මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
2. අනුපද වර්ගය
118. ආනාපාන සති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ පූර්වාරාමයේ “මිගාර මාතු” නම් ලත් ප්‍රාසාදයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන් සමග වැඩ වෙසෙති. (එනම්,) ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා මෞත්ගල්යායන ස්ථවිරයන්, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් රෙවතස්ථවිරයන්ද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ද, අනිකුත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන්ද, සමගය. එකල්හි වනාහි ස්ථවිර භික්ෂුහු අළුත මහණවූ භික්ෂූන්ට අවවාද කරති. අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් දස නමකටද, අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් විසි නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂුහු, භික්ෂූන් තිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් හතලිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ස්ථවිර භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ ඒ අළුත මහණවූ භික්ෂුහුද සිල් පිරීම් ආදි පළමු විශෙෂයන්ට වඩා මහත්වූ කසිණ භාවනාදී විශෙෂයෙන් දැනගනිති.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදා පිරුනු සඳ ඇති පවාරණය කරන පසළොස්වක් පෝයදා රෑ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එළිමහන් තන්හි වැඩ සිටි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භූතව තුෂ්ණීම්භූතව (හුන්) භික්ෂු සංඝයා බලා ඔවුන්ට කථා කළහ. “මහණෙනි, මේ ප්‍රතිපත්තියෙහි සතුටු වූයේ වෙමි. මහණෙනි, මේ ප්‍රතිපත්තියෙහි සතුටු සිතැත්තේ වෙමි. මහණෙනි, එබැවින් නොපැමිණි මාර්ග ඵලයට පැමිණීම පිණිස අවබෝධ නොකළ ධර්මයාගේ අවබෝධය පිණිස ප්‍රත්‍යක්ෂ නොකළ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍ය කරව්. මම මේ සැවැත් නුවරම කුමුදු පිපෙන්නාවූ වස් සාරමාසයේ අන්තිම මාසය වන ඉල් මාසය දක්වා නවතින්නෙමි.” භාග්‍යවතුන් වහන්සේ වනාහී ඒ සැවැත් නුවරම වස් සාරමාසයේ අන්තිම මාසයවූ කුමුදු පිපෙන්නාවූ ඉල් මාසය දක්වා වැඩසිටින සේකැයි ජනපදවාසී භික්ෂූහු ඇසුවාහුය. ඒ ජනපදවාසී භික්ෂූහුද බුදුන් දකින්නට සැවැත් නුවරට රැස්වෙති. ඒ ස්ථවිර භික්ෂූහුද අළුත් භික්ෂූන්ට වැඩියත් අවවාද කරත්. අනුශාසනා කරත්. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂුන් දස නමකටද අවවාද කරත්, අනුශාසනා කරත්. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් විසි නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් තිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් හතලිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ස්ථවිර භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නාවූ, අනුශාසනා කරනු ලබන්නාවූ ඒ අළුත් භික්ෂූහුද සිල්පිරීම් ආදී පළමු විශෙෂයන්ට වඩා කසිණ භාවනාදී විශෙෂයන් දැනගනිති.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ කුමුදු ඇත්තාවූ වස් සාරමාසයේ අන්තිම මාසයවූ පිරුණු සඳ ඇති ඉල්මස පසළොස්වක්දා රෑ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එළිමහන් තන්හි වැඩ සිටි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූතව තුෂ්ණීම්භූතව (හුන්) භික්ෂු සංඝයා බලා, ඔවුන්ට කථා කළහ. “මහණෙනි, මේ පිරිස කථා නැත්තේය. මහණෙනි, මේ පිරිස දෙඩුම් නැත්තේය. පිරිසිදුය, සාරයෙහි පිහිටියාය. මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, යම්බඳු පිරිසක් පූජා ලැබීමට, ආගන්තුක සත්කාර ලැබීමට දානය ලැබීමට, වැඳුම් ලැබීමට, සුදුසු වේද ලෝකයාගේ අති උතුම් පිංකෙත වේද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වාභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. යම්බඳු පිරිසකට ස්වල්පයක් දුන්නේ බොහෝ (විපාක ඇත්තේ) වේද? බොහෝ දුන්නේ ඉතා බොහෝ (විපාක ඇත්තේ) වේද? මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය.
“මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. යම්බඳු පිරිසක් ලෝකවාසීන්ට දැකීමට දුර්ලභවේද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වරූප ඇත්තේය. යමබඳු පිරිසක් දැකීම සඳහා සේනාව බත් බැඳගන යොදුන් ගණනක් යාමට සුදුසුද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය.
මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතරෙහි (රාගාදී) ආශ්‍රව ක්ෂය කළාවූ වැස නිමකළ බ්‍රහ්මචරියාව ඇත්තාවූ, කළයුතු දේ කළාවූ, බහා තැබූ (කෙලෙස්) බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ භව බැඳුම් සිඳදැමූ, මනාකොට දත්තාවූ, (කෙලෙස් වලින්) මිදුනාවූ රහතන් වහන්සේලාද සිටිති. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂූ සංඝයා අතරෙහි සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතරෙහි පස්වැදෑරුම් ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් (සුද්ධාවාසයෙහි) ඔපපාතිකව ඉපිද එහිම පිරිනිවන් පාන්නාවූ ඒ ලෝකයෙන් (නැවත) මේ ලෝකයට උප්පත්ති වශයෙන් නොඑන්නාවූ අනාගාමීහුද සිටිති. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහු භික්ෂූද මේ භික්ෂු සංඝයා අතරෙහි සිටිති.
“මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සංයෝජන තුනක් නැති කිරීමෙන් රාගය, ද්වෙෂය සහ මෝහය තුනීවූ බැවින් එක් වරක්ම මේ ලෝකයට (උප්පත්ති වශයෙන්) අවුත් දුක් කෙළවරකරන සකෘදාගාමි පුද්ගලයෝද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂූ සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූහු සංඝයා අතර සංයෝජන තුනක් නැති කිරීමෙන් නිරයට නොයන ස්වභාව ඇත්තාවූ, ඒකාන්තයෙන් නිවන් දකින්නාවූ, සෝවාන් වූවාහුද සිටිති,
“මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂූ සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූ සංඝයා අතර සතර සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ, භික්ෂූහුද මේ භික්ෂූ සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූන් අතර සතර සම්‍යක් ප්‍රධාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත. මහණෙනි, භික්ෂූන් අතර මෙබඳු භික්ෂූහුද වෙති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සතර ඍද්ධිපාද භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර පංචේන්ද්‍රිය භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂුහුද වෙති. මහණෙනි, මෙබඳුවූ භික්ෂු සංඝයාද මේ භික්ෂූන් අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර පංච බල භාවනාවෙහි යෙදී වසන්නාවූ භික්ෂූහුද ඇත. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහුද මේ භික්ෂූ සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සප්ත බෝධ්‍යංග භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහුය. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද වෙති. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර මෛත්‍රී භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහ. මහණෙනි, මේ භික්ෂූන් අතර මෙබඳු භික්ෂුහුද වෙති. මහණෙනි, මේ භික්ෂුන් අතර කරුණා භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මේ භික්ෂුන් අතර මෙබඳුවූ භික්ෂුහුද සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර මුදිත භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූ සංඝයා අතර උපෙක්ෂා භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර අසුභ භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර මෙබඳුවූ භික්ෂුහුද සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර අනිත්‍ය සංඥා භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර ආනාපාන සති භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත්තාහ.
