මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

4. විභංග වර්ගය

136. මහාකම්ම විභංග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම අරණ්‍ය කුටියෙක්හි වාසය කරයි. එකල්හි පොතලිපුත්ත නම් පරිව්‍රාජක තෙම ජංඝාවිහරණයෙන් (පා ගමනින්) සක්මන් කරන්නේ ගමන් කරන්නේ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය.

එකත්පසෙක හුන්නාවූ “පොතලිපුත්ත” නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, කාය කර්මය හිස්ය. ඵල රහිතය. වාග් කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මයම සත්‍යය යන මෙය මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් අසනලදී. උන්වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේදැ”යි ඇසීය.

“ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව, ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට නින්දා නොකරව. භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ කාය කර්මය හිස්ය, ඵල රහිතය. වචී කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මය සත්‍යයයි මෙසේ නොවදාරන්නේය. ඇවැත්නි, යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේමැයි.”

“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, ඔබ පැවිදිව කෙතෙක් කල් වූයෙහිදැ”යි (ඇසි.)

“ඇවැත්නි, බොහෝ කල් නොවේ. තුන් අවුරුද්දකැ”යි කීය.

“යම් තැනෙක්හි (යම් සස්නෙක්හි) මෙසේ නවක භික්ෂූ තෙම ශාස්තෲන් වහන්සේ ආරක්ෂා කළයුත්තෙකු කොට හඟින්නේ නම් මෙහිදී අපි ස්ථවිර භික්ෂූන් ගැන කුමක් කියන්නෙමුද?

“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්ම කොට ඒ පුද්ගලතෙමේ කිනම් වේදනාවක් විඳීද?”

“ඇවැත් පොතලිපුත්‍රය, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්ම කොට, ඒ පුද්ගල තෙමේ වේදනාව විඳින්නේය.”

ඉක්බිති පොතලිපුත්‍ර නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ගේ කීම නොපිළිගත්තේය. ප්‍රතික්ෂෙපද නොකෙළේය. නොසතුටුවී, ප්‍රතික්ෂෙපද නොකොට හුනස්නෙන් නැගිට ගියේය.

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා බැහැර ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමගවූ කථා සල්ලාපය යම් පමණක්වීද, ඒ සියල්ල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කීයේය. එසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඇත්තේමය. ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, යමු, භාග්‍යවතුන් වහන්සේ, යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු” යනුය. “ඇවැත්නි, එසේය,” ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්නේය.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමග කළ කතාබහ යම් පමණක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේය. එසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ වදාළේය. ‘ආනන්දය, මම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා දුටු බවක්වත් නොදනිමි. මෙබඳු කථා බහක් කෙසේ ඇති වන්නේද? ආනන්දය, මේ සමිද්ධි නම් හිස් පුරුෂයා විසින් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට බෙදා ප්‍රකාශ කටයුතුවූ ප්‍රශ්නය එක් අංශයකින් ප්‍රකාශ කෙළේය.”

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම භාග්‍යවතුන්වහන්සේට “ස්වාමීනි, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් විසින් ‘යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය’ යන මෙය සඳහා කියන ලද්දක් විය හැකිය” යි කීය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, මේ උදායී නම් මොඝ පුරුෂයාගේ නොමඟ යාම නුඹ, බලව. ආනන්දය, මම වනාහි දැන්ම මේ උදායී නම් හිස් පුරුෂතෙම කාරණානුකූලව නොගෙන හිස ඔසවන්නේ යයි දැනගතිමි.

“ආනන්දය, මුලදීම පොතලීපුත්‍ර නම් පරිව්‍රාජකයා විසින් වේදනා තුන අසන ලද්දාහ. ආනන්දය, ඉදින් මේ සමිද්ධිනම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මෙසේ අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කෙළේ නම්, (කෙසේද?) ‘ඇවැත් පොතලිපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන සැප විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම සැප විඳියි. ඇවැත් පොතලිපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන දුක් විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම දුක් විඳියි. ඇවැත් පොතලිපුත්‍රය කයින්, වචනයෙන්, සිතින් දැන දැන දුක්ද නොවූ සැපද නොවූ වේදනා විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳියයි’ ආනන්දය, මෙසේ ප්‍රකාශ කරන්නාවූම සමිද්ධි නම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මනාකොට ප්‍රකාශ කරන්නේය.

