දීඝ නිකාය

පාඨික වර්ගය

29. පාසාදික සූත්‍රය

නිගණ්ඨනාටපුත්තකාලඞ්කිරියා

මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මාගේ ඇසීම මෙසේයි). එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දුනු ශිල්ප උගත් විදීම් ශාස්ත්‍රය දත් ශාක්‍යයෝ වූවාහුද ඔවුන්ගේ අඹ උයන තුළවූ ප්‍රාසාදයෙහි වැඩ වාසය කරති. එකල නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නම් නුවරෙහිදී නොබෝදිනකට පෙර මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය. ‘තෝ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම, තෝ මේ ධර්ම විනය දන්නෙහිද? තෝ වරදවා පිළිපදින්නෙහිය. මම මනාකොට පිළිපදින්නෙමි. මාගේ වචන අර්ථ සහිත වන්නේය. තාගේ වචන අර්ථ රහිත වන්නේය. පළමුව කියයුත්ත පසුව කීයේය. පසුව කියයුත්ත පළමුව කීයේය. තා විසින් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නැවතුනේය. තා විසින් වාදය නංවන ලද්දේය. තාගේ මත්තෙහි මා විසින් දොෂය නංවන ලද්දේය. බත් මුලක් රැගෙන ඒ ඒ අය කරා එළඹ වාදයෙන් මිදීම පිණිස උත්තර සොයමින් හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් මා විසින් නගනලද දොෂයෙන් තමන් මුදා ගන්නෙහිය. නිගණ්ඨනාත පුත්‍රයන් කෙරෙහි එක් මරණයෙක් වන්නේයයි හඟිමියි,’ කියන්නාහුය. ගිහි වස්ත්‍ර හඳනා ලද අනුව පවත්නාවූ නිගණ්ඨනාථ පුත්‍රයාගේ යම්බඳු ගිහි ශ්‍රාවකයෝ වෙද්ද ඔව්හුද ඒ නිගණ්ඨනාථ පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව නොඇලුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුණාහුය. නොමනාව ප්‍රකාශ කරන ලද්දාවූ නොමනා දැනීම් ඇත්තාවූ නිවනට නොපමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දෙශනා නොකරන ලද්දාවූ ධර්ම විනයෙහි පිහිට බිඳීගියාවූ පිළිසරණක් නැත්තාහු යම්සේද එසේ වූහ.

එකල්හි චුන්ද ස්ථවිර තෙමේ පාවා නුවර වස්වසා නිමවන ලද වස් ඇත්තේ සාම නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නේය. එකපැත්තක හුන්නාවූ චුන්දස්ථවිර තෙමේ ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීන් වහන්ස, නොබෝදා නිගණ්ඨනාත පුත්‍රතෙමේ පාවා නුවරෙහිදී මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳී ගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විරුද්ධ වාදයට පැමිණියාහු, ඔවුනොවුන් අතර මුඛ නමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය. ‘තෝ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම තෝ මේ ධර්ම විනය දන්නෙහිද? තෝ වරදවා පිළිපදින්නෙහිය. මම මනා කොට පිළිපදින්නෙමි. මාගේ වචන අර්ථ සහිත වන්නේය. තාගේ වචන අර්ථ රහිත වන්නේය. පෙරටුව කියයුත්ත පසුව කීයේය. පසුව කියයුත්ත පෙරටුව කීයේය. තා විසින් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නැවතුනේය. තා විසින් වාදය නංවන ලද්දේය. තාගේ මත්තෙහි මා විසින් දොෂය නංවන ලද්දේය. බත්මුලක් රැගෙන ඒ ඒ අය කරා එළඹ වාදයෙන් මිදීම පිණිස උත්තර සොයමින් හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් මා විසින් නගනලද දොෂයෙන් තමන් මුදාගන්නෙහිය. නිගණ්ඨනාත පුත්‍රයන් කෙරෙහි එක් මරණයෙක් වන්නේයයි හඟිමියි කියන්නාහුය.

ගිහි වස්ත්‍ර හඳනාලද අනුව පවත්නාවූ නිගණ්ඨනාත පුත්‍රයාගේ යම් බඳු ගිහි ශ්‍රාවකයෝ වෙද්ද ඔව්හු ඒ නිණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව නොඇලුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුනාහුය. අයහපත්කොට ප්‍රකාශකරන ලද්දාවූ නොමනා දැනීම් ඇත්තාවූ නිවනට නොපමුණු වන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක්සම්බුදුරජුන් විසින් දෙශනා නොකරන ලද්දාවූ ධර්මවිනයෙහි පිහිට බිඳී ගිය පිළිසරණක් නැති කල යම්සේද එසේ වූහයි කීය.”

මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ චුන්දස්ථවිරයන්ට මෙය කීයේය. “ඇවැත් චුන්දය, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ කථා පඬුර ඇත්තේය. ඇවැත් චුන්දය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණෙන්නෙමු. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු දන්වන්නෙමුය”යි කීහ.

“එසේය, ස්වාමීන් වහන්සැ”යි කියා චුන්ද ස්ථවිර තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය. එකල ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද, චුන්දස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමුණුනාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය.“ ස්වාමීන්වහන්ස, මේ චුන්දස්ථවිර තෙමේ මෙසේ කීයේය. ‘ස්වාමීන් වහන්ස, නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නම් නුවර මේ නොබෝදා මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු නිගණ්ඨයෝ දෙකොටසක්ව බිඳී ගොස් හටගත් ඩබර ඇතිව හටගත් කලහ ඇතිව විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය. ‘තෝ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි. කිම තෝ මේ ධර්මවිනය දන්නෙහිද? තෝ වරදවා පිළිපදින්නෙහිය. මම යහපත්ව පිළිපදින්නෙමි. මාගේ වචන අර්ථ සහිත වන්නේය. තාගේ වචන අර්ථ රහිත වන්නේය. පළමුව කියයුත්ත පසුව කීයේය. පසුව කියයුත්ත පළමුව කීයේය. තා විසින් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නැවතුනේය. තා විසින් වාදය නංවන ලද්දේය, තාගේ මත්තෙහි මා විසින් දොෂය නංවන ලද්දේය. බත් මුලක් රැගෙන ඒ ඒ අය කරා පැමිණ වාදයෙන් මිදීම පිණිස උත්තර සොයමින් හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් මා විසින් නගනලද දොෂයෙන් තමා මුදා ගන්නෙහිය. නිගණ්ඨනාත පුත්‍රයන් කෙරෙහි එක් මරණයෙක් වන්නේය’ යි හඟිමියි කියන්නාහු ගිහිවස්ත්‍ර හඳනාලද අනුව පවත්නාවූ නිගණ්ඨනාත පුත්‍රයාගේ යම්බඳු ගිහි ශ්‍රාවකයෝ වෙත්ද ඔව්හුද ඒ නිගණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව නො ඇලුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුණාහුය. අයහපත්ව ප්‍රකාශකරන ලද්දාවූ අයහපත් දැනීම ඇත්තාවූ නිවනට නොපමුණු වන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දෙශනා නොකරන ලද්දාවූ ධර්මවිනයෙහි පිහිට බිඳී ගියාහු පිළිසරණක් නැත්තෝ වූවාහුයයි දැන්නුවේය.

අසම්මාසම්බුද්ධප්පවෙදිතධම්මවිනයො

එවිට භාග්‍යවතුන් වහන්සේ චුන්දය, මේ කාරණය මෙසේම වන්නේය. අයහපත්ව ප්‍රකාශකළාවූ අයහපත් දැනුම් ඇත්තාවූ නිවනට නොපමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදුරජුන් විසින් ප්‍රකාශ නොකළාවූ ධර්මවිනයෙහි මෙසේ වන්නේයයි වදාළේය.

“චුන්දය, මේ ලොකයෙහි ශාස්තෘ තෙමේ සම්‍යක් සම්බුද්ධ නුවූයේ වේද, ධර්මය අයහපත් කොට ප්‍රකාශ කරන ලද්දේ වේද, අයහපත් කොට දන්නා ලද්දේ වේද, නිවනට නොපමුණුවයිද, කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නේද, සම්‍යක් සම්බුදුරජ විසින් දෙශනා නොකරණ ලද්දේ වේද, ශ්‍රාවක තෙමේද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොපිළිපදින්නේද සාමීචි ප්‍රතිපත්තියෙහි (සුදුසු පිළිවෙතෙහි) නොපිළිපදින්නේද ධර්මය අනුව නොහැසිරෙන්නේද, ඒ ධර්මයෙන් ඉවත්ව පවතීද, හෙතෙමේ මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, ඒ තාහට ලාභයක් වන්නේය. ඒ තාගේ මිනිසත් බවද යහපත් ලැබීමෙක් වූයේය. තාගේ ශාස්තෘ තෙමේද සම්‍යක්සම්බුද්ධ නුවූයේය. ධර්මය තෙමේද යහපත්ව නොකියන ලද්දේය. යහපත්ව දන්නා ලද්දේ නොවෙයි. නිවනට නොපමුණුවන්නේය. කෙලෙස් සංසිඳීම පිණිස නොපවත්නේය. ප්‍රකාශ නොකරණ ලද්දේය. තෝද ඒ ධර්මයෙහි ධර්මානු ධර්මප්‍රතිපත්තියෙන් යුක්තව වාසය කරන්නෙහිය. සාමීචි වතින් (සුදුසු පිළිවෙතින්) පිළිපදින්නේ ධර්මයට අනුව පිළිපදින්නෙක් වූයෙහිය. ඒ ධර්මය හොඳින් රැගෙන පවත්නෙහිය’යි, කියයුතුය. චුන්දය, මෙසේ වනාහි එහි ශාස්තෘ තෙමේත් නින්දා කටයුත්තෙක් වන්නේය. එහි ධර්මය තෙමේත් නින්දා කටයුතු වන්නේය. එහි ශ්‍රාවකතෙමේත් මෙසේ නින්දා කටයුතු වන්නේය. චුන්දය, යමෙක් මෙබඳුවූ ශ්‍රාවකයෙකුට මෙසේ කියන්නේ වේද ඒකාන්තයෙන් ආයුෂ්මත් තෙමේ හරිමඟ පිළිපදින්නේය. හරිමඟ නිපදවන්නේයයි යමෙක් තෙමේ ප්‍රශංසා කෙරේද යමෙකු ප්‍රශංසා කටයුතුවේද යමෙක් තෙමේ ප්‍රශංසා කරණ ලද්දේ බොහෝසෙයින් වීර්යය පටන්ගනීද ඒ සියල්ලෝම බොහෝ අකුසල් රැස්කරන්නාහුය. ඊට හේතු කවරේද? චුන්දය, අයහපත් ලෙස ප්‍රකාශ කරණ ලද්දාවූ අයහපත් ලෙස දන්නා ලද්දාවූ නිවනට නොපමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දෙශනා නොකළාවූ ධර්ම විනයෙහි මෙසේම වන්නේය.”

(මෙහි කොටසක් අඩුය)

සම්මාසම්බුද්ධප්පවෙදිතධම්මවිනයො

“චුන්දය, මේ ශාසනයෙහි ශාස්තෘ තෙමේත් සම්‍යක් සම්බුද්ධ වන්නේය. ධර්මය තෙමේත් හොඳින් දේශනා කරන ලද්දේය. හොඳින් දන්නා ලද්දේය. නිවනට පමුණුවන්නේය. (මාර්ගය පිණිසද ඵලය පිණිසද පමුණුවන්නේය) කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නේය. සම්‍යක්සම්බුදු රජුන් විසින් වදාරණ ලද්දේය. ශ්‍රාවක තෙමේ ඒ ධර්මයෙහි ධාර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් තොරව වාසය කෙරේද සාමීචි වතින් (සුදුසු පිළිවෙතින්) තොරව වාසය කෙරේද ධර්මයට අනුව පිළිපදින්නෙක් නොවේද ඒ ධර්මයෙන් ඉවත්ව පවතීද හෙතෙමේ මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, ඒ තාහට අලාභයක් වන්නේය. ඒ තාගේ මිනිසත් බව යහපත් ලෙස නොලබන ලද්දේය. තාගේ ශාස්තෘ තෙමේද සම්‍යක් සම්බුද්ධ වූයේය. ධර්මය තෙමේත් හොඳින් දේශනා කරන ලද්දේය. හොඳින් දන්නා ලද්දේය. නිවනට පමුණුවන්නේය. කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නේය. සම්‍යක්සම්බුදු රජුන් විසින් වදාරණ ලද්දේය. තෝ ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් තොරව වාසය කරන්නෙහිය. සාමීචි වතින් (සුදුසු පිළිවෙතින්) තොරව වාසය කරන්නෙහිය. ධර්මයට අනුව පිළිපදින්නෙක් නොවන්නෙහිය. ඒ ධර්මයෙන් ඉවත්ව වාසය කරන්නෙහිය’යි කියාය, චුන්දය, මෙසේ එහි ශාස්තෘ තෙමේද ප්‍රශංසාවට සුදුසු වන්නේය. එහි ධර්මය තෙමේත් ප්‍රශංසා කටයුතු වන්නේය. එහි ශ්‍රාවක තෙමේ මෙසේ නින්දා කටයුත්තෙක් වන්නේය.”

