මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

5. බ්‍රහ්මණ වර්ගය

93. අස්සලායන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද, දෙව්රම් වෙහෙර වැඩවාසය කරණ සේක. එසමයෙහි නොයෙක් රටවල බමුණන් අතුරෙන් පන්සියයක් පමණ බමුණෝ කිසියම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කරති. එකල ඒ බමුණන්ට මෙබඳු සිතක් පහල විය. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවයි. ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ගැන විරුද්ධව සාකච්ඡා කිරීම සඳහා කවරෙක් සමර්ථද?

එසමයෙහි වනාහි අස්සලායණ නම් තරුණයෙක් සැවැත් නුවර වාසය කරයි. (හෙතෙම) දහරයෙකි, වැවුනුකෙස් ඇත්තෙක, උත්පත්තියෙන් සොළොස් හැවිරිදි වයස් ඇත්තෙක, නාම නිඝණ්ඩු යාග ආදී කටයුතු පිළිවෙල හා ශික්ෂානිරුක්ති යන ප්‍රභෙදන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයෙහි කෙළවරට ගිය කෙනෙක. පද හා ව්‍යාකරණ කටපාඩමේ කියන්නෙක, ලොකායත ශාස්ත්‍රයේත් මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙත් දක්ෂයෙක. ඉක්බිති ඒ බමුණන්ට මෙබඳු සිතක් ඇති විය. ‘මේ අස්සලායණ තරුණයා සැවැත් නුවර වෙසෙයි. (හෙතෙම) දහරයෙකි, වැඩුනු කෙස් ඇත්තෙක, උත්පත්තියෙන් සොළොස් හැවිරිදි වයස් ඇත්තෙක, නාම නිඝණ්ඩු යාග ආදී කටයුතු පිළිවෙල හා ශික්ෂා නිරුත්ති යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයෙහි කෙළවරට පැමිණියෙක. පද හා ව්‍යාකරණ කටපාඩමේ කියන්නෙක, ලොකායත ශාස්ත්‍රයේත් මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් දක්ෂයෙක. හෙතෙම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ගැන (යෙහි) විරුද්ධව සාකච්ඡා කිරීමට සමර්ථ වෙයි, කියායි.

අනතුරුව ඒ බමුණෝ අස්සලායණ තරුණයා යම් තැනෙකද එතැනට එළඹියහ. එළඹ අස්සලායණ මානවකයාට මෙසේ කීහ. “පින්වත් අස්සලායණය, මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවන සේක. පින්වත් අස්සලායණ තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන (යෙහි) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට පැමිණේවා” මෙසේ කී කල්හි අස්සලායණ තරුණයා ඒ බමුණන්ට මෙසේ කීය. “ශ්‍රමණ භවත් ගෞතමයෝ වනාහි ධර්මවාදීහ, ධර්මවාදීහු සමග දුකසේ විරුද්ධව සාකච්ඡා කළ යුත්තාහු වෙති. මම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන (යෙහි) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට නොහැක්කෙක් වෙමි” දෙවනුත් ඒ බමුණෝ අස්සලායණ තරුණයාට, මෙසේ කීහ. “පින්වත් අස්සලායණය, මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවන සේක. පින්වත් අස්සලායණ තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන (යෙහි) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට ඒවා පින්වත් අස්සලායණයන් වේදයට අනුව තවුස් පිළිවෙලට හැසුරුණු කෙනෙක” දෙවනුවත් අස්සලායණ තෙමේ ඒ බමුණන්ට මෙසේ කීය.” ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්මවාදීහ, ධර්මවාදීහු සමග දුකසේ වාද කළ යුත්තාහු වෙත්. මම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහි වාදකිරීමට නොහැක්කෙක් වෙමි. තුන්වෙනුවත් ඒ බමුණෝ අස්සලායණ තරුණයාට මෙසේ කීහ. පින්වත් අස්සලායණය, මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවන සේක. පින්වත් අස්සලායණ තෙම ශ්‍රමණ ගෞතමයන් සමග වාද කිරීමට ඒවා. පින්වත් අස්සලායණයන් වෙදය අනුව තවුස් පිළිවෙලට හැසුරුණු කෙණෙක”.

“භවත් අස්සලායණය, යුද්ධ නොකොට නොපැරදෙව” මෙසේ කී කල අස්සලායණ තරුණයා ඒ බමුණන්ට මෙසේ කීය. “පින්වතුනි, එකාන්තයෙන් මම වනාහි ජය නොලබමි. ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්මවාදීහ, ධර්මවාදීහු සමග දුකසේ වාදකළ යුත්තාහු වෙති. ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහි වාදකිරීමට මම අසමර්ථයෙමි. යලිදු මම භවතුන්ගේ වචනය නිසා යන්නෙමියි” කියායි.

