මජ්ඣිම නිකාය
මජ්ඣිම පණ්ණාසකය
4. රාජ වර්ගය
85. බොධිරාජ කුමාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් ජනපදයෙහි සුංසුමාර ගිර නම් නගරයට සමීප වූ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්.
එකල්හි බොධිරාජ කුමාරයාගේ කොකනද නම් ප්‍රාසාදය කරවන ලද නොබෝ කල් ඇත්තේ වෙයි. එහි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ මනුෂ්‍ය වූ කිසිවෙකු විසින් වාසය නොකරණ ලද්දේය. එකල්හි බොධිරාජ කුමාර තෙමේ සඤ්ජිකා පුත්ත නම් මානවකයා කැඳවී. කැඳවා “යහලු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මස්තකයෙන් වඳුව.
“ස්වාමීන් වහන්ස, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිරසින් විඳියි. ආබාධ නැතිකම රෝග නැතිකම -සිත කය දෙකේ සැහැල්ලු බව කාය බලය සැප විහරණය අසන්නේයයි’ ආබාධ නැතිකම රෝග නැතිකම කය සිත්හි සැහැල්ලුකම කාය බලය විහරණ සැපය අසව.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිසවූ බත ඉවසන සේක්වායයි.’ කියව. තරුණවූ සඤ්ජිකා පුත්‍ර තෙමේ “එසේය” කියා බොධිරාජ කුමාරයාට උත්තරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට අවසන්ව එක් පසෙක්හි හිඳගත්තේය.
එක් පසෙක හුන් තරුණවූ සඤ්ජිකා පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පා මුදුනෙන් වඳියි. නිරෝගි බව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද පින්වත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග බෝධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිස වූ බත ඉවසන සේක්වායි කියායිද” කීය. භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.
ඉක්බිති තරුණ සඤ්ජිකා පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට බොධිරාජ කුමාර තෙම යම් තැනකද එහි පැමිණියේය.
පැමිණ බොධිරාජ කුමරුට මෙසේ කීය. “පින්වතුන්ගේ” වචනයෙන් ඒ පින්වත් ගෞතමයන් වහන්සේට ‘භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම- භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. නිරෝගිබව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද පින්වත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොධිරාජ කුමාරයාගේ හෙට දවස් පිණිස බත ඉවසන සේක්වායි කියා යයිද, අපි කීවෙමු. එය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉවසන ලද්දේ වෙයි.”
ඉක්බිති බොධිරාජ කුමාරතෙමේ එය රැය ඉක්මවීමෙන් තම නිවසෙහි ප්‍රණීත ආහාර පාන වර්ග පිළියෙල කරවා කොකනද ප්‍රාසාදය අන්තිම තරප්පු පුවරුව (පඩිය) තෙක්ම සුදු වස්ත්‍ර අතුරවා, තරුණ සඤ්ජිකා පුත්‍රහට කථා කෙළේය. “යහළු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනක නම් එහි ගොස් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීන් වහන්ස, බත නිමවන ලදී. කාලය වේයයි, කාලය දන්වව”.
“පින්වත, එසේය කියා තරුණ සඤ්ජිකා පුත්‍ර තෙමේ තරුණ බොධිරාජ කුමරුට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ, “ස්වාමීන් වහන්ස, බත නිමවනලදී. වැඩීමට කාලයයි,” භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ බොධිරාජ කුමරුගේ ගෙදොර යම් තෙනකද එහි වැඩිසේක. එවේලෙහි බොධිරාජ කුමාරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම බලමින් පිට දොරටුවෙහි සිටියේ වෙයි. බොධිරාජ කුමාරතෙමේ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙරටුව කොකනද ප්‍රාසාදය යම් තෙනකද එහි පැමිණියේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ අන්තිම තරප්පු පුවරුව (පඩිය) ලඟ වැඩ සිටියහ. එකල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩිනා සේක්වායි” කීය. මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වී. දෙවනුවද, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වායි” කීය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. තෙවනුවත් බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වායි” කීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් දෙස බැලී. අනතුරුව ආයුෂ්මත් ආනන්ද තෙමේ බොධිරාජ කුමරුට මෙසේ කීය. “රාජ කුමාරයිනි, වස්ත්‍ර අස්කරවා භාග්‍යවතුන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිත්” කීය. තථාගතයන් වහන්සේ පසු ජනතාව බලන්නාහයි කීය.
