මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

1. දේවදහ වර්ගය

102. පඤ්ඤත්තය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවන ලද, ජෙතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ අනාගතය කල්පනා කරන්නා වූ අනාගතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණන් ඇත්තාහ. (ඔව්හු) අනාගතය අරභයා නොයෙක් ආකාර දෘෂ්ටි දෘෂ්ටි දක්වන්නාවූ වචන ප්‍රකාශ කෙරෙත්. සංඥාවෙන් යුක්තවූ මරණින් පසු නිත්‍යවූ ආත්මයක් ඇතැයි, මෙසේ සමහරු ප්‍රකාශ කරත්. මරණින් මත්තෙහි සංඥාවෙන් යුක්ත නොවූ මරණින් පසු නිත්‍යවූ ආත්මයක් ඇතැයි සමහරු ප්‍රකාශ කරත්. මරණින් පසු සංඥාවක් ඇත්තේද නොවූ, නැත්තේද නොවූ, මරණින් මතු නිත්‍යවූ ආත්මයක් ඇතැයි මෙසේ සමහරු කියත්. ඇත්තාවූ සත්වයාගේ මරණින් පසු සිඳීම, ගැසීම, නොහට ගැණීම, හෝ පණවත්. මේ ආත්මයෙහි නිවණ හෝ සමහරු ප්‍රකාශ කරත්. මෙසේ මරණින් මතු නිත්‍යව පවත්නා ආත්මය හෝ පණවත්. ඇත්තාවූ සත්වයාගේ මරණින් පසු සිඳීම, නැසීම, නො හට ගැණීම හෝ පණවත්. මේ ආත්මයෙහි නිවණ හෝ සමහරු ප්‍රකාශ කරත්. මෙසේ මේ කරුණු පසක්ව තුනක්වෙත්. තුනක්ව පසක් වෙත්. මේ පඤ්චත්තය පිළිබඳව සංක්ෂෙපයෙන් දැක්වීමයි.

“මහණෙනි, ඔවුන් අතුරෙහි යම් මේ මහණ බමුණු කෙනෙක් සංඥාවෙන් යුක්තවූ, මරණින් මතු නිත්‍යවූ, ආත්මය පණවත් ද? ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු රූප ඇත්තාවූ, නිත්‍යවූ, සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ, සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද, රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, නැත්තේත් නොවන්නාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ එක් සංඥාවක් ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ නොයෙක් සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ හීන සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් හෝ පණවත්, ඒ පින්වත් මහණ බමුණෝ අප්‍රමාණ සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්ත ආත්මයක් හෝ පණවත්. මේ කියනලද සංඥා සත ඉක්මවන්ට හැකිවූ සමහරු මේ විඤ්ඤානඤ්චායතනය හෝ අප්‍රමාණයයි කම්පා නො කළ හැකි යයි සමහරු කියත් මහණෙනි, ඒ මේ කාරණය තථාගතයන් වහන්සේ ඒ දෘෂ්ටීන්, දෘෂ්ටීන්ගේ හේතුන්, දෘෂ්ටින්ගේ අරමුණුත් දන්නාහ.

යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූ, මරණින් මතු නිත්‍යවූ, පින්වත් මහණ බමුණෝ රූප නැත්තාවූ, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද, අරූපි නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, රූප නැත්තේත් නොවන්නාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ එක් සංඥාවක් ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ නොයෙක් සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ හීන සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ අප්‍රමාණ සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. මේ රූප සහිත සංඥා අතුරෙන්ද, රූප නැති සංඥා අතුරෙන්ද, එකත්ත සංඥා අතුරෙන්ද නානත්ත සංඥා අතුරෙන්ද, යම් සංඥාවක් පිරිසිදුය, උතුම්ය, අග්‍රය, සියල්ලට වඩා උතුම් යයි කියනු ලැබේද, එය නාස්තිභාවප්‍රඥප්තිය අරමුණු කොට ඇති ආකිඤ්චඤ්ඤායතන සංඥාව අප්‍රමාණ වෙයි. කම්පා නො වේය යී සමහරු කියත්. එය ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයවූ නිවන ඇත්තේම ය. ඒ නිවන ඇත්තේය යි එසේ දැන ඒ සංස්කාරයන්ගේ නික්මීම දක්නා තථාගත තෙමේ ඒ සංස්කාරයන් ඉක්මීය.