ඉක්බිති අස්සලායණ තරුණයා මහත්වූ බමුණු සමූහය සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ අස්සලායණ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහ. “බමුණෝම උතුම් ජාති ඇත්තෝය. අන්‍යයෝ හීන ජාති ඇත්තෝය. බමුණෝම ශුද්ධ වංශ ඇත්තෝය, අන්‍යයෝ අශුද්ධ වංශ ඇත්තෝය. බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ, බමුණෝම පිරිසිදු වෙති. අන්‍යයෝ එසේ නොවෙති. බමුණෝම මහාබ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝව මුඛයෙන් උපන්නාහු බ්‍රහ්මජයහ, බ්‍රහ්මයා නිමැවු හෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ, යනුයි. භවත් ගෞතමයන් වහන්සේ මෙ කරුණෙහිද කුමක් කියන සේක්ද?”

“අස්සලායණය, බමුණන්ගේ බැමිණියෝ ඍතුවන්නියෝද, ගැබිනියෝද, වදන්නියෝද, කිරිපොවන්නියෝද දක්නා ලැබෙත්. ඒ බමුණෝද යෝනියෙන් උපන්නාහුම මෙසේ කීවාහුය. ‘බමුණෝම උතුම් වර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ, අන්‍යයෝ කළුපාට ඇත්තාහ, බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ (බමුණු නොවන්නෝ) අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජයහ, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ, කියායි.”

“කිසියම් කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කීසේක්ද?” එකල බමුණෝ මෙය මෙසේ සිතත්. බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ, අන්‍යයෝ කළුපාට ඇත්තාහ, බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ අපිරිසිදුවෙත්, බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහුය, බ්‍රහ්මජය, මහබඹා මැවූහෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්ම දායාදය, කියායි.

“අස්සලායණය, ඔබ ඒ කිමැයි හඟනෙහිද? යොනකම්බුජ නම් අන්‍යවූ පසල් දනව්වෙක ආර්යයයිද, දාසයයිද, වර්ණ දෙකෙකි. ආර්යයෙක්ව දාසයෙක් වෙයි. දාසයෙක්වී ස්වාමියෙක් (ආර්යයෙක්) වේයයි තා විසින් අසන ලද්දේද?” “එසේය ස්වාමීනි, මා විසින් අසන ලදී. යොනකම්බුජ නම් අන් පසල්දනව්වෙක ආර්යයයිද දාසයයිද වර්ණ දෙකකි, ආර්යයෙක්ව දාසයෙක් වෙයි, දාසයෙක්ව ස්වාමියෙක්වේයයි (මා විසින් අසනලදී)”. “අස්සලායණය, මෙහිදී බමුණන්ගේ කුමන බලයක්ද, කවර අස්වැසිල්ලක්ද?” මෙකරුණෙහිලා බමුණෝ මෙසේ කීහ. “බමුණෝම ශ්‍රෙෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ, බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’ කියායි.

“කිසියම් කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කීසේක්ද?” එකල්හි බමුණෝ මෙහිදී මෙය මෙසේ සිතති. ‘බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්ණයහ. අන්‍යයෝ හීන වර්ණයහ, බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ,’ කියායි.

“අස්සලායණය, ඒ කුමැයි හඟනෙහිද? ක්ෂත්‍රිය තෙමේත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ බොරුකියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, හිස් වචන කථාකරන්නේ, දැඩි ලොභ ඇත්තේ, බද්ධවෛරයෙන් (ව්‍යාපාදයෙන්) යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති විනිපාතනම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? බමුණෙක් වුවත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ කේලාම් කියන්නේ රළු වචන කියන්නේ, හිස් වචන කථා කරන්නේ, දැඩි ලොභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය නොවන්නේද? වෛශ්‍යයෙක් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ රළු වචන කියන්නේ හිස් වචන කියන්නේ දැඩි ලොභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය නොවන්නේද? වෛශ්‍යයෙක් වුවත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කථා කරන්නේ, දැඩි ලොභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය නොවන්නේද? වෛශ්‍යයාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ රළු වචන කියන්නේ හිස් වචන කියන්නේ, දැඩි ලොභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? ශුද්‍රයෙක් වුවත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ (කේලම් කියන්නේ) රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලොභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින්, මතු සැපයෙන් පහවූ, නරක ගති ඇති, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? වෛශ්‍යයාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලොභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ විනිපාතනම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? ශුද්‍රයෙක් වුවත් සතුන් මරන්නේ සොරකම් කරන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කථා කරන්නේ, දැඩි ලොභ ඇත්තේ, බද්ධවෛරයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය නොවේද?”

“භවත් ගෞතමයන් වහන්ස, මෙයවන්නේද (වන්නේමය) භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රියයාත් පරපන නසන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළුවචන කියන්නේ, හිස්වචන කථාකරන්නේ, දැඩි ලොභ ඇත්තේ, බද්ධවෛරයෙන් (ව්‍යාපාදයෙන්) යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති නපුරු ගති ඇති විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. භවත් ගෞතමයන් වහන්ස, බමුණාත් සතුන් මරන්නේ සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, (කේලම් කියන්නේ,) රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලොභ ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේය. වෛශ්‍යයාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ රළු වචන කියන්නේ හිස් වචන කියන්නේ දැඩි ලොභ ඇත්තේ, ව්‍යාපාදසිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. ශුද්‍රයාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස්වචන කියන්නේ, දැඩිලොභ ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. සියලු චාතුර්වර්ණයෝම සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ හිස් වචන කියන්නේ, දැඩි ලොභ ඇත්තේ, බද්ධවෛරයෙන් (ව්‍යාපාදයෙන්) යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති නපුරු ගති ඇති විනිපාත නම්වූ නිරයෙහි උපදින්නාහුය.”