ඉක්බිති බොධිරාජ කුමාර තෙමේ පාවාඩ හකුළුවා කොකනද ප්‍රාසාදයෙහි අසුන් පැනවී. එවිට භාග්‍යවතුන් වහන්සේ කොකනද පහයට නැග පැනවූ අස්නෙහි භික්ෂු සංඝයා සමග වැඩ උන්හ. එවිට බොධිරාජ කුමාරතෙමේ බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාර පානයෙන් සියතින්ම හොඳින් වැළඳවිය. ඇතිතාක් වැළඳවිය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වළදා පාත්‍රයෙන් අත ඉවත් කළ කල්හි, බොධිරාජ කුමාරතෙම මිටි අස්නක් ගෙන එක් පසෙක ඉඳ ගත්තීය. එක් පසෙකහුන් බොධිරාජ කුමර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීන් වහන්ස, මාගේ මේ අදහසෙක් වෙයි. සැපයෙන් සැපයට නොපැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය යන මෙබඳු අදහසක් මට පහළවිය යනුයි.
“රාජ කුමාරයිනි, චතුස්සත්‍යාවබොධ කිරීමට පලමු බුදු නොවූ බෝධිසත්ව කාලයේදීම මා හටත් ‘සැපයෙන් සැපයට නොම පැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුයයන, අදහස පහළවිය, ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ලියවනලද සකක් බඳුවූ, මේ බ්‍රහ්ම චර්යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළිරැවුලු කපාහැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි, රාජකුමාරය, කියා, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් දැළි රැවුල් කපාහැර කසාවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.’
“මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස්, ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.
“ඇවැත්නි කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි’යි (කීවෙමි) රාජකුමාරය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙය කීවේය. ‘යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්මයද එබඳුය, එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය අසාම ඉගෙන ගත්තෙමි. රාජකුමාරය, ඒ මම (කියන්ට) තොල පෙරලු පමණින්, (ඔහු) කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිමියයි කීමද) කියමි. ථෙරවාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ආළාරකාලාම තෙම මේ ධර්මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් අවබොධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි. ආළාර කාලාම තෙම මේ ධර්මය දැන දැක වාසය කරයි. (කියායි.) රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස්, ආළාරකාලාම හට මෙසේ කීවෙමි. ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ”යි (කියායි)
“රාජකුමාරය, මෙසේ කී කල්හි ආලාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවර කොට ඇති සමාපත්තිය දැක්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ‘ආළාරකාළාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාළාමහට පමණක් වීර්ය ඇත්තේ නොවෙයි, මටද වීර්යය ඇත. ආළාරකාළාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත, ආළාරකාළාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි, මටද සමාධිය ඇත. ආළාරකාළාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාම තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්මය අත්කර ගැණීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද එතැනට ගියෙමි. ගොස් ‘ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්මය දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණෙකින්දැ’යි (ඇසීමි) ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (ආළාරකාලාම තෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරමි’යි (කීවෙමි) ‘ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචර්යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්මය දන්නෙහිය. යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නෙම්ද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරවු’යි (කීවේය) රාජ කුමාරය, මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.
“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ‘මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතියි (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාර්ය සත්‍ය) අවබොධය පිණිස නොපවතියි. නිර්වානය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්ම ලොකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. රාජකුමාරය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
“රාජකුමාරය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයන්නේ උද්දකරාම පුත්තතෙම යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි. ‘ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචර්යාව රකින්ට මම කැමැත්තෙමි’ (කීවෙමි) “රාජකුමාරය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්තතෙම මට මෙසේ කීවේය. ‘යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි, රාජකුමාරය, ඒ මම කීමට තොල සෙලවූ පමණින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමියි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ‘උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරමියි, නොකියයි. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය දැන, දැක වාසය කළේයි’. (මට කල්පනාවිය.) රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට ගියෙමි. උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි ‘ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැයි’ (කියායි)
“රාජකුමාරය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ‘රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීර්යය ඇත්තේ නොවෙයි. මටද වීර්යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්තතෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසයකරමියි කියයි නම් ඒ ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගැණීම පිණිස වීර්ය කරන්නෙම් නම් යහපත්ය.’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, රාමයෙනි, මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ”යි ඇසීමි. ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (උද්දකරාමතෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරමි’යි කීවෙමි.
