මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
3. සුඤ්ඤත වර්ගය
128. උපක්ලෙශ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක. එකල්හි වනාහි කොසඹෑ නුවර භික්ෂූහු දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාදකර ගනිමින්, ඔවුනොවුන් වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූව භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. “ස්වාමීනි, මේ කොසඹෑ නුවර වැසි භික්ෂූහු දබරකර ගනිමින්, කෝලාහල කර ගනිමින්, වාදකර ගනිමින්, ඔවුනොවුන්, වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. “ස්වාමීනි, ඒ භික්ෂූහු යම් තැනකද එහි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට වැඩමවන්නේ නම් මැනවි” එය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූහු යම් තැනකද එහි වැඩිසේක. වැඩ ඒ භික්ෂූන්ට මෙය වදාළ සේක. “මහණෙනි, නුසුදුසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්,” කියායි.
එසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. “ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැනෙන්නෙමු” කියායි.
දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට මෙය වදාළසේක. “මහණෙනි, නුසුදුසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්,” කියායි. දෙවනුවත් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන්, කලහයෙන්, කෝලාහලයෙන්, විරුද්ධ වාදයෙන්, පැණෙන්නෙමුයයි” කියායි. තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට මෙය වදාළසේක. “මහණෙනි, නුසුදුසුය, දබර නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්” කියායි. තෙවනුවත් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. “ස්වාමීනි, ධර්ම ස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොවෙහෙසෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ ඵලසමාපත්ති සැපවිහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැණෙන්නෙමුයි.” කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසුව, පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙන වැඩසිටියේම මේ ගාථාවන් වදාළසේක.
[1] “මහත් ශබ්ද ඇති එක හා සමාන කලහකාරී ජනතෙම (මම) අඥානයයි, කිසිවෙක් නොසැලකීය. සංඝයා බිඳෙන කල්හිත් ඊට වඩා වැඩි අනිකක් නොසිතී.
[2] “මුළාවූ සිහිය ඇති වචනය පමණක් ගොචර කොට ඇති, යම්තාක් මුඛය විවෘත කිරීමට කැමති නම් ඒ තාක් මුඛය විවෘත කොට කියන්නාවූ පණ්ඩිතයෝ යම් කලහයකින් ලජ්ජා නැති බවට පමුණුවන ලද්දාහු නම් එය ආදීනව සහිතයයි නොදනිත්.
[3] “අසවලා මට බැන්නේය, ගැසුවේය, මා පැරැද්දුවේය, මා සතු දෙය පැහැරගත්තේයයි යම් කෙනෙක් ක්‍රොධයෙන් ඔහුට වෛර කරත් නම් ඔවුන්ගේ වෛරය නොසංසිඳෙන්නේය.
[4] (අසවලා) මට බැන්නේය, ගැසුවේය, මා සතු දේ පැහැර ගත්තේයයි යමෙක ඔවුන්ට වෛර නොකරන්නේ නම් ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේය.
[5] “මේ ලොකයෙහි කිසිකලෙකත් වෛර කිරීමෙන් වෛර සංසිඳීමෙක් නැත. වෛර නොකිරීමෙන්ම සංසිඳෙත්. මෙය පෞරාණික උතුම් ධර්මය වේ.
[6] “නුවණැතියන්ගෙන් අන්‍යවූ අඥානයෝ අපි මරණයට පැමිණෙන්නෙමුයි නොදනිති. ඒ බව යමෙක් දනිත් නම් ඒ හේතුකොටගෙන කලහය සංසිඳෙත්.
[7] “ඇට සිඳින්නාවූ ප්‍රාණය නැති කරන්නාවූ ගව අස් ආදී ධන පැහැර ගන්නාවූ සොරු වෙත්ද, රට විනාශ කරන්නාවූ ඔවුන්ගේ පවා සමගිය ඇත. කුමක් හෙයින් තොපගේ එබන්දක් නැත්තේද?