“චුන්දය, යමෙක් මෙබඳු ශ්‍රාවකයෙකුට මෙසේ කියන්නේවේද, ‘ආයුෂ්මත් තෙමේ ඒවා, යම්සේ තාහට ශාස්තෲන් වහන්සේ විසින් ධර්මය දෙශනා කරණ ලද්දේද පණවන ලද්දේද එසේ පිළිපදීවායි යමෙක් යොදවන්නේ වේද යමෙක් යෙදෙන්නේ වේද යමෙක් යොදවන ලද්දේ, ඒ පිණිස පිළිපදින්නේ වේද ඒ සියල්ලෝම බොහෝ පින් රැස්කරන්නාහුය. ඊට හේතු කවරේද? චුන්දය, හොඳින් දෙශනා කරන ලද්දාවූ හොඳින් දන්නා ලද්දාවූ නිවනට පමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක්සම්බුදු රජුන් විසින් ප්‍රකාශකර වදාළාහු ධර්ම විනයෙහි මෙබන්දක්ම වන්නේය.

චුන්දය, මේ සස්නෙහි ශාස්තෘ තෙමේත් සම්‍යක් සම්බුද්ධ වේද ධර්මය තෙමේත් හොඳින් දෙශනාකරණ ලද්දේ හොඳින් දන්නා ලද්දේ නිවනට පමුණුවන්නේ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නේ සම්‍යක් සම්බුද්ධයන් විසින් දෙශනා කරන ලද්දේ වේද, ශ්‍රාවක තෙමේත් ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදින්නේ වේද සාමීචි (සුදුසු) ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ධර්මයට අනුව පිළිපදින්නෙක්ව වාසය කෙරේද ඒ ධර්මය හොඳින් රැගෙණ පවතීද හෙතෙමේ මෙසේ කියයුතු වන්නේය, ‘ඇවැත්නි, ඒ තාහට ලාභයෙක් වන්නේය. ඒ තාගේ මිනිසත්බව හොඳකාර ලබන ලද්දේය. තාගේ ශාස්තෘ තෙමේ සම්‍යක්සම්බුද්ධ වූයේය. ධර්මය තෙමේත් හොඳින් දෙශනා කරන ලද්දේ හොඳින් දන්නා ලද්දේ නිවනට පමුණුවන්නේ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නේ සම්‍යක් සම්බුද්ධයන් විසින් වදාරණ ලද්දේය. තොපිද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යුක්තව වාසය කරන්නාහුය. සාමීචි (සුදුසු) ප්‍රතිපත්තියෙන් යුක්ත වූයේ ධර්මයට අනුව පිළිපදින්නෙක් වූවහුය. ඒ ධර්මය හොඳින් රැගෙන පවත්නහුය’යි කියායි. චුන්දය, මෙසේ එහි ශාස්තෘ තෙමේද ප්‍රශංසාවට සුදුස්සෙක් වන්නේය. එහි ධර්මයත් ප්‍රශංසාවට සුදුසු වන්නේය. එහි ශ්‍රාවක තෙමේත් ප්‍රශංසාවට සුදුසු වන්නේය. චුන්දය, යමෙක් මෙබඳුවූ ශ්‍රාවකයෙකුට මෙසේ කියන්නේ වේද, ‘ඒකාන්තයෙන් ආයුෂ්මත් තෙමේ මාර්ගය සඳහා පිළිපදින්නේය. න්‍යාය ධර්මය පිළිපදින්නෙක් වන්නේයයි’ කියා යමෙක් ප්‍රශංසා කෙරේද යමෙක් ප්‍රශංසාවට සුදුසු වේද යමෙක් ප්‍රශංසා කරන ලද්දේ බොහෝසෙයින් වීර්යය වඩාද ඒ සියල්ලෝම බොහෝසේ පින් රැස්කරන්නාහුය. ඊට හේතු කවරේද? චුන්දය, හොඳින් දෙශනා කළාවූ හොඳින් දන්නා ලද්දාවූ නිවනට පමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක් සම්බුදු රදුන් විසින් දේශනා කළාවූ ධර්ම විනයෙහි මෙසේ වන්නේය.’

සාවකානුතප්පසත්ථු

“චුන්දය, මේ කාලයෙහි අර්හත්සම්‍යක්සම්බුද්ධවූ ශාස්තෲන් වහන්සේත් ලොකයෙහි පහළවූහ. හොඳින් දෙශනා කළාවූ හොඳින් දන්නා ලද්දාවූ නිවනට පමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක්සම්බුදු රදුන් විසින් දේශනා කරන ලද්දාවූ ධර්මයද පහළ වූයේය. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයෙහි අර්ථය අවබොධ නොකරණ ලද්දාහු වෙද්ද ඒ ශ්‍රාවකයින්ට සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ නොකරණ ලද්දේ වේද ප්‍රකට නොකරණ ලද්දේ වේද සියල්ල ඇතුලත්වූ පදයන්ගෙන් යුක්ත නොකරණ ලද්දේද දෙව් මිනිසුන් දක්වා යහපත්කොට හොඳින් දේශනා නොකරන ලද්දේ වේද එසේ ඇති කල්හි අපගේ ශාස්තෲන් වහන්සේගේ අතුරුදහන්වීම (පිරිනිවීම) වේද චුන්දය, මෙබඳුවූ ශාස්තෘ තෙමේ පිරිනිවන් පාන ලද්දේ ශ්‍රාවකයින්ට තැවීම් ඇති කරන්නේ වේ. ඊට හේතු කවරේද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ අපගේ ශාස්තෲන් වහන්සේත් ලෝකයෙහි පහළවූ සේක. හොඳින් දේශනා කළාවූ, හොඳින් දන්නා ලද්දාවූ නිවනට පමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දේශනා කළාවූ ධර්මය පහළ වූයේය. ඒ ධර්මයෙහි අර්ථය අවබොධ නොකරන ලද්දෝ වූම්හ. අපහට ඒකාන්තයෙන් සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ නොකරන ලද්දේ වේ. ප්‍රකට කරන ලද්දේ නොවේ. සියල්ල ඇතුළත් කළ පදයන්ගෙන් යුක්තකරන ලද්දේ නොවේ. දෙව් මිනිසුන් දක්වා නිවන් පැමිණවීම් සහිතව යහපත් සේ ප්‍රකාශ කරණ ලද්දේ නොවේ. එසේ ඇති කල්හි අපගේ ශාස්තෲන් වහන්සේගේ නැතිවී යෑම වූයේය’ (කියායි.) චුන්දය, මෙබඳුවූ ශාස්තෲන් වහන්සේ මැරෙණ ලද්දේ ශ්‍රාවකයින්ට තැවීම් ඇති කරන්නේ වේ.”

සාවකානනුතප්පසත්ථු

“චුන්දය, මේ කාලයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ශාස්තෲන් වහන්සේත් ලොකයෙහි පහළවූයේ වේද? හොඳින් දේශනාකළාවූ හොඳින් දන්නාලද්දාවූ නිවනට පමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දේශනා කළාවූ ධර්මය පහළ වූයේ වේද? උන්වහන්සේගේ ශ්‍රාවකයෝත් ධර්මයෙහි අර්ථය අවබොධ කරන ලද්දෝ වෙද්ද ඒකාන්තයෙන් ඒ ශ්‍රාවකයින්ට සම්පූර්ණ වශයෙන් බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන ලද්දේ වේද ප්‍රකට කරන ලද්දේ වේද සියල්ල සංග්‍රහ කරන ලද්දේ වේද දෙව් මිනිසුන්ගේ පටන් නිවන් පැමිණවීම් වශයෙන් හොඳින් ප්‍රකාශ කොට වදාරණ ලද්දේ වේද, එසේ ඇතිකල්හි ශාස්තෘවරයාගේ නැතිවීයාම වේද? චුන්දය, මෙබඳුවූ ශාස්තෘ තෙමේ මැරෙණ ලද්දේ ශ්‍රාවකයින්ට තැවීම නොකරන්නේ වේ. ඊට හේතු කවරේද? අපගේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ශාස්තෲන් වහන්සේද ලොකයෙහි පහළවූසේක. හොඳින් දේශනා කරන ලද්දාවූ හොඳින් දන්නාලද්දාවූ නිවනට පමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක් සම්බුදුරදුන් විසින් දේශනා කරන ලද්දාවූ ධර්මය පහළවූයේ වේද ඒ ධර්මයෙහි අර්ථය අවබොධ කරන ලද්දෝ වෙමුද, ඒකාන්තයෙන් අපට සම්පූර්ණ වශයෙන් බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන ලද්දේ වේද ප්‍රකට කරන ලද්දේ වේද සියල්ල ඇතුලු කළ පදවශයෙන් කරන ලද්දේ වේද? දෙව්මිනිසුන්ගේ පටන් නිවනට පැමිණවීමෙන් හොඳින් ප්‍රකාශ කොට දේශනාකරන ලද්දේ වේද එසේ ඇති කල්හි අප ශාස්තෲන් වහන්සේගේ නැතිවීයාම වන්නේය’යි කියායි. චුන්දය, මෙබඳුවූ ශාස්තෘ තෙමේ මැරෙණ ලද්දේ ශ්‍රාවකයින්ට තැවීම් නොකරන්නේ වේ.

බ්‍රහ්මචරියඅපරිපූරාදිකථා

“චුන්දය, මේ අඩ්ග දෙකින් යුක්තවූ ධර්මයක් වේද ශාස්තෘ තෙමේත් වැඩිමහලු නුවූයේද බොහෝ කල් දන්නෙක් නොවේද පැවිද්දෙන් කලක් ගතනුවූයේ වේද බොහෝ කලක් ඉක්මගියේ නොවේද අන්තිම වයසට නොපැමිණියේ වේද මෙසේ ඇති කල්හි ඒ අඩ්ගයෙන් ඒ ධර්මය සම්පූර්ණ වූයේ නොවේ. චුන්දය, මේ අඩ්ගයෙන් යුක්තවූ බ්‍රහ්මචර්‍ය්‍යාව සම්පූර්ණ නොවන්නේය.

ශාස්තෘ තෙමේත් වැඩි වයස්ගතවූයේ බොහෝ කල් දැන පුරුදු ඇතියේ පැවිද්දෙන් කලක් ඉක්ම ගියේ බොහෝ කල් ගතවූයේ අන්තිම වයසට පැමිණියේ වේද උන්වහන්සේගේ ශ්‍රාවකවූ ස්ථවිර භික්ෂූහු සමතුන් නොවෙත්ද හික්මුණාහු නොවෙද්ද පණ්ඩිතයෝ නොවෙද්ද පැමිණි රහත් ඵල ඇත්තෝ නොවෙද්ද සද්ධර්මය තමා ප්‍රකාශ කරන්ට සුදුසු නොවෙද්ද උපන් පරවාද කරුණු සහිතව ගැනීමෙන් ඉවත් කොට නිවන් පැමිණවීම් සහිත ධර්මය දෙශනා කරන්ට සුදුසු නොවත්ද මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ නුවූයේ වේ.

“චුන්දය, යම් හේතුවකින් මේ අඩ්ගදෙකකින් යුක්තවූ බ්‍රහ්මචර්‍ය්‍යාවක් (උතුම් හැසිරීමක්) වේද ශාස්තෘතෙමේත් රාත්‍රඥ වූයේ (බොහෝ කල් දන්නේ) පැවිද්දෙන් කල් ගත වූයේ බොහෝකල් ඉක්මගියේ අන්තිම වයසට පැමිණියේ වේද ඔහුගේ ස්ථවිර ශ්‍රාවක භික්ෂූහුද සමර්ථයෝ වෙද්ද හික්මුණාහු වෙද්ද විශාරදයෝ (බොහෝ දත් අය) වෙද්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙද්ද සද්ධර්මය ප්‍රකාශ කිරීමට සුදුසු වෙද්ද උපන් පරවාද හේතු සහිත කරුණු දැක්වීමෙන් ඉවත් කොට නිවන් පැමිණවීම් සහිත ධර්මය දෙශනා කරන්ට සමර්ථ වෙත්ද මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) මේ අඩ්ගයෙන් සම්පූර්ණ වූයේ වේ.

