සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

8. ඛජ්ජනීය වර්ගය

9. පාරිලෙය්‍යක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර පසුබත් වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ තමන් වහන්සේම සෙනාසනය හකුළා තබා පාත්‍ර සිවුරුගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වැඩියහ.

ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනකද එහි ගියේය. ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීවේය.

“ඇවැත්, ආනන්ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේම සෙනාසනය හකුලා පාත්‍ර සිවුරු ගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වැඩියහ.”

“ඇවැත්නි, යම් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේම සෙනාසනය හකුලා පාත්‍ර සිවුරු ගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වඩිත්ද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ තනිව වාසයකිරීමට කැමති වෙති. එකල්හි කිසිවෙකු විසිනුත් භාග්‍යවතුන් වහන්සේ පසුපසින් යායුත්තේ නොවේය.”

ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ, පාරිලෙය්‍යක වනය යම් තැනකද, එතැනට පැමිණිසේක. එකල්හි වනාහි, භාග්‍යවතුන් වහන්සේ “භද්දසාල” නම් වූ සල්ගසමුල පාරිලෙය්‍යක වනයෙහි වාසය කරණ සේක.

එකල්හි, බොහෝ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනකද, එතැනට පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටුවිය යුතු වූද, සිහි කටයුතු වූද, කථා අවසන් කොට එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

“ඇවැත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් බොහෝ කාලයකින් ධර්ම කථාවක් නො අසන ලදී. ඇවැත් ආනන්දයෙනි. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ධර්ම කථාවක් අසනු කැමැත්තෙමු” යනුයි.

ඉක්බිති, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුන් සමග පාරිලෙය්‍යක වනයෙහි භද්දසාල නම්වූ සල්ගස් මුල යම් තැනකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූන්හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවකින් (කරුණු) දැක්වූහ. එහි සමාදන් කරවූහ. සිත් තියුණු කරවූහ. පැහැද වූහ.

එසමයෙහි වනාහි එක්තරා භික්ෂුවක්හට මෙවැනි අදහසක් ඇතිවිය. ‘කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වේදැයි’ යනුයි. ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේගේ සිතින් ඒ භික්ෂුවගේ සිත දැන, භික්ෂූන්ට කථාකළ සේක.

“මහණෙනි, මා විසින් ධර්මය පරීක්ෂාකොට දෙශනා කරණ ලදී. සතර සති පට්ඨානයෝ පරීක්ෂාකොට දෙශනා කරණ ලදහ. සතර සම්‍යක් ප්‍රධානයෝ පරීක්ෂාකොට දෙශනා කරණ ලදහ. සතර ඍද්ධිපාදයෝ පරීක්ෂාකොට දෙශනා කරණ ලදහ. පඤ්ච ඉන්ද්‍රියයෝ පරීක්ෂාකොට දෙශනා කරණ ලදහ. පංච බලයෝ පරීක්ෂාකොට දෙශනා කරණ ලදහ. සත් බොධ්‍යාඩ්ග ධර්මයෝ පරීක්ෂාකොට දෙශනා කරණ ලදහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරීක්ෂාකොට දෙශනා කරණ ලදී.

“මහණෙනි, මෙසේ මා විසින් ධර්මය පරීක්ෂාකොට දෙශනා කරණ ලදී.”

“මහණෙනි, මෙසේ මා විසින් ධර්මය පරීක්ෂාකොට දේශනාකොට ඇති කල්හි මේ ශාසනයෙහි එක් භික්ෂුවක්හට “මෙවැනි අදහසක් ඇතිවිය. කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාහට අනතුරුව ආශ්‍රවයන්ගේ (කෙලෙසුන්ගේ) ක්ෂයවීම වේද යනුයි.

“මහණෙනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාහට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වේද? මහණෙනි මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ ආර්ය ධර්මයෙහි නොහික්මුනාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ පෘථග්ජන තෙමේ රූපය ආත්මය වශයෙන් දකියි.

