සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

7. මහා වර්ගය

4. රාග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මේ උපන් සත්ත්වයින්ගේ පැවැත්ම පිණිසද, නූපන් සත්ත්වයින්ට (ඉපදීම බලාපොරොත්තුවන සත්ත්වයින්ට) උපකාර පිණිසද පවත්නා මේ ආහාරයෝ සතරක් වෙත්. ඒ සතරාහාරයෝ කවරහුද? දළ හෝ සියුම් හෝ කබලිංකාර ආහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) පළමුවැන්නය. ස්පර්ශාහාරය දෙවැන්නය, මනොසංචෙතනාහාරය තෙවැන්නය, විඤ්ඤාණාහාරය සිව් වැන්නය. මහණෙනි, මේ සතරාහාරය උපන් සත්ත්වයින්ගේ පැවැත්ම පිණිසද, නූපන් සත්ත්වයින්ට (ඉපදීම බලාපොරොත්තුවන සත්ත්වයින්ට) උපකාර පිණිසද වෙත්.

“මහණෙනි, ඉදින් කබලිංකාර ආහාරයෙහි (පිඬුකොට කෑයුතු ආහාරයෙහි) රාගය (ඇලෙන ආශාව) ඇත්තේද, නන්දිය (සතුටුවන ආශාව) ඇත්තේද, තණ්හාව ඇත්තේද, එහි විඤ්ඤාණය පිහිටියේද වැඩුණේද වෙයි. යම් තැනක විඤ්ඤාණය පිහිටියේද වැඩුණේද එහි නාමරූපයාගේ බැසගැනීම ඇත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම ඇත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේද, එහි මතු භවයෙහි නැවත ඉපදීම ඇත්තේද, යම් තැනක මතු භවයක නැවත ඉපදීම ඇත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේද, මහණෙනි (එතැන) ශෝක සහිතය, රජස් (කෙලෙස්) සහිතය, වැළපීම් සහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් ස්පර්ශාහාරයෙහි රාගය ඇත්තේද, නන්දිය ඇත්තේද, තණ්හාව ඇත්තේද, එහි විඤ්ඤාණය පිහිටියේය, වැඩුණේය. යම්තැනක විඤ්ඤාණය පිහිටියේද, වැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම ඇත්තේය. යම් තැනක නාම රූපයාගේ බැසගැනීම ඇත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේද, එහි මතු භවයක ඉපදීම ඇත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම ඇත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේද, මහණෙනි, (එතැන) ශෝක සහිතය, රජස් සහිතය, වැළපීම් සහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් මනෝසඤ්චෙතනාහාරයෙහි රාගය ඇත්තේද, නන්දිය ඇත්තේද, තණ්හාව ඇත්තේද, එහි විඤ්ඤාණය පිහිටියේය, වැඩුණේය. යම්තැනක විඤ්ඤාණය පිහිටියේද, වැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම ඇත්තේය. යම්තැනක නාමරූපයාගේ බැසගැනීම ඇත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේද, එහි මතු භවයක ඉපදීම ඇත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම ඇත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේය. යම්තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේද, මහණෙනි, (එතැන) ශෝක සහිතය, රජස් සහිතය, වැළපීම් සහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇත්තේද, නන්දිය ඇත්තේද, තණ්හාව ඇත්තේද, එහි විඤ්ඤාණය පිහිටියේය, වැඩුණේය. යම් තැනක විඤ්ඤාණය පිහිටියේද, වැඩුණේද එහි නාම රූපයාගේ බැසගැනීම ඇත්තේය. යම් තැනක නාම රූපයාගේ බැසගැණීම ඇත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේය. යම්තැනක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේද, එහි මතු භවයක ඉපදීම ඇත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම ඇත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේද, මහණෙනි, (එතැන) ශෝක සහිතය, රජස් සහිතය, වැළපීම් සහිතයයි කියමි.

“මහණෙනි, යම්සේ සායම් පොවන්නෙක් හෝ සිතියම් අඳින්නෙක් හෝ සායම් හෝ ලාකිරි හෝ කහ හෝ නිල් හෝ මදට ඇති කල්හි ඔපමට්ටම් කරන ලද්දක හෝ ලෑල්ලක හෝ බිත්තියක හෝ රෙදිපටක හෝ සියලු අඟපසගින් යුක්තවූ, ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් හෝ නිමවන්නේද (අඳින්නේද) මහණෙනි, එසේම වනාහි ඉදින් කබලිංකාරාහාරයෙහි (පිඬුකොට කෑයුතු ආහාරයෙහි) රාගය ඇත්තේද, නන්දිය ඇත්තේද, තණ්හාව ඇත්තේද එහි විඤ්ඤාණය පිහිටියේය. වැඩුණේය. යම් තැනක විඤ්ඤාණය පිහිටියේද, වැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම ඇත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම ඇත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේද, එහි මතු භවයක ඉපදීම ඇත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම ඇත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේද, මහණෙනි, (එතැන) ශෝක සහිතය, රජස් සහිතය, වැළපීම් සහිතයයි” කියමි.