“ඇවැත්නි, යම්බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නේද, ඔබ ඒ ධර්මය දන්නෙහිය. ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මමත් එබඳුය. ඇවැත්නි, එව, දෙදෙනම එක්ව මේ පිරිසපාලනය කරමුයි’ (කීවේය) රාජ කුමාරය, මෙසේ මාගේ ආචාර්යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.
“රාජ කුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ‘මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිසනොපවී. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතී. (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතී. (චතුරාර්යසත්‍යය) අවබොධය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලොකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි’. රාජ කුමාරය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්මයෙන් ඉවත්ව ගියෙමි.
“රාජකුමාරය ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්වාණය සොයමින්, මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන් කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවූ, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වනලැහැබ සතුට උපදවන්නේය. සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගම්ද වෙයි. වීර්යය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. රාජකුමාරය, ඒ මම මේ ස්ථානය වීර්ය කිරීමට සුදුසුයයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම උන්නෙමි.
“රාජකුමාරය, මට ආශ්චර්යවූ, පෙර නොඇසූ විරූ උපමා තුනක් වැටහුනාහුය. රාජකුමාරය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලී කැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමියි, ගින්දර ඇතිකරන්නෙමියි, කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂ තෙම ජලයෙහි බහාලන ලද ඒ කිරි සහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:-භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහාලන ලද්දේය. (එහෙයිනි) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂ තෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදුවන්නේය.” “රාජකුමාරය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය මාර්ග ඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබොධයටද නුසුදුස්සෝමය රාජකුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසුවිරූ මේ පළමු වන උපමාව මට වැටහුණි.
“රාජ කුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසූවිරූ අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. රාජකුමාරය යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩවීමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපදවන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂ තෙම කිරි සහිතවූ දියෙන්
ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනිගානා දණේඩන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්. භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩ බිමෙහි දමා තිබුණත් කිරි සහිතය (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදුවන්නේය” “රාජකුමාරය, “එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මුර්ජාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද නොව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය ඥාන දර්ශනයටද, නිරුත්තර අවබොධයටද නුසුදුස්සෝමය.
“ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් ඉදින් නොවිඳින්නාහුද, ඥාන දර්ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබොධයටද නුසුදුස්සෝමය. රාජකුමාරය, මේ වනාහි මට වැටහුනු පුදුමවු, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවය.
“රාජකුමාරය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන්වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. රාජකුමාරය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබන ලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද, ගින්න ඇති කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේ වෙයි, දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.” “රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාමවස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ කාම ආශාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩපැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ග ඥාන දර්ශනය පිණිස, නිරුන්තරවූ අවබොධය පිණිස සුදුස්සෝමැයි රාජකුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.
“රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ‘යම්හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත්මිටි කාගෙන.) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ (කියායි.) රාජ කුමාරය, ඒ මම දත්මිටිකාගෙන දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි. පෙළමි, තවමි. රාජකුමාරය, දත්මිටි කාගෙන දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.
“රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තෙම වඩා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩුතල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීර්යයෙන් මඩනා, ලද්දාවුම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. රාජකුමාරය, මට උපන්නාවූද මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම ආශ්වාස කිරීම රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියාය) රාජකුමාරය, ඒ මම කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම රාජකුමාරය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්ය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූද, මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම රාජකුමාරය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාසේ වෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිතවිය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇතිවෙයි. රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.
“රාජකුමාරය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.
“රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක් වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, රාජකුමාරය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.
“රාජකුමාරය, මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේමය සිහිය එළඹ සිටියාය. (එහෙයින්) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජ කුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.
“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’ (කියායි) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ (කියායි.) ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි (කීහ.)
