මජ්ඣිම නිකාය
මජ්ඣිම පණ්ණාසකය
5. බ්‍රහ්මණ වර්ගය
92. සේල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසිය පනහක් පමණ මහත් භික්ෂු සංඝයා සමග අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් ආපණ නම්වූ අඩ්ගුත්තර නියම් ගම යම් තැනකද, එහි කල් යැවූ සේක. කේණිය ජටිල තෙමේ ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව එක්දහස් දෙසියපනහක් පමණ මහත් භික්ෂු සංඝයා සමග අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරන සේක් ආපණ නම් නියම් ගමට පැමිණි සේකැයි’ ඇසීය. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ යහපත්වූ කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, නිරුත්තරවූ පුරිෂ දම්මසාරථිහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ, යනුයි. උන්වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ඇතුළු මේ ලොකය තමන් වහන්සේම මනාව දැන අවබොධ කොට ප්‍රකාශ කරණසේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, (ව්‍යඤ්ජන සහිතවූ) දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ධර්මය දෙශනා කරණ සේක. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක්වේ නම් ඒ යහපත්මැයි කියායි.
ඉක්බිති කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූත් සිහිකටයුතු වූත් කථාකොට නිමවා එක් පැත්තක හුන්නේය.
එක් පැත්තක උන්නාවූ කේණිය ජටිලයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කුසල් දහම් විස්තර කළසේක. කුසල් දහම්හි සමාදන් කරවූසේක. නැවත නැවත උත්සාහවත් කරවූසේක. සතුටු කරවූසේක. ඉක්බිති කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කුසල් දහම් විස්තර කරන ලද්දේ, කුසල ධර්මයන්හි සමාදන් කරවන ලද්දේ, නැවත නැවත උත්සාහවත් කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට මාගේ දානය (ඉවසා වදාරණ) පිළිගන්නා සේක්වා”. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාට මෙසේ කීහ. “කේණියය, භික්ෂු සංඝයා මහත්ය. භික්ෂූහු එක් දහස් දෙසිය පනහක් වෙත්. නුඹ වනාහි බමුණන් කෙරෙහි (අතිශයින් ප්‍රසන්නය.) බොහෝ පැහැදුනේය.” කේණිය ජටිලයා දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, භික්ෂුසංඝයා කොපමණ වෙත්ද?” භික්ෂූහු එක්දහස් දෙසිය පනහක් වෙති. මමත් බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේ වෙමි. “භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට මාගේ දානය පිළිගන්නා (ඉවසා වදාරණ) සේක්වා” දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාට මෙසේ වදාළහ. “කේණියය, භික්ෂු සංඝයා මහත්ය. භික්ෂූහු එක්දහස් දෙසිය පනහක් වෙති. නුඹ වනාහි බමුණන් කෙරෙහි (අතිශයින් ප්‍රසන්නය.) බොහෝ පැහැදුනේය.” තෙවනුවත් කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංඝයා කොපමණ වෙත්ද?” “භික්ෂූහු එක්දහස්දෙසිය පනහක්වෙති.” “මම වනාහි බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේ වෙමි. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට මාගේ දානය (ඉවසා වදාරන) පිළිගන්නා සේක්වා” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසා වදාළසේක.
ඉක්බිති කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන හුනස්නෙන් නැගිට තමාගේ අසපුව යම් තැනෙකද, එතැනට එළඹියේය. එළඹ (මිත්‍රාමාත්‍යන්ද) මිතුරු ඇමතියන්ටද සහලේ නෑයන්ටද, කථාකළේය.
