මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

1. දේවදහ වර්ගය

108. ගොපක මොග්ගල්ලාන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ වෙළුවනාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි වෙදෙහි පුත්‍රවූ මගධ රටට අධිපතිවූ අජාත ශතෘ නම් රජ තෙම පජ්ජොත රජගැන සැක කොට රජගහ නුවර ප්‍රතිසංස්කරණය කරවයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍රසිව්රු ගෙණ රජගහ නුවරට පිඩු පිණිස වැඩියේය. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට තවම රජගහ නුවර පිඩුපිණිස හැසිරීමට කල්වැඩිය. මම ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ කර්මාන්තය (වැඩපොල) යම් තැනෙක් හිද, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයා යම් තැනෙක් හිද, එතැනට යන්නෙම් නම් හොඳයයි අදහස්විය.

‘ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ වැඩපොල යම් තැනෙක්හිද, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙමේ එන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ මෙහි එත්වා, පින්වත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පැමිණීම යහපත්ය. පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ බොහෝ කලකින් මෙහි පැමිණියේය. පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ වැඩ හිඳිනු මැනව. මේ ආසනය පනවනලදැයි” කීය. ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම පනවන ද ආසනයෙහි වැඩ උන්නේය. ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙමේද, එක්තරා මිටි ආසනයක් ගෙණ එක් පසක උන්නේය. එක්පසක උන්නාවූ ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේගෙන් “ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්ත වූයේ අර්හත් සම්‍යක්සම්බුද්ධවූයේද, සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවක්වත් ඇත්තේ දැයි” ඇසීය.

“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවකුත් නැත්තේමය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන් මාර්ගය උපදවන්නෙකි. නොහටගත් මාර්ගය හටගන්වන්නෙකි.

නොකියනලද මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙක. මාර්ගයෙහි දක්ෂයෙක, පසුව ධර්මයෙන් යුක්තවූ මාර්ගයට අනුව ගමන් කරන්නාවූ ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙත්යයි” කීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේත් මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර පැවති මේ කථාව කොට නිමවන ලද්දී වේ”

“එකල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම රජගහ නුවර කර්මාන්තයන් පරීක්ෂාකර බලමින් යන්නේ, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ වැඩපොල යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්ද ස්ථවීරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවීරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට නිමවා එකත් පසක හුන්නේය. එකත් පසක හුන්නාවූ මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේගෙන් “භවත් ආනන්දස්ථවිරයන් වහන්ස, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? නුඹවහන්සේලා අතර කිනම් කථාවක් කොට නිම කරණ ලද්දීදැයි” ඇසීය.

“බ්‍රාහ්මණය, මෙහි මාගෙන් ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම ‘භවත් ආනන්දස්ථවිරයන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූ සේක්ද සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක් භික්ෂුවක්වත් ඇත්තේ දැයි ඇසීය.”

“බ්‍රාහ්මණය, මෙසේ කී කල්හි මම ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට මෙය කීවෙමි. “බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවකුත් නැත්තේමය, බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන්නාවූ මාර්ගය උපද වන්නෙකි. නොහට ගත්තාවූ මාර්ගය හටගන්වන්නෙකි. නොකියන ලද්දාවූ මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙක, මාර්ගයෙහි දක්ෂයෙකි. පසුව ධර්මයෙන් යුක්තවූ මාර්ගය අනුව ගමන් කරන්නාවූද, ශ්‍රාවකයෝ මෙකල්හි වාසය කෙරෙත්යයි,’ කීවෙමි. බ්‍රාහ්මණය අපත් ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර මේ කථාව කොට නිමවනලදී. එකල්හි ඔබ පැමිණියෙහියයි,” කීය.

“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට පිළිසරණ වන්නේයයි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබනලද දැන් නුඹවහන්සේලා අනුගමනය කරන්නාවූ එක් භික්ෂුවක්වත් ඇත්තේද?” ගෞතමයන් වහන්සේ විසින් තබනලද එබඳු එක භික්ෂූ නමකුත් ඇත්තේද?”

‘බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි, ඒ දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් තබන ලද්දාවූ, දැන් අප අනුගමනය කරන්නාවූ, එබඳුවූ එක භික්ෂුවකුත් නැත්තේ මැයි.”

“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංඝයා විසින් සම්මත කරණ ලද්දාවූ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් තබන ලද්දාවූ දැන් නුඹවහන්සේලා අනුව ගමන් කරන්නාවූ එක භික්ෂුවක්වත් ඇත්දැයි,” (ඇසූයේය,)

“බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ, ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි. සංඝයා විසින් සම්මත කරණ ලද්දාවූ බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබන ලද්දාවූ, දැන් අප යමකු අනුව ගමන් කරන්නාවූ එක භික්ෂූ නමකුත් නැත්තේමය.”

