මජ්ඣිම නිකාය
මජ්ඣිම පණ්ණාසකය
5. බ්‍රහ්මණ වර්ගය
94. ඝෝටමුඛ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ බරණැස් නුවර ඛේමිය අඹවනයෙහි වාසයකරන සේක. එසමයෙහි කිසියම් කටයුත්තක් සඳහා ඝෝටමුඛ බ්‍රාහ්මණයා බරණැසට පැමිණියේය. ඉක්බිති ඝෝටමුඛ බ්‍රාහ්මණයා පයින් ගමන් කරන්නේ ඇවිදින්නේ ඛෙමිය අඹවනය යම් තැනකද එතැනට පැමිණියේය. එකල වනාහි ආයුෂ්මත් උදේන ස්ථවිර තෙමේ එළිමහනෙහි සක්මන් කරයි. ඉක්බිති ඒ ඝෝටමුඛ බ්‍රාහ්මණයා ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උදේන ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා සක්මන් කරන්නාවූ ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේට සක්මන් කරමින් මෙසේ කීය. “එම්බා, ශ්‍රමණය, දැහැමි පැවිද්දක් නැත. මෙසේ මාගේ අදහසක් වෙයි. එය වනාහි එබඳු පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි යම් ධර්මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස වෙහෙරට ඇතුල්වී පැනවූ අස්නෙහි හුන්නේය. ඝෝටමුඛ බමුණාද සක්මනින් බැස වෙහෙරට ඇතුල්වී එක් පැත්තෙක සිටියේය. එක් පැත්තෙක සිටියාවූ ඝෝටමුඛ බ්‍රාහ්මණයාට ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ මෙසේ කීසේක. “බමුණ, අසුන් තිබෙත්. ඉඳින් කැමතිනම් හිඳගනුව. මේ කරුණුම වනාහි අපි භවත් උදේනගෙන් බලාපොරොත්තු වන්නෙම් නොහිඳිමු. කෙසේනම් මාවැන්නෙක් මුලින් නොපැවැරවූ අස්නෙක හිඳීය යුතුයයි සිතන්නේද? එකල්හි ඝෝටමුඛ බ්‍රාහ්මණයා එක්තරා පහත් අස්නක් ගෙන එක් පැත්තෙක උන්නේය. එක් පැත්තක හුන්නාවූ ඝෝටමුඛ බ්‍රහ්මණයා ආයුෂ්මත් උදේන ස්ථවිරයන්ට මෙසේ කීය. “එම්බා ශ්‍රමණය, දැහැමි පැවිද්දක් නැත. මෙසේ මාගේ අදහසක් වෙයි. එය වනාහි එබඳු පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි යම් ධර්මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි.”
“බමුණ, ඉදින් නුඹ මට ගුණ කියන්නෙහි නම් ගුණ කියව. අගුණ කියන්නෙහි නම් අගුණ කියව, මවිසින් කියන ලද්දෙහි අර්ථය නොදන්නෙහි නම් ‘භවත් උදේනය, මෙය කෙසේද? මොහුගේ අර්ථය කවරේදැයි” එහිදී මතු මගෙන්ම ප්‍රශ්න කරව. මෙසේ කිරීමෙන් මෙහිදී අපගේ කථා සල්ලාපය වන්නේය”. “මම වනාහි භවත් උදේනයන්ගේ ගුණ කියයුත්තට කියන්නෙමි. දොස් කිය යුත්තට දොස් කියන්නෙමි. මම වනාහි භවත් උදේනයන් කියනලද යමක අර්ථය නොදන්නෙම් නම්, එහිදී භවත් උදේනයන්ම මතු විමසන්නෙමි. ‘භවත් උදේනය, මෙය කෙසේද? මොහුගේ අර්ථය කවරේද?’ මෙසේ විමසීමෙන් මෙහිදී අපගේ කථා සල්ලාපය වේවා!
