්‍ය රත්නය ප්‍රධාන කොට ඇති අසූහාර දහසක් මාණික්‍යයෝ වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව අත් හරිනු මැනවි. ජීවිතයෙහි ආසාව අත්හරිනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට ස්ත්‍රී රත්නය ප්‍රධාන කොට ඇති මේ ස්ත්‍රීහු අසූහාර දහසක් වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව දුරුකරනු මැනවි. ජීවිතය පිළිබඳව බලාපොරොත්තුව අස්කර ගනු මැනවි. දේවයන්වහන්ස, නුඹවහන්සේට ගෘහපති රත්නය ප්‍රධාන කොට ඇති මේ අසූහාරදහසක් ගෘහපතීහු වෙත්. මෙහි ආසාව හරිනු මැනවි. ජීවිතයෙහි ආසාව නොකරනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට අනුව යන්නාවූ පරිනායක රත්නය ප්‍රධාන කොට ඇති මේ අසූහාර දහසක් ක්ෂත්‍රියයෝ වෙත්. මෙහි ආසාව හරිනු මැනවි. ජීවිතයට ආසාව නොකරනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට එල්බෙන කිරිබුරුළු ඇත්තාවූ රත්රන් සැට්ට පොරවනලද මේ අසූහාරදහසක් කිරිදෙන්නු වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව හරිනු මැනවි. ජීවිතයට ආසාව නොකරනු මැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට සියුම් කොමු පිළිද සියුම් කපු පිළිද සියුම් කොසෙය්‍ය වස්ත්‍රද, යන මේ වස්ත්‍ර කෝටි අසූහාරදහසක් වෙත්. දේවයන්වහන්ස මෙහි ආසාව හරිනු මැනවි. ජීවිතයට ආසාව නොකරනුමැනවි. දේවයන් වහන්ස, නුඹවහන්සේට උදය සවස ආහාර පිණිස එළවන අසූහාරදහසක් බත් තලි වෙත්. දේවයන් වහන්ස, මෙහි ආසාව හරිනු මැනවි. ජීවිතයෙහි බලාපොරොත්තුව නොකරනු මැනවැයි’ කීවාය.

බ්‍රහ්මලොකූපගමං

“එවිට ආනන්දය, මහාසුදර්ශන රජතෙම නොබෝ වේලාවකින්ම කාලක්‍රියා කළේය. ආනන්දය. යම්සේ මිහිරිවූ ආහාරයක් අනුභව කළාවූ ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ බත් මතය ඇතිවේද, එපරිද්දෙන්ම ආනන්දය, මහාසුදර්ශන රජහට මරණාන්තික වේදනාව ස්වල්පවිය. ආනන්දය, කාලක්‍රියාකළාවූ මහාසුදර්ශන රජතෙම මනා ගති ඇතිහෙයින් සුගති නම්වූ බ්‍රහ්මලොකයෙහි උපන්නේය. ආනන්දය, මහාසුදර්ශන රජතෙම අසූහාරදහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කෙළේය. අසූහාරදහසක් අවුරුදු යුවරජකම් කළේය. අසූහාරදහසක් අවුරුදු රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු ගිහිව සිටියේම ධර්මප්‍රාසාදයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළේය. ඒ රජතෙම සතර බ්‍රහ්ම විහරණ ධර්මයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බඹලොව උපන්නේය.

“ආනන්දය, ඒ කාලයෙහිදී ඒකාන්තයෙන් වෙන කෙනෙක් මහාසුදර්ශන රජවීයයි තොපට මෙබඳු සිතක් වන්නේද? ආනන්දය, ඒ කාරණය එසේ නොදත යුතුය, මම ඒ කාලයේදී මහාසුදර්ශන රජවීමියි වදාළසේක. මා සම්බන්ධව කුසාවතී රාජධානිය ප්‍රධාන කොට ඇති අසූහාර දහසක් නගරද, ධර්මප්‍රාසාදය ප්‍රධානකොට ඇති අසූහාරදහසක් ප්‍රාසාදයෝද, මහාව්‍යුහ කූටාගාරය ප්‍රධානකොට ඇති අසූහාර දහසක් කූටාගාරද, ස්වර්ණමයවූද රිදීමයවූද දන්තමයවූද සාරමයවූද එක් පිට හා දෙපිට ලොම් ඇති එලුලොම් මුවා ඇතිරිද, රන් වැඩකළ දික්දහවලු ඇතිරිද, කෙසෙල් මුවසමින් කළ ඇතිරියෙන්ද මතුයෙහි බඳනාලද රන් වියන් සහිතවූ අසූහාරදහසක් ආසනද රත්රනින් අලංකාරවූ රත්රන් ධජ ඇත්තාවූ රත්රන් දැලෙන් වසනලද උපොසථ ඇත්රජ ප්‍රධාන කොට ඇති අසූහාර දහසක් ඇත්තුද, රත්රන් අලංකාර ඇත් රත්රන් ධජ ඇති රන් දැලින් වසනලද වළාහක අශ්ව රාජයා ප්‍රධානකොට ඇති අසූහාර දහසක් අශ්වයෝද, සිංහ සමින් වෙළන ලද්දාවූද ව්‍යාඝ්‍ර සමින් වෙළන ලද්දාවූද, දිවිසමින් වසන ලද්දාවූද රත් කම්බල වස්ත්‍රයෙන් වසනලද්දාවූද අසූහාර දහසක් රථද, මාණික්‍ය රත්නය ප්‍රධානකොට ඇති අසූහාරදාහක් මාණික්‍යද, සුභද්‍රාදේවී ප්‍රධාන අසූහාරදහසක් ස්ත්‍රීහුද, ගෘහපති රත්නය ප්‍රධාන අසූ හාරදහසක් ගෘහපතීහුද, පරිනායක රත්නය ප්‍රධාන අනුව හැසිරෙන්නාවූ අසූහාරදහසක් ක්ෂයත්‍රියයෝද, එල්බෙන කිරි බුරුළු ඇත්තාවූ රත්රන් සැට්ට දරන්නාවූ අසූහාරදහසක් ගවදෙන්නුද වූහ. සියුම්වූ කොමු පිළිද, සියුම්වූ කපු පිළිද, කොසෙය්‍ය පිළිද යන මේ වස්ත්‍ර කෝටි අසූහාරදහසක්ද සවස උදය ආහාර පිණිස එළවනලද සූවාසුදහසක් බත් තලිද මා සම්බන්ධ වූවාහුමය.

