අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

5. අක්කොසක වර්‍ගය

4. චොදකධම්ම සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ වන ලැහැබෙහි වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’’පින්වතුන් වහන්සැ’’ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි, අනුන්ට චෝදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් ධර්ම පසක් තමා තුළ නුවණින් සිහි කොට, ධර්ම පසක් තමා තුළ පිහිටුවා අනුන්හට චෝදනා කටයුතුයි. කවර ධර්ම පසක් තමා තුළ නුවණින් සිහි කටයුතුද?

’’මහණෙනි, චොදනා කරණ භික්‍ෂුව විසින් අනුන්ට චොදනා කරණු කැමැත්තේ මෙසේ සිතිය යුතයි. පිරිසිදු කායික හැසිරීම් ඇත්තෙම්, සිදුරු නැති, නොකැළැල්, පිරිසිදු කායික හැසිරීමෙන් යුක්ත වෙම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නොහොත් නැත්තේදැයි මෙසේ කල්පනා කටයුතුය. මහණතෙම ඉදින් පිරිසිදු කාය සමාචාර නැත්තේද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු කායික හැසිරීමෙන් යුක්ත නොවූයේ, ’දැන් ආයුෂ්මත් තෙමේ ඒතාක් කයින් කරණ දෙයෙහි හික්මෙව’ යි කියන්නාහු වෙත්. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.

’’මහණෙනි, නැවතද අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් මෙසේ සිතිය යුතයි. පිරිසිදු වාක් හැසිරීම් ඇත්තෙම්ද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු වාක් හැසිරීමෙන් යුක්ත වෙම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නොහොත් නොවේද, මහණෙනි, ඉදින් මහණතෙම පිරිසිදු වාක් හැසිරීම් නැත්තේද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු වාක් සමාචාරයෙන් යුක්ත නොවූයේද, එසේ නම් දැන් ආයුෂ්මත් තෙමේ වචනයෙහි හික්මෙව’ යි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.

’’මහණෙනි, නැවතද අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් මෙසේ නුවණින් සිහි කටයුතුය. සබ්‍රම්සරුන් කෙරෙහි ද්වේෂ නොවූ, මෛත්‍රී සිත එළඹ සිටියේද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නැත්දැයි, මහණෙනි, ඉදින් භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ද්වේෂ නොවූ මෛත්‍රී සිත එළඹ නොසිටියේ වේද, ඔහුට එසේ නම් ආයුෂ්මත් තෙමේ පළමුකොට සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෛත්‍රී සිත උපදවයි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.

’’මහණෙනි, නැවතද අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් මෙසේ සිතිය යුතයි. ’ඇසූ දේ දරණ, ඇසූ දේ රැස් කරණ, බහුශ්‍රුතයෙක් වන්නෙම්ද,’ මුල යහපත්, මැද යහපත්, අවසන යහපත්, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හාත්පසින් සම්පූර්‍ණ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ යම් ඒ ධර්ම කෙනෙක් වෙත්ද, මා විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ වූවාහු, සිතින් බලන ලද්දාහු, දෘෂ්ටියෙන් පිළිවිදින ලද්දාහු වෙත්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නැත්තේදැ’ යි මෙසේ නුවණින් සිහි කටයුතුය.

’’මහණෙනි, ඉදින් මහණතෙම ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, මුල යහපත්, මැද යහපත්, අවසන යහපත්, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හාත්පසින් සම්පූර්‍ණ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ නොකරත්ද, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බොහෝ අසන ලද්දාහ. දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහ. සිතින් බලන ලද්දාහ. දෘෂ්ටියෙන් පිළිවිදින ලද්දාහ. ඔහුට ආයුෂ්මත්නි, පළමුකොට ආගම ඉගෙන ගන්නැයි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු වන්නාහ.

’’මහණෙනි, අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් මෙසේ නුවණින් සිහි කටයුතුය. ’මා විසින් ප්‍රාතිමොක්‍ෂ දෙක විස්තර වශයෙන්, සූත්‍ර වශයෙන්, අනුව්‍යඤ්ජන වශයෙන් පාඩම් කළාහු වෙත්ද, බෙදන ලද්දාහු, පවත්වන ලද්දාහු, තීරණය කරණ ලද්දාහු වෙත්ද, මේ ධර්‍මය මා කෙරෙහි විද්‍යමාන වේද, නැත්නම් නැද්ද. මහණෙනි, ඉදින් මහණහට උභය ප්‍රාතිමොක්‍ෂය සූත්‍ර වශයෙන්, අනුව්‍යඤ්ජන වශයෙන්, විස්තර වශයෙන් පාඩම් කරණ ලද්දාහු වෙත්ද, බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්දාහු වෙත්ද, ආයුෂ්මත්නි, මෙය තථාගතයන් වහන්සේ විසින් කොතැන්හිදී වදාරණ ලදදැ’ යි මෙසේ විචාරණ ලද්දේ, නොකියාද, එසේ නම් ආයුෂ්මත් තෙමේ විනයෙහි හික්මෙවයි කියන්නාහු වන්නාහ. මේ ධර්‍ම පස අධ්‍යාත්මයෙහි එලවිය යුතුය. කවර ධර්‍ම පසක් අධ්‍යාත්මයෙහි පිහිටවිය යුතුද, කාලයෙහි කියමි. අකාලයෙහි නොකියමි. වූ දෙයින් කියමි. නුවූ දෙයින් නොකියමි. මෘදු බසින් කියමි. තදින් නොකියමි. යහපතින් කියමි. අයහපතින් නොකියමි. මෛත්‍රී සිතින් කියමි. ද්වේෂයෙන් නොකියමි.’ මේ ධර්‍ම පස තමන් තුල එලවිය යුතුය. අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් මේ ධර්‍ම පස තමන් තුළ නුවණින් සිතා අනුන්ට චොදනා කට යුතුය.’’