“මහණෙනි, ඒ වාද අතුරෙන් යම් මේ මහණ බමුණ කෙනෙක් මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ, රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත් ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූ ද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්. මහණෙනි, ඒ වාද අතුරෙහි යම් ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්ද, සමහරු ඔවුන් බැහැර කෙරෙත්. ඊට හේතු කවරේද? සංඥාව රොගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි යම් මේ සංඥා රහිත බවක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතය යි ඔව්හු සිතත්. මහණෙනි, තථාගත තෙමේ ඒ අසඥ භවයත් දන්නේය.

“යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාව නැත්තාවූ ආත්මය, පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැති මරණින් මත්තෙහි නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, නැත්තේත් නොවන්නාවූද, මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘මම රූපයෙන් වෙන්ව වේදනාවෙන් වෙන්ව, සංඥාවෙන් වෙන්ව, සංස්කාරයන්ගෙන් වෙන්ව, විඤ්ඤාණයාගේ (ප්‍රතිසන්ධි වශයෙන්) ඊම හෝ යාම හෝ චුතවීම හෝ ඉපදීම හෝ වැඩීම හෝ නැගීම හෝ මහත්වීම හෝ පණවන්නෙමියි.’ මෙසේ කියන්නේද එසේ වීමට හේතු නැත්තේය. ඒ විඥානයද ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඖදාරිකය සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේ මය. මෙය ඇතැයි මෙසේ දැන එයින් මිදීම දක්නා තථාගත තෙම එය ඉක්ම වූයේ වෙයි.

“මහණෙනි, ඔවුන් අතරෙහි යම් මේ මහණ බමුණෝ සංඥා ඇත්තෙත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද මරණින් මතු නිත්‍යවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද, රූප නැත්තාවූද මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද, සංඥා ඇති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවූ රූප නැත්තේත් නොවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූද සංඥා නැත්තේත් නොවූද ආත්මය හෝ පණවත්. මහණෙනි, ඔවුන් අතරෙහි යම් ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැර යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැරකරත්. ඊට හේතු කවරේද? ‘සංඥාව රෝගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි, අසංඥාව මුළාවකි. යම් මේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවක්වේ නම් එය ශාන්තය, එය ප්‍රණීතයයි’ කියායි මහණෙනි, ඒ දෘෂ්ටියද තථාගත තෙම දන්නේය.

යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ නොම සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය පනවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාව ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූද, රූපය නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තේත් රූපය නැත්තේත් නොවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්.

“මහණෙනි, යම් කිසි මහණ බමුණු කෙණෙක් ඇසින් දැකීමය, කණින් ඇසීමය, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනීමය යන මෙයින් දතයුතුවූ (දොරටු පසෙහි සංඥාවගේ පැතීම් මාත්‍රයෙන්) ඖදාරික සංස්කාරයන්ගේ පැවැත්මෙන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ලැබීම පණවත්. මහණෙනි, ‘සමාපත්තියෙන් නැගිටීම වන හෙයින් විනාශයක්ම මේ ආයතනයාගේ ලැබීම පිණිස කියයි. මහණෙනි, මේ නෙවසංඤ්ඤානාසංඤ්ඤායතනයට පැමිණීම ඖදාරික සංස්කාරයන්ගේ පැවැත්මෙන් පැමිණිය යුතුයයි’ කියනු නොලැබේ. මහණෙනි, මෙය සංස්කාර විශෙෂයක් සහිත සමාපත්තියෙන් පැමිණිය යුතු ආයතනයයි කියනු ලැබේ. එයද ප්‍රත්‍යයෙන් උපදවන ලද්දකි. ඖදාරිකද වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. එය ඇතැයි, මෙසේ දැන ඔහුගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවන ලද්දේ වෙයි.

“මහණෙනි, ඒ වාදයන් අතර යම් ඒ මහණ බමුණෝ ඇත්තාවූ සත්වයාගේ උච්ඡෙදය, විනාසය, නොවීම පණවත්ද, මහණෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැර කරත්. යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, සමහරු බැහැර කරත්. යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැර කරත්. ඊට හෙතු කවරේද? ඒ සියළුම පින්වත් මහණ බමුණෝ ‘අනාගතයෙහි සැරිසරන්නාවූ මෙසේ පරලොව වන්නෙමු. මෙසේ පරලොව වන්නෙමුයි’ ඇලීමම කියන්නාහු වෙති. යම්සේ නම් වෙළඳාමට යන්නාවූ වෙළෙන්දාට ‘මෙයින් මට මෙය වන්නේය, මෙයින් මෙය එපරිද්දෙන්ම පරලොව මෙසේ වන්නෙමු. පරලොව මෙසේ වන්නෙමුයි,’ සිතන්නාවූ මේ පින්වත් මහණ බමුණෝ වෙළඳුන්ට බඳු උපමා ඇත්තාහුයයි වැටහෙත්. මහණෙනි, මෙයද තථාගත තෙමේ දන්නේය.

