මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

3. සුඤ්ඤත වර්ගය

129. බාල පණ්ඩිත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, බාලයාගේ මේ බාල ලක්ෂණ, බාලයයි හැඳිනීමට කරුණු, බාලයාගේ චරිත තුනකි. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි බාලතෙම නපුරුකොට සිතන්නේත් වෙයි. නපුරුකොට කියන්නේත් වෙයි. නපුරුකොට කරන්නේත් වෙයි. මහණෙනි, ඉදින් බාලතෙම නපුරුකොට නොසිතන්නේ නම් නපුරුකොට නොකියන්නේ නම් නපුරුකොට නොකරන්නේ නම් කුමකින් ඔහු මේ භවත් අසත්පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගන්නාහුද? මහණෙනි, යම් හෙයකින් බාලතෙම නපුරුකොට සිතන්නේද, නපුරුකොට කියන්නේද, නපුරුකොට කරන්නේද, එහෙයින් ඔහු මේ භවත් අසත් පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගනිත්. මහණෙනි, ඒ මේ බාලයා මේ ආත්මභාවයෙහි තෙවැදෑරුම්වූ, දුක් දොම්නසක් විඳී. මහණෙනි, ඉදින් ඒ බාලයා සභාවක හෝ හුන්නේ වේද, වීථියෙක හුන්නේ වේද, සතර මංසන්ධියෙක හෝ හුන්නේවේද, එහි ජනයා ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන (පස්පවෙහි ආදීනව ආදි) කථා කරත්ද මහණෙනි, ඉදින් බාලතෙම ප්‍රාණඝාත කරන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, ප්‍රමාදයට කරුණුවූ, මත්පැන් බොන්නේ වේද, මහණෙනි. එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි ‘ජනයා යම් හෙයකින් ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන කථා කෙරෙයිද, ඒ වරද ස්වභාවයෝ මා තුළ ඇත්තාහුය. මමද ඒ ධර්මයන් දක්නා ලැබෙමි’ කියායි. මහණෙනි, බාල තෙම ඉහාත්මභාවයෙහි මේ පළමු දුක දොම්නස විඳී.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. රජුන් විසින් අපරාධකාරී සොරකු අල්වා, නන් වැදෑරුම් කම්කටුලු කරවනු බාලතෙම දකී. කසවලින් තළවනු ලබන්නවුන්ද, වේවැල් වලින් තලවනු ලබන්නවුන්ද, සතර රියන් දිග දණ්ඩෙන් අත කපනු ලබන්නවුන්ද, පා කපනු ලබන්නවුන්ද, අත් පා දෙකම කපනු ලබන්නවුන්ද, කණ කපනු ලබන්නවුන්ද, නාසය කපනු ලබන්නවුන්ද, කන් නාසා දෙකම කපනු ලබන්නවුන්ද, “බිලංගථාලික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “සඩ්ඛමුණ්ඩික” නම් කර්මය කරන්නවුන්ද, “රාහුමුඛ” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ජෝතිමාලික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “හත්ථපජ්ජොතික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඒරකවත්තික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “චීරකවාසික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඒණෙය්‍යක” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “බලිසමංසික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “කහාපණක” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඛාරාපතච්ඡික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “සලිඝපරිවත්තික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “පලාලපිට්ඨික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, උණුකරනලද තෙල් ඉසිනු ලබන්නවුන්ද, බඩගින්නෙන් පීඩිත සුනඛයන් ලවා කවන්නවුන්ද, පණපිටින් හුල හිඳුවනු ලබන්නවුන්ද, කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ද, දකී.

“මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ‘යම්බඳු පාප කර්මයන් හේතුකොටගෙන රජවරු අපරාධකාරී සොරුන් අල්වාගෙන නන්වැදෑරුම් කම්කටුලු කරවත්ද, එනම්: කසවලින් තළවත්ද, වේවැල්වලින් තළවත්ද, මුගුරුවලින් තළවත්ද, අත කපත්ද, පා කපත්ද, අත් පා දෙකම කපත්දත කණ කපත්ද, නාසය කපත්ද, කන් නාසා දෙකම කපත්ද, බිලංගථාලික නම් කර්මය කරත්ද, සඩ්ඛමුණ්ඩික නම් කර්මය කරත්ද, රාහුමුඛ නම් කර්මය කරත්ද, ජෝතිමාලික නම් කර්මය කරත්ද, හත්ථපජ්ජෝතක නම් කර්මය කරත්ද, එරකවත්තික කර්මය කරත්ද, චීරකවාසික කර්මය කරත්ද, ඒණෙය්‍යක කර්මය කරත්ද බලිසමංසික කර්මයකරත්ද, කහාපණක කර්මය කරත්ද, ඛාරාපතච්ඡීක කර්මය කරත්ද, පලිඝපරිවත්තික කර්මය කරත්ද, පලාලපිට්ඨික කර්මය කරත්ද, රත්වූ තෙල් ඉසිත්ද, බඩසයින් පීඩිත සුනඛයන්ලවා කවත්ද, ජීවත්වසිටියදීම හුල හිඳුවත්ද, කඩුවෙන් හිස සිඳිත්ද, ඒ පාපධර්ම මා කෙරෙහිද ඇත්තාහුය. මමද ඒ ධර්මයන්හි දක්නා ලැබෙමි.

