මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
3. සුඤ්ඤත වර්ගය
127. අනුරුද්ධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරමෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ‘පඤ්චකංග’ නම් වඩුතෙම එක්තරා පුරුෂයෙකුට කථාකළේය. “පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එහි යව. ගොස්, මගේ වචනයෙන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳුව. මෙසේද කියව, ‘ස්වාමීනි, ‘පඤ්චකංග’ වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පා සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හෙට පඤ්චකංග නම් වඩුවාගේ බත තමන් සතර වැනිව ඉවසනසේක්වා. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනවි. පඤ්චකංග වඩුතෙම රජුන් පිළිබඳ බොහෝ වැඩ ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේය’ කියායි. පුරුෂතෙම “ස්වාමීනි, එසේයයි” කියා පඤ්චකංග වඩුවාට උත්තර දී ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය.
එක් පැත්තක හුන් ඒ පුරුෂතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේට මෙය සැල කළේය. “ස්වාමීනි, පඤ්චකංග වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳී. මෙසේත් කියයි “ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හෙට පඤ්චකංග වඩුවාගේ බත තමන් සතර වැනිව ඉවසනසේක්වා. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනව. ස්වාමීනි, පඤ්චකංග වඩුතෙම රජුන් පිළිබඳ බොහෝ කෘත්‍ය ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේය’ කියායි. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසුවේය.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන පඤ්චකංග වඩුවාගේ ගෙය යම් තැනකද එහි ගියේය. ගොස්, පනවන ලද අසුනෙහි හුන්නේය. ඉක්බිති පඤ්චකංග වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් ප්‍රණීත ඛාද්‍ය භොද්‍යයෙන් සියතින් වැළඳවීය. ඇතිතාක් වැළඳවීය. ඉක්බිති පඤ්චකංග වඩුතෙම වළඳා අවසන්හි, වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වෙත එක්තරා පහත් ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය.
එක් පැත්තක හුන් පඤ්චකංග වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය. “ස්වාමීනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂූහු මවෙත එළඹ මෙසේ කීවාහුය. ‘ගෘහපතිය, අප්‍රමාණ සමාධිය වඩවයි කියා’යි. ‘ස්වාමීනි, ඇතැම් ස්ථවිර භික්ෂූහු පැමිණ ‘ගෘහපතිය, මහග්ගත සමාධිය වඩවයි, කීවාහුය. ස්වාමීනි, යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මේ මහග්ගත සමාධියක් වේද, මේ ධර්ම වෙනස් වෙනස් අර්ථ ඇත්තාහුද, වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහුද, නැතහොත් සමාන අර්ථ ඇත්තාහුද, ව්‍යංජනයෙන් පමණක් වෙනස්ද?”
“ගෘහපතිය, එසේවී නම් ඇතැම් තෙරුන් වහන්සේලා අප්‍රමාණ සමාධිය වඩවයි කීවාහුද, ඇතැම් තෙරුන් වහන්සේලා මහග්ගත සමාධිය වඩවයි කීවාහුද මෙහිදී මෙයින් තොපට විරුද්ධයක් නොවනසේ තොපටම වැටහේවා.”
“ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මේ මහග්ගත සමාධියක් වේද, මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහුය. ව්‍යංජන පමණක් වෙනස්ය කියායි.”
“ගෘහපතිය, යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මහග්ගත චිත්ත සමාධියක් වේද, මේ ධර්ම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යංජන වශයෙන්ද වෙනස්ය. ගෘහපතිය, එය යම්සේ මේ ධර්ම අර්ථ වශයෙන් වෙනස් ද, ව්‍යංජන වශයෙන් වෙනස්ද යනු මේ ක්‍රමයෙන් දතයුතුය.
“ගෘහපතිය, අප්‍රමාණ සමාධිය කවරේද? ගෘහපතිය, මේ ශාසනයෙහි මහණතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසයකෙරෙයිද. එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සෑම තන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද
“කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිශාවද, මෙසේ උඩ යට සරස සෑම තන්හි හැම තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද,
“මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැමතන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද,
“උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැමතන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද. ගෘහපතිය, මේ කියන ලද්ද අප්‍රමාණ සමාධියයි.
“ගෘහපතිය, මහග්ගත සමාධිය කවරේද? ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් රුක්මුලක් පමණ තැනක් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මේ මහග්ගත සමාධියයි කියනු ලැබේ. ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම යම්තාක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.
‘ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් ගමක් පමණ තැනක් කසිණ නිමිත්තෙන් යටකොට පතුරුවා වාසය කරයිද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.
“ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.
“ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් මහා රාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනුලැබේ. ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් මහාරාජ්‍ය දෙකක් තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයයි කියනු ලැබේ.
“ගෘහපතිය, මේ සස්නෙහි භික්ෂුතෙම යම්තාක් මුහුද කෙළවර කොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයයි කියනු ලැබේ. ගෘහපතිය, යම්සේ මේ ධර්මයෝ නානාර්ථද නානා ව්‍යඤ්ජනද එය මේ ආකාරයෙන් දතයුතුයි.
“ගෘහපතිය, මේ භවයන්හි ඉපදීම් සතරකි. ඒ සතර කවරහුද? ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැමෙක් ස්වල්ප රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම කායයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි පරිත්තාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැමෙක් අප්‍රමාණ රශ්මි ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අප්පමාණාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ සස්නෙහි ඇතැමෙක් අපිරිසිදු රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙක් පිරිසුදු රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ සතරක්වූ භවයන්හි ඉපදීම් වෙති.
“ගෘහපතිය, යම් ඒ දෙවියන් එකට රැස්වන්නාවූද අවස්ථාවෙක් වෙයි. එකල ඒ දෙවියන්ගේ වර්ණයේ වෙනසක් පැනෙයි. රශ්මියේ වෙනසක් නොපෙනෙයි. ගෘහපතිය, පුරුෂයෙක් බොහෝ කල් තෙල් පහන් යම්සේ එක ගෘහයකට ඇතුල් කරන්නේද, ඒ ගෙට ඇතුල් කළ ඒ ප්‍රදීපයන්ගේ ගිනි සිළුවල වෙනසක් පැනෙන්නේය. ආලෝකයේ වෙනසක් නොපෙනෙන්නේය. ගෘහපතිය, එපරිද්දෙන් යම් ඒ දෙවියන් එකට රැස්වන අවස්ථාවක් වෙයිද, එකල ඒ දෙවියන්ගේ වර්ණයේ වෙනසක් පෙනේ. ආලෝකයාගේ වෙනසක් නොපෙනේ. ගෘහපතිය, යම් ඒ දෙවියන් එයින් නික්මෙන්නාවූ අවස්ථාවක් ඇත්තේ වෙයිද, එකල එයින් නික්මෙන ඔවුන්ගේ වර්ණයේද වෙනසක් පෙනේ. ආලෝකයේ වෙනසද පෙනේ. ගෘහපතිය, යම්සේ පුරුෂයෙක් ඒ බොහෝ තෙල් පහන් ඒ ගෙයින් යම්සේ බැහැර කරන්නේද, එයින් බැහැර කරණ ප්‍රදීපයන්ගේ ගිනිසිළුවලද වෙනසක් පෙනේ. ආලෝකයේද වෙනසක් පෙනෙන්නේමය.
“ගෘහපතිය, එපරිද්දෙන්ම යම් ඒ දෙවියන් එයින් නික්මෙන්නාවූ අවස්ථාවක් වෙයිද, එකල එයින් නික්මෙන ඔවුන්ගේ වර්ණයේද වෙනසක් පෙනේ. ආලෝකයේද වෙනසක් පෙනෙන්නේය. ගෘහපතිය, ඒ දෙවියන්ට අපගේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ මෙසේ අදහස් නොවෙයි. නමුත් ඒ දෙවියෝ උයන් ආදි යම් යම් තැනක වෙසෙත්ද, ඒ දෙවියෝ ඒ ඒ තැනම ඇලෙති. ගෘහපතිය, යම්සේ කදකින් හෝ පැසැකින් ගෙන යනු ලබන්නාවූ මැස්සන්ට මෙසේ අදහස් නොවේද, කෙසේද? අපගේ මේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ යි. තවද, යම් යම් තැනක ඒ මැස්සෝ වෙත්ද, ඒ ඒ තැන ඇලෙති. ගෘහපතිය, එපරිද්දෙන්ම ඒ දෙවියන්ට මෙසේ අදහස් නොවෙයි. අපගේ මේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ යි. තවද යම් යම් තැනක ඒ දෙවියෝ වෙසෙත්ද, ඒ දෙවියෝ ඒ ඒ තැන ඇලෙති.”
මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂ්මත් සභිය කච්චායන නම් ස්ථවිරතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය සැලකළේය.
“ස්වාමීනි, අනුරුද්ධය, මැනවි. මෙහිදී මවිසින් තවත් ඇසිය යුත්තක් ඇත. ස්වාමීනි, යම් ඒ දෙවියෝ ආලෝක ඇත්තාහු වෙත්ද, ඒ සියල්ලෝ ස්වල්ප ආලෝකය ඇත්තාහුද, නැතහොත් මෙහි ඇතැම් දෙවියෝ අප්‍රමාණවූ ආලෝකය ඇත්තාහු වෙත්ද?” කියායි.