“යම් ඒ පින්වත් මහණ බමුණෝ ඇත්තාවූ සත්වයාගේ උච්ඡෙදය, විනාශය, හට නොගැණීම, පණවත්ද, ඔව්හු ත්‍රිවිධ භවයට භය වන්නාහු, ත්‍රිවිධ භවය පිළිකුල් කරන්නාහු ත්‍රිවිධ භවය අනුවම දුවත්. ත්‍රිවිධ භවය අනුව පෙරළෙත්. යම්සේ සුනඛයෙක් බලුදමින් බඳනා ලද්දේ, දැඩිවූ කණුවක හෝ හුලක හෝ බඳින ලද්දේ, එම වැලත් සමග හෝ හුලත් සමඟ හෝ දුවන්නේද, ගමන් කරන්නේද, එමෙන් එපරිද්දෙන්ම මේ පින්වත් මහණ බමුණෝ සත්වයාගේ පැවැත්මට භය ඇත්තාහු සත්වයාගේ පැවැත්මට පිළිකුල් කරන්නාහු සත්වයාගේ පැවැත්ම අනුවම දුවත්, අනුවම පෙරළෙත්. ඒ එයද ප්‍රත්‍යයෙන් කරණ ලද්දක් වේ. එහෙයින්ම ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. ඒ නිරොධය ඇතැයි මෙසේ දැන සංස්කාරයන් ගෙන් මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වෙයි.

“මහණෙනි, සත්වයන්ගේ අනාගතය කල්පනා කරන්නාවූ අනාගතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වෙත්ද, ඔව්හු අනාගතය අරබයා අනෙක ප්‍රකාරවූ දෘෂ්ටි දක්වන්නාවූ, වචන කියත්ද? ඒ සියල්ලෙන් මේ කරුණු පසම කියත්. එයින් එක්තරා කරුණක් හෝ කියත්.

“මහණෙනි, සත්වයන්ගේ අතීතය කල්පනා කරන්නාවූ අතීතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. ඔව්හු අතීතය අරබයා අනෙකප්‍රකාරවූ දෘෂ්ටි දක්වන්නාවූ වචන කියත්. ‘ආත්මයද, ලොකයද සදා කාලිකය මෙයම සත්‍යය, මෙයින් අන්‍ය කියුම් හිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය කියුම් හිස්යයි,’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද, සදාකාලිකද වේ. සදාකාලික නොවන්නේද වේ. මෙයම සත්‍යයයි. මෙයින් අන්‍ය කියුම් සිස්යයි,’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද, සදාකාලික වන්නේද නොවේ. සදාකාලික නොවන්නේද නොවේ. මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය හිස්යයි.’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද කෙළවරක් ඇත්තේය. මෙයම සත්‍යය, අන්‍යය සිස්යයි,’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද, කෙළවරක් නැත්තේය, මෙයම සත්‍යය අන්‍යය සිස්යයි.’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද කෙළවරක් ඇත්තේද නොවේ. කෙළවරක් නැත්තේද වේ, මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද කෙළවරක් ඇත්තේද නොවේ. කෙළවරක් නැත්තේද වේ. මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද නොයෙක් සංඥා ඇත්තේ වෙයි. මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත් ‘ආත්මයද ලොකයද නොයෙක් සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද හීන සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද අප්‍රමාණ සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද ඒකාන්ත සැප ඇත්තේ වේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද ඒකාන්ත දුක් ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද දුක සැප දෙකම ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලොකයද දුක් ඇත්තේත් නොවේ. සැප ඇත්තේත් නොවේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ඒකාන්තයෙන් ඔවුන්ට ආත්මයද, ලොකයද, ශාස්වතය, මෙයම සත්‍යය අනික සිස්ය යන ඇදහීමෙන් තොරව කැමැත්තෙන් තොරව ඇසීමෙන් තොරව ආකාර කල්පනා කිරීමෙන් තොරව සිතින් බැසගැනීමෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥාණය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඥාණ කොටස් මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම මේ පින්වත් මහණ බමුණන්ගේ දැඩි කොටගත් දෘෂ්ටියයි කියනු ලැබේ. ඒ මේ දැඩිව ගත් දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් කරණ ලද්දකි. එහෙයින් ඖදාරිකවේ.

සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඒ සංස්කාරයන්ගේ මිදීම දක්නා තථාගතතෙමේ එය ඉක්මවූයේවේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද සදාකාලික නොවේ. මෙයම සත්‍යය අනික හිස් යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේ යයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නා සුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද සදාකාලිකද වේ. සදාකාලික නොවන්නේද මෙයම සත්‍යය. අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයක් ඇත්තේමය මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුවෙත්ද ආත්මයද ලොකයද නොමසදාකාලික නොවන්නේද, සදාකාලික නොවන්නේද නොවේ. මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද කෙළවර ඇත්තේ වේ. මෙයම සත්‍යය. අනික හිස්යයි, ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණබමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ආත්මයද ලොකයද කෙළවර නැත්තේ වේ. මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණබමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ආත්මයද ලොකයද කෙළවර ඇත්තේද කෙළවර නැත්තේ දවේ. මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද නොමකෙළවර ඇත්තේද නොමකෙළවර නැත්තේද වේ. මෙයම සත්‍යය අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒමහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද එක් සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිමලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද නොයෙක් සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත් මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

‘මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද වෙත්ද ‘ආත්මයද ලොකයද හීන සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි, එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද අප්‍රමාණ සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද ඒකාන්ත සැප ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද ඒකාන්ත දුක් ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද සැප දුක් ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එයඉක්ම වූයේවේ.

“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලොකයද දුකද නැත්තේ සැපද නැත්තේ වේ. මෙයම සත්‍යය, අන්‍ය සිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ට ශ්‍රද්ධාවෙන් වෙන්ව, කැමැත්තෙන් වෙන්ව, ඇසීමෙන් වෙන්ව, ආකාර කල්පනාවෙන් වෙන්ව, සිතින් බැසගැනීමෙන් වෙන්ව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, ප්‍රත්‍යක්ෂයෙන්ම පිරිසිදුවූ නිර්මලවූ ඥානය නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ එහි යම් ඥාන කොට්ඨාශ මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දැඩිව ගත් දෘෂ්ටියයි කියනු ලැබේ. ඒ මේ දැඩිව ගත් දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් කරණ ලද්දකි. එහෙයින් ඖදාරිකවේ සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය. එය ඇතැයි මෙසේ දැන ඒ සංස්කාරයන්ගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

‘මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටින් දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ නොසිටීමෙන්ද, මේ ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරමි’ යන යමක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි, ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරයි ඔහුගේ ඒ ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවේ. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධවීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි.

“මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරෙයිද, අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද, මහණෙනි, එමෙන්ම ධ්‍යාන ප්‍රීතියගේ නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධවීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි.

“මහණෙනි, මේ පින්වත් මහණ තෙමේ හෝ බ්‍රාහ්මණ තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ නොපිහිටීමෙන් මේ ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරමියි, යන යමක්වේද, මෙය ශාන්තය. මෙය ප්‍රණීතයයි ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වේ. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි ඒ මේ ප්‍රීතිය ප්‍රත්‍යයෙන් උපදින ලද්දක්වේ. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරොධය ඇත්තේ යයි තථාගත තෙම දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියෙන් මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්ම වූයේ වේ.

“මහණෙනි, මේ ලොකයෙහි වනාහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ නොපිහිටීමෙන් ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිස (ලෞකික ආශා නැති) ප්‍රීතියට පැමිණ වාසය කරමි යන යමක්වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි නිරාමිෂවූ සැපයට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ නිරාමිෂ සැපය නිරුද්ධවේ. නිරාමිෂ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂවූ සැපය උපදියි.

“මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරෙයිද, අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද, මහණෙනි, එපරිද්දෙන්ම නිරාමිෂවූ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂවූ සැපය උපදියි. මහණෙනි, මේ පින්වත් මහණතෙමේ හෝ බමුණුතෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාමතෘෂ්ණාවන්ගේ පිහිටීම දුරලීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්ම වීමෙන් නිරාමිෂවූ සැපයට පැමිණ වාසය කරමි. යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, නිරාමිෂ සැපයට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ නිරාමිෂ සැපය නිරුද්ධවේ. නිරාමිෂ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂ සැපය උපදියි ඒ මේ සැපය ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේය. යන මේ කාරණය තථාගත තෙමේ දන්නේය.