“බමුණ, පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි ඇත්තාහු විද්‍යමාන වෙත්. (ඒ) හතර දෙනා කවරහුද? බමුණ, මෙහි එක් පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුණේ තමා තවන්නේ වෙයි. බමුණ, මෙහි වනාහි එක් පුද්ගලයෙක් අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන් තවන්නේ වෙයි, බමුණ, මෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ තමා තවන්නේද වෙයි. අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන් තවන්නේද වෙයි. බමුණ, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි නොයෙදුනේ තමා නොතවන්නේ වේ. අනුන් තවන යොගයෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ වෙයි. හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොතවන්නේ, මේ ආත්මභවයෙහි නොඇළුනේ, නිවුනේ, සිහිල්වූයේ, සුව විඳින සුළුවූයේ, උතුම් ආත්මයක් ඇතිව වාසය කරයි. බමුණ, මේ සිව් පුද්ගලයන් අතුරෙන් පුද්ගලයෙක් තාගේ සිත සතුටු කෙරේද?”
“භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ තමා තවනේ වේද, මේ පුද්ගල තෙමේ මාගේ සිත සතුටු නොකරයි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන් තවන්නේ වේද? මේ පුද්ගලයාද මාගේ සිත් නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ වේද, තමාද තවන්නේ වේද, අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන්ද තවන්නේ වේද, මේ පුද්ගලයාද මාගේ සිත් නොගනියි. උදේනය, යම් මේ පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි නොයෙදුනේ, තමා නොතවන්නේ වේද, අනුන් තැවීමෙහි යොගයෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ වේද, හෙතෙම තමා නොතවන්නේ අනුන් නොතවන්නේ මේ ආත්මභවයෙහි නොඇළුනේ, නිවුනේ, සිහිල් වූයේ සුව විඳින සුළු වූයේ උතුම්වූ ආත්මයක් ඇතිව වාසය කරයි. මේ පුද්ගලයා මාගේ සිත සතුටු කරයි.”
“බමුණ, කුමක් හෙයින් මේ තුන් පුද්ගලයෝ තාගේ සිත සතුටු නොකෙරෙත්ද?” භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ තමා තවන්නේවේද, හෙතෙම තමාට සුව කැමැත්තේ, දුක් පිළිකුල් කරන්නේ, තවයි. වැඩියෙන් තවයි. මේ හේතුකොටගෙන මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන් තවන්නේ වේද හෙතෙම අන්‍යයාට සුව කැමැත්තේ දුක් පිළිකුල් කරන්නේ තවයි. වැඩියෙන් තවයි. කැමැත්තේ දුක් පිළිකුල් කරන්නේ තවයි. වැඩියෙන් තවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ තමාද තවන්නේ වේද, අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන්ද තවන්නේ වේද, හෙතෙම තමාටද, අනුන්ටද සුව කැමැත්තෙන් දුක් පිළිකුල් කරන්නේ, තවයි. වැඩියෙන් තවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තෙමේම නොතවන්නේ, තමා තැවීමේ යොගයෙහි නොයෙදුනේ තමා නොතවන්නේ වේද, අනුන් තැවීමේ යොගයෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ වේද, හෙතෙම තමා නොතවන්නේ අනුන් නොතවන්නේ මේ ආත්මයෙහි නොඇලුනේ, නිවුනේ, සිහිල්වූයේ, සුව විඳින සුළු වූයේ, උතුම් වූ ආත්මයක් ඇතිව වාසය කරයි. හෙතෙම තමාටද, අන්‍යයාටද, සුව කැමැත්තෙන්, දුක් පිළිකුල් කරනු කැමැත්තෙන් නොතවයි. වැඩියෙන් නොතවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත සතුටු කරයි.”