“අස්සලායණය, මේ කරුණෙහිලා බමුණන්ගේ කුමන බලයක්ද? කවර අස්වැසිල්ලක්ද? මෙකරුණෙහිලා බමුණෝ මෙසේ කීහ. ‘බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්ණයහ. බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු. බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදය’ කියායි. යම්කිසි කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කී සේක්ද? එකල්හි මෙකරුණෙහිදී බමුණෝ, මෙය මෙසේ හඟිත්. ‘බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්ණයහ. අන්‍යයෝ හීනවර්ණයහ. බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය. මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදායහ’ කියායි.

“අස්සලායණය, ඒ කිමැයි සිතන්නෙහිද? බමුණෙක් වූයේම පර පණ නැසීමෙන් වැළකුණේ, සොරකමින් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, මුසාවාදයෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, රළු වචන කීමෙන් වෙන්වුණේ, හිස් වචන කීමෙන් වැළකුණේ, දැඩි ලෝභ නැත්තේ, (අව්‍යාපාද සිත් ඇත්තේ) බද්ධ වෛර නැත්තේ, හරි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදින්නේ නොවේද?” “භවත් ගෞතමයන් වහන්ස, සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. ක්ෂත්‍රියයාත්, වෛශ්‍යයත්, ශුද්‍රයාත්, නොඋපදින්නේදැයි” “භවත් ගෞතමයන් වහන්ස මෙය නොවන්නේද?” (වන්නේමය.)

“භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රියෙක් ප්‍රාණඝාතයෙන් වැලකුණේ, අදින්නාදානයෙන් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, මුසාවාදයෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, ඵරුෂ වචනයෙන් වෙන්වුනේ, හිස් වචන දෙඩීමෙන් වෙන්වූනේ, දැඩි ලෝභ නැත්තේ, (ව්‍යාපාද සිත්) බද්ධ වෛර නැත්තේ, හරි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය.

“භවත් ගෞතමයන් වහන්ස, බමුණෙක්ද, ප්‍රාණඝාතයෙන් වැළකුණේ සොරකම් කිරීමෙන් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, බොරුකීමෙන් වැළකුණේ, රළු වචන කීමෙන් වැළකුණේ, හිස් වචන කීමෙන් වැළකුණේ දැඩි ලොභ නැත්තේ, අව්‍යාපාද සිත් නැත්තේ, සම්‍යක් දෘෂ්ටිවූයේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය. භවත් ගෞතමයන්වහන්ස, වෛශ්‍යයෙක්ද, සතුන් මැරීමෙන් වැළකුණේ, සොරකම් කිරීමෙන් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, බොරුකීමෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, රළු වචන කීමෙන් වැළකුණේ, හිස් වචන කීමෙන් වැළකුණේ, දැඩි ලොභ නැත්තේ, අව්‍යපාද සිත් ඇත්තේ, සම්‍යක් දෘෂ්ටි වූයේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහත් ගති ඇති, ස්වර්ග ලොකයෙහි උපදින්නේය. භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍රයෙක්ද සතුන් මැරීමෙන් වැළකුණේ සොරකම් කිරීමෙන් වැළකුණේ කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, බොරුකීමෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, රළු වචන කීමෙන් වැළකුණේ, හිස් වචන කීමෙන් වැළකුණේ, දැඩි ලෝභ නැත්තේ, අව්‍යාපාද සිත් ඇත්තේ, සම්‍යක් දෘෂ්ටි වූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය.

“සියලුම චාතුර් වර්ණයෝද ප්‍රාණඝාතයෙන් වෙන්වූවාහු අදින්නාදානයෙන් වෙන්වූවාහු, කාමන්හි වරදවා, හැසිරීමෙන් වැළකුණාහු, මුසාවාදයෙන්, කේලාම් කීමෙන්, රළු වචනයෙන්, හිස් වචන කථා කිරීමෙන් වෙන්වුනාහු දැඩිලෝභ නැත්තේ, (ව්‍යාපාද සිත්) බද්ධවෛර සිත් නැත්තාහු, හරි දැකීම ඇත්තාහු, ශරීරයාගේ බිඳීමෙන්, මරණින් මතු යහපත්, ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නාහුය’යි

“අස්සලායණය, බමුණෝ ශ්‍රෙෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීන වර්ණයහ. බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ, යන යමක් බමුණෝ මෙහිදී කීවාහුද? මෙකරුණෙහිලා බමුණන්ගේ කුමන බලයක්ද? කවර අස්වැසිල්ලක්ද? යම්හෙයකින් භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කී සේක්ද? එකල බමුණෝ මෙකරුණෙහිදී මෙපරිද්දෙන් සිතත්. බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්ණයහ. අන්‍යයෝ හීන වර්ණයහ, ‘බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහුය. බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ’ යනුයි.