“මහණෙනි, වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ ආනාපාන සතිය සතර සතිපට්ඨානය සම්පූර්ණ කරයි. වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ සප්ත බෝද්ධ්‍යංගයන් සම්පූර්ණ කරති. වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ සප්ත බෝධ්‍යංගයෝ විජ්ජා විමුත්තිය සම්පූර්ණ කරති.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදු කරන ලද්දාවූ, ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස වේද? මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ, රුක් මුලකට ගියාවූ හෝ, විවේක ස්ථානයකට ගියාවූ හෝ, මහණතෙම පර්‍ය්‍යංක බැඳ (අරමිණිය ගොතා), කය කෙලින් තබා, සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳිනේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනියි. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දන්නේය. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දන්නේය, කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දන්නේය. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දන්නේය. හුස්ම ගැනීමේ මුල මැද අග යන සියල්ල දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හුස්ම පිටකිරීමේ මුල මැද අග යන සියල්ල දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. ප්‍රීතිය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. සැපය දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සැපය දැනගනිමින් හුසුම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. චිත්තසංස්කාරය (වේදනා සංඥාවන්) දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. චිත්ත සංස්කාරය (වෙදනා සංඥා) විශෙෂයෙන් දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. චිත්ත සංස්කාරය (වේදනා සංඥා) සංසිදුවන්නේ හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. චිත්ත සංස්කාරය සංසිදුවන්නේ හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. සිත දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හිත දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. සිත සතුටු කරමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සිත සතුටු කරමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. සිත මනාකොට එකඟ කරමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හිත මනාකොට එකඟ කරමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. සිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. අනිත්‍යය නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. අනිත්‍යය නැවත නැවත දකිමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. නොඇලීම (විරාගය) නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. නොඇලීම (විරාගය) නැවත නැවත දකිමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. නිරොධය නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. නිරොධය නැවත නැවත දකිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. අත්හැර දැමීම (පටිනිස්සග්ගය) නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. අත්හැරදැමීම (පටිනිස්සග්ගය) නැවත නැවත දකිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ ආනාපාන සතිය වනාහි මහත්ඵල ඇත්තී මහානිසංස ඇත්තී වෙයි.
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදු කරන ලද්දාවූ, ආනාපාන සතිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරේද? මහණෙනි, යම් කලක මහණතෙම දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දනීද, දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දනීද, කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දනීද, කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිට කරන්නෙමියි දනීද, සියලු ආශ්වාස ප්‍රශ්වාසකය දන්නේ හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, ආශ්වාස ප්‍රශ්වාසයන් තුනී කරමින් හුස්ම ගන්නෙමියි
හික්මෙයිද, ආශ්වාස ප්‍රශ්වාසයන් තුනී කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල කය අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ විමසන නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම පඤ්චස්කන්ධය නමැති ලොකයෙහි ලොභය හා ද්වෙෂය දුරුකොට වාසය කරයි.
“මහණෙනි, ‘මම මේ ආශ්වාස ප්‍රශ්වාස කාය කොට්ඨාසයන් අතුරෙන් එක්තරා කාය කොට්ඨාසයකැයි කියමි.’ මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ නුවණින් යුක්තවූ සිහියෙන් යුක්තවූ මහණ තෙමේ කයෙහි කය අනුව බලමින් පඤ්චස්කන්ධ ලොකයෙහි ලොභය හා ද්වෙෂය දුරුකොට වාසය කරයි.
“මහණෙනි, යම් කලක මහණතෙම ප්‍රීතිය දැන ගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, ප්‍රීතිය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, සැපය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, සැපය දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, චිත්තසංස්කාරය දැන ගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය සංසිඳුවමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය සංසිඳුවමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙන්නේද, මහණෙනි, එකල වේදනාවන්හි වේදනාව අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම් පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි.
“මහණෙනි, යම් ආශ්වාස ප්‍රශ්වාසයන් මනාකොට මෙනෙහි කිරීමක් වෙයිද, මම එය වෙදනාවන් අතුරෙන් එක්තරා වෙදනාවකැයි කියමි. මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි කෙළෙස් තවන උත්සාහ ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ පඤ්චස්කන්ධ ලෝකයෙහි ලොභය සහ දොසය දුරුකොට වාසය කරයි. මහණෙනි, යම් කලක මහණ තෙම සිත දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, සිත දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත සතුටු කරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත සතුටු කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත මනාකොට එකඟකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත මනාකොට එකඟ කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල සිතෙහි සිත අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි. මහණෙනි, මම සිහි මුලාවූ නුවණ නැත්තාහට ආනාපාන සති භාවනාව නොකියමි.
“මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණ තෙම එකල්හි සිතෙහි සිත අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දෝසය දුරුකොට වාසය කරයි.