“මහණෙනි, ඒ දැකීම සංස්කාර නම් වේ. ඒ සංස්කාරය කුමක් නිදානකොට කුමක් උත්පත්තිකොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද? මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරන ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, ඒ සංස්කාරතෙමේ එයින් හටගත්තේය.

“මහණෙනි, මෙසේ ඒ සංස්කාරද අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. මහණෙනි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ පුද්ගලයාට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වන්නේය.

“රූපය ආත්ම වශයෙන් නොගන්නේද, එසේ ද වුවත් තමා රූපවත්යයි දක්නේය. මහණෙනි, ඒ දැකීම සංස්කාර නම් වේ. ඒ සංස්කාර කුමක් නිදානකොට, කුමක් උත්පත්තිකොට, කුමක් ජාතිකොට, කුමක් ප්‍රභවකොට, ඇත්තේද?

“මහණෙනි, ඒ සංස්කාරය අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශකරන ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක්වෙයිද, ඒ සංස්කාරය එයින් හටගත්තේය. මහණෙනි, ඒ සංස්කාරයද අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ වේදනාව අනිත්‍යය ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය.

“මහණෙනි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ පුද්ගලයාහට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.

“රූපය තමා වශයෙන් නොදක්නේද, තමා රූපවත්යයි නොදක්නේද, එසේ වුවත් රූපය තමා කෙරෙහි ඇත්තේයයි දකියි.

“මහණෙනි, ඒ දැකීම සංස්කාර නම්වේ. ඒ සංස්කාරය කුමක් නිදානකොට කුමක් උත්පත්තිකොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද? මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරණ ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් ඒ සංස්කාරය හටගත්තේ වෙයි.

“මහණෙනි, ඒ සංස්කාරයද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ තෘෂ්ණාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ වේදනාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ ස්පර්ශයද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ අවිද්‍යාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. මහණෙනි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ පුද්ගලයාහට ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.

“රූපය තමා වශයෙන් නොදක්නේද, තමා රූපවත් යයි හෝ නොදක්නේද, රූපය තමා කෙරෙහි ඇතැයි නොදක්නේද, එසේද වුවත් රූපයෙහි තමා ඇතැයි දකියි. ඒ දැකීම සංස්කාර නම් වේ. ඒ සංස්කාර කුමක් නිදානකොට කුමක් උත්පත්තිකොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද?

“මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරන ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් හටගත්තේය.

“මහණෙනි, ඒ සංස්කාරයද, අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ තෘෂ්ණාව අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ අවිද්‍යාව අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය.

“මහණෙනි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ පුද්ගලයා හට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.

“රූපය තමා වශයෙන් නොදක්නේද තමා රූපවත්යයි නොදක්නේද, රූපය තමා කෙරෙහි ඇතැයි හෝ නොදක්නේද, රූපයෙහි තමා ඇතැයි හෝ නොදක්නේද එසේද වුවත් වේදනාව තමා වශයෙන් දකියි. තමා වේදනාවත්යයි දකියි. වේදනාව තමා කෙරෙහි හෝ ඇතැයි දනියි. තමා වේදනායෙහි ඇතැයි දකියි. තමා සංඥාවයයි දකියි. තමා සංඥාවත්යයි කියා හෝ දකියි. සංඥාව කෙරෙහි තමා ඇතැයි කියා හෝ දකියි. තමා කෙරෙහි සංඥාව ඇතැයි කියා හෝ දකියි.

“එසේද වුවත් තමා සංස්කාරයයි දකියි. සංස්කාර තමා කෙරෙහි ඇතැයි හෝ දකියි. තමා සංස්කාර කෙරෙහි ඇතැයි හෝ දකියි. තමා විඤ්ඤාණය වසයෙන් දකියි. තමා විඤ්ඤාණවත්යයි හෝ දකියි. තමා කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ දකියි.

“මහණෙනි, යම් ඒ දැකීමක් වෙයිද ඒ සංස්කාර නම්වේ. ඒ සංස්කාරය තෙමේ කුමක් නිදානකොට කුමක් උත්පත්ති කොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද?

“මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරන ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් ඒ සංස්කාරය හටගත්තේ වෙයි. මහණෙනි, මෙසේ ඒ සංස්කාරද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ තෘෂ්ණාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ වේදනාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ ස්පර්ශයද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ අවිද්‍යාවද අනිත්‍යයි. ප්‍රත්‍යයන් විසින් කරන ලදහ. ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ලදහ. මහණෙනි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ පුද්ගලයාහට මාර්ගයට අනතුරුව ආශ්‍රවයන් ක්ෂයකරන්නාවූ අර්හත් ඵලය වෙයි.

“රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපවත්යයි හෝ නොදකියි. රූපය තමා කෙරෙහි ඇතැයි නොදකියි. රූපයෙහි තමා ඇතැයි නොදකියි. වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාවත්යයි හෝ නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. වේදනාවෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාවත්යයි හෝ නොදකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. සංඥාවෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“සංස්කාර තමා වශයෙන් නොදකියි. තමා සංස්කාරවත් යයි හෝ නොදකියි. සංස්කාර තමා කෙරෙහිවූ ඇතැයි හෝ නොදකියි. සංස්කාරයෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණවත්යයි හෝ නොදකියි. විඤ්ඤාණය තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. විඤ්ඤාණයෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“එසේද වුවත් මෙවැනි දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘එය ආත්මයයි. එය ලෝකයයි පරලොව එය වන්නෙමි. නිත්‍යයි. ඒකාන්තයි. සාස්වතයි. නොපෙරලෙන ස්වභාව ඇත්තේය’ කියායි.

“මහණෙනි, යම් ඒ සාස්වත දෘෂ්ටියක් වේද, ඒ සංස්කාර නම් වේ. ඒ සංස්කාරය වනාහි කුමක් හේතුකොට ඇත්තේද, කුමක් හටගැනීම කොට ඇත්තේද, කුමක් ඉපදීම කොට ඇත්තේද, කුමක් ප්‍රභව කොට ඇත්තේද? අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරනලද අශ්‍රැතවත් පෘථග්ජනයාට උපන් තෘෂ්ණාවක් වෙයිද, ඒ සංස්කාරය එයින් හටගත්තේ වෙයි. සංස්කාරය වනාහි අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරණ ලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ තෘෂ්ණාවද, අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ වේදනාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ ස්පර්ශයද අනිතයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ අවිද්‍යාවද අනිත්‍යයයි. ප්‍රත්‍යයෙන් සකස්කරන ලදී. ප්‍රත්‍යයෙන් හටගත්තාහුය. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට මාර්ගයට අනතුරුව ආශ්‍රවයන් ක්ෂය කරන අර්හත් ඵලය ඇතිවෙයි.

“රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපවත්යයි නොදකියි. රූපය තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා රූපයෙහි ඇතැයි නොදකියි.

“වේදනාව තමා වශයෙන් ඇතැයි නොදකියි. තමා වේදනාවත්යයි නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා වේදනාවෙහි ඇතැයි නොදකියි.

“සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාවත්යයි නොදකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා සංඥාවෙහි ඇතැයි නොදකියි.

“සංස්කාර තමා වශයෙන් නොදකියි. තමා සංස්කාරවත්යයි නොදකියි. තමා කෙරෙහි සංස්කාර ඇතැයි නොදකියි. තමා සංස්කාරයෙහි ඇතැයි නොදකියි.

“විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණවත්යයි නොදකියි. විඤ්ඤාණය තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා විඤ්ඤාණයෙහි ඇතැයි නොදකියි. මෙවැනි දෘෂ්ටි ඇත්තේද නොවෙයි. ‘එය ආත්මයය. එය ලෝකයය. එය පරලොව වන්නෙමි. නිත්‍යය, ඒකාන්තය, සාස්වතය. නොපෙරලෙන ස්වභාවය’ කියායි. එසේද වුවත් මෙවැනි දෘෂ්ටි ඇත්තේවෙයි. ‘ඉදින් මම නොවන්නෙම් නම් මාගේ දෙයක්ද නොවන්නේය. ඉදින් මම පරලොව නොවන්නෙම් නම් පරලොවද මාගේ දෙයක් නොවන්නේය’ කියායි.

