දීඝ නිකාය

මහා වර්ගය

22. මහා සතිපට්ඨාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනියි” කථා කළෝය. භික්ෂුහු “ස්වාමින් වහන්ස,”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.

උද්දෙසො

මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්මකෙනෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය, සිතෙහි හටගන්නා දුක්ය යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද, නිර්වාණය අවබොධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේයයි” දේශනා කළාහුය.

ඒ සතර (සතිපට්ඨාන ධර්මයෝ) කවරහුදයත්? මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි, ලෝභයද ක්‍රෝධයද සංසිඳුවා ගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙස් තවන වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව විඳීම් රාශියෙහි, ලෝභය, හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙසුන් තවන වීර්යය ඇත්තේ යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව සිත් සමනයෙහි ලෝභය හා දොම්නස (ක්‍රොධය) සංසිඳුවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙසුන් තවන වීර්යය ඇතිව, සිහි ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, නීවරණාදි ධර්ම රාශියෙහි ලෝභය හා දොම්නස (ක්‍රොධය) සංසිඳුවා ගෙන ධර්මයන් කෙරෙහි ධර්ම අනුව සිහි කරමින් වාසය කරන්නේය. (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්.)

උද්දෙසො නිට්ඨිතො.

කායානුපස්සනා ආනාපානපබ්බං

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේදයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල්ගනිමින්-හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට (ඉක්මනින්) ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ‘ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාසය දැන ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරගන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.

මහණෙනි, දක්ෂවූ ලියන වඩුවෙක් හෝ වඩුවෙකුගේ අත වැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ, ‘දික් කොට අදිනෙමියි’ කියා යම්සේ දනීද, ලුහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදිනෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දනියි. මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාස දැනගනිමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ‘ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ‘ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය.

මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ, ආශ්වාස ප්‍රශ්වාස ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය. අනුන්ගේ, හා තමන්ගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ හටගැනීම බලමින් හෝ වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. කලෙක හටගැනීම කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය. ඥානයේ වැඩීම පිණිසද සිහියේ වැඩීම පිණිසද පවතී. ආශ්වාස ප්‍රශ්වාස දෙකම ඇත්තේය. (එයින් පිටත් සත්වයෙක් පුද්ගලයෙක් නැත්තේයයි) මනාකොට සිහිය පිහිටියේ වෙයි. තණ්හා දෘෂ්ටියෙන් දුරුව වසන්නේද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි, කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගන්නේය. මහණෙනි, මෙසේද මහණ තෙම ශරීරයෙහි, ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.”

ආනාපානපබ්බං නිට්ඨිතං.

කායානුපස්සනා ඉරියාපථපබ්බං

“මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ ‘යන්නෙමියි’ දන්නේය. සිටියේ හෝ ‘සිටියෙමියි’ දන්නේය. හුන්නේ හෝ ‘හුන්නෙමියි’ දන්නේය. ශයනය කරන්නේ හෝ ‘සයනය කරන්නෙමියි’ දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවන ලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශ වීම් ස්වභාව දක්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය කියා සිහිය එළඹ සිටියේ වේද එය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටියෙන් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ඉරියාපථපබ්බං නිට්ඨිතං.

කායානුපස්සනා සම්පජානපබ්බං

“මහණෙනි, නැවතද මහණ තෙමේ ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද සරස බැලීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේ වෙයි. අත්පා හැකිළීමෙහිද දිගු කිරීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේය. පාත්‍රා, දෙපට සිවුරු, තනිපට සිව්රු දැරීමෙහිද ප්‍රඥාවෙන් දැන දරන්නේය. අනුභව කිරීමෙහිද පානය කිරීමෙහිද, කඩා කෑමෙහිද රස බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. මලමුත්‍ර පහ කිරීමෙහිද නුවණින් දැන කරන්නේය. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරු කිරීමෙහිද, කථා කිරීමෙහිද, කථා නොකිරීමෙහිද, ප්‍රඥාවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත්වන්නේ මෙසේ තමාගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම බලමින් හෝ වාසය කරන්නේය. විනාශය බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ඉපදීම, කලෙක නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. මේ යොගාවචරයාහට වනාහි සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේයයි සිහිය එළඹ සිටියේවේද, (ඒ සිහිය) ඥානයාගේ වෘද්ධිය පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනාගෙන් දුරුවද වාසය කරන්නේය. ශරීර ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගන්නේය. මහණෙනි, භික්ෂූව මෙසේද මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය.

සම්පජානපබ්බං නිට්ඨිතං.

කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං

නැවතද මහණෙනි, යොගාවචරතෙම පාදාන්තයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නානාවිධ අසුචියෙන් පිරීසිටි මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේද යත්) මේ ශරීරයෙහි හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දෙතිස් දත්ය, හමය, මස් පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, අක්මාවය, හෘදයමාංසය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය නොදිරූ අහාරය, මලය, හිස් මොලය, පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳ මිදුලුය, මුත්‍රය, (යනමේ කුණපයෝ) ඇත්තාහ.

මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් පුරවනලද උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද, කිනම් ධාන්‍යවලින් යුත් මල්ලක්දයත්? හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය, (යනමේ ධාන්‍යවලිනි) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල (මුදා) ලිහා මේ හැල්ය, මේ මහවීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල්යයි යම්සේ මෙනෙහි කරන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, යොගාවචර තෙම පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් ආකාර අසුචි වලින් පිරුණාවූ මේ ශරීරයම සිහි කරන්නේය. ඒ කෙසේදයත්. නියපොතුය, දත්ය, සමය මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුළුය, වකුගඩුය, හෘදය. මාංසය, අක්මාව, සැරවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, අතුණුය, අතුණු බහණය, නොපැසුණු ආහාරය, මලය, හිස්මොළය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය (යන මේ කුණපයෝ) මේ ශරීරයෙහි ඇත්තාහ. කියායි.

මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම් ස්වභාවය බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශවීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය, කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව හෝ අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල වශයෙන් නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥාණයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය, මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදි වශයෙන් නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

පටිකූලමනසිකාරපබ්බං නිට්ඨිතං.

කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං

මහණෙනි, නැවතද භික්ෂුව මේ ශරීරය යම්සේ සිටියේද යම්සේ පිහිටුවන ලදද, එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. මේ ශරීරයෙහි පෘථිවිධාතුය, (තදගතිය) ආපෝ ධාතුය, (දියවන ගතිය) තේජෝ ධාතුය, (උණු ගතිය) වායො ධාතුය, (විහිදෙන ගතිය) (යන ධාතූහු) ඇත්තේය කියායි.