“රජවරු මාද දන්නහු නම්, රජවරු මාත් අල්වාගෙණ, නානා ප්‍රකාර කම්කටුලු කරවන්නහුය. කසවලින් තළවන්නාහුය. වේවැල්වලින් තළවන්නාහුය. මුගුරුවලින් තළවන්නාහුය. අතද කප්පවන්නාහුය. පයද කප්පවන්නාහුය. අත් පා දෙකම කප්පවන්නාහුය. කණද කප්පවන්නාහුය. නාසයද කප්පවන්නාහුය. කන් නාසා දෙකම කප්පවන්නාහුය. බිලංගථාලික කර්මය කරවන්නාහුය. සඩ්ඛමුණ්ඩික කර්මය කරවන්නාහුය. රාහුමුඛ නම් කර්මය කරවන්නාහුය. ජෝතිමාලික නම් කර්මය කරවන්නාහුය. හත්ථපජ්ජොතික නම් කර්මය කරවන්නාහුය. ඒරකවත්තික නම් කර්මය කර වන්නාහුය. ඒණෙය්‍යක නම් කර්මය කරවන්නාහුය. බලිසමංසික නම් කර්මය කරවන්නාහුය. කහාපණක නම් කර්මය කරවන්නාහුය. ඛාරාපතච්ඡික නම් කර්මය කරවන්නාහුය. පලිඝපරිවත්තික නම් කර්මය කරවන්නාහුය. රත්වූ තෙල් ඉස්වන්නාහුය. බඩසයින් පීඩිත සුනඛයින් ලවා කවන්නාහුය. ජීවත්වත්ම හුල හිඳුවන්නාහුය. කඩුවෙන් හිස කප්පවන්නාහුය.’ මහණෙනි, බාලතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි දුක් දොම්නසද විඳියි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. පුටුවක හිඳගත්තාවූ හෝ ඇඳක නිදාගත්තාවූ හෝ බිම නිදන්නාවූ හෝ බාලයා වෙත ඔහු විසින් පෙර කයින් නපුරුකොට කරණ ලද්දාවූද වචනයෙන් නපුරුකොට කියන ලද්දාවූද, සිතින් නපුරුකොට සිතන ලද්දාවූද, යම් ලාමක අකුසල ධර්මයෝ වෙත්ද, ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශෙෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, යම්සේ පර්වත කූටයන්ගේ සෙවණ සවස් කාලයෙහි පොළොවෙහි පැතිර පවතීද, අධිකව පැතිර පවතීද, විශේෂයෙන් පැතිර පවතීද, මහණෙනි, එපරිද්දෙන්ම පුටුවෙහි හුන්, ඇඳෙහි සයනය කළ, බිම හෝනා, මේ බාලයා විසින් පූර්වයෙහි යම් කායික දුශ්චරිත, වාක් දුශ්චරිත, මනෝ දුශ්චරිත කරණ ලද්දාහුද, ඔහු වෙත ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ‘මා විසින් යහපතක් නොකරණලදී. කුසලයක් නොකරණලදී. භය දුරු කරන්නක් නොකරණලදී. පාපයක් කරණලදී. රෞද්‍රකම් කරණලදී. නරකක් කරණලදී. නොකරණලද හොඳ ඇති, නොකරණලද කුසල් ඇති, නොකරණලද භය දුරු කිරීමක් ඇති, කළ පව් ඇති, කළ රෞද්‍රකම් ඇති, කළ නරකකම් ඇති අයගේ යම් ගතියක් වේද, පරලොවදී ඒ ගතියට යමියි, හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළෙහි අත්ගසා හඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, බාලයා මේ ආත්මභාවයෙහි මේ තුන්වන දුක් දොම්නස විඳියි.

“මහණෙනි, ඒ මේ බාලතෙම කයින් දුශ්චරිතකොට වචනයෙන් දුශ්චරිතකොට, සිතින් දුශ්චරිතකොට, කාය භේදයෙන්, මරණින් මතු, පහවූ සැප ඇති, නපුරු ගති ඇති, අතරක් නැතිව දුක් දෙන නරකයෙහි උපදී. මහණෙනි, ඒ යමක් ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, අමනාපයයි මනාව කියන්නේ නම්, මේ නිරය මට ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, ඒකාන්තයෙන් අමනාපයයි කියයුතු වන්නේය. මහණෙනි, නිරය දුක මේසා දුකයයි උපමාවකිනුදු දැක්වීමට පහසු නොවේ.”

“එසේ කීකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මට උපමාවන්ගෙන් දැක්විය හැකිදැයි” ඇසීය.

භාග්‍යවතුන් වහන්සේ “මහණ, හැකියයි” වදාළසේක. “මහණ, අපරාධකාරී සොරකු අල්වා, ‘රජුට දෙවයන්වහන්ස, මේ ඒ අපරාධකාරී හොරාය. මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පමුණුවනු මැනවැයි දක්වන්නාහුය.’ රජතෙම ඒ මොහුට ‘පින්වත, යව්. මේ පුරුෂයාට උදය කාලයෙහි අඩයටි සියයකින් අනිව්යයි කියන්නේය. ඒ මොහුට අඩයටි සියයකින් පෙරවරු කාලයෙහි අනින්නාහුය.’ ඉක්බිති රජතෙම දවල් කාලයෙහි ‘පින්වත, ඒ පුරුෂයා කෙසේදැයි අසන්නේය.’ ‘දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි’ කියන්නාහුය. රජතෙම ඒ මොහුට මෙසේ කියන්නේය.’ පින්වත, යව්. ඒ පුරුෂයාට දවල් කාලයෙහි අඩයටි සියයකින් අනිව්’ යයි කියන්නේය. ඒ මොහුට දවල් කාලයෙහි අඩයටි සියයකින් අනින්නාහුය. ඉක්බිති රජතෙම සවස් කාලයෙහි ‘එම්බල පුරුෂය, ඒ පුරුෂතෙම දැන් කෙසේ දැයි’ අසන්නේය. ‘දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි’ කියන්නාහුය. රජතෙම ඒ මොහුට ‘පින්වත, යව්. සවස් කාලයෙහි ඒ පුරුෂයාට අඩයටි සියයකින් අනිව්යයි’ කියන්නේය. ඒ මොහුට සවස් කාලයෙහි අඩයටි සියයෙන් අනින්නාහුය. මහණෙනි, ඒ කුමකැයි හඟින්නෙහිද? අඩයටි තුන්සියයකින් අනිනු ලබන්නාවූ ඒ පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේද?”

“ස්වාමීනි, එක් අඩයටියකින් අනිනු ලබන්නාවූ පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේය අඩයටි තුන්සියයකින් අනිනු ලබන කල්හි කියනුම කවරේද?”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිට පමණ කුඩාවූ ගලක් අතට ගෙණ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, කුමක් සිතන්නහුද? මා විසින් ගන්නා ලද මිට පමණ යම් මේ ගලක් වේද, යම් හිමවත් පර්වත රාජයෙක් වේද, ඒ දෙක අතුරෙන් කවරක් ඉතා මහත්වන්නේ දැයි” ඇසූහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද කුඩාවූ මිට පමණ මේ ගල ඉතා කුඩාය, හිමවත් පර්වතරාජයා හා සමානකොට බලනවිට ගණනකටවත් නො පැමිණෙයි. සියක් වැනි, දහස් වැනි, ලක්ෂයක් වැනි, කොටසටවත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ පුරුෂතෙම අඩයටි තුන්සියයකින් අනිනු ලබන්නේ ඒ හේතුවෙන් යම් දුක් දොම්නසක් විඳීනම් එය නිරයකට සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි. සියක්වැනි, දහස්වැනි, ලක්ෂයක් වැනි කොටසකටත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපැමිණෙයි.”

“මහණෙනි, නිරයපාලයෝ මොහුට පඤ්චවිධ බන්ධන නම් කම්කටුල්ලක් කරත්. (එනම්,) රත්වූ යහුලක් අතෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. රත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. රත්වූ යහුලක් ළය මැද අනිත්. හෙතෙම එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විඳී. යම්තාක්කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි.