“ආනන්දය, එතකුදුවුවත් අව්‍යක්තවූ බාලවූ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයෝ කවරහුද? තථාගතයන්ගේ මහාකර්ම විභාගය කවරහු දන්නාහුද? ආනන්දය, ඉදින් තෙපි මහා කර්ම විභාගය, බෙදා දක්වන්නාවූ තථාගතයන්ගේ (ඒ ධර්මය) අසන්නහුදැයි” (ඇසූහ.)

‘භාග්‍යවතුන් වහන්සේ යම් මහා කර්ම විභංගයක් බෙදා වදාරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. භාග්‍යවතුන් වහන්සේගේ (සමීපයෙන්) අසා භික්ෂූහු දරන්නාහුයයි” (කීය.)

“ආනන්දය, එසේ වීනම්, අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය. “ස්වාමීනි, එසේයයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “ආනන්දය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි විද්‍යමාන වන්නාහුය. කවර සතර දෙනෙක්ද යත්, ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෙහි ප්‍රාණඝාත කරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්වූ කථා ඇත්තේ වේද, දැඩි

ලොභය බහුලකොට ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.

“ආනන්දය, මේ ලොකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් නොමරන්නේ වේද, සොරකම් නොකරන්නේ වේද, කාමයන්හී වරදවා නොහැසිරෙන්නේ වේද, බොරු නොකියන්නේ වේද, කේළාම් නොකියන්නේ වේද, රළුබස් නොකියන්නේ වේද, හිස්බස් නොකියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටික නොවේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදියි.

“ආනන්දය, ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු වචන කීමෙන් වැළකුනේ වේද, හිස් කථා කීමෙන් වැළකුනේ වේද, දැඩි ලොභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති සවර්ගලොකයෙහි උපදියි.

“ආනන්දය, මේ ලොකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු වචන කීමෙන් වැළකුනේ වේද, හිස් කථා කීමෙන් වැළකුනේ වේද, දැඩි ලොභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ අකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.

“ආනන්දය, මේ ලොකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ අනුයොග වීර්‍ය්‍යයට පැමිණ අප්‍රමාද වීර්‍ය්‍යයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ දිවැස පිළිබඳ සමාධියක් ලබයි. යම්සේ එකඟවූ සිත ඇතිකල්හි දිව්‍යවූ මිනි’සැස ඉක්ම පවත්නාවූ පිරිසිදුවූ ඇසින් මේ ලෝකයෙහි ප්‍රාණඝාත කළාවූද, සොරකම් කළාවූද, කාමයන්හි වරදවා හැසුරුණාවූද, බොරු කීවාවූද, කේලාම් කීවාවූද, රළු වචන කීවාවූද, හිස් බස් කීවාවූද, දැඩි ලොභ ඇත්තාවූද, ව්‍යාපාද සිත් ඇත්තාවූද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපන් මේ පුද්ගලයා දකියිද, හෙතෙම මෙසේ කියයි. ‘පින්වත, ලාමකවූ කර්ම ඇත්තාහ. දුශ්චරිතයනට විපාක ඇත්තේය. මම මේ ලොකයෙහි සතුන් මරා සොරකම් කොට, කාමයෙහි වරදවා හැසිරී, බොරු කියා කේලාම් කියා, රළු බස් කියා, හිස් බස් කියා, දැඩි ලෝභ බහුලකොට ඇත්තාහු, ව්‍යාපාද සිත් උපදවා, මිථ්‍යාදෘෂ්ටිගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගති නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපන් මේ පුද්ගලයා දකිමි’ යනුයි.

“හෙතෙම මෙසේ කියයි, ‘පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේද, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුර්ගති නම්වූ වීනිපාත නම් නරකයෙහි උපදියි. යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් ප්‍රකාරයකින් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි.’ මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමා විසින්ම දන්නා ලද්දක්ද, තමා විසින්ම දක්නා ලද්දක්ද, තමා විසින්ම ප්‍රකට කරණ ලද්දේද, එයම ඔහු දෘෂ්ටියෙන් තදින් අල්වා ගෙන එය ඇතුළත් කොටගෙන මෙයම සත්‍යය, මෙයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කරයි.

