මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
4. විභංග වර්ගය
134. ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජෙතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් “ලොමසකඩ්ගිය” ස්ථවිරතෙම ශාක්‍ය ජනපදයන්හි කපිලවස්තු පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි චන්දන නම් දිව්‍යපුත්‍ර තෙම මධ්‍යම රාත්‍රියෙහි බබළන ශරීර වර්ණයෙන් යුක්තව සියලු නිග්‍රොධරාමය ආලොක කොට ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ චන්දන දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරයන්ට මෙසේ කීයේය.
“භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත නම්, ධර්මයාගේ උදෙසීමද (මාතෘකාවද) විභාගයද (විස්තරයද) දරන්නෙහිද?” යනුය.
“ඇවැත්නි, මම භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිද?
“භික්ෂූන්වහන්ස, මමද භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරන්නෙහිද?
“ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරන්නෙහිද?”
“භික්ෂූන්වහන්ස, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරමියි කීය. ඇවැත්නි, නුඹ වනාහි කෙසේ නම් භද්දෙකරත්ත ගාථා දරන්නෙහිදැ?”යි ඇසී.
“භික්ෂූන්වහන්ස, එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ තව්තිසා දෙවියන් අතර පරසතු ගසමුල පඬැ’ඹුල් සලස්නෙහි (පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි) වැඩ වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද වදාළසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගතවූ පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේවශයෙන් නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණ විය. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “ප්‍රත්‍යුත්පන්නවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යාදි වශයෙන් බලන්නේය. නුවණැති පුද්ගල තෙමේ නොවිසිරෙන්නාවූ නොකිපෙන්නාවූ ඒ විදර්ශනා ඥානය වඩන්නේය.
[3] “කෙලෙස් තවන වීර්‍ය්‍යය වැඩිය යුතුයි මරණය අද හෙටම පැමිණේදැයි කවරෙක් දන්නේද? ඒ මහා සේනාවක් ඇති මරුවා සමග අපගේ ගිවිසුමක් නැත්තේය.
[4] රෑ දාවල් අනලස්ව වීර්‍ය්‍ය ඇතිව මෙසේ වාසය කරන්නාවූ ඔහු ඒකාන්තයෙන් ශාන්තවූ සර්වඥ මුනිතෙම භද්දෙකරත්තයයි කියන්නේය” (යනුවෙනි.)
“භික්ෂූන් වහන්ස, මම වනාහි මෙසේ භද්දෙකරත්ත ගාථාවන් දරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද, විස්තරයද, ඉගෙණගනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද පුරුදු කරනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරණු මැනවි. භික්ෂූන් වහන්ස, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවේ ආදිය වන්නේයයි” මෙසේ චන්දන නම් දිව්‍යපුත්‍ර තෙම කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන්වූයේය.
“ඉක්බිති ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම ඒ රාත්‍රියගේ ඇවෑමෙන් සේනාසනය තැන්පත්කොට පාත්‍රසිව්රු ගෙණ සැවැත් නුවර යම් තැනකද, එතැන්හි චාරිකා පිණිස ගියේය. පිළිවෙළින් ගමන් කරන්නේ සැවැත් නුවර යම් තැනකද, ජේතවනය යම් තැනකද, අනේපිඩු මහ සිටුහුගේ ආරාමය යම් තැනකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මම එක් කලෙක්හි ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වාසය කරමි. ස්වාමීනි, එකල්හි එක්තරා දිව්‍යපුත්‍රයෙක් මධ්‍යම රාත්‍රියෙහි බබළන වර්ණයෙන් යුක්තව නිග්‍රොධාරාමය හාත්පස බබුළුවා මම යම් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, එක්පසක සිටියේය. ස්වාමීනි, එක් පසක සිටියාවූ ඒ දිව්‍යපුත්‍ර තෙම මට මෙසේ කීයේය. ‘භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිද? යනුයි. මෙසේ කී කල්හි, ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයාට, ‘ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමියි, කියෙමි. ‘ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහි දැයි, මම ඇසීමි. ‘භික්ෂූන්වහන්ස, මමද භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමියි, කීය. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, දිව්‍යපුත්‍ර තෙම ඇසීය.
“ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් නොදරමියි, කීයෙමි. ‘ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි. ‘භික්ෂූන්වහන්ස, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරමියි කීය. ‘ඇවැත්නි, නුඹ වනාහි කෙසේ නම්, භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි.