මහණෙනි, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ, ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගවයෙකු මරා සතර මං සන්ධියෙක්හි කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා යම්සේ උන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, භික්ෂුව මේ ශරීරය යම්සේ සිටියේද යම්සේ පිහිටුවන ලදද, එසේ ධාතු වශයෙන් සිහිකරන්නේය. කෙසේදයත්, මේ ශරීරයෙහි පඨවි ධාතුය, අපෝ ධාතුය, තෙජො ධාතුය, වායොධාතුය, (යනමේ ධාතුහු) ඇතැයි කියායි.

මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල වශයෙන් නොව) ධාතු මාත්‍රව ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ධාතුමනසිකාරපබ්බං නිට්ඨිතං.

කායානුපස්සනා නවසිවථිකපබ්බං

[1] මහණෙනි, නැවතද භික්ෂුව මැරී එක දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුනාවූ නිල්වූ (පූයා) සැරව වැගිරෙන්නාවූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දකින්නේද ඒ භික්ෂුව තම ශරීරයම නුවණින් බලන්නේය. කෙසේද මේ ශරීරය මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාව නොයික්ම සිටියේය කියායි.

මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය, අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

[2] මහණෙනි, නැවතද භික්ෂුව කවුඩන් විසින් කඩාගනු ලබන්නාවූ හෝ උකුසන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ ගිජු ලිහිණියන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ නොයෙක් සතුන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ අමු සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද ඒ භික්ෂුව විසින් තමාගේ ශරීරයම නුවණින් බලන්නේය. කෙසේදයත් මේ ශරීරයද මෙබඳුවූ ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාවය නොයික්ම සිටියේය කීයාය.

මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසයකරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසයකරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුවබලමින් වාසයකරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි විනාසවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්වයෙක් පුද්ගලයෙක් නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය මනා කොට පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙසුන් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

[3] මහණෙනි, නැවතද භික්ෂුව ලේ මස් සහිතවූ නහර වලින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේ වේද ඒ භික්ෂුව මේ ශරීරයම නුවණින් බලන්නේය. මේ (මගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.

මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව ද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

[4] මහණෙනි, නැවතද භික්ෂුව මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්මවන ලද්දේය කියායි.

මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරනනේය.

[5] මහණෙනි, නැවතද භික්ෂුව මස්, ලේ දෙකින් පහවූ නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.

මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව ද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

[6] මහණෙනි, නැවතද භික්ෂුව නහර බැඳුම්වලින් වෙන්වූදිශා අනුදිශාවන්හි විසුරුණු ඇට කැබලිද, වෙන දිශාවක විසුරුණු පාඇටද, වෙන දිශාවක විසුරුණු කෙණ්ඩා ඇටද, වෙන දිශාවක විසුරුණු කලවා ඇටද, වෙන දිශාවක විසුරුණු කටි ඇටද, වෙනදිශාවක විසුරුණු පිටකටුද, වෙනදිශාවක විසුරුණු හිස්කැබලිද ඇතිව සොහොනෙහි දමනලද මළමිනිය යම්සේ දකීද, ඒ භික්ෂුව (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය. කියායි.

මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

[7] මහණෙනි, නැවතද භික්ෂුව සක්ගෙඩියක, පාටට සමාන ස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.

මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥාණයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

[8] මහණෙනි, නැවතද භික්ෂුව අවුරුදු ගණන් ඉක්මගිය ඇට ගොඩක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.

මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දන්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

[9] මහණෙනි, නැවතද භික්ෂුව කුණුවූ, සුණුවූ ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයම නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි.

මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය, අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

නවසිවථිකපබ්බං නිට්ඨිතං.

චුද්දස කායානුපස්සනා නිට්ඨිතා.

වෙදනානුපස්සනා

මහණෙනි, භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් කෙසේ වාසය කරන්නේද? මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව සැප වෙදනාවක් විඳින්නේ, සැප වේදනාවක් විඳිමියි දැනගනී. දුක් වේදනාවක් විඳින්නේ, දුක් වේදනාවක් විඳිමියි දැනගනී. දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවක් විඳින්නේ දුක්ද නොවූ, සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක්ද නොවූ සැපද නොවූ (උපෙක්ෂා) වෙදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී.

මෙසේ තමන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳිම්, අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. වෙදනාවන්හි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ වෙදනාව අනුව බලමින් වාසය කරන්නේය. වෙදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වෙදනාව අනුව බලමින් වාසය කරන්නේය. කලෙක වෙදනාවන්හි ඇතිවීම් ස්වභාව හා කලෙක වෙදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වෙදනාව අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල නොව) වෙදනා (විඳීම්) ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.

වෙදනානුපස්සනා නිට්ඨිතා.

චිත්තානුපස්සනා

මහණෙනි, භික්ෂුව කෙසේනම් සිතෙහිසිත අනුව බලමින් වාසය කෙරේද යත්? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුතෙමේ සරාග (අටවැදෑරුම් ලොභ සහගත) සිත හෝ රාග සහිත සිතයයි දැනගනී. වීතරාග (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදොස (දෙවදෑරුම් දොසමූල) සිත හෝ සදොස සිතයයි දැනගනී. වීතදොස (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතදොස සිතයයි දැනගනී. සමොහ (දෙවැදෑරුම් මෝහමූලවූ හෝ දෙළොස් අකුසල්වූ හෝ) සිත සමොහ සිතයයි දැනගනී වීතමොහ (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීත මොහ සිතයයි දැනගනී. සංඛිත්ත (ථීනමිද්ධයන් - චිත්ත චෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය - හා යෙදුණ) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනී. වික්ඛිත්ත (උද්ධච්චය-සිතේ විසිරයාම -හා යෙදුණ) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනී. මහග්ගත (රූපාවචර අරූපාවචර) සිත හෝ මහග්ගත සිතයයි දැනගනී. අමහග්ගත (කාමාවචර) සිත හෝ අමහග්ගත සිතයයි දැන ගනී. සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනී. අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි දැනගනී, සමාහිත (අපර්ණා සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනී. අසමාහිත (අර්පණා සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත හෝ අසමාහිතයයි දැනගනී. විමුත්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුණ) සිත විමුත්ත සිතයයි දැනගනී, අවිමුත්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුණු) සිත හෝ අවිමුත්ත සිතයයි දැනගනී.

