මජ්ඣිම නිකාය
මජ්ඣිම පණ්ණාසකය
2. භික්ෂු වර්ගය
63. චූල මාලුංක්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි රහසිගතව සිත එකඟ කළ මාලුංක්‍ය පුත්‍ර තෙරුන් වහන්සේට සිත පිළිබඳ මෙබඳු කල්පනාවක් පහළ විය. (එනම්) ‘ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, ලෝකය කෙළවරක් නැත්තේය කියාද, ඒ ජීවයම ඒ ශරීරයයි කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්වයා මරණින් පසු ඇතිවේය කියාද, සත්වයා මරණින් පසු ඇති නොවේය කියාද, සත්වයා මරණින් පසු ඇතිවේද ඇතිනොවේද කියාද, සත්වයා මරණින් පසු ඇතිනොවේය ඇති නොවන්නේත් නොවේය කියාද, භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද, තබන ලද, ප්‍රතික්ෂෙප කරන ලද යම් මේ දෘෂ්ටීහු වෙත්ද, භාග්‍යවතුන් වහන්සේ මට ඒ දෘෂ්ටි ප්‍රකාශ නොකළහ. භාග්‍යවතුන් වහන්සේ මට යම් දෘෂ්ටි ප්‍රකාශ නොකළෝද මට එය රුචි නොවෙයි. මට එය ඉවසිය නොහැක. ඒ මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ඒ කාරණය විචාරන්නෙමි. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් එවිට මම භාග්‍යවතුන් වහන්සේ වෙත මහණකම් කරන්නෙමි.
“ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ නොකරන්නේ නම් එවිට මම පැවිදිකම හැර ගිහිවන්නෙමි” (කියායි.)
ඉක්බිති ආයුෂ්මත් මාලුංක්‍ය පුත්ත ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තක හුන් මාලුංක්‍ය පුත්ත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“ස්වාමීනි, මෙහි රහසිගතව සිත එකඟ කළ මට සිත පිළිබඳ මෙබඳු කල්පනාවක් පහළ විය. (එනම්) ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේ වෙත මහණකම් කරන්නෙමි. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ නොකරන්නේ නම් එවිට මම පැවිදිකම හැර ගිහිවන්නෙමි”යි (කියායි).
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය සදාකාලියයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලික නොවේයයි දනීද, මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලික නොවේයයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ නොදනීද (එසේ) නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (-මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් ඇත්තේය කියා දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය කෙළවරක් ඇත්තේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් නැත්තේය කියා දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය කෙළවරක් නැත්තේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ නොදනීද, එසේ නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ ‘නොදනිමි නොදකිමි’යි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඒ ජීවයම ඒ ශරීරය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ඒ ජීවයම ඒ ශරීරය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ජීවය අනිකෙක, ශරීරය අනිකෙකැයි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ජීවය අනිකෙක ශරීරය අනිකෙකැයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඒ ජීවයම ශරීරය’යි කියා හෝ ජීවය අනිකෙක ශරීරය අනිකෙකැයි කියා හෝ නොදනීද, නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (-මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇතිවේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇති නොවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇති නොවේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ නොදනීද, නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යිද ඇති නොවේය’යිද දනීද, මට භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යිද ඇති නොවේය’යි ද ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිනොවේය ඇති නොවන්නෙත් නොවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේයයි ප්‍රකාශ කෙරේවා ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේ යයිද ඇති නොවේය’යිද නොදනීද සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය’යිද නොදනීද නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමියි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.”
“මාලුංක්‍ය පුත්‍රය, කිමද? ඔබට මම මෙසේ කීයෙම්ද? ‘මාලුංක්‍ය පුත්‍රය, මම ඔබට ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරයයි කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නෙමි. (මෙහි) එව මා වෙත බඹසර (බ්‍රහ්මචරියායෙහි) හැසිරෙව පැවිදිවෙව”(යි කීයෙම්ද)
“ස්වාමීනි, එබඳු කීමක් නැත.”
“ඔබ හෝ මට, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේ කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නෙමියි පැවිදිවන්නෙමි’යි මෙසේ කීයෙහිද?”
“ස්වාමීනි, එබඳු කීමක් නැත.”
