සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

10. පුප්ඵ වර්ගය

4. ගොමය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තෙක හුන්නාවූ, ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.

“ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සියලු කල්හි පවතින්නාවූ, නොපෙරලෙන ස්වභාව ඇත්තාවූ, සදාකාලිකයන් හා සමානව එසේම සිටින්නාවූ යම්කිසි රූපයෙක් ඇත්තේද?”

“ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සියලු කල්හි පවත්නාවූ නොපෙරලෙන ස්වභාව ඇත්තාවූ සදාකාලිකයන් මෙන් එසේම සිටින්නාවූ යම්කිසි වේදනාවක් ඇත්තේද?

“ස්වාමීනි, නිත්‍යවූ ස්ථිරවූ, හැමදා පවතින්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක්සේ එසේම සිටින්නාවූ යම්කිසි සංඥාවක් ඇත්තේද?

“ස්වාමීනි, නිත්‍යවන්නාවූ ස්ථිරවන්නාවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් මෙන් එසේම සිටින්නාවූ යම්කිසි සංස්කාරයෝ ඇත්තාහුද?

“ස්වාමීනි නිත්‍යවූ ස්ථිරවූ, හැමකල්හි පවතින්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ හැමකල්හි පවත්නාවූ දෙයක් මෙන් එසේම තිබෙන්නාවූ යම් කිසි විඥානයෙක් ඇත්තේද?”

“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් සේ එසේම සිටින්නාවූ කිසි රූපයෙක් නැත්තේමය.

“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමදා පවතින්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් මෙන් එසේම සිටින්නාවූ කිසි වේදනාවක් තොමෝ නැත්තේමය.

“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ නො පෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ කිසි සංඥාවක් නැත්තේමය.

“මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ නො පෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් මෙන් එකාකාරව සිටින්නාවූ කිසි සංස්කාර කෙනෙක් නැත්තාහුමය.

මහණ නිත්‍යවූ, ස්ථිරවූ, හැමදා පවතින්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දෙයක් මෙන් එසේම සිටින්නාවූ කිසි විඥානයෙක් නැත්තේමය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ස්වල්පවූ ගොම පිඩක් අතින් ගෙන ඒ මහණහට මෙය වදාළසේක.

“මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද ඉපදීම ලැබූ ආත්මභාවයක් නැත.

“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද ආත්මභාවය ලැබීමක් ඉදින් වන්නේ නම් මනාව දුක් ක්ෂය කරනු පිණිස මේ මාර්ගබ්‍රහ්මචර්යාව විසීම නම් නොපණවන්නේය.

“මහණ, යම්හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූද, මේ (ගොම පිඩ) පමණවූද, ආත්මභාව ප්‍රතිලාභයෙක් නැද්ද, එහෙයින් මනා කොට දුක් ක්ෂය කරනු පිණිස මාර්ගබ්‍රහ්මචර්යාව විසීම පණවන්නේය.

“මහණ, මම පෙර හිසෙහි ඔටුනු පළඳවන ලද්දාවූ ක්ෂත්‍රිය රජෙක් වීමි.

“මහණ, හිසෙහි ඔටුනු පළඳවන ලද්දාවූ ක්ෂත්‍රිය රජවූම ඒ මට කුසාවතී රාජධානිය ප්‍රධානකොට ඇති අසූහාර දහසක් නුවරවල් වූහ.

“මහණ, හිසෙහි ඔටුනු පළඳවන ලද්දාවූ ක්ෂත්‍රිය රජවූම ඒ මට ධර්මප්‍රාසාදය ප්‍රධාන කොට ඇති අසූහාරදහසක් ප්‍රාසාදයෝ වූහ. මහණ, හිසෙහි ඔටුනු පළඳවන ලද්දාවූ ක්ෂත්‍රිය රජවුම ඒ මට ‘මහාබ්‍යුහ’ නම් කුළුගෙය ප්‍රධානකොට ඇති අසූ හතර දහසක් කුළුගෙවල් වූහ.