මෙසේ තමාගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ සිත කෙරෙහි හෝ සිතඅනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. සිතෙහි ඉපදීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. විනාශවීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ඉපදීම් හා කලෙක විනාශවීම් දක්නේ හෝ සිතඅනුව බලමින් වාසය කරන්නේය. ඔහු සත්වපුද්ගල නොවූ සිත ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥාණයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී ඒ භික්ෂුව කෙලෙසුන් කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කෙරේ. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කරන්නේය.

චිත්තානුපස්සනා නිට්ඨිතා.

ධම්මානුපස්සනා නීවරණපබ්බං

මහණෙනි, භික්ෂුව කෙසේ නම් ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පංච නීවරණ ධර්මයන් (කුසල් ආවරණය කරන කරුණු පස) කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසයකෙරේ. මහණෙනි, භික්ෂුව පංචනීවරණ ධර්මයන් කෙරෙහි (ඒ නීවරණ) ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කෙරේද?

[1] මේ ශාසනයෙහි භික්ෂුව තමා කෙරෙහි ඇත්තාවූ හෝ, කාමච්ඡන්දය, (පස්කම් සැපයෙහි ආසාව) මා තුළ කාමච්ඡන්දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්දය, මා තුළ කාමච්ඡන්දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම වේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් උපන්නාවූ කාමච්ඡන්දයාගේ දුරුකිරීම වන්නේද ඒ කාරණයද, දැනගනී. යම් කරුණකින් දුරු කරනලද කාමච්ඡන්දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණයද දැනගනී.

[2] ඇත්තාවූ හෝ අධ්‍යාත්මිකවූ (තමා තුළවූ) ව්‍යාපාදය (ක්‍රොධය) මා තුළ අධ්‍යාත්මික ව්‍යාපාදය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ, හෝ ක්‍රොධය, මා තුළ ක්‍රොධය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ ක්‍රොධයේ ඉපදීම වේද, ඒ කරුණද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ක්‍රොධයේ දුරුවීම වන්නේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ක්‍රොධයේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

[3] තමා තුළ ඇත්තාවූ හෝ ථීනමිද්ධය (චිත්තචෛතසිකයන්ගේ මැලිබව) මා තුල ථීනමිද්ධය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ ථීනමිද්ධය, මා තුළ ථීනමිද්ධය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ථීනමිද්ධයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් ථීනමිද්ධයාගේ දුරුවීම වන්නේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ථීනමිද්ධයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.

[4] තමාතුළ ඇත්තාවූ හෝ උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන්කම හා පසුතැවිල්ල) මා තුළ උද්ධච්චකුක්කුච්චය ඇතැයි දැනගනී. තමාතුළ නැත්තාවූ හෝ උද්ධච්චකුක්කුච්චය මා තුළ උද්ධච්චකුක්කුච්චය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම වන්නේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ උද්ධච්චකුක්කුච්චයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

[5] තමා කෙරෙහි ඇත්තාවූ හෝ විචිකිච්ඡාව, (බුද්ධාදි අට තැන්හි සැකය) මා තුළ විචිකිච්ඡාව ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව නැතැයි දන්නේය. යම් කරුණකින් නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් උපන් විචිකිච්ඡාවගේ දුරුකිරීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් දුරුවූ විචිකිච්ඡාව නැවත නූපදින්නේද, එයද දන්නේය.

මෙසේ තමා තුළවූ හෝ (පංච නීවරණ) ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරව පවත්නාවූ හෝ (අනුන් පිළිබඳවූ) (නීවරණ) ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ඒ ධර්මයන්ගේ නැතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. විටක ඉපදීම් ස්වභාව හා විටක නැතිවීම් ස්වභාව හෝ බලමින් වාසය කරන්නේය. ඔහු විසින් (සත්වයෙක් පුද්ගලයෙක් නොව) නීවරණ ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනා කොට පිහිටුවන ලද්දීය. ඒ සිහිය නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වසන්නේය. ලොකයෙහි කිසිවක් (මමය මාගේයයි) ගැනීම නොකරන්නේය. මහණෙනි, (ඒ යොගාවචර) භික්ෂුව මෙසේ පඤ්ච නීවරණ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

නීවරණපබ්බං නිට්ඨිතං.

ධම්මානුපස්සනා ඛන්ධපබ්බං

මහණෙනි, (භාවනා කරන) භික්ෂුව නැවතද පස් ආකාර උපාදාන ස්කන්ධ (රූප, වෙදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාන) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්ෂුව පස් ආකාර උපාදාන ස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කරන්නේද?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ රූපරාශියයි, මේ රූපයාගේ පහළ වීමේ හේතුවයි, මේ රූපයාගේ විනාශයයිද, මේ වෙදනාවය (විඳීමය) මේ වෙදනාවගේ පහළ වීමේ හේතුවය, මේ වේදනාවගේ විනාශයයිද, මේ සංඥාවය, මේ සංඥාවගේ පහළ වීමේ හේතුවය. මේ සංඥාවගේ විනාශයයිද, මේ සංස්කාරයය, මේ සංස්කාරයාගේ පහළවීමේ හේතුවය. මේ සංස්කාරයාගේ විනාශයයයිද, මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ පහළ වීමේ හේතුවය. මේ විඤ්ඤාණයාගේ විනාශයයිද

මෙසේ තමා තුළවූ (පංචස්කන්ධ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරවූ (අනුන්තුළවූ) හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් කෙරෙහිවූ හෝ අනුන් කෙරෙහිවූ හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ ඇතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාවය හෝ බලමින් වාසය කරන්නේය. කලෙක ධර්මයන්ගේ පහළවීම හා කලෙක ධර්මයන්ගේ විනාශවීම හෝ බලමින් වාසය කරනේය. ඔහු විසින් (සත්වපුද්ගල නොව) ස්කන්ධ ධර්මයෝ ඇත්තාහුය (යන) සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. (ඒසිහිය) නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වාසය කරයි. (පංචස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මමය මාගේයයි) ගැනීමක් නොකරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ පංචඋපාදානස්කන්ධයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

ඛන්ධපබ්බං නිට්ඨිතං.