“මාලුංක්‍ය පුත්‍රය, මම ඔබට ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇති වේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇතිනොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නෙමි. එව ඔබ මා වෙත බඹසර හැසිරෙව පැවිදිවෙව යි, මාලුංක්‍ය පුත්‍රය, මම ඔබට මෙසේත් නොකීවෙමි. ඔබ මට ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නෙමියි, පැවිදිවන්නෙමි’යි කීයෙහිත් නොවෙයි. පුරුෂය, මෙසේ ඇති කල්හි (මෙසේ නම්) කවරෙක් කවරෙකු යදින්නෙහිද? (කවරෙකු ඉල්වන්නා හෝ ඉල්වනු ලබන්නාවෙහිද)
“මාලුංක්‍ය පුත්‍රය, යමෙක් මට ‘භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ යම්තාක් ප්‍රකාශ නොකරන්නේද, ඒතාක් මම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි නොවන්නෙමියි. මෙසේ කියන්නේ නම්, මාලුංක්‍ය පුත්‍රය, තථාගතයන් වහන්සේ විසින් එය ප්‍රකාශ නොකරණ ලද්දේම වන්නේය. ඉක්බිති ඒ පුද්ගල තෙම කළුරිය කරන්නේය. (ධර්මයෙන් ප්‍රතිකාර නොකළ හැක්කෙක් වන්නේය).
“මාලුංක්‍ය පුත්‍රය, යම්සේ පුරුෂයෙක් තදින් විෂ පෙවූ ඊතලයකින් පුරුෂයෙක් විදින ලද්දේ වන්නේද, (එතැනට) ඔහුගේ මිත්‍ර නෑදෑයෝ ශල්‍යවෛද්‍යයෙකු ඉදිරිපත් කරන්නාහුය (එවිට) ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද (ඒ) ක්ෂත්‍රියයෙක්ද, බ්‍රාහ්මණයෙක්ද, වෛශ්‍යයෙක්ද, ශුද්‍රයෙක්දැයි යම්තාක් ඒ පුරුෂයා ගැන නොදනිම්ද, ඒතාක් (දැනගන්නාතුරු) මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද, (ඒ) මේ නම් ඇත්තෙක, මේ ගොත්‍ර ඇත්තෙකැ’යි යම් තාක් ඒ පුරුෂයා ගැණ නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද, ඒ උස කෙනෙක, මිටි කෙනෙක, මධ්‍යම තරමේ කෙනෙකැ’යි යම්තාක් ඒ පුරුෂයා ගැන නොදනිම්ද ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද, (ඒ) කලු කෙනෙක, සුදු කෙනෙක, මගුරුවන් (තලේලලු) කෙනෙකැයි යම්තාක් ඒ පුරුෂයා ගැන නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද, (ඔහු) අසවල් ගමේ හෝ නියම්ගමේ හෝ නුවර හෝ යයි’ යම්තාක් ඒ පුරුෂයා ගැණ නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමකින් විදින ලද්දේ වෙම්ද, (එය) ඉදින් මහ දුන්නක්ද, ඉදින් කුඩා දුන්නක්දැයි ඒ දුන්න (ගැණ) යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යම් දුනු දිය (දුන්නේ බැඳි ලණුව) කින් විදින ලද්දේ වෙම්ද, (ඒ) වරා නූලින් කරන ලද්දක්ද, හණ නූලින් කරන ලද්දක්ද, නහරවලින් කරන ලද්දක්ද, මරුවවරා නූලින් කරන ලද්දක්දැ’යි දුනුදිය (ගැණ) යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යම් ඊතලයකින් විදිනලද්දේ වෙම්ද, (එය) ඉදින් පර්වත දියකඩක හටගන්නක්ද, රෝපණය කළ දෙයකින් සාදන ලද්දක්දැ’යි යම්තාක් ඊතලය ගැන නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යම් ඊතලයකින් විදින ලද්දෙම්ද, (එය) යම් පක්ෂියෙකුගේ පියාපත්වලින් වෙලන ලදද, ඒ ඉදින් ගිජුලිහිණියකුගේද, ඉදින් ලෝතුඩුවකුගේද, උකුස්සෙකුගේද, මොණරකුගේද, කරහීන් ලිහිණියකුගේදැ’යි යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි’
“ඔහු මෙසේ කියන්නේය. “යම් ඊතලයකින් විදින ලද්දේ වෙම්ද, (එය) යමෙකුගේ නහරවලින් වෙළන ලදද (ඒ) ඉදින් ගොණෙකුගේද, ඉදින් මීමෙකුගේද ඉදින් කලු සිංහයකුගේද, ඉදින් මුවකුගේදැයි ඒ ඊතලය (ගැණ) යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යම් ඊතලයකින් විදින ලද්දේ වෙම්ද, (එය) ඉදින් ඊතලයක්ද, ඉදින් තියුණු ඊතලයක්ද, ඉදින් වෙකණ්ඩයක්ද, ඉදින් නාරාචයක්ද, ඉදින් වසුදතක්ද, ඉදින් කණේරු පතක්දැ’යි ඊය (ගැණ) යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“මාලුංක්‍ය පුත්‍රය, ඒ පුරුෂයා විසින් (යටකී) කරුණු නොදන්නා ලද්දේම වන්නේය. එකල ඒ (විදුම්ලද) පුරුෂයා කළුරිය කරන්නේය.