“මහණෙනි, ඉදින් ස්පර්ශාහාරයෙහි රාගය ඇත්තේද, නන්දිය ඇත්තේද, තණ්හාව ඇත්තේද, එහි විඤ්ඤාණය පිහිටියේය. වැඩුණේය. යම් තැනක විඤ්ඤාණය පිහිටියේද, වැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම ඇත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම ඇත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේද, එහි මතු භවයක ඉපදීම ඇත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම ඇත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේද, මහණෙනි, (එතැන) ශෝක සහිතය, රජස් සහිතය, වැළපීම් සහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් මනොසඤ්චෙතානාහාරයෙහි රාගය ඇත්තේද, නන්දිය ඇත්තේද, තණ්හාව ඇත්තේද, එහි විඤ්ඤාණය පිහිටියේය. වැඩුණේය. යම් තැනක විඤ්ඤාණය පිහිටියේද, වැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම ඇත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම ඇත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේද, එහි මතු භවයක ඉපදීම ඇත්තේය. යම්තැනක මතු භවයක ඉපදීම ඇත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේද, මහණෙනි, (එතැන) ශෝක සහිතය, රජස් සහිතය, වැළපීම් සහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් විඤ්ඤාණහාරයෙහි රාගය ඇත්තේද, නන්දිය ඇත්තේද, තණ්හාව ඇත්තේද, එහි විඤ්ඤාණය පිහිටියේය. වැඩුණේය. යම් තැනක විඤ්ඤාණය පිහිටියේද, වැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම ඇත්තේය. යම්තැනක නාමරූපයාගේ බැසගැනීම ඇත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේද, එහි මතු භවයක ඉපදීම ඇත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම ඇත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය ඇත්තේද, මහණෙනි, (එතැන) ශෝක සහිතය, රජස් සහිතය, වැළපීම් සහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් කබලිංකාර (පිඬුකොට කෑයුතු) ආහාරයෙහි රාගය (ඇතුළත තණ්හාව) නැත්තේද නන්දිය (සතුටුවන තණ්හාව) නැත්තේද, තණ්හාව නැත්තේද එහි විඤ්ඤාණය නොපිහිටියේය, නොවැඩුණේය. යම් තැනක විඤ්ඤාණය නොපිහිටියේද, නොවැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම නැත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම නැත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේද, එහි මතු භවයෙහි නැවත ඉපදීම නැත්තේය. යම් තැනක මතු භවයෙහි නැවත ඉපදීම නැත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේද, මහණෙනි (එතැන) ශෝක රහිතය, රජස් (කෙලෙස්) රහිතය, වැළපීම් රහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් ස්පර්ශාහාරයෙහි රාගය නැත්තේවේද, නන්දිය නැත්තේද, තණ්හාව නැත්තේවේද, එහි විඤ්ඤාණය නොපිහිටියේය, නොවැඩුණේය. යම් තැනක විඤ්ඤාණය නොපිහිටියේද නොවැඩුණේද එහි නාමරූපයාගේ බැසගැනීම නැත්තේය යම් තැනක නාමරූපයාගේ බැසගැනීම නැත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේවේද, එහි මතු භවයක නැවත ඉපදීම නැත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම නැත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේය. යම් තැනක මතු ඉපදීම ජරාව සහ මරණය නැත්තේවේද, මහණෙනි, (එතැන) ශෝක රහිතය, රජස් රහිතය, වැළපීම් රහිතයයි කියමි.

“මහණෙනි ඉදින් මනෝසඤ්චෙතනාහාරයෙහි රාගය නැත්තේ වේද, නන්දිය නැත්තේ වේද, තණ්හාව නැත්තේ වේද, එහි විඤ්ඤාණය නොපිහිටියේය, නොවැඩුණේය. යම් තැනක විඤ්ඤාණය නොපිහිටියේද, නොවැඩුණේද, එහි නාම රූපයාගේ බැසගැනීම නැත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම නැත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේවේද, එහි මතු භවයක නැවත ඉපදීම නැත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම නැත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේවේද, මහණෙනි, (එතැන) ශෝක රහිතය, රජස් රහිතය, වැළපීම් රහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැත්තේවේද, නන්දිය නැත්තේවේද, තණ්හාව නැත්තේවේද, එහි විඤ්ඤාණය නොපිහිටියේය, නොවැඩුණේය. යම් තැනක විඤ්ඤාණය නොපිහිටියේද, නොවැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම නැත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම නැත්තේද එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ වේද, එහි මතු භවයක නැවත ඉපදීම නැත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම නැත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේ වේද, මහණෙනි, (එතැන) ශෝක රහිතය, රජස් රහිතය, වැළපීම් රහිතයයි කියමි.