ධම්මානුපස්සනා ආයතනපබ්බං

මහණෙනි, නැවතද භික්ෂුව තමන් තුළවූ සය ආකාර ආයතනයන්ද (ඇස, කණ, නාසය, දිව, කය, සිත) පිටතවූ සය ආකාර ආයතනයන්ද (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම) යන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. මහණෙනි, භික්ෂුව තමන් තුළවූද, පිටතවූද සයාකාර ආයතනයන් කෙරෙහි ධර්මයන් අනුව කෙසේ නම් බලමින් වාසය කරයිද,

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ඇසද දැනගනී. රූපයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීම හේතුකොටගෙන යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

කණද දැනගනී. ශබ්දයද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

දිවද දැනගනී. රසයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ උපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.

කයද දැනගනී. ස්පර්ශයද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී, යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.

සිතද දැනගනී, ධර්මයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක් වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.

මෙසේ තමා තුළවූ (ආයතන) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. පිටත්හිවූ ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළවූද, පිටත්හිවූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ විනාශ වීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම බලමින් හෝ වාසය කෙරේ. ඔහු විසින් (සත්ව පුද්ගලනොව) ආයතන ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටුවන ලද්දීය. (එය) නුවණ වැඩීම පිණිසද, සිහිය දියුණු වීම පිණිසද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වාසය කරන්නේය. (ආයතන ධර්ම) ලොකයෙහි කිසිවක් (මමය, මාගේයයි) ගැනීම නොකෙරේ. මහණෙනි, ඒ භික්ෂුව මෙසේ තමන් තුළවූද, පිටත්හිවූද දොළොස් ආයතන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.

ආයතනපබ්බං නිට්ඨිතං.

ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං

මහණෙනි, නැවතද භික්ෂුව සප්තබොද්ධ්‍යංග (අවබොධයට හේතුවන අවයව හත) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්ෂුව සත්වැදෑරුම් බොධ්‍යංග ධර්මයන් අනුව කෙසේ බලමින් වාසය කෙරේද?

[1] මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තමාතුළ ඇත්තාවූ හෝ සති සම්බොජ්ඣංගය, (සිහිය) මා තුළවූ සතිසම්බොජ්ඣංගය, ඇතැයි දැනගනී. තමාතුළ නැත්තාවූ හෝ සති සම්බොජ්ඣංගය මා තුළ සති සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් සතිසම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

[2] තමා කෙරෙහි ඇත්තාවූ හෝ ධම්මවිචය (ප්‍රඥාව) සම්බොජ්ඣංගය, මාතුළ ධම්මවිචය සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ ධම්මවිචය සම්බොජ්ඣංගය, මාතුළ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

[3] තමා කෙරෙහි ඇත්තාවූ හෝ විරිය (වීර්යය) සම්බොජ්ඣංගය, මා තුළ විරිය සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විරිය සම්බොජ්ඣංගය මාතුළ විරිය සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් විරියසම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ විරිය සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

[4] තමා කෙරෙහි ඇත්තාවූ පීති (ප්‍රිතිය) සම්බොජ්ඣඩ්ගය, හෝ මාතුළ පීති සම්බොජ්ඣඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පීති සම්බොජ්ඣඩ්ගය, මාතුළ පීති සම්බොජ්ඣඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් පීති සම්බොජ්ඣඩ්ගයාගේ ඉපදීමක් වේද, එයද දැන ගනී. යම් කරුණකින් උපන්නාවූ පීති සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

[5] තමා කෙරෙහි ඇත්තාවූ හෝ පස්සද්ධි (සංසිඳීම) සම්බොජ්ඣඩ්ගය මාතුළ පස්සද්ධි සම්බොජ්ඣඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පස්සද්ධි සම්බොජ්ඣඩ්ගය මා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් හෝ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

[6] තමා කෙරෙහි ඇත්තාවූ හෝ සමාධි (සිත එකඟ කිරීම) සම්බොජ්ඣඩ්ගය, මා තුළ සමාධි සම්බොජ්ඣඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ සමාධි සම්බොජ්ඣඩ්ගය, මා තුළ සමාධි සම්බොජ්ඣඩ්ගය නැතැයි දැන ගනී. යම් කරුණකින් නූපන්නාවූ සමාධි සම්බොජ්ඣඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සමාධි සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

[7] තමා කෙරෙහි ඇත්තාවූ හෝ උපෙක්ඛා (මැදහත් බව) සම්බොජ්ඣඩ්ගය, මා තුළ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගය ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවූ හෝ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගය, මාතුළ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

මෙසේ තමා කෙරෙහි ඇත්තාවූ හෝ (සප්ත බොධ්‍යංග) ධර්මයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරයි. අනුන් පිළිබඳවූ (සප්තබොද්ධ්‍යංග) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කරයි. ඒ භික්ෂුවට (සත්ව පුද්ගල නොව) බොද්ධ්‍යංග ධර්මයෝ ඇතැයි යන සිහිය හොඳින් එළඹෙන ලද්දීය. (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්ෂුව) කෙලෙසුන්ගෙන් දුරුව වාසය කරයි. ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි. මහණෙනි, භික්ෂුව මෙසේ සප්ත බොද්ධ්‍යංග ධර්මයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරයි.

බොජ්ඣඞ්ගපබ්බං නිට්ඨිතං.

(බොජ්ඣඞ්ගපබ්බං නිට්ඨිතං, පඨමභාණවාරං (ස්‍යා.))

ධම්මානුපස්සනා සච්චපබ්බං

මහණෙනි, භික්ෂුව නැවතද චතුරාර්‍ය්‍යසත්‍යය (උතුම් සත්‍ය හතර) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. මහණෙනි, භික්ෂුව චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීම යයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක්නැති කිරීමේ මාර්ගය යයි ඇති සැටියෙන් දැනගනී.

පළමුවෙනි බණවර නිමියේය.

දුක්ඛසච්චනිද්දෙසො

මහණෙනි, දුඃඛාර්‍ය්‍ය සත්‍යය නම් කවරේද? ඉපදීමද දුකය. දිරීමද (මහලුවීම) දුකය. රොගයද දුකය. මරණයද දුකය. ශොක කිරීමය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, ශොක කිරීමෙන් වන වෙහෙසය යන මොවුහු දුක් වන්නාහුය. අකමැති දෙය හා එක්වීමද දුක්වන්නේය. කැමති දෙයින් වෙන්වීමද දුක් වන්නේය. යම් කැමති දෙයක් නොලැබීමද දුක්වන්නේය. කොටින් කියතොත් උපාදානස්කන්ධ පසම දුක් වන්නේය.