“ආනන්දය, ඒ අසූහාර දහසක් නගර අතුරෙන් යම් කුසාවතී රාජධානියෙක්වීද එසමයෙහි ඒ එකම කුසාවතී නුවර වාසයකෙළෙමි. ආනන්දය, ඒ අසූහාරදහසක්ප්‍රාසාදයන් අතුරෙන් යම් ඒ ධර්මප්‍රාසාදයක් වූයේද ඒ එකම ධර්ම ප්‍රාසාදයෙහි වාසය කෙළෙමි. ආනන්දය, ඒ අසූහාරදහසක් කූටාගාරයන් අතුරෙන් යම් ඒ ‘මහාව්‍යුහ’ නම් කූටාගාරයෙක් වූයේද එසමයෙහි ඒ එකම මහාවියූහ නම් කූටාගාරයෙහි වාසය කෙළෙමි. ආනන්දය, ඒ සුවාසුදහසක් ආසන අතුරෙන් යම් ඒ රත්රන්වූ හෝ රිදීවූ හෝ දන්තමයවූ හෝ සාරමයවූ හෝ ආසනයක් වූයේද, ඒ එකම ආසනයක හිඳගත්තෙමි. ආනන්දය, ඒ අසුහාරදහසක් ඇතුන් අතුරෙන් යම් උපොසථ හස්ති රාජයෙක් වීද, එසමයෙහි ඔහුම වාහණයකොට ගත් තෙමි. ආනන්දය, ඒ අසූහාරදහසක් අශ්වයන් අතුරෙන් යම් ඒ වළාහක අශ්වරාජයෙක් වූයේද එසමයෙහි ඔහුම වාහණයකොට ගත්තෙමි. ආනන්දය, ඒ අසූහාරදහසක් රථයන් අතුරෙන් යම් ඒ වෛජයන්ත නම් රථයක් වූයේද එසමයෙහි ඒ රථයම වාහණයකොට ගත්තෙමි. ආනන්දය, ඒ අසූහාර දහසක් ස්ත්‍රීන් අතුරෙන් ක්ෂත්‍රියවූ හෝ වෛශ්‍යවූ හෝ යම් එකම ස්ත්‍රියක් මට උපස්ථායිනීව සිටියාය. ආනන්දය, සියුම් කොමු පිළිවූ හෝ සියුම් කපු පිළිවූ හෝ සියුම් කෝසෙය්‍ය වස්ත්‍රවූ හෝ සියුම් කම්බල වස්ත්‍රවූ හෝ යම් ඒ වස්ත්‍ර කෝටි අසූහාරදහසක් වූයේද එයින් වස්ත්‍ර දෙකක් පමණක් හැන්දෙමි. ආනන්දය, ඒ අසූහාරදහසක් බත් තලි අතුරෙන් යම් ඒ එක් බත් තලියක් වේද එයින් නැළියක් පමණ බත් ඊට ප්‍රමාණ සූපව්‍යඤ්ජන සහිතව අනුභව කෙළෙමි.

“ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව, සියලුම ඒ සංස්කාර ධර්මයෝ ඉකුත්වූහ. නිරුද්ධවූහ, විනාශ වූහ. ආනන්දය, මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වන්නාහුය. ආනන්දය, සංස්කාරයෝ මෙසේ අස්ථිර වන්නාහුය. ආනන්දය, සංස්කාරයෝ මෙසේ අස්වැසීමක් නැත්තාහුමය. ආනන්දය, යම් මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්ට සුදුසු වන්නේය. නොඇලෙන්නට සුදුසු වන්නේමය. මිදෙන්ට සුදුසු වන්නේමය.

ආනන්දය, මම වනාහි මේ ප්‍රදෙශයෙහි හය වාරයක්ම ශරීර නික්ෂෙපය (ශරීරය දැමීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මිකවූ ධර්මරාජන්වූ චක්‍රවාළය කෙළවරකොට ඇති සතර මහාද්වීපය ජයගත්තාවූ ජනපදයන්හි ස්ථිර භාවයට පැමිණියාවූ සප්තවිධ රත්නයෙන් යුක්තවූ සක්විති රජ කාලයන්හිමය. මේ සත්වෙනි සරීර නික්ෂෙපය (ශරීරය දැමීම) වන්නේය. ආනන්දය, දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ලෝකයෙහි යම් තැනෙක්හි තථාගත තෙම අටවැනිවර ශරීර නික්ෂෙපය කරන්නේද එබඳුවූ ප්‍රදෙශයක් මම නොදක්නෙමියි වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය මෙසේ වදාරා එයින් මත්තෙහි සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ මෙසේද වදාළසේක.

“ඉපිද නැසෙන සුලුවූ සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නැති වෙත්. ඔවුන්ගේ සංසිඳීම සැප වන්නේය” යනුයි.

දහහත්වෙනි මහාසුදර්ශන සූත්‍රය නිමියේය.