“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනාවිය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි). රාජකුමාරය, එවිට දේවතාවෝ මාවෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි, යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු ඔබ එයින් යැපෙන්නෙහිය.’ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) රාජකුමාරය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.
“රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම පතක්, පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි, (කියායි.)
“රාජකුමාරය, ඒ මම පතක්, පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. රාජකුමාරය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉත් ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි, අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ ඇඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස්මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත් ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.
“රාජකුමාරය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. රාජකුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.
“රාජ කුමාරය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය, ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන්වන් සිවි ඇත්තේයි.’ රාජකුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.
“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මට වඩා වැඩි නොවෙයි අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වෙදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශෙෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි (කල්පනා විය.)
“රාජකුමාරය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මඟුල් දිනයෙහි සිහිල්වූ දඹරුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබොධය පිණිස වන්නේයි (අදහස් විය.) රාජකුමාරය, ඒ මට අවබොධය පිණිස මේ මාර්ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය, රාජකුමාරය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද (කියාය.) රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි (කියාය.) රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය (කියාය.)
“රාජකුමාරය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔලාරික ආහාරයක් ගත්තෙමි. රාජකුමාරය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. රාජකුමාරය, මේ කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂුහු ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්යය කිරීමෙන් පිරිහුණෙයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.
“රාජකුමාරය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
“විතර්කවිචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතිය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වෙදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි, මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද එ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවීම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන.) කල්පයන්ද, නොයෙක් විවර්තී (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්තී විවර්තී කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තෙවීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“රාජකුමාරය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. අලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වෙදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසිදු හෙයින) දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස් ) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්ත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතනේ යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යන්ට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දනිමි.
“රාජකුමාරය, මා විසින් රාත්‍රියෙහි මැද යාමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපිදීම් දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. ‘මේ දුක නැති කිරීමේ මාර්ග’ යයි තතුසේ දත්තෙමි. ‘මොහු ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය’යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි, දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයි දැනගතිමි.
“රාජකුමාරය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂය කර ඥානය නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
“රාජකුමාරය, භික්ෂූන් තෙනමකට අවවාද කරමි. භික්ෂූන් දෙනමක් පිඬු පිණිස හැසිරෙති. දෙනමක් පිඬු පිණිස හැසිර යම් ආහාරයක් ගෙණෙත්ද, එයින් සදෙනම යැපෙමු.
“එකල්හි රාජකුමාරය, මා විසින් මෙසේ අවවාද කරණ ලද අනුශාසනා කරණ ලද පස්වග මහණහු යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති, ඒ උත්තම අර්හත්ඵලය ඉහතාත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කළාහුයි” වදාළේය.
“මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි කොපමණ කලකින් තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නාවූ භික්ෂුතෙම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්වම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උත්තම සැපත මේ ආත්මයෙහි තෙමේ විශෙෂ නුවණින් දැන ඊට පැමිණ වාසය කරද්දැයි’ ඇසී. “එසේ නම්, රාජකුමාරය, මේ කාරණය තොපගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ කියව. රාජකුමාරය, ඔබ ඒ කුමකැයි සිතන්නෙහිද? ඔබ ඇතුන්පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පයෙහි දක්ෂවෙහිදැයි” (ඇසී). “ස්වාමීන් වහන්ස, එසේය. ඇතුන්පිට නැගෙණ හෙණ්ඩු ගන්න ශිල්පයෙහි මම දක්ෂයෙක් වෙමි.” “ඔබ කුමක් සිතන්නෙහිද? බොධිරාජ කුමාරතෙම ඇතුන්පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පය දනියි. මම ඔහු වෙත ඇතුන්පිට නැගෙණ හෙණ්ඩු ගන්න ශිල්පය පුහුණු කරන්නෙමැයි මෙහි (කිසියම්) පුරුෂයෙක් පැමිණෙන්නේය.