“පින්වත් (මිත්‍රාමාත්‍යයයෝ) මිත්‍ර ඇමතියෝ සහලේ නෑයෝ මා කියන්නක් අසත්වා. මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දවස බත් පිණිස ආරාධනා කරන ලද්දේය. යම්කිසිවකින් මට කාය වතාවතක් කරන්නහුද?” “එසේය. ස්වාමීනි”යි කේණිය ජටිලයාගේ (මිත්‍රාමාත්‍යයෝ) මිත්‍ර අමාත්‍යයෝ සහලේ නෑයෝ කේණිය ජටිලයාට පිළිතුරුදී සමහරු උදුන් සාරත්, සමහරු දර පලත්. සමහරු භාජන සෝදති. සමහරු දියමැණික් පිහිටුවත්. සමහරු අසුන් පනවත්. කේණිය ජටිලයා වනාහි තෙමේම මණ්ඩල මාලය (වස්තු මණ්ඩපය) පිළියෙළ කරයි.
එසමයෙහි වනාහි නාමනිඝණ්ඩු-ක්‍රියා කල්ප විකල්ප ශික්ෂා නිරුක්ති යන ප්‍රභේදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ හදාරන්නාවූ, විතණ්ඩ ශාස්ත්‍රයේත්, මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත්, අති දක්ෂවූ “සෙලබ්‍රාහ්මණතෙමේ ආපණ ගමේ වාසය කරයි. තුන් සියයක් මානවකයන්ට මන්ත්‍ර හදාරවයි. එසමයෙහි වනාහි කේණිය ජටිලයා සේලබමුණු කෙරෙහි අතිශයින් ප්‍රසන්නවූයේ වෙයි. එකල්හි සේලබමුණා තුන්සියයක් මානවකයන් පිරිවරණ ලදුව පා ගමනින් සක්මන් කරනුයේ හැසිරෙනුයේ කේණිය ජටිලයාගේ ආශ්‍රමය යම් තැනෙකද, එතැනට එළඹියේය. යම්කිසි කාරණයක් නිසා කේණිය ජටිලයාගේ සමහර ජටිලයන් උඳුන් හාරනුද, සමහර ජටිලයන් දර පලනුද, සමහර ජටිලයන් බඳුන් සෝදනුද, සමහර ජටිලයන් උදකමනි පිහිටුවනුද, සමහර ජටිලයන් අසුන් පනවනුද, තමාම මණ්ඩලමාලය පිළියෙළ කරන්නාවූ කේණිය ජටිලයාද “සේල” බමුණා දුටුවේය. දැක කේණිය ජටිලයාට මෙසේ කීය. “කිමෙක්ද? පින්වත් කේණියට ආවාහයක් හෝ වන්නේද, විවාහයක් හෝ වන්නේද, මහායාගයක් පිළියෙල කරන ලද්දේද, බලසේනාවන් සමග සේනිය බිම්බිසාර රජ සෙට දවස බත් පිණිස පවරණ ලද්දේද?” “භවත් සේලය, මට ආවාහයක් හෝ නොවන්නේය. විවාහයකුදු නොවන්නේය. බල සේනාවන් සමග සෙට දවස බත් පිණිස මාගධ සේනිය බිම්බිසාර රජද නොපවරණ ලද්දේය. යලිදු මහායාගයක් (දානයක්) පිළියෙල කරන ලද්දේය. ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිව අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරනසේක් එක්දහස් දෙසිය පනහක් භික්ෂූහු සංඝයා සමග ආපණ ගමට පැමිණිසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දයක් පැනනැංගේය. මෙකරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්යහ, සුගතයහ, ලොකවිදූහ, නිරුත්තරවූ පුරුෂදම්මසාරථිහ, දෙවිමිනිසුන්ට අනුශාසකයහ, බුද්ධයහ, භාග්‍යවත්හ, උන්වහන්සේට භික්ෂුසංඝයා සමග සෙට දානය සඳහා මා විසින් ආරාධනා කරන ලදී.”
“භවත් කේණිය, බුද්ධයයි කීවෙහිද?” “භවත් සේලය බුද්ධයයි කියමි”.
“භවත් කේණිය, බුද්ධයයි කීයෙහිද?” “භවත් සේලය, බුද්ධයයි කියමි”,
“භවත් කේණිය බුද්ධයයි කීවෙහිද?” “භවත් සේලය බුද්ධයයි කියමි.”