“බමුණ, මේ පිරිස් දෙකකි. ඒ පිරිස් දෙක කවරේද? බමුණ, මේ ලොකයෙහි එක් පිරිසක්, අධික රාගයෙන් රත්වූවාහු මිණි කොඬොල් සහිත අඹුදරුවන් සොයයි. දැසි දස්සන් සොයයි. කෙත් වත් සොයයි. රන්, රිදී සොයයි. බමුණ මේලොව වනාහි එක් පිරිසක් අධික රාගයෙන් රත් නොවූවාහු මිණි කොඬොල් සහිත අඹු දරුවන් හැර, දැසි දස්සන් හැර කෙත් වත් හැර, රන් රිදී හැර ගිහිගෙන් නික්ම අනගාරිය නම් ලත් ශාසනයෙහි පැවිදිවූහ. බමුණ, ඒ මේ පුද්ගලයා, ආත්මය නොතවන්නේ, ආත්මය තැවීමේ යොගයෙහි නොයෙදුනේ, අනුන් නොතවන්නේ, අනුන් තැවීමේ යොගයෙහි නොයෙදුනේ හෙතෙම තෙමේ නොතවන්නේ, අනුන් නොතවන්නේ, මේ ආත්මයෙහි නොඇලුනේ, නිවුනේ සිහිල් වූයේ සුව විඳින්නේ, උතුම්වූ ආත්මයකින් යුක්තව වාසය කරයි. බමුණ, නුඹ මේ පුද්ගලයා කවර පිරිසක බහුලව දක්නෙහිද? යම් මේ පිරිසක් අධික රාගයෙන් රත්වූවාහු මිණි කොඬොල් සහිත අඹුදරුවන් සොයයි. දැසි දස්සන් සොයයි. කෙත්වත් සොයයි. රන් රිදී සොයයි යම් මේ පිරිසක් අධික රාගයෙන් රත් නොවූවාහු මිණි කොඬොල් සහිත අඹු දරුවන් හැර දැසි දස්සන් හැර කෙත් වත් හැර රන් රිදී හැර ගිහිගෙන් නික්ම අනගාරිය නම්ලත් ශාසනයෙහි පැවිදි වූහ.
“භවත් උදේනය, යම් මේ පුද්ගලයෙක් ආත්මය නොතවන්නේ ආත්මය තැවීමේ යොගයෙහි නොයෙදුනේ, අන්‍යයා නොතවන්නේ, අන්‍යයා තැවීමේ යොගයෙහි නොයෙදුනේ හෙතෙම ආත්මය නොතවන්නේ, අනුන් නොතවන්නේ, මේ ආත්ම භවයෙහි නොඇළුනේ නිවුනේ, සිහිල් වූයේ, සුව විඳින සුළු වූයේ, උතුම්වූ ආත්මයකින් යුක්තව වාසය කරයි. මම යම් මේ පිරිසක් රාගයෙන් රත් නොවූවා මිණි කොඬොල් සහිත අඹු දරුවන් හැර දැසි දස්සන්හැර කෙත් වත් හැර රන් රිදී හැර ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුද, මේ පුද්ගලයා මේ පිරිසෙහි බහුලව දකිමි.”
“බමුණ, තාවිසින් වනාහි දැන්ම කියනලදී. අපි මෙසේ දනිමු. ‘එම්බා ශ්‍රමණය, දැහැමි පැවිද්දක් නැතැයි මෙසේ මාගේ අදහසක් වෙයි. එබඳුවූ පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි වනාහි යම් ධර්මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙන් ‘මාගේ මේ අදහස වෙයි.”
“භවත් උදේනය, ඒකාන්තයෙන් මා විසින් මේ අනුකම්පාව ලැබියයුතු වචනකියන ලද්දේය. දැහැමි පැවිද්දක් ඇත්තේය. මෙසේ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි. භවත් උදේන තෙමේ මා මෙසේද දරාවා. භවත් උදේනයන් විසින් යම් මේ පුද්ගලයෝ සතර දෙනෙක් සුළු වශයෙන් කියන ලද්දාහුද, විස්තර වශයෙන් නොබෙදන ලද්දාහුද භවත් උදේනයන් වහන්සේ මේ සිවු පුද්ගලයන් මට මනාකොට විස්තර වශයෙන් අනුකම්පා උපදවා බෙදා දෙන සේක්වා.” “බමුණ එසේනම් අසව, මනාකොට සිත්හි තබාගනුව, කියන්නෙමි.” “එසේය භාග්‍යවතුන් වහන්සැ”යි ඝෝටමුඛ බමුණා ආයුෂ්මත් උදේනස්ථවිරයන්ට පිළිතුරු දුන්නේය. ආයුෂ්මත් උදේන ස්ථවිර තෙමේ මෙසේ කීය.