“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙසේ පිළිසරණක් නැති කල්හි සමගියට හේතු කවරේද?” “බ්‍රාහ්මණය අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. ධර්මය පිළිසරණකොට ඇත්තෝ වෙමුයි,” කීය.

“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි” ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබනලද දැන් නුඹ වහන්සේලා අනුව ගමන් කරන්නාවූ එක භික්ෂූවකුත් ඇත්තේදැයි, මෙසේ අසන ලද්දේම “බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් තබනලද දැන් අප අනුව යන්නාවූ එබඳුවූ එක භික්ෂූවකුත් නැතැයි” කීයෙහිය. ‘භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යයි, සංඝයා විසින් සම්මත කරණලද බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබනලද දැන් නුඹ වහන්සේලා අනුව යන එබඳු එක භික්ෂුවකුත් ඇත්තේදැයි’ මෙසේ අසන ලද්දේ ‘බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි, සංඝයා විසින් සම්මත කරණලද. බොහෝවූ ස්ථවිර භික්ෂුන් විසින් තබන ලද දැන් අප අනුගමනය කරණ එක භික්ෂුවකුත් නැතැයි’ කීයෙහිය. ‘භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙසේ පිළිසරණක් නැති කල්හි සමගියට හේතු කවරේදැයි,’ මෙසේ අසන ලද්දේ ‘බ්‍රාහ්මණය. අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. ධර්මය පිළිසරණ කොට ඇත්තෝ වෙමුයි.’ කීයෙහිය. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දතයුත්තේදැයි” ඇසීය.

“බ්‍රාහ්මණය, සර්වඥතාඥානයෙන් දන්නාවූ බුදු ඇසින් දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුන්ට පණවන ලද ශික්ෂාපද. උදෙසා දෙසනලද ප්‍රාතිමොක්ෂය ඇත්තේය. ඒ අපි එදවස්හිවූ පොහොයෙහි යම්තාක් භික්ෂුහු එක ගමක් ඇසුරුකොට වාසය කරමුද, ඒ සියල්ලෝ එක තැනකට රැස්වෙමු. රැස්ව යමෙකුට එය කට පාඩම් තිබේද, එය කීම සඳහා ඔහුට ආරාධනාකරමු. එය කියනු ලබන කල්හි භික්ෂුවක්හට ඇවතක් වේද, ශික්ෂාපද කඩකිරීමක් වේද, එය අපි ධර්මයවූ පරිද්දෙන් අනුශාසනාවවූ පරිද්දෙන් කරවමු. පින්වත්හු වනාහි එය නොකරවත්. ධර්මයම එය කරවායයි” කීය.

“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුඹවහන්සේලා මේ කාලයෙහි යම් භික්ෂුවකට සත්කාර කරන්නාහුද, ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නහුද, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරගෙන වාසය කරන්නහුද, එබඳු එක භික්ෂූවකුත් ඇත්තේද?”

“බ්‍රාහ්මණය, අපි මේ කාලයෙහි යමෙකුට සත්කාර කරමුද, ගෞරව කරමුද, බුහුමන් කරමුද, පුදමුද, සත්කාර කොට ගෞරව කොට, ඇසුරු කොටගෙණ වාසය කරමුද, එබඳු එක භික්ෂුවක් ඇත්තේය.”

“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබනලද මෙකල්හි නුඹ වහන්සේලා යමෙකු අනුව පිළිපදින්නාවූ එබඳු එක භික්ෂුවකුත් ඇත්තේදැයි’ මෙසේ අසන ලද්දේ ‘බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් තබනලද අපි මේ කාලයෙහි යම් භික්ෂුවක් අනුව පිළිපදින්නෙමුද, එබඳු එක භික්ෂුවකුත් නැත්තේයයි’ කීයෙහිය. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, ‘මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංඝයා විසින් සම්මත කරණලද බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබනලද මෙකල්හි නුඹවහන්සේලා යම් භික්ෂුවක් අනුව පිළිපදින්නාවූ එබඳු එක භික්ෂුවකුත් ඇත්තේදැයි’ මෙසේ අසන ලද්දේද, ‘බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංඝයා විසින් සම්මත කරණලද බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබනලද මෙකල්හි අපි යම් භික්ෂුවක් අනුව පිළිපදින්නෙමුද, එබඳු එක භික්ෂුවකුත් නැත්තේය’යි කීයෙහිය. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මේ කාලයෙහි නුඹ වහන්සේලා යමෙකුට සත්කාර කරන්නහුද, ගෞරව කරන්නහුද, බුහුමන් කරන්නහුද, පුදන්නහුද, සත්කාර කොට, ගෞරවකොට, ඇසුරුකොට ගෙණ වාසය කරන්නහුද, එබඳු එක භික්ෂුවකුත් ඇත්තේදැ’යි මෙසේ අසන ලද්දේද, ‘බ්‍රාහ්මණය, මේ කාලයෙහි අපි යමෙකුට සත්කාර කරමුද, ගෞරව කරමුද, බුහුමන් කරමුද, පුදමුද, සත්කාර කොට, ගෞරවකොට, ඇසුරුකොටගෙණ, වාසය කරමුද, එබඳු එක භික්ෂුවක් ඇත්තේයයි, කීයෙහිය.’ භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දතයුත්තේදැයි” ඇසීය.

