මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

1. ගෘහපති වර්ගය

52. අට්ඨක නාගර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි බෙලුව නම් ගම වැඩ වාසය කරති. එකල්හි අට්ඨකනම් නුවර වැසිවූ දසම නම් ගෘහපති තෙම කිසියම් කටයුත්තක් සඳහා පැලළුප් නුවරට පැමිණියේ වෙයි. ඉක්බිති අට්ඨකනම් නුවර වැසි දසම නම් ගෘහපතිතෙම කුක්කුටාරාමය (කුක්කුට නම් සිටුහු විසින් කරවන ලද හෙයින් එනම්වූ ආරාමය) යම් තැනෙක් හිද, එක්තරා භික්ෂු නමක් යම් තැනෙකද එතනට ගියේය. ගොස් ඒ භික්ෂුවට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ දසම නම් අට්ඨක නුවර වැසි ගෘහපති තෙම ඒ භික්ෂුවට මෙසේ කීයේය.

“ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙකල්හි වාසය කරන්නේ කොහිද? අපි ඒ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දකිනු කැමැත්තම්හ” (යනුයි.)

“ගෘහපතිය, මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ බෙලුවනම් ගමෙහි වැඩවාසය කරති.” (කීහ)

ඉක්බිති දසම නම් අට්ඨක නගර වැසි ගෘහපතිතෙම පැලළුප් නුවර ඒ කටයුත්ත නිමවා විශාලාමහනුවර බෙලුව නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පැත්තක උන්නේය. එක පැත්තක හුන්නාවූම දසම නම් අට්ඨක නගරවැසි ගෘහපතිතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවගේ කෙලෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද නැති නොවූ කෙලෙස් හෝ නැති වීමට පැමිණේද, නොපැමිණි නිරුත්තරවූ නිවණට හෝ පැමිණේද එබඳුවූ එකම ධර්මයක් සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනාකර ඇත්තේද?”

“ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව, වාසය කරන්නාවූ භික්ෂුවගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූ සිත කෙලෙසුන් ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යෙද්ද, නොපැමිණියාවූ නිරුත්තරවූ නිවණට පැමිණේද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනාකරන ලද්දාවූ (එබඳුවූ) ධර්මයක් ඇත්තේ මැයි.

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂූවගේ නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැතිවීමට යෙද්ද, නොපැමිණියාවූ නිරුත්තරවූ නිවණට පැමිණේද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කළාවූ එබඳුවූ ඒ එක් ධර්මය නම් කවරේද?”