“බ්‍රාහ්මණය, තමන් තවන්නාවූද තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද, පුද්ගල තෙම කවරේද? බ්‍රාහ්මණය මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම වස්ත්‍ර නොහඳින්නේ වෙයි. හොඳ පැවතුම් නැත්තේ වෙයි. මල පහකොට අතින් පිස දමන්නේ වෙයි. ‘එව ස්වාමීනියි’ කීවිට නොඑන්නේ වෙයි. සිටිනු ස්වාමීනියි කීවිට නොසිටින්නේ වෙයි, පළමු කොට ගෙනෙනලද ආහාරය නොපිළිගණියි. උදෙසා කරණ ලද්ද නොපිළිගණියි. ආරාධනාකොට දුන් බත නොඉවසයි හෙතෙම කළගෙඩි කටින් ගෙණ දුන් දෙය නොපිළිගණියි. සැළි කටින් ගෙණ දුන් දෙය නොපිළිගනියි. එළිපත අතර කොට දුන් දෙය නොපිළිගණියි. දණ්ඩක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. මෙහොලක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. වළඳන්නාවූ දෙදෙනෙකු අතුරෙන් කෙනෙක් දුන් දෙය නොපිළිගණියි. ගැබිණියකගෙන් නොපිළිගණියි කිරිපොවන්නියකගෙන් නොපිළිගණියි. පුරුෂයන් අතරට ගිය ස්ත්‍රියකගෙන් නොපිළිගණියි. සමාදන් කොට දුන් කල්හි නොපිළිගණියි. යම් තැනක සුනඛයෙක් සිටියේ වේද එතන්හි නොපිළිගණියි. යම් තැනක මැස්සෝ රන්වූ රන්වූ ගැවසෙත්ද, එතන්හි නොපිළිගණියි. දියමස් ආහාරය නොපිළිගණියි. ගොඩ මස් නොපිළිගණියි. සුරාව නොපිළිගණියි. මෙරය (මල් යුෂින් කළ මත් පැන්) නොපිළිගණියි. කාඩිදිය නොබොයි. හෙතෙම එක ගෙයකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. එක පිඩකින් යැපෙන්නෝ හෝ වෙයි. ගෙවල් දෙකකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඬු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් තුනක වසන්නේ හෝ වෙයි. පිඬු තුනකින් යැපෙන්නෝ වෙයි. ගෙවල් හතරක වසන්නේ හෝ වෙයි. පිඬු හතරකින් යැපෙන්නන් හෝ වෙයි. ගෙවල් පහක වසන්නේ හෝ වෙයි. පිඬු පහකින් යැපෙන්නෝ හෝ වෙයි. ගෙවල් හයක වසන්නෝ හෝ වෙයි. පිඬු හයකින් යැපෙන්නෝ වෙයි. ගෙවල් සතකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඬු සතකින් යැපෙන්නෝ හෝ වෙයි. එකම කුඩාවූ ආහාර භාජනයකින් යැපෙයි. කුඩා ආහාර බඳුන් දෙකකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් තුනකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හතරකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් පහකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හයකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හතකින්ද යැපෙයි. එක් දවසක් හැර දවසක්ද ආහාර ගනියි. දෙදවසක් හැර දවසක්ද ආහාර ගනියි. තුන් දවසක් හැර දවසක්ද ආහාර ගනියි. හතර දවසක් හැර දවසක්ද ආහාර ගනියි. පස් දවසක් හැර දවසක්ද ආහාර ගනියි. හය දවසක් හැර දවසක්ද ආහාර ගනියි. සත් දවසක් හැර දවසක්ද ආහාර ගනියි. මෙසේ මෙබඳු අඩමසකට වරක් ආහාර ගනිමින්ද, වාර භොජනයෙහි යෙදී වාසය කරයි. හෙතෙම අමු පලා කන්නේ හෝ වෙයි. බඩ හමු අනුභව කරන්නේ හෝ වෙයි. හුරුහැල් අනුභව කරන්නේ හෝ වෙයි. සම්කසට අනුභව කරන්නේ හෝ වෙයි. මැලියම් අනුභව කරන්නේ හෝ වෙයි. කුඩු අනුභව කරන්නේ හෝ වෙයි. දඹු බත් අනුභව කරන්නේ වෙයි. තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි. තණකොල අනුභව කරන්නේ හෝ වෙයි. ගොම අනුභව කරන්නේ හෝ වෙයි. වනමුල් ඵල ආහාර කොට ඇතිව වැටුණු ගෙඩි අනුභව කරමින් එයින් යැපෙයි. හෙතෙම හන වැහැරිද දරයි. මිශ්‍රකළ වැහැරිද දරයි. මල සිරුරෙන් දැමූ වස්ත්‍රද දරයි පංසුකූල වස්ත්‍රද දරයි. ගස් සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි. අඳුන් දිවි