අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(11) 1. සමණසඤ්ඤා වර්‍ගය

1. සමණසඤ්ඤා සූත්‍රය

’’මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුනක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ධර්ම සතක් සම්පූර්‍ණ කරත්. කවර තුනක්ද යත්, ’’වෙනස් වර්‍ණයකට පැමිණියෙමි. මාගේ ජීවිකාව අනුන්ට අයත්ය. මා විසි්න් අනික් ආකාරයක් කටයුතුය.

’’මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුන වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ධර්ම සතක් පුරවත්. කවර සතක්ද යත්? නිතර සන්සුන් කටයුතු කරන්නෙක් වේ. සීලයන්හි සන්සුන් පැවැත්ම ඇත්තේ වේ. තෘෂ්ණා බහුලකොට නැත්තේ වේ. ව්‍යාපාද නැත්තේ වේ. අතිමාන්නය නැත්තේ වේ. ශික්‍ෂාපද කැමැත්තේ වේද, ජීවිතයන්හි හෝ පරිෂ්කාරයන්හි මේ ප්‍රයෝජනයයි ඔහුට අදහස් වේ. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරයි. මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුන වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මේ ධර්ම සත පුරවත්ය’’ යි වදාළ සේක.