‘මහණෙනි, යම් කලක මහණතෙම අනිත්‍යය නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, අනිත්‍යය නැවත නැවත කියමින් හුස්ම පිට කෙරෙමියි හික්මෙයිද, නොඇලීම (විරාගය) නැවත නැවත කියමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, නොඇලීම (විරාගය) නැවත නැවත දකිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, නැතිවීම (නිරෝධය) නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, නැතිවීම (නිරෝධය) නැවත නැවත දකිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද අත්හැර දැමීම (පටි නිස්සග්ගය) නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, අත්හැර දැමීම (පටිනිස්සග්ගය) නැවත නැවත දක්නේ හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල ධර්මයන්හි ධර්මය අනුව බලන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ, මහණ තෙම පඤ්චස්කන්ධ ලොකයෙහි ලෝභය සහ දෝසය දුරු කොට වාසය කරයි හෙතෙම ලෝභ දොසයන්ගේ යම් ඒ පහකිරීමක් වේද, එය නුවණින් දැක මනාකොට මධ්‍යස්ථවේ. මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි ධර්මයන්හි ධර්මය අනුව දකිමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ පුරුදු කරන ලද්දාවූ ආනාපානසතිය වානාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරයි.
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ පුරුදු කරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද? මහණෙනි, යම් කලක මහණ තෙම කයෙහි කය අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලොකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසයකරයි. එකල ඔහුට මුළා නොවූ එළඹසිටි සිහිය ඇත්තේවෙයි. මහණෙනිත යම් කලක මහණහට මුළා නොවූ එළඹසිටි සිහිය ඇත්තේ වෙයිදත එකල්හි භික්ෂුව විසින් සතිසම්බොඣංගය පටන්ගන්නා ලද්දේවේ. එකල්හි භික්ෂුතෙමේ සතිසම්බොජ්ඣංගය වඩයි. එකල්හි භික්ෂුවගේ සතිසම්බොජ්ඣංගය සම්පූර්ණ වීමට පැමිණෙයි. එසේ සිහියෙන් යුක්තව කරන්නාවූ හෙතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්ෂාකරයි. විමසීමට පැමිණෙයි.
“මහණෙනි, යම් කලක එසේ සිහියෙන් වාසය කරන්නාවූ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයිද, පරීක්ෂා කරයිදත විමසීමට පැමිණෙයිද, එකල්හි භික්ෂුව විසින් ධම්ම විචය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේවේ. එකල මහණතෙම ධම්ම විචය සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ ධම්ම විචය සම්බොජ්ඣංගය භාවනාව සම්පූර්ණබවට පැමිණෙයි ඒ ධර්මය නුවණින් සොයන්නාවූ පරීක්ෂාකරන්නාවූ විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහුගේ නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේවෙයි. එකල භික්ෂුව විසින් වීරිය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේවෙයි. එකල්හි මහණ තෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ විරිය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පටන්ගන්නාලද විරිය ඇත්තාහට ආමිස රහිතවූ ප්‍රීතිය උපදවයි.
“මහණෙනිත යම් කලක පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාවූ මහණහට නිරාමිසප්‍රීතිය උපදියිද, එකල්හි මහණහු විසින් පීති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම පීතිසම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ ප්‍රීතිසම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ප්‍රීති සිත ඇත්තාහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.
“මහණෙනි, යම් කලක ප්‍රීති සිත් ඇති මහණහුගේ කය සංසිඳෙයිද, සිත සංසිඳෙයිද, එකල්හි මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම පස්සද්ධිබොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ පස්සද්ධිබොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කයහුගේ සිත එකඟවේ.
“මහණෙනි, යම් කලක සංසිඳුනුවූ කය ඇති මහණහුගේ සිත එකඟ වේද, එකල මහණහු විසින් සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණ තෙම සමාධි සම්බොජඣංගය වඩයි. එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ එකඟවූ සිත් ඇත්තාවූ ඒ මහණතෙම එකල මධ්‍යස්ථ වූයේ වෙයි.
“මහණෙනි, යම් කලක එසේ එකඟවූ සිත් ඇති මහණතෙම මනාකොට මධ්‍යස්ථ වූයේ වේද, එකල මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.