“ආනන්දය, මේ ලොකයෙහි වනාහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙළෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ අනුයොගයට පැමිණ අප්‍රමාදයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ දිවැස පිණිස පවත්නාවූ සමාධියක් ලබයි. යම්සේ එකඟවූ සිත ඇතිකල්හි පිරිසිදුවූ මිනි’සැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් මේ ලොකයෙහි සතුන් මරා, සොරකම් කොට, කාමයන්හි වරදවා හැසිරෙන්නහු, බොරු කියන්නහු, කේළාම් කියන්නහු, රළු බස් කියන්නහු, හිස් බස් කියන්නහු, විෂම ලොභය බහුල කොට ඇත්තහු, ව්‍යාපාද සිත් ඇත්තහු, මිථ්‍යාදෘෂ්ටි ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපන් මේ පුද්ගලයා දකියි.

“හෙතෙම මෙසේ කියයි. ‘පින්වත, ලාමකවූ කර්ම නැත්තාහ. දුශ්චරිතයට විපාකයෙක් නැත්තේය. මම මේ ලොකයෙහි ප්‍රාණඝාත කළ, සොරකම් කළ, කාමයන්හි වරදවා හැසුරුණු, බොරු කී, කේළාම් කී, රළු බස් කී, හිස් බස් කී, විෂම ලොභය බහුලකොට ඇති, ව්‍යාපාද සිත් ඇති, මිසදිටු ගත් පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපන් මේ පුද්ගලයා දකිමි’ යනුයි. හෙතෙම මෙසේ කියයි. ‘පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේද, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියවූ දිව්‍යලෝකයෙහි උපදියි. යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි.’ මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමන්ම දන්නා ලද්දේද, තමන්ම දක්නා ලද්දේද, තමන්ට ප්‍රකට කෙළේද, එයම දැඩි දෘෂ්ටි අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යය, අනික හිස්යයි ව්‍යවහාර කරයි.

“ආනන්දය, මේ ලොකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ, ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ, භාවනා වීර්‍ය්‍යයට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාකොට මෙනෙහි කිරීමට පැමිණ, යම් ආකාරයකින් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ මිනි’සැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් මේ පුද්ගලයා දකීද, එබඳු චිත්තසමාධියක් ලබයිද, හෙතෙමේ මේ ලොකයෙහි ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, (පුද්ගලයා) ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලොකයෙහි ඉපද සිටිනුයි. හෙතෙම ‘පින්වත, කුසලකර්මයෝ ඇත්තාහුමය. සුචරිතයට විපාකයෙක් ඇත්තේය. මම මේ ලොකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලොභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලොකයෙහි ඉපද සිටිනු දකිමියි’ කියයි. හෙතෙම ‘පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළුබස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලොභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලොකයෙහි උපදිත්යයි යම් කෙනෙක් මෙසේ දනිත්ද, ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්‍යාදැනීමයි.’ මෙසේ හෙතෙම යමක්ම තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින්ම දක්නා ලද්දේද, තමන් විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය සිස්යයි ව්‍යවහාර කරයි.

“ආනන්දය, මේ ලොකයෙහි වනාහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ, ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ, භාවනා වීර්‍ය්‍යයට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාකොට මෙනෙහි කිරීමට පැමිණ, යම් ආකාරයකින් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ ඉක්මවනලද මිනි’සැස ඇත්තාවූ දිව්‍යවූ ඇසින් මේ පුද්ගලයා දකීද, එවැනි චිත්තසමාධියක් ලබයිද, හෙතෙමේ මේ ලොකයෙහි ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළුබස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුර්ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකී. හෙතෙම පින්වත, කුසලකර්මයෝ නැත්තාහුමය. සුචරිතයට විපාකයෙක් නැත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළුබස් කීමෙන් වැළකුනාවූ, හිස්බස් කීමෙන් වැළකුනාවූ, විෂමලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දකිමියි, කියයි. හෙතෙම පින්වත, යමෙක් වනාහි ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, නොදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස්බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදිත්යයි’ යම් කෙනෙක් මෙසේ දනිත්ද, ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දකින් දනිත්ද ඔවුන්ගේ දැනීම මිථ්‍යාදැනීමයයි, මෙසේ හෙතෙම යමක්ම තමා විසින් දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම එහි දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය සිස්යයි, ව්‍යවහාර කරයි.