“බ්‍රාහ්මණය, සර්වඥතාඥානයෙන් දන්නාවූ බුදු ඇසින් දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණලද පැහැදිය යුතු ධර්ම දසයක් ඇත්තේය. යමෙකු කෙරෙහි මේ ධර්මයෝ ඇත්තාහුද ඔහුට අපි මේ කාලයෙහි සත්කාර කරමු. ගෞරව කරමු. බුහුමන් කරමු. පුදමු. සත්කාර කොට, ගෞරව කොට, ඔහු ඇසුරු කොට ගෙණ වාසය කරමු. කවර දසයක්දයත්?

“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව සුළු වරදෙහිද බය දක්නෙක්ව ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද, බොහෝකොට අසන ලද්දෙක් ඇසූ දේ දරන්නෙක්, අසනලද දේ රැස්කර ගන්නෙක් වෙයිද, මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහුද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනවට අවබොධ කරන ලද්දාහු වෙත්ද,

“චීවරය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටුවූයේ වෙයිද, විශෙෂයෙන් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන් කැමැති පරිදි ලබන්නේ දුක් රහිතව ලබන්නේ පහසුවෙන් ලබන්නේ වේද,

“අනෙක ප්‍රකාරවූ ඍද්ධි දක්වන්නේ වෙයිද, එකෙක්ද වී, බොහෝදෙනෙක් වෙත්. බොහෝදෙනෙක් වී එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහවීමට, බිත්තියෙන් පිටතට, ප්‍රාකාරයෙන් පිටතට, පර්වතයෙන් පිටතට, නොගැටෙමින් අහසෙහි මෙන් ගමන් කරයි. පොළොවෙහිද මතුවීම ගිලීම දියෙහි මෙන් කරයි දියෙහිද දිය බිඳීමක් නැතිව පොළොවෙහි මෙන් ගමන් කරයි. අහසෙහිද පියාපත් ඇති පක්ෂියකු මෙන් පර්‍ය්‍යංක බැඳ ගමන් කරයි. මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ද අතින් අල්වයි, පිරිමදියි, බ්‍රහ්ම ලොකය දක්වාද කයින් වසඟයෙහි පවත්වයිද,

‘පිරිසිදුවූ මිනිසැ‘ස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ශ්‍රොත්‍ර ඥානයෙන් දිව්‍යවූද, මනුෂ්‍යවූද, දුරවූද, ලඟවූද, යම් ශබ්ද ඇත්ද, ඒ ශබ්ද දෙකොටස අසයිද,

“අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනියි. රාග සහිතවූ හෝ සිත රාග සහිතවූ සිතයයි දැනගනියි. පහවූ රාගය ඇති සිත හෝ පහවූ රාගය ඇති සිතයයි දැනගනියි. ද්වෙෂ සහිතවූ සිත හෝ ද්වෙෂ සහිතවූ සිතයයි දැනගනියි. පහවූ ද්වෙෂ ඇති සිත හෝ පහවූ ද්වෙෂ ඇති සිතයයි දැනගනියි. මොහ සහිතවූ සිත හෝ මොහ සහිතවූ සිතයයි දැනගනියි. පහවූ මොහය ඇති සිත හෝ පහවූ මොහය ඇති සිතයයි දැනගනියි. හැකුළුණාවූ සිත හෝ හැකුළුණු සිතයයි දැනගනියි. විසිර ගියාවූ සිත හෝ විසිර ගියාවූ සිතයයි දැනගනියි. මහද්ගතවූ සිත හෝ මහද්ගත සිතයයි දැනගනියි. මහද්ගත නොවූ සිත හෝ මහද්ගත නොවූ සිතයයි දැනගනියි. උත්තර සහිතවූ සිත හෝ උත්තර සහිත සිතයයි දැනගනියි. නිරුත්තරවූ සිත හෝ නිරුත්තර සිතයයි දැනගනියි. එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැනගනියි එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැනගනියි. මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැනගනියි. නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැනගනියිද,

