සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

1. අම්බපාලි වර්ගය

8. සූදොපම සූත්‍රය

“මහණෙනි, බාලවූ අව්‍යක්තවූ අදක්ෂ අරක්කැමියෙක් රජුන්ට හෝ රජමහ ඇමතියන්ට හෝ ඇඹුල් රස ඇත්තාවූද තිත්ත රස ඇත්තාවූද කටුක රස ඇත්තාවූද මිහිරි රස ඇත්තාවූද කර රස ඇත්තාවූද කර රස නැත්තාවූද ලුණු රස ඇත්තාවූද කිවුල් රස ඇත්තාවූද නොයෙක් ව්‍යඤ්ජන වර්ග එළවන්නේය. ඒ බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ අරක්කැමියා ස්වකීය ස්වාමියාගේ ලකුණු නො ම ඉගෙන ගන්නේය. අද මාගේ ස්වාමියා මෙනම් ව්‍යඤ්ජනය කැමති වෙයි. මෙයට අත දිගු කරයි. මෙය බොහෝ කොට වළඳයි මෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා ඇඹුල් රස ඇති ව්‍යඤ්ජනය කැමති වෙයි. ඇඹුල් රස ව්‍යඤ්ජනයට අත දිගු කරයි. ඇඹුල්රස ව්‍යඤ්ජනය බොහෝකොට වළඳයි. ඇඹුල්රස ව්‍යඤ්ජනයෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා තිත්ත රස ව්‍යඤ්ජනය කැමතිවෙයි. අද කටුක රස ඇති ව්‍යඤ්ජනය අද මිහිරි රස ඇති ව්‍යඤ්ජනය අද කර රස ඇති ව්‍යඤ්ජනය අද කර රස නැති ව්‍යඤ්ජනය අද ලුණු රස ඇති ව්‍යඤ්ජනය අද කිවුල් රස ඇති ව්‍යඤ්ජනය කැමතිවෙයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනය බොහෝකොට වළඳයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනයෙහි ගුණ කියයි. යන අන්දමින් ලකුණු කර නොගනියි.

“මහණෙනි, මේ අඥානවූ අව්‍යක්තවූ අදක්ෂවූ අරක්කැමියා වස්ත්‍රද නොලබන්නේ වෙයි. වැටුප්ද නොලබන්නේ වෙයි. තෑගි බෝගද නොලබන්නේ වෙයි. ඊට හේතු කවරේද? ඒ බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ අරක්කැමි තෙම ස්වකීය ස්වාමියාගේ ලකුණු ඉගෙන නොගන්නේ නම් එය එසේ වන්නේය.

“මහණෙනි, එපරිද්දෙන්ම මෙහි ඇතැම් බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ භික්ෂුවක් වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද,

වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද,

වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද,

වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලෙශයෝ පහනොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද,

“මහණෙනි, ඒ බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ මහණ තෙම මේ ආත්මයෙහි සැප විහරණ නොලබන්නේ වෙයි. ලොකොත්තර සිහිය හා නුවණ නොලබන්නේ වෙයි. ඊට හෙතු කවරේද? මහණෙනි, ඒ බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ භික්ෂුව ස්වකීය චිත්තයාගේ නිමිත්ත නොදනී නම් එය එසේ වන්නේය.

“මහණෙනි, පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ අරක්කැමියෙක් රජුන්ට හෝ රජමහ ඇමතියන්ට හෝ ඇඹුල් රස ඇත්තාවූද තිත්ත රස ඇත්තාවූද කටුක රස ඇත්තාවූද මිහිරි රස ඇත්තාවූද කර රස ඇත්තාවූද කර රස නැත්තාවූද ලුණු රස ඇත්තාවූද කිවුල් රස ඇත්තාවූද නොයෙක් ව්‍යඤ්ජන වර්ග එළවන්නේය.

ඒ පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ අරක්කැමියා ස්වකීය ස්වාමියාගේ ලකුණු ඉගෙන ගන්නේය. අද මාගේ ස්වාමියා මේ ව්‍යඤ්ජනය කැමතිවෙයි. මෙයට අත දිගු කරයි. මෙය බොහෝකොට වළඳයි. මෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා ඇඹුල්රස ඇති ව්‍යඤ්ජනය කැමතිවෙයි. ඇඹුල්රස ව්‍යඤ්ජනයට අත දිගු කරයි. ඇඹුල් රස ව්‍යඤ්ජනය බොහෝකොට වළඳයි. ඇඹුල් රස ව්‍යඤ්ජනයෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා තිත්ත රස ව්‍යඤ්ජනය කැමතිවෙයි. අද කටුක රස ඇති ව්‍යඤ්ජනය අද මිහිරි රස ඇති ව්‍යඤ්ජනය අද කර රස ඇති ව්‍යඤ්ජනය අද කර රස නැති ව්‍යංජනය අද ලුණු රස ඇති ව්‍යඤ්ජනය අද කිවුල්රස ඇති ව්‍යඤ්ජනය කැමති වෙයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනයට අත දිගු කරයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනය බොහෝකොට වළඳයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනයෙහි ගුණ කියයි යනුවෙනි.

“මහණෙනි, ඒ පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ අරක්කැමියා වස්ත්‍රද ලබන්නේය. වැටුප්ද ලබන්නේය. තෑගි බෝගද ලබන්නේය. ඊට හෙතු කවරේද? එසේ ඒ පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ අරක්කැමියා ස්වාමියාගේ ලකුණු ඉගෙන ගන්නේය.

“මහණෙනි, එසේම මේ ශාසනයෙහි පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙමේ ඒ නිමිත්ත උගනියි.

“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.

‘වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වේෂයන් දුරුකොට විත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද, චිත්තයෙහි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.

“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙමේ ඒ නිමිත්ත උගනියි.

“මහණෙනි, පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ ඒ මහණතෙමේ මේ ආත්මයෙහි සැපවිහරණද ලබන්නේ වෙයි. ලොකොත්තර සිහිය හා නුවණද ලබන්නේ වෙයි. ඊට හෙතු කවරේද? මහණෙනි, එසේ ඒ පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ මහණතෙමේ ස්වකීය චිත්තයාගේ නිමිත්ත උගනියි” (එහෙයිනි.)