“අස්සලායණය, ඒ කිමකැයි හඟිනෙහිද? බමුණෙක්ව මේ ප්‍රදෙශයෙහි වෛර නොකොට ව්‍යාපාද නොකොට මෙත් සිත් වැඩීමට සමර්ථවේද? ක්ෂත්‍රියෙක්ව, වෛශ්‍යයෙක්ව, ශුද්‍රයෙක්ව සමර්ථ නොවේද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙය නොවන්නේද? වන්නේමය. භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රියාත් මේ ප්‍රදේශයෙහි අවෛරව අව්‍යාපාදව මෙත් සිත් වැඩීමට සමර්ථ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාත්, මේ ප්‍රදෙශයෙහි අවෛරව, අව්‍යාපාදව, මෙත් සිත් වැඩීමට සමර්ථ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍යයාත් මේ ප්‍රදෙශයෙහි අවෛරව, අව්‍යාපාදව, මෙත් සිත් වැඩීමට සමර්ථ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍රයාත් අව්‍යාපාදව මෙත් සිත් වැඩීමට සමර්ථ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, සියලු චතුර් වර්ණයෝම මේ ප්‍රදෙශයෙහි අවෛරව අව්‍යාපාදව මෙත්සිත් වැඩීමට සමර්ථ වෙති” “අස්සලායණය, බමුණෝ ශ්‍රෙෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීනයහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදහයි බමුණෝ මෙසේ කීහ. මෙකරුණෙහිදී බමුණන්ගේ කුමන බලයක්ද? කවර අස්වැසිල්ලක්ද? කවර හෙයින් භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කීසේක්ද?” එකල්හි ‘බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්ණයහ. අන්‍යයෝ හීනයහ, බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහුය. බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහයි’ බමුණෝ මෙය මෙසේ සිතත්.

“අස්සලායණය, ඔබ ඒ කුමැයි හඟනෙහිද? බමුණෙක් වූයේම ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් බැඳුන කුණු තට්ටුව සෝදා හරින්ට සමර්ථ වේද? ක්ෂත්‍රියෙක්ව වෛශ්‍යයෙක්ව ශුද්‍රයෙක්ව සමර්ථ නොවේද?” භවත් ගෞතමයන් වහන්ස, මෙය නොවන්නේද? වන්නේමය. භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රියාත් ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් බැඳුනු කුණු තට්ටුව සෝදා හරින්නට සමර්ථ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, (භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාත්) ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් රජස් දැලි සෝදා හරින්ට සමර්ථ වෙයි. (භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍යයාත්) ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් රජස් දැලි සෝදා හරින්ට සමර්ථ වෙයි. භවත් (ගෞතමයන් වහන්ස, ශුද්‍රයාත්) ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් රජස් දැලි සෝදා හරින්ට සමර්ථ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, සියලු චාතුර් වර්ණයෝම ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් බැඳුන කුණු තට්ටුව සෝදා හරින්ට සමර්ථ වෙති.”

“අස්සලායණය, ‘බමුණෝ ශ්‍රෙෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීනයහ. බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ අපිරිසිදු වෙත්. ‘බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහයි, බමුණෝ මෙසේ කීහ, මේ කරුණෙදී බමුණන්ගේ කුමණ බලයක්ද? කවර අස්වැසිල්ලක්ද? කවර හෙයින් භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කීසේක්ද?” එකල්හි “බමුණෝ ශ්‍රෙෂ්ඨ වර්ණයහ. අන්‍යයෝ හීනයහ. ‘බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහුය. බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ’ බමුණෝ මෙය මෙසේ සිතත්.

“අස්සලායණය, ඒ කිමැයි හඟනෙහිද? මෙහි අභිෂෙක ලැබූ ක්ෂත්‍රිය රජෙක් නොයෙක් ජාති ඇති පුරිසයන් අතුරෙන් පුරිසයන් සියයක් රැස් කරන්නේය. පින්වත්හු එත්වා, ක්ෂත්‍රිය කුලයෙන්, බ්‍රාහ්මණ කුලයෙන්, ප්‍රදෙශරාජ කුලයෙන්, උපන්නාවූ යමෙක් සල් රුකක හෝ හොර රුකක හෝ සඳුන් රුකක හෝ පදුම රුකක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවත්වා, තෙජස පතුරුවත්වා, නැවතද පින්වත්හු එත්වා සැඩොල් කුලයෙන්, වැදිකුලයෙන්, වෙණ කුලයෙන්, රථකාර කුලයෙන්, පුක්කුස කුලයෙන්, උපන්නාවූ යමෙක් බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬුලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවත්වා, තෙජස පතුරුවත්වා.