“ආනන්දය, ඒ මහණ බමුණන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘පින්වත, ලාමකවූ කර්මයෝ ඇත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් ඇත්තේයයි කියයි නම් ඔහුගේ ඒ කීම අනුදනිමි. යමෙක් වනාහි මම මේ ලොකයෙහි සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළුබස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුල කොට ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දකිමි’යි කියා නම් ඔහුගේ ඒ කීමද අනුදනිමි. යමෙක් වනාහි ‘පින්වත, මේ ලොකයෙහි යමෙක් සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, රළුබස් කියන්නේ වේද, හිස්බස් කියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, ව්‍යාපාද සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදිත්ය’යි කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔව්හුම මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි කියයි නම් ඔහුගේ කීමද නොඅනුදනිමි. යමෙක් තමා විසින් දන්නා ලද්දම තමන් විසින් දක්නා ලද්දක්ම තමන් විසින් ප්‍රකට කරන ලද්දම සත්‍යයි, එයින් අන්‍යය හිස්යයි දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන ව්‍යවහාර කෙරේ නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද? ආනන්දය; තථාගතයන්ගේ මහාකර්ම බෙදා දැක්වීමෙහි ඥානය අන් ආකාරයකින්ම වෙයි.

“ආනන්දය, ඔවුන් අතරෙහි යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘පින්වත, පාප කර්මයෝ නැත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් නැත්තේයයි’ කියයි, නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ‘මම මෙහි සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ, කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේලාම් කියන්නාවූ, රළු බස් කියන්නාවූ, හිස් බස් කියන්නාවූ, විෂම ලෝභය බහුල කොට ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලොකයෙහි ඉපද සිටිනු දකිමි’යි යන යමක්, කියයි නම් ඔහුගේ ඒ කීම අනුදනිමි. හෙතෙම ‘පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂමලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදාෂ්ටි ඇත්තේවේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදී යන යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්, යම් කෙනෙක් අන්පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමෙක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම තමන් විසින් දන්නා ලද්දම, තමන් විසින් දක්නා ලද්දම, තමන් විසින් ප්‍රකට කරන ලද්දම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන, ඇතුළත් කොටගෙන සත්‍යයයි, එයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි.

“ඊට හේතු කවරේද, ආනන්දය, තථාගතයන්ගේ මහාකර්මය බෙදා දැක්වීම අන් ආකාරයකින්ම වේ. ආනන්දය, ඔවුන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘පින්වත, කුසල කර්මයෝ ඇත්තාහුය. සුචරිතයට විපාකයෙක් ඇත්තේයයි, යමක් කියයිද, ඔහුගේ මේ කීම අනුදනිමි. හෙතෙම මම මෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලොකයෙහි ඉපද සිටිනු දකිමි’ යන යමක් කියයිද, ඔහුගේ මේ කීමද අනුදනිමි. හෙතෙම පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, හොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලොකයෙහි උපදීය’ යන යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමෙක් කියා නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම යමක් තමන් විසින් දන්නා ලද්දේද, තමන් විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යයි, මෙයින් අන්‍ය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද, ආනන්දය, තථාගතයන්ගේ මහා කර්මය බෙදා දැක්වීමෙහි ඥානය අන් පරිද්දෙකින්ම වේ.

“ආනන්දය, ඔවුන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘පින්වත, කුසල කර්මයෝ නැත්තාහුමය. සුචරිතයට විපාකයෙක් නැත්තේයයි’ යමක් කියයිද, ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ‘මම මෙහි ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයාද ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දකිමියි’ යමක් කියයිද ඔහුගේ ඒ කීමද අනුදනිමි. හෙතෙම ‘පින්වත යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීයයි,’ යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනු දනිමි. හෙතෙම ‘යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි’ යමක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනු දනිමි. හෙතෙම යමක් තමා විසින් දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වා ගෙන ඇතුළත්කොට ගෙන ‘මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය සිස්යයි’ ව්‍යවහාර කෙරේ නම් ඔහුගේ ඒ කීමද නොඅනු දනිමි. ඊට හේතු කවරේද, ආනන්දය, තථාගතයන්ගේ මහා කර්ම බෙදා දැක්වීමෙහි ඥානය අන්පරිද්දකින්ම වේ.

