මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

4. රාජ වර්ගය

82. රට්ඨපාල සූත්‍රය

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයන්හි මහත් වූ භික්ෂු සංඝයා සමග සැරිසරන්නේ ථුල්ලකොට්ඨිත නම්වූ කුරු දනව් වැස්සන්ගේ නිම් ගම යම් තැනෙක්හිද එහි වැඩියහ. ථුල්ලකොට්ඨිත නම් නියම් ගම වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා සමග කුරු ජනපදයන්හි සැරිසරන්නේ, ථුල්ලකොට්ඨිත නම් නියම්ගමට පිළිවෙළින් පැමිණියේ වෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙබඳුවූ යහපත් ගුණ ඝොෂාවෙක් උස්ව නැංගේ වෙයි. ඒ භාග්‍යවත් තෙම මේ කාරණයෙනුත් අර්හත්ය. පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ත්ථ වාහකයකු බඳුය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක. චතුස්සත්‍යය අවබොධ කළ හෙයින් බුද්ධය. සියලු කෙලෙසුන් නැසූ හෙයින් භාග්‍යවත්ය. (යනුවෙනි.) හෙතෙම දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේ ලොකයද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව සමූහයාද තෙමේ විශෙෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යංජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මයක් දෙශනා කරයි. පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරයි. එබඳුවූ රහතුන් වහන්සේලාගේ දැක්ම වනාහි යහපත් වේයයි ඇසුවාහුමය.

ඉක්බිති ථුල්ලකොට්ඨිත නම් නියම් ගම වැසි බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ සමහරු භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හිඳගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඳිලිබැඳ එක් පසෙක හිඳගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි තමන්ගේ නාම ගොත්‍ර දක්වා එක් පසෙක හිඳගත්හ. සමහරු නිශ්ශබ්දව එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හුන්නාවූ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම වැසි බමුණන් හා ගෘහපතින් භාග්‍යවතුන් වහන්සේ දැහැමිවූ කථාවෙන් කරුණු දැක්වූයේය. සමාදන් කරවූයේය. සිත් තියුණු කරවූයේය. සතුටු කරවූයේය.

එකල්හි වනාහි ඒ ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහිම ප්‍රධාන කුලවතාගේ පුත්වූ රට්ඨපාල නම් කුලපුත්‍ර තෙම ඒ පිරිසෙහි උන්නේ වෙයි. ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාහට මෙබඳු අදහසක් විය. යම් යම් ආකාරයකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙශනා කරයිද, ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද සකක් මෙන් කොට මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිස රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් යෙහෙක කියායි.

ඉක්බිති ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිවූ කථාවෙන් කරුණු දක්වන ලද්දාවූ සමාදන් කරවන ලද්දාවූ සිත් තියුණු කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියාහුය. ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රතෙම ථුල්ලකොට්ඨිතක නම්වූ බ්‍රාහ්මණ ගෘහපතීන් ගිය නොබෝවේලාවකින් භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක උන්නේය. එක්පසක උන්නාවූ රට්ඨපාල නම් කුලපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, යම් යම් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ධර්මය මම දනිම්ද, ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියන ලද සකක් මෙන් කොට, මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” කීයේය.

“රට්ඨපාලය, නුඹ වනාහි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට මව්පියන්ගෙන් අවසර ලද්දේ වෙහිද”? “ස්වාමීනි, මම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මව්පියන්ගෙන් අවසර ලද්දේ නොවෙමි”.

“රට්ඨපාලය, තථාගතවරයෝ මව්පියන් විසින් අවසර නොදෙන ලද්දවුන් පැවිදි නොකරන්නාහ” “ස්වාමීනි, ඒ මම යම්සේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මව්පියෝ අවසර දෙන්නාහුද එසේ කරන්නෙමියි” කීය.

ඉක්බිති රට්ඨපාල කුලපුත්‍රතෙම හුන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට මව්පියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, “මෑණියෙනි, පියාණෙනි, මම යම් යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ධර්මය දනිම්ද? ඒ ආකාරයෙන් ගිහිගෙහි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණ කොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද සකක් මෙන් කොට බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම ඉසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මට අවසර දුනමැනවැයි” මවුපියන්ට කීයේය.

මෙසේ කී කල්හි රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ, “පුත රට්ඨපාලය, නුඹවනාහි අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුතාවෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, එව, නුඹ කව, බොව, ඉන්ද්‍රියයන් පිනවීම කරව. කමින්, බොමින්, ඉඳුරන් පිනවමින්, කම්සැප විඳිමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි තොපට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. තොපගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ තොපට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අනුදන්නෙමුදැයි” රට්ඨපාල කුල පුත්‍රයාට කීවාහුය.

දෙවනුවද, රට්ඨපාල නම් කුලපුත්‍රතෙම මව්පියන්ට මෙසේ කීයේය. “මෑණියෙනි, පියාණෙනි, මම යම් යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද ධර්මය දනිම්ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ ඒකාන්තයෙන් පිරිසිදුවූ, ලියනලද සකක් මෙන්වූ මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට පහසු නොවෙයි. මම හිසකෙස් රැවුල් කපාදමා, කසට වත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම, ශාසනයෙහි පැවිදිවීමට මට අනුදනිව්යයි” කීය. දෙවනුවද, රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට මෙසේ කීවාහුය. “පුත රට්ඨපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුතාවෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත ‘රට්ඨපාලය, එව, අනුභව කරව, පානයද කරව අනුභව කරමින්, පානය කරමින්, ඉන්ද්‍රියයන් පිනවමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම, සසුනෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදිවීමට අවසර නොදෙන්නෙමුදැයි” (කීහ.)

රට්ඨපාල නම් කුලපුත්‍ර තෙම මව් පියන්ට මෑනියෙනි, පියාණෙනි, “මම යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ධර්මය දනිම්ද, ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ ඒකාන්තයෙන් පිරිසිදුවූ ලියනලද සකක් මෙන්වූ මේ බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපා කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට මට අවසර දුනමැනවයි” කීය.

තුන්වෙනුවද රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට, “පුත රට්ඨපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුතාවෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, එව, කව, බොව, ඉන්ද්‍රියයන් පිනවීම කරව. කමින්, බොමින්, ඉඳුරන්, පිනවමින් කම්සැප විඳිමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට අවසර නොදෙමු. තොපගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමුදැයි” රට්ඨපාල කුලපුත්‍රයාට කීවාහුය.

ඉක්බිති මව්පියන්ගෙන් පැවිදිවීමට අවසර නොලත් රට්ඨපාල නම් කුලපුත්‍රතෙම එහිම (ඇතිරීමකින්) අතරක් නැත්තාවූ භූමියෙහි “මෙහිම මාගේ මරණය හෝ වන්නේය. පැවිදිබව හෝ වන්නේයයි” නිදාගත්තේය. ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට ‘පුත රට්ටපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුත්‍රයා වෙහිය, පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, නැගීසිටුව. කව, බොව, ඉඳුරන් පිනවීමද කරව. කමින්, බොමින්, ඉන්ද්‍රියන් පිනවීම කරමින්, කම්සැප විඳිමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමුදැයි” රට්ඨපාල කුලපුත්‍රයාට කීවාහුය.

මෙසේ කීකල්හි රට්ඨපාල නම් කුලපුත්‍රතෙම නිශ්ශබ්ද විය, දෙවනුවද, රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට මෙසේ කීවාහුය. “පුත රට්ඨපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ, සුවසේ පොෂණය කළාවූ එකම පුත්‍රයා වෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, නැගී සිටුව, අනුභවද කරව, පානයද කරව, ඉන්ද්‍රියයන් පිනවීමද කරව. අනුභව කරමින්, පානය කරමින්, ඉන්ද්‍රියයන් පිනවමින්, පින්කරමින්, සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෝ වෙන්වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමුදැ”යි කීහ. දෙවනුද රට්ටපාල නම් කුලපුත්‍ර තෙම නිශ්ශබ්ද වූයේය.

තුන්වෙනුවද රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට “පුත රට්ඨපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ, සුවසේ පොෂණය කළාවූ එකම පුත්‍රයා වෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, නැගී සිටුව, කව බොව, ඉන්ද්‍රියන් පිනවව, කමින් බොමින් ඉන්ද්‍රියන් පිනවමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් නේ වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමු දැයි” රට්ඨපාල කුලපුත්‍රයාට කීවාහුය. තුන්වෙනුවද රට්ඨපාල නම් කුලපුත්‍රතෙම නිශ්ශබ්ද වූයේය.

ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවෝ යම්තැනෙක්හිද, එතනට ගියාහුය. ගොස් රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවන්ට “දරුවෙනි, මේ රට්ඨපාල නම් කුලපුත්‍රතෙම ඇතිරීමකින් අතරක් නැත්තාවූ බිම, ‘මෙහිම මාගේ මරණය හෝ පැවිදිබව හෝ වන්නේයයි’ නිදාගත්තේය. දරුවෙනි එව්. රට්ඨපාල නම් කුලපුත්‍රතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණෙව්. පැමිණ රට්ඨපාල නම් කුලපුත්‍රයාට යහලු රට්ටපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ, සුවසේ පොෂණයවූ එකම පුත්‍රයා වේ. යහලු රට්ඨපාලය නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය නැගී සිටුව, කව, බොව, ඉන්ද්‍රියයන් සතුටු කරව, කමින් බොමින් ඉන්ද්‍රියයන් සතුටු කරමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. මව්පියෝ නුඹට ගිහිගෙන්නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මරණයෙන්ද මව්පියෝ නොකැමැත්තෙන් වෙන්වන්නාහුය. කිමෙක්ද ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුදැයි” කියව්යයි කීවාහුය.

ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියන්ට උත්තර දී රට්ඨපාල නම් කුලපුත්‍රතෙම යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස් රට්ඨපාල නම් කුලපුත්‍රයාට, යහලු රට්ඨපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණයවූ එකම පුත්‍රයා වෙහිය. යහලු රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ටපාලය, නැගීසිටුව, කව බොව ඉඳුරන් පිනවීමද කරව, කමින් බොමින් ඉන්ද්‍රියයන් පිනවමින් කම්සැප විඳිමින් පින් කරමින් සිත් අලවා වාසය කරව. මව්පියෝ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මව්පියෝ මරණයෙනුදු නොකැමැත්තෙන් වෙන්වන්නාහුය. කිමෙක්ද ජීවත් වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුදැයි” කීවාහුය.

මෙසේ කී කල්හි රට්ඨපාල නම් කුලපුත්‍රතෙම නිශ්ශබ්ද වූයේය. දෙවනුවද රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ටපාල නම් කුලපුත්‍රයාට මෙසේ කීවාහුය. “යහලු රට්ටපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ සුවසේ පොෂනය වූ එකම පුත්‍රයා වෙහිය. යහලු රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය නැගී සිටුව, අනුභවද කරව, පානයද කරව, ඉන්ද්‍රියයන් පිනවීමද කරව්, අනුභව කරමින්, පානය කරමින්, ඉන්ද්‍රියයන් පිනවමින් කම්සැප විඳිමින්, පින්කරමින්, අභිරමනය කරව, මව්පියෝ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මරණයෙන්ද මව්පියෝ නොකැමැත්තාහුම වෙන්වන්නාහුය. කිමෙක්ද? ජීවත්වන්න. නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුද,” දෙවනුවද රට්ඨපාල කුලපුත්‍රතෙම නිශ්ශබ්ද වූයේය.

තුන්වෙනුවද රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට “යහලු රට්ඨපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණයවූ එකම පුත්‍රයාවෙහිය. යහලු රට්ටපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය, නැගී සිටුව, කව බොව, ඉන්ද්‍රියයන් පිනවීම කරව, කමින් බොමින් ඉන්ද්‍රියන් පිනවමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. මව්පියෝ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මරණයෙන්ද මව්පියෝ නොකැමැත්තෙන්ම වෙන්වන්නාහුය. කිමෙක්ද ජීවත් වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුදැයි” කීවාහුය. තුන් වෙනුවද රට්ඨපාලනම් කුලපුත්‍ර තෙම නිශ්බ්දවූයේය.

ඉක්බිති රට්ඨපාලනම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ඨපාලනම් කුලපුත්‍රයාගේ මව්පියෝ යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් රට්ඨපාලනම් කුලපුත්‍රයාගේ මව්පියන් “මෑනියෙනි, පියානෙනි, මේ රට්ඨපාල කුලපුත්‍රතෙම ඒ කිසිවකින් එලානැති භූමියෙහි, ‘මෙහිම මාගේ මරණය හෝ පැවිදිබව වන්නේයයි’ නිදාගත්තේ වෙයි. ඉදින් නුඹලා රට්ඨපාලනම් කුලුපත්‍රයාට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙන්නාහුනම් එහිම ඔහුගේ මරණය පැමිණෙන්නේය. ඉදින් වනාහි නුඹලා රට්ඨපාලනම් කුල පුත්‍රයාට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුනම් පැවිදිවූද ඔහු දක්නහුය. ඉදින් රට්ඨපාලනම් කුලපුත්‍රතෙම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට කැමති නොවන්නේනම් ඔහු වෙන කොහියන්නේද? මෙහිම ආපසු එන්නේය. රට්ඨපාලනම් කුලපුත්‍රයාට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙව්යයි, කීවාහුය. දරුවෙනි, රට්ඨපාලනම් කුලපුත්‍රයාට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙමු. පැවිදිවූවහු විසින්ද මව්පියෝ දැකිය යුත්තාහුයයි”, කීවාහුය.