“මාලුංක්‍ය පුත්‍රය, එපරිද්දෙන්ම යමෙක් යම්තාක් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක, ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවන්නේය. ඇති නොවන්නේත් නොවන්නේයයි ප්‍රකාශ නොකරන්නේද, ඒතාක් මම භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර නොහැසිරෙන්නෙමියි, පැවිදි නොවන්නෙමි යි කියන්නේද, එකල්හිද ඒ පුද්ගලතෙම මැරෙන්නේය. (ධර්මයෙන් වෙන් වන්නේය.)
“මාලුංක්‍ය පුත්‍රය, ලෝකය සදාකාලිකයයි, දැක්ම ඇති කල්හි හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, ලෝකය සදාකාලික නොවේය කියා දැකීම ඇති කල්හි හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම වන්නේද? එසේත් නොවේය. මාලුංක්‍ය පුත්‍රය, ලෝකය සදාකාලිකයයි දැක්ම ඇති කල්හිද, ලෝකය සදාකාලික නොවේයයි දැක්ම ඇති කල්හිද, ඒ මම මේ ආත්මයේදී යමක් විනාශයයි පැනවීම්ද (ඒ) ඉපදීම ඇත. ජරාව ඇත. මරණය ඇත. ශොක, වැලපීම්, දුක්, දොම්නස්, උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, ලෝකය කෙළවරක් ඇත්තේයයි දැක්ම ඇති කල්හි හෝ බඹසර වස වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, ලෝකය කෙළවරක් නැත්තේය කියා දැකීම ඇති කල්හි හෝ බඹසර වස වන්නේද? එසේත් නොවේමය. මාලුංක්‍ය පුත්‍රය, ලෝකය කෙළවරක් ඇත්තේයයි දැකීම ඇති කල්හි හෝ ලොකය කෙළවරක් නැත්තේයයි දැකීම ඇති කල්හි හෝ ඒ මම මේ ආත්මයේදී යමක් විනාශය යි පැනවීම්ද ඒ ඉපදීම ඇත. ජරාව ඇත. මරණය ඇත. ශොක වැලපීම් දුක් දොම්නස් උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, ඒ ජීවයම ඒ ශරීරය’යි දැක්ම ඇති කල්හි බඹසර වස වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, ජීවය අනිකක ශරීරය අනිකකැ’යි දැකීම ඇති කල්හි බඹසර වසවන්නේද? එසේද නොවේය. මාලුංක්‍ය පුත්‍රය, ඒ ජීවය ඒ ශරීරය’යි දැකීම ඇති කල්හිද, ජීවය අනිකක, ශරීරය අනිකකැයි දැකීම ඇතිකල්හිද ඒ මම මේ ආත්මයේදී යමක් විනාශයයි පැනවීම්ද, (ඒ) ඉපදීම ඇත, ජරාව ඇත, මරණය ඇත, ශොක වැලපීම් දුක් දොම්නස් උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇතිවේයයි දැකීම ඇති කල්හි හෝ බඹසර වස වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇති නොවේයයි දැකීම ඇති කල්හි හෝ බඹසර වස වන්නේද? එසේත් නොවේය. මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇතිවේය’යි දැකීම ඇති කල්හිද, සත්වයා මරණින් පසු ඇති නොවේයයි දැකීම ඇතිකල්හි හෝ ඒ මම මේ ආත්මයේදී යමක් විනාශයයි පැනවීම්ද, ඒ ඉපදීම ඇත, ජරාව ඇත, මරණය ඇත. ශොක, වැළපීම්, දුක්, දොම්නස් උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇතිවේද, ඇති නොවේදැයි දැකීම ඇතිකල්හි හෝ බඹසර වස වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින්පසු ඇති නොවේ. ඇතිනොවන්නේත් නොවේය’යි දැකීම ඇති කල්හි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම වන්නේද? එසේත් නොවේය. මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇතිවේද ඇතිනොවේ දැයි දැකීම ඇති කල්හිද ඇති නොවේ, ඇති නොවන්නේත් නොවේය