“චුන්දය, මේ අඩ්ග දෙකින් යුක්තවූ බ්‍රහ්මචර්‍ය්‍යාව සම්පූර්ණ වූයේ වෙයි. ශාස්තෘතෙමේත් ස්ථවිරවූයේ රාත්‍රඥවූයේ (බොහෝ කල් දන්නේ) පැවිද්දෙන් කල්ගත වූයේ බොහෝ කල් ඉක්ම ගොස් අන්තිම වයසට පැමිණියේ වේද ඒ ශාස්තෘවරයාගේ ස්ථවිර ශ්‍රාවක භික්ෂුහුද සමත්තු වෙද්ද හික්මුණාහු වෙද්ද, විශාරදයෝ (බොහෝ දේ දත් අය) වෙද්ද පැමිණි රහත් ඵල ඇත්තෝ වෙද්ද සද්ධර්මය ප්‍රකාශ කිරීමට සුදුසු වෙත්ද උපන් පරවාද හේතු සහිත කරුණු දැක්වීමෙන් ඉවත් කොට නිවන් පැමිණවීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙද්ද, මෙසේ ඒ උතුම් හැසිරීම් මේ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

ඒ ශාස්තෘවරයාගේ මධ්‍යම ශ්‍රාවක භික්ෂූහු සමත්තු නොවෙද්ද, හික්මුනාහු නොවෙද්ද, බොහෝ දේ දත් අය නොවෙද්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ නොවෙද්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට අසමර්ථ වෙද්ද? මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

ඒ ශාස්තෘවරයාගේ මධ්‍යම ශ්‍රාවක භික්ෂූහු සමත්තු වෙද්ද, හික්මුනාහු වෙද්ද, බොහෝදේ දත් අය වෙද්ද පැමිණි රහත්ඵල ඇත්තෝ වෙද්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනා කිරීමට සමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

ඒ ශාස්තෘවරයාගේ නවක (අලුත්) ශ්‍රාවකභික්ෂූහු සමතුන් නොවෙද්ද, හික්මුනාහු නොවෙද්ද, බොහෝදේ දත් අය නොවෙද්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ නොවෙද්ද උපන් පරවාද ධර්මයට අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනා කිරීමට අසමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

ඒ ශාස්තෘවරයාගේ නවක (අලුත්) ශ්‍රාවක භික්ෂූහු සමතුන් වෙද්ද, හික්මුනාහු වෙද්ද, බොහෝ දේ දත් අය වෙද්ද පැමිණි රහත් ඵල ඇත්තෝ වෙද්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනා කිරීමට සමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

ඒ ශාස්තෘවරයාගේ ශ්‍රාවිකාවූ ස්ථවිර භික්ෂුණීහු සමත් වූවෝ නොවෙද්ද, හික්මුනාහු නොවෙද්ද, බොහෝ දේ දත් අය නොවෙද්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ නොවෙද්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට අසමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

ඒ ශාස්තෘවරයාගේ ශ්‍රාවිකාවූ ස්ථවිර භික්ෂුණීහු සමත් වූවෝ වෙත්ද, හික්මුනාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි රහත්ඵල ඇත්තෝ වෙත්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද. මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ මධ්‍යම භික්ෂූණීහු සමත්වූවෝ නොවෙත්ද, හික්මුනාහු නොවෙත්ද, බොහෝ දේ දත් අය නොවෙත්ද පැමිණි රහත්ඵල ඇත්තෝ නොවෙත්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනා කිරීමට අසමර්ථ වෙත්ද. මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ මද්ධ්‍යම භික්ෂුණිහු සමත්වූවෝ වෙද්ද, හික්මුනාහු වෙද්ද, බොහෝදේ දත් අය වෙද්ද පැමිණි රහත් ඵල ඇත්තෝ වෙද්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනා කිරීමට සමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ අලුත් භික්ෂුණීහු සමත්වූවෝ නොවෙද්ද, හික්මුනාහු නොවෙද්ද, බොහෝ දේ දත් අය නොවෙද්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ නොවෙද්ද උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට අසමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ අලුත් භික්ෂුණීහු සමත් වූවෝ වෙද්ද, හික්මුනාහු වෙද්ද, බොහෝ දේ දත් අය වෙද්ද පැමිණි රහත් ඵල ඇත්තෝ වෙද්ද, උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනා කිරීමට සමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

උන්වහන්සේගේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳිනාලද බ්‍රහ්මචාරීවූ ගෘහස්ථ උපාසකයෝ සමතුන් නොවෙද්ද බොහෝ දේ දත් අය නොවෙද්ද, පැමිණි මාර්ග ඵල ඇත්තෝ නොවෙද්ද උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට අසමර්ථ වෙද්ද මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

උන්වහන්සේගේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳිනාලද බ්‍රහ්මචාරීවූ ගෘහස්ථ උපාසකයෝ සමතුන් වෙද්ද, හික්මුනාහු වෙද්ද, බොහෝ දේ දත් අය වෙද්ද පැමිණි මාර්ග ඵල ඇත්තෝ වෙද්ද, උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනා කිරීමට සමර්ථ වෙද්ද. මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

උන්වහන්සේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳිනාලද කාමභොගීවූ ගෘහස්ථ උපාසකයෝ සමර්ථ නොවෙද්ද, හික්මුනාහු නොවෙද්ද, බොහෝ දේ දත් අය නොවෙද්ද, පැමිණි මාර්ග ඵල ඇත්තෝ නොවෙද්ද උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට අසමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

උන්වහන්සේගේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳිනාලද කාමභෝගීවූ ගෘහස්ථ උපාසකයෝ සමර්ථ වෙද්ද, හික්මුනාහු වෙද්ද, බොහෝ දේ දත් අය වෙද්ද පැමිණි මාර්ග ඵල ඇත්තෝ වෙද්ද, උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනාකිරීමට සමර්ථවෙද්ද. මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදු ඇඳුම් හඳිනා ලද ගෘහස්ථ බ්‍රහ්මාචාරී උපසිකාවෝ සමර්ථ නොවෙද්ද, හික්මුනාහු නොවෙද්ද, බොහෝදේ දත් අය නොවෙද්ද, පැමිණි මාර්ගඵල ඇත්තෝ නොවෙද්ද උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට අසමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදු ඇඳුම් හඳිනාලද ගෘහස්ථ බ්‍රහ්මචාරී උපාසිකාවෝ සමර්ථ වෙත්ද, හික්මුණාහු වෙත්ද බොහෝ දේ දත් අය වෙත්ද පැමිණි මාර්ගඵල ඇත්තෝ වෙත්ද, අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙද්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදු ඇඳුම් හඳිනා ලද කාම භෝගී ගෘහස්ථ උපාසිකාවෝ සමර්ථ නොවෙද්ද, හික්මුනාහු නොවෙද්ද, බොහෝ දේ දත් අය නොවෙද්ද, පැමිණි මාර්ග ඵල ඇත්තෝ නොවෙද්ද උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට අසමර්ථ වෙද්ද මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව (උතුම් හැසිරීම) ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදු ඇඳුම් හඳිනා ලද කාමභෝගී ගෘහස්ථ උපාසිකාවෝ සමර්ථ වෙද්ද, හික්මුනාහු වෙද්ද, බොහෝ දේ දත් අය වෙද්ද පැමිණි මාර්ගඵල ඇත්තෝ වෙද්ද, උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙද්ද මෙසේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව ඒ අඩ්ගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.

එයින්ද, උන්වහන්සේගේ බ්‍රහ්මචරියාව සමෘද්ධවූයේත් නොවන්නේය, මහත් වූයේත් නොවන්නේය, පැතුරුනේත් නොවන්නේය, බොහෝදෙනා විසින් දන්නා ලද්දේද නොවන්නේය. පැතිරීමක්ද නොවන්නේය. යම්තාක් දෙවි මිනිසුන් විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දක්ද නොවන්නේය. ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව ඒ අඩ්ගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

උන්වහන්සේගේ බ්‍රහ්මචරියාව වනාහි මෙසේ සමෘද්ධ වූයේත් නොවන්නේය, මහත් වූයේත් නොවන්නේය, පැතුරුනේත් නොවන්නේය, බොහෝදෙනා විසින් දන්නා ලදුව පැතිරීමත් නොවන්නේය, යම්තාක් දෙවි මිනිසුන් දක්වා හොඳින් ප්‍රකාශ කරණ ලද්දක් නොවන්නේය, ලාභයෙන් හා යසසින් අග පැමිණියක් නොවන්නේද මෙසේ ඒ බ්‍රහ්මචරියාව ඒ අඩ්ගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.

චුන්දය, මේ අංගදෙකෙන් යුක්තවූම යම් බ්‍රහ්මචර්‍ය්‍යාවක් (උතුම්හැසිරීමක්) වේද ශාස්තෘ තෙමේද ස්ථිරවූ ගුණ ඇත්තේද බොහෝ දේ දැන පුරුද්ද ඇත්තේ වේද, පැවිදිවී කලක් ගතවූයේ වේද, ජීවිතයෙහි අන්තිම වයසට පැමිණියේ වේද, උන්වහන්සේගේ ශ්‍රාවකවූ ස්ථවිර භික්ෂුහුද, සමර්ථ වෙද්ද, හික්මුනාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි රහත්ඵල ඇත්තෝ වෙත්ද උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද,

උන්වහන්සේගේ ශ්‍රාවකවූ මධ්‍යම භික්ෂුහුද සමර්ථ වෙත්ද, හික්මුනාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි රහත්ඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මදෙශනා කිරීමට සර්මථ වෙද්ද, උන්වහන්සේගේ ශ්‍රාවකවූ අලුත් භික්ෂුහු සමර්ථ වෙත්ද, හික්මුනාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි මාර්ගඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද,

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ ස්ථවිරභික්ෂුණීහු සමර්ථවෙත්ද, හික්මුනාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි රහත්ඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද, උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ මධ්‍යම භික්ෂුණීහු සමර්ථවෙත්ද, හික්මුණාහු වෙත්ද, පැමිණි මාර්ගඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිතව ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද, උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ අලුත් භික්ෂුණීහු සමර්ථ වෙත්ද, හික්මුනාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි මාර්ගඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද,

උන්වහන්සේගේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳිනලද බ්‍රහ්මචාරී ගෘහස්ථ උපාසකයෝ සමර්ථ වෙත්ද, හික්මුණාහු වෙත්ද, බොහෝදේ දත් අය වෙත්ද, පැමිණි රහත්ඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම්සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද,

උන්වහන්සේගේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳිනාලද කාමභොගී ගිහි උපාසකයෝ සමර්ථ වෙත්ද, හික්මුණාහු වෙත්ද, බොහෝදේ දත් අය වෙද්ද පැමිණි මාර්ගඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍යමතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද,

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදු ඇඳුම් හඳිනාලද බ්‍රහ්මචාරී ගිහි උපාසිකාවෝ සමර්ථ වෙද්ද, හික්මුණාහු වෙද්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි මාර්ගඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍යමතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද,

උන්වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදු ඇඳුම් හඳිනාලද කාම භොගී ගිහි උපාසිකාවෝ සමර්ථ වෙත්ද, හික්මුනාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි මාර්ගඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වෙත්ද,

උන්වහන්සේගේ බ්‍රහ්මචර්‍ය්‍යාව සමෘද්ධවූවක්ද වන්නේය. මහත්වූවක්ද වන්නේය. පැතිරීමක්ද වන්නේය. බොහෝදෙනා විසින් දන්නාලද මහත්වූවක්ද වන්නේය. යම්තාක් දෙවිමිනිසුන් හා හොඳින් ප්‍රකාශකරණ ලද්දක්ද වන්නේය. ලාභයෙන් හා යසසින් අග තැන් පැමිණියේ මෙසේ ඒ බ්‍රහ්මචරියාව ඒ අඩ්ගයෙන් සම්පූර්ණ වූයේ වේ.