[8] “ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූද, සමග වසන්ට නිසිවූද, යහපත් හැසුරුම් ඇති, පණ්ඩිතවූ, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ නම් සිහියෙන් යුක්තවූ පුද්ගලතෙමේ ඔහු හා සමග සතුටු සිත් ඇතිව වාසය කරන්නේය.
[9] “තැනට නිසි නුවණැති, එකට හැසිරීමට සුදුසුවූ, මනා හැසුරුම් හා ධාරණ ප්‍රඥා ඇති, කළ්‍යාණ මිත්‍රයෙකු ඉදින් නොලද්දේ නම් දිනාගත් රජය හැර, (හුදකලාව වනයට වැද තපස් පැවිද්දට පැමිණි මහාජනක) රජු මෙන්ද, (හස්ති සමූහයා හැරපියා මේ රක්ෂිත වනයෙහි හුදකලාව හැසිරෙන) පාරිලෙය්‍යක නම් ඇතු මෙන්ද සමූහයෙන් වෙන්ව හුදකලාව වාසය කරන්නේය.
[10] “දෙලෝ වැඩ නොදත් අඥානයා කෙරෙහි එකට විසීමක් නැතිව, තනිව විසීම උතුමි. පාරිලෙය්‍යක ඇතු මෙන් පිරිස් පාලනයෙහි උත්සාහ රහිතව හුදකලාව වසන්නේය. ස්වල්පමාත්‍රවූද පව්කම් නොකරන්නේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේම මේ ගාථාවන් වදාරා “බාලකලොණකාර” නම් ගම යම් තැනෙක්හිද එහි වැඩි සේක. එසමයෙහි ආයුෂ්මත් භගුස්ථවිර තෙම “බාලකලොණකාර” ගමෙහි වාසය කෙරෙයි. ආයුෂ්මත් භගුස්ථවිර තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක, ආසනයක් පැනවීය. පා දෝනා දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා සේදීය. ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් භගු ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණ කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවෙහිද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිවෙමි. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක. ස්වාමීනි, ආහාරයෙන් ක්ලාන්ත නොවෙමියි” (කීය.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු ස්ථවිරයන් දැහැමි කථාවෙන් කරුණු දක්වා (එහි) සමාදන් කරවා (ඉන්) තෙද ගන්වා, (එහි) පහදවා හුනස්නෙන් නැගිට “ප්‍රාචීන වංශදාය වනය” යම් තැනෙක්හිද එහි වැඩිසේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද එහි වෙසෙති. උයන්පල්ලා වඩින භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක, භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ශ්‍රමණය, මේ වනයට නොපිවිසෙව, මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් කැමති පරිදි වෙසෙති. ඔවුන්ට අපහසු නොකළ මැනව” කියායි.
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ සමග කථාකරන වනපාලකයාගේ කථාව ඇසීය. ඒ කථාව අසා, වනපාලකයාට මෙය කීය. “ඇවැත්නි, වනපාලකය, භාග්‍යවතුන් වහන්සේ නොවලක්වව. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළසේක” කියායි.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙම, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ටද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ටද මෙය කීය. “ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව්. ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව්. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක,” කියායි.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගොස්, එකනමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගත්තේය. එකනමක් අසුන් පැණවීය. එකනමක් පාදෝනා පැන් තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහිඳ, පා සේදූ සේක. ඒ ආයුෂ්මත්වරුද, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “අනුරුද්ධයිනි, නුඹලාට කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවූවහුද?” කියායි. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක. ස්වාමීනි, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවමු.”
“අනුරුද්ධයිනි, නුඹලා සමගිව, සතුටු සිතැතිව, විරුද්ධවාද නැතිව, කිරි හා දිය මෙන් එක්වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලන්නාහු, කිම වාසය කරහුද?” “ස්වාමීනි, අපි ඒකාන්තයෙන් සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරමු.”
“අනුරුද්ධයිනි, තෙපි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් කෙසේ වනාහි වාසය කරව්ද?”
