සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
1. අවිජ්ජා වර්ගය
1. අවිජ්ජා පුබ්බංගම සූත්‍රය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, අවිද්‍යාව අහිරික අනොත්තප්පයන් සමග අකුසල ධර්මයන්ගේ උත්පත්තිය පිණිස (සමග ඉපදීම් වශයෙන් හෝ බලවත් හේතු වශයෙන් හෝ) පූර්වංගමවෙයි. මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත අඥානයාට වැරදි දෘෂ්ටිය උපදී, වැරදි දෘෂ්ටියෙන් යුත් තැනැත්තාට මිත්‍යා සංකල්පය උපදී. මිථ්‍යා සංකල්පයෙන් යුක්තවූවහුට මිථ්‍යාවචනය උපදී මිථ්‍යා වචනයෙන් යුක්තවූවහුට මිථ්‍යා කර්මාන්තය උපදී. මිථ්‍යා කර්මාන්තයෙන් යුක්තවූවහුට මිථ්‍යා ආජීවය උපදී. මිථ්‍යා ආජීවයෙන් යුක්තවූවහුට මිථ්‍යා වායාමය උපදී. මිථ්‍යා වායාමයෙන් යුක්තවූවහුට මිථ්‍යා සතිය (සිහිය) උපදී. මිථ්‍යා සතියෙන් යුක්තවූවහුට මිථ්‍යා සමාධිය උපදී.
“මහණෙනි, විද්‍යාව වනාහි (කම්මස්සකතාඥානය) වනාහි හිරි ඔත්තප්ප (ලජ්ජා භය) යන් සමග කුසල ධර්මයන්ගේ උත්පත්තිය පිණිස (සහජාත උපනිශ්‍රය වශයෙන්) පූර්වංගම වෙයි. මහණෙනි, විද්‍යාසංඛ්‍යාත කම්මස්සකතා ඥානයෙන් යුක්ත නුවණැත්තාහට යහපත් දෘෂ්ටිය උපදී. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූවහුට සම්‍යක් සංකල්පය උපදී. සම්‍යක් සංකල්පයෙන් යුක්තවූවහුට සම්‍යක් වචනය උපදී. සම්‍යක් වචනයෙන් යුක්තවූවහුට සම්‍යක් කර්මාන්තය උපදී. සම්‍යක් කර්මාන්තයෙන් යුක්තවූවහුට සම්‍යක් ආජීවය උපදී. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවහුට සම්‍යක් ව්‍යායාමය උපදී. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවහුට සම්‍යක් සතිය උපදී. සම්‍යක් සතියෙන් යුක්තවූවහුට සම්‍යක් සමාධිය උපදීයයි” වදාළසේක.