“මහණෙනි, යම් ඒ උච්ඡේද දෘෂ්ටියක් වේද, ඒ සංස්කාර නම් වේ . ඒ සංස්කාරය කුමක් නිදානකොට, කුමක් උත්පත්තිකොට, කුමක් ප්‍රභවකොට ඇත්තේද?

“මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරණ ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් ඒ සංස්කාරය හටගත්තේ වෙයි.

“මහණෙනි, මෙසේ ඒ සංස්කාරද අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් කරණ ලදී. ප්‍රත්‍යයන්ගෙන් හටගත්තේය. ඒ තෘෂ්ණාවද අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් කරනලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ වේදනාවද අනිත්‍යය, ප්‍රත්‍යයන් විසින් කරනලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ ස්පර්ශයද අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් කරනලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ අවිද්‍යාවද අනිත්‍යයහ. ප්‍රත්‍යයන් විසින් කරණ ලදහ. ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහුය. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට මාර්ගයට අනතුරුව ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ අර්හත්ඵලය වෙයි.

“රූපය ආත්ම වශයෙන් නොදකියි. තමා රූපවත්යයි නොදකියි. රූපය තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා රූපය කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“වේදනාව ආත්ම වශයෙන් නොදකියි. තමා වේදනාවත්යයි නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා වේදනාව කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“සංඥාව ආත්ම වශයෙන් නොදකියි. තමා සංඥාවත්යයි නොදකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා සංඥාව කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“සංස්කාර ආත්ම වශයෙන් නොදකියි. තමා සංස්කාරවත්යයි නොදකියි. සංස්කාර තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා සංස්කාර කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“විඤ්ඤාණය ආත්ම වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණවත්යයි නොදකියි. විඤ්ඤාණය තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා විඤ්ඤාණය කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“මෙවැනි දෘෂ්ටි ඇත්තේද නොවෙයි. ‘එය ආත්මයය. එය ලෝකයය. එය පරලොව වන්නේය. නිත්‍යය, ඒකාන්තය. සාස්තවය, නොපෙරලෙන ස්වභාවය’ කියායි. එසේද වුවත් මෙවැනි දෘෂ්ටි ඇත්තේද නොවෙයි.

“ඉදින් මම නොවෙයි නම් මගේ දෙයක්ද නොවේ. ඉදින් මම පරලොව නොවන්නෙමි නම් මගේ දෙයක්ද නොවන්නේය’ කියායි. එසේදවුවත් සද්ධර්මයෙහි සැක ඇත්තේ විචිකිච්ඡා ඇත්තේ නිෂ්ටාවට නොපැමිණියේ වෙයි.

“මහණෙනි, සද්ධර්මයෙහි යම් ඒ සැකයක් විචිකිච්ඡාවක් නිෂ්ටාවට නොපැමිණීමක් වේද, ඒ සංස්කාර නම්වේ. ඒ සංස්කාරය කුමක් නිදානකොට ඇත්තේද, කුමක් උත්පත්ති කොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද?

“මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරණ ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් ඒ සංස්කාරය හටගත්තේ වෙයි.

“මහණෙනි, ඒ සංස්කාරද අනිත්‍යයය. ප්‍රත්‍යයන් විසින් කරණලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහුය. තණ්හාව අනිත්‍යයය. ප්‍රත්‍යයන් විසින් කරණලදද ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ වේදනාවද, අනිත්‍යයය. ප්‍රත්‍යයන් විසින් කරණලදද ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ ස්පර්ශයද, අනිත්‍යයය. ප්‍රත්‍යයන් විසින් කරණලදද ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහුය. ඒ අවිද්‍යාවද අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් කරණලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහුය.

“මහණෙනි, මෙසේ දක්නහුට මෙසේ දන්නහුට මාර්ගයට අනතුරුව ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ අර්හත් ඵලය වෙයි.”

(නවවෙනි පාරිලෙය්‍යක සූත්‍රය නිමි.)