මහණෙනි, ජාතිය (උත්පත්තිය) නම් කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයන්හි ඉපදීමක් වේද, හටගැන්මක් වේද, (උත්පත්තියට) ඇතුළත් වීමක් වේද, විශෙෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද මහණෙනි, මෝ තොමෝ ජාතිය (ඉපදීම) යයි කියනු ලැබේ.

මහණෙනි, ජරාව (මහලු වීම) නම් කවරේද? ඒ ඒ සත්ව වර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක් වේද, දිරන බවක් වේද කැඩුණු (වැටුනු) දත්ඇති බවක් වේද, පැසී සුදුවූ කෙස් ඇති බවක් වේද, (හම) රැලි වැටීමක් වේද ආයුෂයාගේ පිරිහීමක්වේද, ඉන්ද්‍රියයන්ගේ මේරීමක් වේද, මේ ජරාවයයි කියනු ලැබේ.

මහණෙනි, මරණය නම් කවරේද? ඒ ඒ සත්වවර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ චුතවීමක් වේද, වෙන්වීමක් වේද, බිඳීමක් වේද, අතුරුදන් වීමක් වේද, මිය යාමක් වේද, කාලක්‍රියාවක් වේද, ස්කන්ධයන්ගේ බිඳීමක් වේද, ශරීරයාගේ බැහැර දැමීමක් වේද, මහණෙනි, මෙය මරණයයි කියනු ලැබේ.

මහණෙනි, සොකය නම් කවරේද? යම් යම් විපතකින් යුක්තවූ සත්වයාගේද, යම් යම් දුකකට පැමිණි සත්වයාගේද ශොකයක් වේද, ශොකකරන බවක් වේද, ශොක කිරීමක් වේද, ඇතුළත වියලන ස්වභාවයක් වේද, ඇතුළත විශෙෂයෙන් වියලන ස්වභාවයක් වේද මහණෙනි, මෙය ශොකයයි කියනු ලැබේ.

මහණෙනි, පරිදෙවය නම් කුමක්ද? යම් යම් විපතකින් යුක්තවූව හුගේද යම් යම් දුකකට පත්වූවහුගේද යම් වැලපීමක් වේද, විලාප කීමක් වේද, නම් කිය කියා හැඬීමක් වේද, ගුණ කිය කියා හැඬීමක් වේද, යම් හැඬීම් බවක් වේද, යම් විලාප කීමක් වේද, මහණෙනි, මෙය පරිදෙවයයි කියනු ලැබේ.

මහණෙනි, දුක නම් කවරේද? මහණෙනි, කයෙහිවූ යම් දුකක් ඇද්ද, කයෙහිවූ යම් නොසැපක් වේද කායස්පර්ශයෙන් හටගත්තාවූ දුකක්වේද නොසැපවූ විඳීමක් වේද මහණෙනි, මෙය දුකයයි කියනු ලැබේ.

මහණෙනි, දොම්නස නම් කවරක්ද? මහණෙනි, සිතෙහි හටගත්තාවූ යම් දුකක් වේද, සිතෙහිවූ යම් අමිහිරි බවක් වේද, සිතේ ස්පර්ශ නිසා හටගත් යම්දුකක් වේද, සැපනොවූ යම් විඳීමක් වේද මහණෙනි, මෙය දොම්නසයයි කියනු ලැබේ.

මහණෙනි, උපායාස නම් කවරේද? යම් යම් විපතකින් යුක්ත වූවහුගේද, යම් යම් දුකකින් යුක්තවූවහුගේද යම් දැඩි වෙහෙසක් ඇත්තේද යම් ක්ලාන්ත වීමක් වේද, යම් බලවත් ක්ලාන්ත වීමක් ඇත්තේද මෙය මහණෙනි, උපායාසයයි කියනු ලැබේ.

(පරිවර්තනයේ මේ කොටස නැත)

(පරිවර්තනයේ මේ කොටස නැත)

මහණෙනි, “කැමතිවූ යමක් නොලබාද එයද දුක් වන්නේය” යනු කවරේද? මහණෙනි, ඉපදීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමත්තක් (ආසාවක්) උපදී. (කෙසේද?) “අනේ! අපි සසර උපදින ස්වභාව නැත්තෝවෙමු නම්, එකාන්තයෙන් සසර හටගැන්ම අපවෙත නොඑන්නේ නම් ඉතා හොඳය” යනුවෙනි. මේ කාරණය කැමැත්තෙන් (ආසාවෙන්) පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, දිරීම (මහළුවීම) ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි මහලු වන ස්වභාව නැත්තෝවෙමු නම්, එකානත්යෙන් මහලුවීම අපවෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, රෝගයන්ගෙන් පෙළෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි රොගීවන ස්වභාව නැත්තෝ වෙමු නම්, ඒකාන්තයෙන් අපවෙත රෝග නොඑන්නේ නම් ඉතා හොඳය” කියාය. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, මරණයට පැමිණෙන ස්වභාව ඇත්තාවූ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි මැරෙණ ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් මරණය අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” (කියායි.) මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, ශොකයට (කනගාටුවට) පැමිණීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි ශොකයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් එකාන්තයෙන් ශොකය අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි, මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, වැළපීමට පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි වැළපීමට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් වැළපීම අපවෙත නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය” කියායි, මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, දුකට (කායිකදුක) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි දුකට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් දුක අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, දොම්නසට (සිතේ දුකට) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ! අපි දොම්නසට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් දොම්නස අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, උපායාසයට (බලවත් වෙහෙසට) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ! අපි උපායාසයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, ඒකාන්තයෙන් අප වෙත උපායාසය නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ, මෙයද ආසා කරනයමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, සංක්ෂෙපයෙන් දුක්වූ පඤ්ච උපාදානස්කන්ධයෝ නම් කවරහුද? හේ මෙසේයි. රූප උපාදානස්කන්ධය, වෙදනා උපාදානස්කන්ධය, සංඥාඋපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥානඋපාදානස්කන්ධය, යන මොහුයි. මහණෙනි සංක්ෂෙපයෙන් දුක් වන්නාහු යම් පඤ්ච උපාදානස්කන්ධයෝයි. මහණෙනි මෙය දුඃඛර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.