චුන්දය, මේ කාලයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ශාස්තෘවූ මම ලොකයෙහි උපන්නෙමි. මනාකොට අවබොධ කරන ලද්දාවූ නිවනට පමුණුවන්නාවූ, කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක් සම්බුදු රදුන් විසින් දැනගන්නා ලද්දාවූ ධර්මය යහපත්කොට ප්‍රකාශ කරණ ලද්දේය. ධර්මයෙහි අර්ථය අවබොධ කරණ ලද මාගේ ශ්‍රාවකයෝ වෙත්ද එකාන්තයෙන් ඔවුන්ට බ්‍රහ්මචර්‍ය්‍යාව සම්පූර්ණ වශයෙන් ප්‍රකාශකරණ ලද්දේ මතුකරණ ලද්දේ සර්ව සංග්‍රහ පද වශයෙන් කරණ ලද්දේ වේද, දෙව් ලොවින්ද මිනිස් ලොව දක්වා නිවනට පැමිණවීම් වශයෙන් හොඳින් ප්‍රකාශ කරණ ලද්දේය.

චුන්දය, මම දැන් ශාස්තෘ වූයේ ස්ථිර ගුණයෙන් යුක්ත වූයේ බොහෝ කල් දන්නේ, පැවිදිවී බොහෝ කල් ගතවූයේ අන්තිම වයසට පැමිණියේ වෙමි. චුන්දය, මාගේ වනාහි දැන් ශ්‍රාවකවූ ස්ථවිර භික්ෂූහු සමත්වූවාහු, හික්මුණාවූ පණ්ඩිත වූවාහු පැමිණි රහත්ඵල ඇත්තාහු, ධර්මය යහපත්කොට ප්‍රකාශ කිරීමට සමර්ථ වූවාහු, උපන්නාවූ අන්‍ය මත කරුණු සහිතව ඉවත්කොට නිවන් පැමිණවීමෙන් ධර්මය දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ ශ්‍රාවකවූ මද්ධ්‍යම භික්ෂූහුද, සමත් වූවාහු, බොහෝ දේ දත් අය වූවාහු පැමිණි රහත්ඵල ඇත්තාහු, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් වනාහි මාගේ ශ්‍රාවකවූ අලුත් භික්ෂුහුද සමත් වූවාහු, හික්මුනාහු, බොහෝ දේ දත් අය වූවාහු, පැමිණි රහත්ඵල ඇත්තාහු, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්ම දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ ශ්‍රාවිකාවූ ස්ථවිර භික්ෂුණීහුද සමත් වූවාහු, හික්මුනාහු, බොහෝ දේ දත් අය වූවාහු, පැමිණි රහත්ඵල ඇත්තාහු, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ ශ්‍රාවිකාවූ මධ්‍යම භික්ෂුණීහුද සමත් වූවාහු, බොහෝ දේ දත් අය වූවාහු, පැමිණි රහත්ඵල ඇත්තාහු උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ ශ්‍රාවිකාවූ අලුත් භික්ෂුණීහුද, සමත් වූවාහු, හික්මුනාහු, බොහෝ දේ දත් අය වූවාහු, පැමිණි රහත්ඵල ඇත්තාහු, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳිනාලද බ්‍රහ්මචාරී ගිහි උපාසකයෝද, සමත් වූවාහු, හික්මුනාහු, බොහෝ දේ දත් අය වූවාහු, පැමිණි මාර්ග ඵල ඇත්තාහු, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳිනාලද කාමභොගී උපාසකයෝද සමත් වූවාහු, හික්මුනාහු බොහෝ දේ දත් අය වූවාහු, පැමිණි මාර්ගඵල ඇත්තාහු, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ ශ්‍රාවිකාවූ සුදු ඇඳුම් හඳිනාලද බ්‍රහ්මචාරීවූ ගිහි උපාසිකාවෝද, සමත් වූවාහු, හික්මුනාහු, බොහෝ දේ දත් අය වූවාහු, පැමිණි මාර්ග ඵල ඇත්තාවූ, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දෙශනාකිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ ශ්‍රාවිකාවූ සුදු ඇඳුම් හඳිනා ලද කාමභොගී ගිහි උපාසිකාවෝද, සමත් වූවාහු, හික්මුනාහු බොහෝ දේ දත් අය වූවාහු, පැමිණි මාර්ග ඵල ඇත්තාහු, උපන් අන්‍ය මතයන් ධර්මය අනුව ඉවත්කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දෙශනා කිරීමට සමර්ථ වූවාහුය. චුන්දය, දැන් මාගේ බ්‍රහ්මචර්‍ය්‍යාව සමෘද්ධවූයේද සම්පූර්ණ වූයේද පැතුරුනේද බොහෝදෙනා විසින් දන්නා ලද්දේද, දෙවි මිනිසුන් දක්වා හොඳින් ප්‍රකාශ කරණ ලද්දේද වේ.

චුන්දය, මෙකල යම් පමණ ශාස්තෲහු ලෝකයෙහි උපන්නාහුද? චුන්දය, මම යම්සේද එසේ ලාභයෙන් හා යසසින් අග පැමිණි අන් එකම ශාස්තෘවරයෙකු මම නොදක්නෙමි.

චුන්දය, මෙකල යම් පමණ සංඝකෙනෙක් හෝ සමූහකෙනෙක් හෝ ලෝකයෙහි උපන්නාහුද චුන්දය, මේ භික්ෂු සංඝ තෙමේ යම්සේද එසේ ලාභයෙන් හා යසසින් අගපැමිණි අනික් එක සඟකොටසකුත් නොදක්නෙමි.

චුන්දය, යම් ඒ බ්‍රහ්මචර්‍ය්‍යාවකට වනාහි සෑම ලෙසින් සම්පූර්ණවූ හැම ආකාරයෙන් පිරුණාවූ අඩු නුවූද වැඩි නුවූද හොඳින් දේශනා කරන ලද්දාවූද හාත්පස සම්පූර්ණවූ ශ්‍රෙෂ්ඨ චරියා නම්වූ බ්‍රහ්මචර්‍ය්‍යාවෙක් ප්‍රකාශකරන ලද්දේයයි හොඳින් කියනු ලබන්නේ නම් සෑම ලෙසින් සම්පූර්ණවූ හැම ආකාරයෙන් පිරුණාවූ අඩු නුවූද වැඩි නුවූද හොඳින් දේශනා කරන ලද්දාවූද හාත්පස සම්පූර්ණවූ ශ්‍රෙෂ්ඨචරියා නම්වූ බ්‍රහ්මචර්‍ය්‍යාවයයි මීටම කියයුත්තේය.

චුන්දය, උද්දකරාම පුත්‍ර තෙමේද, ‘කිසිවක් දක්නේ නොදක්නේය’ යන මෙබඳු වචනයක් කීවේය. කුමක් දක්නේද නොදක්නේදැයි ඇසූ කල මනාව මුවහත් තබනලද ආයුධයේ තලය දක්නේය. (මුවහත්) ධාරාව නොපෙනේයයි (කිය). චුන්දය, ‘කිසිවක් දක්නේ නොදක්නේය’ යන මෙය උද්දකරාම පුත්‍රය විසින් යම් මේ ආයුධයක් සඳහාම කියන ලද්දේ වේද මෙය හීනවූ ග්‍රාම්‍යවූ පෘථග්ජනිකවූ උතුම් නුවූ අනර්ථ සහිත වූවක් වන්නේය. චුන්දය, යම් බඳුවූ මේකිසිත් දක්නේ නොදක්නේයයි හොඳින් කියනු ලබන්නේ මෙසේ සෑම ලෙසින් සම්පූර්ණවූ හැම ආකාරයෙන් සම්පූර්ණකොට ඇති අඩුවක් නැත්තාවූද වැඩියක් නැත්තාවූද හොඳින් දෙශනා කළාවූ හාත්පස සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව හොඳින් ප්‍රකාශ කරන ලද්දේය. මෙසේ මෙය නොදක්නේයයි මෙහි ඉවතට ඇදීම කරන්නේය. මෙසේ එය ඉතා පිරිසිදු වන්නේයයි මෙසේ මෙය නොදක්නේයයි මෙහි ළඟට ඇදීම කරන්නේය. මෙසේ එය ඉතා පිරිසිදු වන්නේයයි මෙසේම මෙය නොදක්නේය. මෙය කිසිත් දක්නේ නොදක්නේයයි කියනු ලැබේ. චුන්දය, යමකට වනාහි හොඳින් කියනු ලබන්නේ සෑම ලෙසින් හැම ආකාරයෙන් සම්පූර්ණකොට ඇති අඩුවක් නැත්තාවූද වැඩියක් නැත්තාවූද හොඳින් දෙශනා කළාවූ හාත්පස සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව හොඳින් ප්‍රකාශ කරන ලද්දේයයි කියන්නේ නම් හැම ලෙසින් සම්පූර්ණවූ හැම ආකාරයෙන් සම්පූර්ණ කොට ඇති අඩුනුවූ වැඩිනුවූ හොඳින් වදාළාවූ හාත්පස සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව හොඳින් ප්‍රකාශ කරන ලද්දේයයි කියන්නේය.

සඞ්ගායිතබ්බධම්මො

එහෙයින් චුන්දය, මා තොපට යම් ධර්ම කෙටසක් ඉතා උසස් ප්‍රඥාවෙන් දැන දෙශනා කරන ලද්දේද ඒ ධර්මයෙහි සියල්ලන් විසින්ම එක්රැස්ව අර්ථයෙන් අර්ථය වචනයෙන් වචනය හොඳින් කිය යුත්තේය. විවාද නොකළ යුත්තේය. යම්සේ මේ බ්‍රහ්මචර්‍ය්‍ය සංඛ්‍යාත ශාසනය බොහෝ කල් පවත්නේ වේද එසේ සජ්ජායනා කළයුතු වන්නේය. එය බොහෝ දෙනාට හිත පිණිසද බොහෝදෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ට වැඩ පිණිසද හිත පිණිසද සැප පිණිසද වන්නේය. චුන්දය, මා විසින් තොපට කවර නම් ධර්මයක් ඉතා උසස් ප්‍රඥාවෙන් දැන දෙශනා කරන ලද්දේද ඒ ධර්මයෙහි සියල්ලන් විසින්ම එකතුව රැස්ව අර්ථයෙන් අර්ථය වචනයෙන් වචනය හොඳින් කියයුත්තේය. විවාද නොකළ යුත්තේය. යම්සේ මේ බ්‍රහ්මචර්‍ය්‍ය සංඛ්‍යාත ශාසනය බොහෝ කල් පවත්නේ වේද බොහෝදෙනාට හිත පිණිසද බොහෝදෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ට වැඩ පිණිසද හිත පිණිසද සැප පිණිසද වන්නේද එසේ සජ්ජායනා කළ යුත්තේය. හේ කවරේද? සතර සතිපට්ඨානයෝය (සිහිය වැඩිය යුතු භාවනා සතර,) සතර සම්‍යක් ප්‍රධානයෝය (මහා වීර්‍ය්‍ය සතර,) සතර සෘද්ධිපාදයෝය (සත්‍යය අවබොධය පිණිස පවත්නා හේතු හතර,) පඤ්චෙන්ද්‍රියෝය (ඉන්ද්‍රිය ධර්ම පස,) පඤ්ච බලයෝය (බල ධර්ම පස,) සප්ත බොද්ධ්‍යාංගයෝය (සත්‍යය අවබොධකිරීමේ අංග හත) ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්ගය යන මොහුය. චුන්දය, ඒ මේ ධර්මයෝ මා විසින් ඉතා උසස් ප්‍රඥාවෙන් දැක දෙශනා කරන ලද්දාහුය. යම් ධර්මයෙක්හි සියල්ලන් විසින්ම අවුත් එක්රැස්ව අර්ථයෙන් අර්ථය වචනයෙන් වචනය කියයුත්තේය. විවාද නොකට යුත්තේය. යම්සේ මේ බ්‍රහ්මචර්‍ය්‍යාවයයි කියන ලද ශාසනය බොහෝ කල් පවත්නේද දිගු කල් පවතින්නේ වේද එසේ සජ්ජායනා කළ යුතුය. එය බොහෝදෙනාට හිත පිණිසද බොහෝදෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ට වැඩ පිණිසද හිත පිණිසද සැප පිණිසද වන්නේය.