“ස්වාමීනි, මෙහිදී මට මෙසේ අදහස් වෙයි. ‘යම් බඳුවූ මම මෙබඳුවූ සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද එය, ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.’ ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රී සහගත වාක් කර්මය ප්‍රකටවත්, රහසි ගතවත් එළඹ සිටියේය. මෛත්‍රී සහගත මනො කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ‘සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා හොඳය කියායි.’ ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීන්වහන්ස, අපේ ශරීර වෙන් වෙන්වූ නමුත් සිත එකක්මයයි හඟිමි.
ආයුෂ්මත් නන්දිය තෙමේද, ආයුෂ්මත් කිම්බිල තෙමේද, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළාහුය. “ස්වාමීනි, මටත් මෙසේ අදහස් විය. ‘යම්බඳු මම මෙබඳු සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද, එය ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.’ ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රීසහගත වාක් කර්මය, ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රී සහගත මනොකර්මය ප්‍රකටවත් රහසිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ‘සිය සිත බහාතබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා යෙහෙකැයි’ කියායි. ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීනි, අපේ ශරීර වෙන් වෙන්වූ නමුත් සිත එකක්මයයි හඟිම්.
“ස්වාමීනි, අපි මෙසේ වනාහි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරමුයි” කීවාහුය.
‘අනුරුද්ධයිනි, යහපති, යහපති. අනුරුද්ධයිනි, තෙපි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව කිම වාසය කරව්ද?”
“ස්වාමීනි, අපි ඒකාන්තයෙන් අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව වාසය කරමු.”
“අනුරුද්ධයිනි, තෙපි කෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට පමුණුවන ලද සිතැතිව, වාසය කරව්ද?”
“ස්වාමීනි, මෙහි අපගෙන් යමෙක් පළමුව පිඬු පිණිස ගොස් ගමින් පෙරළා එයිද, හෙතෙම අසුන් පනවයි. පියයුතු පැන් හා පරිභෝග කටයුතු පැන් ගෙනත් තබයි. ඉතුරු ආහාර දමන භාජනය සූදානම් කොට තබයි. යමෙක් පසුව පිඬු පිණිස ගොස් ගමෙන් පෙරළා එයිද, ඉදින් වළඳා ඉතිරියක් වේද, ඉඳින් කැමති නම් වළඳයි. ඉදින් අකමැති නම් තණ පැලෑටි නැති තැනක දමයි. සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි. හෙතෙම අසුන් තැන් පත් කොට තබයි. පියයුතු පැන් හා පරිභෝග කටයුතු පැන් පිළියෙළ කොට තබයි. ඉතිරි බත් දමන භාජනය සෝදා තැන්පත් කොට තබයි. දන් ශාලාව හමදී. යමෙක් පියයුතු පැන් තබන කළය හෝ පරිභෝග කටයුතුවූ ජලය තබන කළය හෝ හිස්ව තිබෙනු දකීද, හෙතෙම දිය ගෙනත් තබයි. ඉදින් මොහුට නොඉසිලිය හැකි වේ නම් අත වැනීමෙන් දෙවැන්නකු අමතා අත් විලංගුවෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අපි ඒ හේතුවෙන් කථා නොකරමු. ස්වාමීනි, අපි පස්දවසකට වරක් මුලු රෑ දැහැමි කථාවෙන් යුක්තව හිඳිනෙමු. ස්වාමීනි, අපි මෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව වාසය කරමු.”
‘අනුරුද්ධයිනි, යහපති, යහපති. අනුරුද්ධයිනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන තොප විසින් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සුදුසු පහසු විහරණයක්වූ ඥානදර්ශන විශෙෂයක් අවබෝධ කරන ලද්දේ වේද?” “ස්වාමීනි, මෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන අපි (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැක්මද, හැඳින ගනිමු. අපගේ ඒ ආලෝකයද, රූප දැකීමද, නොබෝ වේලාවකින් අතුරුදහන් වෙයි. ඊට කාරණය නොදනිමු.”