“මහණෙනි, යම්සේ උතුරු දිශාවෙහි හෝ දකුණු දිශාවෙහි හෝ කූටාගාරයක් (තනි කොතක් ඇති ගෙයක් හෝ) කූටාගාර ශාලාවක් (කොත් දෙකක් ඇති ගෙයක්) හෝ වෙයිද හිරු නගින කල්හි එහි නැගෙනහිර කවුළුවෙන් හිරු රැස් ගේ ඇතුළට ඇතුල්ව කොහි පිහිටියේද?”

“ස්වාමීනි, බටහිරදිග බිත්තියෙහිය.”

“මහණෙනි, ඉදින් බටහිරදිග බිත්තිය නොවූයේ නම් කොහි පිහිටියේද?”

“ස්වාමීනි, පොළොවෙහිය”

“මහණෙනි, ඉදින් පොළොව නොවූයේ නම් කොහි පිහිටියේද?”

“ස්වාමීනි, ජලයෙහිය”

“මහණෙනි, ඉදින් ජලය නොවූයේ නම් කොහි පිහිටියේද?”

“ස්වාමීනි, (එවිට) නොසිටියේ වෙයි.”

“මහණෙනි, එසේම වනාහි කබලිංකාරාහාරයෙහි (පිඬුකොට කෑයුතු ආහාරයෙහි) රාගය නැත්තේ වේද, නන්දිය නැත්තේ වේද, තණ්හාව නැත්තේවේද, එහි විඤ්ඤාණය නොපිහිටියේය, නොවැඩුණේය. යම් තැනක විඤ්ඤාණය නොපිහිටියේද, නොවැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම නැත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම නැත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේවේද, එහි මතු භවයක ඉපදීම නැත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම නැත්තේද, එහි ඉපදීම, ජරාව සහ මරණය නැත්තේය. යම් තැනක මතු ඉපදීම ජරාව සහ මරණය නැත්තේ වේද, මහණෙනි, (එතැන) ශෝක රහිතය, රජස් රහිතය, වැළපිම් රහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් ස්පර්ශාහාරයෙහි රාගය නැත්තේ වේද, නන්දිය නැත්තේ වේද, තණ්හාව නැත්තේ වේද, එහි විඤ්ඤාණය නොපිහිටියේය, නොවැඩුණේය. යම්තැනක විඤ්ඤාණය නොපිහිටියේද, නොවැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම නැත්තේය. යම් තැනක නාමරූපයාගේ බැස ගැනීම නැත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ වේද, එහි මතු භවයක නැවත ඉපදීම නැත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම නැත්තේ වේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේය. යම්තැනක මතු ඉපදීම ජරාව සහ මරණය නැත්තේවේද, මහණෙනි, (එතැන) ශෝක රහිතය, රජස් රහිතය, වැළපීම් රහිතයයි කියමි.

“මහණෙනි, මනොසඤ්චෙතනාහාරයෙහි රාගය නැත්තේවේද, නන්දිය නැත්තේවේද, තණ්හාව නැත්තේ වේද, එහි විඤ්ඤාණය නොපිහිටියේය, නොවැඩුණේය යම් තැනක විඤ්ඤාණය නොපිහිටියේද නොවැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම නැත්තේය. යම්තැනක නාමරූපයාගේ බැස ගැනීම නැත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේය. යම්තැනක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ වේද, එහි මතු භවයක නැවත ඉපදීම නැත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම නැත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේය. යම්තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේවේද, මහණෙනි, (එතැන) ශෝක රහිතය, රජස් රහිතය, වැළපීම් රහිතයයි කියමි.

“මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැත්තේ වේද, නන්දිය නැත්තේ වේද තණ්හාව නැත්තේ වේද, එහි විඤ්ඤාණය නොපිහිටියේය. නොවැඩුණේය. යම් තැනක විඤ්ඤාණය නොපිහිටියේද නොවැඩුණේද, එහි නාමරූපයාගේ බැසගැනීම නැත්තේය. යම් තැනක නාමරූපයාගේ බැසගැනීම නැත්තේද, එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේය. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේවේද එහි මතු භවයක නැවත ඉපදීම නැත්තේය. යම් තැනක මතු භවයක ඉපදීම නැත්තේද, එහි මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේය. යම් තැනක මතු ඉපදීම, ජරාව සහ මරණය නැත්තේවේද, මහණෙනි, (එතැන) ශෝක රහිතය, රජස් රහිතය, වැළපීම් රහිතයයි කියමි.”

(සිව්වන රාග සූත්‍රය නිමි.)