සඤ්ඤාපෙතබ්බවිධි

චුන්දය, සමගිවූද සතුටු වන්නාවූද විවාද නොකරන්නාවූද තොප විසින් හික්මිය යුත්තාහුය. සමඟ මහණදම් පුරණ එක් භික්ෂුවක් සංඝයා කෙරෙහි ධර්මය කියන්නේ වේද ඉදින් එහිලා තොපට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ආයුෂ්මත් තෙමේ අර්ථයද වරදවා ගන්නේය. වචනද වරදවා කියන්නේයයි සිතන්නේය. ඔහුට නොම සතුටු විය යුත්තේය. ප්‍රතික්ෂෙපද නොකට යුත්තේය. නොසතුටුව ප්‍රතික්ෂෙපද නොකොට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, මේ අර්ථයාගේ මේ වචන හෝ ඒ වචන හෝ වන්නාහුද කවර නම් වචන වඩා සුදුසුද? ඒ වචනයන්ගේ මේ අර්ථය වන්නේද? ඒ අර්ථය වන්නේද? කවර අර්ථයෙක් ඉතා සුදුසුදැයි ඇසිය යුත්තේය.’ ඉඳින් හෙතෙම මෙසේ කියන්නේ වේද, ‘ඇවැත්නි, මේ අර්ථයට මේ වචනම ඉතා සුදුසුවන්නාහුය. යම් වචනයක් මා විසින් කියන ලද්දේද මේ වචනයන්ගේ මේ අර්ථය තෙමේම අතිශයින් සුදුසු වන්නේය මා විසින් කියන ලද්දේ ඒ අර්ථයමැයි කියයිද ඒ භික්ෂුතෙමේ ඇතුළත්ද නොකළ යුත්තේය. ඉවත්ද නොකළ යුත්තේය. ඇතුළත්ද නොකොට ඉවත්ද නොකොට ඒ අර්ථයේද ඒ වචනයන්ගේද දැරීම පිණිස හොඳින් ඇඟවිය යුත්තේය.’

චුන්දය, ඉඳින් අනික් භික්ෂුවක් සංඝයා විෂයෙහි ධර්මය කියන්නේ වේද, ඉදින් එහිලා තොපට මෙබඳු සිතෙක් වන්නේය ‘මේ ආයුෂ්මත් තෙමේ අර්ථයම වරදවා ගන්නේය. වචන නිවැරදිව කියන්නේය’ කියායි. ඔහුට නොමසතුටුවිය යුත්තේය. ප්‍රතික්ෂෙපද නොකට යුත්තේය. නොසතුටුව ප්‍රතික්ෂෙපද නොකොට හෙතෙමේ මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, මේ වචනයන්ගේ මේ අර්ථය වන්නේද, ඒ අර්ථය වන්නේද? කිනම් අර්ථයෙක් ඉතා සුදුසු වන්නේදැයි ඇසිය යුතුය. ඉදින් හෙතෙමේ මෙසේ කියන්නේ වේද, ‘ඇවැත්නි, මේ වචනයන්ගේ මේ අර්ථය ඉතා සුදුසු වන්නේය. යමක් මා විසින් කියන ලද්දේද ඒ මෙය වන්නේයයි කියයිද හෙතෙමේ ඇතුළත්ද නොකළ යුත්තේය. ඉවත්ද නොකට යුත්තේය. ඇතුළත්ද නොකොට ඉවත්ද නොකොට එම අර්ථය දැරීම පිණිස ඔහුටම ඇඟවිය යුත්තේමය.

චුන්දය, අනික් භික්ෂුවක්ද සංඝයාට ධර්මය කියන්නේ වේද ඉදින් එහි ලා තොපට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ආයුෂ්මත් තෙමේ අර්ථයම හොඳින් ගන්නේය. වචන වරදවා පිහිටුවීම කරන්නේය’යි සිතන්නේය. ඔහුට සතුටුද නොවිය යුත්තේය. ප්‍රතික්ෂෙපද නොකට යුත්තේය. සතුටු වීමත් නොකොට ප්‍රතික්ෂෙපත් නොකොට හෙතෙමේ මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, මේ අර්ථයාගේ මේ වචනම වන්නාහුද? ඒ වචන හෝ වන්නාහුද කවර නම් වචනයක් සුදුසුදැ’යි ඇසිය යුතුය. ඉදින් හෙතෙමේ මෙසේ කියන්නේද ඇවැත්නි, මේ අර්ථයට මේ වචන සුදුසු වන්නේය. යමක් මා විසින් කියන ලද්දේ නම් ඒ මෙය වන්නේයයි කියයිද හෙතෙමේ නොම ඇතුළත් කළ යුත්තේය. ඉවත්ද නොකළ යුත්තේය. ඇතුළත්ද නොකොට ඉවත්ද නොකොට ඒ වචන අර්ථයන්ගේම දැරීම පිණිස එයම හොඳින් හැඟවිය යුත්තේය.

චුන්දය, ඉදින් අනික් භික්ෂුවක් තෙමේ සංඝයාට ධර්මය කියන්නේ වේද ඉදින් එහි ලා තොපට මෙබඳු සිතක් වන්නේද, ‘මේ ආයුෂ්මත් තෙමේ වනාහි අර්ථයද හොඳින් ගන්නේය. වචනද හොඳින් ප්‍රකාශ කරන්නේය’යි කියායි. ඔහුගේ කීම යහපත් වන්නේයයි සතුටුවිය යුත්තේය. අනුමොදන් විය යුත්තේය. ඔහුගේ කීම යහපත්යයි සතුටුව, අනුමෝදන්ව මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, යම්බඳුවූ අපි මෙසේ අර්ථයෙන් යුක්තවූ වචනයෙන් යුක්තවූ (ධර්මය ප්‍රකාශ කරන්නාවූ) ඔබ වැනි බ්‍රහ්මචාරී ආයුෂ්මතෙකු දකින්නෙමුද? ඇවැත්නි, එය අපගේ ලැබීමෙක් වන්නේය. අපගේ මිනිසත් බව මනා ලැබීමක් වන්නේයයි කිය යුතුය.

චුන්දය, මම තොපට මෙලොව ඇත්තාවූම කාමාදි ක්ලෙශයන්ගේ සංවරය පිණිසම ධර්මය දෙශනා නොකරමි. චුන්දය, මම පරලොව පවත්නාවූ ක්ලෙශයන්ගේ නැසීම පිණිසම ධර්මය දෙශනා නොකරමි. චුන්දය, මම මෙලොව පිළිබඳ ක්ලෙශයන්ගේ වැළැක්ම පිණිසද ධර්මය දෙශනා කරමි. පරලොව පිළිබඳ ක්ලෙශයන්ගේ නැසීම පිණිසද ධර්මය දෙශනා කරමි.

චුන්දය, එහෙයින් මා විසින් තොපට යම් සිව්රක් නියමකරන ලද්දේද එය යම්තාක් තොපගේ සීතල නැසීම පිණිසද උණුසුම නැසීම පිණිසද මැසි, මදුරු, අව්, සුලං සර්පයන්ගේ ස්පර්ශයෙන් වන උවදුරු නැසීම පිණිසද ලජ්ජා උපදින තැන් වැසීම පිණිසද ප්‍රමාණ වන්නේය. මා විසින් තොපට යම් පිණ්ඩපාතයක් නියමකරන ලද්දේද ඒ පිණ්ඩපාතය යම්තාක් මේ ශරීරය පැවැත්ම පිණිසද යැපීම පිණිසද සාදුක් පීඩා වැළැක්ම පිණිසද බ්‍රහ්මචරියාවට උපකාර පිණිසද ප්‍රමාණ වන්නේය. පිණ්ඩපාත භොජනය වැළඳීමෙන් පුරාණ වේදනාද නසමි. අලුත් වේදනාද නූපදවමි. මාගේ ජීවිතයේ පැවැත්මද වන්නේය. නිවරද බවද පහසුවෙන් විසීමද වන්නේයයි පරිභොග කරන්නේය. මා විසින් තොපට යම් සේනාසනයක් නියම කරන ලද්දේද එය තොපට යම්තාක් සීතල නැසීම පිණිසද උණුසුම නැසීම පිණිසද මැසි, මදුරු, අව්, සුළං, සර්ප ස්පර්ශයන්ගේ නැසීම පිණිසද සුදුසු වන්නේය. යම්තාක් ඍතු උවදුරු නැති කිරීමද තනිව ඉදීමෙහි ඇලීම පිණිසද සුදුසු වන්නේය. මා විසින් තොපට යම් බෙහෙත් පිරිකරක් නියම කරන ලද්දේද එය තොපගේ යම්තාක් උපන් රෝග වේදනාවන්ගේ නැසීම පිණිසද නිදුක් බව කෙළවරකොට ඇති බව පිණිසද සුදුසු වන්නේය.

සුඛල්ලිකානුයොගො

“චුන්දය, යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (ශාසනයෙන් පිට පැවිදිවූ අය) ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සැපයෙහි ඇලීමෙන් යුක්තව වාසය කරන්නාහුයයි කියන්නාහුද එසේ කීමට හේතු ඇත්තේය.

“චුන්දය, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ වෙත්ද ඔවුන්ට මෙසේ කියයුතු වන්නාහුය. ඇවැත්නි, ඒ සැපයෙහි ඇලී වාසය කිරීම නම් කවරක් වන්නේද? සැපයෙහි ඇලී වාසය කිරීම් බොහෝ වන්නාහුය. නොයෙක් ආකාර වන්නාහුය. නොයෙක් විධි වන්නාහුය.

චුන්දය, මේ සැපයෙහි ඇලී වාසය කිරීම් සතරක් හීන වූවාහුය. ගම්මුන්ගේ ගති වූවාහුය. පෘථග්ජනයන්ගේ ගති වූවාහුය. උතුම් ගති නුවූවාහුය. අනර්ථ පිණිස පවත්නාහුය. අවබොධය පිණිස නොපවත්නාහුය. නොඇලීම පිණිස නොපවත්නාහුය. ක්ලෙශයන්ගේ නිරොධය පිණිස ද නොපවත්නාහුය. කෙලෙස් සංසිඳීම පිණිසද නොපවත්නාහුය. විශෙෂයෙන් දැනීම පිණිසද නොපවත්නාහුය. සම්බොධිය පිණිසද නිර්වාණය පිණිසද නොපවත්නාහුය.

කවරනම් සතරෙක්ද? “චුන්දය, මේ ලොකයෙහි ඇතැම් අඥානයෙක් තෙමේ ප්‍රාණීන් මර මරා තමා සැපයට පමුණුවන්නේය. පිණවන්නේය. මේ පළමුවැනි සුඛල්ලිකානුයෝගය වන්නේය. නැවතද චුන්දය මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් හොරකම් කර කර තමා සැපයට පමුණුවන්නේය. පිණවන්නේය. මේ දෙවෙනි සුඛල්ලිකානුයොගය වන්නේය. චුන්දය නැවතද මේ ලොකයෙහි ඇතැමෙක් බොරු කිය කියා තමා සැපයට පමුණුවන්නේය, පිණවන්නේය. මේ තුන්වැනි සුඛල්ලිකානුයොගය වන්නේය. නැවතද චුන්දය, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් පස්වැදෑරුම් කාම ගුණයෙන් පැවරීම වූයේ යුක්තවූයේ සේවනය කෙරේද මේ සතරවෙනි සුඛල්ලිකානුයොගය වන්නේය. චුන්දය, මේ සුඛල්ලිකානුයොගයෝ සතර වනාහී හීනවූවාහු ගම්මුන්ගේ ගති වූවාහු පෘථග්ජනයන්ගේ ගතිවූවාහු උතුම් නුවූවාහු අනර්ථය පිණිස පවත්නාහුය. අවබොධය පිණිසද නොවන්නාහුය. රාගය නැතිවීම පිණිසද නොවන්නාහුය. ක්ලේශනිරොධය පිණිසද නොවන්නාහුය. කෙලෙස් සංසිඳීම පිණිසද විශෙෂයෙන් දැනීම පිණිසද සම්බොධිය පිණිසද නිර්වාණය පිණිසද නොවන්නාහුය.

චුන්දය, යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූවෝ) “මේ සිව්වැදෑරුම් සුඛල්ලිකානුයොගයෙහි යෙදී ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ වාසය කරන්නාහුයයි” කියත්ද ඊට හේතු ඇත්තේය. මෙසේ කියන්නාහු වෙත්ද ඔවුන්ට තොපි එසේ නොකියව්යයි කිය යුත්තාහුය, ඔවුන්ට තොපි සැබෑනුවූ බොරුබසින් නුගුණ නොකියයුත්තාහුයයි කියයුත්තාහුය.