“අනුරුද්ධයිනි, ඊට කාරණය තොප විසින් දැනගත යුතුය. අනුරුද්ධයිනි, මමද සම්‍යක් සම්බොධියෙන් පෙර සම්‍යක් සම්බුද්ධ නොවූයේම, බොධිසත්ව වූයේම (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැකීමද දනිමි. මාගේ ඒ ආලෝකයත් රූප දැකීමත් නොබෝ වේලාවකින් අතුරුදන් වෙයි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යම්හෙයකින් මාගේ ඒ ආලෝකයත්, දිවැසින් රූප දැකීමත්, ‘අතුරුදන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යයකවරේද?’ කියායි අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට සැකය ඇති විය. සැකය හේතු කොට
ගෙන මගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිවූ කල්හි ආලෝකයත් දිවැසින් රූප දැකීමත් අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට සැකය නූපදින්නේද එසේ කරන්නෙමි අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මගට යවන ලද සිතැතිව වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද, හඳුනමි. මාගේ ඒ ආලෝකයද, රූප දැකීමද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන්වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මම දැන් කිසිවක් මෙනෙහි නොකරන්නෙමි. යන “අමනසිකාරය” පහළ විය. අමනසිකාරය’ හේතුකොට මාගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත සැකය නූපදින්නේ නම් අමනසිකාරය නොවේ නම් එසේ කරන්නෙමි’ කියායි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන්වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට ථීනමිද්ධය පහළවිය. ථීනමිද්ධය හේතුකොට ගෙන මාගේ සමාධිය පහළවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද, අතුරුදහන් වෙයි ඒ මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි’ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය ‘යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට තැතිගැනීමක් පහළවිය. තැතිගැන්ම හේතුකොට ගෙන මගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.’ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් දීර්ඝ මාර්ගයට පිළිපන්නේ ඔහු දෙපස වධකයෝ උපන්නාහු නම් ඔහුට දෙපස හේතුකොට ගෙන තැතිගැන්ම උපදින්නේය. අනුරුද්ධයිනි, ‘එපරිද්දෙන්ම මටත් තැතිගැන්ම පහළ විය. තැතිගැන්ම හේතුකොට, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැති ගැන්ම නූපදින්නේද, ඒ මම එසේ කරන්නෙමි’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහසවිය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?” කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට අධික ප්‍රීතිය පහළවිය. අධික ප්‍රීතිය හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන්විය.’ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් එක් නිදන් පළක් සොයන්නේ එක් උත්සාහයකින්ම නිදන් පොළවල් පහක් ලබන්නේද, ඔහුට ඒ හේතුකොට අධික ප්‍රීතිය උපදින්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට අධික ප්‍රීතිය පහළවිය. අධික ප්‍රීතිය කරණකොට ගෙන මාගේ සමාධිය නැතිවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ නැවත මට විචිකිච්ඡාවද නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතියක් නූපදින්නීද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට කාය පීඩාවක් පහළවිය කියායි. කාය පීඩාව හේතුකොට ගෙන වනාහි මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි, ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද එසේ කරන්නෙමි.’
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද, රූප දර්ශනයද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ‘මට අතිශයින් පටන්ගන්නා ලද වීර්‍ය්‍යය පහළ විය’ කියායි. දැඩිව කරන ලද වීර්‍ය්‍යය හේතුකොට ගෙන, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයත්, රූප දර්ශනයත්, අතුරුදහන් වෙයි. අනුරුද්ධයෙනි, යම්සේ පුරුෂයෙක් දෑතින් පෙරළිය හැකි දෙයක් දැඩිකොට ඔසවාගන්නේද, හෙතෙම එහිම මැරෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට දැඩිව පටන්ගන්නා ලද වීර්‍ය්‍යය පහළවිය. දැඩි වීර්‍ය්‍යය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද එසේ කරන්නෙමි.
