සංයුත්තනිකායො
සගාථ වර්ගය
10. යක්ඛ සංයුත්තය
8. සුදත්තසුත්තං
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි සීතවනයෙහි වසන සේක.
එකල වනාහි අනේපිඬු ගෘහපතියා කිසියම් කටයුත්තෙක් නිසා රජගහනුවරට පැමිණියේය.
’’බුදුරජානන් වහන්සේ ලොව පහළවූ සේක්ලු’’ යි අනේපිඬු ගෘහපති තෙම ඇසීය. එපමණෙකින්ම භාග්‍යවතුන් වහන්සේ දකිණු පිණිස හෙතෙම පැමිණෙනු කැමැත්තේවිය.
ඉක්බිති ඒ අනේපිඬු ගෘහපති තෙම ’’භාග්‍යවතුන් වහන්සේ දකිණු පිණිස පැමිණෙන්නට අද කල් නොවෙයි.’’ යන මේ අදහස විය. ’’හෙට ( කලින්ම ) උදෑසන භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස යන්නෙමි’’ යි බුදුන් අනුව ගිය සිහි ඇතිව නින්‍දට ගියේය. රෑ තුන්වරක්ම අලුයමයයි සිතමින් නැගිට්ටේය.
ඉක්බිති කරවනලද අනේපිඬු ගෘහපති තෙම සොහොන් දොරටුව යම් තැනකද එතැනට පැමිණියේය. අමනුෂ්‍යයෝ දොර ඇරියෝය.
ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම නුවරින් නික්මෙත්ම එලිය අතුරුදහන්විය. අඳුර පහළවිය. බිය තැතිගැනීම් හා ලොමුඩැහැගැනීම් පහළවිය. ඔහු එපමණින්ම නැවත හැරී එන්න කැමැත්තේද විය.
ඉක්බිති සීවක නම් යක්තෙම අතුරුදහන්වූයේ ශබිදයක් ඇස්වීය.
’’ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද, මැණික් කන් අබරණින් සැරසුණු සියක් දහසක් කන්‍යාවෝද ( යන මොවුහු ) (බුදුන් වැඩසිටින විහාරයට, යන තැනැත්තාගේ ) පියවරක සොළොස්වන අන්තකලාව පමණවත් නොවටිත්.
’’ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.’’
ඉක්බිති අනේපිඬු ගෘහපතියාට අඳුර අතුරුදහන් විය. ආලෝකය පහළවිය. යම් බියෙක් තැතිගැනුමෙක් ලොමුඩැහැගැනුමෙක් වීද, එය සංසිඳිණි.
දෙවනුවද අනේපිඬු ගෘහපතියා නුවරින් නික්මෙත්ම එළිය අතුරුදහන් විය, අඳුර පහළ විය. බිය තැතිගැනීම් හා ලොමුඩැහැගැනීම් පහළ විය. ඔහු එපමණින්ම නැවත හැරී එන්න කැමැත්තේද විය.
ඉක්බිති සීවක නම් යක්තෙම අතුරුදහන් වූයේ ශබ්දයක් ඇස්වීය.
’’ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද, මැණික් කන් අබරණින් සැරසුණු සියක් දහසක් කන්‍යාවෝද ( යන මොවුහු ) (බුදුන් වැඩසිටින විහාරයට, යන තැනැත්තාගේ ) පියවරක සොළොස්වන අන්තකලාව පමණවත් නොවටිත්.
’’ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.’’
තුන්වෙනුවද අනේපිඬු ගෘහපතියාහට එළිය අතුරුදහන් විය, අඳුර පහළ විය. බියතැති ගැනුම් ලොමුඩැහැගැනුම් ඇතිවිය. ( ඔහු ) එතණින්ම නැවත හැරී ආපසු යනු කැමැත්තේ විය. තුන්වෙනුවත් සීවක යක්තෙම සැඟවී මේ ශබ්දය ඇස්වීය.
’’ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද,
මැණික් කන් අබරණින් සැරසුණාවූ සියක් දහසක් කන්‍යාවෝද ( විහාරයට යන තැනැත්තාගේ) එක් පියවරක සොළොස්වන අන්තකලාව පමණකුදු නොවටිත්.
’’ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.’’
ඉක්බිති අනේපිඬු ගෘහපතිහට අඳුර අතුරුදහන් විය. එළිය පහළ විය. යම් බියෙක්, තැති ගැන්මෙක්, ලොමුඩැහැගැන්මෙක් වීද, එය සංසිඳිණි.
ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම සීතවනය වෙත පැමිණියේය.
එකළ භාග්‍යවතුන් වහන්සේ කැලයෙහි ඉතා අලුයම නැගිට එළිමහනෙහි සක්මන් කරන සේක.
භාග්‍යවතුන් වහන්සේ දුරදීම එන අනේපිඬු ගෘහපතියා දුටුසේක. දැක සක්මණින් බැස, පැනවූ අස්නෙහි හුන්සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු ගෘහපතිහට ’’එන්න සුදත්ත’’ යි වදාළසේක.
ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම, ’’භාග්‍යවතුන් වහන්සේ මා නම්න් අමතනසේකැ’’ යි (සතුටුව) එහිම භාග්‍යවතුන් වහන්සේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’ කිම ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැපසේ සැතපුණු සේක්ද?’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’යමෙක් කාමයන්හි නොඇලේද, සීතීභූතද, (කෙලෙස් ගිනි නැත්තේද) උපධි නැත්තේද. පිරිනිවියාවූ ඒ (කෙලෙස්) නැත්තාවූ බ්‍රාහ්මණ තෙම හැම කල්හි ඒකාන්තයෙන් සුවසේ සයනය කෙරෙයි.
’’සියලු තන්හාවන් සිඳ, හෘදයෙහිවූ පීඩා මැඩ පවත්වා, සිතෙහි ශාන්තියට පැමිණ සංසුන්වූ තැනැත්තේ සැපසේ සයනය කෙරෙයි.