“මහණෙනි, නිරයපාලයෝ ඔහු බිම බාවා කෙටේරිවලින් සසිත්. හෙතෙම එහි දුක්වූ කටුකවූ වේදනා විඳී යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් හෙතෙම නොමැරෙන්නේය.

“මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරු කොට, හිස යටිකුරුකොට තබා, වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවක් විඳි. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් කලුරිය නොකෙරෙයි.

“මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු රථයෙහි යොදා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලියෙන්නාවූ, ගිනිදැල් සහිතවූ පොළොවෙහි ඉදිරියටද ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක්කල් මේ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් කළුරිය නොකෙරෙයි.

“මහණෙනි, ඒ මොහු නිරයපාලයෝ ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, අඟුරු පර්වතයකට නැංවීමද බැස්වීමද කරවත්. හෙතෙම එහි දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කළුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරුකොට, හිස යටිකුරුකොට ගෙන, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, තැවීම ඇති ලෝකුඹු නරකයෙහි බහාලත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙයි. හෙතෙම එහි පෙණ නැගීම් සහිතව පැසෙන්නේ වරක් උඩටද යෙයි. වරක් යටට යයි. වරක් සරසටද යයි. හෙතෙම එහි දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කළුරිය නොකරයි. මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු මහා නිරයෙහි දමත්. මහණෙනි, ඒ මහා නිරය නම්,

[1] “කොන් සතරක් ඇත්තේය, දොරටු සතරක් ඇත්තේය, කොටස් වශයෙන් බෙදන ලද්දේය, කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය, යකඩ පවුරකින් වට කරන ලද්දේය, යකඩ පියනකින් වසන ලද්දේය.”

[2] “ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම නිමකරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. සියලු කල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.

“මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් නිරය පිළිබඳ විස්තර කථාව කියන්නෙමි. මහණෙනි, වර්ෂ සියයක් දහසක් කියන්නේ වී නමුත් ඒ කීමෙන් නිරය දුක කියා කෙළවර කරන්නට පහසු නොවේ.

“මහණෙනි, තණකොළ කන තිරිසන්ගත සත්වයෝ වන්නාහ. ඔව්හු තෙත්වූ තණද, වියලි තණද, දත්වලින් උළා කති. මහණෙනි, තණ කන තිරිසන්ගත සත්තු කවරහුද? අශ්වයෝද, ගොන්හුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. එයින් අන්‍ය තණ බුදින තිරිසන්ගත සත්වයෝද වෙති. මහණෙනි, මේ ලොකයෙහි ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් ඒ තණ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ සහභාවයට පැමිණෙයි.

“මහණෙනි, අසූචි අනුභවකරන තිරිසන්ගත සත්වයෝ ඇත්තාහ. ඔව්හු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට දුවති. මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමු කියායි. බමුණෝ යාග ගන්ධයෙන් මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමුයි යම්සේ දුවත්ද, මහණෙනි, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔව්හු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණයකොට දුවත්. මෙහිදී කන්නෙමු, මෙහිදී කන්නෙමු කියායි. මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද? කුකුලන් හා ඌරෝද, බල්ලන් හා සිවල්ලුද යන මොවුහු වෙති. එයින් අන්‍ය වූ අසූචි අනුභව කරන අන්‍ය සත්වයෝද වෙති. මහණෙනි, මේ ලෝකයෙහි ඒ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශලකර්ම කොට කාය භේදයෙන් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් නම් ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

“මහණෙනි, අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ වෙති. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද? ලොකු පණුවෝද කුඩා පණුවෝද, ගැඩවිල්ලුද වෙති. එයින් අන්‍යවූ අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ තිරිසන්ගත සත්තුද වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් මේ සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

“මහණෙනි, දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද? මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. එයින් අන්‍යවූ දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ තිරිසන් ගත ප්‍රාණීහුද වෙති. මහණෙනි, යම් මේ බාලතෙම මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

“මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ තිරිසන්ගත ප්‍රාණීහු කවරහුද? මහණෙනි, යම් මේ සත්වයෝ කුණු මස්වල උපදිත්ද, කුණුමස්වල දිරත්ද, කුණුමස්වල මැරෙත්ද, කුණු කුණපයෙහි හෝ උපදිත්ද, කුණු කුණපයෙහි හෝ දිරත්ද, කුණු කුණපයෙහි හෝ මැරෙත්ද, කුණු පිට්ටුවල හෝ උපදිත්ද, කුණු පිට්ටුවල හෝ දිරත්ද, කුණු පිට්ටුවල හෝ මැරෙත්ද, ගවර වලෙහි හෝ උපදිත්ද, ගවර වලෙහි හෝ දිරත්ද, ගවර වලෙහි හෝ මැරෙත්ද, අපිරිසිදු දිය රැස්වන තැනක හෝ උපදිත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ දිරත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ මැරෙත්ද, එයින් අන්‍යවූ අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ තිරිසන්ගත ප්‍රාණීහුද වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම්කොට කාය භේදයෙන් මරණින් මතු යම් ඒ සත්වයෝ අසූචියෙහි උපදිත්ද, අසූචියෙහි දිරත්ද, අසූචියෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

“මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් තිරිසන් යෝනියේ විස්තර කියන්නෙම්ද, මහණෙනි, තිරිසන්ගත සත්වයින්ගේ දුක මෙතෙකැයි කීමෙන් මුදුන් අවසාන කරන්නට පහසු නොවෙයි.

“මහණෙනි, පුරුෂයෙක් තෙම එක සිදුරක් ඇති වියදණ්ඩක් මහමුහුදෙහි දමන්නේය. ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය. අපරදිග වාතයෙන් පෙර දිගට ගෙනයන්නේය. උතුරුදිග වාතයෙන් දකුණු දිගට ගෙනයන්නේය. දකුණුදිග වාතයෙන් උතුරු දිගට ගෙන යන්නේය. ඒ මුහුදෙහි කණ කැස්බෙක් වන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් වරක් උඩට එන්නේය. මහණෙනි, ඒ කැස්බා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද?”

“ස්වාමීනි, ඉදින් ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන්නකි.”