“ඇවැත්නි, කච්චායනය, ඒ ඒ කරුණු වශයෙන් මෙහි ඇතැම් දෙවියෝ ස්වල්ප ආලෝක ඇත්තාහුද, මෙහි ඇතැම් දෙවියෝ අප්‍රමාණවූ ආලෝක ඇත්තාහුද වෙත්.
“ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, එකම දිව්‍ය නිකායක උපන් දේවතාවන් අතුරෙන් මෙහි සමහර දේවතාවන් ස්වල්ප ආලෝක ඇත්තවුන් වීමටත්, මෙහි සමහර දේවතාවන් අප්‍රමාණවූ ආලෝක ඇත්තවුන් වීමටත් හේතු කවරේද?
“ඇවැත්නි, කච්චායනය, එසේවී නම් එය ඔබගෙන්ම විචාරන්නෙමි. යම්සේ නුඹට වැටහේ නම් එය එසේ ප්‍රකාශ කළ මැනව. ඇවැත්. කච්චායනය, යම් මේ භික්ෂුවක් යම්තාක් එක් රුක්මුලක් පමණ තැනක් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද යම් මේ භික්ෂුවක් යම්තාක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද? ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් රුක්මුල් දෙකක් තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.
“ඇවැත්නි, කච්චායනය, යම් මේ භික්ෂුවක් යම්තාක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද යම් මේ භික්ෂුවක් යම්තාක් එක් ගමක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේ නම් ඒ කුමකැයි සිතන්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?
“ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් එක් ගමක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.
“ඇවැත්නි, කච්චායනය, යම් මේ භික්ෂුවක් යම්තාක් එක් ගමක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේ නම්, යම් මේ භික්ෂුවක් යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මේ කුමකැයි හඟින්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද?
“ස්වාමීනි, යම් මේ භික්ෂූවක් යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මේ චිත්ත භාවනා දෙක අතුරෙන් මෙය, ඉතා උසස්ය.
“ඇවැත්නි, කච්චායනය, යම් මේ භික්ෂුවක් යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම්, යම් මේ භික්ෂුවක් යම්තාක් එක් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?
“ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් එක් මහා රාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් මෙය ඉතා උසස්ය.
“ඇවැත්නි, කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් මේ භික්ෂුවක් යම්තාක් එක් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, යම් මේ භික්ෂුවක් යම්තාක් දෙතුන් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද? “ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් දෙතුන් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.
“ඇවැත්නි, කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් මේ භික්ෂුවක් යම්තාක් දෙතුන් මහාරාජ්‍යයක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, යම් මේ භික්ෂුවක් යම්තාක් මුහුද කෙළවරකොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද? “ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් මුහුද කෙළවරකොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.
“ඇවැත්නි, කච්චායනය, යම්හෙයකින් එකම දිව්‍යයෝනියක උපන් මේ දේවතාවන් අතුරෙන් ඇතැම් දෙවියෝ ස්වල්ප ආලොක ඇත්තාහුද ඇතැම් දෙවියෝ අප්‍රමාණ ආලොක ඇත්තාහුද මේ ඊට හේතුවය, මේ ප්‍රත්‍යයය
“ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, මැනවි. මෙහිදී මා විසින් තවත් ඇසිය යුත්තක් ඇත. “ස්වාමීනි, යම් පමණ දෙවියෝ ආලෝක ඇත්තාහුද, ඒ සියල්ලෝ අපිරිසිදු ආලෝක ඇත්තාහුද? නැතහොත් සමහර දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද?
“ඇවැත්නි, කච්චායනය, ඒ ඒ කරුණු වශයෙන් මෙහි ඇතැම් දෙවියෝ අපිරිසිදු ආලෝක ඇත්තෝ වෙති. ඇතැම් දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තෝ වෙති.
“ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යම්හෙයකින් එකම දිව්‍යයෝනියක උපන් ඒ දෙවියන් අතුරෙන් මෙහි සමහර දෙවියෝ අපිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද, මෙහි සමහර දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?