සමුදයසච්චනිද්දෙසො

මහණෙනි දුක්ඛ සමුදය (දුක් ඉපදීමේ හේතුව) ආර්‍ය්‍ය සත්‍යය කවරේද? නැවත නැවත සත්වයාගේ ඉපදීම ඇතිකරන්නාවූ, ඇලීම් සහගතවූ ඒ ඒ උපන් ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් තණ්හාවක් (ආසාවක්) වේද, ඒ කවරේදයත්? කාම තණ්හාය (පංචකාමයන් කෙරෙහි ඇති ආසාව) භව තණ්හාය (ශාස්වතදෘෂ්ටිය සමග ඇති ආශාව) විභව තණ්හාය (උච්ඡේදදෘෂ්ටිය සමග පවත්නා ආශාව) යන මොහුයි.

මහණෙනි ඒ මේ තණ්හාව උපදිනු ලබන්නේ, කවර තැනෙක්හි උපදීද? පවතිනු ලබන්නේ කවර තැනක පවතීද? ලොකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, සැප ස්වභාව ඇත්තේද එහි උපදිනු ලබන්නාවූ මේ තණ්හාව උපදී පවතිනු ලබන්නාවූ මේ තණ්හාව පවතී.

ලොකයෙහි කුමක් නම් ප්‍රියස්වභාවය ඇත්තේද? සැප ස්වභාව ඇත්තේද? ලොකයෙහි ඇස ප්‍රියස්වභාවය ඇත්තේය. සැපස්වභාවය ඇත්තේය, උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී, පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලොකයෙහි කණ ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාවය ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලොකයෙහි නාසය ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලොකයෙහි දිව ප්‍රිය ස්වභාවය ඇත්තේය. සැප ස්වභාවය ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලොකයෙහි ශරීරය ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලොකයෙහි සිත ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූපයද, ලොකයෙහි ශබ්දයද, ලොකයෙහි සුවඳද, ලොකයෙහි රසයද, ලොකයෙහි ස්පර්ශයද, ලොකයෙහි ධර්මයද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි චක්ඛු විඤ්ඤාණයද, (රූපය දැන ගන්නා සිත) ලොකයෙහි සොත විඤ්ඤාණයද, (ශබ්දය දැන ගන්නා සිත) ලොකයෙහි ඝාණ විඤ්ඤාණයද, (ගඳ සුවඳ දැන ගන්නා සිත) ලොකයෙහි ජිව්හා විඤ්ඤාණයද, (රස දැන ගන්නා සිත) ලොකයෙහි කාය විඤ්ඤාණයද, (ස්පර්ශ දැන ගන්නා සිත) ලොකයෙහි මනො විඤ්ඤාණයද, (චක්ඛුවිඤ්ඤාණාදියෙන් අන්‍යවූ සිත) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි චක්ඛුසම්ඵස්සයද, (චක්ඛුද්වාරයෙහි ස්පර්ශය) ලොකයෙහි සොත සම්ඵස්සයද (සොත ද්වාරයෙහි ස්පර්ශය) ලොකයෙහි ඝාන සම්ඵස්සයද (ඝාන ද්වාරයෙහි ස්පර්ශය) ලොකයෙහි ජිව්හා සම්ඵස්සයද (ජිව්හා ද්වාරයෙහි ස්පර්ශය) ලොකයෙහි කාය සම්පස්සයද (කායද්වාරයෙහි ස්පර්ශය) මනො සම්පස්සයද (මනඃ ස්පර්ශයද) ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි ඇස හා රූපය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි කණ හා ශබ්දය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි නාසය හා ගඳ සුවඳ ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි දිව හා රසය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි කය හා ස්පර්ශය එක් වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි සිත හා ධර්මයන් ස්පර්ශවීමෙන් ඇතිවන විඳීමද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූප සංඥාවද, ලොකයෙහි ශබ්ද සංඥාවද, ලොකයෙහි ගන්ධ සංඥාවද, ලොකයෙහි රස සංඥාවද, ලොකයෙහි ස්පර්ශ සංඥාවද, ලොකයෙහි ධර්ම සංඥාවද, ප්‍රිය ස්වභාව ඇත්තේය, සැප ස්වභාව ඇත්තේය, උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී, පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූපය නිසා පවත්නා චෙතනාවද, ලොකයෙහි ශබ්දය නිසා පවත්නා චෙතනාවද, ලොකයෙහි ගඳ සුවඳ නිසා පවත්නා චෙතනාවද, ලොකයෙහි ස්පර්ශය නිසා පවත්නා චෙතනාවද, ලොකයෙහි ධර්මය නිසා පවත්නා චෙතනාවද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූප තණ්හාවද, ලොකයෙහි ශබ්ද තණ්හාවද, ලොකයෙහි ගන්ධ තණ්හාවද, ලොකයෙහි රස තණ්හාවද, ලොකයෙහි ස්පර්ශ තණ්හාවද, ලොකයෙහි ධර්ම තණ්හාවද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූපය නිසා හටගන්නා විතර්කයද ලොකයෙහි ශබ්දය නිසා හටගන්නා විතර්කයද ලොකයෙහි ගන්ධය නිසා හටගන්නා විතර්කයද, ලොකයෙහි රස නිසා හටගන්නා විතර්කයද, ලොකයෙහි ස්පර්ශය නිසා හටගන්නා විතර්කයද, ලොකයෙහි ධර්ම අරමුණු නිසා හටගන්නා විතර්කයද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූපය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි ශබ්දය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි ගන්ධය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි රසය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි ස්පර්ශය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි ධර්ම අරමුණු නිසා හටගන්නා විචාරයද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

මහණෙනි මේදුක්ඛ සමුදය නම්වූ ආර්‍ය්‍යසත්‍යය යයි.

නිරොධසච්චනිද්දෙසො

මහණෙනි දුක් නැති කිරීම නම් වූ උතුම් සත්‍යය (නිවන) කවරේද? එම තණ්හාවගේම ඉතුරු නොවන යම් නොඇලීම නම්වූ නිරුද්ධ (නැති) කිරීමක් වේද, අත්හැරීමක් වේද, සම්පූර්ණයෙන් දුරලීමක් වේද, මිදීමක් (ගැලවීමක්) වේද, ආලය නොකිරීමක් වේද එයයි.

මහණෙනි පහවනු ලබන්නාවූ මේ තණ්හාව කවර තැනෙක්හි පහවන්නේද? නැතිවන්නාවූ මේ තණ්හාව කවර තැනෙක නැති (නිරුද්ධ) වේද? ලොකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, යමක් සැප ස්වභාව ඇත්තේද පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ. ලොකයෙහි කුමක් නම් ප්‍රිය ස්වභාව ඇත්තේද? කුමක් නම් සැප ස්වභාව ඇත්තේද? ලොකයෙහි ඇස ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.