“අස්සලායණය, යම් ඒ ගින්නක් වේද, (තෙජසක් පතුරුවාද) ඒ ගින්න ක්ෂත්‍රිය කුලයෙන්, බ්‍රාහ්මණ කුලයෙන්, ප්‍රදෙශ රාජ කුලයෙන්, උපන්නහු විසින් සල් රුකක හෝ සඳුන් රුකක හෝ පදුම රුකක හෝ උඩගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන ලද්දේ, තෙජස පතුරුවන ලද්දේ, ඒ ගින්න ගිනිදැල් ඇත්තේද, වර්ණවත්ද, ප්‍රභාශ්වරද වන්නේද, ඒ කරනකොට ගෙන ගින්නෙන් කළහැකිවූ දෙය කරන්නට හැක්කේද, යම් ඒ ගින්න වනාහි සැඩොල් කුලයෙන්, වැදි කුලයෙන්, උපන්නහු විසින් බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවන ලද්දේ රශ්මිය පතුරුවන ලද්දේ එය ගිනි නොවන්නේද, වර්ණවත් නොවන්නේද, ප්‍රභාශ්වර නොවන්නේද ඒ ගින්නෙන්ද ගින්නෙන් කළ හැකිදේ කරන්නට නොහැක්කේද?”

“භවත් ගෞතමයන් වහන්ස, මෙය වන්නේද, වන්නේය භවත් ගෞතමයන් වහන්සේ යම් ඒ ගින්නක් ක්ෂත්‍රිය කුලයෙන්, බමුණු කුලයෙන්, ප්‍රදේශරාජ කුලයෙන්, උපන්නාහු විසින් සල් රුකක හෝ හොරරුකක හෝ සඳුන් රුකක හෝ පදුම රුකක හෝ උඩගාන දණ්ඩක් ගෙන (ගිනි) නිපදවන ලද්දේ, රශ්මිය පතුරුවන ලද්දේ එය ගිනි දැල් ඇත්තේ වන්නේය, වර්ණවත් වන්නේය. ප්‍රභාශ්වරද වන්නේය. ඒ ගින්න කරනකොට ගෙනද ගින්නෙන් කළ හැකිදේ කරන්නට හැක්කේය. යම් ඒ ගින්නක් සැඩොල් කුලයෙන්, වැදි කුලයෙන්, වෙණ කුලයෙන්. රථකාර කුලයෙන්, පුක්කුස කුලයෙන්, උපන්නවුන් විසින බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක්ගෙන ගිනි නිපදවන ලද්දේ රශ්මිය පතුරුවන ලද්දේ, ඒ ගින්නද ගිනිදැල් ඇත්තේ වන්නේය. වර්ණවත් වන්නේය. ප්‍රභාශ්වර වන්නේය. ඒ ගින්න කරනකොටගෙන ගින්නෙන් කළහැකිදේ කරන්නට හැක්කේය. භවත් ගෞතමයන් වහන්ස, සියලුම ගිනි ගිනිදැලින් යුක්තය, වර්ණවත්ය, ප්‍රභාශ්වරය, සියලුම ගින්නෙන් කළහැකි වැඩ සියල්ලක් කරන්නට හැකිය.”

“අස්සලායණය, ‘බමුණෝ ශ්‍රෙෂ්ඨයහ. අන්‍යයෝ හීනයහ. බමුණෝ (ශේවත) පරිශුද්ධයහ. අන්‍යයෝ (ක්ෂෂ්ණයහ) අපරිශුද්ධයහ, බමුණෝම උතුම් වෙත්, අන්‍යයෝ එසේ නොවෙත්, බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝව මුවින් උපන්නාහු බ්‍රහ්මජයහ. බ්‍රහ්මනිර්මිතයහ. බ්‍රහ්මදායාදයහයි යමක් බමුණෝ මෙසේ කීවාහුද මෙකරුණෙහිදී බමුණන්ගේ කුමන බලයක්ද, කවර අස්වැසිල්ලක්ද? කවර හෙයින් භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කීසේක්ද?” එකල්හි බමුණෝ මෙය මෙසේ සිතත්, ‘බමුණෝ ශ්‍රෙෂ්ඨයහ, අන්‍යයෝ හීනයහ. බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’ කියයි.

අස්සලායණය, ඒ කුමැයි හඟනෙහිද? මෙහි ක්ෂත්‍රිය කුමරෙක් බමුණු කන්‍යාවක් සමග වෙසෙන්නේය. ඔවුන් දෙදෙන සහ වාසයට පැමිණ පුත්‍රයෙක් උපදින්නේය. ක්ෂත්‍රිය කුමාරයා නිසා බමුණු කන්‍යාවට යම් ඒ පුතෙක් උපන්නේ වේද, හෙතෙම මවටද සමානය, පියාටද සමානය, ක්ෂත්‍රියයායි කිය යුතුද, බ්‍රාහ්මණයායයි කිය යුතුද?”

“භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රිය කුමරා නිසා බමුණු කන්‍යාවගේ (කුස) යම් ඒ පුතෙක් උපන්නේ වේද, හෙතෙම මවටද සමානය, පියාටද සමානය. ක්ෂත්‍රියයායිද කිය යුතුයි. බ්‍රාහ්මණයායිද කිය යුතුයි.”