‘භික්ෂූන් වහන්ස, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන් අතර පරසතු ගසමුල පඬැ’ඹුල් සලස්නෙහි වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද වදාළසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක්වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනා ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.
[4] මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ ඒකාන්තයෙන් භද්දෙකරත්තයයි ශාන්තවූ සර්වඥ මුනි තෙම ප්‍රකාශ කෙරේය යනුවෙනි.
භික්ෂූන් වහන්ස, මෙසේ වනාහි මම භද්දෙකරත්ත ගාථාවන් දරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද උගනු මැනව. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද පුරුදු කරනු මැනව. භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරණු මැනව. භික්ෂූන්වහන්ස, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වේයයි කීය. ස්වාමීනි, ඒ දිව්‍යපුත්‍රතෙම මෙසේ කියා එහිම අතුරුදහන් වූයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දෙශනා කරන්නේ නම් මැනවැයි” කීය.
“මහණ, නුඹ ඒ දිව්‍යපුත්‍රයා කවරෙක්දැයි දන්නෙහිදැයි, ඇසුහ. “ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයා නොදනිමියි” කීය. “මහණ, මේ චන්දන නම් දිව්‍යපුත්‍රයාවෙයි. මහණ, චන්දන දිවපුත්‍ර තෙම කැමැත්ත ඇතුව සිත්හි කොට සියල්ල සිතට එලවා යොමුකරණලද කන් ඇතිව ධර්මය අසයි. මහණ, එසේවී නම් අසව. යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය. “එසේය, ස්වාමීන් වහන්සැයි,” ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. අනාගතවූ පඤ්චස්කන්ධය නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඔහු ඒකාන්තයෙන් යහපත්වූ රාත්‍රියක් ඇති භික්ෂුවයයි ශාන්තවූ සර්වඥ මුනි තෙම ප්‍රකාශ කෙරේ.
“මහණ, කෙසේ නම් ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව යේද, ඉකුත් කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි, එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. ඉකුත් කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වීමියි, එය අනුව තෘෂ්ණාව පවත්වයි, මහණ, මෙසේ වනාහි අතීත පඤ්චස්කන්ධය අනුව යයි.
“මහණ, කෙසේ නම් අතීතවූ පඤ්චස්කන්ධය අනුව නොයාද? ඉකුත්වූ කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. ඉකුත්වූ කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මහණ, මෙසේ වනාහි අතීත පඤ්චස්කන්ධය අනුව නොයයි.
“මහණ, කෙසේ නම් අනාගතවූ පඤ්චස්කන්ධය ප්‍රාර්ථනා කෙරේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මහණ, මෙසේ වනාහි අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාවෙන් බලාපොරොත්තු වන්නේය.
“මහණ, කෙසේ නම් අනාගත පඤ්චස්කන්ධය බලාපොරොත්තු නොවේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මහණ මෙසේ වනාහි අනාගත පඤ්චස්කන්ධය බලාපොරොත්තු නොවෙයි.
“මහණ, කෙසේ නම් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ඇදගැණීම වේද, මහණ, මේ ශාසනයෙහි අශ්‍රැතවත්වූ පෘථග්ජන තෙම ආර්‍ය්‍යයන් නොදක්නේ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූයේ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනේ සත්පුරුෂයන් නොදක්නේ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූයේ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනේ රූපය තමා වශයෙන් දකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකියි. රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව තමා වශයෙන් දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. සංඥාව තමා වශයෙන් දකියි. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකියි. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. සංස්කාරයන් තමා වශයෙන් දකියි. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි කියා හෝ දකියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. මහණ, මෙසේ වනාහි ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි ඇදගැනීම වේ.
“මහණ, කෙසේ නම් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි ඇදගැනීම නොවේද, මහණ, මේ ශාසනයෙහි ශ්‍රැතවත්වූ ආර්‍ය්‍යයන් දක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහිද දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය ඇත්තෙකැයි හෝ (නොදකියි.) තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ නොදකියි. වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකියි සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. සංස්කාරයන් තමා වශයෙන් නොදකියි. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකියි. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි කියා හෝ නොදකියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා නොදකියි. මහණ, මෙසේ වනාහි ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැණීම නොකෙරේ.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. එහි තෘෂ්ණාව නොපවත්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට, පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඔහු ඒකාන්තයෙන් භද්දෙකරත්තයයි, ශාන්තවූ සර්වඥ මුනි තෙම ප්‍රකාශ කෙරේයයි, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේයි.
සතරවැනිවූ ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය නිමි. (4-4)