ලොකයෙහි කණද, ලොකයෙහි නාසයද, ලොකයෙහි දිවද, ලොකයෙහි කයද, ලොකයෙහි සිතද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.

ලොකයෙහි රූපයද, ලොකයෙහි ශබ්දයද, ලොකයෙහි ගඳ සුවඳද, ලොකයෙහි රසයද, ලොකයෙහි ස්පර්ශයද ලොකයෙහි ධර්මයද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.

ලොකයෙහි චක්ඛුවිඤ්ඤාණයද, (රූපදක්නා සිතද) ලොකයෙහි සොතවිඤ්ඤාණයද, (ශබ්ද අසනා සිතද) ලොකයෙහි ඝාණවිඤ්ඤාණයද, (ගඳ සුවඳ දැන ගන්නා සිතද) ලොකයෙහි ජිව්හා විඤ්ඤාණයද, (රස දැන ගන්නා සිතද) ලොකයෙහි කාය විඤ්ඤාණයද, (පහස දැන ගන්නා සිතද) ලොකයෙහි මනො විඤ්ඤාණයද (එම සිත් පසින් අන්‍ය සිත්ද) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.

ලොකයෙහි චක්ෂු ස්පර්ශ (ඇස නිසා හටගන්නා ස්පර්ශය) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහ වන්නේය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලොකයෙහි ශ්‍රොත ස්පර්ශයද (කණ නිසා උපදින ස්පර්ශය) ලොකයෙහි ඝ්‍රාණ ස්පර්ශයද, (නාසය නිසා උපදින ස්පර්ශයද) ලොකයෙහි ජිව්හා ස්පර්ශයද (දිව නිසා උපදින ස්පර්ශයද) කාය ස්පර්ශයද (කය නිසා උපදින ස්පර්ශයද, ලොකයෙහි මනඃ ස්පර්ශයද (සිත නිසා ඇතිවන ස්පර්ශයද) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය

ලොකයෙහි ඇස හා රූපය ගැටීමෙන් උපදින වේදනාව (විඳීම) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය, නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලොකයෙහි කණ හා ශබ්දය ගැටීමෙන් උපදින වේදනාවද, නාසය හා ගන්ධය ගැටීමෙන් උපදින වෙදනාවද, දිව හා රසය ගැටීමෙන් උපදින වේදනාවද, කය හා ස්පර්ශය ගැටීමෙන් උපදින වේදනාවද, සිත හා අරමුණු ගැටීමෙන් උපදින වේදනාවද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවන්නේය.

ලොකයෙහි රූපය යන හැඟීම ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලොකයෙහි ශබ්දය යන හැඟීමද, ලොකයෙහි ගන්ධය යන හැඟීමද ලොකයෙහි රසය යන හැඟීමද ලොකයෙහි ස්පර්ශය යන හැඟීමද ලොකයෙහි ධර්මය යන හැඟීමද ප්‍රියස්වභාව ඇත්තේය. සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.

ලොකයෙහි රූපයෙහි පැවති සිත ප්‍රියස්වභාව ඇත්තේය. සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.

ලොකයෙහි ශබ්දයෙහි පැවති සිතද, ලොකයෙහි ගන්ධයෙහි පැවති සිතද, ලොකයෙහි රසයෙහි පැවති සිතද, ලොකයෙහි ස්පර්ශයෙහි පැවති සිතද, ලොකයෙහි ධර්මයෙහි පැවති සිතද ප්‍රියස්වභාව ඇත්තේය, සැපස්වභාව ඇත්තේය, පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.

ලොකයෙහි රූප තණ්හාව (රූපයට ආශාව) ප්‍රියස්වභාව ඇත්තේය. සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය, නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවන්නීය. ලොකයෙහි ශබ්ද තණ්හාවද (ශබ්දයට ආශාව) ලොකයෙහි ගන්ධ තණ්හාවද (සුවඳට ආශාව) ලොකයෙහි රස තණ්හාවද (රසයට ආශාව) ලොකයෙහි ස්පර්ශ තණ්හාවද (පහසට ආශාව) ලොකයෙහි ධර්ම තණ්හාවද (රූපාදියෙන් අන්‍යදේට ආශාව) ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය, නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.

ලොකයෙහි රූපය නිසා උපදින චෙතනාව (සිත මෙහෙය වන ස්වභාවය) ද, ලොකයෙහි ශබ්දය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලොකයෙහි ගන්ධය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලොකයෙහි රසය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලොකයෙහි ස්පර්ශය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලොකයෙහි රූපාදි අරමුණු පසින් අනික් අරමුණක් නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ප්‍රියස්වභාව ඇත්තේය, සැපස්වභාව ඇත්තේය, පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේතණ්හාව මෙහි නැතිවන්නීය.

ලොකයෙහි රූපයෙහි පැවති විතර්කය ද, (කල්පනාවද) ලොකයෙහි ශබ්දයෙහි පැවති කල්පනාවද, ලොකයෙහි ගන්ධයෙහි පැවති කල්පනාවද, ලොකයෙහි රසයෙහි පැවති කල්පනාවද, ලොකයෙහි ස්පර්ශයෙහි පැවති කල්පනාවද, ලොකයෙහි ධර්මයෙහි පැවති කල්පනාවද, ප්‍රියස්වභාව ඇත්තේය සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේතණ්හාව මෙහි නැතිවන්නීය. මහණෙනි මෙය දුක්ඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.

මග්ගසච්චනිද්දෙසො

මහණෙනි, දුඃඛනිරොධගාමිනි ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය නම් කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කවරේද? සත්‍යය ඇති සැටියෙන් දක්නා ප්‍රඥාවය, යහපත් වචනය, හෙවත් වාග් දුශ්චරිතයෙන් වැළකීමය, යහපත් කල්පනාවය, හෙවත් මනො දුශ්චරිතයෙන් වැළකීමය යහපත් කර්මාන්තය හෙවත් කාය දුශ්චරිතයෙන් වැළකීමය, යහපත් ජීවිකාව හෙවත් දුශ්චරිතයෙන් වැළකුණ දිවි පැවැත්වීමය, යහපත් උත්සාහය හෙවත් අකුසල් නොකිරීමෙහිත් කුසල්කිරීමෙහිත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය, යනුයි.