“චුන්දය, මේ සුඛල්ලිකානුයෝගයෝ සතරක් ඒකාන්ත අවබොධය පිණිසද රාගය නැතිකිරීම පිණිසද කෙලෙස් නැතිකිරීම පිණිසද කෙලෙස් සංසිඳීම පිණිසද විශෙෂයෙන් දැනීම පිණිසද සම්බොධිය පිණිසද නිර්වාණය පිණිසද පවත්නාහුය. කිනම් සතරෙක්ද? චුන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ කාමයන්ගෙන් වෙන්වූයේ අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වාසය කෙරේද මේ පළමුවෙනි සුඛල්ලිකානුයොගය වන්නේය.

චුන්දය, නැවතද මහණතෙමේ විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම ඇති කරන්නාවූ හිතේ එකඟ බවයයි කියනලද විතර්ක විචාර යන ධ්‍යානාංග නැත්තාවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙරේද මේ දෙවැනි සුඛල්ලිකානුයොගය වන්නේය.

“චුන්දය, නැවතද මහණතෙමේ ප්‍රීතියගේද නැතිකිරීමෙන් තෘතීයධ්‍යානයට එළඹ වාසය කෙරේද මේ තුන්වෙනි සුඛල්ලිකානුයොගය වන්නේය.

චුන්දය, නැවතද මහණතෙමේ සැපයද නැතිකිරීමෙන් දුකද නැති කිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද මේ සතරවෙනි සුඛල්ලිකානුයොගය වන්නේය.

චුන්දය, මේ සතර සුඛල්ලිකානුයෝගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිසද නොඇලීම පිණිසද ක්ලේශයන්ගේ නිරුද්ධකිරීම පිණිසද සංසිඳීම පිණිසද විශෙෂයෙන් දැනීම පිණිසද අවබොධය පිණිසද නිර්වාණය පිණිසද පවත්නාහුය. චුන්දය, මේ කාරණය ඇත්තේය. යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) ‘මේ සතර සුඛල්ලිකානුයෝගයෙහි යෙදී ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ වාසය කරන්නාහුය’යි කියන්නාහ. මෙසේ කියන්නාවූ ඔවුන්ට තෙපි ‘එසේය’යි කියයුත්තාහුය. තෙපි යහපත්කොට කියන්නාහුය. තොපි අසත්‍යයෙන් චොදනා නොකරන්නාහු යයි කිය යුත්තාහුය. චුන්දය, මේ කාරණයක් ඇත්තේ වේ.

සුඛල්ලිකානුයොගානිසංසො

යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූඅය) මෙසේ කියන්නාහු වෙත්ද (කෙසේද) ‘ඇවැත්නි, මේ සතර සුඛල්ලිකානුයොගයෙහි යෙදී වාසය කරන්නවුන්ට කෙතෙක් ඵල වන්නාහුද කොතෙක් ආනිසංස කැමති විය යුත්තාහුදැයි කියන්නාහ. මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතු වන්නාහුය.

‘ඇවැත්නි, මේ සතර සුඛල්ලිකානුයොගයෙහි යෙදී වාසය කරන්නවුන් විසින් ඵල ආනිසංස සතරක් කැමති විය යුත්තාහ. කවර නම් සතරක්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙමේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් අපායෙහි නොවැටෙන්නාවූ සම්බොධිය නියත කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වන්නේය. මේ ප්‍රථම ඵලය වන්නේය. පළමුවෙනි ආනිසංසය වන්නේය.

නැවතද ඇවැත්නි, මහණ තෙමේ “ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැතිකිරීමෙන් රාග, ද්වෙෂ, මොහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමියෙක් වේද, එක්වරක්ම මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නෙක් වන්නේය. මේ දෙවෙනි ඵලය, දෙවෙනි ආනිසංසය වන්නේය.

නැවතද ඇවැත්නි, මහණ තෙමේ පස්වැදෑරුම් ඔරම්භාගිය (සත්කායදෘෂ්ටි, විචිකිත්ෂා, ශීලව්‍රත පරාමර්ශ, කාමරාග, ව්‍යාපාද යන රැහැන් පස) සංයෝජනයන්ගේ නැතිකිරීමෙන් ඕපපාතිකයෙක් වන්නේය. ඒ බඹලොවින් මෙලොවට නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවන්පාන ස්වභාව ඇත්තෙක් වන්නේය. මේ තුන්වෙනි ඵලය, තුන්වෙනි ආනිසංසය වන්නේය.

නැවතද ඇවැත්නි, මහණ තෙමේ කාමාදි කෙලෙස් නැති කිරීමෙන් අර්හත් ඵලයට පැමිණ මේ ආත්මයෙහිම තමාම උසස් ඥානයෙන් දැන අවබොධකොට එයට පැමිණ වාසය කරන්නේය. මේ සතරවෙනි ඵලය, සතරවෙනි ආනිසංසය වන්නේය.

ඇවැත්නි, මේ සතර සුඛල්ලිකානුයෝගයෙහි යෙදී වාසය කරන්නවුන් විසින් මේ සතරඵල සතර ආනිසංස කැමති වියයුත්තාහු යි.

ඛීණාසවඅභබ්බඨානං

“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහුය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ස්ථිර ස්වභාවයක් නැතිව වාසය කරන්නාහුය කියායි.

චුන්දය, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතු වන්නාහුය. ඇවැත්නි, සර්වඥතා ඥානයෙන් සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයින්ට දිවි කෙළවර දක්වා නොඉක්මවියයුතු ධර්මයක් දෙශනා කරන ලදී. පනවන ලදී.

ඇවැත්නි, යම්සේ ඉන්ද්‍රඛීලයක් (නගර දොරටුවෙහි සිටවන ශක්තිමත් කණුව) හෝ යකඩ කණුවක් හෝ ගැඹුරු භූමියෙහි හොඳින් සිටුවා තබන ලද්දේ නොසැළෙන්නේ වේද කම්පා නොවන්නේ වේද ඇවැත්නි, එපරිද්දෙන්ම සියල්ල දන්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ විසින් ශ්‍රාවකයින්ට ජීවිතයේ අවසානය දක්වා නොඉක්මවියයුතුවූ ධර්මයක් දෙශනා කරනලදී. පනවනලදී. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් තෙමේ නැති කරණලද කෙලෙස් ඇත්තේ රහත් වූයේ වේද, වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තේ කරණලද කටයුතු ඇත්තේ ඉවත් කරනලද කෙලෙස් බර ඇත්තේ පැමිණෙනලද තමාගේ යහපතවූ රහත්ඵල ඇත්තේ වේද, ක්ෂයකරණලද සසර රඳවන රැහැන් ඇත්තේ හොඳකාර දැන අර්හත්ඵල නිදහසින් මිදුනේවේද, ඒ රහත් තෙමේ කරුණු නවයක හැසිරීමට නුසුදුස්සෙක් වන්නේය. ඇවැත්නි, රහත්වූ භික්ෂු තෙමේ දැන දැන ප්‍රාණයක් නැති කිරීමට සුදුසු නොවන්නේය. රහත්වූ භික්ෂු තෙමේ සොර සිතින් අන්සතු දෙයක් ගැනීමට සුදුසු නොවන්නේය. රහත්වූ භික්ෂුතෙමේ මෙවුන්දම් සේවනය කිරීමට සුදුසු නොවන්නේය. රහත්වූ භික්ෂු තෙමේ දැන දැන බොරු කීමට සුදුසු නොවන්නේය. රහත්වූ භික්ෂු තෙමේ පෙර ගිහි කාලයෙහි මෙන් වස්තු කාමයෙන්ද ක්ලෙශ කාමයෙන්ද තැන්පත් කොටගෙණ යමක් පාවිච්චි කිරීමට සුදුසු නොවන්නේය. රහත්වූ භික්ෂු තෙමේ ආසාව නිසා අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. රහත්වූ භික්ෂු තෙමේ ද්වෙෂයෙන් (ක්‍රොධයෙන්) අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. රහත්වූ භික්ෂු තෙමේ මොහයෙන් (මොඩකමින්) අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. රහත්වූ භික්ෂු තෙමේ බියෙන් අගතියට යාමට සුදුසු නොවන්නේය. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් තෙමේ නැති කරන ලද කෙලෙස් ඇත්තේ රහත්වූයේ වේද වැස නිමවන ලද බ්‍රහ්මචර්‍ය්‍යය (උතුම් හැසිරීම) ඇත්තේ වේද කටයුතු නිමකරන ලද්දේ වේද අහක්කරනලද කෙලෙස් බර ඇත්තේද පැමිණෙන ලද රහත්ඵල නම්වූ තමන්ගේ යහපත ඇත්තේද නැතිකරනලද භවසංයෝජන (සසර බැඳෙන රැහැන්) ඇත්තේ අර්හත් ඵල නිදහසින් හොඳින් මිදුනේ වේද ඒ රහත් භික්ෂු තෙමේ මේ කරුණු නවයෙහි හැසිරීමට සුදුසු නොවන්නේය.

පඤ්හාබ්‍යාකරණං

චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහු වෙද්ද? (කෙසේද යත්) ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අතීත කාලය ගැන වැඩි වශයෙන් ඥාන දර්ශනය පණ වන්නේය, ප්‍රකාශ කරන්නේය. අනාගත කාලය ගැන ඒ මේ කරුණ කෙසේ වන්නාහුදැයි ඒ මේ කරුණ කුමක් වන්නාහුදැයි වැඩි වශයෙන් ඥාන දර්ශනය නොපනවන්නේය, ප්‍රකාශ නොකරන්නේය’යි (කියත්ද) ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ අනිකක් ගැන පවත්නාවූ ඥාණ දර්ශණයෙන් අනිකක්ගැන පවත්නාවූ ඥාණ දර්ශනයක් පැණවිය යුත්තක් කොට, ප්‍රකාශ කටයුත්තක් කොට හඟින්නාහුය. අඥානවූ අසමත් අය යම්සේද? එසේ වන්නාහුය.

චුන්දය, අතීත කාලය ගැන තථාගතයන් වහන්සේගේ පෙර විසූ ජීවිත සිහිකිරීමේ ඥානය ඇත්තේය. උන්වහන්සේ යම්තාක් කැමති වන්නේද ඒ තාක් සිහි කරන්නේය. අනාගත කාලය ගැනද තථාගතයන් වහන්සේගේ බෝගස මුලදී හටගත් සතර මාර්ග ඥානය (හතර ආකාර මාර්ග ඥානය) උපදනේය. මේ අන්තිම ජාතිය වන්නේය. නැවත උත්පත්තියක් නැත්තේයයි දැනගන්නේය.

“චුන්දය, අතීතවූ නමුත් යමක් අසත්‍ය නම් නැත්නම් අනර්ථයෙන් යුක්ත නම් තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය. චුන්දය, අතීතවූ නමුත් යමක් සත්‍ය වුවද ඇත්ත වුවද අනර්ථය පිණිස පවත්නේනම් එයද තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය.

චුන්දය, තථාගතයන්වහන්සේ ඒ ප්‍රශ්නය විසඳීමට සුදුසු කල් දන්නේ වේ. චුන්දය, අනාගත කාලය පිළිබඳ යමක් නැත්තාවූද සත්‍ය නුවූද අනර්ථයෙන් යුක්තවූවක් වේ නම් තථාගතයන් වහන්සේ එය ප්‍රකාශ නොකරන්නේය. අනාගත කාලය පිළිබඳවූද යමක් සත්‍ය වේද ඇත්ත වේද අනර්ථය පිණිස පවතීද තථාගතයන් වහන්සේ එය ප්‍රකාශ නොකරන්නේය. තථාගතයන්වහන්සේ ඒ ප්‍රශ්නය විසඳීමට කල් දන්නේය.

චුන්දය, වර්තමාන කාලය පිළිබඳ නැත්තාවූ සත්‍ය නුවූ අනර්ථයෙන් යුක්ත වූවක් වේද එය තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තාවූ සත්‍යවූ අනර්ථයෙන් යුක්තවූවක් වේද එයද තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තාවූද සත්‍යවූද අර්ථයෙන් යුක්තවූවක් වේද එහිද ඒ ප්‍රශ්නය විසඳීමට තථාගතයන්වහන්සේ කාලය දන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තාවූද සත්‍යවූද අර්ථයෙන් යුක්තවූවක් වේද එහි ඒ ප්‍රශ්නය සුදුසු කාලයෙහි ප්‍රකාශ කිරීමට තථාගතයන් වහන්සේ දන්නේවේ.