“ඇවැත්නි, කච්චායනය, එසේ වීනම් ඔබට උපමාවක් දක්වන්නෙමි. මේ ලෝකයෙහි ඇතැම් නුවණැති පුරුෂයෙක් උපමාවෙන්ද දෙශනා කරන ධර්මයාගේ අර්ථ දැනගනී. ඇවැත්නි, කච්චායනය, දැල්වෙන්නාවූ තෙල් පහනේ තෙල් යම්සේ අපිරිසුදුද, වැටියත් අපිරිසුදුද, තෙලුත් අපිරිසුදු බැවින් වැටියත් අපිරිසුදු බැවින් ඒ එළිය ඉතා අඳුරක් මෙන් දැල්වෙයි. ඇවැත්නි, කච්චායනය, එපරිද්දෙන්ම මේ ලොකයෙහි ඇතැම් භික්ෂුවක් අපිරිසුදු ආලොකය පතුරුවා වාසය කෙරේද, ඔහුගේ කයේ අලස භාවයද හොඳහැටි සංසිඳුනේ නොවෙයි. ථීනමිද්ධයද උදුරා නොදමන ලද්දේ වෙයි. උද්ධච්චකුක්කුච්චයද මනාකොට නොහික්මවන ලද්දේ වෙයි. හෙතෙම කයේ අලස භාවය නොසංසිඳුවන ලද බැවින්ද, ථිනමිද්ධය උදුරා නොදමන ලද බැවින්ද, උද්ධච්චකුක්කුච්චය නොහික්මවන ලද බැවින් ද අඳුරුවූවක් මෙන් අරමුණ බලයි. හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ඇවැත්නි, කච්චායනය, දැල්වෙන තෙල් පහනේ තෙල් පිරිසුදුද, වැටියත් පිරිසුදුද, ඒ ආලෝකය තෙල් පිරිසුදු බැවින් වැටිය පිරිසුදු බැවින් අඳුරක් මෙන් නොදැල් වෙයි. ඇවැත්නි, කච්චායනය, එපරිද්දෙන්ම මේ ලොකයෙහි ඇතැම් මහණෙක් පිරිසුදු ආලොකය ඇත්තේයයි කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද ඔහුගේ කයේ අලස භාවයද සංසිඳුවන ලද්දේ වෙයි. ථීනමිද්ධයත් උදුරාදමන ලද්දේ වෙයි. උද්ධච්චකුක්කුච්චය හික්මවන ලද්දේ වෙයි. හෙතෙම කයේ අලස භාවය සංසිඳුවන ලද බැවින්ද, ථිනමිද්ධය උදුරා දමන ලද බැවින්ද, උද්ධච්චකුක්කුච්චය හික්මවන ලද බැවින්ද, අන්ධවූවාක් මෙන් අරමුණ නොබලයි. හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“ඇවැත්නි, කච්චායනය, යම්හෙයකින් එකම දිව්‍ය නිකායෙහි උපන් ඒ දෙවියන් අතුරෙන් ඇතම් දෙවියෝ අපිරිසුදු ආලෝක ඇත්තාහු වෙත්ද, ඇතැම් දෙවියෝ පිරිසුදු ආලෝක ඇත්තාහු වෙත්ද, මෙය ඊට හේතුවයි. මෙය ඊට ප්‍රත්‍යයයි.
එසේ කීකල්හි ආයුෂ්මත් සභිය කච්චායන තෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය. “ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යහපති. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මා විසින් මෙසේ අසනලදී කියා හෝ මෙසේ වීමට සුදුසුයයි කියා හෝ නොකීහ. එහෙත් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඒ දේවතාවෝ මෙසේද වෙත්, ඒ දේවතාවෝ මෙසේද වෙත් යනුම කියන්නාහ. ස්වාමීනි, ඒ කාරණය ගැන මට මෙසේ අදහස් වෙයි. ඒකාන්තයෙන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඒ දේවතාවන් හා පෙර එකට වාසය කළහයිද කථා කරන ලදහයිද සාකච්ඡා කළහයිද කියායි. ඇවැත් කච්චායනය, ඒකාන්තයෙන් ඔබ විසින් එළඹ කියයුතු වචනයක් කියන ලදී. එහෙත් ඔබට මම ප්‍රකාශ කරන්නෙමි. ඇවැත්නි, කච්චායනය, මා විසින් බොහෝ කාලයක් මුලුල්ලෙහි ඒ දේවතාවන් සමඟ එකට වසන ලද විරූය. කථා කරන ලද විරූය. සාකච්ඡාවට පැමිණෙනලද විරූය.”
එසේ කීකල්හි ආයුෂ්මත් සභිය කච්චායන තෙම පඤ්චකංග නම් වඩුවාට මෙසේ කීය. වඞ්ඪකිය තොපට ලාභයක් විය. වඞ්ඪකිය, තොපට යහපත් ලාභයක් විය. තෙපිද යම් සැකයක් වීනම් ඒ සැකයද දුරු කළාහුය. අපිද යම් මේ ධර්ම ක්‍රමයක් ඇසීමට ලැබීමු යනුයි.
සත්වෙනි අනුරුද්ධ සූත්‍රය නිමි. (3-7)