“අස්සලායණය, ඒ කුමැයි හඟිනෙහිද? මෙහි බ්‍රාහ්මණ කුමාරයෙක් ක්ෂත්‍රිය කන්‍යාවක් සමග වෙසෙන්නේය. ඔවුන් දෙදෙනාගේ සහ වාසයට පැමිණීමෙන් පුත්‍රයෙක් උපදින්නේය. බමුණු කුමරුවා නිසා ක්ෂත්‍රිය කන්‍යාවට යම් ඒ පුත්‍රයෙක් උපන්නේවේද, හෙතෙම මවටද සමානය, පියාටද සමානය ක්ෂත්‍රියයයි කියයුතුද, බ්‍රාහ්මණයයි කිය යුතුද?”

“භවත් ගෞතමයන් වහන්ස, බමුණු කුමරා නිසා ක්ෂත්‍රියා කන්‍යාවගේ (කුස) යම් ඒ පුත්‍රයෙක් උපන්නේවේද, හෙතෙම මවටද සමානය, පියාටද සමානය, ක්ෂත්‍රියයයිද කිය යුතුයි. බ්‍රාහ්මණයයිද කිය යුතුයි.”

“අස්සලායණය, ඒ කුමැයි හඟිනෙහිද, මෙහි වෙළඹක් කොටලුවෙකු සමග එක්වීමෙහි යොදවත්නම් ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් පැටියෙක් උපදින්නේය. යම් ඒ පැටියා කොටළුවා නිසා වෙළඹට යම් ඒ පැටියෙක් උපන්නේවේද, ඌ මවටද සමානය, පියාටද සමානය, අශ්වයයි කියයුතුද, කොටලුවා යයි කියයුතුද?”

“භවත් ගෞතමයන් වහන්ස, වෙකු රඤ්ජනම් ප්‍රදෙශයෙහි මේ අතරශ්වයා වෙයි. භවත් ගෞතමයන් වහන්ස, අසුවල් තන්හි වනාහි මොවුන් දෙදෙනාගේ කිසි වෙනස් ආකාරයක් නොදකිමි.” යන මේ වෙනස් ආකාරය ඔහුගේ දකිමි.”

“අස්සලායණය, ඒ කුමැයි හඟනෙහිද? මෙහි සමාන උදර ඇති සහෝදර තරුණයෝ දෙදෙනෙක් වෙත්. එකෙක් මන්ත්‍ර හදාරන්නෙකු වෙත පමුණුවන ලද්දේය. අනෙකා මන්ත්‍ර හදාරන්නෙකු වෙත නොපමුණුවන ලද්දේය. මෙහිදී බමුණෝ මතක බතෙහිදී හෝ, ආරාධනාකොට දෙන අළුත් බතෙහි හෝ යාග බතෙහි හෝ ආගන්තුක බතෙහි හෝ පළමුව කවරෙක් අනුභව කරවන්නාහුද?” “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ මානවකයෙක් වේද, මන්ත්‍ර හදාරන්නෙකු වෙත පමුණුවන ලද්දේද, මෙහිදී බමුණෝ මතක බතෙහිදී හෝ අළුත් බතෙහිදී හෝ යාග බතෙහි හෝ ආගන්තුක බතෙහි හෝ පළමුව ඔහුම අනුභව කරවන්නාහුය. කිමෙක්ද? භවත් ගෞතමයන් වහන්ස, මන්ත්‍ර හදාරන්නෙකු වෙත නොපැමිණියහුට දෙන ලද්ද මහත්ඵල වන්නේද?”

“අස්සලායණය, ඒ කිමැයි හඟිනෙහිද? මෙහි සම උදර ඇති සහෝදර තරුණයෝ දෙදෙනෙක් වෙත්. එකෙක්වේද මන්ත්‍ර හදාරන්නන් වෙත පමුණුවන ලද්දේ දුස්සීලය. ලාමක ධර්ම ඇත්තේය. එකෙක් වේද මන්ත්‍ර හදාරන්නෝ වෙත නොපමුණුවන ලද්දේ, සිල්වත්ය. යහපත් ගුණදහම් ඇත්තේය. මෙහිදී බමුණෝ මතක බතෙහි හෝ අලුත් බතෙහි හෝ යාග බතෙහි හෝ ආගන්තුක බතෙහි හෝ කවරෙක් පළමුව අනුභව කරවන්නහුද?” “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ මානවකයෙක් මන්ත්‍රහදාරන්නන් වෙත නොපැමිණියේ, සිල්වත්ද, යහපත් ධර්ම ඇත්තේද, බමුණෝ මෙහිදී ඔහුම මතක බතෙහි හෝ අලුත් බතෙහි හෝ යාග බතෙහි හෝ ආගන්තුක බතෙහි හෝ පළමුව අනුභවකරවන්නාහුය. කිමෙක්ද? භවත් ගෞතමයන් වහන්ස, දුස්සීලයන් කෙරෙහි පාප ධර්ම ඇත්තවුන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වන්නේද?