“ඒ පුද්ගලතෙමේ ඇදහීම් නැත්තෙක් හෙවත් කියන දේ නොපිළිගන්නෙක් වෙයිද, ඇදහීමෙන් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම බොහෝ ආබාධ ඇත්තෙක් වෙයිද, නිරොගි වූවෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම කෛරාටික රැවටිලිකාරයෙක් වෙයිද, යමෙක් කෛරාටික නොවන රැවටිලිකාරයෙක් නොවන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද හෙතෙම කුසීතයෙක් වෙයිද, බලවත් වීර්ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම නුවණැත්තෙක් වෙයිද, නුවණැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, රාජකුමාරය, ඒ කුමක් සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඔබගෙන් ඇතුපිට නැගෙන හෙණ්ඩුව ගන්න ශිල්පය කිම ඉගෙනගන්නේද?”
“ස්වාමීන් වහන්ස, ඒ එක් කරුණකින්ද යුක්තවූ පුරුෂ තෙම මා වෙතින් ඇතුපිට නැගෙන හෙණ්ඩුව ගන්නා ශිල්පය නොඋගනියි. කරුණු පසින්ම යුක්ත නම් කියනුම කිම?”
“රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? බොධිරාජ කුමාරතෙම ඇතුපිට නැගෙනා හෙණ්ඩු ගන්නා ශිල්පය දනියි. ‘මම ඔහු සමීපයෙහි ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය හික්මෙන්නෙමියි’ සිතා පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඇදහීම ඇත්තෙක් වෙයිද, යමක් අදහන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද, හෙතෙම ආබාධ නැත්තෙක් වෙයිද, ආබාධ නැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නෙක්වෙයිද, හෙතෙම කෛරාටිකයෙක් රැවටිලිකාරයෙක් නොවන්නේද, කෛරාටිකයෙක් නොවන අවංක පුද්ගලයෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද හෙතෙම බලවත් වීර්ය ඇත්තෙක් වෙයිද, බලවත් වීර්ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතුනම් ඊට පැමිණෙන්නේද, හෙතෙම නුවණ ඇත්තේ වෙයිද, නුවණැතියෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඔබ වෙතින් කිම උගන්නේදැයි” ඇසී. “ස්වාමීනි, මේ එක් කරුණකින් යුක්ත වූද පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඉගෙනගන්නේය. කරුණු පසින් යුත් කල කියනුම කවරේද?
“රාජකුමාරය, එපරිද්දෙන්ම වීර්ය කිරීම පිණිස පවත්නා අංග පසක් වෙති. රාජකුමාරය මේ සස්නෙහි මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අරහත්ය. සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණසම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තර පුරිස දම්මසාරථිය දෙවිමිනිසුන්ගේ ශාස්තෘය, චතුස්සත්‍ය අවබොධ කෙළේය. භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේගේ බුදුබව අදහන්නේද?”
“වැඩිද නොවූ, අඩුද නොවූ, වීර්ය කිරීමට සුදුසු සමවූ ආහාර පැසවන ගින්නෙන් යුක්තවූ නිරොගි ආබාධ නැති පුද්ගලයෙක් වෙයිද, ශාස්තෘන් වහන්සේ ඉදිරියෙහිද නුවණැතියෙක්ව මහණදම් පුරණ භික්ෂූන් ඉදිරියෙහිද තමා පිළිබඳ ඇතිතතු ප්‍රකාශ කරණ කපටිනොවූ අවංක පුද්ගලයෙක් වෙයිද, අකුශල ධර්මයන් පහකිරීම සඳහාද කුශල ධර්මයන් ඉපදවීම සඳහාද පටන්ගත් වීර්ය ඇත්තෙක්දැයි වීර්ය ඇත්තෙක් කුශල ධර්මයන්හි බර බහා නොතැබූ පුද්ගලයෙක් වන්නේද, ආර්යවූ ධර්මයන් විනිවිද දක්නාවූ මනා කොට දුක් කෙළවර කිරීමට පමුණුවන්නාවූ, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දක්නාවූ, නුවණින් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූවෙක් වන්නේද,
“රාජකුමාරය, මේ වනාහි වීර්ය වැඩීම පිණිස පවත්නා අංගපස වෙති.