“ගෘහපතිය, යම් ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, හෙතෙම මෙසේ සලකයි. මේ පළමුවන ධ්‍යානය වනාහි හේතුවෙන් උපදවන ලද්දක්ය. සිතින් උපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි හේතුවෙන් උපදවන ලද්දේද, සිතින් උපදවන ලද්දේද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තේ යයි දැනගනියි. හෙතෙම එහි (ඒ සමථ විදර්ශනා ධර්මයෙහි) සිටියේ කෙලෙස් නැසීමට පැමිණේ. ඉදින් කෙලෙස් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගියවූ සංයෝජන නැසීමෙන් එහි පිරිනිවෙන සුළුවූයේ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකවෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද නැති නොවූ කෙලෙස් නැතිවීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම්වූ නිවණට පැමිණේද එබඳුවූ මේ එක් ධර්මයද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ රහත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලදී.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම මෙසේ සලකයි. මේ දෙවන ධ්‍යානයද වනාහි ප්‍රත්‍යයෙන් කරන ලද්දක්ය. සිතින් උපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි ප්‍රත්‍යයෙන් කරන ලදද සිතින් උපදවන ලදද, එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙස් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙස් නැසීමට නොපැමිණේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයෝජනයත් නැසීමෙන් එහි පිරිනිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවගේ නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැතිවීමට යෙත්ද, නොපැමිණියාවූ නිවණට පැමිණේද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේද එක් ධර්මයකි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නො ඇල්මෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තුන්වනධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ තුන්වන ධ්‍යානයද ප්‍රත්‍යයෙන් කරන ලද්දේය. සිතින් උපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි ප්‍රත්‍යයෙන් කරන ලද්දේද, සිතින් උපදවන ලද්දේද, එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගණියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙස් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂූහුගේ නොමිදුනාවූම සිතත් කෙලෙසුන් ගෙන් මිදේද නැති නොවූ කෙලෙසුන් නැති වීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද නුවණින් දන්නාවූ නුවණැසින් දක්නාවූ අරහත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එක ධර්මයද වෙයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපද දුරුකිරීමෙන් දුකද දුරු කිරීමෙන් පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිත පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ සතරවන ධ්‍යානයද රැස්කරන ලද්දක්ය. සිතින් කල්පනා කරන ලද්දක්ය. යම් කිසිවක් වනාහී රැස්කරන ලදද කල්පනා කරනලදද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක්යයි දැනගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන්නේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූ සිත කෙලෙසුන් ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතර වන දිසාවද මෙසේ උඩ යට සරස යන සියළු තන්හි සියල්ලෙහි පැතිරීමෙන් යුත් සියල්ල ඇති ලොකය විපුලවූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූම මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ මෛත්‍රී සහගත සමාධිය හේතුවෙන් උපදවන ලද්දීය. සිතින් උපදවන ලද්දීය. යම් කිසිවක් වනාහි හේතුවෙන් උපදවන ලදද, එය අනිත්‍යය නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයෝජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි සියල්ලෙහි පැතිර පැවති සියල්ල ඇති ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ කරුණා සහගත සමාධියද හේතුවෙන් උපදවන ලද්දේය. සිතින් උපදවන ලද්දේය. යමක් හේතුවෙන් උපදවන ලදද, සිතින් උපදවන ලදද එය අනිත්‍යය, නැතිවන ස්වභාව ඇත්තක්යයි දැනගනී. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි වූ ඇල්මෙන්, ඒ ධර්මයෙහි වූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයෝජනයන් නැතිවීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන් ගෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන් ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වනදිශාවද එසේම සතරවනදිශාවද මෙසේ උඩයට සරස යන සියලු තන්හි සියල්ලෙහි පැතිර පැවති සියල්ල ඇති ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි, හෙතෙම මෙසේ සලකයි. මේ මුදිතා සහගත සමාධියද හේතුවෙන් උපදවන ලද්දේය. සිතින් උපදවන ලද්දේය. යමක් හේතුවෙන් උපදවන ලදද, සිතින් උපදවන ලදද, එය අනිත්‍යය, නැතිවන ස්වභාව ඇත්තක්යයි දැනගනී. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන්ගෙන් නොමිදුනා වූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියල්ලෙහි සියළු තැන පතලාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි, මේ උපෙක්ෂා සහගත සමාධියද හේතුවෙන් උපදවන ලද්දේය. සිතින් උපදවන ලද්දේය යම් කිසිවක් වනාහි හේතුවෙන් උපදවන ලදද, සිතින් උපදවන ලදද එය අනිත්‍යය නැතිවන ස්වභාව ඇත්තේයයි දැනගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි වූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහි වූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඕරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන් කෙරෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැති වීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්ම වීමෙන් ද්වාරඅරමුණු වශයෙන් හැපීම් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසනඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයිද, හෙතෙම මෙසේ සිතයි මේ ආකාසනඤ්චායතන සමාපත්තියද හේතුවෙන් උපදවන ලද්දේය. සිතින් උපදවන ලද්දේය. යම් කිසිවක් වනාහී හේතුවෙන් උපදවන ලදද, සිතින් උපදවන ලදද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක් යයි දැනගණියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂූහුගේ කෙලෙසුන් කෙරෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන් ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියළු ආකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයිද හෙතෙම මෙසේ සලකයි. මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියද හේතුවෙන් උපදවන ලද්දේය සිතින් උපදවන ලද්දේය යම් කිසිවක් වනාහී හේතුවෙන් උපදවන ලදද සිතින් උපදවන ලදද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක් යයි දැන ගණියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන් ගෙන් නොමිදුනාවූ සිතත් කෙලෙසුන්ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැති වීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියළු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියද හේතුවෙන් උපදවන ලද්දේය සිතින් උපදවන ලද්දේය. යම් කිසිවක් වනාහි හේතුවෙන් උපදවන ලදද සිතින් උපදවන ලදද, එය අනිත්‍යය නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙස් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම, ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැති වීමට යත්ද, නොපැමිණියාවූ උතුම් නිවණටත් පැමිණේද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ රහත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද එබඳුවූමේ එකක්වූ ධර්මයද වෙයි.”

මෙසේ වදාළ කල්හි අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපතිතෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම්සේ පුරුෂයෙක්තෙම එක නිධානයක් සොයන්නේ එක වරම නිධාන එකොළොසක් ලබන්නේද, ස්වාමීනි, එපරිද්දෙන්ම මම එක නිවන් දොරටුවක් සොයන්නේ එකවරම නිවන් දොරටු එකොළොසක් ඇසීමට ලදිමි. ස්වාමීනි, යම්සේ පුරුෂයෙකුට දොරටු එකොළොසක් ඇති ගෙයක් වේද, හෙතෙම ඒ ගෙය ඇවිලගත් කල්හි ඒ එක එක දොරටුවකිනුත් තමා සුවපත් කරන්ට හැකිවන්නේද ස්වාමීනි, එපරිද්දෙන්ම මම වනාහි මේ එකොළොස් නිවන් දොරටු අතුරෙන් එක එක නිවන් දොරටුවකිනුත් තමා සුවපත් කරන්නට හැකි වන්නෙමි. ස්වාමීනි, මේ අන්‍යතීර්ථකයෝ නම් ආචාර්‍ය්‍යයාට (ගුරුවරයාට) ආචාර්‍ය්‍ය ධනය සොයන්නාහුය. කිමෙක්ද මම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පූජාවක් නොකරන්නෙම් දැ”යි කීයේය.

ඉක්බිති අට්ඨක නුවර වැසි දසම නම් ගෘහපතිතෙම පැළළුප් නුවර වැසිවූද විශාලාමහනුවර වැසිවූද භික්ෂු සංඝයා රැස් කරවා ප්‍රණීතවූ කෑයුතු දෙයින්ද බුදියයුතු දෙයින්ද සියතින් වැළඳවීය. එක එක භික්ෂුවට එක එක වස්ත්‍ර යුග්මයෙන් (දෙක බැගින්) හැඳවීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තුන් සිවුරෙන් හැඳවීය. (පිදීය) ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පන්සියයක් අගනා විහාරයක් කරවූයේය.

දෙවෙනිවූ අට්ඨකනාගර සූත්‍රය නිමි. (1-2)