[1] මහණෙනි, යහපත් ප්‍රඥාව නම් කවරේද, මහණෙනි, දුක පිළිබඳ යම් දැනීමක් වේද, දුකට හේතුව පිළිබඳ යම් දැනීමක් වේද, දුක නිරුද්ධ කිරීම පිළිබඳ යම් දැනීමක් වේද, දුක් නැති කිරීමට පමුණුවන මාර්ගය පිළිබඳ යම් දැනීමක් වේද, මහණෙනි, මේ සම්මා දිට්ඨි (යහපත් ප්‍රඥාව) යයි කියනු ලැබේ.

[2] මහණෙනි, සම්‍යක් සංකල්පය (යහපත් කල්පනාව) නම් කවරේද? නෛෂ්ක්‍රම්‍ය (ගිහි සැප අත්හැරීමේ) සංකල්පනාවය, අව්‍යාපාද (ක්‍රොධ නොකිරීමේ) සංකල්පනාවය, අවිහිංසා (හිංසා නොකිරීමේ) සංකල්පනාවය යන මෙය සම්‍යක් සංකල්ප (යහපත් කල්පනාව) යයිකියනු ලැබේ.

[3] මහණෙනි, සම්‍යක් වචනය කවරේද? බොරු කීමෙන් වැළකීමය, කේළාම් කීමෙන් වැළකීමය, රළු වචන කීමෙන් වැළකීමය, හිස් කථා කීමෙන් වැළකීමය, යන මේ සම්‍යක් වචනයයි කියනු ලැබේ.

[4] මහණෙනි, සම්‍යක් කර්මාන්තය නම් කවරේද යත්? සතුන් මැරීමෙන් වැළකීමය, අන්සතුවූ නුදුන්දෙය ගැනීමෙන් වැළකීමය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය, යන මේ සම්‍යක්කර්මාන්තයයි කියනු ලැබේ.

[5] මහණෙනි, සම්‍යක්ආජීවය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම වරද සහිතවූ ජීවත්වීම හැර නිවරදවූ අන්දමින් ජීවිකාව කෙරේද, මහණෙනි, මේ සම්‍යක් ආජීවයයි කියනුලැබේ.

[6] මහණෙනි, සම්‍යක් ව්‍යායාමය (යහපත් උත්සාහය) නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවාද උත්සාහකෙරේද, වීර්ය ආරම්භ කෙරේද, සිත දැඩි කොට ඔසවයිද, බලවත්සේ උත්සාහ කෙරේද, උපන්නාවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්යය පටන්ගනීද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් උත්සාහ කෙරේද, නූපන්කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද, වීර්යය පටන්ගනීද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, උපන් කුසල ධර්මයන්ගේ පැවතීම පිණිසද, මුළා නොවීම පිණිසද වැඩීම පිණිසද, මහත්බව පිණිසද භාවනාවන් සම්පූර්ණ කිරීම පිණිසද කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්යය පටන්ගනීද, සිත දැඩි කොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, මහණෙනි, මෙය යහපත් උත්සාහයයි (සම්මා වායාමයයි) කියනු ලැබේ.

[7] මහණෙනි, සම්‍යක්ස්මෘතිය (යහපත් සිහිය) කවරේදයත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ ශරීර නම්වූ ලොකයෙහි ලොභයද ද්‍වෙෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ වේදනාස්කන්ධනම්වූ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, සිතෙහි සිත අනුව දක්නේ කෙලෙසුන් තවන වීර්යය ඇතිව නුවණින් යුතුව සිහියෙන් යුක්තව මේ විඥානස්කන්ධ නම් ලෝකයෙහි ලෝභයද ද්වෙෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව මේ සංස්කාර ස්කන්ධ නම් ලෝකයෙහි ලෝභයද ද්වෙෂයද සංසිඳුවාගෙන වාසයකෙරේද මහණෙනි, මෙය සම්‍යක් ස්මෘතියයි (යහපත් සිහියයයි) කියනු ලැබේ.

[8] මහණෙනි, සම්‍යක් සමාධිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් ඇතිවන ප්‍රීතිය හා සැප ඇත්තාවූ පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිත පහදවන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් උපන් ප්‍රීති සැප ඇත්තාවූ දෙවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, යම් ධ්‍යානයක් පිළිබඳව ආර්‍ය්‍යයෝ උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපයෙන් වාසය කෙරේයයි කියත්ද ප්‍රීතියෙන් වෙන්ව සිහියෙන් යුක්ත වූයේ නුවණින් යුක්ත වූයේ සැපය කයින් විඳිමින් ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, සුඛය පහ කිරීමෙන්ද දුඃඛය පහකිරීමෙන්ද සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂාවගේද සිහියගේද පිරිසිදු භාවය ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද මහණෙනි, මෙය සම්‍යක් සමාධියයි කියනු ලැබේ. මහණෙනි, මෙය (දුක් නැතිකිරීම සඳහා පිළිපැදීම නම්වූ) දුඃඛ නිරොධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.

මෙසේ තමන්තුළවූ (චතුරාර්‍ය්‍ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. අනුන් පිළිබඳවූ (චතුරාර්‍ය්‍යසත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූ හා අනුන් පිළිබඳවූ (චතුස්සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්‍ය්‍ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතුවූ (ප්‍රත්‍යය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන්ගේ) විනාශයට හේතුවූ (ප්‍රත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසයකරන්නේය. කලෙක චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මයන්ගේ උත්පත්තියද කලෙක විනාශයද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්වපුද්ගල නොව) චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මයෝ ඇත්තාහ යන එළඹසිටි සිහිය ඇත්තේවෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහියගේ වැඩීමපිණිසද පවතී. (ඒ භික්ෂුව) කෙලෙසුන් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්මවශයෙන්) නොගනී. මහණෙනි, මෙසේ භික්ෂුව (චතුරාර්‍ය්‍ය සත්‍ය) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

සච්චපබ්බං නිට්ඨිතං.

ධම්මානුපස්සනා නිට්ඨිතා.

මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, සත්වර්ෂයක් කල් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, පස් වසක් කල් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, තුන් අවුරුද්දක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)

මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමී ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)

මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)

මහණෙනි, සත් මසක් කල් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන මේ දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)

මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය)

මහණෙනි, පස් මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, සාරමසක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි වීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, තුන්මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතරසතිපට්ඨානයන් මාසදෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනාකරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, මාස දෙකක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් පසළොස් දිනක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිවීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය.)

මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.

භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ මේ සතරසතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.

මහා සතිපට්ඨාන සූත්‍රය නිමියේය.