“රාජකුමාරය, මේ වීර්යය වැඩීම පවත්නා අංගපසින් යුත් භික්ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නේත් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උත්තම අර්හත්ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සත්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සත්වස තිබෙත්වා, මේ වීර්ය වැඩීම පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් මහණ තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදිවෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සය වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සයවසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන්යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය, මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පස්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, පස්වසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති, ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සිව් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සිව් වසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට තුන්වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, තුන්වසක් තිබේවා මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාවේ කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට දෙවසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, දෙවසක් තිබේවා. මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට එක් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක් වසක් තිබේවා. මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස ගිනිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සත්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සත්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සය මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සයමසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පස්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, පස්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සාරමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සාරමසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි හොඳින් පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට තුන් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, තුන්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට දෙමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, දෙමසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට එක්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක්මසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් සඳහා කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට අඩ මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, අඩ මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සතකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සතක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සයකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සයක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් පසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් පසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සතරකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සතරක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් තුනකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් තුනක් තිබේවා. මේ වීර්යය පිණිස අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් දෙකකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් දෙකක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවලකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක් රෑ දාවලක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුක්ත මහණ තෙමේ තථාගතයන් වැනිවූ හික්ම වන්නෙක් ලබන්නේ සවස අනුශාසනා කරණ ලද්දේ උදෑසන මාර්ගඵල අවබොධ කරයි. උදෑසන අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබොධ කරන්නේයයි” (වදාළසේක)
“මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ධර්මය ආශ්චර්යයි. යම් ධර්මයකින් සවස අනුශාසනා කරණ ලද්දේ උදය මාර්ගඵල අවබොධ කෙරේද, උදය අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබොධ කෙරේද, ඒ ධර්මයාගේ යහපත් කොට දෙශනා කරන ලද බව ආශ්චර්යයි. මෙසේ කී කල්හි තරුණ සඤ්ජිකා පුත්‍රතෙම බොධි රාජ කුමාරයට මෙසේ කීය. “ඒ කාරණය එසේමය. පින්වත් බොධිරාජ කුමාර තෙම, සර්වඥයන් වහන්සේ ආශ්චර්යයිද ධර්මය ආශ්චර්යයිද ධර්මයාගේ මනාකොට දෙසනලද බව ආශ්චර්යයිද, කියන්නෙහිය. එසේනම් ඒ භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යවයි” (කීහ)
“යහළු සඤ්ජිකා පුත්‍රය, එසේ නොකියව, යහළු සඤ්ජිකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජිකා පුත්‍රය එසේ නොකියව, යහලු සඤ්ජිකා පුත්‍රය, මෑනියන් හමුවෙන් මෙය අසනලදී. මෑනියන් හමුවෙන් මෙය අසා පිළිගන්නාලදී. යහලු සඤ්ජිකා පුත්‍රය. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවරෙහිවූ ඝොසිතාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ මව් තොමෝ දරුගැබ් ඇත්තී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාය. එක් පසෙක හුන් මාගේ මවු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.
“ස්වාමීන් වහන්ස, මාගේ කුසෙහිවූ යම් මේ කුමාරයෙක් හෝ කුමාරිකාවක් හෝ වේද? හෙතෙම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණයයි’ කියායි.
“භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිවිහිමි කොට භාග්‍යවතුන් වහන්සේ සරණගිය උපාසකයෙකුසේ දරණ සේක්වා’ යනුයි.
“යහලු සඤ්ජිකා පුත්‍රය, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මේ භග්ගනින පදයෙහිම සුංසුමාරගිර නගරය සමීපයෙහිවූ මිගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ කිරිමව් තොමෝ මා ඇකයෙන් උසුලාගෙණ (වඩාගෙණ) භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියාහ.
එක්පසෙක සිටියාවූ මාගේ කිරිමව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. ‘ස්වාමීන් වහන්ස, මේ බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණයයි. ධර්මයද භික්ෂු සංඝයාද සරණයයි. භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිව් හිමි කොට සරණගිය උපාසකයෙක් කොට දරණ සේක්වා’ (කියාය.)
“යහලු සඤ්ජිකා පුත්‍රය, ඒ මම තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණයෙමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණයමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමි කොට මා සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක්වායි කීය”
බොධිරාජ කුමාර සූත්‍රය නිමි (4-5)