මෙසේ චුන්දය, තථාගතයන් වහන්සේ අතීත අනාගත වර්තමාන කාලයන් සම්බන්ධ ධර්මයන්හි සුදුසු කල් බලා ප්‍රකාශ කරන්නෙක් වේද සත්‍යයක්ම ප්‍රකාශකරන්නෙක් වේද අර්ථය ප්‍රකාශකරන්නෙක් වේද ධර්මය ප්‍රකාශකරන්නෙක් වේද විනය ප්‍රකාශකරන්නෙක් වේද එහෙයින් තථාගතයයි කියනු ලැබේ. චුන්දය, යම් හේතුවකින් දෙවියන් සහිතවූද මාරයන් සහිතවූද බ්‍රහ්මයන් සහිතවූද ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයා සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ලොකයා විසින් ඇසින් දක්නා ලද්දාවූද කණින් අසන ලද්දාවූද නාසය, දිව, කය යන ඉන්ද්‍රියන්ගෙන් දැනගන්නා ලද්දාවූද සිතින් දැනගන්නා ලද්දාවූද පැමිණෙන ලද්දාවූද සොයන ලද්දාවූද විමසන ලද්දාවූද යමක් වේද ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් අවබොධ කරන ලද්දේය. එහෙයින් තථාගත යයි කියනු ලැබේ. චුන්දය, යම්බඳු රාත්‍රියෙක්හි තථාගත තෙමේ උතුම් සම්‍යක් සම්බොධිය අවබොධ කෙරේද යම්බඳු රාත්‍රියෙක්හි ස්කන්ධයන් ඉතිරි නොවූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද මේ අතර කාලයෙහි යම් ධර්මයක් කියන්නේද ප්‍රකාශ කරන්නේද දක්වන්නේද ඒ සියල්ල එපරිද්දෙන්ම වන්නේය. අන් පරිද්දකින් නොවන්නේය. එහෙයින් තථාගතයයි කියනු ලැබේ. චුන්දය, තථාගත තෙමේ යම් සේ කියන්නේද එසේ කරන්නේය. යම්සේ කරන්නේද එසේ කියන්නේය. මෙසේ කියන සේ කරන්නේද කරනසේ කියන්නේද වෙයි. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

චුන්දය, දෙවියන් සහිතවූද මාරයන් සහිතවූද බ්‍රහ්මයන් සහිතවූද ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයා හා දෙවි මිනිසුන් සහිතවූ ලොකයෙහි තථාගත තෙමේ සියල්ල මැඩපවත්වන්නේය. කිසිවෙකු විසින් නොමැඩිය හැකි වන්නේය. ඒකාන්තයෙන් සියල්ල දක්නේය. සියල්ල තමා වසයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

අබ්‍යාකතට්ඨානං

චුන්දය, මේ කාරණයෙක් ඇත්තේ වේ. යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) මෙසේ කියන්නාහු වෙත්ද? ‘ඇවැත්නි, සත්ව තෙමේ මරණින් මත්තෙහි කුමක් වන්නේද? මෙයම සත්‍ය වන්නේද? අන්‍යයන්ගේ කීම් හිස්වන්නේද කියායි.

චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) මෙසේ කියන්නාහුද (ඔවුන්ට) මෙසේ කියයුතු වන්නාහුය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සත්ව තෙමේ මරණින් මත්තෙහි වන්නේය’ යන මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. අන්‍යයන්ගේ කීම් හිස් වන්නේය’යි ප්‍රකාශ නොකරන ලද්දේමය. “චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. චුන්දය, යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහු වෙද්ද, කිමෙක්ද, ඇවැත්නි, සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි නොවන්නේය. මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. අන්‍යයන්ගේ කීම් හිස් වන්නේය’ කියායි.

“චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහුද, (ඔවුන්ට) මෙසේ කියයුතු වන්නාහුය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ව තෙමේ මරණින් මත්තෙහි නොවන්නේය. මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය අන්‍යයන්ගේ කීම් හිස් වන්නේයයිද, මෙසේද ප්‍රකාශ නොකරන ලද්දේය. “චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) මෙසේ කියන්නාහු වෙත්ද, ‘ඇවැත්නි, කිමෙක්ද? සත්ව තෙමේ මරණින් මත්තෙහි ඇති වන්නේද? නොවන්නේද? මේ දෘෂ්ටියම සත්‍ය වන්නේද, අන්‍යයන්ගේ කීම් හිස් වන්නේද’ කියායි “චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහුද, (ඔවුන්ට) මෙසේ කියයුතු වන්නාහුය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වතෙමේ මරණින් මත්තෙහි වන්නේද නොවන්නේ දැයි මේ දෘෂ්ටිය සත්‍යවන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේ ය’යි මෙසේ වනාහි ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියයුතුය.

“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) මෙසේ කියන්නාහු වෙත්ද, ඇවැත්නි, කිමෙක්ද, සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි වන්නේත් වේද නොවන්නේත් වේද? මේ දෘෂ්ටියම සත්‍ය වන්නේද, අන්‍යයන්ගේ කීම් හිස් වන්නේද, චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) මෙසේ කියන්නාහුද (ඔවුන්ට) මෙසේ කියයුතු වන්නාහුය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මරණින් මත්තෙහි සත්වතෙම වන්නේය කියා හෝ නොවන්නේය කියා හෝ මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. අන්‍යයන්ගේ කීම් හිස් වන්නේය’යි මෙසේද ප්‍රකාශ නොකරන ලද්දේය. “චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. ‘ඇවැත්නි, කුමක් හෙයින් ශ්‍රමණභවත් ගෞතමයන් විසින් මේ කාරණය ප්‍රකාශ නොකරණ ලද්දේදැ’යි මෙසේ කියන්නාහුද? “චුන්දය, එසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) වන්නාහුද (ඔවුන්ට) මෙසේ කියයුතු වන්නාහුය. ‘ඇවැත්නි, මෙය අර්ථයෙන් යුක්ත වූවක් නොවන්නේය. ධර්මයෙන් යුක්ත වූවක් නොවන්නේය. බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල නොවන්නේය. කලකිරීම පිණිස නොපවත්නේය. නොඇලීම පිණිසද නොපවත්නේය. කෙලෙසුන් නැසීම පිණිසද නොපවත්නේය. කෙලෙස් සංසිඳවීම පිණිසද නොපවත්නේය. විශෙෂයෙන් දැකීම පිණිසද නොපවත්නේය. නිර්වාණය පිණිසද නොපවත්නේය. එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය’යි, (කියයුතු වන්නාහුය.)

බ්‍යාකතට්ඨානං

“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) ‘ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් කුමක් ප්‍රකාශ කරණ ලද්දේදැයි මෙසේ කියන්නාහුද (ඔවුන්ට) මෙසේ කියයුතු වන්නාහුය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දුකවන්නේයයි දුක්ඛ සත්‍යය ප්‍රකාශ කරණ ලද්දේය. ඇවැත්නි, මෙය දුක හටගැනීමට හේතුවයයි දුක්ඛ සමුදය සත්‍යය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දේය. ඇවැත්නි මෙය දුක නැති කිරීම යයි දුක්ඛ නිරොධ සත්‍යය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දේය. ඇවැත්නි, මෙය දුක්නැති කිරීමට පමුණුවන්නාවූ ප්‍රතිපදාවයයි දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දේය’යි (කියයුතු වන්නාහුය) “චුන්දය, මේ කාරණයෙන් ඇත්තේය. යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) ‘ඇවැත්නි, කුමක් හෙයින් මෙය ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ දැ’යි, මෙසේ කියන්නාහුද “චුන්දය, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (සාසනයෙන් පිට මහණවූ අය) වන්නාහුද (ඔවුන්ට) මෙසේ කියයුතු වන්නාහුය. ඇවැත්නි, මෙය අර්ථයෙන් යුක්තවූයේය. මෙය ධර්මයෙන් යුක්ත වූයේය. මෙය බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන්නේය. ඒකාන්ත අවබොධය පිණිසද නොඇලීම පිණිසද කෙලෙස් නැතිකිරීම පිණිසද කෙලෙස් සංසිඳවීම පිණිසද විශෙෂ ඥානය පිණිසද යහපත් අවබොධය පිණිසද නිර්වාණය පිණිසද පවත්නේය. එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේය’යි (කියයුතු වන්නාහුය.)

පුබ්බන්තසහගතදිට්ඨිනිස්සයා

‘චුන්දය, පූර්ව කෙළවර ඇසුරු කළාවූ යම් දෘෂ්ටි කෙනෙක් ඇත්තාහුද ප්‍රකාශ කළ යුතුවූ ඒ දෘෂ්ටි මා විසින් තොපට ප්‍රකාශ කරන ලද්දාහුය. ප්‍රකාශ නොකළ යුත්තාවූ ඒ දෘෂ්ටි තොපට කුමක් සඳහා ප්‍රකාශ කරන්නෙම්ද? අග කෙළවර ඇසුරු කළාවූ යම් දෘෂ්ටි කෙනෙක් ඇත්තාහුද? ඒ දෘෂ්ටි යම් ආකාරයකින් ප්‍රකාශ කළ යුත්තාහුද මා විසින් තොපට ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන ලද්දාහුය. යම් ආකාරයකින් ප්‍රකාශ නොකළ යුත්තාහුද ඒ ආකාරයෙන් කුමක් සඳහා ප්‍රකාශ කරන්නෙම්ද?

“චුන්දය, ඇතැම් මහණ බමුණෝ මෙසේ කියන්නෝද මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද වෙත්. ‘ආත්මයද ලෝකයද සදාකාලික වන්නේය. මේ දෘෂ්ටිය සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් අසත්‍ය වන්නේය’ (කියායි.) චුන්දය, ඇතැම් මහණ බමුණෝ මෙසේ කියන්නාහුද මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද වෙත්. ආත්මයද ලොකයද සදාකාලික නොවන්නේය. ආත්මයද ලොකයද සදාකාලික වන්නේද සදාකාලික නොවන්නේද වේ. ආත්මයද ලොකයද සදාකාලික නොවන්නේත් වේ. සදාකාලික නොවන්නේත් නොවන්නේ වේ. ආත්මයද ලොකයද තමා විසින් කරන ලද්දේය. ආත්මයද ලොකයද අන්‍යයන් විසින් කරන ලද්දේ ආත්මයද ලොකයද තමා විසින් උපදවන ලද්දේද, අනුන් විසින් උපදවන ලද්දේද වන්නේය. ආත්මයද ලොකයද තමා විසින්ද ඇති නොකරන ලද්දේද, අනුන් විසින්ද ඇති නොකරන ලද්දේද, හේතුවක් නැතිව හටගත්තේයයි’ මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස් වන්නේයයි (කියාද) සැප දුක් දෙක සදාකාලික වන්නේය. සැප දුක් දෙක සදාකාලික නොවන්නේය. සැප දුක් දෙක සදාකාලිකද, සදාකාලික නොවූයේද වන්නේය. සැපදුක් දෙක සදාකාලික නොවන්නේද සදාකාලික නොවන්නේ නොවෙන්නේද වන්නේය. සැප දුක් දෙක තමන් විසින් ඇති කරන ලද්දේය. අනුන් විසින් ඇති කරන ලද්දේය. සැප දුක් දෙක තමන් විසින්ද නොකරන ලද්දේය. අනුන් විසින්ද නොකරන ලද්දේය. සැප දුක් දෙක තමන්ද නොකොට අනුන්ද නොකොට හේතුවක් නැතිව හටගත්තේය. මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේයයි කියන්නාහුය.

“චුන්දය, එහි ලා යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ආත්මයද ලොකයද සදාකාලික වන්නේය. ‘මේ දෘෂ්ටියම සත්‍යවන්නේය. සෙස්සන්ගේ කීම් හිස් වන්නේය’යි මෙසේ කියන්නාහුද, මේ දෘෂ්ටි ඇත්තාහුද, මම ඔවුන් කරා එළඹ, ‘ඇවැත්නි, ආත්මයද ලොකයද සදාකාලික වන්නේයයි කියනු ලබන්නේද මෙය ඇත්තේද නැත්තේදැයි අසමි. යම් හේතුවකින් ඔව්හුද මේ දෘෂ්ටියම සත්‍යවන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේය’යි කියන්නාහුද, ඔවුන්ගේ ඒ කීමට මම එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? චුන්දය, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ අන් පරිද්දකින් වන සංඥා (හැඟීම්) ඇත්තෝද වන්නාහුය. චුන්දය, මේ පැනවීමෙහිද මම තමන්හා සම සම වූවෙක් නොම දක්නේවෙමි. වැඩියෙක් කොයින්ද? එකල යම් මේ විශෙෂ පැනවීමෙහි මම වැඩිසිටි තැනැත්තේ වෙමියි (වදාළේය.)