“අස්සලායණය, නුඹ වනාහි පෙර ජාතියට ගියේය. ජාතිවාදයට ගොස් මන්ත්‍රයනට ගියේය. මන්ත්‍රයනට ගොස් මම යම් චාතුර් වර්ණ ශුද්ධියක් පනවම්ද, නුඹ ඒ අනුව (විරුද්ධව) ආවේහිය”

මෙසේ කී කල අස්සලායණ තරුණයා නිශ්ශබ්දවූයේ ලජ්ජාවූයේ, නමාගත් කඳ ඇත්තේ යටි කුරුකරගත් මුහුණ ඇත්තේ, සුසුම්ලමින්, සිහි මුලාව හුන්නේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ, ලජ්ජාවූ, නමාගත් කඳ ඇත්තාවූ, බිම බලාගත් මුහුණ ඇත්තාවූ, සුසුම්ලන්නාවූ, සිහිමුලාවූ, අස්සලායණ තරුණයා දැන ඔහුට මෙසේ වදාළ සේක.

“අස්සලායණය, පෙරවූ දෙයක් (කියමි) අරණ්‍යයෙහි පර්ණකුටින්හි වාසය කළාවූ බමුණ ඉසිවරුන් සත්දෙනෙකුට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වේ. ‘බමුණෝම උසස්ය, අන්‍යයෝ හීනයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ අපිරිසිදු වෙත්, බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්මනිර්මිතයහ. බ්‍රහ්මදායාදයහයි’. අස්සලායණය, අරණ්‍යයෙහි පර්ණකුටින්හි වසන සත් ඉසිවරුන්ට, බමුණෝ ශ්‍රෙෂ්ඨයහ, අන්‍යයෝ හීනයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ, අන්‍යයෝ කළුපාට ඇත්තාහ, බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ අපිරිසිදු වෙත්, බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ, යන මේබඳුවූ ලාමක දෘෂ්ටියක් උපන්නේයයි අසිත දේවල ඍෂි තෙම ඇසීය.”

“අස්සලායණය, ඉන්පසු අසිත දේවල ඍෂි තෙමේ කෙස් රැවුල් කපා මදටිය පාට ඇති වස්ත්‍ර ඇඳ පොරවා පොටවල් බොහෝ ඇති වහන් පයලා රන්මුවා දණ්ඩක් ගෙන සත්බමුණු ඉසිවරුන්ගේ පන්සල් මිදුලෙහි පහල විය. එකල අස්සලායණය, අසිත දේවල ඍෂියා සත්බමුණු ඉසිවරුන්ගේ පන්සල් මිදුලෙහි සක්මන් කරමින් මෙසේ කීය. ‘මේ භවත් බමුණු ඍෂිහු කොහි ගියාහුද? මේ භවත් බමුණු ඍෂිහු කොහි ගියාහුද?”

“අස්සලායණය, එකල්හි සත්බමුණු ඍෂීන්ට මෙබඳු සිතක් විය. ‘කුමක් හෙයින් මොහු ගම්දරුවෙකු මෙන් සත්බමුණු ඍෂිවරුන්ගේ පන්සල් මිදුලෙහි සක්මන් කරමින් මෙසේ කියයිද? ‘මේ භවත් බමුණු ඍෂීහු කොහි ගියාහුද, මේ භවත් බමුණු ඍෂීහු කොහි ගියාහුදැයි? එබැවින් ඔහුට සාප කරමු.’ අස්සලායණය, එකල්හි සත්බමුණු ඍෂීහු අසිත දේවල ඍෂියාට සාපකළහ. ‘වසළය, අලුවෙවයි. ‘අස්සලායණය, යම් යම් ආකාරයකින් සත්බමුණු ඍෂීහු අසිත දේවල ඍෂියාට සාපකළාහුද? ඒ ඒ අයුරින්ම අසිත දේවල ඍෂියා විශිෂ්ඨ රූප ඇත්තේ වෙයි, දැකීමට ප්‍රිය වෙයි, ප්‍රසාදයද උපදවයි.

“අස්සලායණය, එකල සත්බමුණු ඍෂීන්ට මෙබඳු සිතෙක්විය. ‘ඒකාන්තයෙන් අපගේ තපස හිස්ය. බ්‍රහ්මචර්ය නිෂ්ඵලය, පෙර අපි යමෙකුට ‘වසළය අලුවේවයි’ ශාප කෙළෙම්ද? ඇතැම් කෙනෙක් හලු වෙයි. මොහුට වනාහි අපි යම් යම් පරිද්දෙකින් ශාප කෙළෙමුද, ඒ ඒ පරිද්දෙන්ම විශිෂ්ඨ රූප ඇත්තේ වෙයි දැකීමට ප්‍රිය වෙයි. ප්‍රසාදය උපදවයි.