මහණෙනි, යම් කලක මහණතෙම වේදනාවෙන්හි වේදනාවන් අනුව බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලොභය සහ දොසය දුරුකොට වාසය කරයි, එකල්හි ඒ මහණහට නොමුළා සිහිය එළඹසිටියේ වෙයි. මහණෙනි, යම් කලක මහණහට නොමුළා සිහිය එළඹසිටියේ වේද, එකල මහණහු විසින් සතිසම්බොජඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සතිසම්බොජඣංගය වඩයි. එකල මහණහුගේ සතිසම්බොජ්ඣ භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි, එසේ සිහියෙන් වාසය කරන්නාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්ෂා කරයි. විමසීමට පැමිණෙයි.
“මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ඒ ධර්මය සොයයිද, පරීක්ෂා කරයිද විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූත පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහු විසින් නොපසුබස්නා, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වේද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලක පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පීතිසම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පීතිසම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පීතිසම්බොජඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.
“මහණෙනි, එකල මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණ තෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ. මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහු විසින් සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඔහු විසින් එසේ එකඟවූ සිත මනාකොට මද්ධ්‍යස්ථ කරන ලද්දේ වෙයි. එකල මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.
“මහණෙනි, යම් කලක මහණතෙම සිතෙහි සිත අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි, එකල්හි ඒ මහණහට නොමුළා සිහිය එළඹ සිටියේ වෙයි. මහණෙනි, යම් කලක මහණහට නොමුළා සිහිය එළඹසිටියේ වේද, එකල මහණහු විසින් සති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණ තෙම සති සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සති සම්බොජ්ඣ භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි පරීක්ෂා කරයි. විමසීමට පැමිණෙයි.
“මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ඒ ධර්මය සොයයිද, පරීක්ෂා කරයිද, විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි ධම්ම විචය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහු විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වේද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණ තෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලක පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පීති සම්බොජඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පීති සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.
“මහණෙනි, එකල මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණ තෙම පස්සද්ධි සම්බොජඣංගය වඩයි. එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ, මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහු විසින් සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඔහු විසින් එසේ එකඟවූ සිත මනාකොට මධ්‍යස්ථ කරන ලද්දේ වෙයි. එකල මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.
“ධර්මයන්හි ධර්මය අනුව බලන්නේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලොකයෙහි ලොභය සහ දොසය දුරුකොට වාසය කරයිද, එකල්හි ඒ මහණහට නොමුළාවූ සිහිය එළඹ සිටියේ වෙයි. මහණෙනි, යම් කලක මහණහට නොමුලා සිහිය එළඹසිටියේ වේද, එකල මහණහු විසින් සතිසම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සතිසම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සති සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ මහණතෙම ධර්මය නුවණින් සොයයි. පරීක්ෂා කරයි. විමසීමට පැමිණෙයි.
“මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ඒ ධර්මය සොයයිද, පරීක්ෂා කරයිද, විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණ තෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූ පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලක ඒ වීර්‍ය්‍යය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහුගේ නොපසුබස්නා වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේ වේද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පටන් ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාහට කාමාශාවන්ගෙන් වෙන්වූ (නිරාමිස) ප්‍රීතිය උපදී.
“මහණෙනි, යම් කලක පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාවූ මහණහට කාමාශාවන්ගෙන් වෙන්වූ (නිරාමිස) ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පීති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පීතිසම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තාගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි. මහණෙනි, එකල මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ. මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල මහණහු විසින් සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි ඒ මහණතෙම එසේ එකඟවූ සිත මනාකොට මධ්‍යස්ථ කරන්නේ වෙයි. එකල මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. මහණෙනි, මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද සතර සතිපට්ඨානයෝ සප්තබොජ්ඣංගයන් සම්පූර්ණ කරත්.
“මහණෙනි, කෙසේ වඩනලද කෙසේ පුරුදු කරන ලද සප්තබොජ්ඣංගයෝ විජ්ජා විමුත්තිය සම්පූර්ණ කෙරෙත්ද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය, ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවණට නැමුවාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවණට පැමුණුනාවූ, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, විරිය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුවාවූ, උපෙක්ඛා සම්බොජඣංගය වඩයි. මහණෙනි, මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, සප්තබොජ්ඣංගයෝ විජ්ජා විමුත්තිය (අර්හත්ඵලය හා නිර්වාණය) සම්පූර්ණ කරති. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.
අටවන ආනාපාන සති සූත්‍රය නිමි. (2-8)