“මෙසේ දැන ඒ දෘෂ්ටියෙන් මිදීම දන්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වෙයි.

“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ පිහිටීම නැති කිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරමි’ යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, උපෙක්ෂා වෙදනාවට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ උපෙක්ෂා වෙදනාව නිරුද්ධවේ. උපෙක්ෂා වෙදනාව නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධවීමෙන් උපෙක්ෂා වෙදනාව උපදියි.

“මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරේද අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද මහණෙනි, එපරිද්දෙන්ම උපෙක්ෂා වෙදනාව නිරුද්ධවීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් උපෙක්ෂා වෙදනාව උපදියි. මහණෙනි, මේ පින්වත් මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ පිහිටීම නැති කිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මීමෙන්ද, නිරාමිස සැපය ඉක්මීමෙන්ද උපෙක්ෂා වෙදනාවට පැමිණ වාසය කරමි’ යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, උපෙක්ෂා වෙදනාවට පැමිණ වාසය කරයි, ඔහුගේ ඒ උපෙක්ෂා වෙදනාව නිරුද්ධවේ. උපෙක්ෂා වෙදනාව නිරුද්ධවීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි. ඒ මේ උපෙක්ෂා වේදනාව ප්‍රත්‍යයෙන් උපදින ලද්දක්ය. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේමය යන මේ කාරණය තථාගත තෙමේ දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වෙයි.

“මහණෙනි, මේ ලොකයෙහි වනාහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ පිහිටීම නැතිකිරීමෙන්ද, ධ්‍යානය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වෙදනාව ඉක්මවීමෙන්ද, ‘මම සංසිඳුනෙමි. මම නිවුනෙමි. මම තෘෂ්ණාවෙන් අල්වා නොගත්තෙක් වෙමියි දකියි. මහණෙනි, මේ පින්වත් මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ පිහිටීම නැතිකිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාව ඉක්මවීමෙන්ද, ‘මම සංසිඳුනෙමි මම නිවුණෙමි. මම තෘෂ්ණාවෙන් අල්වා නොගත්තෙක් වෙමියි, දකියි. මේ ආයුෂ්මත් තෙමේ මෙය නිවණට උපකාරවූ ප්‍රතිපදාවකැයි කියයි. එතකුදු වුවත් මේ පින්වත් මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටිය හෝ දැඩිව අල්වාගනියි. අනාගතය අනුව ගියාවූ දෘෂ්ටිය දැඩිව අල්වා ගනියි. කාම සංයොජනයන් හෝ දැඩිව අල්වා ගනියි. ධ්‍යාන ප්‍රීතිය හෝ දැඩිව අල්වා ගනියි. නිරාමිස සැපය හෝ දැඩිව අල්වා ගනියි. උපෙක්ෂා වේදනාව හෝ දැඩිව අල්වා ගනියි. මේ ආයුෂ්මත් තෙමේ ‘මම සංසිඳුනෙමි. මම නිවුනෙමි. මම දැඩිකොට අල්වාගැනීමෙන් මිදුනෙමියි’ දකීද, එයද මේ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදාන යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරොධයෙක් ඇත්තේය යන මේ කාරණය තථාගත තෙමේ දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වෙයි.

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් මේ නිරුත්තරවූ ශාන්තවූ උතුම් පදය වනාහි මොනවට අවබොධ කරණලදී. යම් මේ සවැදෑරුම්වූ ස්පර්ශයන්ට හෙතුවූ චක්ෂුරාදි ආයතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, මිදීමද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන් කෙරෙන් මිදීමෙන් ලබන යම් අර්හත් ඵලයෙක් වේද, මහණෙනි, ඒ සවැදෑරුම් ස්පර්ශයන්ට හෙතුවූ චක්ෂුරාදි ආයතනයන්ගේ හටගැනීමද, විනාසයද, ආශ්වාදයද, ආදීනවයද, මිදීමද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන් කෙරෙන් මිදීමෙන් ලබන අර්හත්ඵලයවූ” මේ උත්තම ශාන්ති පදය තථාගතයන් වහන්සේ විසින් අවබොධ කරනලදී. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

දෙවැනිවූ පඤ්ඤත්තය සූත්‍රය නිමි. (1-2)