“භවතුන්ගේ තපස හිස් නොවේ. බ්‍රහ්මචර්යාය නිෂ්ඵල නොවේ. එබැවින් පින්වත්හු යමෙක් මා කෙරෙහි දූෂ්‍යවූ සිතැත්තේ වේද, එය දුරුකරව්. දූෂ්‍යවූ සිත් ඇති යමක් වෙයිද, එය දුරුකරමු.’ ‘පින්වත් තෙමේ කවරෙක් වෙහිද?, අපි විසින් පින්වතා අසිත දේවල ඍෂියායි අසන ලදී. ‘පින්වත, එසේය. පින්වත, ඒ මම වෙමියි’ අස්සලායණය එකල්හි සප්ත බ්‍රාහ්මණ ඍෂීහු අසිත දේවල ඍෂියාට වඳින්නට පැමිණියහ.

“එකල අස්සලායණය, අසිත දේවල ඍෂිතෙමේ සත්බමුණ ඉසිවරුන්ට මෙසේ කීයේය. ‘පින්වත, මෙය අසන ලදී. අරණ්‍යයෙහි පර්ණකුටින්හි වසන්නාවූ සත්බමුණු ඍෂීන්ට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේයයි ‘බමුණෝම උතුම්හ, අන්‍යයෝ හීනයහ, බමුණෝ සුදුපාට ඇත්තාහ, අන්‍යයෝම කළුපාට ඇත්තාහ, බමුණෝම පිරිසිදු වෙති, අන්‍යයෝ අපිරිසිදු වෙති, බමුණෝම බඹුගේ ඖරස පුත්‍රයෝව මුවින් උපන් බැවින් බ්‍රහ්මජයහ, බ්‍රහ්මයා විසින් මවන ලදහ, බ්‍රහ්මදායාදයහයි. එසේය පින්වත, පින්වත්හු වනාහි යම් මවක් බමුණෙකු වෙතම ගියේද, බමුණු නොවූවෙකු වෙතම ගියේදැ?යි දනිත්ද? පින්වත, මෙය නොදනිත්. පින්වත්හු වනාහි යම් මවකගේ මවුගේ පටන් සත්වැනි මී ආතාගේ පරපුර දක්වා බමුණෙකු කරාම ගියේද, බමුණු නොවූවෙකු කරා ගියේදැයි දනිත්ද? පින්වත, මෙය නොදනිත්. පින්වත්හු වනාහි යම් පියෙක් බැමිණියෙකු වෙතම ගියේද, නොබැමිණියෙකු වෙත ගියේදැයි දනිත්ද? පින්වත, මෙය නොදනිත්. පින්වත්හු වනාහි යම් පියෙකුගේ පියාගේ පටන් සත්වැනි මී මුත්තාගේ පරපුර දක්වා බැමිණියෙකු වෙතම ගියේද, නොබැමිණියෙකු වෙත ගියේදැයි දනිත්ද? පින්වත, මෙය නොදනිත්. පින්වත්හු යම්සේ කුසෙහි පිළිසිඳගැනීම වේයයි දනිත්ද, පින්වත, යම්සේ කුසෙහි පිළිසිඳගැනීම වේද, (එය) අපි දනිමු.

“මෙහි මව්පියෝද එක්වූවාහු වෙති. මවද ඍතුවූවාවෙයි. සත්වයෙක්ද එළඹියේ වෙයි. මෙසේ (මේ) තිදෙනාගේ එක් වීමෙන් කුසෙහි පිළිසිඳගැනීම වෙයි. පින්වත්හු වනාහි ඒ සත්වයා ක්ෂත්‍රියාය කියා හෝ බමුණාය කියා හෝ වෛශ්‍යයාය කියා හෝ ශුද්‍රයාය කියා හෝ දනිත්ද?” “පින්වත, ඒ සත්වයා ක්ෂත්‍රියාය කියා හෝ බමුණාය කියා හෝ වෛශ්‍යයාය කියා හෝ ශුද්‍රයාය කියා හෝ අපි නොදනිමු.” “පින්වත, මෙසේ ඇති කල්හි (තෙපි) කවුදැයි තොපි දනිව්ද?” “පින්වත, මෙසේ ඇති කල්හි (අප) කවුදැයි අපි නොදනිමු.”

“අස්සලායණය, ඒ සත්බමුණු ඍෂීහු අසිත දේවල ඍෂියා විසින් ස්වකීය ජාතිවාදයෙහි යොදවනු ලබන්නාහු, කියනු ලබන්නාහු, දැඩිව ගන්වනු ලබන්නාහු නොගැලපෙත්. නුඹ කිමෙක්ද? දැන් මා විසින් ස්වකීය ජාතිවාදයෙහි යොදවනු ලබන්නාහු, කියනු ලබන්නාහු, දැඩිව ගන්වනු ලබන්නාහු ගැලපෙන්නෙහිද? නුඹ යම් කෙනෙකුන්ට ආචාර්යයන් සහිතවූ පුණ්ණදබ්බිගාහ යාමෙන් නොගැලපෙන්නෙහිය.”

මෙසේ කීකල අස්සලායණ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්ද උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණගිය උපාසකයෙකු කොට සලකන සෙක්වා.”

තෙවෙනි වූ අස්සලායණ සූත්‍රය නිමි (5-3)