ඉක්බිති රට්ඨපාලනම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ඨපාල නම් කුලපුත්‍රයා යම්තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස් රට්ඨපාලනම් කුලපුත්‍රයාට “යහලු රට්ඨපාලය, නුඹවනාහි මව්පියන්ගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂ්‍යවූ එකම පුත්‍රයා වෙහිය. යහලු රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය, නැගී සිටුව, කව බොව ඉන්ද්‍රියයන් සතුටු කරව. කමින් බොමින් ඉඳුරන් සතුටු කරමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. මව්පියන් විසින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන ලද්දේ වෙහිය. පැවිදිවූවාහු විසිනුත් නුඹගේ මව්පියෝ දැකියයුත්තාහුයයි”, කීවාහුය.

ඉක්බිති රට්ඨපාලනම් කුලපුත්‍රතෙම නැගීසිට කාය ශක්තිය උපදවාගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පසෙක හුන්නේය. එක පසෙක හුන්නාවූ රට්ටපාල නම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි වහන්ස, මම මව්පියන් විසින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර ලද්දේවෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණසේක්වායි”, කීයේය. රට්ඨපාලනම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබුයේය. උපසම්පදාවද ලැබූයේය.

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන් උපසම්පදාවූ නොබෝ කල් ඇති උපසම්පදාවූ අඩමසක් පමණ කල්හි ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහි කැමති පරිද්දෙන් වාසය කොට සැවැත්නුවර යම් තැනෙක්හිද එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් වඩිනුයේ සැවැත්නුවර යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසති. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම තනිව වෙන්වූ වාසය ඇත්තේ අප්‍රමාදව කෙලෙස්තවන වීර්යයෙන් ජීවිත ආශාව අත්හැර වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම මනාකොටම ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්යාවගේ අවසානය වූ ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය කෙළවර කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිර තෙමේ වනාහි රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක උන්නාවූ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්නේ නම් මම මව්පියන් දකින්ට කැමැත්තෙමියි” කීයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ අදහස තමන් වහන්සේගේ සිතින් මෙනෙහි කළහ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම ශික්ෂාව හැර ගිහිබවට පෙරලෙන්ට නුසුදුසු වේයයි, දැනගත්හ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට “මෙය රට්ඨපාලය, තොපි දැන් යමකට කැමැත්තෙහිද, එයට කල් දනුවයි” (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිර තෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට සෙනාසනය තැන්පත් කොට තබා පාත්‍රා සිවුරු ගෙණ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම් යම් තැනෙක්හිද එහි චාරිකාවෙහි ගියේය. පිළිවෙළින් යනුයේ ථුල්ලකොට්ඨිත නම් නියම් ගම යම්තැනෙක්හිද එතැනට පැමිණියේය.

එහි වනාහි ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිර තෙම ථුල්ලකොට්ඨිත නම් නියම් ගම්හි කොරව්‍ය නම් රජුගේ මිගාචීර නම් උයනෙහි වාසය කරයි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම පෙරවරු වේලෙහි හැඳ පෙරවා පා සිව්රු ගෙන ථුල්ලකොට්ඨිත නම් නියම් ගමට පිඬු පිණිස පැමිණියේය. ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙන්නේ ස්වකීය පියාගේ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. එකල්හි වනාහි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම මධ්‍යයෙහිවූ ද්වාරාශාලාවෙහි හිසකේ අවුල් හරවයි. ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම දුරදීම එන්නාවූ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් දුටුයේය. දැක “මේ හිසමුඩුවූ ශ්‍රමණයන් විසින් අපගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රයා පැවිදි කරවනලද්දේයයි” කීයේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරතෙම ස්වකීය පියාගේ ගෙදර දානයක් නොමලද්දේය. පිළිසඳර වචනමාත්‍රයකුදු නොලද්දේය. ඒකාන්තයෙන් ක්‍රොධ වචනයම ලද්දේය.

එකල්හි වනාහි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට නැවත දාසියක් එක්රැයක් ගතවූ යවපිට්ටුවක් අහක දමනු කැමැත්තී වෙයි. ඉක්බිති ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරතෙම ඒ නෑවන දාසියට නැගනිය, ඉදින් එක් රැයක් ඉක්මවූ මේ යවපිට්ටුව ඉවත දමනු කැමැත්තී නම් මාගේ මේ පාත්‍රයෙහි දමවයි (කීය) ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ නෑ දාසිය රාත්‍රියක් ඉක්මවූ ඒ යවපිට්ටුව ආයුෂ්මත් වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පාත්‍රයෙහි දමන්නී අත්වලද පාවලද ස්වරයෙහිද (ශබ්දයෙහිද) ආකාරය සිතට ගත්තේය.

ඉක්බිති රට්ඨපාල ස්ථවිරයන්ගේ නෑ දාසිය ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ මව යම්තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ මවට “අනේ! ආර්යාවෙනි දන්නෙහිද, රට්ඨපාලනම් ස්වාමි පුත්‍රතෙම පැමිණියේයයි” කීය. “ඉදින් කෙල්ල සැබැවක් කීයෙහි නම්, දාසකමින් නිදහස් වන්නෙහියයි” (කීවාය.) ඉක්බිති ආයුෂ්මත් වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ මව්තොමෝ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියාට “අනේ ගෘහපතියෙනි, දන්නෙහිද, රට්ඨපාල නම් කුල පුත්‍රයා පැමිණියේයයි” (කීය)

“එකල්හි වනාහි ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරතෙම රාත්‍රියක් ඉක්මවූ ඒ යවපිට්ටුව එක්තරා බිත්තියක් ළඟ හිඳ වලඳයි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක් හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් රට්ඨපාලස්ථවිරයන්ට “පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, රාත්‍රියක් ගතවූ කොමුපිට්ටුව අනුභව කිරීමට සෑහෙයිද? පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, ස්වකීය ගෙදරට යායුතු නොවේදැයි” කීය. “ගෘහපතිය ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ අපට ගෙදරක් කොයින්ද? ගෘහපතිය, අපි ගෙවල් නැත්තෝ වෙමු. ගෘහපතිය, නුඹගේ ගෙදරට ගියෙමු. එහි දානයක් නොම ලදුම්හ. පිළිසඳර වචනයක් නොම ලදුම්හ. ඒකාන්තයෙන්ම ආක්‍රොශයක්ම ලැබුවෙමුයි” කීය. “පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, එනු මැනව. ගෙදරට යන්නෙමුයි” (කීයේය.) “ගෘහපතිය, කම් නැත. අද මා විසින් ආහාර කෘත්‍යය කරණ ලදී.

“එසේවී නම්, පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, සෙට දවස පිණිස ආහාරය ඉවසනු මැනව.” ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම නිශ්ශබ්දවීමෙන් ඉවසීය.

ඉක්බිති ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ ඉවසීම දැන ස්වකීය ගෘහය යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස්, ආභරණ තැනූ රන්ද, නොතැනූ රන්ද, මහත් ගොඩක් ගසා, පැලලිවලින් වස්වා, ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පරණ දෙවැන්නන්ට (ගැහැනුන්ට) කථාකෙළේය. “ලේලිවරුනි, එව්. නුඹලා යම් සැරසීමකින් සැරසුනාහු, පෙර රට්ඨපාල කුලපුත්‍රයාහට ප්‍රිය තැනැත්තියෝ, මන වඩන්නියෝ වූවහුද, ඒ සැරසීමෙන් සැරසෙව්යයි” (කීයේය.)