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ‘මට ඉතා ලිහිල් වීර්‍ය්‍යය පහළ විය, යනුවෙනි. ඉතා ලිහිල් වීර්‍ය්‍යය හේතු කොටගෙණ මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.’ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් තෙම පෙරළිය හැක්කක් ලිහිල්කොට අල්ලා ගන්නේද, එය ඔහු අතින් වැටෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට ඉතා ලිහිල් වීර්‍ය්‍යය උපන්නේය. ඉතා ලිහිල් වීර්‍ය්‍යය හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම, යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීරිය නූපදින්නේද, එසේ කරන්නෙමි.
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මට තණ්හාව පහළවිය යනුයි. තෘෂ්ණාව හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම, යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය නූපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, එසේ කරන්නෙමි.’
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මඟට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට නානත්ත සංඥාව පහළවිය යනුයි. නානත්ත සංඥාව හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය නූපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද එසේ කරන්නෙමි.’
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවනලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද රූප දර්ශනයද දනිමි. ඒ මේ ආලෝකය වනාහි අතුරුදහන් වෙයි. රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ‘යම් හෙයකින් මාගේ ආලෝකය හා රූප දර්ශනය අතුරුදහන් වේ නම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?’ අනුරුද්ධයිනි, මට මේ අදහස ඇතිවිය. ‘මට රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව පහළ විය යනුයි. රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව හේතුකොටගෙන සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයත් රූප දර්ශනයත් අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය නූපදින්නේද, අධික තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද, රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව නූපදින්නේද එසේ කරන්නෙමි.’
“අනුරුද්ධයිනි, ඒ මම විචිකිච්ඡාව සිත කෙලෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ විචිකිච්ඡාව දුරු කෙළෙමි. අමනසිකාරය සිත කෙළෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ අමනසිකාරය දුරු කෙළෙමි. ථීනමිද්ධය සිත කෙළසන ධර්මයක්යයි මෙසේ දැන, ථීනමිද්ධය දුරු කෙළෙමි. තැතිගැන්ම චිත්තොපක්ලෙශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ, තැතිගැන්ම දුරු කෙළෙමි. අධික ප්‍රීතිය චිත්තොපක්ලෙශයක් යයි මෙසේ දැන, චිත්තොපක්ලේශයවූ, අධික ප්‍රීතිය දුරු කෙළෙමි. කායික පීඩාව චිත්තොපක්ලෙශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ කායික පීඩාව දුරු කෙළෙමි. දැඩිව පටන්ගන්නාලද වීර්‍ය්‍යය චිත්තොපක්ලෙශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ, අධික වීර්‍ය්‍යය දුරු කෙළෙමි. ඉතා ලිහිල් වීර්‍ය්‍යය චිත්තොපක්ලෙශයක්යයි මෙසේ දැන, විත්තොපක්ලෙශයක්වූ, ඉතා ලිහිල් වීර්‍ය්‍යය දුරු කෙළෙමි. තෘෂ්ණාව චිත්තොපක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලේශයක්වූ අධික තෘෂ්ණාව දුරු කෙළෙමි. නානත්ත සංඥාව චිත්තොපක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලේශයක්වූ නානත්ත සංඥාව දුරු කෙළෙමි. රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තොපක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලේශයක්වූ රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව දුරු කෙළෙමි.
“අනුරුද්ධයිනි, ඒ මම පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මඟට යවනලද සිතැතිව වාසය කරමින් ආලෝකය දැනගනිමි. රූප නොදකිමි. යම්හෙයකින් රූප දකිම්ද, හුදෙක් රාත්‍රියද, හුදෙක් දාවලද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මෙය අදහස් විය. ඒ මම ආලෝකය හඳුනම්ද, රූප නොදක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ඒ කාලයෙහි රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල් දෙක්හිද ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘මම යම් සමයෙක්හි රූප විෂය මෙනෙහි නොකොට, ආලෝක විෂය මෙනෙහි කෙරෙම්ද, ඒ කාලයෙහි ආලෝකය හඳුනමි. රූප නොදකිමි. යම් කලක ආලෝක විෂය මෙනෙහි නොකොට, රූප විෂය මෙනෙහි කෙරෙම්ද, එකල රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද ආලෝකය නොහඳුනමි.’