ඉක්බිති සේලබමුණාට මෙබඳු සිතක්විය. ‘ලොකයෙහි යම් මේ බුද්ධ යන ශබ්දයද දුර්ලභය. අපගේ මන්ත්‍රයන්හි දෙතිස් මහාපුරිස් ලකුණු ආවේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහාපුරුෂයාහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් හෙතෙම ගිහිගෙයි වසයිනම් ධාර්මිකවූ ධර්මරාජන්වූ චාතුර්දීපයට අධිපතිවූ දිනන සුලුවූ ජනපදයන්හි ස්ථිතිප්‍රාන්තවූ සත්රුවනින් සමන්විතවූ සක්විති රජවෙයි. මොවුහු ඔවුන්ගේ සත්රුවන්හුවෙත්. කවරහුයත්? චක්‍රරත්නය හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපතිරත්නය, සත්වැනි වූ පරිනායක රත්නයද යන (මොවුහුයි) ශූරවූ දිව්‍යපුත්‍රයන්ට සමානවූ ශරීර ඇත්තාවූ පරසතුරු සේනාවන් මඩින්නාවූ දහසකටත් අධිකවූ පුත්‍රයෝ ඒ සක්විතිරජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ පොළොව දඬුවම් කිරීම නැතිව යුධකිරීම් නැතිව ධර්මයෙන් දිනා අධිපතිව වෙසෙයි. ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවෙයිනම් ලෝකයෙහි දුරුකළ රාගාදිය ඇත්තාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධ වෙයි. පින්වත් කේණිය, දැන් ඒ අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ භවත් ගෞතමයන් වහන්සේ කොතැන්හි වාසය කෙරෙත්ද?” මෙසේ කී කල්හි කේණිය ජටිලයා දකුණු අතගෙන සේල බමුණාට මෙසේ කීය. “භවත් සේලය, මේ නිල්වන් රොද යම් තැනෙක්හිද එතැන්හිය”. එකල්හි සේල බමුණා තුන් සියයක් මානවකයන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට එළඹියේය. ඉක්බිති සේල බමුණා ඒ මානවකයන් ඇමතීය. “භවත්හු පයින් පය තබන්නාහු නිශ්ශබ්දව එත්වා. ලංවීමට පහසුනොවූ ඒ භාග්‍යවතුන් වහන්සේලා තනිව හැසිරෙන සිංහයන් වෙති. යම් කලෙක මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග කථා කරන්නේනම් පින්වත්හු මාගේ කථාව අතරින් කථා නොහෙලත්වා. භවත්හු මාගේ කථාවේ කෙළවර බලාපොරොත්තු වෙත්වා”.
ඉක්බිති, සේල බමුණා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත්, කථාව කොට නිමවා එකත් පසෙක උන්නේය. එකත් පසෙක උන්නාවූ සේල බ්‍රාහ්මණයා, භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහා (පුරුෂ ලක්ෂණ) සෙවීය. සේල බ්‍රාහ්මණ තෙමේ පුරුෂ ලකුණු දෙකක් හැර භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි සියලු දෙතිස් මහා (පුරුෂ ලක්ෂණ) දුටුවේය. කොපුවකින් වැසුනු ලිංගය ඇති බව (කොසොහිත වත්ථගුයහතා) හා පළල් දිවක් ඇති බව (පහුත ජිවහතා) යන ලක්ෂණ දෙකෙහි සැක කරයි, තීරණයකට නොබසී, (ඔහුගේ සිත) නොපහදී. එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළවිය. ‘මේ සේල බ්‍රාහ්මණයා කොපුවකින් වැසුනු ලිංගය ඇතිබව (කොසොහිත වත්ථගුයහතාව) හා පළල් දිවක් ඇතිබව (පහුතජිවහතා) යන ලක්ෂණ ද්වය හැර සෙසු මහා (පුරුෂ ලක්ෂණ) දැක ඒ දෙක්හි සැක කරයි. තීරණයකට නොබසී. නොපහදී”. එවිට භාග්‍යවතුන් වහන්සේ යම්සේ (කොපුවකින් වැසුනු) (කොසොහිත ලිංගය වත්ථගුයහය) දකීද, එබඳු ඍද්ධි විශෙෂයක් කළසේක. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු ස්පර්ශ කළසේක. නැවත නැවත ස්පර්ශ කළසේක. දෙනාසා සිදුරු ස්පර්ශ කළසේක. නැවත නැවත ස්පර්ශ කළසේක. නළල් තලය සම්පූර්ණයෙන් දිවෙන් වැසූසේක. එකල සේල බ්‍රාහ්මණයාට මෙබඳු සිතක්විය. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරිපූර්ණ දෙතිස් මහ පුරිස් ලකුණින් යුක්තයහ. අසම්පූර්ණයෙන් නොවේ. ඔහු බුදුවූයෙක්ද නොවූයෙක් දැයි මම නොදනිමි. මෙය කියනු ලබන්නාවූ වෘද්ධවූ මහලුවූ ආචාර්ය ප්‍රාචාර්ය බ්‍රාහ්මණන්ගෙන් අසන ලදී. යම් ඒ අර්හත්වූ සම්මා සම්බුදුවරයෝ වෙත්ද, ඔවුහු ස්වකීය වූ ගුණ කියනු ලබනකල්හි තමන්ගේ (ඥාණ) ප්‍රකාශ කරත්. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඉදිරියෙහි සුදුසු වූ ගාථාවලින් ස්තුති කරන්නේ නම් යෙහෙකි.’
ඉක්බිති සේල බමුණා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සුදුසු ගාථාවලින් ස්තුති කළේය.
[1] “ඉතා රුචි වූ (ලක්ෂණයන්ගෙන්) පිරුණු කයක් ඇත්තාවූ, (ශරීරය ඇති) මනාව ඉපදුනාවූ, දැකුමට ප්‍රියවූ, වීර්යය ඇත්තාවූ, භාග්‍යවතුන් වහන්සේ රන්වන් වූසේක. සුදුවූ දත් ඇති සේක.
[2] “මනාව ඉපදුනාවූ, මනුෂ්‍යයෙකුට පිහිටිය වියයුතු යම් (පුරුෂ) ලක්ෂණයෝ වෙත්ද, ඒ සියලු ලක්ෂණයෝ නුඹ වහන්සේගේ ශරීරයෙහිදී මහා පුරුෂ ලක්ෂණයෝ වෙත්.
[3] “ප්‍රසන්නවූ නේත්‍ර ඇති උසට ගැලපෙන මහතින් (ආරොහ පරිනාහ සම්පත්තියෙන්) යුක්තවූ බ්‍රහ්මකයකට බඳු සෘජුවූ බබලන ප්‍රතාපවත් ශරීරයක් ඇති නුඹ වහන්සේ ශ්‍රමණ සංඝයා මැද සූර්යයා මෙන් බබලන සේක.
[4] “යහපත් දැකුම් ඇති, රන්වන් සිවියක් ඇති, උතුම්වූ වර්ණයෙන් සම්පූර්ණවූ, ශ්‍රමණයන් වහන්ස, නුඹ වහන්සේට මේ ශ්‍රමණ භාවයෙන් කවර ප්‍රයෝජනද?
[5] “උතුම් වූ රථ ඇති සිව්දිගට අධිපතිවූ රටවල් දිනන සුලුවූ දඹදිවට ඊශ්වරවූ සක්විති රජවීමට සුදුසු වූයේය.
[6] “නුඹවහන්සේ ක්ෂත්‍රිය වංශිකයන්ගේ රාජ්‍යයෙහි යෙදුනාහු වෙත්වා. ගෞතමයන් වහන්ස රජුනට පූජ්‍යවූ සක්විති රජෙක්ව මිනිසුන්ට අධිපතිව රාජ්‍යය කරනු මැනව.”
[7] “(භාග්‍යවතුන් වහන්සේ) “සෙලය, මම ධර්මරාජන්වූ නිරුත්තරවූ රජවෙමි. අණමැඩ පැවැත්විය නොහැකිවූ ධර්ම (ආඥා) චක්‍ර පවත්වමි.”
