ඛුද්දක නිකාය

උදානය

8. පාටලීගාම වර්ගය

8. විශාඛා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්වාරාම නම්වූ විශාඛා උපාසිකාව විසින් කරවන ලද ප්‍රාසාදයෙහි වැඩ වසන සේක.

එකල්හි වනාහි මිගාර මාතෘවූ විශාඛා උපාසිකාවගේ ප්‍රියවූ මනවඩන්නාවූ මිනිපිරී තොමෝ කලුරිය කළා වෙයි. එකල්හි වනාහි මිගාර මාතෘවූ විශාඛා උපාසිකා තොමෝ (ආදාහනය කරවා ස්නානය කොට) තෙත සළු ඇත්තී තෙත්වූ ඉස කෙස් ඇත්තී දවල් ඉරමුදුන් වේලෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නාය. එකත්පසෙක හුන්නාවූම මිගාර සිටුහුගේ මව් නම්වූ විසාකා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“එම්බා විශාඛාවෙනි, දවල් ඉරමුදුන් වේලෙහි මෙහි පැමිණෙන්නාවූ තී තෙත් වස්ත්‍ර ඇතිව තෙත් කෙස් ඇතිව කොහි සිට එන්නෙහිද?” “ස්වාමීනි, මාගේ ප්‍රියවූ මනාපවූ මිනිපිරී තොමෝ කලුරිය කළාය. එහෙයින් දවල් ඉරමුදුන් වේලෙහි තෙත් වස්ත්‍ර ඇත්තාවූ තෙත් කෙස් ඇත්තාවූ මම මෙහි පැමුණුනී වෙමි”යි (කීව) “විශාඛාවෙනි, සැවැත් නුවර යම් පමණ මනුෂ්‍යයෝ වෙද්ද, එපමණ දරුවන්ද මුනුබුරන්ද තෝ කමැති වන්නෙහි දැ”යි (ඇසූහ) “භාග්‍යවතුන් වහන්ස, මම සැවැත් නුවර යම් පමණ මනුෂ්‍යයෝ වෙද්ද, එපමණ පුතුන්ද මුණුපුරන්ද කැමැති වන්නෙමි”යි (කිව) “විශාඛාවෙනි, කොපමණ බොහෝ මිනිස්සු දවස් පතා සැවැත් නුවර කලුරිය කෙරෙත් දැ”යි (ඇසූහ) “ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මනුෂ්‍යයෝ දසදෙනෙක්ද කලුරිය කෙරෙති ස්වාමීනි, සැවැත් නුවර දවස් පතා මනුෂ්‍යයෝ නවදෙනෙක්ද කලුරිය කෙරෙති, “ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මිනිස්සු අට දෙනෙක්ද කලුරිය කෙරෙති, ස්වාමීනි සැවැත් නුවර දවස් පතා මිනිස්සු සත් දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මනුෂ්‍යයෝ සදෙනෙක්ද කලුරිය කෙරෙති, ස්වාමීනි, දිනපතා සැවැත් නුවර මනුෂ්‍යයෝ පස්දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත්නුවර දිනපතා මනුෂ්‍යයෝ සතර දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි සැවැත්නුවර දිනපතා මනුෂ්‍යයෝ තුන්දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත්නුවර දිනපතා මනුෂ්‍යයෝ දෙදෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි සැවැත්නුවර දිනපතා එක් මිනිසෙක්ද කලුරිය කෙරෙයි. ස්වාමීනි, කලුරිය කරන මිනිසුන්ගෙන් සැවැත් නුවර හිස් නොවීයයි” (කිව.)

“විශාඛාවෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? කිම? තෝ කිසි කලෙකත් තෙත් නොවූ වස්ත්‍ර ඇත්තී හෝ තෙත් නොවූ කෙස් ඇත්තී හෝ වෙහිදැයි’ (වදාළ සේක.) “විශාඛාවෙනි, යම් කෙනෙකුන්ට වනාහි සියයක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුන්ට සියයක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට අනූවක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුන්ට අනූවක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට අසූවක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට අසූවක් දුක්වෙත්, යම් කෙනෙකුන්ට සැත්තෑවක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට සැත්තෑවක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට සැටක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට සැටක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට පණහක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට පණහක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට සතළිහක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට සතළිසක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට තිහක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට තිහක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට විස්සක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට විස්සක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට දසයක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට දහයක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට නවයක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට නවයක් දුක්වෙත්. යම් කෙනෙකුන්ට අටක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට අටක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට සතක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට හතක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට සයක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට සයක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට පහක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට පහක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට සතරක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට දුක් සතරක් වෙත්, යම් කෙනෙකුන්ට තුණක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට දුක් තුණෙක් වෙත්. යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තූහු දෙකක් වෙද්ද, ඔවුන්ට දුක් දෙකෙක් වෙත්, යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තූ එකෙක් වේද, ඔවුනට එක් දුකෙක් වේ, යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තුවෙක් නැත්තේද, ඔවුනට දුකෙක් නැත, ඔහු ශෝක නැත්තාහුය, ඇලුම් නැත්තාහුය, දැඩි ආයාස නැත්තාහුයයි කියමියි” (වදාළ සේක)

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ (හැම අයුරෙන්) දැන ඒ වේලාවෙහි ඒ අර්ථය පහළ කරන මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.

“සත්ව ලොකයෙහි යම් කිසි ශොකයෝ හෝ කිසි වැලපීම් හෝ කායික දුක්ඛයෝ හෝ නානාවිධවූ දුක් හෝ වෙද්ද, ඒ සියලු දුක් ප්‍රිය ස්වභාවය කරන්නාවූ ඡන්දරාගය ඇති කල්හි ප්‍රිය ස්වභාවය ඇති දෙය නිසා උපදිත්, ප්‍රිය ස්වභාවය කරන ඡන්ද රාගය නැති කල්හි ප්‍රහීනවූ කල්හි මේ දුක් නො උපදිත්.”

“යම් ආර්ය කෙනෙකුන්ගේ ප්‍රියයෙක් නැද්ද, එහෙයින්ම ආර්යයෝ සුවපත් වූවාහු වෙත්, පහව ගිය ශොක ඇත්තාහු වෙත්, එහෙයින් ශොක නැති බවවූ නොඇලෙන බවවූ ශොකයගේ නොවීමට හෙතුවන බැවින් අශොක නම් වූ කෙලෙස් ධූලි නැති නිවන පතන්නේ ලොකයෙහි කිසි ප්‍රියවීමක් නොකරන්නේයි.”