“මහණ, හිසෙහි ඔටුනු පළඳවන ලද්දාවූ ක්‍ෂත්‍රිය රජවූම ඒ මට (ඇත්) දනිත් කරන ලද්දාවූද, රත්හඳුන් අරටුවෙන් කරන ලද්දාවූද, රනින් කරන ලද්දාවූද, රිදියෙන් කරන ලද්දාවූද, අඟල් හතරකට වැඩි ලොම් ඇති කළුකොඳු පලස් අතුරණ ලද්දාවූද, දෙපැත්තෙහි සුදු එළු ලොම් මුවා කම්බිලි අතුරණ ලද්දාවූද, ගණවූ මල් ඇති සුදු එළු ලොම් මුවා ඇතිරිලි අතුරණ ලද්දාවූද, කෙසෙල් මුවන්ගේ සමින් කරන ලද උතුම් පසතුරුණු අතුරණ ලද්දාවූද, මත්තෙහි බඳින ලද රතුවියන් සහිතවූ දෙපැත්තෙහි තබන ලද රතු කොට්ට ඇත්තාවූ අසූහාරදහසක් පුටුවූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳන ලද්දාවූ ක්ෂත්‍රිය රජවූම ඒ මට ස්වර්ණාභරණ ඇති, රනින් කරන ලද කොඩි ඇති රන්දැලින් වසන ලද්දාවූ, උපෝසථ හස්තිරාජයා ප්‍රධාන කොට ඇති සුවාසූ දහසක් ඇත්තුවූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳන ලද්දාවූ, ක්ෂත්‍රිය රජවූම ඒ මට ස්වර්ණාලංකාර ඇත්තාවූ, රන් දද ඇත්තාවූ, රන් දැලින් වසන ලද්දාවූ, වලාහක අශ්වරාජයා ප්‍රධානකොට ඇති අසූහතර දහසක් අශ්වයෝ වූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳන ලද්දාවූ, ක්ෂත්‍රිය රජවූම ඒමට ස්වර්ණාලංකාර ඇති රනින් කරන ලද කොඩි ඇති රන් දැලින් වසන ලද්දාවූ, වෛජයන්ත රථය ප්‍රධානකොට ඇති අසූහාරදහසක් රථ වූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳවන ලද්දාවූ, ක්ෂත්‍රිය රජවූම ඒ මට අසූහාරදහසක් මැණික් වූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳන ලද්දාවූ, ක්ෂත්‍රිය රජවූම ඒ මට ශුභද්‍රාදේවිය ප්‍රධානකොට ඇති අසූහාරදහසක් ස්ත්‍රීහු වූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳන ලද්දාවූ ක්ෂත්‍රිය රජවූම ඒ මට අනුකූලවූ පුත්‍ර රත්නය ප්‍රධාන කොට ඇති අසූහාර දහසක් ක්ෂත්‍රියයෝ වූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳන ලද්දාවූ, ක්ෂත්‍රිය රජවූම ඒ මට රෙදි අතුරන ලද්දාවූ, රිදීයෙන් කරන ලද කිරිදෝනා බඳුන් ඇති සුවාසූ දහසක් දෙන්නු වූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳවන ලද්දාවූ, ක්ෂත්‍රිය රජවූම ඒ මට කොමු පිළියෙන් සියුම්වූද, කෝසෙය්‍ය වස්ත්‍රයෙන් සියුම්වූද, පලස්වලින් සියුම්වූද, කපු පිළියෙන් සියුම්වූද අසූ හතර දහසක් රෙදි මිටිවූහ.

“මහණ, හිසෙහි ඔටුණු පළඳවන ලද්දාවූ ක්ෂත්‍රිය රජවූම ඒ මට අසූහතර දහසක් බත් හැළි වූහ. සවසද උදෑසනද දිය යුතු ඒ බත දෙන ලදී.

“මහණ, මම එකල්හි යම් නුවරෙක වෙසෙම්ද, ඒ සුවාසූ දහසක් නගරයන් අතුරෙන් කුසාවතී රාජධානියවූ ඒ එකම නුවර වෙයි.