සම්ද දරයි. කුර සහිත අඳුන් දිවිසම්ද දරයි. කුසතණ වැහැරිද දරයි. කෙඳිවලින් කළ වැහැරිද දරයි. පතුරුවලින් කළ වැහැරිද දරයි. මිනිස් කෙසින් කළ කම්බිලිද දරයි. අස්ලොම් ආදියෙන් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍ර දරයි. හිසකේ රැවුල් උදුරන්නේ, ඉසකේ රැවුල් උදුරන පිළිවෙතෙහි යෙදුනේ වෙයි. ආසන ප්‍රතික්ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි. උක්කුටිකව වීර්ය කිරීමෙහි යෙදුනේ උක්කුටික වූයේද වෙයි. කටු යහනෙහි සයනය කරයි. කටු ඇතිරියෙහි සයනය කරයි. සවස තෙවැනි කොට (දවසට තුන්වරක්) දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ මෙබඳු නොයෙක් ආකාරයෙන් ශරීරය තවන පෙලන තපස් කම්වල යෙදී වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලතෙම තමන් තවන්නේ තමන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගල තෙම කවරේද? බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරන්නේ වෙයි. ඌරන් මරන්නේ වෙයි. ලිහිණින් මරන්නේ වෙයි. මුවන් මරන්නේ වෙයි. රෞද්‍රවූයේ වෙයි. මසුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. සොරුන් මරන්නේ වෙයි. සිරගෙවල් පාලනය කරන්නේ වෙයි. අන්‍යවූද කිසියම් දරුණුකම් කරන්නාහු මේ පුද්ගලතෙම අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, තමන් තවන්නාවූ තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද, අනුන් තවන්නාවූ අනුන්තවන පිළිවෙතෙහි යෙදුනාවූද, පුද්ගලතෙමේ කවරේද? බ්‍රාහ්මණය, මේලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඔටුණු පළඳිනලද ක්ෂත්‍රිය රජෙක් හෝ වෙයි. මහා සාර වංශ ඇත්තාවූ මහත් වස්තුව ඇති බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට නැගෙනහිර දිශාවෙහි අළුත්වූ යාග ශාලාවක් කරවා, හිසකේ රැවුල් බහවා කුර සහිත අඳුන් දිවිසමක් හැඳ ගිතෙලින් හා තලෙතෙලින් ශරීරය තවරා මුවඅගින් පිට කසමින් මෙහෙසියද පොරෝහිත බමුණාද සමග යාග ශාලාවට පිවිසෙයි. හෙතෙම එහි අතුරුණලද පැදුරු ආදියක් නැති ගොම පිරිබඩකළාවූ භූමියෙහි සයනය කරයි. සමාන වස්සන් ඇති එක දෙනකගේ එක තනයෙක්හි යම් කිරක්වේද, එයින් රජතෙම යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද, එයින් මෙහෙසිය යැපෙයි. තුන්වන තනයෙහි යම් කිරක් වේද, එයින් පුරෝහිත බමුණා යැපෙයි. සිවුවන තනයෙහි යම් කිරක් වේද එයින් ගිනි පුදත්. ඉතිරිවූවකින් වසුතෙම යැපෙයි. හෙතෙම මෙසේ කියයි. ‘යාගය පිණිස මෙපමණ වෘෂභයන් නසත්වා, යාගය පිණිස මෙපමණ නාඹු වස්සන් නසත්වා, යාගය පිණිස මෙපමණ නෑඹි වැස්සියන් නසත්වා, යාගය පිණිස මෙපමණ එළුවන් නසත්වා, යාගය පිණිස මෙපමණ තිරෙළුවන් නසත්වා, යාග කණු පිණිස මෙතෙක් ගස් කපත්වා, යාග භූමිය වටකිරීම හා ඇතිරීම පිණිස මෙතෙක් කුසතණ සිඳිත්වායි’. ඔහුගේ යම් ඒ දාසයෝය කියා හෝ පණිවුඩකාරයෝය කියා හෝ කම්කරුවෝය කියා හෝ කෙනෙක් වෙත්ද, ඔව්හුද දණ්ඩයෙන් තැති ගත්තාහු, භයින් තැති ගත්තාහු කඳුළු පිරුණු මුහුණු ඇතිව හඬමින් වැඩකරත්. මහණෙනි, මේ පුද්ගල තෙම තමන් තවන්නේ තමන් තවන පිළිවෙතෙහි යෙදුනේද, අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, තමන් නොමතවන්නාවූ තමන් තවන පිළිවෙතහි නොයෙදුනාවූද, අනුන් නොතවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනාවූද, පුද්ගලතෙමේ කවරේද? තමන්ද නොතවන්නාවූ අනුන්ද නොතවන්නාවූ ඒ පුද්ගල තෙම මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදි සුව විඳිමින් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයි. බ්‍රාහ්මණය, මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ අෂ්ඨවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, ශොභන ගමන් ඇත්තාවූ, ලෝකය දන්නාවූ, නිරුත්තර වූ, දමනය කළ නොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු බඳුවූ, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාවූ, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කළාවූ, සියලු ක්ලේශයන් නැති කළාවූ තථාගතයන් වහන්සේ පහලවෙති. උන්වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේ ලොකයද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද තමන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනසේක. උන්වහන්සේ මුල යහපත්වූ, මැදයහපත්වූ කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ, ධර්මය දෙශනා කරනසේක. සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන්නාහ.
ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදියි. එසේ පැහැදුණාවූ හෙතෙම මෙසේ සලකයි. “ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් එකාන්තයෙන් සම්පූර්ණ කොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ලියවනලද සකක් වැනි මේ ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ‘මම හිසකෙස් දැළි රැවුල් කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි. හෙතෙම පසු කාලයෙක්හි ස්වල්පවූ හෝ සම්පත් හැර, මහත්වූ හෝ සම්පත් හැර ස්වල්පවූ හෝ නෑදෑ පිරිස් හැර, මහත්වූ හෝ නෑදෑ පිරිස් හැර හිසකේ දැළි රැවුල් කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. හෙතෙම මෙසේ පැවිදිවූයේම භික්ෂු සීලයෙන් යුක්ත වූයේ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි. බහා තබන ලද දඬු ඇත්තේ පව් කිරීමට ලජ්ජා ඇත්තේ, කරුණාවෙන් යුක්ත වූයේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. නුදුන් දෙය ගැණීම හැර නුදුන් දෙය ගැණීමෙන් වැලකුනේ වෙයි. දුන් දෙය ගන්නේ දුන් දෙයෙහි බලාපොරොත්තු ඇත්තේ සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කරයි. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රි පුරුෂ සංසර්ගය නම් ග්‍රාම ධර්මයෙන් වෙන්ව බ්‍රහ්මචාරීවේ. මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ, සත්‍යවචන ඇත්තේ, සත්‍යයෙන් සත්‍යය ගැළපීම් ඇත්තේ ස්ථිර වචන ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ, ලොව මුළා නොකරන්නෙක් වෙයි. කේලාම් කීම් හැර කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේවේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ, විනයයෙන් යුක්තවූ, වචන කියන්නේ, සුදුසු කල්හි උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
“හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි. එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් හා විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන්, රිදී, මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. එළුවන් බැටළුවන් පිළිගැනීමෙන් වැළකුනේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොරට කිරීම, රන් නොරන් කිරීමාදියෙන්, හොරකිරීම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය යන මෙයින් වැළකුණේ වෙයි.
“හෙතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද, සතුටුවන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙනයන්නේ වෙයි. යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේ වේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙනම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලොභ ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්‍රියය රකී, චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
“කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක් වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලොභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ ශ්‍රොතෙන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතඉන්ද්‍රියය රකී. ශ්‍රොතෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක් වන සේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝානෙන්ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්‍රිය රකියි. ඝානෙන්ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වන සේ නොගනී. යමක් හේතු කොට ගෙන, ජිව්හේන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලොභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිළිපදියි. ජීව්හෙන්ද්‍රිය (දිව) ආරක්ෂා කරයි. ජිව්හේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වන සේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කායෙන්ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය ආරක්ෂා කරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක් වන සේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්‍රිය (සිත්) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකී. මනින්ද්‍රිය සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.
“අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල්ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්යංක බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රොධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලොක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරු කොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේ දැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
“හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද අතිශයින් උතුම්වූ, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ. බ්‍රාහ්මණය මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතිය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය යමක් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇති, සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද, කියමි. මහණ තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම සිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම්, වීමි. ඒ මම එයින් චුතවූයෙම්. අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහිකෙරෙයි. බ්‍රාහ්මණය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්මයද වේ.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව උපදින්නාවූද නරක ලොව උපදින්නාවූද, කර්මයට අනුව උපදින්නාවූ සත්ත්වයන් දකී. ‘මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ, වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ, ආර්යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔව්හු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ. වාක් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට නොගරහන්නෝ වූහ, සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූහ. ඔව්හු මරණින් මතු යහපත් ස්වර්ග ලොකයට පැමිණියෝ”යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවුද, පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගණී. මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.
“මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළවෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරණ ලදී. මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැයි’ද දැනගණී.
“බ්‍රාහ්මණය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද මේ වනාහි ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්මයවේ. බ්‍රාහ්මණය, යම් ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද මේ වනාහි ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්මයෝ වෙතියි” වදාළේය.
“බ්‍රාහ්මණය, මේ පුද්ගලතෙම තමන් නොතවන්නේ තමන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.” හෙතෙම තමන් නොතවන්නාවූද, අනුන් නොතවන්නාවූද මේ ආත්මයෙහිම තෘෂ්ණාරහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදී සැප විඳින සුළුවූයේ ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කෙරේ”යයි වදාළහ.
මෙසේ කීකල ඝෝටමුඛ බමුණා ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. භවත් උදේනය, ඉතා යහපත භවත් උදේනය, ඉතා යහපත. භවත් උදේනය, යටිකුරුකළ දෙයක් උඩුකුරු කරන්නේ යම්සේද, වැසුනු දෙයක් වැසුම් හරින්නේ යම්සේද, මංමුලාවූවකුට මාර්ගය කියන්නේ යම්සේද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ යම්සේද, මෙපරිද්දෙන් භවත් උදේන ස්ථවිරයන් විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය. මම මේ භවත් උදේනයන්ද ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමි. භවත් උදේනයන් වහන්සේ අද පටන් දිවිහිම්ව සරණගිය උපාසකයකුසේ මා දරන සේක්වා.