[8] “(සේලය බ්‍රාහ්මණ තෙම), “ගෞතමයන් වහන්ස, ධර්මරාජවූ නිරුත්තරවූ සම්‍යක් සම්බුද්ධ තෙමේ දැනගත්තෙහිය. ධර්මයෙන් (ආඥා) චක්‍රය පවත්වමියි වදාළෙහිය.
[9] “පින්වතුන් වහන්සේගේ ශ්‍රාවක වූ අවවාදය අනුව හික්මුනාවූ සෙනෙවියා කවරෙක්ද? නුඹ වහන්සේ විසින් පවත්වන ලද මේ ධර්මචක්‍රය කවරෙක් අනුව පවත්වයිද?”
[10] “(භාගවතුන් වහන්සේ) “සේලය, මා විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්මචක්‍රය තථාගතයනට අනුව උපන්නාවූ (අනුජාතවූ) සැරියුත් තෙමේ අනුව පවත්වයි.
[11] “දතයුතු සියල්ල දැනගන්නා ලදී. වැඩිය යුතු සියල්ල වඩනලදී. මා විසින් අත්හැරිය යුත්ත අත්හරින ලදී. බමුණ, එහෙයින් මම බුද්ධවෙමි.”
[12] “බ්‍රාහ්මණය, මා කෙරෙහි සැක දුරුකරව. ශ්‍රද්ධාවෙහි ස්ථිරව පිහිටුව. (ශ්‍රද්ධාවෙන් බැස යනුව.) නිතර සම්බුදුවරයන්ගේ දැක්ම දුර්ලභ වෙයි.
[13] “ඒකාන්තයෙන් ලොකයෙහි යම් කෙනෙකුන්ගේ නිරතුරු පහලවීම දුර්ලභ වේද? බ්‍රාහ්මණය, ඒ මම රාගාදි උල් ඉදුරු නිරුත්තරවූ සම්‍යක් සම්බුද්ධ වෙමි.
[14] “කාමාදී මරසෙනග විසින් නොමැඩියහැකිවූ, අසමවූ ශ්‍රෙෂ්ඨවූ, නිර්භයවූ, මම සියලු ස්කන්ධ මාරාදි පස්මරුන් වසග කොට සතුටු වෙමි.
[15] “පින්වත්නි, බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දෙශනා කරන සේක්ද, මෙය අසව්. රාගාදී කෙලෙස් උල් උදුරා දැමූ මහා වීරයන් වහන්සේ වනයෙහි සිංහයෙකු මෙන් නාදකරන සේක”.
[16] “(සේල බ්‍රාහ්මණ තෙම) කාමාදි මරසෙනග විසින් නොමැඩිය හැකිවූ අසමවූ ශ්‍රේෂ්ඨවූ බුදුපියානන් වහන්සේ දැක පහත් ජාති ඇත්තාවූද කවරෙක් නොපැහැදෙන්නේද?
[17] ““යමෙක් මා අනුව යාමට කැමතිනම් ඒවා, යමෙක් අකැමැති නම් යේවා’. මම මෙහි බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදිවන්නෙමි.
[18] “ඉදින් පින්වතුන් වහන්සේට මේ සම්මාසම්බුද්ධ ශාසනය රුචි කෙරේද? අපිත් බුදුරජාණන් වහන්සේ ලඟ පැවිදි වන්නෙමු.
[19] “මේ තෙසියක් බමුණෝ ඇඳිලි බැඳගත්තාහු යාච්ඥා කරත් (ඉල්ලත්) ‘භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ ළඟ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමු”.
[20] (භාග්‍යවතුන් වහන්සේ) “සේලය, තමා විසින්ම දත යුතුවූ, මාර්ගය අනතුරුව විපාක දෙන හෙයින් අකාලිකවූ, බ්‍රහ්මචර්යාව මනාකොට දෙශනා කරණ ලදී. යම් ශාසනයෙක්හි අප්‍රමාදව හික්මෙන්නහුට පැවිදි බව නොසිස්ය යනුයි.
පිරිවර සහිතවූ, සේල බමුණා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය.