“ආනන්දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මේ ලොකයෙහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීද, ඔහුගේ දුක් විඳීම පිණිස පවත්නා ඒ පාපකර්මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ දුක් විඳීම පිණිස පවත්නාවූ ඒ පාපකර්මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. මොහුගේ මරණ කාලයෙහි හෝ සම්පූර්ණ කරණ ලද සමාදන්වන ලද මිථ්‍යා දෘෂ්ටිය හෝ වෙයි. හෙතෙම ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදියි. හෙතෙම මේ ලොකයෙහි සතුන් මරන්නේ හෝ සොරකම් කරන්නේ හෝ කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ හෝ වෙයිද, ඒ කර්මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් භවයන්හි හෝ විඳියි.

‘ආනන්දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මෙලොව සතුන් මරන්නේ, සොරකම් කරන්නේ කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යා දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලොකයෙහි උපදී නම්, ඔහුගේ ඒ සැපට කරුණුවූ කුසල කර්මය ඊට පළමු කරණ ලද්දක් හෝ වෙයි. ඔහුගේ ඒ සැපට කරුණුවූ කුසල කර්මය ඊට පසුව කරණ ලද්දක් හෝ වේ. ඔහුගේ මරණ කාලයෙහි සම්පූර්ණ කරන ලද සමාදන්වන ලද සම්‍යක් දෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලොකයෙහි උපදියි. ඉදින් වනාහි හෙතෙම මෙහි ප්‍රාණඝාත කරන්නේ සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි වූයේ හෝ වේද, ඒ කර්මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි අනික් අනික් ආත්මවල හෝ විඳියි.

“ආනන්දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලොකයෙහි උපදී නම්, සැප විඳීමට හේතුවූ ඒ කුශල කර්මය ඊට පළමු කරණ ලද්දක් හෝ වෙයි. ඔහුගේ ඒ සැප විඳීමට හේතුවූ කුශල කර්මය ඊට පසුව කරණ ලද්දක් හෝ වෙයි. මරණ කාලයෙහි හෝ සම්පූර්ණ කරණ ලද සමාදන් වන ලද සම්‍යක් දෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලොකයෙහි උපදියි. හෙතෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. රළුබස් කීමෙන් වැළකුනේ වෙයි. හිස් බස් කීමෙන් වැළකුනේ වෙයි. විෂම ලොභය නැත්තේ වෙයි. ව්‍යාපාද සිත් නැත්තේ වෙයි. සම්‍යක් දෘෂ්ටි වූයේ හෝ වෙයිද, ඔහුගේ ඒ කර්මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් ආත්මයක හෝ විඳියි.

“ආනන්දය, ඔවුන් අතුරෙන් යම් යම් පුද්ගලයෙක් තෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි දුක් විඳීමට හේතුවූ ඒ අකුශල කර්මය ඊට පළමු කරණ ලද්දක් හෝ වෙයි. දුක් විඳීමට හේතුවූ ඒ අකුශල කර්මය ඊට පසුව කරණ ලද්දක් වෙයි. මරණ කාලයෙහි කරන ලද සමාදන් වන ලද මිථ්‍යාදෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුක් ඇත්තාවූ විනිපාත නම් නිරයෙහි උපදියි. හෙතෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සම්‍යක් දෘෂ්ටි වූයේ වෙයිද, ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අපරපරියායෙහි හෝ විපාකය විඳියි.

“ආනන්දය, මෙසේ වනාහි අභව්‍යාකාරවූ (අකුසලයෙන් වැළකුනාවූ) අභව්‍ය කර්මයක් (අකුසල කර්මයක්) ඇත්තේය. භව්‍යාකාරවූ (කුසල කර්මයෙන් වළකන්නාවූ) අභව්‍ය (අකුසල) කර්මයක් ඇත්තේය. භව්‍යාකාරවූද (කුසලයෙන් වළකන්නාවූද) භව්‍යවූම (කුසල්වූම) කර්මයක් ඇත්තේය. අභව්‍යාකාරවූ (අකුසලයෙන් වළකන්නාවූ) භව්‍ය (කුසල) කර්මයක් ඇත්තේයයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේයයි.

මහා කම්ම විභංග සූත්‍රය නිමි (4-6)