“අනුරුද්ධයිනි, ඒ මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව්මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ සුළු කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනමි. සුළු කර්මස්ථානයෙහිවූ රූප දක්නෙමි. අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ, ආලෝකය හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ රූපයන් දක්නෙමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඒ මම සුළු කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, සුළු කර්මස්ථානයෙහිවූ රූපයන් දක්නෙම්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද අප්‍රමාණ කර්ම ස්ථානයෙහිවූ රූපයන් දක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යම් කලෙක සමාධිය කුඩාද? එසමයෙහි මගේ දිවැසද කුඩාය. ඒ මම ස්වල්ප මාත්‍රවූ, දිවැසින් ස්වල්ප මාත්‍රවූද ආලෝකය හඳුනමි. ස්වල්පමාත්‍රවූ රූපයන්ද දකිමි. යම් කලෙක සමාධිය අප්‍රමාණද එකල මගේ දිවැසද අප්‍රමාණය. ඒ මම අප්‍රමාණවූ දිවැසින් අප්‍රමාණවූ ආලෝකයද හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණවූ රූපයන් දක්නෙමි.’
“අනුරුද්ධයිනි, යම් හෙයකින් විචිකිච්ඡාව චිත්තොප ක්ලෙශයයි මෙසේ දැන, විචිකිච්ඡා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, අමනසිකාරය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අමනසිකාර චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, ථීනමිද්ධය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, ථීනමිද්ධ චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, තැතිගැන්ම චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ තැතිගැන්ම ප්‍රහීණවීද අධික ප්‍රීති චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අධික ප්‍රීති චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, කායික පීඩාව චිත්තයාගේ උප ක්ලෙශයයි මෙසේ දැන, කායික පීඩා චිත්තොප ක්ලෙශය ප්‍රහීණවීද, අධික වීර්‍ය්‍යය, චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අධික වීර්‍ය්‍ය චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය චිත්තයාගේ උප ක්ලෙශයයි මෙසේ දැන, ඉතා ලිහිල් වීර්‍ය්‍ය චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, තෘෂ්ණාව චිත්තොප ක්ලෙශයයි මෙසේ දැන, අධික තෘෂ්ණා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, නානත්ත සංඥාව චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, නානත්ත සංඥා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද
අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මාගේ සිතට යම් උපක්ලෙශයෝ වෙත්ද, ඔව්හු මට ප්‍රහීණය. එබැවින් මම දැන් විධි තුනකින් යුත් සමාධිය වඩමි’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මම විතර්ක සහිත, විචාර සහිත සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාර රහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති සහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති රහිත සමාධිය වැඩුවෙමි. සුඛ සහගත සමාධිය වැඩුවෙමි. උපෙක්ෂා සහගත සමාධිය වැඩුවෙමි. අනුරුද්ධයිනි, යම් හෙයකින් මා විසින් විතර්ක සහිත, විචාර සහිත, සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාර සමාධිය වඩන ලදද, ප්‍රීති සහිත සමාධිය වඩන ලදද, ප්‍රීති රහිත සමාධිය වඩන ලදද, සුඛ සහගත සමාධිය වඩන ලදද, උපෙක්ෂා සහගත සමාධිය වඩන ලදද ඒ මට ඥාන දර්ශනයද පහළවිය. මාගේ චිත්ත විමුක්තියද කෝප නොවීය. මේ අන්තිම උපැත්මය. දැන් පුනරුත්පත්තියක් නැත.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිතැති අනුරුද්ධායුෂ්මත් තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.
අටවැනි උපක්ලෙශ සූත්‍රයයි. (3-8)