ඉක්බිති රට්ඨපාල ස්ථවිරයන්ගේ පිය තෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් ස්වකීය ගෘහයෙහි ප්‍රණීතවූ ආහාරපාන පිළියෙළ කරවා, ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට කල් දැන්වීය. “පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, ආහාර පිළියෙළ කිරීම නිමවන ලදී. දැන් සුදුසු කල් වේයයි” (දැන්වීය). ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පොරවා, පාත්‍ර සිව්රු ගෙණ, සිය පියාගේ ගෙදර යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, පණවනලද ආසනයෙහි වැඩ උන්නේය.

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම රන් ගොඩ විවෘත කරවා ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට, “පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, මේ නුඹගේ මෑණියන් සතු ධනය වේ. සෙස්ස පිය සන්තක ධනය වේ. අනික් ධනය මුත්තනුවන් සතුය. පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, සම්පත් අනුභව කරන්ටද, පින් කරන්ටද හැක්කේය. පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, එනු මැනව. නුඹ මහණකම හැරදමා, ගිහිබවට පෙරලී, සම්පත් අනුභව කරව, පින්ද කරවයි,” (කියේය.)

“ගෘහපතිය, ඉදින් නුඹ මාගේ වචනය කරන්නෙහි නම්, මේ මහත් රන්ගොඩ ගැල්වල පටවා අද්දවා ගංගානම් ගඟ මැද පාකර හරිනු මැනවි. ඊට හෙතු කවරේද? ගෘහපතිය, ඒ හෙතුකොටගෙන ශොකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩි වෙහෙසය යන මොහු උපදින්නාහුයයි” කීය.

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පුරාණ ගැහැනුන් වෙන වෙනම පාදයන් අල්වාගෙණ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ස්වාමිපුත්‍රයෙනි, නුඹවහන්සේ යම් දිව්‍ය ස්ත්‍රීන් නිසා බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙහි නම් ඒ දිව්‍ය ස්ත්‍රීහු කෙබඳු නම් වෙත්දැයි” ඇසූහ.

“නැගණිවරුනි, අපි දිව්‍ය ස්ත්‍රීන් නිසා බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරෙමුයි” කීයේය.

“ස්වාමිපුත්‍රවූ රට්ඨපාල තෙමේ අපට ‘නැගණිවරුනියි’ කීමෙන් කථා කෙරේයයි” ඔව්හු එහිම මුර්ජාවී වැටුනාහුය. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම පියාට, “ගෘහපතිය, ඉදින් භොජනය දිය යුතු නම් දෙව්. අපට වෙහෙස නොකරව්යයි” කීය.

“පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, වළඳනු මැනව. ආහාරය නිවෙන ලදැයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට ප්‍රණීතවූ කෑයුතු දෙයින් හා බුදියයුතු දෙයින් සිය අතින් වැළඳවීය. කැමතිතාක් වැළඳවිය.

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම වළඳා අවසන්කොට පාත්‍රයෙන් අත් ඉවත්කොට සිටියේම මේ ගාථාවන් ප්‍රකාශ කෙළේය.

[1] “විසිතුරු කරණලද වණ සමූහයක් ඇති, ඇට නහර ආදියෙන් උඩට ඔසවනලද ජරා රොගාදියෙන් ආතුරවූ බොහෝදෙනා විසින් පතන්නාවූ යමක්හුගේ ස්ථිර පැවැත්මක් නැත්තේද, එබඳුවූ මේ ශරීරය බලව”

[2] “මැණික්වලින්ද, කන්වල පළඳනා ආභරණවලින් විසිතුරු කරනලද ඇටවලින් හා සිවියෙන් ගැවසී ගත්තාවූ වස්ත්‍ර වස්ත්‍ර නිසා අලංකාරවූ මේ ශරීරය බලව.

[3] “රතු සායමින් සායම් කරනලද්දාවූ පාදයෝද, සුණුවලින් තවරණ ලද්දාවූ මුහුණ අඥානයාගේ මුළාවට සුදුසු වේ. නිවන් සොයන්නහුට සුදුසු නොවේ.

[4] “අට කොටසකට බෙදා ගොතනලද කෙශයෝද, අඳුන් ගානලද ඇස්ද, අඥානයාගේ මුලාවට සුදුසු වේ. නිවන් සොයන්නහුට සුදුසු නොවේ.

[5] “විසිතුරුවූ අළුත්වූ අඳුන් හෙප්පුවක් මෙන් අලංකාර කරණ ලද්දාවූ මේ කුණු ශරීරය අඥානයාගේ මුලාවට සුදුසු වෙයි. නිවන් සොයන්නහුට සුදුසු නොවෙයි.

[6] “මුව වැදිතෙම මළපුඬුව ඇටෙව්වේය. මුවතෙම යොදනලද පුඩුවට ලං නොවීය. නිවාපය (තෘණ ගොදුර) අනුභව කොට මුව වැද්දා හඬමින් සිටියදී ගියාක් මෙන් යන්නෙමු.”

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම හිටගෙනම මේ ගාථාවන් කියා කොරව්‍ය රජුහුගේ මිගාචීර නම් උයන යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, එක්තරා ගසක් මුල දවල් කාලයේ හුන්නේය.

ඉක්බිති කොරව්‍ය රජතෙම මිගව නම් උද්‍යානපාලයාට කථාකෙළේය. “යහලු මිගවය, මිගාචීර නම් උයන ශුද්ධකොට පිළියෙළ කරව. උයන දකිනු පිණිස යම්හයි” කීයේය.

“දෙවයන් වහන්ස, ‘එසේය,’ කියා මිගව නම් උද්‍යානපාල තෙම කොරව්‍ය නම් රජහට උත්තර දී මිගාචීර නම් උයන ශුද්ධකොට පිළියෙල කරන්නේ එක්තරා ගසක් මුල දවල් කාලයේ උන්නාවූ ආයුෂ්මත් රට්ටපාල ස්ථවිරයන් දුටුයේය. දැක, කොරව්‍ය නම් රජතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, කොරව්‍ය නම් රජුට “දෙවයන්වහන්ස, මිගාචීර නම් උයන පිළියෙල කරනලදී. එහි මේ ථුල්ලකොට්ඨිත නම් නියම්ගමෙහිම ප්‍රධාන කුල ඇත්තහුගේ පුත්‍රවූ රට්ඨපාල නම් කුලපුත්‍රතෙම ඇත්තේය. නිරන්තරයෙන් නුඹවහන්සේ යමෙකුගේ ගුණ කියන්නේ වූයෙහිද, ඒ රට්ඨපාල ස්ථවිර තෙම එක්තරා ගසක් මුල දවල් කාලයේ වැඩඋන්නේයයි” කීයේය.