කියා දැකීම ඇති කල්හිද, ඒ මම මේ ආත්මයෙදී යමක් විනාශයයි පැනවීම්ද (ඒ) ඉපදීම ඇත, ජරාව ඇත. මරණය ඇත. ශොක, වැලපීම්, දුක්, දොම්නස් උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, එහෙයින් මෙහි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද වශයෙන් දරව්. මා විසින් ප්‍රකාශ කරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද වශයෙන් දරව්. මාලුංක්‍ය පුත්‍රය, මා විසින් කුමක් ප්‍රකාශ නොකරණ ලදද? මාලුංක්‍ය පුත්‍රය, මා විසින් ලෝකය සදාකාලිකයයිද ප්‍රකාශ නොකරන ලදී. මා විසින් ලෝකය සදාකාලික නොවේයයිද ප්‍රකාශ නොකරනලදී. මා විසින් ලෝකය කෙළවරක් ඇත්තේය’යිද ප්‍රකාශ නොකරන ලදී. මා විසින් ලෝකය කෙළවරක් නැත්තේයයිද ප්‍රකාශ නොකරන ලදී. මා විසින් ඒ ජීවයම ඒ ශරීරයයිද ප්‍රකාශ නොකරනලදී. මා විසින් ජීවය අනිකක ශරීරය අනිකකැයිද ප්‍රකාශ නොකරනලදී. මා විසින් සත්වයා මරණින් පසු ඇතිවේය’යිද ප්‍රකාශ නොකරන ලදී. මා විසින් සත්වයා මරණින් පසු ඇති නොවේය’යිද ප්‍රකාශ නොකරණ ලදී. මා විසින් සත්වයා මරණින් පසු ඇතිවේය ඇති නොවේය’ යිද ප්‍රකාශ නොකරණ ලදී. මා විසින් සත්වයා මරණින් පසු ඇති නොවේය, ඇති නොවන්නේත් නොවේයයිද ප්‍රකාශ නොකරන ලදී. මාලුංක්‍ය පුත්‍රය, කවර හෙයකින් මා විසින් එය ප්‍රකාශ නොකරන ලදද? මාලුංක්‍ය පුත්‍රය, එය අර්ථයෙන් යුක්ත (-ප්‍රයෝජනයක් ඇති දෙයක්) නොවේ, එය මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන (-ශීල මාත්‍රයකුදු) නොවේ. එය සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, කෙලෙස් නැතිකිරීම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, නුවණින් දැනීම පිණිස, සත්‍යාවබොධය පිණිස, නිර්වාණය පිණිස නොපවතී. එහෙයින් මා විසින් එය ප්‍රකාශ නොකරන ලදී.
“මාලුංක්‍ය පුත්‍රය, මා විසින් කුමක් ප්‍රකාශ කරන ලදද? මාලුංක්‍ය පුත්‍රය, මා විසින් මේ දුකයයි ප්‍රකාශ කරන ලදී. මා විසින් මේ දුක් උපදවන හෙතුවය’යි ප්‍රකාශ කරන ලදී. මා විසින් මේ දුක් නැතිකිරීමයයි ප්‍රකාශ කරන ලදී. මා විසින් මේ දුක් නැතිකිරීමට පමුණුවන පිළිපැදීමය’යි ප්‍රකාශ කරන ලදී. මාලුංක්‍ය පුත්‍රය, මා විසින් එය කවර හෙයකින් ප්‍රකාශ කරන ලදද? මාලුංක්‍ය පුත්‍රය, එය වනාහී අර්ථයෙන් යුක්ත වේ. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වන්නේ වේ. එය සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස. කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, නුවණින් දැනගැනීම පිණිස, සත්‍යාවබොධය පිණිස, නිර්වාණය පිණිස පවතී. මාලුංක්‍ය පුත්‍රය, එහෙයින් එය මා විසින් ප්‍රකාශ කරන ලදී. මාලුංක්‍ය පුත්‍රය, එහෙයින් මෙහි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද වශයෙන් දරව්. මා විසින් ප්‍රකාශ කරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද වශයෙන් දරව්.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති මාලුංක්‍ය පුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.
තුන්වෙනිවූ චූල මාලුංක්‍ය සූත්‍රය නිමි. (2-3)