“මහණෙනි, ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය වහා සිදුවන්නකි. මහණෙනි, වරක් නිතර දුක් ඇති සතර අපායටවන් බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා අතිශයින් දුර්ලභයයි මම කියමි. ඊට හේතු කවරේද? මහණෙනි, මෙහි ධර්මයට අනුව හැසිරීමක්, සම හැසිරීමක්, කුසල ක්‍රියාවක්, පින්කිරීමක් නැත්තේද, එහෙයිනි. මහණෙනි, මෙහි ඔවුනොවුන් අල්ලාගෙන කන්නාහු වෙති, දුර්වලයන් අල්ලාගෙන කන්නාහු වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම ඉදින් කිසියම් කලෙක බොහෝ කාලයක්හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සැඬොල් කුලය හෝ වැදි කුලය හෝ කුලුපොතු කුලය හෝ රථකාර කුලය හෝ රදා කුලය හෝ යන යම් මේ නීච කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පැන් බොජුන් ඇති යම් කුලයක දුකින් බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. හෙතෙමේද දුර්වර්ණ වෙයි. යකකුමෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර පැන් රෙදි යානා මල් ගඳ විලවුන් විසීමට තැනක් සහ පහන් දල්වන උපකරන නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කෙරෙයි. සිතින් දුශ්චරිත කෙරෙයි. හෙතෙම කයින් දුශ්චරිතකොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිතකොට කාය භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, අතරක් නැති දුක් ඇති නරකයෙහි උපදී.

“මහණෙනි, සූදුකෙළින්නෙක් යම්සේ පළමු පැරදී මෙන්ම පුත්‍රයාද නැතිවන්නේද, භාර්‍ය්‍යාවද නැතිවන්නේද, සියලු වස්තුවද නැතිවන්නේද, පසුව තමාත් බන්ධනයට අසුවන්නේද, මහණෙනි, ඒ සූදුකාරයාගේ පළමු පරාජයෙන්ම පුත්‍රයාගේ නැතිවීමද, භාර්‍ය්‍යාවගේ නැතිවීමද, පසුව තමනුත් බැඳීමද යන සියලු වස්තුව නැතිවීමද, ඒ පැරදීම ස්වල්ප කාරණයකි. තවද යම්හෙයකින් ඒ බාලතෙම කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාය භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති අතරක් නැති, දුක් ඇති නරකයෙහි උපදී නම් මෙය ඊටත් වඩා ඉතා මහත් පැරදීමකි. මහණෙනි, මේ වනාහි සියල්ල සම්පූර්ණවූ බාලභූමිය වන්නීය.

“මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත නිමිති. පණ්ඩිත චරිත තුනක් වෙති. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම මනාකොට සිතන්නේත්, මනාකොට කියන්නෙත්, මනාකොට කරන්නේත් වෙයි. මහණෙනි, පණ්ඩිත තෙම මනාකොට නොසිතන්නේ වේනම්, මනාකොට නොකියන්නේ වේනම්, මනාකොට නොකරන්නේ වේනම්, කුමකින් ඔහු මේ භවත් සත්පුරුෂතෙම පණ්ඩිතයායයි පණ්ඩිතයෝ දැනගන්නාහුද? මහණෙනි, යම්හෙයකින් පණ්ඩිතතෙම මනාකොට සිතන්නේත් වේද, මනාකොට කියන්නේත් වේද, මනාකොට කරන්නේත් වේද එහෙයින් ඔහු මේ භවත් සත්පුරුෂතෙම පණ්ඩිතයායයි පණ්ඩිතයෝ දැනගනිත්. මහණෙනි, ඒ මේ පණ්ඩිතතෙම මේ ආත්මභාවයෙහිදීම තෙවැදෑරුම් සැප සහගත සොම්නසක් විඳියි. මහණෙනි, ඉදින් පණ්ඩිතතෙම සභාවෙක හෝ හුන්නේ වේද, වීථියෙක හෝ හුන්නේ වේද සතරමංසන්ධියෙක හෝ හුන්නේ වේද, එහි සිටි ජනතෙම ඒ යහපත් ක්‍රියාවන්ට අනුරූපවූ සුදුසුවූ කථාකෙරෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙම ප්‍රාණඝාතයෙන් තොරවූයේ වේද, නුදුන් දෙය ගැන්මෙන් තොරවූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් තොරවූයේ වේද, බොරු කීමෙන් තොරවූයේ වේද, ප්‍රමාදයට කරුණුවූ මත්පැන් පානයෙන් තොරවූයේ වේද, මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙබඳු අදහසක් වෙයි. ‘යම්හෙයකින් ජනතෙම ඒ යහපත් ක්‍රියාවන්ට අනුරූපවූ සුදුසුවූ කථාකරන්නේ වෙයි. ඒ ධර්ම මා කෙරෙහි නැත්තාහු වෙති. මම ඒ ධර්මයන්හි දකිනු ලබන්නෙමි’ කියායි. මහණෙනි, පණ්ඩිතතෙම මේ පළමුවෙනි සැපයවූ සොම්නස විඳියි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. පණ්ඩිතතෙම රජවරුන් අපරාධකාරී සොරු අල්වාගෙණ නන්වැදෑරුම් කම්කටුලු කරවනු ලබන්නවුන් දකී. එනම්: කසවලින් තළනු ලබන්නවුන්, වේවැල්වලින් තළනුලබන්නවුන්, මුගුරුවලින් තළනු ලබන්නවුන්, අත කපනු ලබන්නවුන්, පා කපනු ලබන්නවුන්, අත් පා දෙකම කපනු ලබන්නවුන්, කණ කපනු ලබන්නවුන්, නාසය කපනු ලබන්නවුන්, කණ්-නාසා දෙකම කපනු ලබන්නවුන්, බිලංගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සඩ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්ථපජ්ජොතික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණෙය්‍යක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතච්ඡික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිපත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපිට්ඨි නම් කර්මය කරනු ලබන්නවුන්, කකියවන ලද තෙල් ඉසිනු ලබන්නවුන්, සාදුකින් පීඩිත බල්ලන් ලවා කවනු ලබන්නවුන්, පණපිටින් හුල හිඳුවනු ලබන්නවුන් සහ කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ය.

“මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙසේ අදහස් වෙයි. ‘යම්බඳු පාප කර්මයක් හේතුකොටගෙණ අපරාධකාරී සොරු

ගෙණ නන්වැදෑරුම් කම්කටුලු කෙරෙත්. එනම්: කසවලින්ද තළත්. වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තළත්. අතද කපත්. පයද කපත්. අත් පා දෙකමද කපත්. කණද කපත්. නාසයද කපත්. කණ්-නාසා දෙකමද කපත්. බිලංගථාලික නම් කර්මයද කෙරෙත්. සඩ්ඛමුණ්ඩික නම් කර්මයද කෙරෙත්. රාහුමුඛ නම් කර්මයද කෙරෙත්. ජොතිමාලික නම් කර්මයද කෙරෙත්. හත්ථපජ්ජොතික නම් කර්මයද කෙරෙත්. ඒරකවත්ථික නම් කර්මයද කෙරෙත්. චීරකවාසික නම් කර්මයද කෙරෙත්. ඒණෙය්‍යක නම් කර්මයද කෙරෙත්. බලිසමංසික නම් කර්මයද කෙරෙත්. කහාපණක නම් කර්මයද කෙරෙත්. ඛාරාපතච්ඡිකද නම් කර්මයද කෙරෙත්. පලිඝපරිවත්තික නම් කර්මයද කෙරෙත්. පලාලපිට්ඨික නම් කර්මයද කෙරෙත්. කකියවනලද තෙල්ද ඉසිත්. සාදුකින් පීඩිත බල්ලන් ලවාද කවත්. පණපිටින් හුලද හිඳුවත්. කඩුවෙන්ද හිස සිඳිත්. ඒ ධර්මයෝ මා කෙරෙහි විද්‍යමාන නොවෙත්. මම ඒ ධර්මයන්හි පෙනී නොසිටිනු ලබන්නෙමියි කියායි.’ මහණෙනි, පණ්ඩිතතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි සැපයවූ සොම්නස විඳී.”

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. පුටුවෙහි හුන්න වූ හෝ, ඇඳේ හෝනාවූ හෝ, බිම හෝනාවූ හෝ පණ්ඩිතයා වෙත ඔහු විසින් පෙර කයින් යම් යහපත්වූ සුචරිත කර්ම කරනු ලැබීද, වචනයෙන් සුචරිත කර්ම කරනු ලැබීද, මනසින් සුචරිත කර්ම කරනු ලැබීද, ඔහු විසින් කරණලද ඒ කර්ම එකල්හි එල්බ සිටිත්. වැඩියෙන් එල්බ සිටිති. විශේෂයෙන් එල්බ සිටිති. මහණෙනි, යම්සේ මහත් පර්වතකූටයන්ගේ සෙවන සවස් කාලයෙහි පොළොවෙහි එල්බ සිටිත්ද, වැඩියෙන් එල්බ සිටිත්ද, විශෙෂයෙන් එල්බ සිටිත්ද, මහණෙනි, එපරිද්දෙන්ම පුටුවට නැංගා වූ හෝ, ඇඳේ හෝනාවූ හෝ, පොළොවේ හෝනාවූ හෝ, පණ්ඩිතයා කරා ඔහු විසින් පෙර කයින් යහපත්වූ යම් සුචරිත කර්ම කරනු ලැබීද, වචනයෙන් යම් සුචරිත කර්ම කරනු ලැබීද, මනසින් යම් සුචරිත කර්ම කරණු ලැබීද, ඔහු විසින් කරණලද ඒ කර්ම එකල්හි එල්බ සිටිති. වැඩියත් එල්බ සිටිති. විශේෂයෙන් එල්බ සිටිති. මහණෙනි, එහිදී ඒ පණ්ඩිතයාහට මෙසේ අදහස් වෙයි. ‘මා විසින් ඒකාන්තයෙන් පව් නොකරණලදී. රෞද්‍රකම් නොකරණලදී. නරකක් නොකරණලදී. යහපතක් කරණලදී. කුසල් කරණ ලදී. භය දුරුකිරීමක් කරණලදී. නොකරණලද පාප ඇත්තන්ගේ, නොකරණලද රෞද්‍රකම් ඇත්තන්ගේ නොකරණ ලද නරකකම් ඇත්තන්ගේ යම් ගතියක් වේද, පරලොව ඒ ගතියට පැමිණෙන්නෙමියි, හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොහඬයි. පපුවේ අත් ගස්සා නොගනියි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, පණ්ඩිතතෙම මේ ආත්මයෙහි මේ තුන්වන සැපයවූ සොම්නස විඳියි.

“මහණෙනි, ඒ මේ පණ්ඩිතතෙම කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, කාය භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. මහණෙනි, ඒ යමක් ඒකාන්තයෙන් ඉෂ්ටය. ඒකාන්තයෙන් යහපත්ය. ඒකාන්තයෙන් මනාපයයි මනාව කියන්නේ නම්, මහණෙනි, ඒකාන්තයෙන් ඉෂ්ටය. ඒකාන්තයෙන් මනාපයයි ස්වර්ග කිය යුතුය. ස්වර්ගය සැපය දැක්වීමට උපමාවකුදු පහසු නොවේ.”

එසේ වදාළකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට උපමාවක් කළ හැකිද, යන මෙය සැළකෙළේය. “මහණ, හැකියයි” වදාළ සේක.

“මහණ, සක්විති රජතෙම රත්න සතකින් හා ඍද්ධි සතරකින්ද යුක්තවූයේ ඒ හේතුවෙන් සැපක් සොම්නසක් විඳින්නේය. කවර සතකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරණ ලද පසළොස්වක් පොහෝදා හිස සහිතව නෑවාවූ පෙහෙවස්වූ පහ මතුවට නැඟුණු, ක්ෂත්‍රිය රජුට දහස් ගණන් අර ඇති, නේමි සහිත, නැබ සහිත, සියලු ආකාරයෙන් හාත්පසින් පිරුණු චක්‍රරත්නය පහළවේද, එය දැක මුදුනෙහි අභිෂේක කරණ ලද ක්ෂත්‍රිය රජහට මෙසේ අදහස් වෙයි. ‘මා විසින් එය අසන ලද්දේය. කුමක් මුදුනෙහි අභිෂේක කරණලද පොහෝ දින හිස සහිතව නෑවාවූ, පෙහෙවස්වූ, පහමතුවට නැඟුණාවූ, යම් ක්ෂත්‍රිය රජකුට දහස් ගණන් අර ඇති, නේමි සහිත, නැබ සහිත, සියලු ආකාරයෙන් හාත්පසින් පිරුණු චක්‍රරත්නය පහළ වේද, හෙතෙම ඒ සක්විති රජවෙයිය, මම දැන් සක්විති රජ වූයේ වෙම්දැයි” අදහස් වෙයි.

“ඉක්බිති මහණෙනි, මුදුනෙහි අභිෂේක කරණලද සක්විති රජතෙම අස්නෙන් නැගිට වමතින් කෙණ්ඩිය ගෙණ, ‘පින්වත් චක්‍රරත්නය ගමන් කෙරේවා පින්වත් චක්‍රරත්නය දිනවායි, චක්‍රරත්නයට දකුණතින්, පැන් වත්කරයි. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිගට ගමන්කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනගද සමග අනුව ගමන්කරයි. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටාද, එපෙදෙසෙහි සිව්රඟ සෙනගත් සමග විසීමට පැමිණෙයි.