“එසේ වීනම් යහලු මිගවය, අද දැන් උයනට යන ගමනින් කම් නැත. දැන් අපි ඒ පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් ආශ්‍රය කරන්නෙමුයි” කීයේය.

ඉක්බිති කොරව්‍ය රජතෙම “එහි යම් කෑයුතු දෙයක්, බුදියයුතු දෙයක් පිළියෙළ කරණ ලදද, ඒ සියල්ල හැර දමව්යයි” කියා යහපත් යහපත්වූ යානාවන් පිළියෙල කරවා, යහපත් යානාවකට නැගී, යහපත් යහපත් යානාවලින් ථුල්ලකොට්ඨිත නම් නියම්ගමින් මහත්වූ රාජානුභාවයෙන් යුක්තව ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් දැකීමට නික්මුනේය. යානාවෙන් යායුතු භූමිය යම්තාක්ද ඒ තාක් යානාවෙන් ගොස්, යානාවෙන් බැස, පා ගමනින් යුක්තවූයේම, උසස් උසස්වූ පිරිස හා ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කතාව කොට නිමවා, එක්පසක සිටියේය. එක්පසක සිටියාවූ කොරව්‍ය රජතෙම ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට, ‘පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ ඇතුන්පිට අතුරණ ඇතිරියෙහි වැඩඉන්නාසේක්වායි” කීය.

“මහරජ, කමක් නැත. නුඹ හිඳගනු මැනව. මම ස්වකීයවූ ආසනයෙහි හුන්නේවෙමියි” කීය. කොරව්‍ය රජ තෙම පණවනලද ආසනයෙහි හිඳගත්තේය. හිඳගෙන කොරව්‍ය රජතෙම ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට මෙය සැලකෙළේය.

පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, යම්බඳු පිරිහීම්වලින් යුක්තවූ මේ ලොකයෙහි සමහර කෙනෙක් හිසකේ රැවුල් කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, එබඳුවූ මේ පිරිහීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්? ජරාවට පැමිණීමෙන් පිරිහීමය, ලෙඩ රෝගාදිය සෑදීමෙන් පිරිහීමය, වස්තුවෙන් පිරිහීමය, නෑයන්ගෙන් පිරිහීමය යන සතරයි. පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ජරාවට පැමිණීමෙන් පිරිහීම නම් කවරේද? පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ ලොකයෙහි ඇතමෙක් ජරාවට පැමිණියේ, වයසට පැමිණියේ ජාතියෙන් මහලුවූයේ, බොහෝ කල් ඉක්මගියේ, අන්තිම වයසට පැමිණියේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි දැන් දිරාගියේ වෙමි. වයස්ගත වූයේ වෙමි. මහලුවීමි. බොහෝ කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියෙමි. මා විසින් වනාහි නොලද්දාවූ සම්පත් ලබන්ටද ලැබුවාවූ සම්පත් දියුණු කරන්ටද පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපාහැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ (සිතන්නේය.)හෙතෙම ඒ ජරාව නිසා පිරිහීමෙන් යුක්තවූයේ හිස රැවුල් කපා කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. පින්වත්වූ රට්ටපාල ස්ථවිරයෙනි, මේ ජරාවෙන් පිරිහීමයයි කියනු ලැබේ. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ වනාහි දැන් ලදරුවූයේ තරුණවූයේ යෞවනවූයේ කලු හිසකේ ඇත්තේ යහපත්වූ තරුණ භාවයෙන් යුක්තවූයේ පළමු වයසින් යුක්තවූයේ වෙයි. පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන්ට ඒ ජරාවෙන් පිරිහීමක් නැත. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේද?

“පින්වත් රට්ඨපාල ස්ථවිරයෙනි, රොගාබාධ නිසා පිරිහීම නම් කවරේද? පින්වත් රට්ඨපාල ස්ථවිරයෙනි, මේ ලොකයෙහි ඇතමෙක් හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙලුනේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම මෙසේ කල්පනා කරයි ‘මම වනාහි දැන් හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙලුනේ දැඩි ගිලන්වූයේ වෙමි. මා විසින් නොලබනලද සම්පත් ලබන්ට හෝ ලබනලද සම්පත් දියුණුකරන්ට හෝ පහසු නොවෙයි. මම ඉසකේ රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් යෙහෙක, කියායි. හෙතෙම රොගාබාධයන් නිසා පිරිහීමෙන් යුක්ත වූයේ හිසකේ රැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයෙනි, මෙය ව්‍යාධිපරිහානියයි කියනු ලැබේ. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ වනාහි දැන් ආබාධ නැත්තේ නීරොගවූයේ ඉතා මදද නොවූ ඉතා වැඩිද නොවූ සමවූ පැසවීම් ඇත්තාවූ ග්‍රහණියෙන් (ජඨරාග්නියෙන්) යුක්තවූයේ වේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයන්ට ඒ ව්‍යාධිය නිසා පිරිහීමක් නැත්තේය. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේද?

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, වස්තුවෙන් පිරිහීම නම් කවරේද? පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ ලොකයෙහි ඇතමෙක් වස්තුවෙන් ආඪ්‍යවූයේ මහත් ධන ඇත්තේ මහත් සම්පත් ඇත්තේ වේද, ඔහුගේ වස්තුව පිළිවෙළින් විනාශවීමට පැමිණෙයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි පෙර වස්තුවෙන් ආඪ්‍යවූයේ මහත් ධන ඇත්තේ මහත් සම්පත් ඇත්තේ වීමි. ඒ මාගේ ඒ සම්පත් පිළිවෙළින් විනාශයට කුමක් දැක හෝ කුමක් අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේද?

“පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, යම් පිරිහීමකින් යුක්තවූ මේ ලොකයෙහි සමහරු හිසකේ රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මේ ඒ පිරිහීම් සතර වෙත්. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේට ඒ පිරිහීම් නැත්තේය. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේදැ”යි ඇසුවේය.

“මහරජ, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් විසින් කොටින් වදාළ ධර්මපද සතරක් වෙත්. මේ ඒ ධර්මපද සතර දැන දැක අසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි. ඒ ධර්මපද සතර නම් කවරහුද? මහරජ ‘ලෝවැසි තෙම ජරා මරණ දෙකට පමුණුවනු ලැබෙයි. බොහෝ කල් නොපවත්නේය’ යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ පළමුවෙනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.

“මහරජ, ‘ලෝවැසිතෙම ආරක්ෂාවක් නැත්තේය. කිසි පිහිටක් නැත්තේය’ යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ දෙවැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.

“මහරජ, ‘ලෝවැසිතෙම තමා සතුවූවක් නැත්තේය. සියල්ල හැර යා යුතුය’ යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ තුන්වැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමි.

“මහරජ ‘ලොකවාසී සත්වතෙම සෑහීමක් නැත්තේ ඇතිවීමකට නොපැමිණියේ තණ්හාවට දාසවූයේය’ යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ සතරවැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමි. මහරජ, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දන්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් මේ ධර්මපද සතර කොටින් වදාළහ. මම ඒ ධර්මපද සතර දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.”

“පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ’ ‘ලෝවාසිතෙම ජරා මරණ දෙකට පමුණුවනු ලැබෙයි. බොහෝ කල් නොපවත්නේයයි, කීසේක. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දැනගත යුතුද?”

“මහරජ, ඒ කුමකැයි සිතන්නෙහිද? නුඹ විසිවයස් කල්හිද විය. පස්විසි වයස් කල්හිද හස්තිශිල්පයෙහිද දක්ෂවූයේ අශ්ව ශිල්පයෙහිද දක්ෂවූයේ රථ ශිල්පයෙහිද පුරුදුවූයේ දුනු ශිල්පයෙහිද කළ පුරුද්ද ඇත්තේ කඩු ශිල්පයෙහිද සමර්ථ වූයේ පාදයන්හිද බල ඇත්තේ අත්වලද බල ඇත්තේ යුද්ධයෙහි දක්ෂවූයේ යුද්ධ කිරීමට සමර්ථවූවෙක් වූයෙහිදැ”යි (ඇසුයේය.)

“පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස, මම විසිවයස් ඇතිකල්හි පස්විසි වයස් ඇතිකල්හි හස්ති ශිල්පයෙහිද දක්ෂ වූවෙක්, අශ්වශිල්පයෙහිද දක්ෂවූවෙක් රථනැගීමෙහිද පුහුණු වූවෙක් දුනු ශිල්පයෙහිද දක්ෂවූවෙක් කඩු ශිල්පයෙහිද කළ පුරුද්ද ඇත්තෙක් පාදයන්හිද බල ඇත්තෙක් අත්වලද බල ඇත්තෙක්ව යුද්ධයෙහි සූරයෙක්ද වීමි. යුද්ධ කිරීමටත් සමර්ථවීමි. පින්වත්වූ රට්ටපාල ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක මම ඍද්ධි ඇත්තෙකු මෙන් සිතමි. තමාගේ බලය හා සමවූ බල ඇත්තෙකු නොදක්නෙමියි” (කීයේය.)

“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? නුඹ එපරිද්දෙන්ම දැන් පාදවල බල ඇත්තේ අත්වල බල ඇත්තේ, යුද්ධයෙහි ශූරවූයේ යුද්ධකරන්ට සමර්ථවූවෙක් වෙහිදැ”යි. (ඇසූයේය)

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මෙය නොවේ මැයි, දැන් ජරාවෙන් දිරාගියේ වයසින් වැඩිවූයේ මහලුවූයේ වයස් ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණියේ වෙමි. මට අසූවක් පමණ වයස්හි සිටිමි. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක මම මෙහි පය තබන්නෙමියි අන් තැනෙක්හිම පය තබමියි” (කීයේය)

“මහරජ, මේ සඳහා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ ධර්මයන් දක්නාවූ ඒ සම්මා සම්බුදුන් විසින් ලෝවැසි තෙම ජරා මරණ දෙකම ගෙණයනු ලබන්නේය. ස්ථිර නොවේ යනු වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි” කීයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස පුදුමය. භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්මා සම්බුදුන් විසින් ලෝවැසි තෙම ජරා මරණ දෙකට ගෙණයනු ලබන්නේය. බොහෝ කල් නොපවත්නේය යන මේ කාරණය ඉතාම යහපත් කොට දෙශනා කරණලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ‘ලෝවැසි තෙම ජරා මරණ දෙක කරා ගෙණයනු ලබන්නේමය. බොහෝකල් නොපවත්නේමැයි”

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපට විපතක් පැමිණි කල්හි යම් කෙනෙක් ආරක්ෂාව පිණිස පවත්නාහුද? එබඳුවූ හස්ති සේනාවෝද අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද මේ රජකුලයෙහි ඇත්තාහ. ලෝවැසි තෙම ආරක්ෂාවක් නැත්තේ කිසිපිහිටක් නැත්තේයයි කියා පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කීයේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ වචනයාගේ වනාහි අර්ථය කෙසේ දත යුතුදැයි” විචාළේය.

“මහරජ, ඒ කුමකැයි සිතන්නෙහිද? තොපගේ නොහැර පවත්නාවූ කිසියම් ආබාධයක් ඇත්තේදැයි” ඇසීය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මාගේ නොහැර පවත්නාවූ වාතාබාධයෙක් ඇත්තේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක මා යහළු මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද පිරිවරා දැන් කොරව්‍යනම් රජතෙම කලුරිය කරන්නේය. දැන් කොරව්‍යනම් රජතෙම කලුරිය කරන්නේයයි සිටියාහු වෙත්.”

“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද?” පින්වත්නි, “මාගේ යාළු මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද එත්වා. අවුත් මම යම්සේ ඉතා ටිකක් දුක් වේදනාව විඳින්නෙම්ද, (එසේ) මේ වේදනාව සියල්ලෝම බෙදා ගනිව්යයි” දුක් වේදනාව බෙදාදිය හැකි යාළු මිත්‍රයන් හෝ නෑසහ ලේ නෑයන් හෝ නුඹ ලබන්නෙහිද? නොහොත් නුඹම ඒ වේදනාව විඳින්නෙහිදැයි” (ඇසුවේය)

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ‘පින්වත්නි මාගේ මිත්‍රාමාත්‍යයෝද නෑ සහ ලේ නෑයෝද එත්වා. මම යම්සේ ඉතා ටිකක්වූ දුක් වෙදනාව විඳින්නෙම්ද, එසේ මේ වෙදනාව සියල්ලෝම බෙදාගනිව්යයි’ බෙදාදිය හැකි යාළු මිත්‍රයන් හෝ නෑ සහ ලේ නෑයන් හෝ නොලබමි. මමම ඒ වේදනාව විඳිමියි” කීයේය.

“මහරජ, මේ සඳහා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් ‘ලෝවැසිතෙම ආරක්ෂාවක් නැත්තේය පිහිටක් නැත්තේය’යි වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමියි” කීයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යයෙක පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමයකි. භාග්‍යවත් වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ කිසි පිහිටක් නැත්තේය’ යන මේ කාරණය ඉතාම යහපත් කොට දෙශනා කරණ ලද්දේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ලෝවැසිතෙම ආරක්ෂාවක් නැත්තේමය. කිසි පිහිටක් නැත්තේමය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ රාජ කුලයෙහි පොළොවෙහිද අහසෙහිද බොහෝ රන් රුවන් ඇත්තේමය. ‘ලෝවැසිතෙම තමා සතු දෙයක් නැත්තේය. සියල්ල හැර දමා යා යුතුයයි’ පින්වත් රට්ඨපාල ස්ථවිරතෙම කියේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මෙසේ කියන ලද වචනයාගේ අර්ථයතෙම කෙසේ දතයුත්තේදැයි ඇසීය.

“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද?