“මහණ ඒ අසූහතර දහසක් ප්‍රාසාදයන් අතුරෙන් යම් පහයෙක මම එකල්හිවසම්ද, ධර්මප්‍රාසාදයවූ ඒ එකම ප්‍රාසාදය වෙයි.

“මහණ, මම එකල්හි යම් කුළුගෙයක වසම්ද, ඒ සුවාසූ දහසක් කුළුගෙවල් අතුරෙන් “මහාබ්‍යුහ” කුළුගෙයවූ ඒ එකම කුළුගෙය වෙයි.

“මහණ, මම එසමයෙහි යම් පුටුවක් පරිභොගකරම්ද, ඒ අසූහතර දහසක් පුටු අතුරෙන් ඇත් දතින් කරන ලද්දාවූ හෝ රත්හඳුන් හරින් කරන ලද්දාවූ හෝ රනින් කරන ලද්දාවූ හෝ රිදීයෙන් කරන ලද්දාවූ හෝ ඒ එකම පුටුවක් වෙයි.

“මහණ, මම ඒ කාලයෙහි යම් ඇත් රජෙකු පිට නගිම්ද, ඒ සුවාසූ දහසක් ඇතුන් අතුරෙන් උපොසිත හස්තිරාජයාවූ ඒ එකම ඇතෙක් වෙයි.

“මහණ, මම ඒ කාලයෙහි යම් අසෙකු පිට නගිම්ද, ඒ අසූහතර දහසක් අසුන් අතුරෙන් වලාහක අශ්වරාජයාවූ ඒ එකම අශ්වයෙක් වෙයි.

“මහණ මම ඒ කාලයෙහි යම් රියකට නගිම්ද, ඒ අසූ හතර දහසක් රථයන් අතුරෙන් විජයොත් රිය නම් වූ ඒ එකම රථය වෙයි.

“මහණ, මම එසමයෙහි ක්ෂත්‍රිය ස්ත්‍රියක හෝ ක්ෂත්‍රියයාට දාව බැමිණිය කුස උපන්නාවූද, බමුණාට දාව ක්ෂත්‍රිය ස්ත්‍රිය කුස උපන්නාවූද ස්ත්‍රියක් උපස්ථාන කෙරේද, ඒ සුවාසු දහසක් ස්ත්‍රීන් අතුරෙන් ඈ එකම ස්ත්‍රී (රත්නය) වෙයි.

“මහණ එසමයෙහි යම් පිළි සඟළක් හඳිම්ද, ඒ අසූහතර දහසක් වස්ත්‍ර මිටි අතුරෙන් කොමු පිළියෙන් සියුම්වූද, කොසෙය්‍ය වස්ත්‍රයෙන් සියුම්වූද කම්බිලියෙන් සියුම්වූද, කපුපිළියෙන් සියුම්වූද, ඒ එකම පිළිසඟළෙක් වෙයි.

“මහණ, මම එසමයෙහි යම් සහල් නැළියක පමණ බත් ද ඊට සුදුසු සූප ව්‍යඤ්ජනද අනුභව කරම්ද, ඒ අසූහතරදහසක් පිසූ බත් සැළි අතුරෙන් ඒ එකම සැළියක පිසූ බත වෙයි.

“මහණ, මෙසේ වනාහි ඉක්මගියාවූ ඒ හැම සංස්කාරයෝ නිරුද්ධවූහ, පෙරළුණාහුය. මහණ, මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වන්නාහුමය. මහණ, මෙසේ සංස්කාරයෝ ස්ථිර නොවන්නාහුමය. මහණ, මෙසේ සංස්කාරයෝ සැනසිලි නැත්තාහුමය. මහණ, සියලු සංස්කාරයන්හි අතිශයින් කලකිරෙන්නට සුදුසුමය, නො ඇලෙන්නට සුදුසුමය. මිදෙන්නට සුදුසුමය.”

(හතරවෙනි ගොමය සූත්‍රය නිමි.)