චුන්දය, එහි ලා යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මෙසේ කියන්නාහුද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද, ‘ආත්මයද ලොකයද සදාකාලික වන්නේය. ආත්මයද ලොකයද සදාකාලික නොවන්නේය. ආත්මයද ලොකයද සදාකාලිකද වන්නේය සදාකාලික නොවූයේද වන්නේය. ආත්මයද ලොකයද සදාකාලික නොවන්නේත් වන්නේය. සදාකාලික නොවන්නේත් නොවන්නේය. ආත්මයද ලොකයද තමා විසින් ඇති කරන ලද්දේ වන්නේය. ආත්මයද ලොකයද අනුන් විසින් ඇතිකරන ලද්දේ වන්නේය. ආත්මයද ලොකයද තමා විසින් ඇතිකරන ලද්දේද අනුන් විසින් ඇතිකරන ලද්දේද වන්නේය. ආත්මයද ලොකයද තමන් විසින් ඇතිකරන ලද්දේත් නොවන්නේය. අනුන් විසින් ඇතිකරන ලද්දේත් නොවන්නේය හේතුවක් නැතිව හටගත්තේය. සැප දුක් දෙක සදාකාලික වන්නේය. සැපදුක් දෙක සදාකාලික නොවන්නේය, සැප දුක් දෙක සදාකාලිකද වන්නේය. සදාකාලිකද නොවන්නේය. සැප දුක් දෙක සදාකාලික නොවන්නේත් වන්නේය. සදාකාලික නොවන්නේත් නොවන්නේය. සැප දුක් දෙක තමා විසින් කරන ලද්දේ වේ. සැප දුක් දෙක අනුන් විසින් කරන ලද්දේ වේ. සැප දුක් දෙක තමා විසින් කරන ලද්දේද අනුන් විසින් කරන ලද්දේද වේ. සැප දුක් දෙක තමා විසින් නොකරන ලද්දේද සැප දුක් දෙක අනුන් විසින් කරන ලද්දේද හේතුවක් නැතිව හටගත්තේද වේ. මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේ ය’යි කියන්නාහුද මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ‘ඇවැත්නි, සැපදුක් දෙක තමා විසින් නොකරන ලදුවද අනුන් විසින් නොකරන ලදුවද හේතුවක් නැතිව හටගත්තේ යයි කියනු ලබන්නේ මෙය ඇත්තේද නැත්තේදැ’ යි අසමි. යම් හේතුවකින් ඔව්හු මේ දෘෂ්ටියම සත්‍යවන්නේය, සෙස්සන්ගේ කීම් හිස්වන්නේ ය’යි මෙසේ කියන්නාහුද, මම ඔවුන්ගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? චුන්දය, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ අන් පරිදිවූ සංඥා (හැඟීම්) ඇත්තාහුද වෙත්. චුන්දය, මේ පැනවීමෙහිලා මම වනාහි තමන්වහන්සේ හා සමවූවෙක් නොම දකිමි. වැඩිසිටියෙක් කොයින්ද? යම් මේ ඉතා උසස් පැනවීමක් වේද එහිලා මම වැඩිසිටියෙක් වන්නෙමියි, කීවාහුය.

“චුන්දය, මොහු වනාහි යම් ආකාරයකින් ප්‍රකාශ කළ යුත්තාහුද ඒ ආකාරයෙන් ප්‍රකාශකළාවූ පූර්ව කෙළවර ඇසුරු කළ දෘෂ්ටීහු වෙත්. යම් දෘෂ්ටි කෙනෙක් යම් ආකාරයකින් ප්‍රකාශ නොකළ යුත්තාහුද තොපට කුමක් සඳහා ඒ දෘෂ්ටි ප්‍රකාශ කරන්නෙම්ද?

අපරන්තසහගතදිට්ඨිනිස්සයා

“චුන්දය, තොපට යම් ආකාරයකින් ප්‍රකාශකළ යුත්තාහුද ඒ ආකාරයෙන් ප්‍රකාශ කළාවූද යම් ආකාරයකින් ප්‍රකාශ නොකළ යුත්තාහුද ඒ ආකාරයෙන් තොපට කුමක් සඳහා ප්‍රකාශ කරන්නෙම්ද යන අග කෙළවර ඇසුරු කළාවූ දෘෂ්ටීහු නම් කවරහුද යත්?

“චුන්දය, ඇතැම් මහණබමුණෝ මෙසේ කියන්නාහුද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද වෙත්. ‘ආත්මය තෙම රූපය ඇත්තේ වෙයි. මරණින් මත්තෙහි ඒ ආත්මය නිරෝගි වන්නේ වේ. මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේය’යි කියන්නාහුය. චුන්දය, ඇතැම් මහණ බමුණෝ මෙසේ කියන්නාහු, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්. ‘ආත්මය රූපය නැත්තේ වේ. ආත්මය රූපය ඇත්තේද රූපය නැත්තේද වේ. ආත්මය රූපය නැත්තේද රූපය නැත්තේ නොවන්නේද වේ. ආත්මය සංඥාව (හැඟීම්) ඇත්තේවේ. ආත්මය සංඥාව (හැඟීම්) නැත්තේ වේ. ආත්මය සංඥාව (හැඟීම්) නැත්තේද සංඥාව නැත්තේ නොවන්නේද වේ. ආත්මය සිඳෙන්නේය. වැනසෙන්නේය. මරණින් මතු නොවන්නේය. මේ දෘෂ්ටියම සත්‍යය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේය’යි කියන්නාහුය. චුන්දය, එහිලා යම් ඒ මහණ බමුණු කෙනෙක් මෙසේ කියන්නාහුද මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද. ‘ආත්මය රූපය ඇත්තේ වේ. මරණින් මතු නිරොගිවේ. මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේ ය’යි (කියත්ද) මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ‘ඇවැත්නි, ආත්මය තෙම රූපය ඇත්තේවේ. මරණින් මතු නිරෝගි වන්නේය’යි කියනු ලැබේද, මෙය ඇත්තේද නැත්තේදැයි අසමි. යම් හේතුවකින් ඔව්හු මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේය’ යි මෙසේ කියන්නාහු වෙත්ද ඔවුන්ගේ ඒ කීමට මම එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? චුන්දය, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ අන් පරිද්දකින් වන සංඥා (හැඟීම්) ඇත්තෝද වෙත්. චුන්දය, මේ පැනවීමෙහි ලා මම තමන්වහන්සේ හා සම වූවෙක් නොමදක්නෙමි. වැඩිසිටියෙක් කොයින්ද? යම් මේ ඉතා උසස්වූ පැනවීමක් වේද, එහි ලා මමම වැඩිසිටියෙක් වන්නෙමි’ යි කියන්නෙමි.

‘චුන්දය, එහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ කියන්නාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මය රූපය නැත්තේ වේ, ආත්මය රූපය ඇත්තේද රූපය නැත්තේද වේ. ආත්මය රූපය නැත්තේද රූපය නැත්තේ නොවන්නේද වේ. ආත්මය සංඥාව (හැඟීම්) ඇත්තේ වේ. ආත්මය සංඥාව (හැඟීම්) නැත්තේ වේ. ආත්මය සංඥාව (හැඟීම්) නැත්තේද සංඥාව නැත්තේ නොවන්නේද වේ. ආත්මය සිඳෙන්නේය. වැනසෙන්නේය. මරණින් මත්තෙහි නොවන්නේය. මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේය’යි (කියද්ද) මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ‘ඇවැත්නි, ආත්මය සිඳෙන්නේය. වැනසෙන්නේය. මරණින් මතු නොවන්නේයයි කියත්ද, මෙය ඇත්තේදැ’ යි කියනු ලැබේද, ‘චුන්දය, යම් හේතුවකින් ඔව්හු මෙසේ කියන්නාහුද ‘මේ දෘෂ්ටියම සත්‍ය වන්නේය. සෙස්සන්ගේ කීම් හිස්වන්නේය’ යි කියද්ද, ඔවුන්ගේ ඒ කීමට මම එකඟ නොවෙමි.’ ඊට හේතු කවරේද? චුන්දය, මෙහි ඇතැම් සත්ත්වයෝ අන්පරිද්දකින් වන සංඥා (හැඟීම්) ඇත්තාහුද වෙත්. චුන්දය, මේ පැනවීමෙහි ලා මම තමන් වහන්සේ හා සම වූවෙක් නොම දක්නෙමි. වැඩියෙක් කොයින්ද? යම් මේ ඉතා උසස්වූ පැනවීමක් වේද මමම එහි වැඩිසිටියෙක් වන්නෙමි’යි කියන්නෙමි.

“චුන්දය, මොහු වනාහි තොපට යම් ආකාරයකින් ප්‍රකාශ කළයුත්තාහුද ඒ ආකාරයෙන් ප්‍රකාශ කළාවූද යම් ආකාරයකින් ප්‍රකාශ නොකළ යුත්තාහුද ඒ ආකාරයෙන් තොපට කුමක් සඳහා ප්‍රකාශ කරන්නෙම්ද යන අග කෙළවර ඇසුරු කළාවූ දෘෂ්ටිහුය.

“චුන්දය, මේ පූර්ව කෙළවර ඇසුරුකළාවූද අග කෙළවර ඇසුරු කළාවූද දෘෂ්ටීන්ගේ නැසීම පිණිස ඉක්මවීම පිණිස මා විසින් මෙසේ මේ සතර සතිපට්ඨානයෝ දෙශනා කරණ ලද්දාහු පණවන ලද්දාහුය. කවර නම් සතරෙක්ද? චුන්දය, මේ සස්නෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ ප්‍රයෝජන අප්‍රයෝජන සලකන ලද නුවණින් යුක්තව සිහියෙන් යුක්තවූයේ පඤ්චස්කන්ධයයි කියනලද ලොකයෙහි තද ආසාව නම් විෂම ලොභයද සෝකයද යන දෙදෙන හික්මවා තම ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, වේදනාවන්හිද චිත්තයෙහිද කෙලෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ ප්‍රයෝජන අප්‍රයෝජන සලකන ලද නුවණින් යුක්තව සිහියෙන් යුක්තවූයේ පඤ්චස්කන්ධ නම් ලොකයෙහි විෂම ලෝභයයි කියනලද තද ආසාව හා සෝකයද දුරුකොට වාසය කෙරේද ධර්මයන්හි ධර්මයන් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, චුන්දය, මේ පූර්ව කෙළවර ඇසුරු කළාවූ දෘෂ්ටීන්ගේද අග කෙළවර ඇසුරු කළාවූ දෘෂ්ටීන්ගේද නැසීම පිණිස ඉක්මවීම පිණිස මෙසේ මා විසින් මේ සතර සතිපට්ඨානයෝ දෙශනාකරණ ලද්දාහුය. පණවන ලද්දාහුය.

ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් උපවාණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ වේ. එකල්හි ආයුෂ්මත් උපවාණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමීන් වහන්ස, මේ ධර්මදෙශනා ක්‍රමය ආශ්චර්‍ය්‍ය වන්නේය. ස්වාමීන්වහන්ස, ඉතා පුදුම වන්නේය. ස්වාමීන් වහන්ස, මේ ධර්ම කොට්ඨාශය පැහැදීම ඇති කරන්නේය. ස්වාමීන් වහන්ස, මේ ධර්ම කොට්ඨාශය හොඳින් පැහැදීම ඇති කරන්නේය. ස්වාමීන්වහන්ස, මේ ධර්ම කොට්ඨාශය කවරනමක් ඇත්තේදැ”යි ඇසුවේය. “උපවාණය, එසේනම් මේ ධර්ම කොට්ඨාශය ‘පාසාදිකය’යි කියාම දරාගණුවයි වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළාහුය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් උපවාණ ස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශෙෂයෙන් සතුටු වූයේයි.

විසිනව වැනිවූ පාසාදික සූත්‍රය නිමි.