“නොයෙක් ආකාරවූ පෙරවිසූ ස්කන්ධ පිළිවෙළ සිහි කරයි. කෙසේදයත්? එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසුවල් තැන්හි මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාරය ඇත්තෙක් මෙබඳු සුව දුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසුවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාරය ඇත්තෙක් මෙබඳු සුව දුක් විඳින්නෙක් මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි මෙසේ ආකාර සහිතවූ කොටස් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසීම් සිහි කරයිද,

“පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැනගනියිද,

“ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියටද අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයිද,

“බ්‍රාහ්මණය, සර්වඥතාඥානයෙන් දන්නාවූ බුදු ඇසින් දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ මේ පැහැදිය යුතු ධර්ම දසය වෙත්. යමෙකු කෙරෙහි මේ ධර්ම දසය ඇත්තාහුද, මේ කාලයෙහි අපි ඔහුට සත්කාර කරමු. ගෞරව කරමු. බුහුමන් කරමු පුදමු. සත්කාරකොට, ගෞරවකොට, ඔහු ඇසුරු කොට

ගෙණ වාසය කරමුයි කීය.”

මෙසේ කී කල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙමේ උපනන්ද නම් සේනාපතියාට කථාකෙළේය. “සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඉදින් මේ පින්වත්හු මෙසේ සත්කාර කළයුත්තෙකුට සත්කාර කරද්ද? ගෞරව කළයුත්තාට ගෞරව කරද්ද? බුහුමන් කළ යුත්තාට බුහුමන් කරද්ද? පිදිය යුත්තාට පුදත්ද? ඒකාන්තයෙන් මේ පින්වත්හු, සත්කාර කළයුත්තාට සත්කාර කෙරෙත්. ගෞරව කළයුත්තාට ගෞරව කෙරෙත්. බුහුමන් කළ යුත්තාට බුහුමන් කෙරෙත්. පිදිය යුත්තාට පුදත්. ඒ පින්වත්හු වනාහි මෙකී තැනැත්තාටද සත්කාර නොකරන්නාහු නම්, ගෞරව නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් එසේ ඇති කල්හි කවරෙකුට ඒ පින්වත්හු සත්කාර කරන්නාහුද? ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නාහුද, සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොටගෙණ වාසය කරන්නහුදැයි” (උපනන්ද සෙනාපති තෙමේ කීය.)

“ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ කාලයෙහි කොහි වාසය කරත්දැයි” ඇසීය.

“බ්‍රාහ්මණය, මම වනාහි මෙකල්හි වෙළුවනාරාමයෙහි වාසය කරමියි” (කීයේය.) “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද? වෙළුවනාරාමය සිත් අලවන්නේද? ස්වල්ප ශබ්ද ඇත්තේද? මඳවූ ඝොෂා ඇත්තේද? ජනවාතයෙන් තොරවූයේද? මිනිසුන්ගේ රහස් කුමන්ත්‍රණවලට සුදුසුද, තනිව විසීමට සුදුසුදැයි” (ඇසීය.)

“බ්‍රාහ්මණය, තොප වැනි ආරක්ෂකයන් පාලකයන් නිසා ඒකාන්තයෙන් වෙළුවනාරාමය සිත් අලවන්නේද, නිශ්ශබ්ද වූයේද, මඳවූ ඝොෂා ඇත්තේද, මිනිසුන්ගේ රහස් කීම සුදුසු වූයේද, තනිව වාසයට සුදුසු වූයේද වෙයි.”

“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, ධ්‍යාන වඩන ස්වභාව ඇති ධ්‍යාන වඩන්නාවූ පින්වතුන් වහන්සේලා නිසා ඒකාන්තයෙන් වෙළුවනාරාමය සිත් අලවන්නේද, නිශ්ශබ්ද වූයේද, මඳ ඝොෂා ඇත්තේද, පහවූ ජනවාතය ඇත්තේද, මිනිසුන්ගේ රහස් කීමට සුදුසු වූයේද, තනිව වාසයට සුදුසු වූයේද වෙයි. පින්වත්හු ධ්‍යාන ඇත්තාහු, ධ්‍යාන වඩනසුළු වූවාහු වෙත්. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, එක් කලෙක ඒ භවත් ගෞතමයන් වහන්සේ විසාලාමහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසනසේක. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, එකල්හි මම මහාවනයෙහි කූටාගාර ශාලාව යම්තැනකද ඒ භවත් ගෞතමයන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෙමි. එහිද ඒ භවත් ගෞතමයන්වහන්සේ නොයෙක් ආකාරයෙන් ධ්‍යානය පිළිබඳ කථාව වදාළහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ සියලුම ධ්‍යානය වර්ණනා කළසේකැයි” (කීයේය)