ඉක්බිති කේණිය ජටිලයා ඒ රැය ඉක්මුනු පසු සිය ආශ්‍රමයෙහි ප්‍රණීතවූ ඛාදනීයවූ භොජනීයවූ සියල්ල පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වීය.
“භවත් ගෞතමයන් වහන්ස, සුදුසු කාලයයි. දානය පිළියෙල කොට නිමවන ලදී.”
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන කේණිය ජලටිලයාගේ ආශ්‍රමය යම් තෙනැකද, එතනට පැමිණියේය. පැමිණ පැනවූ අස්නෙහි භික්ෂු සංඝා සමග වැඩඋන්සේක. අනතුරුව කේණිය ජටිලයා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා ප්‍රණීතවූ, කෑ යුතුවූ, අනුභව කළ යුතුවූ, ආහාර පාන වර්ගවලින් සියතින් සැතපවීය, පැවරීය, ඉක්බිති කේණිය ජටිලයා වැළඳුවාවූ, පාත්‍රයෙන් බැහැර කරන ලද අත ඇත්තාවූ, භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ එක්තරා මිටි අස්නක් ගෙන, එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තෙක උන්නාවූ, කේණිය ජටිලයාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනුමෝදනාව කළ සේක.
[1] “යාගයට ගින්න ප්‍රධානය, ඡන්දයට ‘සාවිත්තී’ ඡන්දය ප්‍රධානය, මිනිසුන්ට රජතුමා ප්‍රධානය, නදීන්ට සාගරය ප්‍රධානය.
[2] “තාරකාවනට චන්ද්‍රයා ප්‍රධානය, තවන්නවුනට සූර්යයා ප්‍රධානය, පින්කිරීමට කැමැතිවන්නවුනට හා දන්දෙන්නවුනට ඒකාන්තයෙන් සංඝයා ප්‍රධානය” යනුයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේණිය ජටිලයාට මේ ගාථාවලින් අනුමෝදනාව කොට (ආසනයෙන්) නැගිට වැඩි සේක. එකල ආයුෂ්මත් සේල භික්ෂූන් වහන්සේ පිරිවර සහිතව වෙන්වූයේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරන සේක් නොබෝ කලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම පැවිදි වෙත්ද, ඒ නිරුත්තරවූ බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ අභිඥාවන් ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ වාසය කළ සේක. ඉපදීම නැති කෙළේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළ යුතු සියල්ල කරන ලදී. මේ ආත්මයෙහි කළ යුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් සේල භික්ෂූන් වහන්සේ පිරිස සහිතව රහතුන් අතුරෙන් කෙණෙක් වූහ. ඉන්පසු ආයුෂ්මත් සේල භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියහ. පැමිණ, සිවුර එකාංසකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන ඇදිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් (මෙසේ) කීහ.
[1] “භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්ස, (අපි) මෙයින් අටවැනි දවසෙහි යම් ඒ සරණගෙන සත්රැයකින් නුඹවහන්සේගේ ශාසනයෙහි දැමුනෝ වෙමු.
[2] “නුඹවහන්සේ බුද්ධය, නුඹවහන්සේ ශාස්තෘහ, පස්මරුන් මැඩපැවැත්වූ මුනිහ, නුඹවහන්සේ රාගාදි අනුශය ධර්මයන් නසා එතරවූසේක් මේ සත්වප්‍රජාව එතරකරවන සේක.
[3] “නුඹවහන්සේ නැවත ඉපදීමට හෙතුව ඉක්මවන ලදහ. කාමාදි ආශ්‍රවයෝ බිඳදමන ලදහ. (කාමාදී) උපාදානයන් නැතිව භිය සහ භයංකර අරමුණු (භයභෙරවයන්) නැති කළේ සිංහයෙකු මෙන් වාසය කරන සේක.
[4] “මේ තුන්සියයක් භික්ෂූහු ඇඳිලි බැඳගෙන සිටිත්. වීරයන් වහන්ස, පාදයන් දිගුකරනු මැනව. භික්ෂූහු (නාගයෝ) ශාස්තෲන් වහන්සේට වඳිත්වා.”
දෙවැනිවූසේල සූත්‍රය නිමි. (4-2)