“මහණෙනි, පෙරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජහු වෙත පැමිණ, ‘මහරජතුමනි, එනු මැනවි. මහරජතුමනි, යහපත් පැමිණීමකි. මහරජ තුමනි, ඔබ වහන්සේට අප අයත් වේවා. මහරජතුමනි, අපට අනුශාසනා කරනු මැනවැයි’ කීවාහුය. සක්විති රජතෙම මෙසේ කීය. ‘පරපණ නොනැසිය යුතුයි. නොදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොපිය යුතුයි. අනුභව කළ රාජ්‍යම අනුභව කරව්’ කියායි. මහණෙනි, පෙරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජු අනුගමනය කරන්නෝ වෙත්.

“ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිග මුහුදෙහි ගැළී මතුවී දකුණුදිගට ගමන් කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනග සමග අනුවයයි. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටාද එපෙදෙසෙහි සිව්රඟ සෙනගත් සමග විසීමට පැමිණෙයි. මහණෙනි, දකුණුදිග යම් විරුද්ධ රජවරුවෙත්ද, ඔව්හු සක්විති රජහු වෙත එළඹ මෙසේ කීවාහුය. ‘මහරජතුමනි, එනු මැනවි. මහරජතුමනි, (ඔබතුමාගේ පැමිණීම) යහපත් පැමිණීමකි. මහරජතුමනි, ඔබවහන්සේට (අප) අයත් වේවා. මහරජතුමනි, (අපට) අනුශාසනා කරනු මැනව’ කියායි. (එවිට) සක්විති රජතෙම මෙසේ කීයේය. ‘පරපණ නොනැසිය යුතුයි. නොදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතුයි. අනුභව කළ රාජ්‍යයම අනුභව කරව්’ කියායි. මහණෙනි, දකුණුදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජුට අනුව යන්නෝ වෙත්.

“ඉක්බිති මහණෙනි, ඒ චක්‍ර රත්නය දකුණුදිග මුහුදෙහි ගැළී, මතුවී අපරදිග ගමන් කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනග සමග අනුව යයි. මහණෙනි, යම් පෙදෙසක චක්‍ර රත්නය පිහිටාද එපෙදෙසෙහි සිව්රඟ සෙනගත් සමග විසීමට පැමිණෙයි. මහණෙනි, අපරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජහු වෙත එළඹ මෙසේ කීවාහුය. ‘මහරජතුමනි, එනු මැනවි. මහරජතුමනි, (ඔබතුමාගේ පැමිණීම), යහපත් පැමිණීමකි. මහරජතුමනි, ඔබවහන්සේට (අප) අයත් වේවා. මහරජතුමනි, (අපට) අනුශාසනා කරනු මැනව’ කියායි. (එවිට) සක්විති රජතෙම මෙසේ කීයේය. ‘පරපණ නොනැසිය යුතුයි. නොදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතුයි. අනුභව කළ රාජ්‍යයම අනුභව කරව්’ කියායි. මහණෙනි, අපරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජුට අනුව යෙදුනෝ වෙත්.

“ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය අපරදිග මුහුදේ ගැළී මතුවී උතුරුදිගට ගමන් කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනඟ සමග අනුව පවතී. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටාද, ඒ පෙදෙසෙහි සක්විති රජතෙම සිව්රඟ සෙනඟ සමග විසීමට පැමිණෙයි. මහණෙනි උතුරුදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජුවෙත පැමිණ මෙසේ කීවාහුය. ‘මහරජ, එනු මැනව. මහරජ, යහපත් පැමිණීමකි. මහරජ, ඔබට අප අයත් වේවා. මහරජ, අපට අනුශාසනය කරනු මැනවැයි’ කියායි. සක්විති රජතෙම මෙසේ කීය. ‘පරපණ නොනැසිය යුතුයි. නුදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොපිය යුතුයි. අනුභව කළ රාජ්‍යයම අනුභව කරව්’ කියායි. මහණෙනි, උතුරුදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජ අනුගමනය කරන්නෝ වෙති. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය මුහුද කෙළවරකොට ඇති පොළොව දිනා, එම රාජධානියට පැමිණ, සක්විති රජුගේ අන්තඃපුරයෙහි දොරටුව හොබවමින් සක්විති රජුගේ අන්තඃපුරය ද්වාරයෙහි කඩ ඇණය ගසන ලද්දක් මෙන් සිටී. මහණෙනි, සක්විති රජුට මෙබඳු චක්‍රරත්නයක් පහළවෙයි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට හස්ති රත්නය පහළ වෙයි. සියල්ල සුදු සත් තැනක් බිම පිහිටි, ඍද්ධි ඇති, අහසින් යන, උපෝසථ නම් ඇත් රජෙකි. ඔහු දැක සක්විති රජුගේ සිත පහදී. පින්වත්නි, මේ ඇත් යානය ඉදින් හික්මුණු බවට පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් යහපත්ය. මහණෙනි, එකල්හි ඒ හස්ති රත්නය බොහෝ කලක් හික්මවන ලද යහපත් ආජානීය හස්තිරාජයෙක් යම්සේද එමෙන්ම හික්මී පැමිණෙයි. මහණෙනි, පෙර වූ දෙයක් නම් සක්විති රජතෙම ඒ හස්ති රත්නය විමසනු පිණිස පෙරවරු ඇතු පිට නැගී, මුහුද කෙළවරකොට ඇති, පොළොවෙහි හැසිර එම රාජධානියට අවුත් උදය ආහාර ගත්තේය. මහණෙනි, සක්විති රජුට මෙබඳු හස්ති රත්නයක් පහළවෙයි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට අශ්ව රත්නයක් පහළවෙයි. කෙබඳු අශ්ව රත්නයක්ද සියල්ල සුදු, කවුඩෙක් මෙන් කලුපැහැ හිසක් ඇති, ‘මුඤ්ජ” නම් තෘණ විශේෂය වැනි කෙහෙ ඇති, ඍද්ධි ඇති, අහසින් යන, වළාහක නම් අස් රජෙකි. ඌ දැක සක්විති රජුගේ සිත පහදී. පින්වත්නි, ඉදින් මේ අශ්වයානය හික්මුණු බවට පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් යහපත්ය, මහණෙනි, එකල්හි ඒ අශ්වරත්නය බොහෝ කල් හික්මවන ලද යහපත් ආජානීය අශ්වයෙක් යම්සේද එමෙන්ම හික්මුණු බවට පැමිණෙයි. මහණෙනි, පෙර වූ දෙයක් නම් සක්විති රජතෙම ඒ, අශ්වරත්නය විමසීම සඳහා පෙරවරු කාලයෙහි අසුපිට නැගී මුහුද කෙළවර කොට ඇති පොළොවෙහි හැසිර එම රාජධානියට පැමිණ උදය ආහාර කෘත්‍ය කෙළේය. මහණෙනි, සක්විති රජුට මෙබඳු අශ්ව රත්නයක් පහළවෙයි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට මාණික්‍ය රත්නයක් පහළවෙයි. එය යහපත්වූ, ජාතිමත්වූ, අටහුලස් ඇති, මොනවට පිරියම් කරණලද, වෛඪූර්‍ය්‍ය මාණික්‍යයෙක් වෙයි. මහණෙනි, ඒ මාණික්‍යයාගේ ආලෝකය හාත්පස යොදුනක් පැතිර පවතී. මහණෙනි, පෙර වූ දෙයක් නම් සක්විති රජතෙම ඒ මැණික විමසීම සඳහා සිවුරඟ සෙනඟ සන්නද්ධ කොට, මැණික කොඩි මුදුනට නංවා රාත්‍රි අඳුරෙහි ගියේය. මහණෙනි, හාත්පස යම් ගම් වූවාහුද ඒ ගම් මැණික් එලියෙන් දවල්යයි හඟිමින් කර්මාන්ත කළහ. මහණෙනි, සක්විති රජුට මෙබඳු මිණි රුවනෙක් පහළ වෙයි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට ස්ත්‍රී රත්නයක් පහළ වෙයි. ඒ ස්ත්‍රී රත්නය විශිෂ්ට රූ ඇත්තේය. දැකුම් කලුය, ප්‍රසාද ජනකය, උතුම් වර්ණ සෞන්දර්‍යයෙන් යුක්තය, ඉතා දිග නොවෙයි, ඉතා කොටත් නොවෙයි, ඉතා කෙට්ටුත් නොවෙයි, ඉතා මහතත් නොවෙයි, ඉතා කලුත් නොවෙයි, ඉතා සුදුත් නොවෙයි, මිනිස් වර්ණය ඉක්මවූවා වෙයි, දිව්‍ය වර්ණයට නොපැමිණියාය. මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයාගේ මෙබඳු කාය ස්පර්ශයක් වෙයි, කපු පුලුන්වල ස්පර්ශය මෙනි, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයේ ශරීරය සීත කාලයෙහි උෂ්ණවේ, උෂ්ණ කාලයෙහි සීතවේ, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයාගේ කයින් සඳුන් සුවඳ හමයි, මුවෙන් උපුල් මල් සුවඳ හමයි, මහණෙනි, සක්විති රජුගේ ඒ ස්ත්‍රී රත්නය වනාහී හැමට කලින් පුබුදින්නී වෙයි, පසුව නිදන්නී වෙයි කීකරුකම දක්වන්නීය, මනාපසේ හැසිරෙන්නීය, ප්‍රිය තෙපුල් කියන්නීය, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නය වනාහි සක්විති රජ සිතින්වත්, ඉක්මවා නොහැසිරෙයි, කයින් කොයින් ඉක්මවයිද, මහණෙනි, සක්විති රජුට මෙබඳු ස්ත්‍රී රත්නයක් පහළවෙයි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට ගෘහපති රත්නයක් පහළවෙයි. යම් හෙයකින් සස්වාමිකවූ හෝ අස්වාමික නිධාන දකීද, එබඳු කර්ම විපාකයෙන් උපන් දිව්‍ය චක්ෂුසක් ඔහුට පහළවෙයි, හෙතෙම සක්විති රජුවෙත එළඹ මෙසේ කීය. ‘දෙවයන් වහන්ස, ඔබ වහන්සේ මන්දොත්සාහි වනුමැනවි, මම ඔබ වහන්සේට ධනයෙන් කටයුතුදෙය ධනයෙන් කරන්නෙමි, කියායි. මහණෙනි, පෙර සක්විති රජතෙම එම ගෘහපති රත්නය විමසන්නේ නැව් නැග ගඟ මැද ගඟේ සැඩ පහරට බැසගෙණ ගෘහපති රත්නයට මෙය කීය. ‘ගෘහපතිය, මට හිරණ්‍ය ස්වර්ණයෙන් ප්‍රයෝජනය.’ ‘මහරජ එසේ වීනම් නැව එක ඉවුරකට පැමිණේවා’ ‘ගෘහපතිය, මට මෙහිදී හිරණ්‍ය ස්වර්ණයෙන් ප්‍රයෝජනය. ‘මහණෙනි, එකල්හි ඒ ගෘහපති රත්නය දෑතින් ජලය මැඩ, හිරණ්‍ය ස්වර්ණයෙන් පිරුණු නිදන් සැළියක් උඩට ගෙන සක්විති රජුට මෙසේ කීය. ‘මහරජතුමනි, මෙපමණකින් ප්‍රමාණද? මහරජතුමනි, මෙපමණකින් කරණ ලදද? මහරජතුමනි, මෙපමණකින් පුදන ලදද? ‘සක්විති රජතෙම මෙසේ කීය.’ ගෘහපතිය, මෙපමණකින් ප්‍රමාණය. මෙපමණකින් කරණලදී. ගෘහපතිය, මෙපමණකින් පුදන ලදී.’ මහණෙනි, සක්විති රජුට මෙබඳු ගෘහපති රත්නයක් පහළවෙයි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට පුත්‍රරත්නයක් පහළවෙයි. කෙබඳු පුත්‍රරත්නයක්ද, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, බුද්ධි ඇති, උපස්ථාන කටයුතු, සක්විති රජුට උපස්ථාන කරවන්නට, අස්කළයුත්තන් අස්කරන්නට, ඒ ඒ තනතුරෙහි තබන්නට, සුදුස්සන් තබවන්නට, ශක්තිමත් පුත්‍රරත්නයකි. හෙතෙම සක්විති රජු වෙත එළඹ මෙසේ කීය. ‘දෙවයිනි, ඔබවහන්සේ මන්දොත්සාහී වනු මැනවි. මම අනුශාසනය කරන්නෙමි. මහණෙනි, සක්විති රජුට මෙබඳු පුත්‍රරත්නයක් පහළවෙයි.

“මහණෙනි, සක්විති රජතෙම මේ සප්ත රත්නයෙන් යුක්තවූයේ වෙයි. ඍද්ධි සතරකින්ද යුක්තවූයේ වෙයි.

කවර ඍද්ධි සතරකින්ද යත්?

“මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජතෙම විශිෂ්ට රූ ඇත්තේය. දැකුම්කලුය. ප්‍රසාද ජනකය. අන් මිනිසුන්හට වඩා අතිශයින්ම උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්තය. මහණෙනි, සක්විති රජතෙම මේ පළමුවෙනි ඍද්ධියෙන් යුක්තය.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජ තෙම දීර්ඝායුෂ ඇත්තේ වෙයි. අන් මිනිසුන්හට වඩා බොහෝ කල් ජීවත්ව සිටින්නේය. මහණෙනි, සක්විති රජ තෙම මේ දෙවෙනි ඍද්ධියෙන් යුක්තය.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජ තෙම පීඩා නැත්තේය. රෝග නැත්තේය. අන් මිනිසුන්ට වඩා අතිශයින් ඉතා සිහිල් නොවූ, ඉතා උෂ්ණ නොවූ, සමව ආහාර පැසෙන ගින්නෙන් යුක්තය. මහණෙනි, සක්විති රජතෙම මේ තුන්වෙනි ඍද්ධියෙන් යුක්තය.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජතෙම බමුණු ගෘහපතියනට ප්‍රිය මනාපය, මහණෙනි, පුතුන්හට පියෙකු මෙන් ප්‍රියය, මනාපය, මහණෙනි, එපරිද්දෙන්ම සක්විති රජතෙම බමුණු ගෘහපතියනට ප්‍රියය, මනාපය, මහණෙනි, සක්විති රජුට බමුණු ගෘහපතියෝද ප්‍රිය වෙත්. මනාප වෙත්. මහණෙනි, පියාහට පුතුන්මෙන් ප්‍රියය. මනාපය. මහණෙනි, එපරිද්දෙන්ම සක්විති රජුට බමුණු ගෘහ පතියෝ ප්‍රියය, මනාපය. මහණෙනි, පෙර වූවක් කියමි. සිව්රඟ සෙනඟ විසින් සක්විති රජතෙම උයන් බිමට පමුණුවනු ලැබීය. මහණෙනි, එකල්හි බමුණු ගැහැවියෝ සක්විති රජුවෙත එළඹ මෙසේ කීවාහුය. ‘දෙවයන් වහන්ස, අපි, ඔබවහන්සේ යම්සේ බොහෝකල් දක්නෙමුද, හෙමිහිට යනු මැනව. ‘මහණෙනි, සක්විති රජතෙම රියැදුරු ඇමතීය. ‘රියැදුර, යම්සේ බමුණු ගෘහපතියෝ බෝකල් මා දකින්නාහුද, එසේ හෙමිහිට රිය ගමන් කරව,’ කියායි. මහණෙනි, සක්විති රජතෙම මේ සතරවැනි ඍද්ධියෙන් යුක්තය. මහණෙනි, සක්විති රජතෙම මේ ඍද්ධි සතරින් යුක්තය. මහණෙනි, තවද සක්විති රජතෙම මේ සත් වැදෑරුම් රත්නයෙන් හා සතර ඍද්ධියෙන් යුක්තවූයේ ඒ හේතුවෙන් සැප සොම්නස විඳින්නේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද?”

“ස්වාමීන්වහන්ස, එකම රත්නයෙන් යුක්තවූ සක්විති රජතෙම ඒ හේතුවෙන් සැප සොම්නස විඳින්නේය. සප්ත රත්නයෙනුත් චතුර්විධ ඍද්ධියෙනුත් යුක්තවූයේ කියනුම කවරේද?”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිටක් පමණ ගලක් ගෙණ භික්ෂූන් අමතා වදාළසේක. “මහණෙනි, මා විසින් ගන්නාලද ස්වල්ප මාත්‍ර මිටක් පමණ යම් මේ ගලක් වේද, යම් මේ හිමවත් පර්වතරාජයෙක් වේද, කවරක් ඉතා මහත්යයි හඟනෙහිද?”

“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ගන්නා ලද ස්වල්ප මාත්‍ර මිටක් පමණ ගල හිමවත් පර්වතරාජයාහට සමකොට බලනවිට ඉතා ස්වල්පය. ගණනකටද නොපැමිණෙයි. කලභාගයකටවත් නොපැමිණෙයි. සමානත්වයටද නොපැමිණෙයි.”

“මහණෙනි, එපරිද්දෙන්ම සක්විති රජතෙම සප්තවිධ රත්නයෙන්ද, සතර ඍද්ධියෙන්ද යුක්තවූයේ ඒ හේතුවෙන් යම් සැපවූ සොම්නසක් විඳීද, ඒ සැපය දිව්‍ය සැපයට සමකොට බලනවිට ගණනකටද නොපැමිණෙයි. කලභාගයකටද නොපැමිණෙයි. සමානත්වයටද නොපැමිණෙයි. මහණෙනි, ඒ මේ පණ්ඩිත තෙම ඉදින් කිසියම් කලෙක දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, ක්ෂත්‍රිය මහාසාර කුලයක් හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයක් හෝ ගෘහපති මහාසාර කුලයක් හෝ යන යම් උසස් කුලයෝ වෙත්ද, එබඳු පිරුණු මහත් ධන ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තු ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති කුලයක උපදී. හෙතෙමේද විශිෂ්ට රූ ඇත්තේය, දැකුම්කලු වූයේ, ප්‍රසාදජනක වූයේ, උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්තවූයේ වෙයි. අහර, පැන්, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, සයන, වාසභූමි, පහන් ලබන්නෙක් වෙයි. හෙතෙම කයින් සුචරිත කරයි. වචනයෙන් සුචරිත කෙරෙයි. සිතින් සුචරිත කෙරෙයි. හෙතෙම කයින් සුචරිතකොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිතකොට, කාය භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයට පැමිණෙයි. මහණෙනි, සූදුකාරයෙක් පළමු දිනීමෙන් මහත් වස්තු රාශියක් යම්සේ ලබන්නේද, ඒ සූදුකාරයා යම් හෙයකින් පළමු ජයගැනීමෙන්ම මහත් වස්තු රාශියක් ලබන්නේ නම් ඒ දිනීම ස්වල්ප මාත්‍ර වූවකි. ඉක්බිති ඒ පණ්ඩිතතෙම යම් හෙයකින් කයින් සුචරිතකොට, වචනයෙන් සුචරිතකොට, සිතින් සුචරිතකොට කාය භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී නම්, ඒ ජයගැනීම ඊට වඩා ඉතා මහත්ය. මහණෙනි, මෙය සියල්ලෙන් පිරුණු පණ්ඩිත භූමියයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.

නවවැනි බාලපණ්ඩිත සූත්‍රය නිමි (3-9)