“නුඹ යම්සේ මෙකල්හි පඤ්චකාම සම්පත්තියෙන් යුක්තව සැප විඳින්නෙහිද? නුඹ පරලොවදිත් මෙපරිද්දෙන්ම මේ පඤ්චකාමසම්පත්තියෙන්ම යුක්තව සැප විඳීම ලබන්නෙහිද, නොහොත් අන්‍යයෝ මේ සම්පත්තිය පිළිපදින්නාහුය. නුඹ වනාහි කම්වූ පරිද්දෙන් මියපරලොව යන්නෙහි දැයි” කීයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මම යම්සේ මෙකල්හි පඤ්චකාමසම්පත්තියෙන් සැප විඳින්නෙම්ද, පරලොව්හිද මෙපරිද්දෙන්ම මේ පඤ්චකාමසම්පත්තියෙන්ම යුක්තව සැප නොවිඳීම නොලබන්නෙමි. අන්‍යයෝ මේ සම්පත්තිය පිළිපදින්නාහුය. මම වනාහි කම්වූ පරිද්දෙන් මියපරලොව යන්නෙමියි” කීයේය.

“මහරජ, මෙ කාරණය සඳහා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් ‘ලෝවැසිතෙම තමා සතු දෙයක් නැත්තේය සියල්ල හැර යා යුතුයයි’ වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමියි” කීයේය.

“පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමය. භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් වදාළ ලෝවැසිතෙම ස්වකීය වූවක් නැත්තේය. සියල්ල හැර දමා යා යුතුය යන මේ කාරණය ඉතාම යහපත්කොට වදාරණ ලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ලෝවැසිතෙම, ස්වකීය වූවක් නැත්තේමැයි සියල්ල හැර දමා යා යුතුයයි” (කීයේය)

“ලෝවැසිතෙම නොපිරුණේ ඇතිවීමකට නොපැමිණියේ තණ්හාවට දාසවූයේ යයි, පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කීයේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස මේ කීමේ අර්ථය කෙසේ දතයුතු දැයි” (විචාළේය.)

“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? සමෘද්ධවූ කුරුරටට අධිපතිව වාසය කරන්නේදැයි” (ඇසීය.)

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, එසේය. සමෘද්ධවූ කුරුරටට අධිපතිව වාසය කරමියි” කීයේය.

“මහරජ ඒ කුමකැයි සිතන්නෙහිද? මෙහි තොපට නැගෙනහිර දිශාවෙන් ඇදහිය යුතුවූ විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ කරා පැමිණ මෙසේ කියන්නේය. ‘මහරජ, කාරණයක් දන්නෙහිද, මම නැගෙනහිර දිශාවෙන් එමි. ඒ දිශාවෙහි සමෘද්ධවූද, පිරුණාවූද බොහෝදෙනා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත්තාවූ මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද බොහෝ වෙත්. ඒ ජනපදයෙහි ඇත් අස් සෙනගද බොහෝය. එහි වැඩ කළා වූද වැඩ නොකළාවූද රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයා ඇත්තේය. මෙපමණවූ බලසෙනගකින් ජයගන්ටද හැක්කේය. මහරජ, ජයගනු මැනවැයි’ (කියන්නේය.) එයට කුමක් කරන්නෙහිද?”

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, එයද දිනාගෙන වාසය කරම්හයි” කීයේය.

“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද, මෙහි තොප වෙතට බස්නාහිර දිශාවෙන් ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ කරා පැමිණ මෙසේ කියන්නේය. ‘මහරජ, කරුණක් දන්නෙහිද? මම බස්නාහිර දිශාවෙන් එමි. එහි සමෘද්ධවූද පිරුණාවූද බොහෝ දෙනා ඇති මිනිසුන් ගැවසීගත්තාවූ මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද බොහෝ වෙත්. එහි ඇත් අස් සෙනගද බොහෝය. එහි වැඩ කළාවූද වැඩ නොකළාවූද රත්රන් බොහෝය, එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණ වූ බල සෙනඟකින් ජය ගන්ටද හැක්කේය. මහරජ ජය ගණුවයි,’ කියන්නේය. ඊට කුමක් නම් කරන්නෙහිදැයි,” ඇසීය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජයගෙණ වාසය කරම්හයි” කීයේය.

“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද? මෙහි තොපට බස්නාහිර දිශාවෙන්ද ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඔබ කරා එළඹ මෙසේ කියන්නේය. ‘එසේනම් මහරජ දන්නෙහිද? මම බස්නාහිර දිශාවෙන් එමි. එහි සමෘද්ධවූද, සම්පූර්ණවූද, බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත් මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද, අශ්ව සේනාවෝද, රථ සේනාවෝද, පාබල සේනාවෝද, බොහෝ වෙත්. එහි හස්ති අශ්ව සමූහයා බොහෝය. එහි කළාවූද, නොකළාවූද, රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණවූ මේ බලසෙනඟින් ජය ගන්නටද හැක්කේය. මහරජ ජය ගනුවයි කියන්නේය. ඊට කුමක් නම් කරන්නේදැයි” ඇසීය. “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය ගෙණ වාසය කරම්හයි” කීයේය. “උතුරු දිශාවෙන්ද මහරජ ඒ කුමකැයි සිතන්නේද? මෙහි තොපට ඇදහිය යුතු විශ්වාස කටයුතු වූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඔබ කරා එළඹ මෙසේ කියන්නේය. ‘එසේනම් මහරජ, දන්නෙහිද? මම උතුරු දිශාවෙන් එමි. එහි සමෘද්ධවූද, සම්පූර්ණවූද, බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසීගත් මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද, අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද බොහෝ වෙත්. එහි හස්ති අශ්ව සමූහයා බොහෝය. එහි කළාවූද නොකළාවූද, රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණවූ මේ බල සෙනඟින් ජයගන්ටද හැක්කේය. මහරජ ජය ගනුවයි’ කියන්නේය. ඊට කුමක් නම් කරන්නේදැයි” ඇසීය. “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය

ගෙණ වාසය කරම්හයි” කීයේය.

“දකුණු දිශාවෙන්ද මහරජ ඒ කුමකැයි සිතන්නේද? මෙහි තොපට ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඔබ කරා එළඹ මෙසේ කියන්නේය. ‘එසේ නම් මහරජ, දන්නෙහිද? මම දකුණු දිශාවෙන් එමි. එහි සමෘද්ධවූද, සම්පූර්ණවූද, බොහෝ ජනයා ඇති මිනිසුන් ගෙන් ගැවසී ගත් මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි ඇත් සේනාවෝද, අශ්ව සේනාවෝද, රථ සේනාවෝද, පාබල සේනාවෝද බොහෝ වෙත්. එහි හස්ති අශ්ව සමූහයා බොහෝය. එහි කළාවූද නොකළාවූද රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණවූ මේ බලසෙනඟින් ජයගන්ට හැක්කේය. මහරජ, ජයගනුවයි කියන්නේය. ‘එයට කුමක් නම් කරන්නෙහිදැයි” ඇසුවේය. “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය ගෙණ වාසය කරම්හයි” කීයේය.