“බමුණ, නුඹ මා සරණ නොයව. මම යම් සරණක් ගියෙම්ද, ඒ භාග්‍යවතුන් වහන්සේම නුඹද සරණයව. භවත් උදේනයන් වහන්ස, ඒ භවත් ගෞතමවූ අර්හත්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ දැන් කොතැන්හි වසන සේක්ද? බමුණ, දැන් ඒ භාග්‍යවත්වූ අර්හත්වූ සම්මාසම්බුදුන් වහන්සේ පිරිනිවි සේක. භවත් උදේනයන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ දස යොදුනක් තන්හි වෙසෙත්යයි ඉදින් අපි අසන්නෙමු නම් අපි ඒ භවත් ගෞතමවූ අරහත්වූ සම්මාසම්බුදුන් වහන්සේ දැකීමට දසයොදුන් තන්හිද යන්නෙමු භවත් උදේනයන් වහන්ස, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ විසියොදුනක් තන්හියයි අසන්නෙමු නම්, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට විසියොදුනක්ද යන්නෙමු. පින්වත් උදේනයන් වහන්ස. ඒ භවත් ගෞතමයන් වහන්සේ ඉදින් තිස්යොදුනක් තන්හියයි අපි අසන්නෙමු නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට අපි තිස්යොදුනක්ද යන්නෙමු. පින්වත් උදේනයන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ ඉදින් සතළිස් යොදුනක් තන්හියයි අපි අසන්නෙමු නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට අපි පණස් යොදුනක්ද යන්නෙමු. පින්වත් උදේනයන් වහන්ස, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ යොදුන් සියයක් තන්හියයි අසන්නෙමු නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට අපි සියක් යොදුනක්ද යන්නෙමු.
“භවත් උදේනය, යම්හෙයකින් භවත් ගෞතමයන් වහන්සේ පිරිනිවි සේක්ද, පිරිනිවියාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂුසංඝයාද, අපි සරණ යමු. භවත් උදේනයන් වහන්සේ අද පටන් දිවිහිම්ව සරණගිය උපාසකයකු කොට මා දරණ සේක්වා. භවත් උදේනයන් වහන්ස, මට භික්ෂාවන් ඇත්තේය. අඟුරජ දවස්පතා නිත්‍ය භික්ෂාවක් (මට) දෙයි. එයින් භවත් උදේනයන් වහන්සේට එක නිත්‍ය භික්ෂාවක් දෙමි” “බමුණ, නුඹට අඟුරජ දිනපතා නිත්‍ය භික්ෂාවට කුමක් දෙන්නේදැයි. භවත් උදේනයන් වහන්ස, පන්සියයක් කහවණුය. බමුණ, අපට රන් රිදී පිළිගැන්ම නුසුදුසුයි” (අකැපයි.)
“ඉදින් එය භවත් උදේනයන් වහන්සේට අකැප වෙයි. නම් විහාරයක් කරවන්නෙමි” “බමුණ, නුඹ මට විහාරයක් කරවනු කැමැත්තෙහිනම් පැලලුප් නුවර සංඝයාට උපස්ථාන සාලාවක් කරව”. “භවත් උදේනයන්ට මේ නිසා මම බොහෝ කොට පැහැදුනෙමි. ඉතා ඇලුනෙමි. භවත් උදේන තෙමේ මහා සංඝයා විෂයෙහි දන් දෙවයි. භවත් උදේනය, ඒ මම මේ නිත්‍ය භික්ෂාවෙන්ද, අන්‍ය නිත්‍ය භික්ෂාවෙන්ද පැලලුප් නුවර සංඝයාට උපස්ථාන ශාලාවක් කරවන්නෙමි”. ඉක්බිති ඝෝටමුඛ බමුණා මේ නිත්‍ය භික්ෂාවෙන්ද අන්‍ය නිත්‍ය භික්ෂාවෙන්ද පැලලුප් නුවර සඟනට උපස්ථාන ශාලාවක් කරවිය. ඒ ශාලාව දැන් වනාහි ඝොටමුඛීයයි කියනු ලැබේ.
සතරවෙනි ඝොටමුඛ සූත්‍රය නිමි. (5-4)