සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

2. නාලන්දා වර්ගය

3. චුන්ද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කළහ. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධරට නාලන්දක නම් ගමෙහි රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව වාසය කළහ. චුන්ද සාමණේර තෙමේද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේට උපස්ථාන කෙරෙයි. ඉක්බිති ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආබාධයෙන්ම පිරිනිවන් පෑහ.

“එකල්හි චුන්ද සාමණේර තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනෙකද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ චුන්ද සාමණේර තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මේ කාරණය කීවේය. “ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. මේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරුය.”

“ආයුෂ්මත් චුන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස කථා පඬුරක් ඇත්තේය. ආයුෂ්මත් චුන්දයෙනි, එව්. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි යමු. ගොස් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියමු” යනුයි.

ආයුෂ්මත් චුන්ද සාමණේර තෙමේ “එසේය. ස්වාමීනියි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට පිළිතුරු දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේද ආයුෂ්මත් චුන්ද සාමණේර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.

“ස්වාමීනි, මේ චුන්ද සාමණේර තෙමේ මෙසේ කීයේය. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිනිවන් පෑහ. මේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරුය’ යනුයි. තවද, ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිනිවන් පෑහයි අසා මගේ ශරීරය උලහිඳුවන ලද්දක් මෙන් හටගත් තද බව ඇත්තේ විය. මට දිසාවන්ද පැහැදිලි නොවෙත්. මට ධර්මයෝද නොවැටහෙත්යයි” කීය.

“කිමෙක්ද ආනන්දය, ශාරිපුත්‍ර තෙමේ නුඹගේ ශීල රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද? සමාධි රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද, නුවණ රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද, විමුක්ති රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද, විමුක්ති ඤාණදස්සන (ප්‍රත්‍යවෙක්ෂා ඤාණ) රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද?”

“ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ මගේ ශීල රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. සාමාධි රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. නුවණ රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි විමුක්ති රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. විමුක්ති ඤාණ දස්සන රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. එහෙත් ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ අවවාද දෙන්නෙක් විය. අවබොධ කරන්නෙක් විය. කරුණු දක්වන්නෙක් විය සමාදන් කර වන්නෙක් උනන්දු කර වන්නෙක් සතුටුකර වන්නෙක් සමාන බඹසර ඇත්තවුන්ට අනලස්ව බණ කීමෙන් උදව් කරන්නෙක් විය. අපි ඒ ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ ධර්මසාරය, ධර්ම සම්පත්තිය ධර්මයෙන් කළ උදව්ව සිහි කරන්නෙමුයි” කීය.

“ආනන්දය, මා විසින් තොපට පළමුකොටම සියළු ප්‍රිය මනාප දෙයින් වෙන්වන බව වෙනස්වන බව අන් අයුරකින් වන බව කියන ලද්දේ නොවේද? ආනන්දය, යම් ඒ හටගත්තාවූ, උපන්නාවූ ප්‍රත්‍යයෙන් නිපන්නාවූ විනාශවන සුළු දෙයක් වේද, එය ඒකාන්තයෙන් වෙනස් නොවේවා යන මෙය කොයින් ලැබේද? ඊට කරුණු නැත්තේය. ආනන්දය, සාරවත් මහ ගසක ගස ඉතිරිව තිබියදී මහ අත්ත විනාශ වෙයිද, ආනන්දය, එසේම මහත්වූ භික්ෂූ සමුහයා ශෙෂව සිටියදී හරයවූ ශාරිපුත්‍ර පිරිනිවන් පෑය. ආනන්දය, හටගත්තාවූ හේතු ප්‍රත්‍යයෙන් නිපන්නාවූ විනාශවන සුළු දෙයක්වේද, එය ඒකාන්තයෙන් විනාශ නොවේවායි යන මෙය කොයින් ලැබේද? මීට හේතු නැත්තේය. එබැවින් ආනන්දය, තමා ආලෝකයක් කොට වාසය කරව්. තමා පිහිට කොට ගෙන වාසය කරව්. අනික් සරණක් නැත. ආලෝකයක් කොට වාසය කරව්. ධර්මය සරණ කොට වාසය කරව්. අනෙක් සරණක් නැත.

“ආනන්දය, කෙසේ නම් මහණතෙමේ තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අන් පිහිටක් නොමැතිව ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අන් පිහිටක් නොමැතිව වෙසේද? ආනන්දය, මේ ශාසනයේ මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රොධයද සංසිඳවාගෙන කයෙහි කය අනුව දකිමින් වාසය කෙරේද

“ආනන්දය, මේ ශාසනයේ මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රොධයද සංසිඳවාගෙන වේදනාවෙහි වේදනාව අනුව දකිමින් වාසය කෙරේද,

“ආනන්දය, මේ ශාසනයේ මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රොධයද සංසිඳවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දකිමින් වාසය කෙරේද,

“ආනන්දය, මේ ශාසනයේ මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රොධයද සංසිඳවාගෙන නීවරණාදි ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වාසය කෙරේද?

“ආනන්දය, මේ වනාහි මහණතෙම තමා ආලොකයක් කොට තමා පිහිටකොට අනුන් පිහිටක් නැතිව ධර්මය ආලොකයක් කොට ධර්මය පිහිට කොට අන් පිහිටක් නැතිව වෙසේ. ආනන්දය, යම් කිසිවෙක් දැන් හෝ මගේ ඇවැමෙන් හෝ තමා ආලෝකයක් කොට තමා පිහිට කොට අන් පිහිටක් නැතිව ධර්මය ආලෝකයක් කොට ධර්මය පිහිටකොට අන් පිහිටක් නැතිව වාසය කරන්නාහුද, ආනන්දය, යම්කිසි ශික්ෂාකාමී භික්ෂූහු වෙත්ද, ඒ භික්ෂූහු ඒ අග්‍ර අමෘතයෙහි වන්නාහුයයි’ වදාළේය.