“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්ණනා නොකළහ. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්ණනා නොකෙළේද නොවේ. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳුවූ ධ්‍යානයක් වර්ණනා නොකෙළේද? බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැමෙක් කාම රාගය පැන නැඟී, කාම රාගයෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූ කාම රාගයාගේ දුරු කිරීමද, තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම කාම රාගයම ඇතුළුකොට ධ්‍යාන කරයි (අරමුණු බලයි.) ප්‍රකාරයෙන් බලයෙන් නිතර බලයි. නැවත නැවත බලයි. ව්‍යාපාද පැනනැඟී ව්‍යාපාදයෙන් මඩනා ලද සිතින් වාසය කරයි. උපන්නාවූද ව්‍යාපාදයෙන් දුරුකිරීමද, තත්වූ පරිද්දෙන් දැන නොගනියි. හෙතෙම ව්‍යාපාදයම ඇතුළුකොට අරමුණු බලයි, ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි. නැවත නැවත බලයි. ථීනමිද්ධය පැන නැඟී ථීනමිද්ධයෙන් මඩනාලද සිතින් වාසයකරයි. උපන්නාවූද ථීනමිද්ධයාගේ දුරු කිරීමද තත්වූ පරිද්දෙන් දැන නොගනියි. හෙතෙම ථීනමිද්ධයම අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි, අතර කොට බලයි. නිතර බලයි, නැවත නැවත බලයි. උද්ධච්චකුක්කුච්චය පැනැනැගී උද්ධච්චකුක්කුච්චයෙන් මඩනාලද සිතින් වාසය කරයි. උපන්නාවූද උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීමද තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම උද්ධච්චකුක්කුච්චයම ඇතුළු කොට අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි, නැවත නැවත බලයි. විචිකිච්ඡාව පැනනැගී විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් වාසය කරයි. උපන්නාවූ විචිකිච්ඡාවගේ දුරු කිරීමද තත්වූ පරිද්දෙන් නොදනියි හෙතෙම විචිකිච්ඡාවම ඇතුළු කොට අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි. නැවත නැවත බලයි. බ්‍රහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ ධ්‍යාන වර්ණනා නොකෙළේය.

“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳුවූ ධ්‍යානයක් වර්ණනා කෙළේද? බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි භික්ෂු තෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන් ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේද, සිහි ඇත්තේද, නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද කයින් විඳියි. ඒ යම් ධ්‍යානයක් ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි වර්ණනා කරත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරුකිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුබැව් ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ ධ්‍යානය වර්ණනා කළ සේකැයි” (කීයේය).

“භවත් ආනන්දස්ථවිරයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ ගැරහිය යුතුවූ ධ්‍යානයට ගැරහූ සේක. පැසසිය යුතු ධ්‍යානයට පැසසූ සේක. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩපල ඇත්තෝ බොහෝ කටයුතු ඇත්තෝ වෙමුයි” “බ්‍රාහ්මණය, නුඹ ඊට කල් දනුවයි.” (කීයේය.)

ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේගේ කීම සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට ගියේය.

ඉක්බිති ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණ තෙම මගධමහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණයා ගිය නොබෝ කල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “අපි භවත් ආනන්දස්ථවිරයන් වහන්සේගෙන් යමක් ඇසූවෙමුද, එය අපට භවත් ආනන්දස්ථවිරයන් වහන්සේ ප්‍රකාශ නොකෙළේයයි” කීය.

“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූවා හුද, ඒ ධර්මවලින් සියලු ආකාරයෙන් යුක්තවූ, එක භික්ෂුවකුත් නැත්තේය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන් මාර්ගය උපදවන්නෙකි. නොහටගත් මාර්ගය හටගන්වන්නෙකි. නොකියන ලද මාර්ගය කියන්නෙකි, මාර්ගය දන්නේය. මාර්ගයෙහි දක්ෂයෙකි. මෙකල වාසය කරන්නාවූ ශ්‍රාවකයෝ පසුව ඒ ධර්මයන්ගෙන් යුක්තවූ මාර්ගය අනුව ගමන් කරන්නෝ වෙත්යයි බ්‍රාහ්මණ, තොපට කීවමෝ නොවෙමුද?”

අටවෙනිවූ ගොපක මොග්ගල්ලාන සූත්‍රය නිමි. (1-8)