මුහුද එතරින්ද ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුවර කරා එළඹ මෙසේ කියන්නේය. “මහරජ, කරුණක් දන්නෙහිද? මම මුහුද එතරින් එමි. එහි සමෘද්ධවූද, සම්පූර්ණවූද බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත් මහත් වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද, අශ්ව සේනාවෝද, රථ සේනාවෝද, පාබල සේනාවෝද බොහෝ වෙත්. එහි ඇත් අස් සමූහයා බොහෝය. එහි වැඩ කළාවූද, වැඩ නොකළාවූද රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණවූ බල සෙනඟකින් ජයගන්ටද හැක්කේය. මහරජ, ජයගනු මැනවැයි’ කියන්නේය. එයට කුමක් කරන්නෙහිදැයි” ඇසුයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය ගෙණ වාසය කරම්හයි” කීයේය.

“මහරජ, මේ කාරණය සඳහා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් ලෝවැසි තෙම නොපිරුණේ වෙයි. සෑහීමට නොපැමිණියේ තණ්හාවට දාසවූයේ වේයයි වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ”යි කීයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමය, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් වදාළ ‘ලෝවැසි තෙම නොපිරුණේ වෙයි. සෑහීමකට නොපැමිණියේ තණ්හාවට දාසවූයේ වේය, යන කාරණය ඉතා යහපත් කොට වදාරණලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ලෝවැසි තෙම නොපිරුණාවූ සිත් ඇත්තේමය. සෑහීමට නොපැමිණි සිත් ඇත්තේය. තෘෂ්ණාවට දාසව සිටියේයයි,” කීය.

ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළේය. මෙය ප්‍රකාශ කොට ඉක්බිති මේ ගාථාවන්ද වදාළේය.

[1] “ලොකයෙහි යම් කෙනෙක් වස්තුව ලැබ මොහයෙන් නොදෙත්ද, ලොහොබිවූවාහු වස්තුව රැස් කිරීම කරත්ද, වැඩියක්ම කම්සැප විශෙෂයෙන් ප්‍රාර්ථනා කරත්ද, (එබඳු) වස්තු සහිතවූ මිනිසුන් දක්නෙමි.

[2] “සාගර කෙළවර සහිතවූ පෘථිවිය බලාත්කාරයෙන් ජය ගෙණ මුහුද මෙතෙර පෘථිවියෙහි වාසය කරන්නාවූ රජතෙම සැහීමට නොපැමිණි ස්වභාව ඇත්තේ මුහුදෙන් එතෙරද ප්‍රාර්ථනා කරන්නේය.

[3] “රජතෙමේද අන්‍යවූ බොහෝ මිනිස්සුද පහනොවූ තෘෂ්ණාව ඇතිවම මරණයට පැමිණෙත්. නොපිරුණු බලාපොරොත්තු ඇතුවම සිරුර හරිත්. මේ ලොකයෙහි කම් සැපවලින් සෑහීමක් නම් නැත්තේය.

[4] “ඔහුගේ නෑයෝ හිසකේ විසුරුවාගෙණ අපගේ නෑයෝ නොමැරෙන්නාහුනම් ඉතා යෙහෙකැයි කියා හඬත්. ඉන්පසු වස්ත්‍රයෙන් පොරවනලද ඒ මළ ශරීරය බැහැර කොට සෑයට නංවා දවන්නාහ.

[5] “හෙතෙම එක් වස්ත්‍රයකින් යුක්තව සම්පත් හැරදමා හුල්වලින් අණිනු ලබන්නේ දවනු ලබයි. මේ ලොකයෙහි මැරෙනු ලබන්නහුට නෑයෝද මිත්‍රයෝද නොහොත් යහලුවෝද රක්ෂාස්ථාන නොවෙත්.

[6] “උරුමක්කාරයෝ ඔහුගේ වස්තුව හැරගණිත්. සත්ව තෙමේ වනාහි කම්වූ පරිද්දෙන් යන්නේය. මැරෙනු ලබන්නහු සමග කිසි ධනයක් අනුව නොයන්නේය. පුත්‍රයෝද භාර්යාවෝද වස්තුවද රටද (යන මොහු කැටුව නොයන්නාහුය.)

[7] “යම් හෙයකින් වස්තුව කරණ කොට ගෙණ දීර්ඝායුෂ නොබන්නේද වස්තුව කරණ කොටගෙණ ජරාව නොනසත්ද, එහෙයින් මේ ජීවිතය වනාහි ස්වල්පකාලයක් පවතියි, නුවණැත්තේ අනිත්‍යය පෙරලෙන ස්වභාව ඇත්තේයයි කීහු.

[8] “වස්තුවෙන් ආඪ්‍යවූවෝද දිලිඳුවූවෝද මරණයට පැමිණෙන්නාහුය. අඥාන තෙමෙද ඥානවන්ත තෙමේද එසේම මරණයට පැමිණෙන්නාහ. අඥාන පුද්ගලයා වනාහි නොකළ යුතුදේ කෙළෙමියයි කම්පා වෙමින් මරණයට පැමිණෙයි. නුවණැත්තේ මරණයෙන් කම්පා නොවේ.

[9] “මේ ලොකයෙහි යම් ප්‍රඥාවකින් අවසානයයි කියනලද අර්හත් ඵලයට පැමිණෙන්නේද, එහෙයින් වනාහි ප්‍රඥාවම ධනයට වඩා උතුම්වන්නීය. ක්ලෙශයන් වියලීම නොකළ බැවින්ම කුදු මහත් භවයන්හි මුලාවීමෙන් පව්කම් කරන්නාහුය.

[10] “හීන ප්‍රණීත වශයෙන් සංසාරයට පැමිණ පරම්පරා වශයෙන් මව්කුසද පරලොවද උපදියි. ඒ නුවණ නැති පුද්ගලයා තවත් නුවණ නැති පුද්ගලයෙක් අදහා ගනිමින් මව්කුසටද පරලොවටද පැමිණෙන්නේය.

[11] “මංපැහැරීමේදී අල්ලා ගන්නාලද ලාමක ක්‍රියා ඇති සොරා තමාගේ ක්‍රියාවෙන් නසනුලැබේද එමෙන් ලාමක ස්වභාවය ඇති සත්ව තෙමෙද මෙලොව පරලොව දෙක්හිම තමාගේ කර්මය විසින් නසනු ලැබේ.

[12] “විසිතුරුවූ මිහිරිවූ සිත් සතුටුකරන්නාවූ කාමයෝ වනාහි විරූපවූ ස්වරූපයෙන් සිත කළඹත්. එහෙයින් මහරජ මම කාමගුණයන්හි දොෂය දැක පැවිදිවූයේ වෙමි.

[13] “තරුණවූද මහළුවූද මානවකයෝ ශරීර භෙදයෙන් ගස්වල ගෙඩි මෙන් වැටෙන්නාහුය. මහරජ මේ කාරණයද දැක පැවිදිවූයේ වෙමි. නොවරදින මාර්ගයවූ ශ්‍රමණ භාවය උතුම් වන්නේය,”යි (වදාළේය)

රට්ඨපාල සූත්‍රය නිමි.